ගමේ සිට නගරයට ගිය ජිනේ

චතුර පෙරේරාගෙන් හතර වරන්
ජනවාරි 21, 2021

හිරුගේ හසරැල් ගම සිසාරා පැතිරෙමින් තවත් දවසක් උදා වන බව කියා පෑවේ‍ය. සුපුරුදු පරිදි එදත් උදෑසන ගැමියෝ සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවක් පෙනෙන්නට තිබිණි. වෙනදා මෙන් ගමේ කෝපි කඩේට පැමිණෙන්නෝ ඇවිත් සිටියේ අලුත් ආරංචි කිහිපයක් ද රැගෙනය.

 

අර කව්ද බං එන්නේ?

දුර තියා කෙනෙකු එනු දැකීමෙන් තේ කෝප්පයක් තොලගාමින් සිටි අයෙකු දෑස් පුංචි කොට තවෙකෙකුගෙන් ඇසීය.

වෙන කවුද ඉතින්, ජිනයා නොවැ.. අර කෙහෙල් කැනකුත් කර තියාගෙනම එන්නෙ....

මුදලාලිට ඒ තැනැත්තා ආගන්තුක නැත..

හප්පේ බර ජිනේ එසේ කීවේ කරේ තිබුණු කෙහෙල් කැන බිම තබන ගමන්‍ ය.

ඈ බං... කොහෙන්ද මේක කපා ගත්තේ?

මුදලාලි විමසුවේ උපහාසය මුසු සිනහවක් ද සමඟිනි.

වෙන කොහෙන්ද, අපේ වත්තෙන් මිසක්. මුදලාලි හිතන්න එපා මම මේ අනුන්ගේ වතු වල කෙහෙල් කැන් අරගෙන එනවා කියලා.

ජිනේ එසේ කියමින් කඩේ තුළට ගියේ කන්න යමක් ඇත්ද බැලීම සඳහායි.

අපි නොදන්නවයෑ උඹලෑ වත්තේ පීදෙන කෙහෙල් කැන්...

මුදලාලි එසේ කීවද කෙහෙල් කැන කඩය පිටිපස්සට තියන්නයැයි ජිනේගේ මිතුරාට ඇසින් සන් කළේය.

ජිනේ එලෙස ගෙනාවෙ මුදලාලි පැවසුවාක් මෙන් අනුන්ගේ වත්තක කෙහෙල්කැනකි. ඔහු එවැනි දේ කරනා බව ගම්මු දැන සිටියෝය. එක අතකින් පැවසුවොත් ජිනේ යනු අහිංසක සොර දෙටුවෙකි. ගොවිතැන් බතක් නොකළ හෙතෙම ගෙදර මව උයා දෙන දෙයක් කමින් ජීවත් වූයේය. තමන්ගේ අතට මුදලක් අවශ්‍යයයි හැගුණ මොහොතක දී ඔහුව මොකක් හෝ අකටයුතුකම් කරන්නට පෙලඹෙන්නේ දෙවතාවක් නොසිතාය. ගමේ හිටියොත් ජිනේ තවත් දඩබ්බරයකු වන බව සහ ජිනේගේ මේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ නැඟණිය කසාදයක්වත් කරගන්න බැරි වේවි යැයි සිතූ ජිනේ ගේ මව වහාම ඔහු නගරයේ වෙසෙන තරුණියක් හා සරණ පාවා දෙන්නේ ම කපුවෙකුගේද උදව් ඇතුවය. එම තරුණිය මුලදී ජිනේට ආදරය කරන බවක් පෙනෙන්නට තිබුණත් සරල ජීවිතය සංකීර්ණ වීම නිසා ජිනේ සුඛෝපභෝගී නිවසේ කාලය ගත කළේ මහත් වූ අපහසුවෙන් ය.

දිනක් ජිනේ නිවසේ තිබූ පිහිනුම් තටාකයට බැසීමට සූදානම් වන්නේ අමුඩයක් ගසමිනුයි. ඒ බව දකින බිරියගේ මිතුරියන්ගේ උපහාසයට ලක් වන ඔහු තවත් කනස්සල්ලට පත් වන්නේ මේ සුඛෝපභෝගී ජීවිතයේ නොගැළපීම් ගැන සිතමිනුයි. ඔය අතරතුර දී සුරූපී බිරිය ජිනේ රවටමින් තමන්ගේ සියලු වැඩ කටයුතු කරගන්නා අතර තවත් අයෙකුට සමීප වන්නේ තම විවාහ ජීවිතය පවත්වාගෙන යන අතර අතරතුරදීය. මේ කිසිත් නොදැන ජීවිතය ගෙවන ජිනේ නගරයේ කාලය ගත කරද්දි නිතර ගම මතක් වී දැන් නෙත කඳුළින් බොඳ කර ගන්නේය. කාලයාගේ ඇවෑමෙන් ජිනේට යම් අබිරහසක් දැනගන්නට ලැබෙයි. තමන් වාසය කරන මේ නිවසේ යම්කිසි ජාවාරමක් සිදු වන බවය. එයට තම සුරූපී බිරිය සම්බන්ධ වී ඇති බවත් වැඩිදුරටත් විස්තර සොයා ගෙන යෑමේ දී ජිනේට හසු වෙයි. ඇත්ත යටපත් වී බොරුව රජ කළත් කෙදිනක හෝ සත්‍යය මතුවේ. එය ලෝක ධර්මතාවයයි. අවසන දී ජිනේ මුලපුරන්නේ සිදුවන්නාවූ දැවැන්ත ජාවාරමක් හෙළි කර ගැනීමටයි. ගැමියකු වූ ජිනේ ඊට මුහුණ දෙන්නේ කෙලෙසද.... මේ උද්ගත වී ඇති තත්වය විසඳා ගැනීමට සූදානම් වෙද්දී නොදන්නා පුද්ගලයකු පැමිණ ජිනේට උදව් පදව් උදව්පදව් කරන්නට පෙලඹෙයි. එය ද එක්තරා විදියක ජිනෙට ගැටළුවකි. චතුර පෙරේරා අධ්‍යක්ෂණය කරන හතර වරන් සිනමාපටයට අන්තර්ගත කතා සාරාංශය වන්නේ එයයි. චතුර නැසීගිය රංගන ශිල්පී අධ්‍යක්ෂ එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතණුවන්වේ. හතර වටේ, හතර කේන්දරේ, හතර මහා නිධානය සහ හතර පෙරළිය වැනි චිත්‍රපට තැනූ එල්. එම්. හතර යන වචනය භාවිත කරමින් සිය සිනමාපට සඳහා නම තබනු ලැබුවේ හතර ඔහුගේ වාසනාවන්ත ඉලක්කම කියා සිතූ නිසාය. එහි දිගුවක් ලෙස ඔහුගේ පුතු චතුරද තම චිත්‍රපටියට හතර යන වචනය ගෙන හතර වරන් යනුවෙන් නම තබා තිබේ. මේ අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. චතුර වඩාත් ප්‍රකට ටෙලි සිනමා නළුවකු හැටියටයි.

හතර වරන් සිනමාපටය මෙම මස 29 වැනි දා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ආරම්භවේ. එය සුමන දීප්ති ගුණරත්නගේ නිෂ්පාදනයකි.

 

හතර වරන් නළුනිළියෝ

පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, ටෙඩී විද්‍යාලංකාර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, අසංග පෙරේරා සහ චතුර පෙරේරා.

කතාව දෙබස් තිරරචනය සහ සම අධ්‍යක්ෂණය සුරේෂ් කුමාරසිංහගෙන් වන අතර කැමරාකරණය සජිත වීරප්පෙරුමගෙනි. අංග රචනයෙන් උභය දිසානයක, කලා අධ්‍යක්ෂණයෙන් රෝහිත කුමාර, නිෂ්පාදන කළමනාකරණයෙන් අජිත් ප්‍රනාන්දු හතර වරන් සඳහා දායකත්වය ලබා දෙති. සමීර මදුශාන් සහ කුමාරි දිසානායක සහය අධ්‍යක්ෂවරු‍ ය. ලාල් දේවරත්න නැටුම් අධ්‍යක්ෂවරයා. සංගීත අධ්‍යක්ෂණයෙන් ජෝර්ජ් සේනානායක දායක විය. සංස්කරණය තනුස්ක කහඳවලගෙනි