කථානාද සිනමාවට 74යි සංස්ථාවට 49යි

ජනවාරි 28, 2021

දේශීය කථානාද සිනමාව ආරම්භවී වසර හැත්තෑ හතරක් සපිරුණේ ඉකුත් 21 වැනිදාය. එමෙන්ම චිත්‍රපට සංස්ථාවේ 49 වැනි ජන්ම සංවත්සරයද එදිනට යෙදී තිබිණි. මේ සුවිශේෂත්වයන් අලළා එදින උදෑසන දළුගම සරසවි චිත්‍රාගාරයේදී විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණ. මේ සඳහා චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, ධම්මිත් ෆොන්සේකා ඇතුළු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශාල පිරිසක් සහභාගීවී සිටියහ. මෙදින සිංහල සිනමාවට මහඟු මෙහෙවරක් කළ නැසීගිය සිනමා අධ්‍යක්ෂ හා තිර රචක ටයිටස් තොටවත්තයන්ගේ සමරු ඵලකයක් නිරාවරණය කිරීද සිදු කෙරිණ. සරසවි චිත්‍රාගාරයේ සංස්කරණ මැදිරිය නව්‍යකරණය කොට විවෘත කිරීමද සිදු කෙරුණේ එදිනය. එය නම් කොට ඇත්තේ ද ටයිටස් තොටවත්තයන්ගේ නමිනි. සංස්ථාවේ ශබ්දාගාරය 7:1 ශබ්දාගාරයක් ලෙස වැඩිදියුණු කොට විවෘත කෙරුණේ මෙදිනය. මේ අවස්ථාවට සමගාමීව චිත්‍රපට සංස්ථාව මඟින් මුද්‍රණය කරන චිත්‍රපට සඟරාවේ විද්‍යුත් පිටපත ජනගත කිරීම ද සිදු කෙරිණ. දම්මිත් ෆොන්සේකා එම කර්තව්‍යය සිදු කළ අතර උත්සවයේ මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය විසින් සිදු කරනු ලැබීය.