‘හතරදෙනාම සූරයෝ’ දැන් මතකද?

අවුරුදු 50යි, ඒත් තවමත් ආදරේ හිතෙනවා දැක්කම
ජූලි 29, 2021

 

තිරගත වූ දිනය - 1971 ජූලි මස 20

සමුද්‍රා චිත්‍රපට ඉදිරිපත් කිරීමක්

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - නීල් රූපසිංහ,

තිරනාටකය- නීල් රූපසිංහ/ලෙනින් මොරායස්

කතාව - ධර්මසිරි ගමගේ

දෙබස් - ආරියරත්න කහවිට

කැමරා අධ්‍යක්ෂණය- ලෙනින් මොරායස්

සංස්කරණය- ඩබ්ලිව්. ඩී.කේ.රූබන්

කලා අධ්‍යක්ෂණය- ඒ.ඩී.රංජිත්කුමාර

වේශ නිරූපණය- කේ. සුබ්බයියා

සංගීත අධ්‍යක්ෂණය- පී.එල්. ඒ . සෝමපාල

නැටුම්- හෙලන් කුමාරි

ගීත ප්‍රබන්ධය- කරුණාරත්න අබේසේකර, එම්. එස්. ප්‍රනාන්දු

ගී පටිගත කිරිම හා චිත්‍රාගාරය- විජයා හැඳල

ගීත- කොඩි ගහ යට මම උපන්නේ-එච්.ආර්.ජෝතිපාල, එම්.එස් ප්‍රනාන්දු,

අහ අහ ආදරණීය සිනා-එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

මේ දෑස මගේ පින්වන්තයි- එච්.ආර්.ජෝතිපාල.

රත්තරනේ රන් කිරිල්ලියේ-එම්.එස්.ප්‍රනාන්දු/ඇන්ජලින් ගුණතිලක

පැතුම් මල්ලකි මේ ජීවිතේ- ලතා වල්පොල

රඟපෑම් - ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, සේනාධීර රූපසිංහ, ඇන්තනී සී. පෙරේරා, මාලිනි ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, අග්‍රා සජීවනී, වෛජයන්ති මාලා ද සිල්වා, ලයනල් දැරණියගල, තලතා ගුණ‌සේකර, පර්ල් වාසුදේවී, බන්දු මුණසිංහ, එම්.එස්. ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුගත් ප්‍රසන්න

එය මහ විසල් නගරයකි. එහි අහස සිඹින මාලිගා එකල තිබුණේ නැත. එහෙත් මන්දිර තිබිණ. පැල්පත් ද තිබිණ. ඇත්තෝ මෙන්ම නැත්තෝ ද එහි දිවි ගෙවූහ. ඔවුහු කොඩි ගහ යට උපන්නෝය. ඒ ගම කොළඹ නමින් හැදින්විණ. ඒ ගමේ නම රටේ හැම තැන පතළය. ඒ ගම විසූ අය අතරින් මේ කියන සිවුදෙනා භද්‍ර යෞවනයේ පසුවූහ. එයින් එක් අයෙක් පොඩ්ඩේය. දෙවැන්නා ලින්ටන්ය. තෙවැන්නා ජගිරියාය. සිව්වැනනා විජේය. මේ හැර මේ නම්වලට මුල් අකුරු නැත. එමෙන්ම වාසගම් ද නැත. අම්මා අප්පා කෙනෙක් ගැන කියවෙන්නේ ද නැත. නෑයන් ගැන කියන්නේ ද නැත. ආගමක් ද නැත. ජාතියක් ද නැත. එකෙකුටවත් හරිහමන් රස්සාවක් ද නැත. ඔවුන් ජීවත් වූයේ බත් අම්මා කෙනෙකුගේ නිවෙසක කාමරයකය. ඉදහිට කීයක් හෝ අතට ගත් විට අඩියක් ගසා ගීයක් ගයා විනෝද වනවා විනා කාටවත් හිරිහැරයක් ද නැත. බත් අම්මාගේ දෝනියන්දෑ ඇහැට කනට පේන්නට සිටි සෝමාය. පොඩ්ඩේ හා සෝමා අතර ඇති ඇයි හොඳයිය අම්මා දන්නා කතාවක් නොවේ. දැන ගත්තා කියා බත් අම්මාට ද ඇගේ දුව සල්ලිකාරයෙකුට දීග දෙන්නට බැරි බව සහතිකය. මේ නිවෙසේ කිසිවකුගේ නෑකමක් නැති වයසක මිනිසකු ද අංකල් නමින් නමධාරීව ජීවත් විය. ඉඳහිට දවසක ලෑලි නිවෙසේ ඇති සිදුරු අතරින් සෝමාගේ රුව දෙස බලා සතුටුවන්නට පුරුදුව සිටි අංකල් එවිට කොල්ලන්ගෙන් බේරුණේ අහිංසක ප්‍රයෝගයකිනි. පොඩ්ඩේ ජීවත් වූයේ හැරීගේ ගරාජයක කාර්මිකයකු හැටියටය. ලින්ටන් කොල තුනේ සූදුවේ පරතෙරට ////ගිය එකෙදැන සටීමය.////// විජය මේ අතරින් හැන්ඩියාය. ඇහැට කනට පෙනෙන කෙල්ලකගේ සිත දිනා ගැන්ම ඔහුට සුළු වැඩකි. ඔහුගේ දෑස පින්වන්තය. ළඟ දුනුකේ මලක් වුවද දුර මානෙල් මලක් වුවද උඩවැඩියා මලක් වුව ද ඔහුට එහි වගක් නැත .

එක් දිනක ලින්ටන් ගේ ජීවිතය වෙනස් වනුයේ කොල තුනේ සූදුවෙන් පොඩි එකෙක් පරද්දවා සල්ලි දිනාගත් දවසේය. පොඩි එකාගේ අක්කා සුමනා දැමූ දෝස්මුරය ලින්ටන්ගේ කන පුපුරු ගහන සද්දයක් විය. දුරාචාරයේ නොයා ඔහු කරාටේ පුරදු වූයේ ඉන් පසුවය.

විජේට සුරූපී නිල්මිණි මුණ ගසෙන්නේ මේ අතරය. ඇය යමක් කමක් ඇති පවුලක තරුණියකි. මව් සෙනෙහස අහිමි වුවද ඇයට තාත්තාගේ ආදරය නො අඩුව ලැබෙයි. එහෙත් කුඩම්මාගේ කල්පනාව තම බෑනා වූ හැරීට නිල්මිණි විවාහ කරදීමය. එයින් පවුලේ මුළු බූදලයම ඇයට ඕනෑ හැටියට පාලනය කරන්නට ඉඩ කඩ ලැබෙයි. නිල්මිණි මේ කසාදයට බිදක්වත් කැමති නැත. ඇගේ උපන්දින සාදයට විජේට ඇරයුම් ලැබෙයි. ඒ දවසවල ජගිරියා වැඩ කළ ලොන්ඩරියට මදින්න ගෙනා ඇඳුමක් විජේට පිහිටට හිටියේ එය ඔහුගේ ගාණටම මැස්සවූ එකක් බැවින්ය. එයින් පසු මේ යුවළ වෙරළ තිරයේ ද හමුවන තැන්වල ද නුපුරුදු තැන්වල ඔහොම තමා යනුවෙන් ගී ගයමින් තාරුණ්‍යයේ සතුට භුක්ති වින්දාහ.

එක් දිනක පොඩ්ඩේට රැකියාව අහිමි විය. ඒ හැරීගේ ගෝලයක් අහිංසකයෙකුට දැමූ පාට් එකකට අත ඉස්සීම නිසාය. නිකම්ම නොවේ හිඟ වැටුප් ද නැතිවය. ඔහුගේ හිත හැදුවේ සෝමාය. ඇගේ උදව්වෙන් පුංචියට නමුත් ගරාජයක් දමා ගත්තේ පොඩ්ඩේ අහස අල්ලන්ට හිතා නොව එදා වේලට යමක් කර ගන්නටය. එහෙත් එයට හෙනහුරා වූයේ ද හැරීමය. ඔහුගේ වාහනය වැදී යාන්තම් අටවාගත් පොඩ්ඩේගේ මඩුව ද කඩා වැටිණ. හැරීගේ වාහනයේ එල්ලී ඔහු සමඟ දබරයට ගියත් ලැබුණු දෙයක් නොවිණ. එහෙත් හැරීට මර බිය දැනෙන්ට විය. ඔහුට බොඩිගාඩ් කෙනෙකු ඇවැසි විය. හොඳ සහතිකයක් සමඟ ඒ රස්සාව ලැබුණේ ලින්ටන්ටය. ඒ දවසේම ජගිරියා හැරීට සාස්තරයක් බලන්නට වෙලාවක් ද දමා ගත්තේය. නිල්මිණි ජීවත්වූයේ ද එහිම උඩුමහලේය. ප්‍රේමාතුර වූ විජේ ඇය බලන්නට මල් වැල දිගේ නැංගේය. පොඩ්ඩේ පැරැණි පළිය ගන්නට හැරීගේ ගේ ඇතුළට රිංගුවේය. හතර දෙනාම එකිනෙකා නොදැන එකම තැනකට කොටුවිණ. ජගිරියාට සාස්තර කියන්නට ගොසින් කියවුණේ රාහු යනුවෙන්ය.

නිල්මිණිගේත් විජේගේත් හුටපටය කුඩම්මාට අහුවුණ ගමන් ඇය හැරී හා විවහායට දින දැම්මාය. නිල්මිණි සිටියේ එක පයින් විජේ හා යන්නටය. ලුණුයි බතුයි කා ඉදින්ට ඇය කැමතිය. එබැවින් ඇය විජේ හා පැන ආවේ ඇ‌ගේ රන් ආභරණ ද රැගෙනය. ඒ ආවේ බත්අම්මා‌ගේ නිවහනටය. යාළුවෝ හිස අත ගසා ගත්තේ සිදුවන වින්නැහිය හිතා ගෙන නොවේ. ඒ හිත් අමාරුවට කළු මහත්තයාගේ අවන්හලට ගිය විජේ කරටි කැඩෙන තුරු බොන්නට සිතා ගත්තේය. එය නතරවුණේ කළු මහත්තයා අතින් ගුටි කන්නට ගොසින්ය. හැමවිටම කරගහන යහළුවෝ එයට කඩා වැදුණ හෙයින් විජේ අතක් පයක් නොකඩාගෙන බේරුණි. මූට බොන්ඩත් බෑ ගහගන්ඩත් බෑ ජගිරියා බැණ වැදුණි. අන්තිමට රන් ආභරණ සෝමා ළඟ තබන්නටත් විවාහය වන තුරු නිල්මිණි සුමනාගේ නිවෙසේ නතර වන්නටත් සැලසුම් විණ.

නිල්මිණිගේ ඇදුම් මල්ලෙහි ඇත්තේ කුමක්දැයි බලන්නට සෝමාට ආසාවක් ඇතිවිණ. ජීවිතයේ කිසිකලෙක නොලැබෙන මේ ඇඳුම් හා ආභරණ ද ඇය පැලඳීයේ පැතුම් මල්ලකි මේ ජීවිතේ යැයි සිතමිණි.

ඒ මොහොතේ පොඩ්ඩේ පාර දිගේ තනිවම ඇවිද ගෙන ආවේය. ඔහු තිගැස්සුණේ වෙඩි හඬක් සමඟය. කිසියම් නුහුරු දෙයක් නිසා ඔහු නිවෙසට දිව ගියේය. අභරණවලින් සැරසි සෝමා ඒ වන විටත් මරු හමුව තිබුණාය. යහළුවෝ එකිනෙකාට චෝදනා කර ගත්හ. වැඩි චෝදනාව පොඩ්ඩඩෙට වුවත් මේ සියල්ලන්ම එයට ගොදුරු වෙතැයි සිතූ ඔවුහු වහා සඟවුණහ. පොලිසියේ වැඩි සැකය යොමු වුණේ ද ඔවුන් වෙතටය. එහෙත් මේ චෝදනාවලින් පළක් නොවන වග වටහා ගත් ඔවුහු අංකල් ද හදිසියේ අතුරුදන්ව ඇති වග වටහා ගත්හ. පොලිසියේ ලුහු බැදිමෙන් මුලින්ම කොටුවුයේ ලින්ටන්ය. විජේ කොටුවුණේ කුකුළු කොටුවක දීය. පොලිසිය හා තරගයට කුකුළු කොටුවේ දිව යාමෙන් කුකුළෝ ද බරගණනක් මිය ගියහ. ජගිරියා කොටුවුණේ පොලිසියත් සමඟ රේස් එකක් ද දුවමින්ය. පොඩ්ඩේ කොටු කර ගැන්ම පහසු නොවීය. අහම්බෙන් මෙන් දුම්රිය පොළක සිටින අංකල් හැරිගෙන් ගුටි කන අයුරු පොඩ්ඩේ දුටුවේය. රෝහල්ගත කළ ඔහු එතැනින් ද මරා දැමීමට හැරී වෙහෙසුනි. සියල්ල හරියැයි සිතූ හැරී නිවෙසට වී දුම්වැටියක් පානය කරන්නට ගිනි පෙට්ටියක් සෙව්වේය. ඔහුට ගින්දර ලැබුණේ එහි සිටි පොඩ්ඩේගෙනි. සෝමාගේ මරණයට හැරී අත් අඩංගුවට ගැනිණ. සියල්ලෝ සතුටින් එක්වද්දී පොඩ්ඩේ තනි විය. 1971 වසරේ මුලින්ම තිරයට විත් අවුරුදු පනහක් ගතවීත් තවමත් අපූරු චිත්‍රපටයක් වූ හතර දෙනාම සූරයෝ දිග හැරෙන්නේ මෙහෙමය.

මේ චිත්‍රපටය තිරගත වී වසර එකොළහකට පසු එනම් 1982 වසරේ මට අපූරු උපන් දින තෑග්ගක් ලැබිණ.

ඒ අවදියේ කොළඹ රීගල්, මැජස්ටික්, ලිබර්ටි,නිව් ඔලිම්පියා, සැවෝයි සියලු සිනමාහල් තරගයට ඉහළම පෙළේ හොලිවුඩ් චිත්‍රපට එකිනෙකා පරයා තිරගත කළ සමයක් විය. එබැවින් සිනමාලෝලී පාසැල් සිසුන් වූ අපේ කාර්ය බහුලකම වැඩිය. පාසැල් යන්නට ද අවශ්‍යය. අමතර පන්ති යන්නට ද අවශ්‍යය. ඒ මදිවාට තරගයට මෙන් ප්‍රදර්ශනය කරනු ලබන හොලිවුඩ් චිත්‍රපට ද නැරඹිය යුතුය. මේ සියලු කාර්යයන් බැති පෙම් උපදවා වේලාව නොවරදවා, කරමින් සිටි මට ඒ ජාතියේම බයිස්කෝප් පිස්සෙකු වූ පන්ති සගයකු ද සිටියේය. ඔහු වැඩි කැමැත්ත දැක්වූයේ සිංහල චිත්‍රපට නරඹන්නටය. වැලිගම සිට කොළඹ පැමිණි ඔහු මෙරිල් වීරසිංහය. (දැන් ඔහු රාජ්‍ය බැංකුවක ඉහළ පෙළේ නිලධාරියෙකි. ප්‍රවීණ කිවිඳීයක වන සුධර්මා සුභාෂිණීගේ සැමියාය.) ඔහුට අවශයව තිබුණේ මරදානේ ක්‍රවුන් සිනමාහලේ කලින් දවසක දුටු අපූරු චිත්‍රපටයක් මා සමඟ නැවත බලන්නටය. ඒ මට දෙන උපන්දින තෑග්ගක් හැටියටය. එය මරදානේ ක්‍රවුන් සිනමාහලේ සිට මගේ උපන් දිනය වන විට තිරගත වූයේ බොරැල්ලේ රිට්ස් සිනමාහලේය. ඔහු එයට කෙතරම් වසඟව සිටියේද යත් මා සමඟ එය දෙවැනි වර නරඹනවා පමණක් නොව මා එයට වසඟව මා ද එය දෙවරක් නරඹනු ඇතැයි ඔට්ටුවක් ද ඇල්ලුවේය. ඒ වන විට ද මම සිනමාව හැදැරීමේ ආසාවකින් පසු වීමි. එබැවින් මගේ අවශ්‍යතාව වූයේ වෙනත් චිත්‍රපටයක් නැරඹීමය. එහෙත් අවසානයේ මා මිත්‍රයාට එකඟ වූවා පමණක් නොව ඔට්ටුවෙන් ද පරාද වීමි. මා යළිත් පසු දින හතර දෙනාම සූරයෝ නැරඹුවෙමි. මගේ මිතුරාගේ උපන් දින තෑග්ග මට සදාකාලික සිනමා සිහිවටනයක් ව පවතී.

හතර දෙනාම සූරයෝ මුල්වරට තිර ගත වූයේ 1971 වසෙර්ය. ඒ මා පාසැල් ගිය මුල්ම අවුරුද්දයි. අපේ ගම් පලාතේ හතර මායිමක සිනමාහලක් නැත. 71 ත්‍රස්තවාදි කැරැලි කරුවෝ අපේ ගමේ සිට ලොකු නගරයට එනම් අනුරාධපුරයට යන අතරමඟ තිබුණු රඹෑවේ පාලම ගිනි තබා විනාශ කළහ. මේ සියලු කාරණා හතර දෙනාම සූරයෝ නැරඹීම මට එකොළොස් වසකින් කල් දමා තිබිණ.

හතර දෙනාම සූරයෝ තිරයට ඒ‍නුයේ 1971 කැරැල්ලට පසුවය. අප්‍රෙල් පස් වැනි දා ඇඳීරි නීතිය පැනවීමත් සමඟ දිවයින පුරා සිනාම ශාලා වසා දැමිණ. එයින් පසු ‍යළි සිනමා ශාලා විවෘත වනුයේ 1971 ජූනි මාසයේය. අලුතින් මුල්වරට තිර ගතවනුයේ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ 'කතුරු මුවාත්' චිත්‍රපටයයි. එයින් පසු තිරයට එනුයේ 'හතර දෙනාම සූරයෝ'ය. හතර දෙනාම සූරයෝ කාල‌යේ හැටියට දැවැන්ත චිත්‍රපටයක් ද විය. එබැවින් එය එබඳු සමයක තිරගත කරවීම එක් ආකාරයක අභියෝගයකි.

එය අපූරු සිදුවීමක් වනුයේ හතර දෙනාම සූරයන්ට පාදක වනුයේ රැකියා විරහිත ගැටවරයන්ගේ කථාවක් බැවින්ය. චිත්‍රපටය තිරගත වන විටත් බස්නාහිර පළාතේ ඇඳීරි නීතිය සහමුලින් අවසන් කර තිබුණේ නැත. ඇතැම් ප්‍රදේශවල ද රාත්‍රී කාලයේ ඇඳීරි නීතිය පැනවීම ඒ වන විටත් තිබිණ. 9.30 දර්ශනය පැවැත්වූයේ නැත.

එහෙත් කිසිදු පැකිළීමකින් තොරව හතර දෙනාම සූරයෝ තිරගත වීම ඇරඹිණ. එය මරදානේ ගාමිණි සිනමාහල ප්‍රමුඛ සිනමාහල් රාශියක දින සියය ඉක්මවා ප්‍රදර්ශනය විය. මේ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ නීල් රූපසිංහයි. එය ඔහුගේ දෙවැනි චිත්‍රපටයයි. හතර දෙනාම සූරයෝ චිත්‍රපටය පිළිබඳ ආචාර්ය ධර්මසේන පතිරාජ එයින් වසර දෙකකට පසු එනම් 1973 වසරේ නොවැම්බර් 11 වැනි දින සරසවිය පුවත්පතේ ඒ.ඩී.රංජිත් කුමාර මහතා සමඟ කළ සංවාදයකදී අපූරු විග්‍රහයක යෙදෙයි. සිංහල සිනමාවේ ප්‍රේක්ෂක රුචිය ගැන පර්යේෂණ කරන කිසිවකුට මේ චිත්‍රපටය අමතක කරන්න බෑ. නගරයේ රැකියා නැති තරුණයන් සතර දෙනෙකු බත් අම්මා කෙනෙකු ළඟ හැදී වැඩීමත් ඔවුන්ට ඉන් පසු මුහුණ පාන්නට වන ගැටුම් හාස්‍යජනක විදිහට ඉදිරිපත් කිරිමත් නිසා ප්‍රේක්ෂකයෝ වැඩි වශයෙන් බලන්න සහභාගි වුණා. ඒ චිත්‍රපටයේ නිරූපිත ප්‍රශ්න ජනතාවට සමීපයි. මේ අනුව අපට පෙනී යනවා චිත්‍රපට අධ්‍යක්ෂ ජනතාව සමඟ ගමන් කළ යුතු බව. ප්‍රේක්ෂක රුචිය නැංවීමට නම් සරල කතා පුවතකින් සියුම් ජීවිත විවරණයක් කළ යුතුයි. "

හැත්තෑව දශකයේ සිනමාවට පිවිසි සිනමාකරුවන් අතර නීල් රූපසිංහ යනු සුවිශේෂ සිනමාකරුවක් වෙයි. ඔහු අයත් වනුයේ ජනාකර්ෂණීය සිනමාකරුවන්ගේ ගණයට වුවත් ඔහු නිර්මාණය කළ චිත්‍රපට හා චරිත සෙසු සමකාලින ජනාකර්ෂණීය සිනමාකරුවන්ගේ චිත්‍රපට හා සැසඳීමේදී සපුරා වෙනස්ය. ඔහු තෝරා ගන්නා චරිත හා සිද්ධීන් බොහො විට සමකාලීන සමාජයෙන් අහුලා ගන්නා ඒවාය.

ඒ හැම චිත්‍රපටයක්ම ප්‍රධාන සිනමා ධාරාවේ එන සිනමා සිහින ඉසව්වේ ද රඳවන්නට ඔහු වග බලා ගෙන තිබිණ. මේ නිසා හතර දෙනාම සූරයෝ පමණක් නොව එහි සිනමාවේදී නීල් රූපසිංහගේ සිනමා භවිතය ද සෙසු සමකාලින ජනාකර්ෂණීය සිනමාකරුවන්ගෙන් වෙන් කොට හදුනා ගත හැකි වෙයි. ඔහුගේ මුල්ම සිනමා කෘතිය 'දැන් මතකද' චිත්‍රපටය තනන විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි.

දැන් මතකද චිත්‍රපටය ද නීල් ගෙන එනුයේ රැකියා විරහිත චරිත තුනක් වටාය. චිත්‍රපටයට අවසානයේ මේ චරිත ත්‍රිත්වයට වාසනාව පෑදෙන්නේ නැත. තම අර්ධ සොහොයුරිය නවතින්නයැයි ඉල්ලිමක් කළ ද කතා නායකයා එහි නොරැඳී සිය අයාලේ යන සගයන් ළඟට යන්නට පිටත් වෙයි. ඔහු එන තුරු මිතුරෝ දෙදෙනා බලා සිටිති. පාරේ වැටී ඇති හිස් ටින් එකකට පයින් ගසන ඔහු 'හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි' යැයි කියමින් ගමන් කරන්නට පටන් ගනියි.

හතර දෙනාම සූරයෝ යනු එහිම දිගුවක් වැන්න.

"මේ චිත්‍රපටය ඇත්තටම තැනුවේ මුලින් යාළුවෝ හතර දෙනෙක් එක් තැනට එකතු වෙලා වන අකරතැබ්බයක් ගැන. ඊට පස්සේ කතාව ඩිවලොප් කළා"

පනස් වසකට පසු සිනමා කෘතියේ රුව ගුණ විමසන්ට පසුගිය දවසක අපි නීල් රූපසිංහගේ නිවහනට ගොඩ වැදුණෙමු. අවුරුදු පනහක් යනු සෙල්ලමක් නොවේ. තම මුල්ම චිත්‍රපටය තනා අවුරදු පනහ සපුරනු දකින්නට හැකි වන සිනමාකරුවන් ද අල්පය. දැන් මතකද? (1970)හතර දෙනාම සූරයෝ, (1971) ආදරේ හිතෙනව දැක්කම( 1972) ලස්සන කෙල්ල (1975) සරදියෙල්ගේ පුතා( 1976) යකඩයා (1977) අමල් බිසෝ (1979) හතර දෙනාම සූරයෝ ( 2008) නීල් රූපසිංහ නිර්මාණ කළ චිත්‍රපට වෙයි. මේ අතරින් ලස්සන කෙල්ල හා හතර දෙනාම සූරයෝ නව නිෂ්පාදනය අත්හළ ද සෙසු චිත්‍රපට සියල්ල සිනමාකරුවකු ලෙස ඔහුලේ දෘෂ්ටිය ඉහළ එකක් බැව් පැහැදිලි කරයි. නීල්ගේ සිනමාවේ ප්‍රධාන චරිත සියල්ල හා සිදුවීම් සාමාන්‍ය ජන ජීවිතයෙන් වියුක්ත කොට ගත හැක්කේ පරිස්සමින්ය. එමෙන්ම ඔහුගේ කතා නායකයෝ සියල්ල සමාජය තුළ පිටස්තරයන්ය.

"දැන් මතකද චිත්‍රපටය කරන්නට කලින් මම ඇක්වයිනාස් විදුහලේ ඉගෙන ගත්තට පස්සේ අවශ්‍යතාව තිබුණේ නීති විද්‍යාලයට ඇතුළු වන්න. ඒත් අනතුරකට මුහුණ පාලා මට එය අහිමි වුණා. ඒ අවදියේ අපේ වත්තල සමුද්‍රා සිනමාහලේ කළමනාකාරු හැටියට කටයතු කළේ මම. මේ නිසා සිනමාව සම්බන්ධ මගේ හිතවත්කම වැඩිව තිබුණා. විජය චිත්‍රගාරයේ හැදුණ ඇතැම් චිත්‍රපට සමහරවිට මුලින් නැරඹුවෙත් සමුද්‍රා එකේ." නීල් සිය අතීතය දිග හැර ගෙනයයි.

"මේ නිසා මට අවශ්‍ය වුණා චිත්‍රපටයක් හදන්න. අපේ තාත්තා ඩේවිඩ් රූපසිංහත් සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහත්තයාත් අතර ලොකු හිතවත්කමක් තිබුණා. මා අතේ ස්ල්ලි තිබුණේ නෑ. හැබැයි අපේ අම්මායි තාත්තයි මම චිත්‍රපට හදන්න යන වැඩේට කැමති වුණේ නෑ. ඒකට හේතුවක් තිබුණා."

ඒ අපූරු කතාවකි. ඒ වන විට නීල්ගේ අනෙක් සොහොයුරන් තිදෙනාම මව්පියන්ගේ මනාපයෙන් තොරව තමන්ගේ හිතු මනාපයට විවාහ කරගෙන අවසානය. ඉතුරු වූ එකාත් සිනමාවට ගොස් අයියලාගේ මාර්ගයේ යනු ඇතැයි මාපියෝ බිය ගත්හ. නීල් දිවුරා පොරොන්දුවක් වූයේය. චිත්‍රපට තැනුවත් අම්මාගේත් තාත්තාගේත් කැමැත්තෙන් තොරව විවාහයකට නොයන්නේය යන්නයි. දැන් මතක ද චිත්‍රපටයට මුදල් ලැබුණේ එහෙමය. නීල් ද පොරොන්දුව රැක්කේය. දැන් මතකද චිත්‍රපටය අතිශය ජනප්‍රිය විය. එය හැමවිටම ප්‍රචාරය කළේ ද දැන් මතකද යන පැනය නඟමිනි. ( නීල් රූපසිංහ මැතිවරණ පොස්ටර්ය ද තිබුණේ හතර දෙනාම සූරයෝ දැන් මතකද යනුවෙන්ය.) දැන් මතක ද මාලිනි රගපෑ තුන්වැනි චිත්‍රපටය විය. රටේ බරපතළ සිද්ධියක් වන තැනක දැන් මතකද යනුවෙන් ප්‍රචාරක පුවරුවක් සවි කිරිම එහි ප්‍රචාරක ක්‍රමයක් විය. මීගමු පාරේ අනතුරකින් කිහිප දෙනෙකු මිය ගියේය. ටික දිනකට පසු එම ස්ථානයේද දැන් මතකද යනුවෙන් පුවරුවක් සවි කෙරිණ. දැන් මතකද චිත්‍රපටය තනා නිම වූ දවසේම මව්පියන් හතර අ‌තේ දිව ගියේ සිය පුතුට ගැළපෙන සහකාරියක් සොයන්නටය. එයින් පසු නීල්ට මව්පියන් සමඟ මනාලියන් බලන්නට යන්නට සිදුවිය. ඒ එකක්වත් හරි ගියේ ද නැත. නීල් කැමැති වන විට මනාලිය කැමති නැත. මනාලිය කැමති විට නීල් කැමති නැත. දෙදෙනාම කැමති වන විට මවුපියන් කැමති නැත.

දැන් මතකද චිත්‍රපටය හා සමගාමීව තිරයට ආ තවත් චිත්‍රපටයක් වූයේ පාරා වළලු චිත්‍රපටයයි. පාරා වළලු නිපදවූයේ සයිමන් මරවනාගොඩයි. එය ඔහුගේ මුල්ම නිෂ්පාදනයයි. මරවනාගොඩ චිත්‍රපටය තනා අමාරුවේ වැටී තිබිණ. එහි වැඩ අවසන් කරමින් සිටි විට නීල් ද දැන් මතකද නිමා කරමින් සිටියේය. පාරා වළලු නිම කර තිර ගත කරන්නට මේ ඉලන්දාරියාගෙන් උදව් ගන්නට සයිමන් මරවනාගොඩ මැළි නොවිණ. එපමණක් නොව තම චිත්‍රපටයට කලින් දිගු කලක් නිෂ්පාදනයේ පැවති පාරා වළලු තිර ගත කරවන්ට ද නීල් ඉඩ ලබා දුන්නේය. හතර දෙනාම සූරයෝ තනා ටික කලකින් මරවනාගොඩ පවුලෙන් විවාහ යෝජනාවක් ද ආයේය. නීල් එයට අකමැති වූයේ ඇය තමන්ට වඩා බෙහෙවින් බාලයයි පවසමින්ය. එහෙත් මවුපියන්ගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ මේ යුවතිය තම ලේළිය කරගන්නටය. අන්තිමට නීල් එයට එකඟ විය. හතර දෙනාම සූරයෝ ගැන අහන්නට ගිය නීල් රූපසිංහ අපට පැවසූ වැදගත්ම කරුණ නම් ඔහුගේත් රත්නා මරවනාගොඩගේත් විවාහයට ද මේ වසරේ පනස් වැනි විය සපුරන විත්තියයි.

"හතර දෙනාම සූරයෝ හදද්දි එහි ලොකු කතාවක් තිබුණේ නැහැ. තිබුණේ සිදුවීම් පෙළක් විතරයි. සේනාධීර වගේම ඇන්තනිත් මාත් එක්ක වැඩ කරලා තිබුණා. ගාමිණි මගේ යාළුවෙක්. ඒ වගේම පොඩ්ඩේගේ චරිතෙට හොඳටම ගැළපෙන්නේ එයා. ඒ හින්දා එයාව තෝරා ගත්තා . ඊට පස්සේ දවසක් අපි රිට්ස් එකේ චිත්‍රපටයක් බලන්න ගියාම විජයව මුණ ගැහුණා. විජය මාත් එක්ක ඇවිත් කතා කළා. පස්සේ මම කිව්වා අපි හම්බවෙමු කියලා. විජේ ඒ චරිතයට හොදට ගැළපුණා. විජය චිත්‍රපටයක විතරයි රඟපාලා තිබුණේ."

නීල් අතීත කතාව ගෙන හැර පෑවේය.

"චිත්‍රපටයේ අඩුම දර්ශන ගාණක් තිබුණෙ ගාමිණිට. ඒ කාලයේ ගාමිණිට රුපියල් හතළිස් දාහක් ගෙව්වා. ඒත් ගාමිණි කිව්වා මට සීන් අඩුයි කියලා. සේනාධීරටත් ඇන්තනිටත් තමා වැඩිම සීන් තිබුණේ. ශ්‍රීයාණි මුල් වතාවට වගේ තමා මෙහෙම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. විජය -මාලිනි ඉස්සෙල්ලාම රඟපෑවේ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයේ."

පූර්වාපර සන්ධි ගළපමින් නීල් පවසයි.

 

ලබන සතියේ තවත් කොටසක්...

 

තිලක් පෙරේරා

 

ඡායාරූප විශේෂ ස්තූතිය -

හරේන් නාගොඩවිතාන සහ සුරංග ද අල්විස්