පේ‍්‍රමේ සිහින ලොවේ කවුද රජා

මැයි 16, 2019

වර්ෂ 1590- 1592 අතර කාලය තුල, විලියම් ශේක්ස්පියර් විසින් ඔහුගේ කෘතියක් වූ "ද ටෙමින්ග් ඔෆ් ද ෂෘ" ප්‍රකාශයට පත් කළේය.

එය ප්‍රහසනාත්මක, ආදර ගැටුමක් විය. කැත්රිනා නම් සැර පරුෂ, ඉක්මනින්ම කිපෙන සුලු, ආඩම්බරකාර ගැහැනියකගේ සමච්චලයට ලක්වුනු, ඔවුන්ගේම ඉඩකඩම් යටතේ වැඩකරන පියෙකුගේ පුතෙක්,වූ පෙට්රුචියෝ කෙසේ හෝ මෙම කාන්තාවව විවාහ කරගෙන, ඇයගේ දරදඬු කමට, දරදඬුකමින්ම සලකමින්, ඇයව මෙල්ල කර ගන්නා ආකාරය, මෙම කථාවේ අන්තර්ගතනය විය. මෙය ලොව බොහෝ රටවල නාටකයන්, ගීත නාටකයන්, ප්‍රසසනයන් ලෙසින් රඟ දක්වන්නට විය.

හැටේ දශකයේ අවසන් භාගයේදී, ලෝ පතළ ප්‍රවීණ හොලිවුඩි නිළි එළිසබත් ටේලර්, රිචඩ් මාවොලර් සමඟ එකතු වී මෙම "ද ටේමින් ඔෆ් ද ෂෲ" කථාව චිත්‍රපටයකට නංවන්නට කටයුතු කළ අතර, එය අධ්‍යක්ෂණය කරන්නට ප්‍රැන්කෝ සෙෆරිලිට භාර දුනි. එහී ආ ප්‍රධාන චරිතය වූ කැත්රිනා තමා විසින් රඟපෑමටත්, පෙට්රුචියෝ චරිතය රිචර්ඩ් බර්ටන්ට භාර දීමටත් එළිසබත් ටේලර් තීරණය කළාය. ඒ වන විට එළිසබත් ටේලර් හා රිචඩ් බර්ටන් "ක්ලියෝපැට්රා" චිත්‍රපටයේ රඟපා ලොව ප්‍රචලිතවී සිටියහ.

මෙය ඇමරිකාව වටා ප්‍රදර්ශනය ඇරඹුවේ 1967 මාර්තු 8 වනදාය. එළිසබත් ටේලර්, සිතූ සේම මෙය ඇමරිකාව තුළ පමණක් නොව, ලොව බොහෝ රටවල "හිට්" විය. ඇමරිකානු ඉතාලි නිෂ්පාදනයක් ⁣ලෙස ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය ලංකාවේ ප්‍ර⁣දර්ශනය කළේ 1970 දශකයේ මුල් භාගයේදීය. එළිසබත් ටේලර් මෙහීදී මෙම කැතරිනාගේ චරිතය ඉතාමත් ප්‍රබලව, අද්විතීය ලෙස රඟපා තිබුණි.

වර්ෂ 1971 දී, දකුණු ඉන්දියානූ සිනමාවේ අධ්‍යක්ෂක වරයෙක් වූ මල්ලියාම් රාජ්ගෝපාල්, මෙම "⁣ද ටේමිං ඔෆ් ද ෂෲ" චිත්‍රපටය අභාසයට ගෙන, දකුණු ඉන්දියානූ ⁣ශෛලයට අනුව, "සවාලේ සමාලේ" නමින් චිත්‍රපටයක් නිපදවිය. එහීදී කැත්රිනාගේ චරිතය, සකුන්තලා නමට පරිවර්තනය වී එම සැර පරුෂ චරිතය රඟපෑවේ ජයලලිතා විසිනි. මෙහිදී පෙට්රුචියෝගේ චරිතය රඟපෑවේ ශිවාජි ගනේෂන් විසිනි. ඔහු⁣ එහි 'මානික්කම්' යන නමින්ය පෙනී සිටියේ.

මෙහෙමුද්, දිලිප් කුමාර් යොදා "ආන්"නමින් 1953 වසරේ නිර්මාණය කරන ලද්දේද මේ කතාවමය.

පිංහාමි, ගමක ජීවත් වන භය පක්ෂපාත මැදිවියේ සිටින අවිහිංසක මිනිසෙකි. ඔහු වැඩ කළේ, ගමේ ලොකුහාමුගේ ඉඩකඩම් හා කුඹුරු වලය. පිංහාමිල දුගී දුප්පත් අසරණයන්ය. ඔහුට හා ඔහුගේ බිරිඳට සුදා නම් දියණියකුත්, මනුවෙල් නම් පුතෙකුත් සිටියහ. මනුවෙල් නාහෙට අහන්නැති, අසාධාරණය⁣ට එරෙහිවන, අයුක්තිය හමුවේ, නයෙකු මෙන් කුපිත වන දේහධාරි කඩවසම් පුද්ගලයෙකි. ඔහුද වැඩ කළේ ලොකු හාමු යටතේය. එහෙත් ඔහු කිසිවකට නැමෙන්නේ නම් නැත.

හාමුට සිටියේ එක් දියණියක් හා පුත්‍රයෙකි. ඔවුන්ද මානයෙන් ඉදීමීගෙන ,දුප්පත් අසරණයන්ව පාගාගෙනය සිටියේ. කොහොමත් මනුවෙල්ට මොවුන්ව දිරෙව්වේම නැත. හාමුගේ මේ ආඩම්බරකාර දියණිය හිටියේ කොළඹ උසස් පාසැලක නේවාසීකවය.

එක් දිනක් හාමුට තම දියණියගෙන් ලිපියක් පැමිණියේ, තමා නිවාඩුවට නිවසට එන බවත් තමාව රැගෙන ඒම සඳහා, කරත්තයක් හෝ වාහනයක් දුම්රියපොළට එවන ලෙසය. අවසානයේ ඇයව ගෙනයෑමට කරත්තයෙන් යන්නට සිදුවූයේ මනුවෙල්ටය.

ජේ. සෙල්වරත්නම් හා ජේ. රාසරත්නම් ගේ එකතුවීමකින් අපූරු විනෝදාත්මක, වින්දනීය, චිත්‍රප⁣ටයකට අර ඇදුණේ එසේය. "කවුද රජා" නමින් එය ලාංකේය සිනමා නාමවලියට එකතු විය.

චින්තාව කරත්තේ දාගෙන එන අතරද, මනුවෙල් හා චින්තා ගැටෙන්නට විය. මනුවෙල් චින්තාගේ ආඩම්බරකමට කොහොමටත් යටත් වූයේ නැත. එහෙත් චින්තා හැම විටම තම මාන්නය පෙන්වමින් මනුවෙල්ව පාච්චල් කිරීමට සැරසීය. මනුවෙල්ද නිකං හිට්යේ නැත. ඔහු චින්තාව ලොකු සූට්කේසුත් සමඟ කරන්තයෙන් බැස පයින් යන්නට සැලැස්සුවේය.

"පන්දම් අල්ලා ගත් නම්බුනාමෙ

මේ කාලේ අවලංගුයි නෝනේ

දුප්පත් අපි රජවරු මේ කාලේ

දුප්පත් අපි රජවරු මේ කාලේ"

පින්වන්ත ඔබගේ, මේ සිංහල රාජ්ජේ

ඇයි තාමත් පරදේසින් වාගේ

මේ දේසේ ඔබගේ, මේ දේසේ අපගේ

ඇයි ඔබ යන්නේ, වල් මත් වීලා

දුප්පත් අපි රජවරු මේ කාලේ

දුප්පත් අපි රජවරු මේ කාලේ"

 

චින්තා මනුවෙල් සමඟ වෛර බැඳ ගන්නේ මෙතැන් පටන්ය.

"තව හතර පස් දෙනෙකුට කියලා බාවනවා' ච්න්තා එසේ මනුවෙල්ට තර්ජනය කළේ ඒ නිසාය. මනුවෙල්ද නිකං හිටියේ නැත.

"බාවන්න බැරි නම් හොදට ගාගන්න, ඒත් මදි නම් හොඳට රීගන්න. රී ගෙන හොඳට නාගන්න"

ඔහු චින්තාට එකට එ⁣ක කීවේය.

"හිටපංකෝ මම අපේ අයියට කියලා උඹේ ඇටකටු පොඩි කරනවා"

චින්තා නැවතත් තර්ජනය ක⁣ළාය.

"ඇයි උඹට වෙන මොකුත් පොඩි කරන්න බැරිද?" මනුවෙල්ද අතඇරියෙ නැත.

මනුවෙල්ගේ දරදඬු කමින් පීඩා වින්දේ ඔහුගේ අහිංසක පියා පිංහාමිය. මනුවෙල් සමඟ හැප්පෙන්න නොහැකි නිසා, ඔවුන් අඩම්තෙට්ටම් කළේ පිංහාමිටය. පිංහාමි ගෙදර පැමිණ මනුවෙල්ට අනේක ලෙස පිංසිඩු වූයේත් , එසේ නොහැකිවූ තැන තදින්ම දොස් කීවෙත් හාමු හා ඔහුගේ පවුලේ අය සමඟ පැටලෙන්නට නොගොස්, ඔවුන්ට යටහත්ව සිටින ලෙසය. එහෙත් මනුවෙල් කීවේ දැං ඒකාලේ නිම වී ඇති බවත්,ඔවුනට වැඩ කෙරුව පලියට, උන්ට යටත්පහත්ව සිටීමට උවමනා නැති බවක්ය.

නිවාඩුවට ආ චින්තා තම පියාට අයිති වෙල් ඉප නැලි වල, බටහිර මෝස්තරයට ඇඳුම් ඇඳගෙන, මේකප් දමාගෙන මඩ ගොඩවල් උඩින් පැන පැන, නටමින් සින්දු කියන්න⁣ට විය.

"නෑඹුල් දුල් මල් මාලා

ඈත හිමේ පිපෙනා

අහසේ රන්වන්රේඛා

පාට පාට රඟනා"

ජේ. සෙල්වරත්නම් එකල ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් ගේ විනෝදාත්මක වින්දනය හොඳ හැටි හඳුනා ගෙන තිබුණි. එය ඔහු අධ්‍යක්ෂණය කළ "ඔහොම හොඳද" චිත්‍රපටයෙන්ම ඔප්පු කර පෙන්වීය. "කවුද රජා" තුළින්ද ඒ වින්දනය උපරිමව දෙන්නට ඔහු උත්සහා කළේය. ජේ.රාසරත්නම් මෙයට එකතු වූයේ, සංස්කරණ ශිල්පියෙකු හා සම අධ්‍යක්ෂවරයා හැටියටය.

එදා ගමේ ගොයම් කැපීමේ උත්සවයකි. ගමේ කුඹුරු සියල්ලම පාහේ අයිති වී තිබුණේ, චින්තාගේ පියා වූ හාමු මහත්තයාටය. ගොයම් කපා කෙතට එක් රැස් කරපසු, මෙම උත්සවය පැවැත්වුණි. මෙයට මනුවෙල්ද එකතු වුණේ. එතැනද මනුවෙල්ගේ අතින් සිදුවූයේ, චින්තාව පාච්චල් කරන දේවල්ය.

"දිනේ ලංකා, සිරි ලංකා

සදා කාලේ, සිනා නංවා

ගමේ පොළෝ තලාවේ

පැසී ගොයම් වගාවේ

අපේ හදේහී,

දැයේ හැඟුම් මැවේවි"

මෙම උත්සවයේ රැඟුම, මුලින් චින්තා පටන් ගත්තද, පසුව මනුවෙල්ද එයට එකතු විය.

"අස්වැන්න ලැබී හොදා කාලේ

ඔබයි රජා ගමටම ගොවි රාළේ

බලා මෙයා - හිනා ගියා

කොහේ ඉදන් ආවේ"

"කවුද රජා" චිත්‍රපට⁣යේ සංගීතය භාර වූයේ, එම්.කේ.රොක්සාමිටය. ඔහු මෙහී ගීත වලට යොදා ගත්තේ හැත්තෑ දශකය තුළ ඉමහත් ජනප්‍රියට පත්වූ ලංකාව තුළ තිරගත කළ හින්දි චිත්‍රපටවල ගීතය. "සච්චා ජූතා", "අප්නා දේශ්", "ෂර්මලී" "හාති මෙරා සාති", වැනි චිත්‍රපටවලට අයත්ව තිබූ ජනප්‍රිය ගීතවලට සිංහල පද යොදා එච්.ආර්.ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක ලවා, ගායනා කරවා ඒවා අතීශය ජනප්‍රිය කරවන්නට රොක්සාමි සමත් විය.

ගම්සභා ඡන්දය පැමිණියේ ඔය අතරෙදීය. මෙවර ඉමහත් බලාපොරොත්තුවක් තබාගනිමින් ගම්සභා ඡන්දයට හාමු ඉදිරිපත් විය. හාමු බලාසිටියේ ඔහුගේ ප්‍රතිවාදියා කව්දැයි දැන ගැන්මටය. අන්අතකට ගමෙන් භාගයකටත් වඩා ගම්මුන් ජීවිකාව රැක ගනුයේ තමා යටතේ වැඩ කරමින්ය. එහෙයින් මේ හැම ගැමියෙක්ගේම ඡන්දය තමාට වැටෙන බව හාමු සක්සුදක්සේ දැන සිටියේය. ප්‍රතිවාදියා කවුරු වුනත් ඌ නිකංම 'පීචං' වෙන බවද හාමු දැනගෙන සිටියේය.

නමුත්, හාමුත්, කපිලත්, චින්තාත් පුදුමයකට පත් කරමින් ප්‍රතිවාදයා ලෙස ඉදිරිපත් වූයේ, මනුවෙල්ය. එයද නිකංම නොවේ, යම් හෙයකින් ගම්සභා ඡන්දයෙන් තමා ජයග්‍රහණය කළහොත්,

හාමුගේ ආඩම්බරකාර දියණිය චින්තාව තමාට කසාද බන්දවා දෙන ලෙසය. එසේ වුවහොත් ජයග්‍රහණය, හාමුටම දී දියණියව පමණක් රැඟෙන යන බවක්ද, මනුවෙල් පැවසීය.

මෙම අභියෝගය බය නැතිව භාර ගන්න ⁣කියා ලොකු හාමුව උනන්දු කළේ පුංචි හාමුය. පුංචි හාමු යනු ලොකු හාමුට පණ දෙන්නට සිටින, ලොකු හාමුගේ අනුශාසක වරයාය. ඔහු හිත උඩින් එසේ කළද,හිත යටින් ලොකු හාමුට උඟුල් අඳීන්නට වෙර දැරූ පුද්ගලයෙකි. ලොකු හාමුගෙ තැන ගැන්මට උත්සහා කරන තැනැත්තෙකි.

පුංචි හාමු කීවේ මනුවෙල්ට මුදල් හදල් නැති නිසා කවදාවත් මෙම ගම්සභා ඡන්දය ජයග්‍රහණය නොකරන බවකි. මෙම ඡන්ද ප්‍රථිපලයෙදී මනුවෙල් ගේ බ්‍රේක් නොමැති හැකර කට, ඉබේටම වැහෙන බව ⁣පුංචිහාමු ලොකුහාමුට කීය. එහෙයින් ලොකුහාමු , මනුවෙල් ගෙන ආ කොන්දේසියට අත්සන් කළේය. එතැන් පටන් පුංචි හාමුද වැඩ කළේ මනුවෙල්ව දිනවීමටය.

මනුවෙල්ට තම ජයග්‍රහණය ගැන සීයෙට, දාහක් ෂුවර්ය. එහෙයින් ඔහු චින්තා ගැන සිහින දකින්නට විය. ඒ සිහින තුල එක් වරම මනුවෙල් 'මාක් ඇන්ටනී' වූ අතර, චින්තා 'ක්ලියෝපැට්රා' වී තිබුණි.

'ප්‍රේමේ මේ සිහින ලොවේ

ආහා ප්‍රේමේ මා ආවා සොයා

කදුළැල්ල පාවේ, සැනසිල්ල යාවේ

හිනැහෙන්නේ කව්දෝ මාගේ ලෝකේ

ප්‍රේමේ මා ආවා සොයා'

ආහා ප්‍රේමේ මේ සිහින ලොවේ'

මෙම කථාව පියවරෙන් පියවර,ජවනිකාවෙන් ජවනිකාව ඉමහත් ඇල්මකින්, කුතුහලයකින් නැරඹීමට හැකි වන ලෙස, රචනා කරමින් සෙල්වරත්නම්ට අනගි සහයක් දී තිබුණේ කථාව හා දෙබස් රචනා කෙරූ ආරියරත්න කහවිටය.

දිනක් ලොකුහාමු පිංහාමිව සොයා ඔහුගේ නිවසට එන විට, නිවස අසල කිසියම් කාර්යයක නිරත වී සිටියේ මනුවෙල්ය. කොහොමත් ලොකු හාමු හා මනුවෙල් ඔරොප්පුය.

'මනුවෙල් කෝ උඹලෑ තාත්තා'? ලොකු හාමු අසයි

'තාත්තා ඇති අම්ම ඉන්න තැන, ඇයි මොකද අහන්නෙ?' මනුවෙල් ඔරොප්පුවෙන්ම උත්තර දෙයි.

ආරියරත්න කහවිට මෙම දෙබස් ලීවේ අර ඔරොප්පුව ඒ අන්දමටම පෙන්වමින්ය. "කවුද රජා" අධිසාර්ථකත්වයක් ලැබීමට ඉවහල් වුණු තවත් කරුණකි, ආරියරත්න කහවිටගේ දෙබස්.

ගම් සභා ඡන්දයෙන් මනුවෙල් අත උඩින් දිනා තිබුණි. ලොකුහාමුට ඇපත් නැතිවිය. ප්‍රතිඵල පිටවූ වහාම, මනුවෙල් සෙනගත් පිරිවරාගෙන, ලොකුහාමුගේ නිවස අසලට ගියේ, චින්තාව විවාහ කරගෙන තම නිවසට රැගෙන යාමටය. මේ බවක් චින්තා දන්නේද මෙවිටය. චින්තට දෙලෝ රත්විය. දැං කළ හැකි දෙයක් නැත. පොරොන්දු වූ ප්‍රකාර, චින්තාට, මනුවෙල් සමඟ යා යුතුමය.

මනුවෙල් , චින්තාව පාච්චල් කරමින් වෙලේ නියර දිගේ තම කුඩා නිවසට කැදවාගෙන ගියේය.

විලියම් ශේක්ස්පියර් ගේ 'ටේමින්ග් ඔෆ් ද ෂෲ' කථාවේ තේමාව මෙය විය. බටහිර චිත්‍රපටයේද, පෙට්රුචියෝ වූ නළු රිචඩ් බර්ටන් අහංකාර උද්දච්ච, කැතරිනාවු එළිසබත් ටේලර්ව තම කුඩා නිවසට රැගෙන ගියේ මෙලෙසය.

සුඛෝපබෝගී නිවසක හැදුණු ⁣උද්දච්ච චින්තාට, මැනුවෙල්ගේ කුඩා නිවසේ කිසිදු පහසුකමක් නොමැතිව ජීවත් වන්නට සිදුවිය. එහෙත් ඇගේ ආඩම්බරකම නම් එකවරම ගියේ නැහැ. මේ හෙයින් මනුවෙල් ඇයට තව තවත් දරදඩු විය. වෙනස් කම් කළේය. නපුරු කම් කළේය. ඒ ඇයව මට්ටු කිරීමටය. ඇය ගැන ඔහුට දුකක් ඇති නොවුනාම නොවේ. එහෙත් ඇයගේ මුරන්ඩු කම යන තෙක් ඔහුට ඒ අන්දමට සිටීමට සිදු විය.

"මා කව්දෝ, කව්රුදෝ,කව්රුදෝ,

කොතැනදෝ, කෙලෙසදෝ,

කොහෙන්දෝ, මට කෙසේ

හමුවේදෝ-මා කව්දෝ"

චිත්‍රපටය අවසන් වන්නේ චින්තා තමා මෙතෙක් ගත කල ජීවිතය නිසරු බව වටහා ගැනීමෙනි. මනුවෙල් කෙතරම් දරදඬුව තමන්ට සැලකුවද, ඒ සළකනුයේ, තමන්ගේ ගතිගුන වෙනස් කිරීමට වගත්, ඉන්පසු නැවත තම නිවසට ඇරලන බවත් ඇයට ප්‍රත්‍යක්ෂ විය. එහෙත් ඒ වන විට ඇයට මනුවෙල් ගැන සෙනෙහසක් සිතේ මෝදු වී තිබුණි. එහෙයින් තම නිවසට නැවත යෑමට උවමනා කමක් ඇයට නොවුණි.

ජේ. සෙල්වරත්නම්ට අනුව, මෙම කථාව ඔහු ශේක්ස්පියර්ගේ 'ටේමින්ග් ඔෆ් ද ෂෲ" කථාවෙන් උපුටා ගත්තකි. ජේ. රාසරත්නම්ට අනුව නම් මෙය 'සවාලේ සමාලේ" දෙමළ චිත්‍රපටයකින් උපුටා ගත්තකි. මා ඉහත තැනක කී ලෙස "සවාලේ සමාලේ" උපුටා ගත්තේ 'ටේමිං ඔෆ්ද ෂෲ' තුළිනි. එබැවින් "කවුද රජා" උපුටා ගත්තේ කොහෙන්දැයි තර්කයක් නැත.

ගාමිණී ෆොන්සේකා, මනුවෙල් ලෙසත්, මාලනී ෆොන්සේකා චින්තා ලෙසත් අති දක්ෂ ලෙස තම චරිත තුළ රඟපෑහ. ලොකු හාමු හියුගෝ ප්‍රනාන්දුය. රුක්මණී දේවි ඔහුගේ බිරිඳය. මාක් සමරනායක පිංහාමිය. ඇන්තනී සී පෙරේරා පුංචි හාමුය. කපිල බැප්ටිස්ට් ප්‍රනාන්දුය. සුදා සෝනිය දිසා වූ අතර, සේන ලෙස ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රඟපෑවේය. ශාන්ති ලේඛා, බී.එස්.පෙරේරා, ප්‍රෙඩි සිල්වා සෙසු චරිත රඟපෑහ.

1976 පෙබරවාරි 27 වන දින ප්‍රදර්ශනය ආරම්භ කළ "කවුද රජා" අතීශය ලෙස ජනප්‍රිය විය. මෙය නිෂ්පාදනය කළේ එම්. රාමසාමිය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.