පරවුණු මල්වල සුවඳ අතීතේ

පරසතු මල්
මැයි 30, 2019

 “බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ

දෙනිපෙත හඩන හිරියා මල් පිපුණාවේ

මා ආදරය දුටු බව නොම හැඟුණාවේ

මා නැති කලෙක සිත් සුවඳක් දනුණාවේ'

 

කවිය මෙතරම් සංවේදීව හදවත තුළට දැනෙන්නට , එය ලියූ නිර්මාණ කරුවා මොනතරම් කලාකාමි රසවතෙක් විය යුතුද?.කලාව යනු රසයකි.

බොනී මහත්තයා කලාවට ඇලුනේ පමණද ඉක්මවාය. කලාවෙන් ඔබ්බට ඇත්තේ මධු මීවිතයි, ඉන් පසු ස්ත්‍රියයි, එතැනිනුත් ඔබ්බට ශෘංගාරයයි. ඔමාර් ඛයියාම් ගේ දර්ශනය බොනී මහත්තයාටද අනුගත වූවකි. 'කවිය, සින්දුව, ගැහැනුන්ගෙ තොල් පට වලට , වයින් වලට ජීවීතේ වුණත් දෙන කෙනෙක් මම' කියා වරක් බොනී මහත්තයා සිරිසේනට කීවේ එසේ අනුගත වූ නිසාය. ඔහුට එහී ඇලී ගැලී සිටින්නට හැකි වුයේ ඔහුගේ ආර්ථීක පසුබිමයි. ආර්ථීකව ඔහු සවිමත් නොවුනා නම්, ඔමාර් ඛයියාම් ගේ දර්ශනය තුළ ඔහුට නිදහසේ, රිසිසේ හැසිරීමට නොහැක.

⁣පි.කේ.ඩී.සෙනවිරත්න බොනී මහත්තයාගේ වෘත්තාන්තය ලියා, තිරනාටකයකට පරිවර්තනය කර භාර දුන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ටය. බොනී මහත්තයා ලෙස්ටර්ට නොගැලපුණා නොව, එය චිත්‍රපටයකට නගන්නට කාල වේලාව සොයා ගැන්මට ඔහුට නොහැකි විය.

ගාමිණී ෆොන්සේකාව මෙය අධ්‍යක්ෂනය කිරීමට නිර්දේශ කළේ ලෙස්ටර්ය. ඩේවිඩ් ලීන්ගේ 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' වැනි දැවැන්ත චිත්‍රපටයක සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස තිබූ පළපුරුද්ද නම් ගාමිණිට චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කිරීමට හිසටත් උඩින්ය. මෙහි මුදල් යොදවන චිත්‍රා බාලසූරියට හා රචක පී.කේ.ඩී.සෙනවිරත්නට මෙම මැදිවියට එළඹෙන බොනී මහත්තයාගේ චරිතය කළයුතුව තිබුණේ එවකට තාරුණ්‍යයයේ පසුවන ගාමිණී ෆොන්සේකාමයයි, එක පයින් කියා සිටියහ. ආනන්ද ජයරත්නව බොනී මහත්තයාගේ චරිතයට ගාමිණී විසින් තෝරා ගත්තද,පී⁣.කේ.ඩී. හා චිත්‍රාගේ බල කිරීමට ගාමිණී බොනී මහත්තයා විය.

ඇත්තටම මේ බොනී කව්ද?. ගාමිණී මෙය අධ්‍යයනය කරන්නට විය. ඔහුට මෙහි බොහෝ රස තැන් අසුවුනි. ඒ රසතැන් අමුතුවෙන් උද්දීපනය කරන්නට ගාමිණීට අවශ්‍ය වූයේ නැත. හේතුව, ගාමිණීගේ මුළු සිරුර පුරාම දිව ගියේ රසය නිසාය. කවිය, ගීතය, සංගීතය, චිත්‍රය, ප්‍රේමය, ආදරය පමණක් නොව ශෘංගාරය ද නොඅඩුව ගාමිණීගේ ඇඟ තුළ ගබඩා වී තිබුණි. පි.කේ.ඩී. මැවූ බොනී මහත්තයා ගේ සත්‍ය ප්‍රතිරූපණය තිබුණේ ගාමිණී තුළමය. එහෙයින් ගාමිණීට තම මුල්ම අධ්‍යක්ෂයෙදී මේ අභියෝගය ගන්නට සිදුවිය. ඒ බොනී මහත්තයාගේ චරිතය රඟපාමින් මෙය අධ්‍යක්ෂණය කිරීමය.

මැදිවියට එළෙඹී එන බොනී විවාහයක් නොකර, තනිකඩව විසුවේ අර ඔමාර් කායිම්ගේ දර්ශනයේ ඇලී ගැලී සිටින්නටය. හැම දිනම එම නිවස තුළ සංගීත සාජ්ජයන්ය. මධු මීවිත ගලා යයි. ස්ත්‍රී පහසද නොඅඩුවේ. කොටින්ම බොනී යනු සල්ලාලයෙකි.

එහෙත් අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකාට බොනීව පෙනුනේ, මේ සල්ලාලයා ඇතුළත තවත් චරිත කීපයක්ය. ඔහු බොනී තුලින් දර්ශනවාදියෙක් දුටුවේය. සෞන්දර්යවාදියෙක් දුටුවේය. උසස් සංගීත රසවින්දකයෙක් දුටුවේය. එමෙන්ම ඉහළ තලයේ කලාකාමියෙක් දුටුවේය. එහෙයින් බොනී සල්ලාලයෙක් වූවද අර ඉහත කී චරිතාංගයන් බොනී තුළින් ඉස්මතු වන්නට ගාමිණී ඉඩ හැරියේය. එම චරිත තැනින් තැනින් ඉස්මතු වී අර සල්ලාල බොනීව යටපත් වන්නට උත්සහ දැරීය.

පී.කේ.ඩී. සෙනවිරත්න ගේ තිරනාටකය තුළින් ගාමිණී, පි.කේ.ඩී.ට වඩා බොහෝ දේවල් දුටුවේය. බොනීගේ හදවත කොනක සැගවී තිබූ ගැඹුරු ප්‍රේමනීය වූ ආදරය, පි.කේ.ඩීට වඩා හඳුනා ගත්තේ ගාමිණීය. බොනී කමලාට පුදන්නට තැත් කළේ ඒ ආදරයයි. චිත්‍ර ශිල්පියෙකු ලවා කමලා, කලයක් උකුලේ තබාගෙන යන දර්ශනය, සිතුවම් කර ගත්තේ, අර ප්‍රේමනීය වූ ආදරය නිසාය. කමලාගේ පෙම්වතා වූ සිරිසේනව කමලාගෙන් වෙන් කරවන්නට, හැකි හැම උප්පරවැට්ටියක්ම බොනී දැම්මෙ අර ප්‍රේමනීය වූ ආදරය නිසාය. ඒ ආදරය මැගීට වත්, නෝනෙටවත්, අන් ස්ත්‍රියන්ටවත් තිබුණේ නැත. අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකා ට පී.කේ.ඩීගේ තිරනාටකයට එහා ගිය මිනිසුන්ගේ නහර වලට කාවදින සියුම් තැන් හසුවුණේ එලෙසය.

තම බංගලාවට ගමේ සිටින රූමත් තරුණියන්ව ⁣ බොනී මහත්තයා විසින් ගෙන්වා ගන්නේ බංගලාව සුද්ධ පවිත්‍ර කර ගැන්මටය. ඉන්පසු ඔවුන්ව යහනට කැඳවා ගැනීමේ තියරිය බොනී මහත්තයා දනී. දරුවෙකු පිළිසදෙන්නට ලක්ෂණ පහළවූ පසු, ඔහුගේ ඈත වතුවල මුර කරුවන්ට, නොඑසේ නම් ඔහු යටතේ වැඩ කරන කෙනෙකුට විවාහ කරදී එයින් ගැලවීමට බොනී මහත්තයා දක්ෂය. නමුත් ඔහුට ගැලවීමක් නොමැති වූයේ නෝනෙ ගෙන්ය. නෝනේ දරු ගැබත් සමඟම බොනී මහත්තයාගේ නිවසේ බලෙන්ම බින්න බැස්සාය. එය බොනී මහත්තයාට මුලින් ප්‍රශ්නයක් වූවද, පසුව ඔහු එය තුරුම්පුවක් ලෙස පාවිච්චි කරන්නට උත්සහා කළේය. ඒ සිරිසේන හා කමලා වෙනුවෙනි.

නෝනෙ බොනී මහත්තයාගේ තියරියට අහුවූ කෙනෙකි. එහෙත් නෝනේ එසේ අහුවුනේ උවමනාවෙන්ම යයි සිතේ. මුළු ගමම බොනි මහත්තයා කව්දැයි දන්නා විට,එම ගමේ ජීවත්වෙන නෝනෙ නොදැන ඉන්න විදහක් නැත. තනියෙන් බොනී මහත්තයා සිටින බංගලාවට යෑම, හුඹසේ නයා ඉන්න බව දැන දැන අත දානවා වගේ වැඩක්ය. නෝනේට සැලැස්මක් තිබූ බවක් පෙනුණි. ඒ බොනී මහත්මයාගේ අතින් අනාථ වී, දරු ගැබක් හදාගෙන එය හේතුවක් කර ගෙන එහී බින්න බැස කවදා හෝ බොනීගේ 'ඔෆීෂියල්' බිරිඳ වී මේ විශාල වූ දේපල වලට අයිතිය කීමටය. එහෙත් බොනී මහත්තයා ඊට වඩා කට්ටය. ඔහු බැලුවේ කුරුල්ලෝ දෙන්නෙක්ව එක ගලකින් විනාශ කිරීමටය.

බොනී මහත්තයාගේ බංගලාවේ රැජින වීමට නෝනේ උත්සහ කරන විට, තම බංගලාවට කමලාව ගෙනත් රැජිනක් කිරීමට බොනී මහත්තයා සිහින මවන්නට විය. නෝනෙගෙන් තම සිරුරේ රාගය පිරිමසා ගත්තද, තම හදවත සෙනෙහසින් පුරවන්නට හැක්කේ කමලාට බව බොනී ⁣දැනගෙන සිටියේය.

නෝනේ ගේ දරු ගැබ ඇතිවුනේ සිරිසේන නිසා යයි, බොනී හා නෝනෙ විසින් මුලුගමේම පතුරුවා හරින්නට සැලැස්සීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ අපේක්ෂාවන් කීපයක් ඉටු කර ගන්නට බොනී උත්සහ ගතී. මෙය කණ වැකුණු පසු කමලා සිරිසේනව සඳහටම අත්හරින බවත්, කමලාගේ දෙමාපියන් කිසිසේත් කමලාව සිරිසේනට නොදෙන බවත් බොනී මහත්තයා සක්සුදක්සේ දැනගති.

එලෙසම එය හේතුවක් කරගෙන බොනීට කමලාව විවාහ කරගැන්මට මග පාදා ගත හැකි බවක්ද බොනී දැන ගෙන සිටියා පමණක් නොව, ඔහු කමලාගේ ගෙදරට ⁣විවාහ යෝජනාවද ඉදිරිපත් කළේය. සතාගේ තරම දන්නා කමලාගේ පියා කීවේ මගෙ කෙල්ලව කෑලි කපලා ගඟක, මුහුදක දැම්මත් බොනී මහත්තයට නම් දෙන්නේ නැති බවය.

මේ අතර, නෝනේද නොයෙක් අයුරින් සිරිසේනගේ සිත දිනා ගැන්මට හැකි හැම උත්සහයක් ගත්තද, ඒවා ව්‍යවර්ථ විය. මුළු ගමම මෙම කථාව විශ්වාස කරද , සිරිසේන අතින් මෙවැනි දෙයක් කිසිදු දිනයක සිදු නොවන බව කමලා දැඩිව විශ්වාස කිරීම,හේතුවෙන් නොනේ ගේ හා බොනීගේ 'ප්ලෑනය' බකල් වන්නට විය. නෝනෙට, බොනී මහත්තයාගේ නිවස තුළම, දරුවා ප්‍රසුත්ත කරන්නට සිදුවිය. ඒ දරුවාගේ පියා බොනී මහත්තයා වූවද, එය 'ඔෆීෂියල්' නොවූ හෙයින් නෝනේගේ දරුවාට පියෙක් නොවිය.

කමලාව නොලැබෙන බව දැන දැන වුවද බොනී මහත්තයා කමලාට දැඩිව ආදරය කරන්නට විය. බොනී මොන තරම් වලත්තයෙක් වූවද, ඔහු සිතනා අන්දමට මේ ඔහුගේ සිතේ පිළිසිදී තිබෙන්නේ පිරිසිදු ආදරයකි. මෙතෙක් කල් ස්ත්‍රීන් ගණනාවක් ඇසුරු කළද, කමලාට බැඳී මෙවන් වූ ආදරයක් කිසිදිනෙක ඔහුගේ සිතේ ඇතිවූයේ නැත. එහෙත් එය තමා සතු කරගැන්ම⁣ට නොහැකි වී ඇත.

පී.කේ.ඩී.සෙනවිරත්න මෙම කථාව තුළින් කියා පෑ හරය එයයි. එය අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකා මනා ලෙස අවබෝධ කරගෙන තිබුණි. ඔහු චිත්‍රපටය උච්ච අවස්ථාවට ගෙන ආවේ මෙතැන් සිටය. එතෙක් සල්ලාලයෙක්, සුරා සොඩෙක්, වී සිටි බොනී මහත්තයා, ප්‍රේමවන්තයෙක් වූයේය. චිත්‍රයට, කවියට, උසස් ගීතයට, සංගීතයට ඇලුම් කළ මේ මිනිසාගේ එකී හැඟුම් සමුද්‍රය එළියට ආයේ මේ ප්‍රේමවන්තයා හරහාය. ආදරය යනු කිම, එය නොලැබෙන විට දැනෙන වේදනාව කිම, යනු බොනී මහත්තයාට වැටහුණේ කමලාගෙන් ඔහුව ප්‍රතික්ෂේප වූ පසුවය. බොනී සිතුවේ තමාගේ මුදල් වලට බලයට, තත්වයට සියල්ලම ගත හැකි බවය. එහෙත් ඒ කිසිවකටත් බොනීට කමලාගේ ආදරය ලබා ගත නොහැකි විය. බොනී මහත්තයාගෙ හදවත ඇතුලාන්තය ප්‍රේම විප්පයෝගයෙන් ඉකිබිඳීන්නට විය.

“සඳකත් පිනි දිය, දියවී ගලනා

සීතල කඳු අතරේ-හද ගොළුවී ඉකි බිඳ

ඔබ හඩනා හඩ-මා සවනේ පෑදේ

 

නිසංසලේ රෑ අහසේ-

නිසංසලේ රෑ ඝන බොල් අහසේ

මිළාන වූ බොල් එළියේ-

ඔබේ නුවන් මිණිපහන් නැගී

ඇවිලේ මා දැසේ"

ඒ බොනී මහත්තයාගේ ⁣ආත්මීය රාවයයි. නමුත් ඔහුට නොකැළැල්ව එය ඒ අයුරින් පිටාරය කිරීමට නොහැක්කේ ඔහු කැළැල් වූ චරිතයක් හෙයිනි. අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකත්, රංගන ශිල්පී

ගාමිණී ෆොන්සේකාත් මේ බොනී මහත්තයාගේ ආත්මීය රාවය මෙන්ම, කැළැල් වූ පෞරුෂත්වයත් හොද හැටි හඳුනා ගෙන තිබුණි.

බොනී මහත්තයා, මානසීකවත්, ශරීරිකවත් වැහැරෙන්න පටන් ගත්තෙත්, තව තවත් සුරාවට ගිජු වන්නට පටන් ගත්තේත් මෙතැන් සිටය. එයින් ඔහු ලෙඩ විය. නෝනේ තමාට බොනී මහත්තයාගෙන් වූ අකටයුතු වලට,බොනී මහත්තයාට රිඳවන්නට පටන් ගත්තේද මෙතැන් සිටය. අවසනයේ බොනී , නෝනෙගෙන් බොන්නට වතුර ටිකක් හෝ ඉල්ලුවද ඇය එය නොදෙන තත්වයට පත්වන්නට තරම් දරුණු විය.

කමලාගේ දෙමාපියන් හමුවී සිරිසේනගේ නිර්දෝෂ භාවය කියා කමලා හා සිරිසේනගේ විවාහය නැවත සකස් කිරීම තමාගේ යුතුකම බව බොනී මහත්තයාට ලෙඩ ඇඳේ සිටම සිහිව්ය. ඔහු ලෙඩ පිටින්ම කමලාගේ නිවසෙට ගොස් ඒ යුතුකම ඉටු කළේය. එයින් පසු කමලා හා සිරිසේන තම දෙමාපියන් නෑදෑ හිත මිතුරන් සමඟ විවාහයට ලෑස්තිවූ අතර, බොනී මහත්තයා ලෙඩ ඇදේ තම මරණය එනතෙක් බලා සිටියේය.

නෝනේ ඔහුව අතහැර ගියාය. එය සාධාරණය. නෝනේ තම ආත්මයත්, ශරීරයත් බොනී මහත්තයා වෙනුවෙන් උගසට තිබ්බද, ඇයට අවජාතක දරුවෙක් හැරෙන්නට ඔහුගෙන් ලැබුණු දෙයක් නැත.

මැගීවද බොනී මහත්තයා විසින් අනාථ කෙරුවද පසුව ඇයව තම වත්තක වැඩ කරන මුරකරවෙකුට විවාහ කර දුන්නෙ ඉඩ කඩම් සහිතවය. මැගී කවදත් බොනීට පක්ෂපාත වී සිට්යාය. නිවසේ බොනීගේ සෙවණැල්ල මෙන් සිටි සේවක අමාරිස්ද, මැගී මෙන්ය. මොන දේ සිදුවුනද, ඔවුන් දෙදෙනා, බොනී මහත්තයාගේ හදවතේ සැගවී තිබූ නොකිලිටිවූ තැන් හඳුනා ගෙන තිබුණී. ඔවුන් බොනී මහත්තයාව අත් නොහැරියේ ඒ නිසාය. රජෙක් මෙන් හිත මිතුරන් පිරිවරාගෙන සිටි බොනී මහත්තයාගේ අවසාන මොහොතේ ඔහු සමඟ සිට්යේද මැගී හා අමාරිස් පමණී.

සල්ලාලයෙකුගේ ආත්ම විවරණයක් වූවත්, මෙම කථාව තුළ බොහෝ සිනමාත්මක අහු මුලු ඇති බවක් ගාමිණී ෆොන්සේකා දුටුවේය.

ලංකාවෙ බිහිවූ හොඳම චිත්‍රපට 10ට "පරසතුමල්" එකතු වූයේ ගාමිණී විසින් පී.කේ.ඩී.ගේ ⁣තිර රචනයේ බොනී මහත්තයාව හොඳ හැටි හඳුනා ගත් නිසාය.

චිත්‍රපටයට ලංකාවේ සිටි දක්ෂතම නළු නිළි කැලක් එක් විය. බොනී මහත්තයා වූ ගාමිණී ෆොන්සේකා සමඟ ටෝනී රණසිංහ සිරිසේන ලෙසින්ද, ඩී.ආර් නානායක්කාර අමාරිස් ලෙසින්ද, පුණ්‍යා හීන්දෙණිය කමලා ලෙසින්ද, අනුලා කරුණාතිලක නෝනෙ ලෙසින්ද, සිරිමති රසාදරී, මැගී ලෙසින්ද එක්විය.

ජෝ අබේවික්‍රම, ශාන්ති ලේඛා, එස්.ඒ.ජේම්ස්, නෙල්සන් කරුණාගම, විජේරත්න වරකාගොඩ, ඩී.ඒ.බාලසූරිය, ප්‍රැන්සිස් පෙරේරා,ධර්මදාස කුරුප්පු, බන්ධු ගුණසේකර,චම්පා ලියනගේ, ෂෙල්ටන් පෙරේරා, සෙසු චරිත රඟපෑහ.

සුමිත්ත අමරසිංහ අද්විතීය ලෙස කැමරාව හැසිරීය. ටයිටස් තොටවත්ත සංස්කාරක වරයාය. ලයනල් අල්ගමගේ සංගීතයට, මහගම සේකර ලියූ ගීත ගැයුවේ ඩබ්.ඩී.අමරදේව,හා සුජාතා අත්තනායකය.

1967 වසරේ සරසවිය සම්මාන උළේලදී, පී.කේ.ඩී සෙනවිරත්න හොඳම තිරනාටකය ලෙස ද, ගාමිණී ෆොන්සේකා හොඳම නළුවා ලෙසද 'පරසතු මල්' වෙනුවෙන් සම්මාන ලැබීය. මතක ලෙස සුජාතා අත්තනායක 'පරවුණු මල් වල' ගීතය වෙනුවෙන් හොඳම ගායිකාව ලෙස මෙම උළෙලේම සම්මානයට පාත්‍ර විය.

'පරසතු මල්' චිත්‍රා බාලසූරියගේ නිෂ්පාදනයකි. එය තිරගත කිරීම ආරම්භ කළේ 1966 සැප්තැම්බර් 26 වන දිනයේදීය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.