දේශපාලන අක්‍රමිකතාවලට එරෙහි මිනිසකුගේ කතාව

නොවැම්බර් 23, 2018

Newton චිත්‍රපටයට පාදක වී ඇති කතා තේමාව සමාජ දේශපාලනික අර්ථයෙන් ඉතාමත් වැදගත් අත්දැකීමකි. කොමියුනිස්ට් ගරිල්ලා නැතහොත් මාඕවාදීන් විසින් ඉන්දියාවේ බලය අත්පත් කරගත් ප්‍රදේශවල ඡන්ද විමසීම් කටයුතු සිදු කිරීමේදී ඇතිවන බාධක සහ රජය හමුදා අතින් සිදුවන අක්‍රමිකතාවන් පිළිබඳව වැනි කාලීන තේමාවකින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.

නූතන් කුමාර් නැතහොත් 'නිව්ටන්' අලුතින් සේවයට බැඳුණු රාජ්‍ය සේවකයෙකි. ඉන්දීය ප්‍රාදේශීය මැතිවරණයේ ආරම්භයත් සමඟ මාඕවාදීන් බහුලව ගැවසෙන, ආදිවාසී මිනිසුන් වෙසෙන ප්‍රදේශ කරා යෑමට ප්‍රධාන ඡන්ද නිලධාරින් අදි මදි කිරිමත් සමඟ නිව්ටන් මේ සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. ශම්බු සහ ලෝක්නාත් යන නිලධාරීන් දෙදෙනා ද මේ සඳහා එක්වන අතර මල්කො නැමැති ආදිවාසී ගුරුවරියක් ද අදාළ ප්‍රදේශයේදී ඔවුන් හා එකතුවීමට නියමිතය. එම ප්‍රදේශයේ දැනටමත් ස්ථානගත වී ඇති හමුදා විසින් ඔවුනට ආරක්ෂාව සපයන බවට රජය විසින් තහවුරු කිරීමත් සමඟ ගමන ආරම්භ වෙයි.

අදාළ ප්‍රදේශයට පැමිණීමත් සමඟ සාමකාමී, සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට නිව්ටන් වෙහෙසෙන නමුත් කිසිදු පුද්ගලයකු ඡන්දය දැමීමට නොපැමිණෙයි. මේ පිළිබඳ හමුදා නායකයා වන ආත්මා සිං සමඟ නිව්ටන් සාකච්ඡා කරන අතර ඔහු පවසා සිටින්නේ තමාට කිසිවක් කළ නොහැකි බවයි. නමුත් රජය විසින් හමුදාවට පවසන්නේ විදේශීය වාර්තාකාරිනියක් එම ප්‍රදේශවලට පැමිණෙන බැවින් කෙසේ හෝ ආදීවාදී ජනතාව ඡන්දය දැමීමට රැගෙන ආ යුතු බවයි.

මේ අනුව හමුදාව විසින් බලහත්කාරයෙන් මිනිසුන් රැගෙන එන අතර වාර්තාකාරිනිය ඉදිරියේ ඉන්දියාව යනු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක් බවට හඟවයි. මෙය දැඩි ලෙස විවේචනයට ලක් කරන නිව්ටන් එය වැළැක්වීමට නිෂ්ඵල උත්සාහයක් ගනී.

ආදිවාසීන් ඡන්දය යනු කුමක්ද, ඡන්දය දැමීමට භාවිත කරන උපකරණය (Voting Machines) හසුරුවන්නේ කෙසේ ද යන්නවත් නොදැන සිටීම හේතුවෙන් ඔවුන්ව දැනුම්වත් කිරීමට නිව්ටන්ට සිදු වෙයි. මෙහිදී ආත්මා සිං පවසන්නේ මෙම උපකරණය සෙල්ලම් බඩුවක් බවත් ඔබ කැමැති සලකුණට ඡන්ද දමන බවත්ය. නිව්ටන් මෙයට විරුද්ධ වුවත් මේ වතාවේදීත් හමුදා බලයට යටත්වීමට ඔහුට සිදු වෙයි.

ඡන්දය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් නිව්ටන් කලකිරීමට පත්ව සිටියත් නියමිත වේලාව අවසාන වනතුරු තම රාජකාරියේ නියැළීමට තීරණය කරයි. නමුත් මාඕවාදීන්ගේ ආක්‍රමණයක් සිදු වී ඇති බවට හමුදාවෙන් දැන ගැනීමත් සමඟ ඔවුන්ට පලායමට සිදු වේ. පලා යන අතරවාරයේ මෙය හමුදාවේ කූට උපක්‍රමයක් බවට තේරුම් ගන්නා නිව්ටන් යළි ඡන්දය විමසීමට උත්සාහ කරත් හමුදාව විසින් ඔහුව නවත්වයි. නැවත යන මග කැලෑව තුළින් ඡන්දය දැමීමට පැමිණෙන ආදිවාසීන් කණ්ඩායමක් මතු වන අතර නිව්ටන් ආත්මාගේ තුවක්කුව ඔහුටම මාන කරමින් කියා සිටින්නේ තම රාජකාරිය කිරීමට ඉඩ දෙන ලෙසයි. නිව්ටන් ඔවුන්ගෙන් ඡන්දය ලබාගත් පසු තුවක්කුව බාරදීමත් සමඟ හමුදා භටයන්ගේ දැඩි පහරකෑමකට ලක් වෙයි.

චිත්‍රපටයේ අවසාන දර්ශනය ලෙස මාස 6 කට පසු නිව්ටන් තම මේසයේ සුපුරුදු පරිදි වැඩ කරමින් සිටින විට මල්කො ඔහු බැහැ දැකීමට එන අතර අවසානයේ කුමක් සිදු වුණේද යන්න අසයි. නිව්ටන් පවසන්නේ නියමිත වේලාවට රාජකාරියට පැමිණීම හේතුවෙන් තමාට සම්මානයක් ලැබුණු බවයි.

2017. 10. 22 දින තිරගත වූ Newton චිත්‍රපටය අමිත් වී. මසුකාර්ගේ අධ්‍යක්ෂණයකි. මිනිත්තු 106 පුරාවට දිවෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අති දක්ෂ නළු රාජ්කුමාර් රාඕ විසින් නිරූපණය කරන අතර පන්කජි ත්‍රිපාති, අන්ජලී පටෙල් (ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ රඟපෑ) රගුබිර් යාදාව්, සංජේ මිෂ්රා ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වී ඇත. හොඳම හින්දි චිත්‍රපටය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ Newton 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ ඉන්දියානු නියෝජනය ලෙස තේරි පත් විය.

ඊට අමතරව Asian Film Awards හිදී හොඳම නළුවාට සහ හොඳම චිත්‍රපටයට හිමි සම්මාන හිමි කරගත් අතර Filmfare Awards හිදී සම්මාන 8 කට නිර්දේශ වී හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානයෙන් පිදුම් ලැබිය. Berlin සහ Hong Kong අන්තර් ජාතික සිනමා උලෙළවල් නියෝජනය කළ Newton 2017 වසරේ වැඩිම ලාභයක් ලැබු චිත්‍රපට අතරින් එකක්ය.

Newton ආශාවෙන් නැරැඹීය හැකි චිත්‍රපටයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.