පමුණුව කලඹා සුනාමියක්

නොවැම්බර් 25, 2018

දෙදහස් හතරේ දෙසැම්බර් විසි හය වැනිදා වන තෙක් සිංහල ශබ්ද කෝෂය තුළ සුනාමි යන වචනයක් තිබුණේ නැත. අතීතයේ කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීමක් ගැන ජනප්‍රවාදයක් තිබුණු නමුදු ඉන් පසුව එවැන්නක් ගැන කොතැනකවත් සඳහනක් නොවීය.

එහෙත් දැන් සුනාමි යන වචනය ඇහෙද්දී පවා සමහරු බියෙන් ඇළලෙති. එය එතරම්ම බියකරු අත්දැකීමකි. ඉකුත් දිනයක අපට සුනාමියක් ගැන ආරංචියක් ආවේය. ඒ ජාඇල පමුණුව ප්‍රදේශයට එහි බලපෑමක් සිදුවන්නට නියමිත බැව් ඒ පුවතෙහි වැඩිදුරටත් සඳහන්ව තිබිණ. සුනාමිය එන තැන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක ඉන්න බවට ද සඳහන්ය.

 

මොකක්ද මේ සුනාමිය. මමත් අප ඡායාරූප ශිල්පි මාලන් කරුණාරත්නත් පමුණුවට ගියෙමු.

පාළු වත්තක් මැද දැවැන්ත ටැංකියකි. අනෙක් අන්තයේ මීගමු කලපුව පෙනෙන්නට තිබේ. ටැංකිය මැද කරවටක් ගිලුණු වෘක්ෂලතාවෝය.

සිතුවා නිවැරිදිය. ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය වන සුනාමි රූගත වන්නේ මෙතැනය. ඒ වෙනුවෙන් මේ ජල ටැංකිය ස්ථාපනය කොට තිබේ. බොහෝ කලකට ඉහතදී තිරගත වූ ධීවරයෝ සිනමාපටයේද විජය චිත්‍රාගාරයේ මෙවැනිම දැවැන්ත ටැංකියක් තැනිණ. සන්ධ්‍යා කුමාරි ඔරුවක නැඟී මුහුදක් මැද පාවෙමින් සිටියි.

මාළිගාවේ මහ රැජිනි මූද යහන වේ.

සුජාතා අත්තනායකගේ හඬ හාත්පස පිළිරැව් දෙයි. ඒ ගීතයට අනුකූලව සන්ධ්‍යා ගයනු ලබයි. මේ දර්ශනය රූපගත කොට ඇත්තේ මුහුදක හෝ ගඟක බව බලා සිටින ප්‍රේක්ෂකයාට දැනෙයි. එතරම් එය තාත්ත්විකය. එහෙත් සිදු වූයේ එවැන්නක් නොව සන්ධ්‍යාට ඔරු පැදීමට ඒ උදෙසාම සුවිශාල වූ ජල ටැංකියක් සාදා තිබීමය. එම සිනමාපටයෙන් පසුව චිත්‍රපටයක් වෙනුවෙන් ජල ටැංකියක් නිර්මාණය කළා නම් ඒ සුනාමි සිනමාපටය සඳහාය.

'අයිනට වෙන්න අයිනට වෙන්න'

මයික්‍රෆෝනයක් තබාගෙන කෑමොර දෙන්නේ සිනමාපටයේ සහාය අධ්‍යක්ෂවරයාය. ඔහු චාමර සේලාරය. ධීවරයෝ මතකයෙන් මිදුණේ චාමරගේ බෙරිහන්දීමත් සමඟය. ඔහු එලෙස විධාන දුන්නේ අපට බැවින් වහ වහා අපි දෙදෙනා ඉවතට පැන ගත්තෙමු. දැවැන්ත ජල කඳක් අප සිටි තැනට වැටිණ. ට්‍රෝලර් මෝටර් ආධාරයෙන් එය නිර්මාණය කොට ඇති වග පසුව දැනගන්නට ලැබිණ. ඒ අප වෙත ආවේ බිමල් ජයකොඩි හසුවන ජල කඳය. පෙර කළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව බිමල් ඇත්තටම බිලිගන්නා දර්ශනය සෝමරත්න රූපගත කිරීමට දැන් සූදානමිනි. පැරැණි ෆොක්ස්වැගන් කාරයක ඔහු නැගී සිටියි.

සෝමෙ අයියා අපි රෙඩි. ටේක් එකකට යමුද.

චාමර අසයි. සෝමෙ අයියා හිස වනා ඕකේ කියයි. ඇක්ෂන් යන හඬ ඇසෙයි. මහා ජල ධාරාවක් බිමල් සිටි කාරය වසා ගනියි. කට් කට් යැයි සෝමේ පවසා කඩිනමින් කාරය ගාවට පැමිණෙයි. බිමල් එළියට බසින්නේ සිනාමුසු මුහුණෙනි.

මුකුත් ගැටළුවක් නැහැනෙ. බිමල්ගේ සියොළඟ බලනා සෝමේ අයියා විමසයි.

මට නම් අවුලක් නැහැ. ඇත්තටම සුනාමියට හසු වුණ අය කොහොම ඉන්න ඇති ද කියලා හිතුණා වතුර පාර එද්දී.

ඒ ටේක් එක සෝමෙ අයියා ඕකේ කළේය.

දර්ශන් ධර්මරාජ් සහ නිරංජනී ශන්මුගරාජා ඊළඟ දර්ශනයට ලැහැස්තිව සිටිති. ඊට පෙරදා දර්ශනයකදී නිරංජිනීගේ කකුලේ කටු ඇනී තුවාල වී ද ඇත.

අයියයියෝ . . . ගාණක් නෑනේ . . . ෆිල්ම් එකනේ අප්පා තුවාල වුණේ.

නිරංජනී පවසයි.

ඉස්පිරිතලේ යැවිය යුතු ගැටලුවක් වුව ද නිරංජනී ඩිස්පෙන්සරියකින් බෙහෙත් දමා චිත්‍රපටය වෙනුවෙන් කැප වි සිටියි. මඩ වතුර පිරුණු ටැංකියට දර්ශන් බැසීමට සූදානමිනි.

අවුලක් නැද්ද මේකට බහින එක.

මම විමසීමි.

ගාණක් නැහැ. ඕන මඩක් මට ඔට්ටුයි.

දර්ශන් අනිත් දෙදෙනකුගේ වාරුව ඇතුව අඩි හයක් පමණ ගැඹුරැති මඩ ටැංකියට බැස්සේය. ඔහුගේ වලිගය මෙන් ආ නිරංජනී ද දැන් ටැංකියේය. දෙදෙනාම සුනාමියට හසුවන දර්ශනය දැන් රූපගත කෙරෙනු ඇත. මෝටර් ක්‍රියාත්මක විය. හාත්පසින් යෝධ රැලි එන්නට පටන් ගත්තේ ජලය ද කළඹමිනි. දර්ෂන් සහ නිරංජනී සැඩ පහරට හසු වී ගසාගෙන යන අයුරු පෙනේ. ක්ෂණිකව දෙදෙනාම අතුරුදන් විය.

වතුර නවත්වන්න, වතුර නවත්වන්න.

සෝමේගෙන් විධානයකි.

වතුර නැවතිණ. දෙදෙනාම පේන්නට නැත.

එතැන සිටි නාවික හමුදාවේ ජීවිතාරක්ෂක භටයෝ වහ වහා වතුරට පැන්නෝය. ඒත් සමඟම දර්ශන් සහ නිරංජනී වතුරෙන් මතු විය. දර්ශන් පියවි සිහියෙනි. නිරංජනීට වතුර පෙවී ඇත. ඇය ද මිනිත්තු කිහිපයකින් පියවි සිහියට ආවාය.

සෝමේ අයියා ටේක් එක ඕකේද, නැත්නම් ආයෙත් ගමු. ප්‍රශ්නයක් නේ . . .

නිරංජනී පවසන්නේ කනට ගිය වතුර ඉවත් කරන ගමන්ය. දර්ශන් ද එවැනිම සූදානමකිනි.

කොහොමද දෙන්නගේ කැපකිරීම. කතාවට අනුව මේ දෙන්නගේ ළමයා තමයි සුනාමියේදී අතුරුදන් වන්නේ. දෙන්නා හැම තැනම ළමයව හොයනවා. කරාපිටිය ඉස්පිරිතලෙදි දෙන්න ළමයව හොයපු එක හරිම තාත්ත්විකව ඉදිරිපත් කළා. බලාගෙන හිටපු අයගෙ ඇස්වලට ඇත්තටම කඳුළක් ආවා.

සෝමේ අයියා දර්ශන්ට සහ නිරංජනීට එලෙස සහතිකයක් ලබා දෙයි.

තවත් එක් දර්ශනයක් රූපයට නැඟීමට සූදානමිනි. බොහෝ වෙලාවක් එතැන ගත කළ අප ඉන් නික්ම ආවේ සුනාමියේ භයංකර සිතුවමක් ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙනි.

සුනාමි හැඩ කරන සෙසු නළු නිළියෝ

 

හිමාලි සයුරංගි, විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, අනුරුද්ධිකා පාදුක්කගේ, ජේ. යෝගරාජා, රංජනී රාජ්මෝහන්, අශෝක සේරසිංහ.

කැමරා අධ්‍යක්ෂණය - විශ්ව බාලසූරිය

කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

ඇඳුම් නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ,

ලකී ආතවුද, කැළුම් රාජාභරණ

අංග රචනය - විධුර අබේධීර

නිෂ්පාදන කළමනාකරණය - මධුරංග ජාගොඩ

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

නිෂ්පාදනය - රේණුකා බාලසූරිය

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.