සඳුන් ගහේ සමන් වැලක් අදට වැඩිය හෙට හොඳයි

නොවැම්බර් 29, 2018

"ඔන්න අලියෙක් කුලප්පු වෙලා"

කියමින් මඟීන් පිරිසක්, හිස් ලූ ලූ අත දුවන්නට විය. ඒ සමඟම අලියෙක්ද මිනිසුන් පසු පස හඹා යයි. ඔය අල්ල පනල්ලේ සුරූපි 'සන්ධ්‍යා' ද ජීන්ස් කලිසමක් ඇඳ ගෙන බයිසිකලයක් පැද ගෙන ඉදිරියට එයි. අලියා සන්ධ්‍යාව දකී. සන්ධ්‍යාගේ රූමත් කමටදෝ අලියාට මදන විසේ ගසා, මදන කුලප්පුව හැදෙන්නට පටන් ගනී. අලියා අර මිනිස්සූ සියල්ලම අතහැර සන්ධ්‍යා පසු පස එලවා යන්නට වූයේ ජීවිතේකටවත් ලස්සන කෙල්ලෙක් දැකලා නැහැ වගේය. සන්ධ්‍යා තමනට හැකි වේගයෙන් බයිසිකලය පැද්දද, අලියා ඊටත් වඩා වේගයෙන් පැමිණ සන්ධ්‍යා ලඟට කිට්ටු වෙයි. තව මොහොතකින් අලියා සන්ධ්‍යාව අල්ලා ගනීයි. එහෙත් ඒ මොහොතේම 'ගාමිණී' පැමිණ සන්ධ්‍යාව බේරා ගනී. ගාමිණී පැමිණෙන්නේ කොහේ සිටදැයි අපට වැඩක් නැත. අපට උවමනා කව්රු හෝ පැමිණ අප සිත් ගත් සුන්දර යුවතියව අර මදන කුලප්පුව හැදුණු අලියාගෙන් බේරා ගැන්මටය. එහෙත් අප නොසිතු ලෙස එතැනට පැමිණීයේ භද්‍ර යෞවනයේ සිටි කඩවසම් තරුණ ගාමිණීය. ඒ දුටු අලියාට 'මල' පැන සන්ධ්‍යා පැදගෙන ආ බයිසිකලය තම කකුලෙන් පාගා 'චප්ප' කර දැම්මේය.

චිත්‍රපටයක් බැලීමට යාමට අම්මාට දැඩි උවමනා කමක් තිබුනි. එවකට ඉතාමත් කුඩා වයසේ සිටි මා හා මා වැඩිමල් සොහොයුරියන් සමඟ චිත්‍රපටය බැලීමට යාමට උවමනා කම තිබුනද, අපට මුදල් ඉල්ල ගන්නට සිදුවන්නේ තාත්තා ගෙනි. තාත්තා සිංහල චිත්‍රපට බලන්නේ නැත. මුදල් ඉල්ලන කාර්ය පවරන්නේ කුඩා මටය. මා තත්තාගෙන් මුදල් ඉල්ලුවේ අද චිත්‍රපටය බැලීමට අප සැලසුම් කර සිටින නිසාය. තාත්තා චිත්‍රපටයෙ නම මොකක්දැයි ඇසීය.

"අදට වැඩිය හෙට හොඳයි" අපි සියල්ලෝම කීය.

 

"ආ එහෙනම් හෙට බලමු" තාත්තා කීය.

"ඇයි ඒ" අප සියල්ලෝම ඇසිමු.

" පේන්නෙ නැද්ද නමේම තියනවා "අදට වැඩිය හෙට හොඳයි" කියලා. ඉතින් හෙට යන්න".

ඇත්තෙන්ම අපට චිත්‍රපටය බලන්න යන්න ලැබුණෙත් පහු වෙනිදාය. අපේ තාත්තා ඒ නමේ තේරුමෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ එසේය.

ඇල්ප්‍රඩ් කම්කරුවෙකි. ඔහුට දරුවන් දෙදෙනෙක් සිටි අතර, තුන්වෙනි ළමයා ගේ ප්‍රසුත්තිය බලාපොරොත්තුවෙන් ඔහුගේ බිරිඳ සිටියාය. ඔවුන්ගේ වැඩි මහලා දියණියක් වූ අතර, දෙවැන්නා පුතෙකි.

තුන්වන දරුවාට උපත දෙන විට, කම්කරුවා වූ ඇල්ප්‍රඩ් ගේ බිරිඳ මිය ගියාය. තුන්වන දරුවාද පුතෙක් වූ අතර, ඔහුව බලා ගැන්මේ වගකී⁣ම පැවරුනේ මේ කුඩා වැඩිමහල් සහෝදරිය වූ ශ්‍රියානි ටය.

"බාලොලි ලොලි දොයිය බබා

නාඩා නිදීයන්න බබා

බා ලොලි ලොලි දොයිය බබා

සඳ විමනින් සුදු සඳුන් අරන්

පරසතු මල් වල සුවඳ පෙරන්

චන්දන කල්කය බබුගේ හිසේ

ගල්වති දෙවඟන නිදන ලෙසේ"

ඇය තම කුඩා සොහොයුරාව නැළවූවේ ඒ අයුරිනි.

කම්කරුවා තම ළමුන් තිදෙනා සමඟ සිටියේ ගබ්‍රියෙල් මුදලාලිට අයිති නිවසක කුලියටය. ගබ්‍රියෙල් මුදලාලිට කඩයක් තිබූ අතර, හේ සටකපට, හිතක් පපුවක් නැති දුෂ්ඨ පුද්ගලයෙක් විය.

කම්කරුවා හදිසි අනතුරකට භාජනය වෙන්නේ මේ අතරේදීය. එම අනතුරින් ඔහුගේ දෑස් අන්ධ වූ අතර, ඔහුව රැකියාවෙන්ද අයින් කෙරීය. මේ හේතුවෙන් ඔවුන් අන්ත අසරණ තත්වයකට පත් විය. ඔවුන්ගේ එකම පිහිට හා බලාපොරොත්තුව වූයේ ගබ්‍රියෙල් මුදලාලිවය. එහෙත් මේ දුෂ්ට මිනිසා ඔවුන්ව නිවෙසින් පන්නා දැමුවේ රැකියා නැති අන්ධයින්ට ගෙවල් කුලි ගෙවීමට හැකියාවක් නොමැති නිසා, පිනට ගෙවල් දීමට නොහැකිය කියමිනි. ඒවන විට ශ්‍රියානිගේ වයස අව්රුදු දහයක් පමණ විය.

එසේ එළවා දැමූ පවුලම මහ මඟට වැටුණි. අන්ධ පියා හිඟමනේ හෝ ගොස් ළමයින්ට කන්න දෙන්නට උත්සහා කළද, ශ්‍රියානි තම කුඩා සහෝදරයන් දෙදෙනාවත් රැගෙන දුම්රියක නැගී කොළඹ බලා පිටත් විය.

මේ එකල ඉන්දීය චිත්‍රපටවල සුලභව යන කථාන්තරය. කුඩා කලම තාත්තා, අම්මා, හා ළමයි සී සී කඩ විසිරි, පසුව තරුණ කල සිංදුවක් හරහා අම්මල තාත්තලා අක්කලා නංගිලා, අයියලා මල්ලිලා, ඔක්කොම හඳුනා ගනී. ඒ වෙන කොට ඒ අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලාට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා, බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා, ඔක්කොම ගානට සෙට් වී සිටියි. ඉන්දියාවෙන් මේවා රැගෙන ආවේ ඉන්දීය අධ්‍යක්ෂක වරුන්මය. මෙම තේමා රාමුව දෙදහස් වසර වන තෙක් අපේ අය ජයටම රැගෙන ආවෝය. දැනුත් උන්නු උන්නු ගමන් මේ වගේ අප්‍රබංස දේ සිංහල චිත්‍රපට හරහා සිද්ධ නොවෙනවාම නොව.

ශ්‍රියානි හා සහෝදරයන් කොළඹදී එකිනෙකා මග හැරෙයි. එහෙම මග නොහැරුනා නම් චිත්‍රපටය දිගටම ගෙන යාමට නොහැක. සිය සොහොයුරන් දෙදෙනා අහිමි වී, බලවත් සෝ තැවුලකට පත් වූ ශ්‍රියානී, පදික වේදිකාවේ හඩමින් සිටින විට, තැරැව් කාරයෙක් ඇයව නිවසක මෙහෙකාර කමකට භාර දෙයි. එම ගේ හිමි කාන්තාව ඉතාමත් ධනවත්ය. එලෙසම ඉතාමත් නපුරුය. දෙමළ, හින්දි, මෙන්ම සිංහල චිත්‍රපට වල ඒවා සිද්ධ වෙන්නෙ ඒ අයුරිනි. ප්‍රධාන නිළියට ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව රැගෙන දීමටය අධ්‍යක්ෂක එලෙස කෙරෙනුයේ. එම නිවසේ මෙම ධනවත් කාන්තාවගේ ඥාති පුත්‍රයෙක් සිටී. ඔහු ශ්‍රියානීට ඉතා ලෙන්ගතුව තම නැඟණියකට මෙන් සළකයි. ශ්‍රියානිට මෙහිදී ලැබුණු එකම සතුට ඒ ළෙන්ගතු කම පමණි.

ශ්‍රියානිගේ නැතිවූ සොහොයුරන් දෙදෙනාගේ වැඩිමහලා 'ආනන්දය'. බාලයා 'ගාමිණී'ය. ඔවුන් දෙදෙනාවද දෙදෙනෙකු විසින් දරුකමට හදාගැන්මට අධ්‍යක්ෂක මස්තාන් විසින් ගානට සෙට් කරයි.

වත්තල හැඳල ප්‍රදේශයේ ඉඳීකෙරු 'විජය' චිත්‍රාගාරයේ නිපදවූ පළවන චිත්‍රපටය වූයේ මේ "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටයය. කේ.ගුණරත්නම් විසින් නිෂ්පාදනය කළ මෙය, අධ්‍යක්ෂනය කළේ එම්.මස්තාන්ය. ඩබ්ලියු.ඩී. අමරදේවයන් තනු නිර්මාණ කෙරූ අතර, ආර්.මුත්තුසාමි සංගීත අධ්‍යක්ෂනය කළේය. කරුණාරත්න අබේසේකරගේ පදමාලාවන් ගීතවත් කළේ, ජේ.ඒ.මිල්ටන් පෙරේරා ,ලතා වල්පොල, මල්ලිකා කහවිට හා ,ඉන්ද්‍රානි විජේබන්ඩාරය.

කාලය වසර දහයක් පමණ ගත විය. තාරුණ්‍යයේ පසුවූ ගාමිණී, මදන කුලප්පුව හැදුනු අලියාගෙන් සන්ධ්‍යාව බේරා ගත් පසු, එම මදනය ගැසූ අලියාට දිනා ගන්නට බැරි වුනු සන්ධ්‍යාගේ හිත, ගාමිණී විසින් දිනා ගතී.

මේ අතර ආනන්ද සංගීත ගුරුවරයෙක් වී සිටියේය. ඔහු එක්තරා ධනවත් මුදලාලි කෙනෙකුගේ දියණියකට නිවසට පැමිණද සංගීතය උගන්වයි. ඇය සුරූපි විජිතාය.

"සඳුන් ගසේ, සමන් වැලක් එතෙන්නේ

නඳුන් වනේ සිසිල් සුවය සොයන්නේ

සැලෙයි ලෙලෙයි දෙගොඩ තලා

ගඟක් ගලයි සයුර බලා

මුහුදට හාවී, ගඟ හාදු පුදාවී"

ආනන්දට ,විජිතා පෙම් කරන්නට විය. ඒවා එහෙම විය යුතුමය. මේ අතර අර ශ්‍රියානී ගේ නිවසේ සිටි ධනවත් ගේ හිමි කාන්තාවගේ ඥාති පුත්‍රයා දැන් කඩවසම් ඉලන්දාරියෙක් සේම ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්ද විය. අප සිතූසේම ඔහු ශ්‍රියානීව විවාහ කරගැන්මට ඔහු විසින්ම යෝජනා කළද, ශ්‍රියානි එයට තරයේම විරුද්ධ විය.

ආනන්දගේ පෙම්වතිය වූ විජිතාගේ පියා අර ඒ කාලයේ ආනන්දගේ මුළු පව්ලම නිවසින් එළියට ඇද දැමූ ගබ්‍රියෙල් මුදලාලිය. එහෙත් ආනන්දවත්, ගබ්‍රියෙල් මුදලාලිවත් එකිනෙකා හඳුනා ගන්නේ නැත. එහෙත් බලා සිටි අප නම් ඒවා එහෙම වෙන බව මුල සිටම දැන ගතී.

ගාමිණී ගේ පෙම්වතිය වූ සන්ධ්‍යාගේ පියාද ධනවත් ව්‍යාපාරිකයෙකි.

දැන් ගාමිණීට පෝසත් රූමත් පෙම්වතියක් සිටී. ආනන්දටද පෝසත්, රූමත් පෙම්වතියක් සිටී. ශ්‍රියානිටද වෛද්‍යවරයෙක් සිටී. තවම ශ්‍රියානි ඒකට ඕ.කේ. එක නොදුන්නද,ඒවා අනිවාරයෙන්ම, කලට වේලාවට සිදුවෙන බව නම් ප්‍රේක්ෂකයන් දනී. දැන් අවශ්‍ය මේ සහොදර සහෝදරියන්ව එකතු කිරීමය. එයට නැතිවූ අන්ධ පියාවද එකතු කළ යුතුය. ඒ අය එකතු කලේ ලතා වල්පොලය.

"බබු මගෙ උකුලට තුරුල් වුණේ

තෙපි කවි කියපිය කුරුල්ලනේ

සාමය සම්පත සතුට සොයා

ගෙට ගොඩ වෙයි හෙට අපගේ පියා

අදට වැඩිය හෙට හොදය කියා

අවර ගිරෙන් හිරු නොපෙනී ගියා.

රන් ඉර අඟින් රන් කිරණ ලබා

අරුණ නැඟෙන තුරු නිදනු බබා

බාලොලි ලොලි දොයිය බබා

නාඩා නිදියන්න බබා

බාලොලි ලොලි දොයිය බබා'

ශ්‍රියානී විසින් ගැයූ මේ ගීතය, බොහෝ අයගේ මතකයන් පාරන්නට විය. එය ඔවුන්ගේ අන්ධ පියාවද ඒ දිගේ ඔවුන්ව සොයා එන්නට සැලැස්විය. ඒවා මාරයිය. ඒ 'පිච්චැර්' වල හැටිය. ඕවා සිද්ධ වෙන ආකාරය සොයනවාට වඩා ඒ ඔක්කොම අය එකතු වී අපිට දෙන 'ආතල්' එක විදීමය වඩාත් නුවනක්කාර කම.

කෙසේ හෝ ඒ සියල්ලෝම එකට එකතු විය. ආනන්ද, විජිතාව විවාහ කර ගත් අතර, ගාමිණී, සන්ධ්‍යාව විවාහා කර ගතී. ශ්‍රීයානී වෛද්‍යවරයාට කැමැත්ත දුනි. ගබ්‍රියෙල් ඇල්ප්‍රඩ් ව හඳුනා ගත් අතර, සියලු වාද බේද තරහ මරහ අමතක කර සියල්ලෝම එකතු වූ අතර, ඇල්ප්‍රඩ් ගේ දෑස් සුව කිරීමට වෛද්‍යවරයා නොහොත් ඔහුගේ බෑනා ඉදිරිපත් විය. ඒවා නම් මාර 'කන්සෙප්ට්'ය.

ඇල්ප්‍රඩ් කම්කරුවා ලෙස ඇල්ප්‍රඩ් එදිරිමාන්න, ශ්‍රියානි ලෙස ජීවරාණි කුරුකුලසුරිය ,වෛද්‍යවරයා ලෙස නෙල්සන් කරුණාගම, ආනන්ද ලෙස ආනන්ද ජයරත්න, විජිතා ලෙස විජිත මල්ලිකා,ගාමිණී ලෙස ගාමිණී ෆොන්සේකා,සන්ධ්‍යා ලෙස සන්ධ්‍යා කුමාරි,ගබ්‍රියෙල් ලෙස හියුගෝ ප්‍රනාන්දු, සන්ධ්‍යා ගේ පියා ලෙස එච්.ඩී.කුලතුංග 'අදට වැඩිය හෙට හොඳයි'චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවෝය. ඇන්තනී සී. පෙරේරා, තලතා ගුණසේකර, ක්‍රිස්ටි ලෙනාඩ් හා හර්බට් අමරවික්‍රම සෙසු චරිත වලට පණ පෙවුහ.

සන්ධ්‍යා කුමාරී ලාංකේය සිනමා රිදී තීරයට හඳුන්වා දුන්නේද "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටයෙනි. තලතා ගුණසේකරගේ ආගමනය සිදුවුනේද මෙම චිත්‍රපටය තුළිනි.

1963 මාර්තු 9 දා සිමාසහිත සිනමාස් සමාගමේ ශාලාවල තිරගත කළ "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටය දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ චිත්‍රපටයක් සේම, ගාමිණි,ජීවරාණි,ආනන්ද,සන්ධ්‍යා,

විජිතා, යන නළුනිළියන්ගේ ජනප්‍රිය මාවත විවෘත කර දුන් චිත්‍රපටයක් ලෙසද හඳුන්වා දිය හැක.