ත්‍රාසය හා ජීවිතය යනු කුමක්ද? CAPTAIN PHILLIPS

දෙසැම්බර් 6, 2018

බයිස්කෝප් හි වීරයාට වයස් භේදයකින් තොරව අප කවුරුත් ආදරය කරති. නමුත් සැබෑ ජීවිතයේ වීරයාට වැඩි වටිනාකමක් ඇති බව කිව යුතුමය. ඊට හේතුව ජීවිතය යනු බයිස්කෝප් පටයක් නොවන බැවිනි. Captain Phillips චිත්‍රපටය එවැනි සැබෑ වීරයකුගේ සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය වූ සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැකිය. මෙම සිදුවීම ඇති වූ කාල වකවානුව තුළ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් බහුලව පැවැතුණු අතර කපිතාන් පිලිප්ස් ඇතුළු ඔහුගේ නාවික සගයන් සෝමාලියානුවන්ගේ ප්‍රහාරයකට නතු වීම සහ ඒ ආක්‍රමණයට ඔවුන් මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටයට සාරාංශය වී ඇත.

රිචර්ඩ් පිලිප්ස් MV alabama කන්ටේනර් නෞකාවේ කපිතන්වරයාය. අදාළ නෞකාව කෙන්යාවේ මොම්බසා වරායට රැගෙන එන ලෙස ඔහුට අණ ලැබෙන අතර තම දෙවැනියා වන ෂේන් සහ අනෙකුත් නාවිකයින් සමඟ ඔහු ගමන ආරම්භ කරයි. මොම්බසා දක්වා යන මාර්ගය මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශයක් බැවින් සියලු දෙනාම දැඩි සෝදිසියකින් සිටිය යුතු බව ෂේන් සෙසු නාවිකයන්ට දන්වයි. ගමන ආරම්භ වී පැය කිහිපයකට පසු ඔවුනට දැකගන්නට ලැබෙන්නේ කුඩා බෝට්ටු දෙකකින් කොල්ලකරුවන් පිරිසක් ඔවුන් ලුහුබඳින ආකාරයයි. කපිතාන් පිලිප්ස් නාවුක හමුදාවට කතාකර උදව් ඉල්ලීමට තීරණය කළත් කොල්ලකරුවන් රේඩියෝ සංඥාවලට හොරෙන් සවන් දෙන බව තේරුම් ගෙන, නෞකාවට ගුවන් හමුදාවේ ආධාර ලැබෙන බවට බොරු සංවාදයක් ගොඩනඟයි. එයින් බියට පත්ව එක බෝට්ටුවක් පලා යන නමුත් අබ්දුවාලි මූස්ගේ නායකත්වය යටතේ පැමිණෙන බෝට්ටුව තම ලුහුබැඳීම දිගටම සිදු කරයි. නමුත් බෝට්ටුවේ එන්ජිම අක්‍රියවීමත් සමඟ ලුහුබැඳීම අවසන් වන අතර පිලිප්ස් ඇතුලු කණ්ඩායම වාසනාව නිසා බේරුණු බව සිතමින් සතුටු වෙයි.

අවාසනාව යළිත් ඔවුන් කරා පැමිණෙන්නේ පසු දින උදෑසන මූස් ඇතුළු කොල්ලකරුවන් වෙනත් බෝට්ටුවකින් ඔවුන් ලුහුබඳින ආකාරය දැකීමත් සමඟය. මෙවර ඔවුන් කෙසේ හෝ නෞකාව අත්පත් කරගන්නා බව තේරුම් ගන්නා පිලිප්ස් සෙසු සගයයන්ට පවසන්නේ තමාට හසුවීමට ඉඩ දී සැඟවෙන ලෙසයි. කොල්ලකරුවන් නෞකාව ඔවුන්ගේ යටතට ගන්නා අතර කපිතාන් පිලිප්ස්ව අත් අඩංගුවට ගනී. සෙසු නාවිකයන් සෙවීම අතරතුර මූස් සැඟ වී සිටින නැවියන්ගේ ග්‍රහණයට හසු වන අතර ඔවුන් කොල්ලකරුවන්ට පවසන්නේ පිලිප්ස්ව මුදා හරින්නේ නම් මූස්ව මුදාහරින බවත් නෞකාවේ අමතර බෝට්ටුවෙන් ඔවුනට කිසිදු උපද්‍රවයකින් තොරව පිටව යා හැකි බවත්ය. එම ගනුදෙනුවට කැමති වන මූස්ගේ දෙවැනියා නයිජී පවසන්නේ තම නායකයා බෝට්ටුව තුළට පැමිණෙන තෙක් පිලිප්ස් ඔහු සමඟ සිටිය යුතු බවත් බෝට්ටුව ක්‍රියා කරන ආකාරය කියා දිය යුතු බවත්ය. පිලිප්ස් එයට එකඟ වන අතර බෝට්ටුව ක්‍රියා කරන ආකාරය පෙන්වන විට මූස් බෝට්ටුවට පැමිණෙයි. ඉක්මනින් ක්‍රියාත්මක වන නයිජී පිලිප්ස්ට පහර දෙන අතර ඔහු සමඟම කොල්ලකරුවන් බෝට්ටුව රැගෙන පලා යයි. කිසිවක් සිතා ගැනීමට නොහැකි වන ෂේන් ඇමරිකානු හමුදාවට මේ බව පවසයි.

බෝට්ටුවෙන් කොල්ලකරුවන් සෝමාලියාවට පලා යන අතරතුර නයිජී පවසන්නේ පිලිප්ස්ව මරා දැමිය යුතු බවයි. නමුත් මූෂ් පවසන්නේ මොහුව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබාගෙන ඔහු වෙනුවෙන් කප්පම් මුදලක් ලබාගත යුතු බවයි. මේ අතරතුර ඇමරිකානු නාවික හමුදා විසින් බෝට්ටුව වට කරන අතර කොල්ලකරුවන්ට යටත් වෙන ලෙසට පවසයි. එයට විරුද්ධ වන මූස් පවසන්නේ පිලිප්ස්ව අවශ්‍ය නම් ඔවුනට කප්පම් මුදලක් දෙන ලෙසයි. පිලිප්ස් මෙහිදී පැන යාමට උත්සාහ කරන නමුත් කොල්ලකරුවන් ඔහුව යළිත් ඔවුන්ගේ ග්‍රහණයට ගනී. හමුදාව ගනුදෙනුවට එකඟ වන අතර මුදල් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට මූස්ට දන්වයි. මූස් හමුදා බෝට්ටුවකට ගොඩවීමත් සමඟ සැඟවුණු වෙඩික්කරුවන් විසින් අනෙක් කොල්ලකරුවන්ට වෙඩි තබයි. (මෙය ඇමරිකානු යුද ඉතිහාසයේ සුවිශේෂීම වෙඩි තැබීමක් බවට පිළිගනී). සිදු වූයේ කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිව සිටින මූස්ට හමුදා නායකයා විසින් පවසන්නේ ඔබේ සගයන් මැරූ බවත් ඔබව අත් අඩංගුවට ගන්නා බවත්ය. දින 5 ක් තුළ බෝට්ටුව තුළ සිර වී සිටින කපිතාන් පිලිප්ස්ව හමුදාව විසින් මුදා ගනු ලබයි. චිත්‍රපටය අවසාන වන්නේ කම්පනයට පත් කපිතාන් පිලිප්ස්ට හෙදියක් විසින් ප්‍රතිකාර කරන අවස්ථාවකින්ය. තමාට සිදු වූයේ කුමක් ද යන්න සිතා ගැනීමට නොහැකිව දැඩි කම්පනයකින් අඬා වැලපෙන පිලිප්ස්්ට තේරුම් යන්නේ තමා ජීවත්ව සිටින තාක් මේ කම්පනයෙන් තමාට මිදීමට නොහැකි වන බවයි.

මෙම සත්‍ය සිදුවීමට මුහුණ දුන් රිචර්ඩ් පිලිප්ස්ගේ A Captain's Duty නව කතාව මෙම සිනමා කෘතිය නිර්මාණය කිරීමට පාදක වී ඇති අතර මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ පෝල් ග්‍රීන්ග්‍රාස් විසිනි. මෙහි එන කපිතාන් පිලිප්ස්ගේ චරිතය අති දක්ෂ රංගන ශිල්පියකු වන ඔස්කාර් සම්මානලාභී ටොම් හෑන්ක්ස් විසින් නිරූපණය කරන අතර බර්නාඩ් අබ්දී විසින් මූස්ගේ චරිතය නිරූපණය කරයි. ටොම් හෑන්ක්ස්ගේ රංගනය අබිබවා අබ්දීගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ලක්වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන 6 ට නිර්දේශ වූ අතර Golden Globes, Empireawards, British Academy Awards ඇතුලු සම්මාන උලෙළවල් රාශියකට නිර්දේශ වී සම්මාන දිනා ඇත. මිනිත්තු 134 පුරාවට දිවෙන Captain Phillips  සිනමා කෘතිය සඳහා 7.8 වැනි ඉහළ අගයක් IMDb දර්ශකය ලබා දී ඇත.

මෙම චිත්‍රපටය බලන විට අමුතුම සංත්‍රාසයක්, ඉදිරියට කුමක් සිදුවේද යන්න දැඩි කුතුහලයක් මා තුළ ඇති විය. මා හට එසේ නම් මෙම සත්‍ය සිදුවීමට මුහුණ දුන් රිචර්ඩ් පිලිප්ස්ට ඇති වුණු බිය, කුතුහලය, හැඟීම් කෙසේ වේද යන්න මට සිතා ගත නොහැකිය. සත්‍ය කතාවක් චිත්‍රපටයකට නැඟීම පහසු කාර්යයක් නොවේ. ඊට හේතුව ප්‍රේක්ෂකයා දන්නා කතාවක් ඒ ආකාරයෙන්ම ගෙනහැර පෑම ඒකාකාරී ස්වභාවයක් ගන්නා බැවිනි. එසේ ඒකාකාරි නොවන සේ එක හුස්මට ප්‍රේක්ෂකයාට බැලීමට හැකි වන පරිදි චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳව අධ්‍යක්ෂවරයාගේ දැක්ම සහ හැකියාව පිළිබඳව ඔබට කිව යුතුමය. මෙම සිනමා කෘතිය මෙරට ප්‍රදර්ශනය නොවුණු අතර මා දන්නා තරමින් රූපවාහිනිය හරහා ද විකාශනය නොවුණි. ඔබ පික්චර් පිස්සෙකු නම් මෙම චිත්‍රපටය අනිවාර්යයෙන්ම ඔබේ පික්චර් ගොනුවට එකතු කර ගන්නා ලෙසට මා ඔබට යෝජනා කරමි. කිමද බයිස්කෝප් වීරයාට මෙන් සැබෑ ජීවිතයේ වීරයාට ද ආදරයක් මට මෙන් ඔබට ද ඇති විය හැකි බැවිනි.

ශානක මිහිඳුකුල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.