දඩයමේ ඉතිරිය දඩ ඉම ලෙසින් තැනෙන අයුරු

වෛද්‍ය නෙඕමාල් පෙරේරාගේ අධ්‍යක්ෂණයක්
දෙසැම්බර් 13, 2018

එදා රත්මලී මෙදා රෝහිණී

යටගිය දවසක රත්මලීගේ කතාව යටපත් විය. එය එසේ වී වසර තිහකුත් ගෙවී ගොස් අවසන්ය. රත්මලීගේ ඝාතකයා වූයේ කලී ජයනාත්ය. තම ලෙයින් ජාතකව කුසේ පිළිසිදගත් දරුවා ද සමඟ ඇගේ ජීවිත ගමන හමාර කළ ජයනාත් අප සිනමා ඉතිහාසයේ බිහිසුණුම දුෂ්ටයා විය. ඒ සංසිද්ධිය සිනමාවේ පුරාවෘත්තයක් තරමටම හොඳ හැටි මතකය.

ඒ වසන්ත ඔබේසේකරගේ දඩයම චිත්‍රපටය සමඟය. ඔබ ද මම ද දැන සිටියේ එම අවසානය තෙක් පමණි. එතැනින් ඔබ්බට ගිය වර්තමාන කතාවක් ද ඇති බවට රහසිගත සාක්ෂියක් අපට ලැබුණේය. කඳාන මොරාවත්ත පාරේ කෙරවලෙහි පිහිටි එක්තරා නිවසකට අප පියමැන්නේ ඒ හෝඩුවාව ඔස්සේය.

මෙතැන අපට හුරුපුරුදු තැනකි. සුපිරි නළු විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, රන්ජන් රාමනායක ආදී තරු රැසක් එක් රැස් වූ මේ නිවසෙහි කොතරම් සොඳුරු අතීත මතකයන් ඇත්දැයි හිතාගත නොහැකිය. ක්‍රිස්තු චරිතය සිනමාවට ගෙනා ඇලරික් ලයනල් ප්‍රනාන්දු නිවස මෙය වන්නේය. ඒ මොහොතේ හුදකලා වූ අපි විවරකොට තිබූ ජනේලයක් යාබදව නැවතුණෙමු. එය කන්තෝරු කාමරයක් බව වැටහෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. මට කන්තෝරු කාමරයේ ඉදිරියට යාමට අවශ්‍ය විය.

ජනාධිපති නීතිඥ කීර්ති ගජනායක.

දොරෙහි සවිකොට තිබූ පුවරුවෙ ඇති නමය. මේ ඔහුද? මසිතට ඇති වූ කුතුහලය නිමා කර ගන්නේ කෙසේද?

මල්ලි, අපි දොර ඇරියට කමක් නැත්ද?

වෙනත් තැනකින් කර පොවා බැලූ තරුණයෙකුගෙන් මා ඇසුවෙමි.

කමක් නැහැ. යන්න.

ඉන් ලද අවසරය මත යුහුසුලුව අපි දොර විවර කොට ඇතුළු වීමු.

දැවයෙන් නිම වූ සුවිශාල මේසයක් මත දෙඅතට බරදී පුද්ගලයකු වාඩි වී සිටියි. තඹ පැහැ ගැන් වුණු ලියුම් කඩදාසි කිහිපයක් දෙස ඔහුගේ නෙත යොමු වී බලා සිටියි. හිසෙහි කෙස් මුලුමනින්ම සුදු පැහැ ගැන් වී තිබුණ හෙයින් ඔහුගේ වයස අවුරුදු හැට ඉක්මවා ඇතැයි මට සිතිණ. සුදු පැහැ අත් දිග කමිසයේ දෙඅත් අපිළිවෙළට නවා තිබිණ. ගැටය අඩක් ලිහුණු ටයි පටිය කරෙන් ගලවා තබන තෙක් ඔහේ එල්ලෙමින් තිබිණ. වම් අතහි වැලමිටහි වදින නොවදින තරමට පිස්තෝලයක් සුවසේ තිබෙනු පෙනිණ.

මම සෙමින් උගුර පෑදුවෙමි.

පළමුවර කල්පනාවෙන් නොමිදුණු ඔහු හිස ඔසවා බැලුවේ දෙවන වර මා එලෙස කරද්දීය.

වාඩිවෙන්න.

කීර්ති ගජනායකගේ දෙනෙත් මොකක්දෝ රහසක් සැඟවීමට උත්සාහ කරයි. ඇහිපිය වදින වාරයක් පාසා එය අලුත්වන වගක් මට දැණින.

එදා රත්මලී මැරුණේ නැහැ.

ඔහු දිගු කතාවකට මුල පිරුවේ පිස්තෝලය ලාච්චුවක රුවන ගමන්ය. එය මගේ අවධානයට ලක් නොවිය යුතු යැයි කීර්ති සිතන්නට ඇත.

ඉතින්?

මම විමසීමි.

මට ජාතක වුණේ පුතෙක්. එයා මේච්චර කල් හැදුණේ වැඩුණේ පිටරට. ඌ දැන් ගජ ඉලන්දාරියා. නම රවිනාත්. පහුගිය දවසක රවිනාත් ලංකාවට ආවා. ප්‍රශ්න සේරම පටන් ගත්තේ එතැනින්.

මට මෙතෙක් සැකයකට තිබුණේ කීර්තිගේ නමය. මේ ඔහුම තමයි. ඒ සැකය දුරු විණ.

පරණ සිද්ධි අවුස්සන්න ගත්තේ රෝහිණී.

කවුද රෝහිණී?

රත්මලීගේ අක්කා. රත්මලීට මං දුන්න ලියුම් කඩදාසි ඔක්කොම සාක්ෂි විදිහට දීලා මට නඩු දාන්න හදන්නේ. රත්මලීට වෙච්ච අසාධාරණය සාධාරණීකරණය කරන්න ඕනලු රෝහිණීට. අතීතය එළිවෙනවා එතකොට.

අනපේක්ෂිත අන්දමින් දොර විවිර විය. මට එළියට එන්නට යැයි කෙනෙකුගෙන් සංඥාවක් ලැබිණ. කීර්ති ගජනායකට සමු දුන් මම එතැනින් නික්මුණෙමි.

* * * * *

කීර්ති ගජනායක මීට් වුණාද? කොහොමද එයාගෙ මේකප් එක. ඔයාටත් අඳුරගන්න බැරි වෙන්න ඇති. මමත් මේකප් එක දාගෙන දකිද්දි එක පාරටම හිතාගන්න බැරි වුණා. හරියට බටහිර නළුවෙක් වගේ.

වෛද්‍ය නෙඕමාල් පෙරේරා මගෙන් විමසා ගෙන යයි. මම සිනහසුණෙමි.

මොකක්ද මේ වෙන්නෙ?

දඩ ඉම මගේ අලුත්ම චිත්‍රපටය, දඩයම චිත්‍රපටයෙන් එහා කතාව. සිනමාපටයක් කරන්නට ඕන කියලා කලකට ඉහත දී මට හිතුණා. ඒ වෙනුවෙන් ප්‍රවීණ නළු නිළි පිරිසකුත් යොදා ගන්න තීරණය කළා. ජැක්සන් ඇන්තනි මේකෙ ප්‍රධාන චරිතය වන කීර්ති ගජනායකගේ චරිතය රඟපානවා. වෙනම නමක් ඔහුට භාවිත කළා. රෝහිණී ලෙස රඟපාන්නේ රත්මලීට පණපොවපු ස්වර්ණා මල්ලවාරච්චි.

එතකොට රවිනාත්?

ජැක්සන් අයියගේ ලොකු පුතා අකිලයි ඒ චරිතය කරන්නේ.

වෛද්‍ය නිශානි ප්‍රනාන්දු ද දර්ශන තලයේය. ඇය වෛද්‍ය නෙඕමාල්ගේ බිරියයි. අනුපමා, ක්‍රිස්තු චරිතය, දලුලන ගිනි වැනි චිත්‍රපට නිපද වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ දියණියයි. දර්ශන තලය චිත්‍රපටයට ඇති සම්බන්ධය එසේය.

රෝහිණී පැමිණ සිටියි. අකිල රවිනාත් ලෙසින් හර්ෂ මංජුල වෙස් ගැන්වෙනු පෙනිණ.

කීර්තිගෙයි රෝහිණීගෙයි සීන් එක ගමු.

වෛද්‍ය නෙඕමාල්ගෙන් විධානයකි. සහාය අධ්‍යක්ෂ චාමර දර්ශනය සූදානම් කරයි. අප ඒ දෙසට ගියෙමු.

ටක් ටක් ටක් . . .

රෝහිණී කීර්තිගේ කාමරයේ දොරට තට්ටු කරයි. කීර්ති කලබල වේ. කඩිමුඩියේ පැමිණි රෝහිණී අනවසරයෙන් කීර්තිගේ මේසය අසල වාඩි වෙයි.

'මොකද දොර වහලා තියන්න අමතක වුණාද, මම එයි කියලා හිතුණෙ නැහැනෙ . . .'

රෝහිණීගේ හඬ ක්‍රමයෙන් යටපත් වෙයි. අප ඉන් පිටව ගියේ දඩයමේ මතක දඩ ඉම හා ගළපමිනි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.