කිසිදා නොකියවූ ගොළු හදවත

පෙබරවාරි 21, 2019

ආදරය යනු කුමක්දැයි වටහා ගත නොහැකි යැයි කීම ප්‍රලාපයකි. ඉපදුණු දා සිට මිය යන තෙක් අප ගැටෙන්නේ ආදරය සමඟය. ආදරය ගැන නොදැන ආදරය කරන්නේ යැයි කීමද බොරුවකි. හැම කෙනාටම මුලින්ම හිතට දැනෙන්නේද ආදරයමය. එහෙයින් තමා ආදරය ගැන නොදැන ආදරය කළා යැයි කීම කිසිසේත් පිළිගත නොහේ.

දම්මි කේඩැරි කොල්ලෙක්ව අල්ලා ගත්තේ ආදරය කිරීමටද, නැත්නම් තමාගේ තනිය මකා ගැන්මට පමණක්දැයි දන්නේ කරුණාසේන ජයලත්ම පමණි. නොඑසේ නම් දම්මිට කුමක් හෝ මානසීක ආබාධයක් තියෙන්නට ඇත. එහී වූ ලක්ෂනයන්ය, ඇය සුගත් වෙත මුදා හැරියේ.

ලාංකේය පාසැල් පෙම උද්දීපනය වූයේ "ගොළු හදවතින්" නොවුණත් , එය තිව්රවූයේ නම් ගොළු හදවතින්ය. ජයලත් උද්දීපනය කලේ හදවත තුළ රසකරමින් සිටි ආදරයකි. ඔහු එයට පාසැල් පසුබිමක් එක් කර ගති. නමුත් ලෙස්ටර් එය පාසැල් ප්‍රේමයක් ලෙස තිව්ර කළේය.

ජයලත්ගේ දම්මිත්, ලෙස්ටර්ගෙ දම්මිත් අතර තිබූණේ එකිනෙකට අනුගත නොවූ වෙනසකි. ජයලත්ගේ දම්මි තුළ තිබූ විනය, ලෙස්ටර්ගේ දම්මි ළඟ කොහොමටත් තිබුණේ නැත. ඇය විසේකාර විය. සුගත්ව පුරුෂයෙකුටත් නැති ස්ත්‍රියකටත් නැති කේඩැරි චරිතයක් බවට පොතේ නම් පත් කළේ ජයලත්ය . එහෙත් ලෙස්ටර් ගේ චිත්‍රපටය තුළ නම් සුගත්ව මන්දගාමි තත්වයට පත් කළේ දම්මිය. ලෙස්ටර් සුගත්ව තමන්ට ඕනා අන්දමට හදා ගැන්මට පෙර දම්මි විසින් සුගත්ව තමනට නතු කර ගති.

කරුණාසේන ජයලත්ගේ "ගොළු හදවත" බොළද ප්‍රේමයේ තවත් පැති කඩක්විය. ජයලත් කොහොමත් තම පිරිමි චරිත හිතා මතාම නෝන්ඩි කරයි. එය ගැහැනු ළමයි හී නිමල් හතුරුසිංහටද සිදු විය. යහළු යෙහෙළි හී පූජිතරත්නටද සිදුවිය. වැඩි වශයෙන් මේ බෙලහීනත්වය නිර්මාණය වූයේ සුගත් හරහාය. ලෙස්ටර් සුගත්ට නව ජීවනයක් දෙන්නට උත්සහා කළද, ලෙස්ටර්ගේම දම්මි, ලෙස්ටර්වත් යට කොට ප්‍රබලව නැගී සිටියාය. මෙයින් අන්ත අසරණභාවයට පත් වුණේ සුගත්ය.

ජයලත්ගේ "ගොළු හදවත" ' ඉමොෂනල් ෆැන්ටැසියක්' කිරීමට ලෙස්ටර්ට වඩා එකල ඕනාතරම් අධ්‍යක්ෂක වරු සිටියෝය. ජෝ දෙව් ආනන්ද, කේ වෙන්කට් පමනක් නොව ලෙනින් මොරායස්ට වුවද, ජයලත්ගේ "ගොළු හදවත" කථාවෙන් අර ඉහත කී ' ඉමෝෂනල් ෆැන්ටැසි', නැත්නම් 'ට්‍රැජිකල් ෆැන්ටසි' එකක් රොමැන්ටිකල් ධාරාව තුල ගීත, හා ක්ලබ් ඩාන්ස් සීන්ස් ඇතුළත් කර මැවීමට තිබුණි. දම්මිගේ වෙනස් වීම හරහා මධුවිතට වැටුණු සුගත්, මධුවිත ගැනීමට ක්ලබ් එකකට යෑමත්, එතන ක්ලබ් ඩාන්ස් ශිල්පිනියක්, ඇන්ජලින් ගුණතිලකගේ ගීතයක් ගයවමින් 'හහ් හහ් හහ්' යන රාගීක හඩක් පිටකරවමින් මධු මී විත බොන සුගත් වටා කැරකෙන දර්ශනයක් යොදා 'ගොළු හදවත' ඉමොෂනල් ෆැන්ටැසියක්' කිරීමේ හැකියාව එම කථාව තුළ අනන්තවත් තිබුණි.

නමුත් ලෙස්ටර් අර 'ෆැන්ටැසි' කියන කෑල්ල අයින් කර 'ඉමෝෂනල් බෙල්ට්' එක තුළ තම චිත්‍රපටය රඳවා තිබුණද , දම්මි විසින් එයට ' ඉමෝෂනල් ත්‍රිලින්' යන ක්‍රමවේදය එකතු කළාය. එයින් ජයලත්ගේ දම්මිව යට කර ලෙස්ටර්ගේ දම්මි බලවත්ව ප්‍රබලව නැගී සිටියාය.

⁣බොළද නවකථාවක් යැයි ඉවත දමන්නට ඔන්න මෙන්නව තිබු 'ගොළු හදවත' තුලින් ලෙස්ටර් ජේම්ස් දුටු රමණීයත්වය කුමක්දැයි වැටහුණේ එය නැරඹුවාට පසුවය. මේ කරුණාසේන ජයලත්ගේ "ගොළු හදවත" නොවේ යැයි සිතෙන්නට තරම් ලෙස්ටර් එහී ව්‍යුහය වෙනස් කර තිබුණි.

දමයන්ති කාරියවසම් සුගත් වීරසේකර ව මුණ ගැහීමට ඔහු නැවති සිටි හෝටල් කාමරයට පැමිණියේ ඔහුගෙන් සමාව ඉල්ලීමටත් වඩා තමා නිසා සුරාසොඩෙකු වූ සුගත්ගේ ජීවිතය බේරා ගැනීමටය. හැටේ දශකය තුළ ප්‍රේම සම්බන්ධ බිද වැටුණු පසු පරාජීත පෙම්වතා සහනයක් සොයා යන්නේ මත් පැන් කරාය. ඒ 60 දශකයේ 'අරක්කු' ඉතාමත් ලාබ නිසාය. අද කොකාකෝලා බඩියට ගෙවන මුදලට එකල අරක්කු බෝතලයක් ගත හැකිය. ප්‍රේමයෙන් පරාජීත වූ සුගත් සහනයක් ලැබීමට සුරාව ⁣සොයා ගියේ ඒ නිසා විය හැක. ඒවා නම් 'මාරයි' ය. එකල ජයලත් පමණක් නොව බොහෝ ප්‍රේම කථා ලියන්නන්ගේ පරාජීත පෙම්වතුන් සහනය ලැබුවේ එසේය.

දමයන්ති කාරියවසම් ,සුගත් වීරසේකරගෙන් සමාව ඉල්ලන්නේ ඇය දැන දැනම ඔහුගේ හැගීම් සමඟ සෙල්ලම් කළ නිසාය.

"ඇයි දම්මි ඔයා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ?" සුගත් දුක්බරව එසේ අසන විට අද අයට නම් මුවගට සිනහා නැඟෙයි. මේවා නම් මාරම ජෝක්ස් වචන කියා සිතෙයි. නමුත් හැටේ දශකය තුල මේවා බොහොම සංවේදී වචනය.

"සුගත් ඔයාගේ ජීවිතේ බීලා නාස්ති කර ගන්න එපා. මං ආවේ මං වෙනුවෙන් වත් ඔය බීම නවත්වලා හොද මිනිහෙක් වෙන්න කියල යන්න"

මේ දෙබස් ගැන දැන් බලන විට ඔවුන් මොනතරම් ප්‍රාථමීක මට්ටමක සිටියාදැයි සිතේ. එහෙත් ජයලත්ල, ලෙස්ටර්ල, ඒවා ඉලිප්පූවේ මිට අව්රුදු 50කට පමණ පෙර තිබු 'ට්‍රෙන්ඩ්' එක අනුවය.

දමයන්ති සුගත්ව හෝටල් කාමරයට හමුවන්නට පැමිනෙන අවස්ථාවෙන් පටන් ගන්නා ලෙස්ටර්ගේ ගොළු හදවත, එතැනින් පසු අදියර දෙකකට බෙදුනි. ඒ සුගත්ගේ ආවර්ජනයත්, දම්මිගෙ ආවර්ජනයත් අතරිනි.

සියල්ලම එකතු කර බැලූ කල එහී තිබූ කථාන්තරයක් නැත. ලෙස්ටර් කොහොමත් කථාන්දර කාරයෙක් නොවේ. එහී තිබුණේ සාමාන්‍ය සිදුවීම් කීපයකි. ඒවාද මේ හැම ආදරවන්තයන්ටම සිදුවෙන සාමාන්‍ය තලයේ ප්‍රේම අකරතැබ්බයන්ය. ⁣

ජයලත් සුගත්ගේ චරිතය උද්දීපනය කර තිබුණේ පරාජීත චරිතයක් ලෙසය. එමෙන්ම අතීශයින්ම සෝචනීය, හැගුම් බර, සංවේදී , ඔය හැම දෙයක්ම සුගත්ගේ චරිත ලක්ෂනයන්ට ඇතුලත් විය. ලෙස්ටර් සුගත්ව කේඩැරි කර දැමීය.

සුගත් වීරසේකරගේ දෙමාපියන් මිය ගොස් සිටි අතර, ඔහුට කියා සිටියේ ඔහුගේ අයියා වූ සරත්ය. සරත් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට පසුව හොද රැකියාවකට අනුයුක්ත විය. සරත් චම්පා හා විවාහවුනු අතර චම්පා සුගත්ව තම සහෝදරයෙකු ලෙස පිළිගත්තාය.

දම්මි සුගත්ගේම පාසැලට පැමිණුනු දඟකාර, රූමත් සිසුවියෙකි. ඇය කෙතරම් දඟකාර වූවද ඇයගේ සිත තදින්ම බැඳුනේ මේ ලජ්ජාශීලි කේඩැරි සිසුවා වූ 'සුගත්' ටය.

ලෙස්ටර් , ජයලත්ගේ කථාවේ විශිෂ්ඨත්වයක් කියා දකින්නට ඇත්තේ එතනදී වන්නට ඇත. දම්මි වැන්නෙක් මේ කේඩැරි කොල්ලෙකුට ඇල්මක් දක්වන්නේ ඇයිදැයිද , එලෙසම එහී ඇති අභ්‍යන්තර අරමුණ කුමක්දැයි ද යන්න තුලින් 'ප්ලොට්' එක විකාශ කරගැන්මට හැකි යැයි ලෙස්ටර්ට හිතෙන්නට ඇත.

පාසැල් විවේක කාලය තුළ සුගත් පමණක් පන්තිකාමරයේ සිටින විට, දම්මි පැමිණ සුගත්ට වෙරළු ගෙඩි කීපයක් තම අත්ලේ තබා එය පෙන්වමින් දීමට තැත් කිරීම තුල රොමැන්ටික ආකාර්ශණයක් ඇති කිරීමට ලෙස්ටර් ගත් තැත සාර්ථක විය. ජයලත්ගේ පොතේ එම සිදුවීමම විස්තර කෙරූ කේඩැරි විලාශය, ලෙස්ටර්ගේ සිනමා භාෂාව තුළ එඩිතර විය.

පාසැලේ නාට්‍යයක පුරුදු පුහුණු වන විට සාරියක අවශ්‍යතාවයක් පැන නැගු පසු දම්මි තම නිවසට ගොස් සාරිය ගෙන ඒමට සහය කර ගත්තේ සුගත්වය. තරමක් බෑවුම් සහිත කෙටි මගකින් ඔවුන් දෙදෙනා නිවෙසට ගොස් සාරියද රැගෙන එන අතර මග ,එම බෑවූම් නැගීමට සුගත්ට උපකාර කරන්නට දම්මිට සිදුවිය. මේ තුළින් වැටහෙනුයේ ජයලත් හා ලෙස්ටර් සුගත්ව කෙතරම් දුර්වල මිනිසෙකු කර ඇති බවය. එම බැවූම් සහිත ගමනේදී හති වැටෙන්නේ සුගත්ටය. එහෙත් දම්මි ගැන ප්‍රේමනීය හැගීමක් සුගත් ඇති කරගන්නේද ඔය ගමනේදීය. දම්මිගේ හැම හැසිරීම් රටාවන් තුළ සුගත් ට ප්‍රත්‍යක්ෂ වූයේ දම්මි තමාට ආදරය කරන බවකි.

ජයලත්ගේ ⁣නවකථා පොතේ ජයලත්ට නොදැනීම ලියවුනු සියුම් තැන් හඳුනා ගත් මෙහි තිර රචනය ලියූ රෙජී සිරිවර්ධන ඒ සියුම් තැන් පුම්බා එය හල්ක් න්‍යායෙන් දැවැන්ත ක⁣රන්නට ලෙස්ටර්ට මග පාදා දුනි. ලෙස්ටර් එවැනි සියුම් තැන් එම්.එස්.ආනන්ද ගේ කැමරාකරණය හරහා ප්‍රේක්ෂකයාට 'සූම්' කර පෙන්වීය. ඒ 'සූම්' එක 50 වසරක් ගියද ප්‍රේක්ෂක මතකයේ නිදන්ගත විය.

කරුණාසේන ජයලත්,ට අහුනොවුනු තැන් රෙජී සිරිවර්ධනට අසුවිය. ඒ අසුවුණු තැන් ඔහු තම තිරනාටකය සක්‍රීය කිරීමට යෙදු අතර, රෙජී සිරිවර්ධනට අසු නොවූ තැන් ලෙස්ටර්ට අසුවිය. ලෙස්ටර් ඒ අසුවුණු තැන් යොදා එය පරිපූර්ණ කළේය.

සුගත් හා දම්මි අතර ඇතිවූයේ ආදරයක් නොමැති ආදරයකි. සුගත් තුල ඇතිවූ ආදරය ඒකපාක්ෂික යැයි සිතිය හැකි වූවද, දම්මිගේ ආදරය නම් සුළග වගේය. එය මොහොතින් ඇතිවී එසැනින්ම නැතිවී යයි. දම්මි යනු කවරෙක්දැයි, සුගත් පමනක් නොව, ජයලත් වත්, රෙජීවත් දැන සිට්යේ නැත. ප්‍රේක්ෂක යන් සිතුවේ අවම වශයෙන් ලෙස්ටර්වත් දැන ගෙන සිටිනු ඇතැයි කියාය. නමුත් ලෙස්ටර් වුවද දම්මිව හරි හැටි අඳුනා ගත්තාද යන සැකය නම් ඇතැම් විට පැන නැගුණි. ලෙස්ටර් සිතුවේ දම්මි යනු දම්මිවත් දැන සිට්යේ නැත යන්නය. දම්මිව එසේ කිසිවකට හඳුනා ගත නොහැකි වූයේ ඇය කිසියම් මානසීක රෝගයකින් පෙළෙන නිසාය. ජයලත් එලෙස නොකීවේ තමා මැවු චරිතය මානසීක රෝගියෙකු ලෙස හැදින්වීමට අකමැති නිසා වන්නට ඇත. නමුත් ඇයට එවන් රෝගයක් තිබූ බව පැහැදිලි වූයේ ලෙස්ටර්ගේ කෘතිය හරහාය.

දම්මිට අවශ්‍ය වී තිබුණේ තමාගේ පාලුවට කිසියම් අත්වැලක්ය. නමුත් සත්‍ය එයම නොව. දම්මිටද ආදරය කිරීමට අවශ්‍යයය. දම්මිගෙ සිතැඟිත්වයට සරිලන කෙනෙක් සමඟ ආදරය කිරීමටය. නමුත් ඒවාට මුල සිටම වැට බැදී තිබුනේ, කවදා හෝ දම්මි විවාහ විය යුතු කෙනාව දම්මිගේ දෙමාපියන් විසින් වේලාසනම තෝරා තිබූ නිසාය. එයට දම්මිගේ කැමැත්ත අකමැත්ත බලපාන්නේ නැත. ඇය විවාහ විය යුත්තේ එකී පුද්ගලයා සමඟමය. එහෙත් ඇය නිතැඟින්ම ඇදී ගියේ ඇය ප්‍රිය කරන ආදරයටය. ඒ සුගත් වීරසේකර වැනි අවිහිංසක තරුණයෙකුටය. ඇයට ප්‍රේමාවන්තිකව පාලනය කළ හැකි තරුණයෙකුටය. ඇය සුගත් සමග නිදහසේ රිසි සේ හැසිරුණේ

මෙහි අවසානය ඛේදවාචකයක් බව දැන දැනය. ඛේදවාචකය යැයි ඇය අදහස් කළේ තව ටික කලකින් ඇය තමා ප්‍රිය කරන නිදහස් සැහැල්ලු ජීවිතය අතහරින්නට අනිවාර්යෙන්ම සිදුවන නිසාය. එතැනදීද අර නිදහස් සැහැල්ලු ජීවිතය යැයි ඇය අදහස් කළේ සුගත්වය. එහෙත් එම අත්හැලීමේදී සුගත් ට එය බලපාන්නේ කෙසේදැයි නම් ඇය කිසිසේත් සිතුවේ නැත.

ගොළු හදවත 'ප්ලොට්' එකේ ලෙස්ටර් උලුප්පා පෙන්වූ 'කලයිමෙක්ස්' එක එයය. දම්මි හදිසියේම සුගත්ව අත් හැලූ පසු සුගත්ට සිදුවන්නේ කුමක්ද? .කරුණාසේන ජයලත් මතු කෙරූ එම 'පොයින්ට්' එකය, ලෙස්ටර් තම චිත්‍රපටයේ 'ට්‍රොපික්' එකට යොදා ගත්තේ.

සුගත්ට දම්මි ගැන ආදරයක් තිබෙන බවක් සුගත් මුලින්ම පැවසුවේ, තම සහෝදරයා වූ සරත්ටය. පසුව එය තම නෑනා වූ චම්පා දක්වා ගිය පසු, ඔවුන් තම පවුලට අලුතින් එක්වන සාමාජිකාවව පිළිගැන්මට ආශාවෙන් මඟ බලමින් සිට්යහ.

එහෙත් ඒවා 'සිහින' බව සුගත් දැනගත්තේ, දම්මි, එක් දිනයක සුගත්ට තමා ගැන බලාපොරොත්තු තබා ගැන්ම තේරුමක් නොමැති බව කී පසුවය. ඒ වන විට සුගත් දම්මි ගැන මහ මෙරක් තරමේ පැතුම් ගොන්නක් සිතේ රඳවා ගෙන සිටියේය. දම්මිගේ එම කීම ඔහුට දරා ගැන්මට නොහැකි වූ දරුණු ⁣'ශොක්' එකක් විය.

"ඇයි දම්මි මගෙ ජීව්තේ එක්ක සෙල්ලම් කළේ".

සුගත් දම්මිගෙන් එසේ ඇසුවේ දරාගැනීමට බැරිම තැනය.

මේ සරල ප්‍රේම වෘත්තාන්තය තුල කිසියම් ගැඹුරත්වය නැත්තේම නැත. රෙජි සිරිවර්ධනත්, ලෙස්ටර් ජේම්ස්ත් ඒ සැගවී තිබූ ගැඹුර සොයා ගතී. ඒ ගැඹුර ඉස්මතු කර පෙන්වීමට ලෙස්ටර් භාර කළේ අනුලා කරුණාතිලකටය.

එතෙක් මෙතෙක් ලෙස්ටර් විසින් කෙරු විශිෂ්ඨතම තේරීමක් වුයේ දම්මිගේ චරිතයට අනුලා කරුණාතිලකව ගැනීමය. ගම් පෙරළියට පුන්‍යාවත්, සන්දේශයට කාන්තිවත්, දෙලොවක් අතරට සුවිනීතවත්, රන්සළු වලට පුණ්‍යාවත් තෝරා ගත්තාට වඩා ප්‍රබලම වූයේ 'ගොළු හදවත' ට අනුලාව ගැනීමය.

අනුලා ලෙස්ටර් වත් පෙරලාගෙන ගියාක් වැනිය. පොත ලියූ හා දම්මිව මැවූ කරුණාසේන ජයලත්, තිර නාටකය ලියූ රෙජී සිරිවර්ධනත් අනුලා දම්මිට අනුගත වූ හැටි දුටු විට ඔවුන් තුෂ්නින්භූත විය. සුගත් වීරසේකර ලෙස රඟපෑ වික්‍රම බෝගඩට නම් අනුලා ගොඩ ඒමට දුන්නේම නැත. මුලු චිත්‍රපටයම අනුලා තම අතට ගත්තාය. ඇයට අභියෝගයක් වූ එකම කෙනා ප්‍රේමසිරි කේමදාසය. ඔහු නම් 'ගොළු හදවත' චිත්‍රපටය තුලින් අනුලාව අබිබවා ගියේය. අද 'ගොළු හදවත' ගැන සිහිවෙන විට නොඑසේ නම් කථා කරන විට ප්‍රමුඛත්වය වැටෙනුයේ ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයය. එවන් සංගීත රටාවක් යලි ඔහුගේ අතින් බිහිවූයේ නැත.

ලෙස්ටර් ජේම්ස්ගේ 'ගොළු හදවත" ගෙත්තම් කෙරූ සිත්තමක් වැනිය. නිහඩ රැයක ගැයූ ගීතයක් බදුය. සිහිනෙන් ගෑ සුවදක් මෙන්ය. ගොළු හදවත නම් දම්මිය. දම්මි නම් අනුලාය. හැම පැත්තෙන්ම බැලුවත්, අනුලා, අනුලා, අනුලාමය.

ප්‍රේමයේ නෑඹුල් මිහිර, යව්වනයේ දඟකාරත්වය, අනේපේක්ෂිත විරහව කදිමට එක් කළ ලෙස්ටර් ජේම්ස්⁣ පීරිස්ගේ "ගොළු හදවත" අනුලා කරුණාතිලක හා වික්‍රම බෝගොඩට අමතරව එය හැඩ කෙරු අය අතරට එකතුවූයේ සරත් ලෙස රඟපෑ විජේරත්න වරකාගොඩ,හා චම්පා ලෙස රඟපෑ ශ්‍රියාණි අමරසේන ය.

සුදේශ් ගුණරත්න, ග්‍රේස් ජයමාන්න, සොමී මීගම, මාපා ගුණරත්න, මල්කාන්ති පීරිස්, සුනිලා අබේසේකර, චිත්‍රා වාකිස්ට, සෝමපාල ධර්මප්‍රිය, ඒ.පී.ගුණරත්න , තලතා ගුණසේකර සෙසු ප්‍රධාන චරිතවලට පණ පෙවීය.

"ගොළු හදවත" තිර ගත කිරීම ආරම්භ කළේ 1969 අප්‍රේල් 24 වන දින සිටය. 1962 වර්ෂයේදී කරුණාසේන ජයලත් විසින් නවකථාවක් ලෙස "ගොළු හදවත" ලියා පලකල අතර රෙජි සිරිවර්ධන ගේ තිර රචනයට අනුව මෙය අධ්‍යක්ෂණය කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

"ගොළු හදවත" චිත්‍රපටය විචාරක ප්‍රේක්ෂක දෙපාර්ශයම ඉමහත් හරසරෙන් පිළිගත් අතර චිත්‍රපටය වානිජ අතින්ද සාර්ථක විය. ඒ වසරේ හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය ලැබුණේ "ගොළු හදවත" චිත්‍රපටයේ දම්මි ලෙස රඟපෑ අනුලා කරුණාතිලකය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.