අනන්ත නෙත් බැල්මේ අංජානා

මාර්තු 7, 2019

සිනමාව යනු විනෝදය හා වින්දනය පිණිස ඇතිවූවද එය දැනුම මෙන් ජීවන අත්දැකීම් ඇසුරු කිරීමට හැකි ලෝකය තුල නිර්මාණ වූ තවත් ලෝකයකි. විවිධ තලයේ සිනමා නිර්මාණ කරුවන් විවිධ ⁣ශෛලයන් තුළින් තම නිර්මාණ ඉදිරිපත් කරමින් තම හැකියාවන් උරගා බලයි.

යසපාලිත නානානයක්කාරගේ රස සාගරයක් යනුවෙන් ටැග් එකක් ඔහුට හැදු⁣ණේ "තුෂාරා" චිත්‍රපටයෙන් නම් නොවේ. ඔහු හැදූ 'සහයට ඩැනී' 'ප්‍රදීපේ මා වේවා ' "ඇගේ ආදර කථාව", "මොණරතැන්න" "මුවන් පැලැස්ස 2", හා "ටක් ටික් ටුක්" අර ටැග් එකේ අරුතට අනුව හැදුණු චිත්‍රපටද නොවේ.

ඔහුට ඒ 'රස සාගරයක්' යන 'ස්ලෝගන්' එක ඇමිණුණේ "අංජානා" චිත්‍රපටයෙන් පසුවය. 70 දශකය මැද භාගයේදී රාජේන්ද්‍ර කුමාර්, බබිතා රඟපෑ හින්දි චිත්‍රපටයක් බොරැල්ලේ රිට්ස් සිනමා හලේ දවස් 100කට ආසන්නව ප්‍රදර්ශනය විය. එහී නම "අංජානා"ය.

යසපාලිත හැදු "අංජානා" එම චිත්‍රපටයේ කොපියක් නොවූවද හින්දි "අංජානා" ලද ජනප්‍රියත්වය යසපාලිතගේ "අංජානා"ට වක් මඟින් ජනප්‍රියත්වයක් ලබා දුනී. "තුෂාරා", " ප්‍රදීපේ මා වේවා" හා "මොණර තැන්න" යන චිත්‍රපටවල "ස්ටේබල්" වූ විජය- මාලනී , විජය- ගීතා ලෙස යසපාලිත ලේබලයට එකතුවුණේද , "අංජානා" චිත්‍රපටය තුළිනි.

එක දිගට කළු සුදු චිත්‍රපට කෙරූ යසපාලිත දේදුණු වර්ණයට හැරුණේද "අංජානා" චිත්‍රපටය හරහාය. "හොදම වෙලාව" චිත්‍රපටයේ මල්වතු හරහා නටමින් දුව ගිය ස්වර්ණා මල්ලවආරච්චිව "ඉන්ද කාරිල් යාරු වන්ද" කියමින් ගීතයක් ගයවමින් නැවතත් ස්වර්ණාව නැටවූවේද 'අංජානා චිත්‍රපටය තුළිනි.

සාලිය කඩවසම් , උපාධිධාරි දුප්පතෙකි. එහෙත් මේ උපාධිධාරියා සිටින්නෙ කොළඹ මුඩුක්කුවකය. ඒ යසපාලිතලාගේ "ප්ලොට්" වල හැටිය. එලෙසම මේ උපාධිධාරියාට 'ජොබ්' එකකුත් නැත. යසපාලිතලා ගෙනෙන ඒ අරුම පුදුම චරිතවලට මුලින්ම "ජොබ්ලස්" කරවන්නේ ඉන්පසු පෝසත්, අතිශයින්ම සුන්දර කෙල්ලක් සෙට්කරවන්නටය. එහෙම අහම්බෙන් හෝ සෙට් වුණු පසුය දැනගන්නේ ඒ කෙල්ලගේ තාත්තාට ෆැක්ටරි ගණනාවක් තිබෙන බව. කෙල්ල කොහොම හරි තම තාත්තාට කියා අර කඩවසම් තරුණයාව තාත්තාගේ ෆැක්ටේරියක මැනේජර් පෝස්ට් එකකට දමයි. යසපාලිත මේ අන්දමටය තම දුප්පත් පෙම්වතාව ජෙන්ටල්මන් කෙනෙක් කරනුයේ.

එහෙත් සාලිය ට ඔය වැඩේ සෙට් වෙන්නෙ වෙනස් ආකාරයටය. සාලියට ජෝකර් ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටියි. ඔහුටද ජොබ් නැත. ඔහු වරෙක තෙල් බෙහෙත් විකුණයි.

සාලියව හීරෝ වෙන්නේ මංකොල්ල කරුවන් කීප දෙනෙක් එක්තරා ව්‍යාපාරකයෙකු කොළඹ බැංකුවකින් මුදල් රැගෙන එනවිට, ඔහුගේ මුදල් බෑගය පැහැරගෙන දුවන විට, සාලිය ඔවුන්ව හඹා ගොස් ඔවුන්ට "රිවට්" වෙන්න ගුටි ඇණ ඒ බෑගය එම ව්‍යාපාරකයාට සතයක්වත් අඩු නොකර බාරදුන් පසුවය.

යසපාලිත එම සිදුවීම නිකම්ම ඇරියේ නැත. මංකොල්ලය කොළඹ සිදුවුණද, සල්ලි බෑගය ගෙන ගොස් දීමට සිදුවන්නේ නුවර එළිය වැනි ප්‍රදේශයකටය. එහෙත් ඔවුන්ට නුවර එළියට යන්නට සතේ අතේ නැත. ලක්ෂ ගනනාවක් ඒ බෑගයේ තිබුනද සාලිය එයින් සතපහක් හෝ ගැනීමට කැමති වූයේ නැත. ඔහුගෙ මිතුරා සල්ලි ගැනීමට මොනතරම් පෙරැත්ත කළත් සාලිය නොවේ තම ප්‍රතිපත්ති වෙනස් කළේ. අවසානයේ ඔවුන් දෙදෙනා නුවර එළියට ගියේ සාලිය ගේ සගයා තෙල් බෙහෙත් විකුණා ලැබූ මුදලිනි.

විජය කුමාරණතුංග හා ප්‍රෙඩී සිල්වා සුසංයෝගය තුළ තිබූ එකිනෙකාගේ ගැළපීම හරියට ඉඳී ආප්පවලට සම්බෝල මෙනි. ආකර්ෂනය අතින් විජය ඉහළම තලයේ සිටි අතර, හාස්‍යානූ රංගනය තුළදි ෆ්‍රෙඩී සිල්වාද ඉහළම තලයේ සිටියේය. මොවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධතාවය "අංජානා" චිත්‍රපටය හොද විනෝදාත්මක රස සාගරයක් කිරීමට ඉමහත් සේ ඉවහල් විය.

සාලිය ට සිතාරාව හමුවන්නෙ සල්ලි බෑගය බාර දීමට නුවර එළියේ එම බෑග් අයිතිකාරයාගේ නිවසට ගිය පසුය. ඒ බෑගයේ අයිතිකරු විශාල වතු හිමියෙකි. සිතාරා ඔහුගේ එකම දුවය. ඇය ගේ මව මිය ගොස්ය. සාලියගේ කඩවසම් බව දුටු ගමන්ම සිතාරාට වසඟ විය. යසපාලිත ගෙතූ කථාවෙ හැටියට සිතාරාට පෙම්වතෙක් සිටී. ඔහුද කර්මාන්තශාලාවක කළමණාකාරවරයෙකි. නම ගාමිණීය.

සාලියට හා ඔහුගේ සගයාට මෙම මුදල් බෑගය දීමෙන් රුපියල් දාහ, දාහ ලැබුණි. එයද සාලිය ගත්තේ ඔවුන් බොහෝ වාර ගානක් පෙරැත්ත කිරීමෙන් පසුවය. සාලිය ඒතරම්ම අවංකය, ගුණ ගරුකය. ඇත්තෙන්ම 'මාරයි'ය. මා මාරයි කීවේ සාලියට නොව යසපාලිතටය.

ඔය මොන දේ වුණත් සාලියට හා සගයාට තවම රැකියාවක් නැත. යසපාලිත එයට නියම උප්පරවැට්ටියක් කළේය. අර බෑග් එක ගත් මංකොල්ලකරුවන් පොලිසියේ රිමාන්ඩ් බාරයේ සිටින විට ඔවුන් කීවේ මෙම බෑගය ඔවුන්ටත් ගුටිඇණ සොරා ගත්තේ සාලිය කියාය. පොලිසිය එම කීම අසා සාලිය හා ඔහුගේ මිතුරාව අත් අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දැමීය.

පොලිසිය සිතාරාගේ පියාට දැනුම් දුන්නේ හොරු ඇල්ලුවා කියාය. නමුත් පොලිසිය වැරදීමකින් සාලියව කොටුකරගෙන ඇති හෙයින් සිතාරාගේ පියා නුවර එළියේ සිට වහා කොළඹ පොලිසියට විත් සාලිය හා ඔහුගේ මිතුරාව බේරා ගත්තේය. බේරා ගත්තා පමණක් නොව, සාලියට තම කර්මාන්තශාලාවෙ කළමණාකාර තනතුර බාර දී නුවර එළියේම බංගලාවක් ලබා දුනි. සාලියගේ සගයාටද කර්මාන්තශාලා වාහනවල රියදුරු රැකියාවක් ලැබුණි. ඒ යසපාලිතගේ හැටිය. හැම ප්‍රශ්නෙකටම ක්ෂනිකව උත්තර ලබා දෙයි.

චිත්‍රපටය නියම ට්‍රැක් එකට වැටෙන්නෙ මෙතැන් පටන්ය. සිතාරාගේ හොදම යාළුවා ජානු නොහොත් අංජානාය. ඔවුන් හින්දි නිළියන්ටත් වඩා ලස්සන ඇඳුම් ඇදගෙන, මේකප් දමාගෙන චෙස් ක්‍රීඩා කරයි. දැන් සිතාරට මේ කඩවසම් සාලියව තම මිතුරිය ජානුට හඳුන්වා දීමට උවමනාය.

දිනක් සාලියව ගෙන්වාගෙන ඔහුව ජානුට හදුන්වා දෙයි. සාලියද පැණි ගුදමක්ම හලයි. ජානුටද සාලියව දුටු විට, "අංඥොා් කොරොස්' වෙයි. ඇය ඒ බවක් නොපෙන්වා, සාලිය ගිය පසු සිතාරාට කීවේ, මේ කඩවසම් සාලියට සිතාරාගේ හිත ඇදුණු එක පුදුමයක් නොවේ කියාය.

යසපාලිත එක්වරම නැවත 'තුෂාරා' චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා, සෝනියා දිසා හා විජය කුමාරණතුංග ගේ 'කව්දෝ මෙ ආවේ කොයිබින්දෝ" කියන ගීතයේ ජවනිකාවේ මතකයට අපව එක්වරම රැගෙන යයි.

ඒ සිතාරා හා ජානු ,සාලියව වට කර නටන දර්ශනයකිනි.

"ඉන්ද කාරිල් යාරු වන්ද
තුසිතයේ සුරඟනදෝ
එයා කොහේ හැංගුනදෝ
රූප⁣ය හැඩ රුවදෝ
කව්රුන් හොයලා මෙහි ඇවිදින්දෝ'

යසපාලිත මෙම ගීතමය දර්ශනය හරිම විචිත්‍රලෙස ඉදිරිපත් කර තිබුණි. විශේෂයෙන් වෛවර්ණ ඇඳුම්, නුවර එළියේ සුන්දරත්වය, මෙන්ම ආකාර්ෂණීය රංගන ශිල්පීන් මෙම ජවනිකාවට එකතු කරගෙන තිබුනි.

මෙතැනින් පසුවය කථාව ත්‍රිලින් ෆැන්ටැසියක් වෙන්නෙ. සිතාරා , සාලියගේ ඇගේ බලෙන්ම එල්ලෙන්න බලයි. එය එදා තුෂාරා හී සෝනියාද විජය කුමාරණතුංගගේ ඇගේ බලෙන්ම එල්ලෙන්න යනවාක් මෙනි, මෙවර සිතාරා සාලියගෙ ඇගේ එල්ලෙන්න ගියේ. වෙනසකට තිබුනේ තුෂාරා හී සෝනියාට පෙම්වතෙක් නොසිටීමය. මෙහී සිතාරාට නම් පෙම්වතෙක් සිටීයෙදීමය සාලිය ගේ ඇගේ පිඹුරියක් මෙන් වෙලෙන්න යන්නේ.

ඒ අතරෙදි , අංජානාට ගාමිණිගෙන් කොන්ත්‍රාත්තුවක් ලැබුණි. මෑතක සිට සිතාරා තමා ගැන වැඩි සැලකීමක් නැති නිසා, ඒ ගැන සිතාරාගෙන් අසා, මෙයට හේතුව සොයා බලා සමතයකට පත් කිරීමය ඒ කොන්ත්‍රාත්තුව. අංජානාට අමුතුවෙන් මේ ගැන සිතාරාගෙන් ඇසීමට උවමනා නොවේ. හේතුව කුමක්දැයි ඇය සහ සුද්දයෙන්ම දැන ගෙන තිබුනි. සිතාරා සාලියව දුටු දා පටන් ගාමිණීවත් අමතක කර සාලියට ආදරය කළේ උමතු වූ ලෙසය. අංජානා ඒ බව දැනගත්තද, සාලියත් සිතාරාට ආදරය කරනවාදැයි දැන ගැන්මට ඇය⁣ට උවමනා විය.

ඇය මුලින්ම මෙය ඇසුවේ සාලියගෙන්ය. සාලිය කීවේ ඔහුගේ සිතේ සිතාරාට කිසිසේත් ඉඩක් නැති බවය. අංජනා මෙය ඇසුවේ සාලිය සමඟ මෝටර් රථයේ යන අතරවාරයේය. රථය එලවූයේ සාලියය. හදිසියේම වංගුවකදී තව රථයක් හා ගැටෙන්නට ගොස් සාලිය හා අංජනා ගිය රථය හෙලකට පෙරළී ගියේය. එහෙත් අංජානා හා සාලිය සුළු තුවාල ලබා බේරුණි. රථය හෙළට වැටි ගිනිගත්තේය.

ඒවා යසපාලිත නානායක්කාරගේ ට්‍රික්ස්ය. ඒ සාලිය හා අංජානා අතර ආදර සම්බන්ධයක් ඇති කිරීමට යසපාලිත ඇටවූ උගුල්ය.

එම රිය අනතුරෙන් පසු සාලිය හා අංජානාගේ ප්‍රේම විජිතය ආරම්භ වූ අතර , සිතාරා සාලිය හා අංජානාට වෛර කරන්නට පටන් ගති.

ලෝක යුද්ධය පටන් ගත්තාක් මෙනි. අංජානා, සාලියටත්, සාලිය අංජානාටත්, සිතාරා සාලියටත්, ගාමිණී සිතාරාටත් 'ලව්'ය. අන්තිමයට මෙය මහා ලව් ප්‍රහේළිකාවක් විය. නමුත් නියමාකාරයෙන් ආදරය සිදුවූයේ සාලිය හා අංජානා අතරය.

'අනන්ත නෙත් බැල්මේ දෙදෙනා
අපේම අප සැඟවූ
ආදර පෙම් කතන්දරේ ලංවී ඇසේ
මුවින් ඔබේ ගීතේ, වසන් වෙවි රහසේ
පෙම් උදාන ගී- රැව් නාද දේ'

මේ අතරේදී වත්තේ ලැයිමේ සේවකයන්ගේ සාජ්ජේ දා රෑ සිතාරාව, ගාමිණි අතින් අනාථ විය. එසේ අනාථවන අවස්ථාවේදි පවා, සිතාරා සිහියට නගාගත්තේ සාලියවය.

සාලිය තමාගේ කර ගැන්මට මෙම ලැබුණු චාන්ස් එකෙන් නිසි ප්‍රයෝජන ගත යුතු යැයි සිතාරාටද සිතුනි. අවසානයේ සිතාරාගේ පියා මේ බව ඇසූ විට සිතාරා කීවේ ⁣ලැබෙන්න සිටින මෙම ළමයාගේ පියා සාලිය බවය. එය එතැන සිටි, සාලිය, අංජානා සහ ගාමිණී යන තිදෙනාම අසා සිටියෝය. තමාව ලොකු 'ට්‍රැප්' එකකට අසුවී ඇති බව සාලියට වැටහුනි.

ගාමිණීට සිතාරාගෙන් ගැලවීමට වුවමනාය. සිතාරාට සාලියගේ ඇගේ කුඩැල්ලෙක් මෙන් ඇලී සිටින්නට උවමනාය.

ගාමිණී විසින් සිතාරාව තල්ලු ක⁣ර දැමීමේදී, සිතාරා මිය ගියාය. එවිටම මෙතැනට සාලිය හා ඔහුගේ මිතුරා පැමිණීය. ගාමිණී, ඔවුන් දෙදෙනාව කාමරයක දමා හිර කර, සිතාරාගේ මරණයත් සාලියගේ ගිණුමට බැර කළේය.

සාලිය වීදුරුවක් කඩාගෙන එළියට පැන ගති.

ඒ අතර ගාමිණී, අංජානාව තම රථයේ දමාගෙන යයි. ඔවුන් යන්නේ කොහේදැයි, ඔවුන් තියා යසපාලිතවත් දන්නේ නැත.

ප්‍රාතිහාරද සිදුවෙයි. කොහොමත් යසපාලිතලාගේ චිත්‍රපට වල ප්‍රාතිහාර තියෙන්නේ ලොරි ගානටය. මැරුනා යයි කියූ සිතාරාද නැගිටියි. සාලිය දැං ලවක් දෙවක් නැතිව මෝටර් බයිසිකලේකින් ගාමිණී හා අංජානා යන රථය පසුපස එලවයි. පැයක් විතර එලවා ගාමිණීව අල්ලා ගනී. ඉන්පසු ඩිෂුම් ඩිෂුම් යනුවෙන් විශාල ගුටිකෙළියකි. කොහොමෙන් කොහොමෙන් හෝ එතනට සිතාරත් සාලියගේ ජෝකර් සඟයත් එයි. මොනව වුනත් යසපාලිතට තියෙන්නෙ හරි ඉක්මනට උණුවෙන හිතක්ය. ඔහු මේ පස්දෙනාටම (ජෝකරුත් ඇතුලුව) කිසිදු උපද්‍රවයක් සිදු වෙන්නට ඉඩ දුන්නේ නැත. මේ පැයක් පමන ගුටි ඇන ගත් සාලිය හා ගාමිණීටවත් සුළු සීරීමක් හෝ නොවෙන්නට යසපාලිත වග බලා ගතී. ඒ අතින් නම් යසපාලිත මාර හොඳය.

අවසානයේ සාලිය අංජානා හා ගාමිණී හා සිතාරා සතුටු සිතින් එක්විය. ජෝකර්ට කෙල්ලෙක්ව සෙට් කර නොදීම ගැන යසපාලිතට සමාව දිය නොහැක.

යසපාලිතගේ චිත්‍රපටවල රසසාගරය තිබ්බේ නැත. ඔය මොනවා හරි අල්ලෙ පැලෙන බොරු ටිකක් එකතු කරගෙන කථාවක් ගොතා ගනී. එහෙත් ඒවා ඉදිරිපත් කරන ආකාරයට නම් ප්‍රේක්ෂයා කැමතිය.

අංජනා චිත්‍රපටයේ ප්‍රධානතම ආකාර්ෂනය වූයේ විජය කුමාරණතුංගය. වෙන කිසිදු චිත්‍රපටයක නොතිබූ කඩවසම් බවක් ය 'අංජානා' තුලින් ඔහුගෙන් දිස්වූයේ. මා ෆ්‍රෙඩි සිල්වාගෙන් දුටු හොදම විකට ජවනිකා හා විකට දෙබස් තිබුනේ 'අංජානා' චිත්‍රපටයෙනි.

ගීතා හා ස්වර්ණා නම් දෙදෙනා ද එසේමය.

යසපාලිත නානායක්කාරගේ 'අංජානා' නම් වින්දනීය සිනමාව තුල 'රස සාගරයකි'.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.