තහනම් නොවූ තහනමක් මලට නොඑන බඹරු

මාර්තු 14, 2019

වර්ෂ 1971 පෙනිලෝපේ ජිලියාට් විසින් රචනා කල ජෝන් ශෙල්සින්ගර් විසින් අධ්‍යක්ෂනය කළ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් "සන්ඩේ බ්ලඩි සන්ඩෙ" නමින් තිරගත කළේය. (මෙය මරදානේ නිව් ඔලිම්පියා සිනමා ශාලාවේද ප්‍රදර්ශනය කළේ චිත්‍රපටයේ තේමාවට බද්ධ වන අත්‍යාවශ්‍ය දර්ශන රැසක් කප්පාදු කරමිනි. එයින් ලාංකේය ප්‍රේක්ෂකයන්ට මෙම චිත්‍රපටයේ ගැඹුර තේරුම් ගැන්මට නොහැකි විය). ඩොක්ටර් ඩැනියෙල් හර්ෂ්, එල්කීන් යන පිරිමි දෙදෙනා හා ඇලේක්සි යන ගැහැනියගේ අපූරුවූ ශාරිරීක හා ආත්මීය බැදීමක් මෙයට ඇතුළත් විය. පීටර් ෆින්ච්, මරි හෙඩ් හා ග්ලෙන්ඩා ජැක්සන් එම චරිතවලට පණ පෙවීය.

සනී හාමූ යනු වංශාධිපතියෙකි. මැදි විය ගත කෙරූ මේ ප්‍රතාපවත් මිනිසාගේ අභ්‍යන්තරය වූ කලී ප්‍රහේලිකාවක් යැයි සිතුවද, ඔහූ ඇලී ගැලී සිටියේ රාගය, තෘෂ්ණාව, සහ දැඩි ආත්මාර්ථකාමිත්වයේය. ඔහුට ඉතාමත් රූමත් එමෙන්ම ශෘංගාරාත්මක බිරිඳක් සිටියේය. ඇය ස්ටෙලාය. මහා විශාල මන්දීරයක් වැනි නිවසක ඔවුන් දෙදෙනා සිටියේ ජේමිස් නම් වයසක සේවකයෙක් සමඟය. එමෙන්ම ඔවුනට සිරිපාල නම් තරුණ උයන්පල්ලෙකුත් සිටියේය. මේ එක්තරා කථාවක චරිත කීපයකි. මේ චරිත කීපය තුළ ගැබ්වූයේ අතෘප්තිකර ආශාවන්ය.

මැදිව්යේ පසුවූ 'ඩොක්ටර් හර්ෂ්ට, 'එල්කින් 'ගැන තිබුණේ ආශාවන්සේම දැඩි ආදරයකි. එල්කින් ඔහුට ආදරය කළාද, ආශා කළාද නොඑසේ නම් තමාගේ විනෝදයට ඩොක්ටර් හර්ෂ්ව ඇසුරු කළාද දන්නේ එල්කින් පමණී. ඇලෙක්ස් ග්‍රැවේලි සමඟද එල්කින්ගේ සම්බන්දය ආදරය හා ආශාව මත පදනම් වූවකි. අවිවාහකයෙකු වූ ඩොක්ටර් හර්ෂ් ගේ අවිවේක වූ ජීවිතයේ එකම සතුට, එල්කින්ගේ පැමිණීමය. ඔහු සැමවිටම ,හැම මොහොතකම එල්කින් තමා සොයා පැමිනෙණු ඇතැයි බලා සිට්යේය. ඔහු තම නිවසේ අතිරේක යතුරක් පවා එල්කින්ට දී තිබුණි.

විවාහකයෙකු වූ සනී හාමුගේ එකම සතුට වුයේ අනුරගේ පැමිණීමය. එයත් හරියට, ඩොක්ටර් ⁣හර්ෂ් ,එල්කින් එනතෙක් බලා සිටිනවා වැනිය. ඩොක්ටර් හර්ෂ් හා එල්කින් අතර තිබුයේ හරි සමීප ඇසුරකි. ඔවුනට කථා කිරීමට බොහෝ දේ තිබුණි. නමුත් සනී හාමු හා අනුර ගේ සම්බන්ධයේ දී මේ මිත්‍රශීලී සමීප ඇසුර තිබුනේ නැත. සනී හාමු අනුරට දැඩිව ආශා කළද, ආදරය කලද, ඔවුන් අත⁣රේ පරතරයක් තිබුණි. ඒ සනී හාමු වංශාධිපතියෙක් නිසාත්, අනුරගේ පියා සනී හාමුගේ වතුයායේ ලිපිකරුවෙකු ලෙස රාජකාරිය කරන නිසාත් විය හැකිය. ඩොක්ටර් හර්ෂ් හා එල්කින් අතර තිබූ සුහදතාවය සනී හාමු හා අනුර අතර තිබුණේ නැත. අනුර සනීහාමු ඉදිරියේදි නිතරම සිටියේ බය පක්ෂපාතීවය. එතැන සංස්කෘතික දෙකක් නිසා එසේ සිදු වූවා යැයිද සිතිය හැක.

1971 වර්ෂය තුල බ්‍රිතාන්‍යයේ ජෝන් ශේල්සින්ගර් ස්පර්ෂ කෙරූ තේමාව, ට සමීප නිර්මාණයක් ලංකාව වැනි සංස්කෘතික සළු පටින් වැසුණු රටක, ඒ තිර කඩා දමා විශාල අවදානමක් ගෙන ඉදිරිපත් කළේ චන්ද්‍රරත්න මාපිටිගගම හා ෂෙල්ටන් පයාගලය.

වර්ෂ 1967 බ්‍රිතාන්‍ය රජය විසින් අව්රුදු 21හා ඊට වැඩි, අය වෙනුවෙන් මානුෂීක හැගීම් ,දැනීම් ගැන ගැඹුරින් සලකා බලා සමලිංගීකත්වය නිත්‍යානුකූල කළේ, එයද එක්තරා මානුෂීක කොටසකගේ හැඟීම් වලට දැඩිව බලපෑ නිසාය. එහෙයින් ජෝන් ශේල්සින්ගර්ට අත පය දිගහැර,පෙනිලොපෙ ජිලියාට් විසින් රචිත, සමලිංගීක, ද්වි ලිංගීක තේමාවක් මත ගලාගිය "සන්ඩේ බ්ලඩි සන්ඩෙි" චිත්‍රපටය නිදහසේ නිර්මාණය කළේය. එහෙත් මාපිටිගමට හා පයාගලට ඒ නිදහස තිබුනේ නැත. සංස්කෘතික හා සභ්‍යත්වය එක පැත්තකින් එරෙහී විය. ලංකාවේ නීතිය තව පැත්තකින් එරෙහි විය. පොදු ජනතාව වැඩි පිළිගැනීමක් නොමැති විෂයක් නිසා මෙම තේමාව හරහා, ප්‍රේක්ෂක ප්‍රසාදය ලබාගැනීමේ අවදානමද විය. ශේල්සින්ගර් ඉතාමත් සැහැල්ලුවෙන් ඉදිරිපත් කළ ඩොක්ටර් හර්ෂ් සහ එල්කින්ගේ දෙතොල් සිප ගැනීම මෙහී සනී හාමු හා අනුර යොදවා කරවීමට මාපිටිගමට හා පයාගලට නොහැක. එහෙයින් බොහෝ දේ සංකේතාත්මකව කිරීමට ඔවුනට සිදුවිය.

සනී හාමු දැඩිව කැලඹුණු අවස්ථා දෙකක් තිබුණි. ඒ, අනුර තම හිතවත්ම යහළුවාගේ කාරයේ නගිනවා දැකීමත්, අනුර විවාහ වීමත්ය. තමාගේ යහළුවා හැඩ රුව ඇති තරුණයන්ව කාරයේ දමාගෙන යන්නෙ මොනවාටදැයි සනී හාමු දන්නේ ඔවුන් එකම කුරුල්ලෝ නිසාය. තමාගේ යහළුවාගේ කාරයේ නැගී ගිය නිසා, අනුරට කම්මුල් පාරක් ගසා ඒ වේගය සනීහාමු පිරිමසා ගත්තද, අනුරගේ විවාහය නම් සනීහාමුට දරා ගැන්මට නොහැකි විය.

එල්කින් හා ඇලෙක්සි අතර ඇතිවන සම්බන්ධය හුදෙක්ම ලිංගීක ආශාවන් තෘප්තිමත් කරගැනීමට වුවද, ඇලැක්සි එල්කින් සමඟ ජීවත් වීමට හැකිවේවියැයි යන සිතුවිල්ලෙන්ද පසු විය. එලෙසම කවදා හෝ එල්කින් සමඟ ඉතාලියට ගොස් එකට ජීවත් වීමේ දැඩි බලාපොරොත්තුවක් ඩොක්ටර් හර්ෂ්ට තිබුණි. ඔහු ඒ වෙනුවෙන් ඉතාලි භාෂාව ස්වයං ලෙස ඉගෙන ගනිමින්ද සිටියේය.

ශේල්සින්ගර්ගේ ඩොක්ටර් ඩැනියල් හර්ෂ් සහ මාපිටිගම හා පයාගලගේ සනී හාමු අතර බොහෝ අභ්‍යන්තර සමානකම් තිබුණි. ඩොක්ටර් හර්ෂ් එල්කින්ට දැඩිව ආදරය කළ අතර, සනී හාමුද අනුරට එලෙස දැඩිව ආදරය කළේය.

"මලට නොඑන බඹරු" ලාංකේය සිනමාව තුළ කිසියම් කැලඹීකට පත්වුයේ, ලාංකේය සිනමාවේ එතෙක් කථා නොකළ තේමාවක් නිසා විය හැක. එසේම එය ලාංකේය සිනමාවට නුහුරු වූ නිසාය. 1948 ඇරඹූ ලාංකේය සිනමාවට මෙවන් ප්‍රබල මානූෂික තේමාවක් ගෙන ඒමට 33 වසරක් ගතවිය. නමුත් ඇමරිකාවේ පළමු සමලිංගීක චිත්‍රපටයක් බිහිවූයේ 1895 දීය. එහිදී පිරිමින් දෙදෙනෙක් එක්ව ආලිංගන රැඟුමක් අඩංගු විය. මාගේ මතකය අනුව එය "ද ඩික්සන්" නැමැති චිත්‍රපටයකි . මෙම චිත්‍රපටය 'ගේ බ්‍රදර්ස්' නම් නවකථාවක් පාදක කර ගත් කථාවකි. අප ලංකාව ඉන් අවුරුදු 128 පසුවය මෙම තේමාව ස්පර්ශ කළේ.

සනී හාමුට ස්ටෙලාව අවශ්‍ය වන්නේ ඇයි කියන එකට වඩා සනී හාමුට අනුර අවශ්‍ය වන්නේ ඇයි කියන එක 'මලට නොඑන බඹරු' හී උලුප්පා පෙන්වා තිබුණි.

සනීහාමුගේ ජීවිතය තුල බොහෝ අද්භූත දෑ සැගවී ඇති යැයි සිතුවද, එලෙසම ,මාපිටිගම හා පයාගල සනීහාමු ගූඪ පුද්ගලයෙක් යැයි පෙන්වන්නට උත්සහා ගත්තද , මේ කිසිවෙක් අද්භූත හා ගූඨ පුද්ගලයෝ නොවීය. ඔවුන් සියල්ලෝම දිව්වේ තම ශරීරයන් සතපා ගැනීමේ ආශාවන් පසුපසය. සනී හාමු, අනුර, ස්ටෙලා, සිරිපාල පමනක් නොව, ගෙදර වැඩ කරන මහළු සේවකයා වූ ජේමිස්ද, සිරිපාල හා ස්ටෙලා හාමු එළිමහනේ කරන ලිංගීක කාර්යන් හොරෙන් බලමින් සතුටු වූවෙකි. මේ අතරට අලුතින් එක්වූ දෙදෙනා අනුර ගේ බිරිඳ හා අනුරගේ නිවසේ බෝඩිං වී සිටි මැදිවියට ලංවූ විවාහක බෝඩිංකරුය. මාපිටිගම හා පයාගල, මේ සියල්ලෝම ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දී තිබුණේ, විදුලි බුබුළු වටා කැරකෙන ⁣මෙරූ ලෙසය.

'මලට නොඑන බඹරු' මුල සිටම කිසියම් වූ ඛේදවාචකයකට අර අදින බවක් පෙන්වන්නට විය. පල්ලියක අනුරගේ විවාහ මංගල්ලය පෙන්වන අතර, ඒ රූප රාමුව තුළම සනීගේ නිවසේ සනීගේ කැලඹිල්ල පෙන්වන්නට විය. අනුරගේ විවාහය කිසිදිනෙක සාර්ථක වන්නෙ නැතැයි සනී හාමුගේ සිත කීවේය. කීවා පමණක් නොව, ඔහු එසේ විය යුතුයැයි ප්‍රාර්ථනා කළේය. එසේ වුවහොත් අනුර තමාව සොයා එන බව සනීහාමු දනී.

එල්කින් සමඟ ගත කරන රාත්‍රීන් වල සුන්දරත්වය ඔහුත් සමඟ ඉතාලියට ගොස් සදහටම විදීමට ඩොක්ටර් හර්ෂ් ලක ලෑස්ති විය. පලමු විවාහය අවුල් කරගත් ඇලෙක්සි තමාට වඩා බාල එල්කින් සමඟ ව්වාහවී පවුල් කන්නට බලා සිටියාය. එහෙත් එල්කින් කිසිවෙකුට නොකියා ඇමරිකාවට යන්නට අවශ්‍ය ලිපි ලේඛන සකස් කළේ, සමලිංගීකයෙක් සමඟ හෝ වැන්දඹු ගැහැනියක් අතර තම තාරුණ්‍යය දියවෙනවාට වඩා තමනට රිසි සම්ප්‍රදායික ජීවිතයක් ගත කිරීමටය. එහෙත් ඔහු යෑමට ප්‍රථම ඩොක්ටර් හර්ෂ්ට කීවේ තමා යළි පැමිණෙන බවත්, ඉන්පසු ඉතාලියට යා හැකි බවකි. නමුත් ඒවා යලි කිසිදිනයක සිදුනොවන දේවල් බව ඩොක්ටර් හර්ෂ් පමණක් නොව, එල්කින්ද දැනගෙන සිටියේය. එල්කින් ඇමරිකාව බලා පියාසර කළේය. ඩොක්ටර් හර්ෂ් සහ ඇලෙක්සිගෙ බලාපොරොත්තු සුන් විය. "සන්ඩෙ බ්ලඩි සන්ඩෙ " හී අපූරුම ජවනිකාව එල්කින් ගිය පසු අහම්බෙන් ඩොක්ටර් හර්ෂ් හා ඇලෙක්සි මුණ ගැසෙන අවස්ථාවය. මෙහි ඒකිනෙකාගේ ප්‍රේම වියෝගය , වියෝගයක් වූවද, එය හදවත පීරි මදිමින් අවසන් කළේය. ප්‍රේක්ෂකයා ගේ දැඩි අනුකම්පාව දිනාගන්නේ ඩොක්ටර් ඩැනියල් හර්ෂ්ගේ චරිතයයි. ඔහු හැම ඇතිවීමක්ම හා නැතිවීමක්ම මැදිහත් සිතින් පිළිගන්නට පුරුදු විය. එල්කින් සමඟ ගතකළ සුන්දරමවූ අවසන් රාත්‍රියට පසු එල්කින් තමා ලඟ තිබූ ඩොක්ටර් හර්ෂ්ගේ නිවසේ අතිරේක යතුර මේසය උඩ දමා ගොස් තිබුනි. ඩොක්ටර් හර්ෂ් එල්කින්ගේ ඇසුරෙන් ලැබූ වින්දනය ඉමහත්ය. ඔහුගේ එකම සතුට වූයේ එල්කින්මය. එහෙත් දැං එල්කින් ඔහුව අත්හැර ගොස් ඇත. මේ විප්පයෝගය උපේක්ෂාවෙන් විඳ දරා ගැන්මට ඩොක්ටර් හර්ෂ් හුරුවන්නට විය.

එහෙත් සනී හාමු එසේ නොවීය. අනුරගේ විවාහයෙන් පසු ඔහු වියරු වැටෙන්නට විය. ස්ටෙලා ,උයන්පල්ලා සමඟ කායිකව එක්වීම දුටුවිට, සනී හමු ප්‍රකෝප වූයේ ඒ හේතුව නිසාම නොව, අනුර තමා හැර යාමේ 'ෂොක්' එකටය. ස්ටෙලාව නානකාමරයේ නාන බේසම තුළ හිර කර මරා දමන්නේද ඒ ශොක් එකටමය. සේවකයාගේ අතේ අනුරට පණිවිඩ කීපයක්ම ඇරියද, ඔහු පැමිණියේ නැත.

අනුර මොනතරම් උත්සහ ගත්තද තම මංගල රාත්‍රියේම ඔහු පරාජීත විය. ඔහුට නියම තත්වයට ඒමට නොහැකි විය. ඉන්පසු දින කීපයක් උත්සහ කළද තම බිරිඳව සැනසීමට ඔහුට නොහැකි විය. අනුරගෙ ගත සිත ඉල්ලන්නෙ වෙන දෙයකි. එයට තල්ලු නොවෙන්නට ඔහු හැකි හැම උත්සහායක්ම ගත්තද ,ඔහුව එතැනටම ඇද වැටෙන්නට විය. එහෙත් ඔහු තම අලුත් ජීවිතයට කෙසේ හෝ හුරුවන්නට උත්සහ ගතී. මේ අතරේදීය, අනුරගේ පියා කීවේ, සනී හාමු පනිවිඩ කීපයක්ම එවා ඇති හෙයින් අනුරට ඔහුව ගොස් බැලිය යුතු කියා. එලෙසම පියා කීවෙ, සනී හාමු අනුරගේ එකල පාසැල් කටයුතුවලටත් බොහෝ සේ වියදම් කර ඇති බවකි. එසේ වියදම් කළේ ඇයිදැයි දන්නේ අනුරම පමණි.

අනුර සනී හාමු සොයා යනවිට එතැන සිදුවී තිබුනේ මහ ඛේදවාචකයෙකි. පහල තට්ටුවේ මහලු සේවකයා වූ ජේම්ස්ව මරා දමා තිබුණි. අනුර ඉහළ තට්ටුවට නගින විටම ඔහුට වෙඩි ශබ්දයක් ඇසුණි. අනුර උඩට ගොස් බැලිය. සනීහාමු වෙඩි තබාගෙන මියගොස් තිබුණි. අනුරගේ දෙනෙත් තෙත් වූවද ඔහු වහා එතැනින් මෑත්වී තම නිවස බලා ගියේ, මේ සියල්ලම අමතක කර තම බිරිඳ සමග යහපත් පවුල් ජීවිතයක් ගත කරන චේතනාවෙනි.

ඔහු නිවසේ කාමරයට ගිය පසු එහි බිරිඳ සිටියේ නැත. ඔහු නිවසේ හැම තැනම බැලුවද ඇය සිට්යේ නැත. අවසානයේ ඇය බෝඩිංකරුගේ කාමරයට එබිකම් කළේය. තම බිරිද එහී සිටියාය. ඇය සිට්යේ නිරුවත්ව, බෝඩිම් කරු සමඟය. චිත්‍රපටය අවසන් කළේ එතැනින්ය.

ලාංකේය සිනමාව තුළ මා දුටු විශිෂ්ටතම පුරුෂ රංගනයන් දෙකක් තිබේ. " දෙවියනි ඔබ කොහිද?" චිත්‍රපටයේ සෙබස්තියන් උන්වහන්සේගේ චරිතය එකකි. 70 දශකයේ සිටින කතෝලික පියතුමෙකුගේ චරිතයක් කිරීම පහසු නැත. භාවමය ගතිලක්ෂණ වලින් සපිරූ ශරීරයේ හැම චලනයක්ම පාලනය කරමින් ගාමිණී ෆොන්සේකා කළ ඒ රංගනය අද්විතීය විය.

සමලිංගීක කිසිදු ක්‍රියාවලියක් නොපෙන්වා. ඇහිබැම, ඇස්, නාස⁣ය, තොල්, මුහුණේ නහර ,මෙන්ම බැල්ම, කථාව, හිනාව, වේදනාව, කෝපය, රැවුම් ගෙරවුම් ඒ සියල්ල හරහා තමා සමලිංගීකයෙකු යැයි පෙන්වන රංගනය මොනතරම් විශිෂ්ට විය යුතුද? ජෝ අබේවික්‍රම එතෙක් මෙතෙක් කළ විශිෂ්ටතම මෙන්ම අසීරුම රංගනය මේ සනී හාමුය.

අනුරගේ චරිතයට අනුගතවුනු අජිත් ජිනදාස, තමාගේ සිනමා ජීවිතයේ කළ එකම රඟපෑම මෙය විය. මා එසේ කීවේ අනෙක් හැම චිත්‍රපටයකම අජිත් මොකක්දෝ දෙයක් කළා මිස රඟපෑවේ නැති නිසාය. ජේමිස්ගේ චරිතය මෙයට වඩා විකාශය වූවා නම් වරකාගොඩට ඔයිට වඩා දෙයක් කිරීමට තිබුනි. සංගීතය, කැමරාව හා සංස්කරණය ලාල් පියසේන උසස් මට්ටමක තිබුනි.

ඇමරිකානු ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට ⁣ඩොක්ටර් හර්ෂ් වූ පීටර් ෆින්ච්ව යෝජිත වී තිබූ අතර බ්‍රිතාන්‍ය 'බිෆාටා' සම්මාන උළෙලේ හොදම නළුවා වූයේ 'සන්ඩෙ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ ඩොක්ටර් හර්ෂ්ගේ චරිතය රග පෑ 'පීටර් ෆින්ච්' ටය.

1983 සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමිවූයේ 'මලට නොඑන බඹරු" චිත්‍රපටයේ සනී හාමු ලෙස රඟපෑ 'ජෝ අබේවික්‍රමටය'.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.