අඳ ගොවීන් හා සූරූපී ගැහැනියක පිළිබඳ චණ්ඩානන්දරය සුද්දිලාගේ කථාව

මාර්තු 28, 2019

මුදලාලිට බඩ කඩිත්තුව හැදුණේ බන්ඩා, මුදලාලි හාමිනේ එව් කෑම පාර්සලය රැගෙන ආ වෙලේය. කඩය මොහොතකට හෝ බණ්ඩාට භාර දී යන්නටද ලෝභය. ඌ සතයක් හෝ පිල්ලි ගැහුවොත් ඒ පාඩුව හෝ දරා ගත යුත්තේ මුදලාලිමය. එහෙත් බඩ කඩිත්තුව මුවාවෙන් මේ දුවන්නේ වෙන මොකක්දෝ ගින්නක් නිවා ගැන්මටය. බඩ කඩිත්තුව නම් හොද කර ගතැයි සිතිය හැක. එහෙත් අනෙක් ගින්න නම් කවදාවත් නිවෙන ගින්නක් නොවීය. මුදලාලි මේ හුරේ කියා දුවන්නේ ඒ ගින්නට පිච්චෙන්නය.

සුද්දි වන ලැහැබට වී මුදලාලි එන තෙක් බලා සිටියි. සුද්දි පිච්චෙන්නේ රාගයෙන්ම නොව, බඩගින්නේය. සුද්දිට අවශ්‍ය තම හාමතයෙන් මිදීමටය. ඊයේ උදයට කෑවට පසු හරි හමන් කෑමක් කුසට වැටුණේ නැත. මුදලාලි වුවද නිකං කන්න දෙන්නේ නැත. උන්ට කන්න දුන්නොත්ය, තමන්ටත් කන්න ලැබෙනුයේ.

සයිමන් නවගත්තේගම කවදත් තම කෘති වලට අවංක වෙයි. ඔහුට හංගා ගැහීමට අවශ්‍ය නැත. මිනිසෙකු හෝ ගැහැනියකගේ චින්තනය තුළ ඇති නැතිවෙන හැඟිම් නවගත්තේගමගේ පෑන් තුඩට රිංගන්නේ විශ්මකර්මයක් සේය.

ධර්මසිරි බණ්ඩාරනායක හොද අමුද්‍රව්‍ය රැසක් අඩංගු කෘතියක් වූ සයිමන් නවගත්තේගමගේ "සුද්දිලගේ කථාව" තෝරා ගත්තේ මේ තුළින් සැලෝලයිඩ් පටිය හරහා විශ්මකර්මයක් කළ හැකි බව දැණුනු නිසාය.

පීටර් තමාගේ පාඩුවේ ජීවත් වන්නෙකි. එහෙත් ඔහුගේ සහෝදරයා වූ අවුසදයා හැමදාම අරක්කු බී ගෙන විත් පීටර් සමඟ රණ්ඩු අල්ලන්නේ පීටර්ගේ ඉඩම් අක්කර කාල තමාට අයිතිවිය යුතුයැයි කියමිනි. අවුසදයා වැඩ කළේ ආරච්චිලට අයිති ඉඩම් හා කුඹුරු වලය.

මුදලාලි විවාහ වී හිට්යේ ආරච්චිලගේ නංගි සමඟය. මුදලාලිගේ නම සිරිමෙවන්ය. සිරිමෙවන් මේ කාශ්ඨක ගමට පාවි ආවේ යෞවන කාලයේදීමය. තම පියාගේ ඔලුවට පොල්ලකින් ගසාය සිරිමෙවන් මේ ගමට පැන ආවේ. ඉන්පසු ඔහු කිසිදිනෙක තම ගම්පළාතට ගියේ නැත. සිරිමෙවන් කොහොමත් කපටිය. ඔහු කෙසේ හෝ ආරච්චිලගේ නංගිව දැපනෙ දාගත්තේය. ඒ ආරචිචිලගේ නංගිට, සෑහෙන ඉඩකඩමක් අයිතිව තිබූ නිසාය. සිරිමෙවන් ආරච්චිල ගේ නංගිව විවාහ කර ගත්තා පමණක් නොව, ඇයට අයත් ඉඩකඩම්ද අයිති කර ගතී. එලෙසම ගමේම සරුසාර කඩයක්ද දමා බින්න බැහැ ගතී. එතැන් පටන් නිකම්ම නිකම් සිරිමෙවන්, සිරිමෙවන් මුදලාලි විය. තමාගේ පවුලේ ඉඩකඩම් මොන උප්පරවැට්ටියකින් හෝ අයිති කර ගැන්ම ගැන ආරච්චිල සිරිමවෙන් මුදලාලි සමඟ සිටියේ යටි සිතින් තරහවෙනි. තමාගේම නංගී කසාද බැඳගත් නිසා මුදලාලිට ආංචියක් අදින්නට ආරච්චිලට නොහැකිවිය. මුදලාලිද ආරච්චිලට ආම්බාන් කළ හැකි හෙංචයියෙක් නොවේ.

නවගත්තේගම මැවූ මේ හැම චරිතයකම තිබුණේ ප්‍රාණවත් බවකි. විශ්වාසනීයත්වයකි. ධර්මසිරි බණ්ඩාරනායකට තිබූ අභියෝගය නම් සැලෝලයිඩ් පටියේදී මේ චරිතවලට පණ දීමය. එයට හොඳ ප්‍රාණවත් හරඹයන් කළ හැක්කන් සොයා ගත යුතුය. "සුද්දිලාගෙ කථාව" චිත්‍රපටය පුරාම දුටුවිට බණ්ඩාරනායක ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දී තිබුණි.

ආරච්චිල පට්ටම අයින් කර ග්‍රාමසේවක නිලධාරින්ට පත් වීම් භාර දී ඔවුනට බල තල ලබාදීමේ වැඩ පිළිවෙලකට රට පරිවර්තනය වන්නට විය. .ඔය 1958 වර්ෂයේය. එලෙසම ඉඩම් පනත්ද වෙනස් වන්නට විය. එකල බොහෝ ඉඩකඩම් අයිති ක⁣ර ගන්නේ ආරච්චිල පට්ටම් දරන අයය. ඔවුන් ඔවුනගේ බලය යොදා අසරණ ගැමියන්ගේ ඉඩකඩම් කුණුපොල්ලෙට කොල්ල කා ගනී. ඉන්පසු ගැමියන්ට සිදුවන්නේ එකල ඔවුනට අයිතිව තිබූ ඉඩම් වල අදේට වැඩ කරන්නටය. එකල නිලධාරිවාදය එතරම්ම හිස ඔසවා තිබුණි. එහෙත් අවුරුදු ගනනාවක් අනුන්ගේ ඉඩම් වල වැඩ කරන අයට එම ඉඩම් අයිතිවන පනතක් පාර්ලිමේන්තුව තුල සම්මත වී තිබුණි. මේවා ගම්මුන්ට සංනිවේදනය වෙනවා අඩුය. ආරච්චිල මෙම ආරංචි යට ගහගෙන සිටින්නට උත්සහා කෙරුවද සිරිමෙවෙන් මුදලාලිට මෙය ආරංචි විය. ඔහු මෙය අවුසදයාගේ කනේ තබා, අවුසදයාව පෙලඹූවේ දැං බය නැතිව ආරච්චිලගෙන් තම අයිතිවාසිකම් ඉල්ලන්නට කියාය. අවුසදයාද කට ගොන්නක් බී ගත් පසු ආරච්චිලගෙන් 'ගේම' ඉල්ලීය. මෙය ආරච්චිලට වදයක් විය.

අක්කර කාලේ ඉඩමට තම සොහොයුරු පීටර් සමඟ හැමදාම ගෝරි දාගන්නා, අවුසදයාව, ඉවරයක් කර, එය පීටර්ගේ ගිණුමට බැර කළ හැකියැයිද, එවිට මේ කරදරේ මෙතැනින් අවසන්ඬ කළ හැකියැයි ආරච්චිලට හිතුණි. ආරච්චිල එයට ප්ලෑනක් ඇන්දේය. එහෙත් එය ක්‍රියාත්මක කරවීමට නම් රොමියෙල් නිදහස් වී එනතෙක් සිටිය යුතුවේ.

නවගත්තේගම මැවූ මෙම චරිත බණ්ඩාරනායක හොඳ හැටි වටහා ගෙන තිබුණි. නවගත්තේගමගේ පෑන් තුඬින් බිහිවුණු මෙම ආන්දෝලන චරිතවලට බණ්ඩාරනායක ඇට, ලේ, මස් නහර දී ප්‍රාණය ලබා දී නිසි ලෙස හසුරුවා තිබුණි.

සිරිමෙවන් මුදලාලි හා ඇති කර ගත් ඇසුර, සුද්දි දිගටම පවත්වාගෙන යන්නට විය. රොමියෙල් එනතෙක් ජීවත් විය යුතුය. එතෙක් මුදලාලි සමඟ ඇලී ගැලී සිටීමේ වරදක් සුද්දිට පේන්නේ නැත. මුදලාලි තමාට මල්ල පුරවා බඩු දෙනවාට, තමාද මුදලාලිට මල්ල පුරවා දෙයි. ගනු හා දෙනු නියමාකාරයෙන් සිදුවේ.

රොමියෙල් නිදහස් වී ආයේ මේ අතරේදීය. නිදහස් වී ආ සැනින්ම, ආරච්චිල රොමියෙල්ට අවුසදයාව නැති කිරීමේ කොන්ත්‍රාත්තුව භාර දුනි. එහෙත් රොමියෙල් එය භාර ගත්තේ නැත.

'මට තවත් මිනීමරන්න බැහැ' යයි රොමියෙල් කීය. ආරච්චිල කෙතෙක් ඇවටිලි කළද, රොමියෙල් කොහොමටත් කැමතිවූයේ නැත.

'ආයෙත් හිරගෙවල් වල ලඟින්න මට ඕනෙ නැහැ'

මෙයින් ආරච්විල රොමියෙල් සමඟ තරමක් විරසක විය. මුදලාලිගේ ඇවිස්සීමෙන් අවුසදයා තම ඉඩකඩම් ඉල්ලමින් ආරච්චිලට නොනවත්වාම කරදර කරන්නට විය.

මේ අතර සුද්දි රොමියල්ට කීයේ ආරචිචිල කී දෙය අසා, අවුසදයාව මරණ ලෙසය. ආරච්චිලව තරහා කරගෙන මෙම වසමේ සිටිය නොහැකි බව සුද්දි රොමියෙල්ට පෙන්වා දුනී. එහෙත් මෙතැන සුද්දිගේ අභ්‍යන්තර සිතුවිලි එක්වරම තේරුම් ගත නොහැක.

ඇතැම් විට ඇයට අවශ්‍ය වූයේ රොමියෙල්ව මෙම මිනීමැරුමට සම්බන්ධකර යලි හිර ගෙදරට ඇරීමට විය හැක. එසේ වුවහොත් ඇයට සිරිමවෙන් මුදලාලි සමඟ සුපුරුදු සම්බන්ධය ගෙනයා හැකි අතර කිසිදු කරදයක් නොමැතිව, මුදලාලිගෙන් කෑම බීමද ලැබෙනු ඇත.

නොඑසේ නම් රොමියෙල් ,අවුසදයාව මැරූ පසු ආරච්චිලගෙන් ලැබෙන මුදල් හා වෙන වෙන වාසී ගැනීමේ සිතකින්ද සුද්දි පසුවන්නට ඇත. ඔය කොයි දේ වුනත් සුද්දිට උවමනා, රොමියෙල්ව බිල්ලට දී හෝ තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැන්මටය. රොමියෙල් වැනි නන්නත්තා⁣රයෙකු ගැන එහෙම හිතන එකට එක අතකට සුද්දිට වරදක් කීමටද බැරිය. රොමියෙල් සුද්දි ලඟ සිටිනවාට වඩා වැඩි පුර සිටින්නේ හිර ගෙවල්වලය. මාසයයක් කන්න බොන්න දුන්නොත් , තව මාස 6 ක් සුද්දි විසින් කෑම බීම සොයා ගත යුතුවේ. සිරිමෙවන් මුදලාලිගේ හොර ගැහැනිය වී සිටීම මීට වඩා දාහෙන් සම්පතයයි සුද්දිට සිතුණි.

ආරච්චිලගේ කොන්ත්‍රාත්තුව භාර ගැන්මට සුද්දි රොමියෙල්ව පොලඹවන්නට ඇත්තේ එවන් හේතු නිසා වන්නට ඇත.

ආරච්චිලට උවමනා, ආරච්චිලට එන හැම කරදරයක්ම නැති කරදමා ගන්නටය. අවුසදයා ජීවත් වුව හොත් ඉදිරීයේදී ආරච්චිලට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවන බව ආරච්චිලට ඉවෙන් මෙන් දැනුණි. රොමියෙල් ලව්වා අවුසදයාව මරා, එය පීටර්ගෙ අතින් සිදුවූ දෙයක් ලෙස පෙන්නා දෙන්නට ආරච්චිල උත්සහ කළේ, නිතරම ඔවුන් දෙදෙනා රණ්ඩු වන නිසා, ගම්මුන්ද එය විශ්වාස කරන බව ආරච්චිල දන්නා නිසාය.

මෙම කොන්ත්‍රාත්තුව ගැන්මට රොමියෙල් අකමැති වූවත්, අවසානයේදී සුද්දිගේ බල කිරීමට රොමියෙල් කැමති විය.

එහෙත් මෙයින් සිදුවූයේ අනෙකකි. අවුසදයාව මැරීම වෙනුවට, මිය ගියේ පීටර් හා ආරච්චිලය. පීටර්ව අත් වැරැද්දකින් මිය ගිය අතර, රොමියල් ආරච්චිලව මැරුවේ උවමනා කමින්මද?.

සයිමන් නවගත්තේගම තම කෘතිය පුරාවටම, කුතුහලය, ත්‍රාසය, තෘෂ්ණාව, මෙන්ම, රාගය,ද වපුරවා තිබුණි. ඔහු එය තම තිරනාටකයටද නොඅඩුව එක් කර තිබුණි. නවගත්තේගම විසින් ධර්මසිරි බණ්ඩාරනායකට හොද 'බර' තිබෙන තිරනාටකයක් ලියාදී තිබූ අතර, බණ්ඩාරනායක එයින් පූර්ණව ප්‍රයෝජනය ගෙන තිබූ බව පෙණුනි.

පීටර්ගේ අනේපේක්ෂිත මිය යෑමෙන් තනිවූ පීටර්ගේ බිරිඳව බලා ගැනීම තමාගේ යුතුකමක් බව රොමියෙල්ට හැඟුනි. ඒ පීටර් මිය ගියේ තමාගේ අතින් හෙයිනි. ආරච්චිල වැන්නන් නම් මිය යෑමෙන් ගමටත්, රටටත් සෙතක් යැයි රොමියෙල්ට සිතුණු හෙයින් ආරච්චිල තමා අතින් මිය යෑම ගැන නම් රොමියෙල් සිත යටින් සතුටු විය. රොමියෙල් පීටර්ගේ බිරිඳට ඇ⁣ගෑළුම් පාන්න යාමෙදී ඔවුන් අතර අනියම් සම්බන්ධයක් ඇති විය. සුද්දිට එය එතරම් ප්‍රශ්නයක් නොවුයේ, ඒවන විට සුද්දි මුදලාලිටම අයිති වුණා හා ගානට සිටි නිසාය.

එහෙත් ගැහැනු ගැහැනු අතර ඉරිසියාව පැන නැගුණු පසු සිදුවෙන විනාශයන් වල බරපතළකම් සිතා ගැන්මටත් නොහැකිය.

පීටර් ගේ බිරිඳ රොමියෙල් සමඟ තොදොල් වන විට, සුද්දි හා මුදලාලිගේ සම්බන්ධය රොමියෙල්ගේ කනේ තිබ්බේ හරියට පීටර් ගේ බිරිඳගේ රෙද්දේ තුත්තිරි ගහක් වත් ඇලී නැති ගානටය.

බෝම්බය පිපුරුණි. රොමියෙල්ට යක්ශාවේශ විය. තමා කෙතරම් ගැහැනු හා සම්බන්ධ වූවද, සුද්දිට වෙන මිනිස්සු සමඟ යෑමට බැරිය. ඒ රොමියෙල්ගේ නීතිය. ඒවා පදනම් වන්නේ තනිකරම ඊරිසියාව මතය.

එහී ප්‍රථිපලය වූයේ රොමියෙල් සුද්දි ව මරා දැමීමය.

සයිමන් නවගත්තේගම ගේ "සුද්දිලාගේ කථාව" පුරාවටම තිබුණේ ඛේදවාචකයන්ය. ඉරිසියාව, කුහක කම්, යටත් කිරීම්, මෙන්ම ශෘංගාරය, මිනී මැරීම්, මේ හැම දෙයක්ම සුද්දි, සිරිමෙවන් මුදලාලි, ආරච්චිල, රොමියෙල්, පීටර්, අවුසදයා, පීටර්ගේ බිරිඳ අතරින් ගමන් කර, ඔවුන්ව විනාශ කර දැමීය.

ධර්මසිරි බණ්ඩාරනායක මේ හැම සිදූවීමක්ම හොදහැටි අවබෝධ කරගෙන තිබුණි. හැම ජවනිකාවකටම ඔහු ඔහුගේ පූර්ණ අවධානය යොදා තිබූ බව දැනුණේ ඒ හැම ජවනිකාවකම තිබූ ජවය නිසාය.

හැම චරිතයකටම ඔහු තෝරාගෙන තිබුණේ ලාංකේය සිනමාවේ අතී දක්ෂ රංගන ශිල්පීන්වය. ඔවුන් එකිනෙකට නොපරදින ලෙසය තම රඟපෑම් ඉදිරිපත් කළේ. හරියට කිසිවෙක්, කිසිවකට පරදින්නට අකමැති ලෙසය ඔවුන් රඟපෑවේ.

ස්වර්ණා මල්ලවආරච්චි , සයිමන් නවගත්තේගමගේම සුද්දි විය. එලෙසම ඇය ධර්මසිරි බණ්ඩාරනායකගේම සුද්දිද විය. තිර රචකයා මැවූ සුද්දි කව්ද?, අධ්‍යක්ෂක වරයා මවන සුද්දි කව්දැයි, ස්වර්ණා මල්ලවආරච්චි හොඳ හැටි හඳුනාගෙන තිබුණි. එලෙසම නවගත්තේගම මුලින්ම තම සාහිත්‍ය කෘතියේ මැවූ සුද්දි සමඟද ස්වර්ණා ඇසුරු කර තිබූ බවක් දැණුනි.

සිරිමෙවන් මුදලාලි වූ සොමි රත්නායකට, චිත්‍රපටය තුළ අතපය දිගහැර රඟපෑමට හොඳ ඉඩකඩක් ලැබුණි. ප්‍රේක්ෂකයාට සොමි රත්නායකව හොඳහැටි දැනෙන්නට විය. ආරච්චිල ගේ පරාසය තිරනාටකයේ මඳ බවක් දැණුනි. එහෙයින් ජෝ අබේවික්‍රමව අනෙක් චරිත යටපත් කරගන්නට විය. සිරිල් වික්‍රමගේටද සිදුවූයේ එයමය. සාහිත්‍ය කෘතියේ කේන්ද්‍රීය චරිතයක් වූ රොමියෙල් තිරනාටකය තුළ සැගවී යන්නට උත්සහ දැරීය. චිත්‍රපටය තුළද එය සිදුවිය. එහෙත් ජෝ අබේවික්‍රම හා සිරිල් වික්‍රමගේ ගේ රංග කෞශල්‍යය චරිත අභිබවා මතුවීම නම් වලැක්විය නොහැකිවිය. සලොමන් ෆොන්සේකා පීටර් වූ අතර ඔහුගේ බිරිඳට නිලන්ති ව්ජේසිංහ පණ දුනි. ආනන්ද විජේසිංහ අවුසදයා විය. ලලිතා සරත්චන්ද්‍ර ,මුදලාලි හාමිනේය. ජේ.එච්.ජයවර්ධන, සුනේත්‍රා සරත්චන්ද්‍ර ,අසෝක පීරිස්,ග්‍රැන්විල් රොද්ද්‍රිගූ, සෙසු චරිත රඟපෑහ. කැමරාකරණය ඇන්ඩෘ ජයමාන්න ගෙනි, සංගීතය ප්‍රේමසිරි කේමදාසය. චිත්‍රපටයට කැමරාව, හා සංගීතය කළ මෙහෙවර නම් විශිෂ්ඨය.

1985 මාර්තු මස 29 වන දින ප්‍රදර්ශනය ආරම්භ කළ "සුද්දිලාගේ කථාව" නම් ඒ විශිෂ්ට වූ චිත්‍රපටය නිෂ්පාදනය කළේ බන්ධුල ගුණවර්ධනය.

1986 සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වූයේ ද සුද්දිලාගේ කතාවයි.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.