මිය ගියද නොමළ දරු සෙනෙහස

ස්පර්ශ
අගෝස්තු 22, 2019

සියල්ල අත්භූතජනකය. මෙතෙක් සිදු වූ හැල හැප්පීම් හරියට සිතුවම්පටයක කතාවක් වැනිය. වෛද්‍ය රෝහණ කල්පනා කළේ එයයි. පළමුව ඔහුගේ රැකියාවට කණකොකා හැඬුවේය. දෙවැනුව සිටි නිවසින් එළියට බසින්නට සිදු විය. පෞද්ගලික වෛද්‍ය ආයතනයට ඉබි යතුරු වැටිණ. සිය එකම දරුවා පාසල් යන්නට අකැමැතිව හඬා වැටුණේය. වෛද්‍ය රෝහණ මේවා දෙස උපේක්ෂා සිතින් විමසා ගමේ තම නිවසට යන්නට තීරණය කළේය. කතාව ඇරැඹෙන්නේ එතැනිනි. මෙතෙක් ලියැවූයේ එහි පෙරවදන පමණි. ගමේ නිවසේදී තව තවත් අද්භුත ජනක සිදුවීම්වලට වෛද්‍යවරයා මුහුණපායි. බිරිය නිතර පවසන්නේ තමන් දෙස කවුරුන් හෝ බලා සිටින ආකාරයක් දැනෙන බවයි. පුතණුවන්ට ද එසේමය. භාවනායෝගීව ජීවිතය ගත කරන තැනැත්තියක් වෛද්‍ය රෝහණට හමුවන්නේ මේ අතරතුරදීය. ඇය පවසන්නේ ඔහුගේ දරුවාගේ පිටුපසින් අමනුෂ්‍ය ආත්මයක් ලුහුබඳින බවය. බටහිර වෛද්‍ය විද්‍යාව උගත් රෝහණට මෙය උභතෝකෝටික ගැටලුවක් වන්නේය.

ඔහු ඊට මුහුණ පාන්නේ කෙසේද .

ටෙලි නාට්‍ය කලාව තුළ නමක් රැන්දූ දිලුක ප්‍රසාද් ගුණතිලක තිරයට ගෙන එන මුල්ම සිනමාපටය ස්පර්ශ නම් වෙයි. එහි කතාවේ අංශුමාත්‍රයක් එලෙස අපි සඳහන් කරමු. භීතිය දනවන චිත්‍රපට ගණයට වැටෙන මෙය ලාංකේය සිනමාලෝලි ඔබට වෙනස්ම අත්දැකීමක් වනු නොඅනුමානය.

ස්පර්ශ සිනමාපටයේ නළු නිළියෝ

ක්ලීටස් මෙන්ඩිස්, නීටා ප්‍රනාන්දු, විශ්ව ලංකා, මොරින් චාරුණි, දුලානි අනුරාධා, කීර්ති කේ. රත්නායක, නෙත්ම ආකාශ, සංජුල දිවාරත්න, මාධවී වත්සලා.

තිර රචනය සහ අධ්‍යක්ෂණය – දිලුක ප්‍රසාද්

නිෂ්පාදනය – රනිෂ්ක සමරතුංග

කැමරාකරණය – මයුර කෞශල්‍ය

සහාය අධ්‍යක්ෂණය - සුරේන් රාජපක්ෂ

සංස්කරණය – විශාර නිශ්ශංක

වර්ණ සංයෝජනය - ශාන් අල්විස්

සංගීත අධ්‍යක්ෂණය - පෙසංක උදය කුමාර

අංග රචනය – ඉන්දික විජේරත්න

නිෂ්පාදන කළමනාකරණය - සුපුන් අනුරාධ

   

Add new comment