විජේ සේතුපතිට මුරලිගෙන් දුස්රා පුහුණුවක්

අගෝස්තු 22, 2019

පසුගිය කාලයේ කා අතරත් වැඩි කතාබහට ලක් වු මාතෘකාව වූයේ ක්‍රිකට්. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලාංකිකයන්ට නම් එතරම් ප්‍රීති දායක නොවූවත් ක්‍රිකට් සම්බන්ධ තවත් සුබදායක පුවතක් අසන්න ලැබුණා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ මුත්තයියා මුරලිදරන් පිළිබඳ පුවතක් එයින් කියවුණා. නමුත් එයට මූලික වූයේ ක්‍රිකට් ක්ෂේත්‍රය නොව සිනමාව වීම තවත් විශේෂත්වයක්. ඒ පුවත මුරලි සිනමාවට පිවිසීම පිළිබඳ නොව මෙරටින් බිහි වූ සුපිරිතම පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳවයි.

මෑත කාලීනව ඉන්දීය සිනමාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ජීවිත කතා ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය වීම සුලභව දකින්න ලැබුණු දෙයක් විය. ඒ අතරේ ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමු කරමින් Sachin: A Billion Dreams (2017), M.S. Dhoni: The Untold Story (2016) වැනි චිත්‍රපට සේම මේ දිනවල රූ ගැන්වෙන 83 චිත්‍රපටය, ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණය සහ එවකට එහි නායකතවය දැරූ කපිල් දේව්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූවක්. ලොව ජාත්‍යන්තර ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තා සතු කරගත් මුත්තයියා මුරලිදරන් ගැන කියන චිත්‍රපටය නිර්මාණය වන්නේ දකුණු ඉන්දීය සිනමාවෙන්. එය නම් කර තිබෙන්නේ 800 ලෙසින්. ශ්‍රීපති රංගස්වාමි විසින් එය අධ්‍යක්ෂණය කෙරෙනු ඇති බවත් වාර්තා වෙනවා.

1972 අප්‍රේල් 17 නුවරදී උපත ලැබූ මුත්තයියා මුරලිදරන් පිරිමි දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා විය. මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ අධ්‍යාපනය ලබන අවධියේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් දැක්වූ මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙමින් සිය ක්‍රිකට් දිවියේ ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1992 වසරේදීයි. එම තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති අතර ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගයක් සමඟින් 1993 වසරේදී ජාත්‍යන්තර එක්දින වරම් ලැබීය. 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට ගෙන ආ ක්‍රිකට් කණ්ඩායමේද මුරලි කැපී පෙනුණු ක්‍රීඩකයෙක් විය.

ලොව බිහිවූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා බවට පත්වෙමින් මුරලි එක්දින තරග 350 කදී කඩුලු 534 ක්ද ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක්ද බිඳහෙළන්නට සමත්විය. සිය අවසන් ටෙස්‌ට්‌ තරගයේදී කඩුලු 800 දවා ගැනීම සඳහා මුරලිට අවශ්‍යව තිබුණේ කඩුලු අටක් පමණි. එහිදී කඩුලු අටක්‌ දවා ගනිමින් 800 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල සටහන් කිරීමට ඔහු සමත් විය. දහනව වසරක් පුරා දඟපන්දුවෙන් ක්‍රිකට් ලොව බිය ගැන් වූ මුරලි 2011 වසරේ අප්‍රේල් 2 වැනිදා ඉන්දියාවට එරෙහි තරගයකට මුහුණ දෙමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.

දකුණු ඉන්දීය සිනමා තොරතුරු ගෙන එන්නේ, මේ වසර අවසානවීමට පෙර රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත 800 චිත්‍රපටය අධික පිරිවැයකින් නිර්මාණය කෙරෙන්නක් බවයි. ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව සහ එංගලන්තයේදී එහි රූගත කිරීම් සිදු කිරීමට නියමිත බවද එහි සඳහන් වේ. දෙමළ සිනමාවේ ජනප්‍රිය නළුවකු වන රානා දග්ගුබති මෙම චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වීමට නියමිත අතර ජනප්‍රිය නළු විජේ සේතුපති විසින් එහි මුරලිගේ චරිතයට පණ පෙවීමට නියමිත බවත් වාර්තා විය. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයෙන් යුතු ඇඳුමින් සැරසී සිටින සේතුපතිගේ රුවින් යුතු පෝස්ටර් පවා අන්තර්ජාලයට එක් කර තිබුණි. නමුත් මේ අතර ඇතම් පුවත් වාර්තා කර සිටියේ සේතුපති, මුරලි චරිතයෙන් ඉවත් වී ඇති බවයි. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ගෞරව පිණිස තමන් එම චරිතයෙන් ඉවත් වූ බව සේතුපති පැවසූ බව එම පුවත් වාර්තා අතර විය. විජේ සේතුපති මුරලිගේ චරිතය නිරූපණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් ඉන්දීය දේශපාලන සංවිධාන අප්‍රසාදය පළ කර ඇති බවත් එම පුවත් වාර්තා අතර විය.

විජේ සේතුපති මේ වන විට දෙමළ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තරුවක් බවට පත් වී සිටින්නෙකි. කොලිවුඩයේ අංක එකේ සිනමා තරුව රැජනිකාන්ත්, විජේ සහ අජිත් ගෙන් පසුව වයස් පරතරය වැඩි රසික ප්‍රජාවක ලබන්නට ද ඔහු සමත් වී සිටියි. වෘත්තියෙන් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සේතුපති පසු කාලීනව රංගනයට පිවිස සාර්ථක චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළේය. එම චිත්‍රපට බොහොමයක් වාණිජ සාර්ථකත්වය ලබමින් ඉහළ විචාරක පැසසුම් ද ලබන්නට සමත් විය. පසුගිය මාර්තු මාසයේ තිරගත කෙරුණු Super Deluxe චිත්‍රපටයේ පුරුෂයෙකු ලෙසින් ඉපිද ලිංගික විපර්යාසයකට ලක් වී ස්ත්‍රියක බවට පත් වූ චරිතයක් නිරූපණය ඔහුගේ සිනමා දිවියේ කැපි පෙනුණි.

ඔස්ට්‍රේලියාව් පැවති සිනමා සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන ලබමින් විජේ සේතුපති දන්වා සිටියේ, තමන් මුරලි චරිතය අත්නොහළ බවයි. මුරලි කියන්නේ ලොව අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ චරිතයට පණ පෙවීම ඇත්තටම ලොකු අභියෝගයක් සේතුපති එහිදී පවසා තිබුණා. තවද මෙම චරිත නිරූපණය වෙනුවෙන් මුරලි විසින් විජේ සේතුපති හට ක්‍රිකට් පුහුණුවක් ලබා දීමට නියමිත බවත් වාර්තා වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.