විජය බා කොල්ලය ආයෝජනයක්

සැප්තැම්බර් 12, 2019

කිසියම් නවකතාවක් සිනමාවට නැඟීමේදී අනුගමනය කළ යුතු අනුගමනය කළ හැකි එසේම අනුගමනය කරන ආකාර ගණනාවකි. අවශ්‍යම නම් නවකතාවේ එන සියලු සිදුවීම් හා චරිත, නවකතාවේ ආඛ්‍යානයට ගැළපෙන පරිදිම සිනමාව කරා රැගෙන යා හැකිය. එසේම නවකතාවේ යම් කොටසක් වාරණය කොට සිනමාගත කිරීමේ හැකියාවක් ද පවතී . නවකතාවේ අරමුණු ඉක්මවා හෝ බැහැර කොට ස්වකීය අරමුණු සමඟම බැඳෙන සිනමාපට ද නොමැත්තේ නොවේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න, ඩබ්ලිව්. ඒ. සිල්වා ලියූ ‘විජයබා කොල්ලය’ නවකතාව සිනමාවට නඟන්නේ ඉන් කවර පිළිවෙතක් ඔස්සේ යමින්දැයි යන්න පැහැදිලිය. ‘විජයබා කොල්ලය’ නවකතාව ප්‍රමුඛ සාහිත්‍ය කතිකා විෂයයෙහි සම්මානයට, ගෞරවයට හා ඇගැයුමට පාත්‍ර වූ නවකතාවක් නොවේ. එහෙත් එය අතිශය රසවත් නවකතාවක්ය යන්න පාඨක පිළිගැනීමයි. ‘විජයබා කොල්ලය’ නවකතාව තමනට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නටයි මහාචාර්ය සුනිල් උනන්දු වන්නේ. යට කී සාධක ද්විත්වය ද නොසලකා නොහරින්නට ඔහු දැක් වූ කැමැත්ත අගනේය. මෙතැනදී ඔහු සෘජුවම පෙනී සිටින්නේ අන් මාධ්‍යයකින් ප්‍රකාශිත නිර්මාණයක් වෙනත් මාධ්‍යයක් කරා රැගෙන ඒමේදී පෙරට එන නිර්මාපක අභිමතය වෙනුවෙනි. කෙසේ නමුදු මෙහිලා අදාළ මුල් නිර්මාණයේ මුලිකාංග දූරිභූත නොකිරීමට ඉටා ගත යුතුය. මහාචාර්ය සුනිල් කිසි විටෙකත් ‘විජයබා කොල්ලය’ නවකතාවේ එන මූලික කරුණුු බැහැර නොකරයි.

මේ අනුව ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ප්‍රවිෂ්ටයට වඩා වෙනස් ප්‍රවිෂ්ටයක් ‘විජයබා කොල්ලය’ සිනමාපටයේදී සහතික කරලන්නට මහාචාර්ය සුනිල් ක්‍රියා කරන වග පෙනේ. ඉන් සිදුව ඇත්තේ ‘විජයබා කොල්ලය’ සිනමාපටය නරඹන කල ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතාව ප්‍රේක්ෂක සිරුරේ ගෑවී නොගෑවී යාමයි. මහාචාර්ය සුනිල්, ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතාවට සිතා මතා අගතියක් නොකළේය යන අදහස මෙතැනදී ඉස්මතු වේ.

‘විජයබා කොල්ලය’ දහසය වැනි සියවසේ මුල්සමය තුළ ලාංකේය දේශපාලන හා සමාජ පසුබිම විවරණයට බට සිනමාපටයක් සේ ඉදිරිපත් නොකිරීමද මහාචාර්ය සුනිල්ගේ අභිප්‍රායකි. ඓතිහාසිකව සනාථ වූ චරිත හා සිදුවිම් අතරට ප්‍රබන්ධයක් ගෙන ඒමටයි ඔහු පළමු වටයේදීම තීරණය කරන්නේ. ඇත්ත වශයෙන්ම ඔහු අවතීර්ණ වන්නේ තුන් කොන් පෙම් පලහිලව්වක් ඇසුරෙන් ප්‍රේක්ෂක ප්‍රජාව අමතන්නටය. සෙසු සියලු දෑ ඊට මහෝපකාරී කර ගැනීමේ පිළිවෙතක් සකස් කර ගන්නට ද ඔහු සමත් වෙයි.

මේ අනුව මහාචාර්ය සුනිල්ගේ ‘විජයබා කොල්ලය’ සිනමාපටය හා ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘විජයබා කොල්ලය’ නවකතාව අතර ප්‍රබල වෙනස්කම් ප්‍රකාශයට පත් වන වග සැක හැර දැන ගත හැකිය. යට කී සිරුරේ ගෑවී නොගෑවී යන ලක්ෂණය සක්‍රියව පවතින්නේ මෙනිසාමයි. වරෙක වැටහෙන්නේ මහාචාර්ය සුනිල් තුන් කොන් පෙම් පලහිලව්ව ආකර්ෂණීය දවටනයක් ඔස්සේ ප්‍රේක්ෂකයනට සංග්‍රහ කරනු පිණිස උත්සුක වන වගය. පෘතුගීසි ආක්‍රමණය, රජ වාසලේ කුමන්ත්‍රණ ආදිය තීරණාත්මක නොවන්නේ යැයිද සිතේ. නමුත් මෙබඳු හැඟීම් ඉස්මතු වීම වළක්වන්නට මහාචාර්ය සුනිල් පියවර ගැනීම වැදගත්ය. සිනමා අධ්‍යක්ෂණයෙහි දිගු කලක් නිරතව සිටීමෙන් ලද අත්දැකීම් මෙතැනදී ඔහුට සහය වූයේ යැයි සිතේ. ‘විජයබා කොල්ලය’ සිනමාපටය ප්‍රේක්ෂකාගාරය අභියසට පැමිණෙන්නේ සමීප රූප හා මධ්‍යම සමීප රූප බහුල, වර්ණවත් රූපාවලියකිනි. දහසය වැනි සියවසේ මුල් සමයේ ලාංකේය පසුබිම හා පෘතුගීසි පැමිණීම ඒ හැටියෙන්ම නිරූපණයට වඩා එක්තරා විචිත්‍ර රීතියකින් උපදින තථ්‍ය ලෝකයම නොවන ඉසව්වක් නිරූපණයට සිනමාකරු මහාචාර්ය සුනිල් පියවර ගන්නේ සහේතුකවය.

සිනමාපටය මුල සිට අග දක්වාම ක්‍රමිකව දිග හැරෙන හෙයින් අතීතාවර්ජන, සහිත හෝ උප කල්පන නිරූපණයකට අවකාශයක් නොසැලසේ. වරින් වර රජවාසලේ හා පෘතුගීසි වාඩියේ දේශපාලන හා යුද කටයුතු වාචිකව හෝ සඳහන් කළ ද වැඩි ජවනිකා ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ අර පෙම් පලහිලව්ව වෙනුවෙනි. මෙතැන තරුණයන් දෙදෙනෙකු හා තරුණියකි. තිදෙනාම සමකාලීන ප්‍රභූ සමාජය නියෝජනය කරති. තරුණයන් දෙදෙනා නයනානන්ද හා අසංග මුලදී විරසකව සිටය ද පසුව දෙමිතුරන්ව සේවය කරන්නේ එකම යුද පෙරමුණකය. තරුණිය - නීලමණී තමාට වඩා සෙනෙහෙවන්ත තරුණයා කවුරුන්දැයි කියා තෝරා බේරා ගත නොහැකිව අන්ද මන්ද වන අවස්ථා ගණනාවකි. මොවුනත’ර ප්‍රේමය උත්කර්ෂයට නැංවෙන්නේ මේ අවිනිශ්චිත තත්ත්වය ද නිසාවෙනි.

සිනමාකරු මහාචාර්ය සුනිල් එසමය එලෙසින්ම නිරූපණයට වඩා මේ ප්‍රේම වෘත්තාන්තය නිරූපණයට දක්වන අධිකතර කැමැත්ත හේතු කොට ගෙන ‘විජයබා කොල්ලය’ ගෙවුණු සමයේදී විචාරක ප්‍රශ්න කිරීම් බොහොමයකට ලක් වූ සුලබ ඉතිහාස කතා සිනමාපටයක් වීමෙන් වැළකෙයි. එහෙත් මුළුමනින්ම නොවේ.

‘විජයබා කොල්ලය’ එසමය හෝ මෙසමය මත නොරැඳුණු විචිත්‍ර හා වර්ණවත් ඉසව්වක් කරා තථ්‍ය ලෝකය මඟහැර ගිය සිනමාපටයක්ය යන්න අවධාරණය කරනු පිණිස ද මුලින්ම එන්නේ නයනානන්ද, අසංග හා නීලමණීය. නයනානන්ද හා අසංග පුරාණ රෝම සෙබළුන් සිහිියට නංවයි. පෘතුගීසි වාඩිය මධු විතකින් ද සප්පායම් වී රූමත් ස්ත්‍රියකගේ පහසද නොඅඩුව ලද හැකි අවන්හලක් බඳුය. රජ මැදුරු හා සෙනෙවි මැදුරු ප්‍රේක්ෂකයා එසමයටම ගෙන නොයන බව නිසැකය.

විමසිලිමත් පේ‍්‍රක්ෂකයන් විපිළිසර වන අවස්ථා දෙක තුනකින් ද ‘විජයබා කොල්ලය’ සමන්විත වෙයි. ඊට වගකිව යුත්තේ හෝ නිදහසට කරුණු ඉදිරිපත් කළ යුත්තේ අධ්‍යක්ෂණය ද, තිර නාටකය ද නොඑසේ නම් සංස්කරණය ද යන්න අපැහැදිලිය. නමුත් අඩු වැඩි වශයෙන් මේ පාර්ශ්ව ත්‍රිත්වයම ප්‍රශ්න කරන්නට එම ප්‍රේක්ෂක කණ්ඩායම් පසුබට නොවනු ඇත. තිර නාටකය රචනා කළ තිස්ස අබේසේකර කාලාන්තරයක් තිස්සේ හඳුනා ගැනෙන්නේ සමකාලීන ජීවිතය සේම පුද්ගලයා හා සමාජය අතර එකඟතා - නො එකඟතා ශූර ලෙස හසු කර ගන්නා සිනමා තිර නාටක රචකයකු හා සිනමාකරුවකු වශයෙනි. කෙසේ නමුදු පසුකාලීනව හා වර්තමානයේදී ඔහුගේ ප්‍රතිභාව අර්බුදයකට ගිය අවස්ථා ද දක්නට ලැබිණ. තවත් විටෙක හැඟෙන්නේ විජයබා කොල්ලය තිර නාටකය බඳු සිනමා තිර නාටක රචනා කරන්නට ඔහු අදහස් කිරීම ම අර්බුදයක් ද විය හැකි බවය. මේ අනුව පැහැදිලි වන්නේ මහාචාර්ය සුනිල් ‘විජයබා කොල්ලය’ තමාට අවශ්‍ය පරිදි අධ්‍යක්ෂණය කළ බවයි.

ප්‍රේක්ෂකයන් විපිළිසර වන පළමු අවස්ථාව වන්නේ සිනමාපටය ‘විජයබා කොල්ලය’ ලෙස නම් කිරීමයි. විජයබා කොල්ලය සේ කියැවෙන්නේ පෘතුගීසි ආගමනය සිදු වී දහසය වසරක් ගෙවුණු තැන කෝට්ටේ සිට රාජ්‍ය බලය පවත්වාගෙන ගිය විජයබාහු රජුට අත් වූ බිහිසුණු ඉරණමය. ඒ ඔහුගේ එක් පුත්‍රයකු වූ මායාදුන්නේගේ අනපේක්ෂිත තීන්දුවක් සමඟිනි. කෙසේ වතුදු නයනානන්ද – අසංග - නීලමණී තුන් කොන් ප්‍රේමය ඔප් නැංවීම නිසා සිනමාපටයේ විජයබා කොල්ලය නිරූපිතව ඇත්තේ අවශේෂ කරුණක් සේය. මෙතැනදී හමු වන ස්වාමීන් වහන්සේ නමක් අවධාරණය කරන්නේ මේ තමා විජයබා කොල්ලය කියායි. එය වියුක්ත වන්නේ නිමේෂයකිනි. නයනානන්ද – අසංග - නීලමණී තුන් කොන් පෙම් පුවත ධ්වනිත කරන නමකින් සිනමාපටය හඳුන්වා දීම වඩා සහේතුක යැයි සිතේ. එසේ වූයේ නම් සිනමාකරු මහාචාර්ය සුනිල්ට රිසි සේ නයනානන්ද – අසංග - නීලමණී තුන් කොන් පෙම් පුවත් විවරණයට අවකාශ සලසා ගත හැකිව තිබිණ.

නයනානන්ද – අසංග - නීලමණී අතර සබඳතා සතු යටි පෙළ ස්පර්ෂ කරන්නට මහාචර්ය සුනිල් උනන්දු නොවනවාම නොවේ. ඒ සීමාසහිතවය. නොඑසේ නම් සිදු විය හැකිව තිබුණේ සිනමාපටයේ රසාලිප්ත මුහුණුවර අර්බුදයට යාමය.

නීලමණී, නයනානන්දව දුටු මොහොතේම උත්සුක වන්නේ ඔහුට ප්‍රේම කරන්නටය. නයනානාන්ද ද එසේමය. විමසිලිමත් ප්‍රේක්ෂකයනට නම් මේ විමතිය දනවන්නකි. ප්‍රේක්ෂක බහුතරයකට නම් මේ බලාපොරොත්තු ඉටුවීමකි. චපල ස්ත්‍රිය යන කල් ඉකුත් වූ සංකල්පය තුළට නීලමණී නොකැඳවීම සිනමාකරු මහාචර්ය සුනිල්ගේ සමත්කමකි. ඊට සානුබල සපයන්නේ නීලමණී අරභයා වන නයනානන්ද – අසංග ප්‍රේමය ම නොවේ. ඔවුන් තිදෙනාගේ ප්‍රේමණීය හුවමාරු ආදියයි. වරක් අසංග පවසන්නේ තමා නීලමණීට දුරින් සිට ප්‍රේම කරන බවය. අසංගගේ රාගයෙන් තොර ප්‍රේමයට වඩා නයනානන්දගේ රාගික ප්‍රේමයට නිලමණී වඩා මනාප වුවාට සැකයක් නැත. සිනමාපටයේ රසාලිප්ත මුහුණුවරට අගතියක් වීමට ඉඩ ඇති නිසා ඔවුනගේ මනෝ භාවයන් පිරික්සීමේ ප්‍රයත්නයක සිනමාකරු මහාචාර්ය සුනිල් නිරත නොවෙයි. තිර නාටකය ද ඊට අනුබලයක් නොසපයන වග පෙනේ.

එක් අවස්ථාවකදී ආයුධ සන්නද්ධ පෘතුගීසි කණ්ඩායමක් නීලමණීගේ නිවසට පහර දෙති. ඇයත්, ඇයගේ මව හා පියාවත් බේරා ගනු ලබන්නේ ද්‍රෝහියකු සේ නම් කොට සිටි නයනානන්දය. මේ ගැටුම මධ්‍යයට අසංග ද පැමිණෙයි. ඊළඟ මොහොතේ ඔහු අතුරුදන් වෙයි. ප්‍රේක්ෂකයනට ඔහුව සොයා යාමේ ඉඩක් නැත. ඔවුනට නියම කොට ඇත්තේ මීළඟ අවස්ථා හා එක් වන්නටයි. ප්‍රශ්න නඟන්නේ සිනමාපටයේ දෘශ්‍යමාන ලක්ෂණ විනිවිද දකින්නට සූදානම් විද්වත් ප්‍රේක්ෂකයන්ය.

හෝරා දෙකකට අධික කාලයක් තිස්සේ ‘විජයබා කොල්ලය’ තිරය මත දිග හැරෙයි. සිනමාකරු මහාචාර්ය සුනිල් හා ඔහුගේ කණ්ඩායම සැදී පැහැදී සිටින්නේ කිසිදු වෙහෙසක් ප්‍රේක්ෂකයනට ගෙන නොදෙනු පිණිසය. ප්‍රේක්ෂකයන් ක්‍රියා කරන්නේ මීළඟට සිදු වන්නේ කුමක්දැයි යන ප්‍රශ්නය සේම එසේ සිදු වූයේ මන්දැයි යන ප්‍රශ්න ද්විත්වය මත හැසිරෙන්නටයි. එහෙත් ඒ තුළට පිවිසීමේ පිළිවෙත් ශාක්සාත් කර ගැනීමකින් තොරවය. ඉන් සිනමාපටය හා ප්‍රේක්ෂක ප්‍රජාව අතර බැඳීම තහවුරු කෙරේ. මෑත ඉතිහාසය තුළදී මහාචාර්ය සුනිල් මේ උපක්‍රමය භාවිත කළේ ආගමික හැඟීම් හා අතීත කාමය මුල් කර ගනිමිනි. මෙවර එය අපූර්ව පෙම් පලහිලව්වක් මුල් කරගෙන සක්‍රීය වේ.

හේමාල් රණසිංහ, අශාන් ඩයස් හා සෙනාලි ෆොන්සේකා ප්‍රධාන චරිත ත්‍රිත්වයට යම් නව්‍යතාවක් එක් කරලන්නට දක්වන කැමැත්ත සුළුපටු නැත. ඔවුනගේ රංගන කුසලතා ව්‍යවච්ඡේදනය මෙතැනදී අවශ්‍ය නොවන්නකි. මන්ද නව්‍යතාව සිනමාපටයේ රසාලිප්ත ස්වරූපයට අගනා පිටිවහලක් වන හෙයිනි.

මහාචාර්ය සුනිල් ‘විජයබා කොල්ලය’ හරහා විසිරුණු පවුලේ ප්‍රේක්ෂකයන් එක් කරලීමේ කාර්යයක ද නිරත වෙයි. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘විජයබා කොල්ලය’ කිය වූ වැඩිහිටියන්, පෘතුගිීසි විරෝධින්, ලාංකේය ඉතිහාසය සිනමාවෙන් දකින්නට මනාප වූවන්, තුන් කොන් ආදර අන්දරයක් විඳින්න සූදානම් තරුණ තරුණියන්, වීරත්වයට ඇලුම් කරන ගැටවර හා ළමා පාර්ශ්ව මෙසේ ‘විජයබා කොල්ලය’ නරඹනු පිණිස පවුලේ පේ‍්‍රක්ෂකයන් සේ සූදානම් වනු ඇතැයි සිතේ. සිනමා ශාලා පවත්වාගෙන යාමේ අභියෝගය උත්සන්න වන සමයක මහාචාර්ය සුනිල් ‘විජයබා කොල්ලය’ සිනමාපටය නිර්මාණය කරමින් දරන ප්‍රයත්නය ලාංකේය සිනමා කලාපයේ එළැඹෙන සමය වෙනුවෙන් කළ අවදානම් සහගත ආයෝජනයක් බවයි ඉන් කියැවෙන්නේ.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.