කෝටි 668 ක් වැය කළ චිත්‍රපටයක්

SYERAA
ඔක්තෝබර් 10, 2019

සරසවිය සම්මාන දිනූ ශිල්පීන් දෙදෙනෙකුත් චිත්‍රපටයේ

තෙළිඟු සිනමාව ඉන්දියානු සිනමාවේ වත් පොහොසත් කම් අතින් ඉහලම සිනමාවකි. අපට නිතර දකින්නට නොලැබුණත් දෙමළ සිනමාවේ නම්දැරූ බොහොමයක් නිෂ්පාදකවරු මෙන්ම චිත්‍රාගාර හිමියෝද තෙළිඟු බස වහරන්නෝ වෙති. එමෙන්ම තෙළිඟු සිනමාව තරම් පවුල්වාදය කරපින්නා ගත් සිනමාවක් නොමැති තරම්ය. එහි නම් දැරූ නිෂ්පාදකවරු නළු නිළියන් එකිනෙකා නෑයෝය. ඒ නෑකම අන්ද්‍රාවේ සහ තෙළඟනාවේ දේශපාලනය කෙරෙහි ද විහිද යයි. හැම ජනප්‍රිය නළුවකුම වාගේ දේශපාලන පක්ෂයක සාමාජිකයකු වන අතර සමහරුන්ට තමාගේම කියා පෞද්ගලික දේශපාලන පක්ෂ ද තිබේ. සාමාන්‍ය පොලිස් කොස්තාපල් පුතෙකුව ඉපිද තමිල්නාඩු සිනමාවේ සුපිරි තරුව බවට පත්වූ රජිනිකාන්ත් මෙන්ම තෙළිඟු සිනමාවේ සුපිරි තරුව චිරන්ජිවි ද පොලිස් කොස්තාපල් වරයෙකු ගේ පුතෙකි. තනිවම සිනමාවට පැමිණි චිරන්ජිවි සිනමාවේ පමණක් නොව දේශපාලනයේ ද පරපුරක් ද මේ වන විට ගොඩ නඟා හමාරය. ඔහුගේ පුත් රාම් චරන් සිනමාවට හඳුන්වා දුන්නේ 2007 වසරේ දී චිරුතා චිත්‍රපටයෙනි.

එහෙත් ඔහු තරුවක් බවට පත් කරන ලද්දේ තාත්තා සහ මාමා අල්ලු අරවින්ද් එක්ව නිපද වූ මගධීරා චිත්‍රපටයෙනි. එස්.එස්.රාජමෞලි විසින් නිර්මාණය කරන ලද මගධීරා තවමත් දැවැන්ත හා ආශ්වාදනීය නිර්මාණයකි. එහි වීරයා රාම් චරන් වුවත් එක තැනකදී සිනමා ප්‍රෙක්ෂකයන් ඔල්වරසන් දුන්නේ මෙගා ස්ටාර් චිරන්ජීව් එකවරම තිරයේ ප්‍රාදුර්භූත වූ හෙයින්ය. පුතා වීරයෙක් කරන්නට තාත්තා වැය කළ මුදල ඉන්දියානු රුපියල් කෝටි 35 කි. එය රාම් චරන් ජනප්‍රිය නළුවකු බවට පත් කළේය. එහෙත් තාත්තා අබිබවා යන සුපිරි නළුවකු වන්නට ඔහුට ද නොහැකි විය. ලොව බොහෝ රටවල නළු පුතුන්ට වූ සන්තෑසියම රාම් චරන්ට ද සිදුවිය. ඔහු ජනප්‍රියය. එහෙත් තාත්තා තරම් නොවේය. අහලකින් වත් තියන්නට බැරිය. තම භාර්යා වූ උපසානා කමිනේනි සමග විවාහයෙන් පසු ඔහු තමාගේම නිෂ්පාදන සමාගමක් තනා ගත්තේ කොනිඩේලා ප්‍රඩක්ෂන්ස් නමිනි. ඔහුගේ භාර්යාව උපසානා ඇපලෝ රෝහල් සමූහයේ හිමිකරුගේ දියනියකි.

කොනිඩේල් මුල්ම නිෂ්පාදනය 2017 වසරේ තැනුවේ කිලාඩි නම්බර් 150 නමිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ චිරන්ජීවිය. එයින් පසු තවත් දෙවසරකට පසු පුතා තාත්තා යොදා දැවැන්ත චිත්‍රපටයක් තනන්නේ ඉන්දියානු රුපියල් කෝටි 270 ක් වැය කරමිනි. අපේ මුදලින් එය කෝටි 668 කි. ඉතිහාසය පුරා මෙරට තැනුණු චිත්‍රපට සඳහා වැය කළ මුදල එක් කළ ද එතරම් මුදලක් වැයවුණායැයි සිතිය නොහැකි තරම්ය. පැය තුනකට ආසන්න කාලයක් වැය කරන මේ චිත්‍රපටය එකවර තෙළිඟු දෙමළ. හින්දි සහ කන්නඩ බසින් ලොව පුරා තිර ගතවීම ඇරඹුවේ ගිය සතියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය දැවැන්තය. එපමණ මුදලක් සිනමාකරු වැය කළ බවත් එය සාධාරණ වැයක් බවත් සිනමා තිරයේ දකින විට සිතෙනු ඇත. මෙරට බොහෝ චිත්‍රපට අච්චර වියදම් කළා මෙච්චර වියදම් කළායැයි පැවසුව ද චිත්‍රපටය නරඹන විට සිතෙන්නේ ඒවා ඇතැම් ආණ්ඩු ව්‍යාපෘති මෙනි. වියදම් කළ ගාණට වැඩේ නැත. සමහරවිට සල්ලි කා ළඟ හෝ ඇත. තිරයේ පෙනෙන්නේ නැත. සිනමා කෘතියට වියදම් කළ මුදල තිරයේ රූප රාමු වල ඇති පොහොසත්කමින් පෙනෙන්නට තිබිය යුතුය.

මේ චිත්‍රපටය ස්යෙ රා නරස්ම්හ රෙඩ්ඩිය. ඉන්දියානු සිනමාව සිය ඉතිහාසයේ බොහෝ වීර චරිත ඔප දමා හුවා දක්වමින් සිනමාවට ගොඩ නැඟිමේ සිරිත අද ඊයේ පටන් ගත්තක් නොවේ. නරසිම්හ රෙඩ්ඩි මාස කිහිපයකට පෙර සිනමාවට නැගුණ කාන්ගනා රනෝත් සම අධ්‍යක්ෂණය කළ මණිකර්ණිකා චිත්‍රපටයට පාදක වූ ලක්ෂ්මි බායි හෙවත් ජාන්සි හි රැජණ හා සමකාලින ඉතිහාසයේ ආන්ද්‍රාවේ ජීවත් වූවෙකි. අමීර් ඛාන් රඟපෑ කේතන් මෙහ්තා ගේ මංගල් පාණ්ඩේ ට පසුබිම්වූයේ ද එයට සමකාලින කතා පුවතක්ය. මේ චිත්‍රපට ත්‍රිත්වයෙහිම අඩු වැඩි වශයෙන් ජාන්සි හි රැජණ ගේ චරිතය ගැන සඳහන්වීම විශේෂයකි. 1847 වසරේ දී එවකට ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියානු සමාගමට එරෙහිව අරගලයක නියැළුණ වීරවරයෙක් වූ වූ උය්යලවාදා නරසිම්හ රෙඩ්ඩි ගේ චරිතය පාදක කර ගෙන විටෙක අතිශයෝක්තියෙන් යුක්තව මේ චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේය. 1847 වසර වන විට ඉංග්‍රීසින්ට එරෙහිව ඌව වෙල්ලස්සේ සහ මාතලේ දී නිදහස් සටන් දෙකකටම සිංහලයන් මුල පුරා සිටි වග මෙහිදී සිහිපත් වෙයි. එමෙන්ම එම අරගලයන් දෙකම බ්‍රිතාන්‍ය ඉන්දියානු සමාගමට එරෙහිව නොව සෘජුව ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග ඇති කර ගත් අරගලයන් විය. ඉන්දියාව බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනයට යටත්වූයේ 1857 වසෙර්ය.

ඒ අනුව චිත්‍රපටය පාදක කර ගනුයේ ඉන්දියානු නිදහස් අරගලයට මුල පුරණ කරුණු ය. එහෙත් එම කරුණු වලට වඩා තැන දෙන්නේ චිරන්ජීවි ගේ ජනප්‍රියත්වය හරහා වීර චරිතාපදානයක් ගොඩනැංවීමටය. මංගල් පාණ්ඩේ, මණිකර්ණිකා මෙන්ම නරසිම්හ රෙඩ්ඩි ද සිය අරගලය අවසානයේ පරාජයට පත් වුව ද සිනමාකරුවන් ඔවුන් වීරයන් කොට ප්‍රේක්ෂකයන් ගේ මනදොළ පුරවා ලයි. මේ අතිශයෝක්ති වීරත්වය දේව කතා හරහා තෙළිඟු සිනමාවට ගොඩ දැම්මේ තෙළිඟු සුපිරි නළුවකු ව සිටි එන්.ටී.රාමරාඕ ය. මෑතක අති දැවැන්ත ලෙස වියදම් කරමින් මන:කල්පිත වීරයකු ලෙස මැවුණු බාහුබලී සමග තෙළිඟු සිනමාවේ දැවැන්ත ෆැන්ටසි චිත්‍රපට පිළිබඳ අලුත් පිළිවෙතක් සැකසිණ. එහෙත් නරසිම්හ රෙඩ්ඩි මන:කල්පිත වීරයකු නොවේ. ප්‍රබන්ධ මගින් අතිශය වීරත්වයක් එයට ආරෝපණය කරනවා පමණකි.

චිත්‍රපටය පිළිබඳ රාම් චරන් විසින් මුල්ම නිවේදනය කරන ලද්දේ 2017 වසෙර්ය. එහි රූප ගත කිරීම අගෝස්තුවේ ඇරඹිමට නියමිත වි තිබිණ. එහි අධ්‍යක්ෂණය පැවරුණේ සුරේන්ද්‍ර රෙඩ්ඩිටය. 1975 වසරේ උපන් රෙඩ්ඩි ගේ මුල්ම චිත්‍රපටය 2005 වසරේ තිර ගත වූ අතනොක්කඩේ වූ අතර ඔහු මේ වන විට තෙළිඟු සිනමාවේ නව පරපුරේ බොහෝ නළු නිළියන් සමඟ කටයුතු කෙරුවෙකි. ඔහුගේ මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂවරයෙකුගේ මුල්ම චිත්‍රපටයට ආන්ද්‍රාවේ පිරි නැමෙන නන්දි සම්මානය දිනා ගත්තේය. පසුව රේස් ගුරාම් චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂට හිමි සීමා සම්මානය රෙඩ්ඩිට දිනා දුන්නේය. සෙයි රා නරසිම්හ රෙඩ්ඩි ඔහුගේ දැවැන්තම චිත්‍රපටයයි. එයට පෙර ඔහු 2016 වසරේ දී රාම් චරන් රඟපෑ දෘවා චිත්‍රපටය නිර්මාණය කළේය.

මෙම චිත්‍රපටයේ දැවැන්තම දර්ශනය වූ යුද දර්ශනය රූප ගත කරන ලද්දේ 2018 සැප්තැම්බරයේය. එම දර්ශනය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 45ක් වැය කරන ලදී. මෙම දර්ශන සදහා ලන්ඩනයේ සිනමා සටන් අධ්‍යක්ෂවරුන් වන ග්‍රෙග් පොවෙල් සහ ලී වයිට්කාර් ද සහභාගි විණ. චිත්‍රපටයේ සංගීතය සදහා මුලින් තෝරා ගැනුනේ ඒ.ආර්.රෙහමාන් වුවත් කාර්ය බහුලත්වය මත ඔහු එයින් ඉවත් විය. පසුව එහි ගීත සඳහා අමිත් ත්‍රිවේදී ද පසුබිම් සංගීතය සඳහා ජුලියස් පාකිම් ද දායක විය.නරසිම්හ රෙඩ්ඩි ගේ චරිතය චිරන්ජීවිට පැවරෙද්දී ඔහුගේ භාර්යාව සිද්ධම්මා ලෙස නයනතාරා ද ඔහුට පෙම් බඳීන දේවදාසියක ලෙස තමන්නා ද රංගනයෙන් දායක විය. අමිතාභ් බච්චන් ආරාධිත රංගනයක යෙදුණේ නරසිම්හ රෙඩ්ඩිගේ ගුරුවරයා ලෙසය. බච්චන් තෙළිඟු චිත්‍රපටයකට රංගනයෙන් දායක වන දෙවන අවස්ථාවයි. මෙහි දෙමළ පිටපතේ පූරකයා ලෙස කමල්හසන් ද මලයාලම් පිටපතේ පූරකයා ලෙස මොහාන් ලාල් ද කටයුතු කිරීම විශේෂ කරුණකි. චිත්‍රපටයේ සංස්කාරක මෙන්ම ශබ්ද නිර්මාණ ශිල්පියා ද සරසවිය සම්මාන දිනුවෝ වීම විශේෂයකි. සංස්කරණය ශ්‍රී කර් ප්‍රසාද් ගෙනි. ශබ්ද නිර්මාණය තපස් නායක් ගෙනි. අති දැවැන්ත පසුතලයක ගොඩනැගෙන චරිත විග්‍රහය පිළිබද විචාරකයෝ ප්‍රශංසා කරති. එමෙන්ම සිනමා කෘතියේ බලවත්ම ශක්තිය එහි යුද්ධමය ඇතුළු දැවැන්ත දර්ශන රූප ගත කරන ලද විලාසයයි.

එහි රූප ගැන්වීම බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍රවීම කැපී පෙනෙන කරුණකි. සුපුරුදු පරිදි ඉතිහාස කතා සිනමාවට නැංවීමේ දී ඉතිහාසඥයන්ගෙන් නැගෙන චෝදනා මේ චිත්‍රපටයට ද පොදුය. එහි තිර නාටක රචකයන් වූ පරුචූරි සහෝදරයන් ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් වුව ද සිදුවීම් සහ චරිත ගොඩනැඟිම හා ගැටුම නිරූපණය හා විශිෂ්ට තිර නාටකයක් ලෙස හුවා දක්වන්නට එය නැරඹීමේ දී කිසිසේත් මැළි නොවෙති. සිනමා කෘතියක් ලෙස එහි දැවැන්ත අපූර්වත්වය කිසිවකුගේ විවේචනයට ලක් නොවීම සදහන් කළ යුතු කරුණකි. ඒ සිනමාකරුගේ විශිෂ්ටත්වයත් තිර නාටක රචකයන්ගේ සහ සිනමාකරණයේ විලාසයත් නිසා ගොඩනැගුණකි. එය කිසිසේත්ම තෙළිඟු සිනමාවේ දැවැන්තම කෘතිය ලෙස සැලකෙන රාජාමෞලිගේ බාහුබලීට දෙවැනි නොවෙයි. චිරංජීවිගේ රංගනය ද මේ ප්‍රශංසාවේම කොටසකි. මේ නිසාම නරසිම්හ රෙඩ්ඩි ගේ අවසානය ප්‍රේක්ෂකයා තුළ ඇති කරලනුයේ කම්පාවකි.ඉන්දියාවේ දී චිත්‍රපටය තිර ගත කළ මුල් දින තුන තුළ ලද ආදායම රුපියල් කෝටි 132 ක් ඉක්මවා යෑම විශේෂයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.