ලොකු පුතා ගෙදර ඇවිත් JYESHTHOPUTRO

පෙබරවාරි 13, 2020
JYESHTHOPUTRO 
(THE ELDER SON)
DIRECTED BY- 
KAUSHIK GANGULY
WRITER- KAUSHIK GANGULY 
PRASENJIT CHATTERJEE
RITWICK CHAKRABORTY
SUDIPTAA CHAKRABORTY
GARGI ROY CHOWDHURY 

චිත්‍රපටයක් රූප ගත කරන අතරතුර ලැබෙන හදිසි දුරකතන පණිවිඩයකි. රූප ගත කිරීම් අතරතුර දුරකතන පණිවිඩයක් ලබා දිය නොහැකි නමුත් මේ පණිවිඩය එහි ප්‍රධාන චරිතය රඟපාන ඉන්ද්‍රජිත් ගංගෝපාද්‍යට දිය යුතුම වෙයි. ඉන්ද්‍රජිත් වංග සිනමාවේ නැතහොත් බටහිර බෙංගාල සිනමාවේ සුපිරි තාරකාවය. පණිවිඩයෙන් කියන්නේ තාත්තා අභාවප්‍රාප්ත වූ පුවතයි. ඒ සමඟ රූප ගත කිරීම් නතර කරනු ලබයි. ඉන්ද්‍රජිත් සිය උපන් ගම බලා පිටත්වෙයි. ආරංචිය ලද සැණින් මහ ඇමැති උපන් ගමට නුදුරින් වූ ඔහු ගේ ප්‍රාදේශීය නිළ නිවසේ සුපිරි තරුවට නවාතැන් පහසුකම් සපයන්නේය. ඉන්ද්‍රජිත් ගමට යන්නේ හෙලිකොප්ටරයකිනි. හෙලිකොප්ටරයක් ගමට බසිනු දකින ගැමියෝ එයින් බසින්නේ තම සුපිරි තරුව බව දැක ගනිති. ඔවුන්ගෙන් බේරි ආරක්ෂක නිලධාරින් සමග ඔහු මහගෙදරට පැමිණෙන්නේ තවත් සැතැපුම් ගණනාවක් ගෙවා ගෙනය. ඔහු සමඟ පුද්ගලික ලේකම්වරිය ද ,සහායකයා ද ඇතුළු තවත් පරිවාර කිහිප දෙනෙක් ද සිටිති.

ගම්මානයක පිටිසර නිහඬ එකකි. ඉන්ද්‍රජිත් ගමට පැමිණෙන්නේ දස වසරකට පසුවය. ඔහු ගමෙන් පිටව ගියේ ගමට අති විශාල සේවාවක් කළ විදුහල්පතිවරයෙකුගේ ලොකු පුතා හැටියටය. මේ තාත්තා පැරැණි කොමියුනිස්ට්වාදියෙකි. ගමේ පාසැලේ නිර්මාතෘවරයා ද ඔහු ය. තාත්තා හොඳ සාහිත්‍යධරයෙකි. ඉන්ද්‍රජිත්ගේ බාල සොහොයුරා පර්තෝ ඔවුන්ගේ මහගෙදර ජීවත් වෙයි. මිය යනතුරුම තාත්තා ජීවත්වූයේ ද එහිය. එය දැවැන්ත පැරැණි නිවසකි. කලක් මෙහි ජීවත්වූවෝ යසඉසුරින් වැජඹෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. පර්තෝ නාට්‍ය රචකයෙකි. ගැමි නළුවෙකි. ඔහුගේ භාර්යාව නොබෝ දිනකින් මවක වනු ඇත. නිවසේ එක් කාමරයක සිහි විකල් වූ සොහොයුරිය ඉලා ජීවත් වෙයි. ඇය මේ සොහොයුරන් දෙදෙනාට මැදිව උපන්නියකි. නිවසේ මහලු සේවකයා ඇයගේ සියලු ආවතේව කටයුතු කරයි. මේ පැරණි දැවැන්ත නිවසේ නවාතැන් ගන්නට ඕනෑතරම් ඉඩකඩ තිබුණ ද ඉන්ද්‍රජිත්ගේ වර්තමාන පසුබිම එයට ඉඩ දෙන්නේ නැත. ඒ ඔහු සුපිරි තරුවක් බැව්න් තම තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ සැලකිය යුතු හෙයින්ය. ඉන්දියානු සිනමා කර්මාන්තයේ සුපිරි නළුවන්ට සිය වෘත්තිය ගරුත්වය උදෙසා කළ යුතු කැපවීම් විශාලය. එබැවින් ඔහු රාත්‍රිය නවාතැන් ගත්නේ පූර්ණ රැකවල් සහිත මහ ඇමැති තුමන්ගෙන් ලැබුණු ප්‍රාදේශීය නිල නිවාසයේය.

මේ පසුගිය වසරේ මා දුටු චිත්‍රපට අතරින් වඩාත්ම සිත සසල කළ චිත්‍රපටයේ මුල් ජවනිකා පෙළයි. චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපටයකි. භාෂාව වංග භාෂාවයි. නම ජ්‍යෙෂ්ඨොපුත්‍රොය. සිංහලෙන් කියන්නේ නම් ලොකු පුතාය. ඉන්ද්‍රජිත් ලෙස රඟපානුයේ ද වර්තමාන බෙංගාලි සිනමාවේ සුපිරි නළුවකු ලෙස ගැනෙන ප්‍රොසෙන්ජිත් චැටර්ජිය. හැටේ දශකයේ ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවකු වූ බිස්වාජිත්ගේ පුත්‍රයාය. ජ්‍යේෂ්ඨොපුත්‍රො චිත්‍රපටය සුප්‍රකට බෙංගාලි සිනමාකරු අභාවප්‍රාප්ත රිතුපර්නෝ ගෝෂ් ගේ අත්දැකීමක් අනුව ඔහු විසින් ලියන ලද තිරනාටකයක් ඇසුරෙන් ගොඩනැගුණකි. රිතුපර්නෝ සිය පියාගේ මරණයෙන් පසු තමා හා පියා අතර තිබුණ සම්බන්ධතාව අලළා රචනා කරන ලද තිරනාටකයට තබන නම වූයේ අන්යෝ නායොක්ය. ඔහුගේ හදිසි මරණයෙන් පසු මේ පුවත ඇසුරෙන් ජ්‍යෙෂ්ඨොපුත්‍රො නමින් තම විසි තුන් වැනි සිනමා නිර්මාණය තිරයට ගෙන ආවේ වර්තමාන බෙංගාලි සිනමාවේ විශිෂ්ටයකු ලෙස සැලකෙන කෞෂික් ගංගුලි විසිනි. ඔහු විසින් 2013 වසරේ නිර්මාණය කරන ලද ඕපු පංචාලි චිත්‍රපටයද මෙහිලා සිහිපත් කරන්නට කැමැත්තෙමි. ඕපු පංචාලි චිත්‍රපටයට පාදකවනුයේ සත්‍යජිත්රායිගේ පතේර් පංචාලි චිත්‍රපටයේ ඕපු ලෙස රඟපෑ සුබීර් බැනර්ජිගේ චරිතාපදානයයි. සුබීර් පසුකලෙක ඕපු ලෙස රඟපෑවේ තමායැයි පවසන්නට බිය විය. එයට හේතුව ඕපු ගේ චරිතයෙහි එන සියලු සිදුවීම් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ හා සමානව සිදුවීමය. ගංගුලි ඕපු පංචාලි නිර්මාණය කරනුයේ සුබීර්ගේ සැබෑ සිදුවීම් හා රායිගේ ඕපු ත්‍රිත්වයේ ජවනිකා එක හා සමානව සම්මිශ්‍රණ කරමින්ය. 2016 වසරේ දී ඔහු විසින් ඩිජිටල් ලෝකය හමුවේ අසරණ වන ඉන්දියාවේ තනි සිනමා ශාලා හිමියකුගේ ජීවිතය පසුබිම් කර ගනිමින් සිනෙමාවාලා නමින් සිනමා නිර්මාණයක් තිරයට ගෙනාවේය. මෙවර ඔහු එබී බලනුයේ සිනමා නළුවකුගේ අභ්‍යන්තරයටය

හින්දු චාරිත්‍ර අනුව පියාගේ අවමංගල චාරිත්‍ර සිදු කළ යුත්තේ ලොකු පුතා අතිනි. දස වසරකට පසුව ඔහු යළි ගමට පැමිණෙන්නේ එබැවින්ය. පැමිණෙන්නට නොහැකි තරම් ඔහු කාර්යබහුලය. නිවාස අඩස්සියේ සිටින සොහොයුරියට ඔහු පෙනෙන්නේ වීරයකු හැටියටය. ඈ ලොකු අය්යාට ආදෙර්ය. බාල සොහොයුරා මේ දැවැන්ත මන්දිරය නඩත්තු කර ගත නොහැකිව ජිවත්වෙයි. ඔහුගේ කල්පනාව පාරම්පාරික නිවස විකුණා දමා නගරයට යාමටය. එහෙත් එය විකුණන්නට නම් ලොකු අය්යාගේ කැමැත්ත තිබිය යුතුය. අය්යා විසින් ගෙන එන ලද මිල අධික මත්පැන් බෝතලයක් රාත්‍රියේ බෙදා ගන්නා දෙසොහොයුරෝ සංවාදයකය. සහෝදරත්වය අතරතුර යළි පෑරෙන සිත්වේදනා නම් තුවාලයන්ය. ඉන්ද්‍රජිත් නගරයේ ඉසුරුමත් දිවියක් ගත කරද්දී සියල්ලට මුහුණදී ඇත්තේ පර්තෝ ය. පර්තෝ ලෙස රඟපාන රිට්වික් චක්‍රබෝර්ති මෙන්ම ඉලා ගේ චරිතය රගපාන සුදිප්තා චක්‍රබෝර්ති ගේ රංගනය මවිත කරවන සුළු එකකි. මුළු සිනමා කෘතිය පුරාම නළු නිළියන් විසින් ඉස්මතු කරවනු ලබන රංගනය විශිෂ්ටය. ඉන්ද්‍රජිත්ගේ පැරණි පෙම්වතිය මෙන්ම තාත්තාගේ හොඳම ශිෂ්‍යාව වූ සුදිප්තා වර්තමනයේ විදුහල්පති ධුරය හොබවන්නීය. ඇය තවමත් අව්වාහකය. ඉන්ද්‍රජිත්ගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයක් ඇය කියවා තිබිණ. එහි බොහෝ කරුණු නිරවද්‍ය නොවන බව දන්නා නමුදු ඇය එහි නිවැරදි කරන්නේ ලේඛකයා විසින් කරන ලද ව්‍යාකරණ දෝෂයන්ය. 

ඉන්ද්‍රජිත්ගේ පියා වෙනුවෙන් පාසලේ පැවැත්වෙන ගුණ සමරු උත්සවය පාසැලේ නිර්මාතෘවරයාට වඩා ඇතැමෙකුට සිය සිනමා වීරයා ඉදිරියේ ලකුණු දමා ගැනීමට අවස්ථාවකි. සුදිප්තා ට එය තම ගුරුවරයාට ගෞරවය දක්වන්නට ලැබෙන අවස්ථාවකි. මූලික පුවත හා ගැටෙද්දී එක එල්ලේ ඉස්මතු කළ එකක් ලෙස නොව චිත්‍රපටයට බලෙන් එල්ලූ චරිතයක් ලෙස සුදිප්තා ගේ චරිතය හැඟුණ ද එම චරිතය නිරූපණය කරන ගර්ගි රෝයි චෞදරි එය මතක හිටින නිරූපණයෙක ලා යොදාගන්නට අවස්ථාව සපුරා ගනියි. පාසැලේ දී සුදිප්තා විසින් ගයන ලද ගායනය අතරමග වරදිද්දී ඇයට පිහිටවනුයේ ඉන්ද්‍රජිත්ය. මේ ඔහුගේ මුල් සිඳී නොගිය බව සනාථ කරන සිද්ධියකි. අනෙක් කරුණ නිවස සම්බන්ධ ඔහුගේ ආකල්පයයි. ඔහුට වැදගත් එය ඔහුගේ ළමා වියේ සොඳුරු මතකයන් ඉතිරි කොට ඇති එකම තැනවීම නිසාය. අනෙක නැගණිය සම්බන්ධ ඔහුගේ ආකල්පයයි.මේ කීර්තිමත් නළුවා දෙස නැවත හැරී බලන්නට අපට ලබන අවස්ථාවකි. ඉන්ද්‍රජිත් ගීතය ගැයීම පැමිණි මාධ්‍යවේදීන්ට වටිනා ප්‍රවෘත්තියකි. එහි පැමිණි පාසැලේ ආදි සිසුන් ඇතුළු සෙස්සන්ට අවශ්‍ය වනුයේ උදාරතර පියෙකුට ගෞරව ලබා දෙන්නට වඩා මේ අවස්ථාව ඡායාරූප ගත කොට තම ෆෙස්බුක් ගිණුම්වලට දා ගන්නටය. නැතහොත් ඉන්ද්‍රජිත් සමඟ සෙල්ෆියක් ගන්නටය. දුර සිට එන නෑයන්ට ද අවශ්‍ය සිය මිය ගිය ඥාතියාට ගෞරව කරන්නට වඩා තම සිත් ගත් සිනමා තරුව සමඟ ඡායාරූපයක් ලබා ගන්නටය. මෙය පර්තෝගේ කෝපයට හේතුවෙයි. එහෙත් තම වෘත්තිය ජනප්‍රියත්වය හා මාධ්‍ය අවධානය නිසා මේ සියල්ල ඉවසන්නට ඉන්ද්‍රජිත්ට සිදුවෙයි. එහෙත් පර්තෝ ට අවශ්‍ය කරදරයකින් තොරව තාත්තා ගේ අවසන් කටයුතු කරන්නටය. දස වසරකට පසු පැමිණි සිය සොහොයුරා නිසා මේ චාරිත්‍ර ඉටු කරන්නට බාධාවන් මතුවෙයි. හින්දු චාරිත්‍රානුකූලව වැඩිමහල් පුතා එහි සිටිය යුතුය. එය ඇත්තය. ඉන්ද්‍රජිත්ගේ ජනප්‍රියත්වය එයට හරස්වෙයි. මේ වන විට ඉන්ද්‍රජිත් අභ්‍යන්තරයෙන් බිඳ වැටී අවසානය. මේ දර්ශන පෙළ ප්‍රොසෙන්ජිත්ගේ රංගනය මෙන්ම ආලෝකය හා අඳුර මුසු කරමින් ඉතා ව්‍යක්ත ලෙස රූපයට නංවන්නට එහි සිනමා කැමරා අධ්‍යක්ෂ ශිර්ෂා රේ දායකත්වය සපයයි. පර්තෝ ඉන්ද්‍රජිත්ගෙන් අවසානයේ ඉල්ලා සිටිනුයේ එක දෙයකි. පියා ගේ අවසන් කටයතු නියම චාරිත්‍රානුකූලව ඉෂ්ට කිරීම සඳහා අවසන් පූජාවන්ට සහභාගි නොවන ලෙසටය. ඔහු මේ ඉල්ලීම කරනුයේ මැදියම් රෑ ඉන්ද්‍රජිත්ගේ නවාතැනට පැමිණෙමිනි. ඉන්ද්‍රජිත්ට කළ හැකිව තිබෙන්නේ එක දෙයකි. මහගෙදරට ඕනෑ දෙයක් කර ගැනීම සොහොයුරාට පවරා එම ලිපිය සුදිප්තාට ලබාදී කාටත් හොරෙන් ඔහු පාන්දරින්ම ගමෙන් පිටවයයි. ගම අවදි කරමින් පැමිණෙන ඉන්ද්‍රජිත් ගමෙන් යන්නේ කාටත් හොර රහසිනි. දුහුවිලි වලාවන් අවුස්සමින් ගමට එන ඉන්ද්‍රජිත් ගමෙන් පිටවන්නේ අරුණාලෝකය සමගය. එහෙත් කිසිවකු ඔහු පිටව ගිය වගක් නොදනී.

ගංගුලි සිය මුල් සිනමා කෘතිවලට වඩා ජ්‍යේෂ්ඨොපුත්‍රො හරහා අවධානය යොමු කරනුයේ මිනිසුන් පිළිබඳ විවිරණයක යෙදෙන්නටය. ඒ මිනිසුන්ගේ අභ්‍යන්තරයට කිඳා බසිමිනි. ඒ සඳහා අවශ්‍ය සියල්ල සහිත කදිම තිරනාටකය ඔහු ගොඩ නඟා ගනියි. මේ නිසාම පැය දෙකක් හා මිනිත්තු පහක් ගෙවුණ තැන ඇස ඉතුරුවන කඳුළ ජීවිතයේ දිනන දේ ට සාපේක්ෂව අහිමිවන බොහෝදේ පිළිබඳ සිතන්නට අපට බල කර සිටියි.

 

Add new comment