7 ARTS

ජනවාරි 9, 2020

හතේ හතටම තිරගත වූ කොමඩි චිත්‍රපට හත

වාර්ෂිකව චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භයේදී ඒ ඒ වර්ෂවල හත්වැනි චිත්‍රපටය ලෙස තිරගත කරන්නට වාසනාව ලද කොමඩි චිත්‍රපට හතක් සිංහල සිනමා වංශ කතාවේ ඉතිහාසයට ඇතුළත් වී තිබේ.

මෙම චිත්‍රපට හතම කොමඩි වර්ගයට ගැනෙන හාස්‍යය මුසු තේමාවන්ට මුල් තැන් දුන් චිත්‍රපට වේ.

නරලොව හොල්මන්

- 1996 මාර්තු 08

1996 වර්ෂයේ හත්වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය ආරම්භ විය. දිනේශ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ‘නරලොව හොල්මන්’ චිත්‍රපටය ගීතරාණි චිත්‍රපට වෙනුවෙන් එච්. එස්. පෙරේරාගේ නිෂ්පාදනයකි. ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න රංගනයෙන් දායක වී තිබේ.

රෑ දනියෙල් දවල් මිගෙල් 3

- 2004 මැයි 27

2004 වර්ෂයේ හත්වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය ආරම්භ වූ මෙහි නිෂ්පාදනය ඊ. ඒ. පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි. රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘රෑ දනියෙල් දවල් මිගෙල් - 03’ චිත්‍රපටයට බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනායක, ගැමුණු විජේසූරිය ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ.

වන් ෂොට් වන්

- 2005 මැයි 19

2005 වර්ෂයේ හත්වැන්න ලෙස තිරගත වූ ‘වන් ෂොට් වන්’ රන්ජන් රාමනායක ප්‍රධාන චරිතයට පණ පොවමින් අධ්‍යක්ෂණය කළේය. අනර්කලී ආකර්ෂා මෙහි ප්‍රධාන නිළිය වූ අතර නිෂ්පාදනය කළේ ඊ. ඒ. පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි.

සර් ලාස්ට් චාන්ස්

- 2009 මාර්තු 25

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘සර් ලාස්ට් චාන්ස්’ 2009 වර්ෂයේ හත්වැන්න ලෙස තිරගත කෙරිණි. නිෂ්පාදනය ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි. විජය නන්දසිරි සහ අනර්කලී ආකර්ෂා රංගනයෙන් දායක වූහ.

 

වැඩ බැරි ටාසන්

- 2008 අප්‍රියෙල් 28

2008 වර්ෂයේ හත්වැන්න ලෙස තිරගත වූ මෙම චිත්‍රපටයට ටෙනිසන් කුරේ, පියුමි පුරසිංහ රංගනයෙන් දායක වූහ. සුදේශ් වසන්ත පීරිස් හා සුනිල්සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ‘වැඩ බැරි ටාසන් මැතිසබයට‘ චිත්‍රපටයට සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් දායක වී තිබේ. එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරිණි.

කොස්තාපල් පුඤ්ඤසෝම

- 2014 මැයි 02

2014 වර්ෂයේ හත්වැන්න ලෙසින් තිරගත වූ මෙහි කොස්තාපල් පුඤ්ඤසෝමගේ චරිතයට පණ පොවන ලද්දේ මහේන්ද්‍ර පෙරේරා විසිනි. ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ චිත්‍රපටයේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි. සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරිණ.

ගින්දරී

- 2015 අප්‍රියෙල් 24

පබෝධා සංදීපනීගේ රංගනය ‘ගින්දරී’ චිත්‍රපටය තුළ බොහෝ කතාබහට ලක්වූ අතර 2015 වර්ෂයේ හත්වැන්න ලෙස තිරගත විය. රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වූ ‘ගින්දරී’ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි.

 

මේ වගේ එකට ගෙතෙන හතක් ඔබටත් මතක් වෙනවා නම් විස්තර සහිතව අපට ලියා එවන්න.

සෙවන් ආර්ට්ස්, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.