සුපිරි වීරයන් තැනූ සුපිරි මිනිසා Stan Lee

1922-2018
නොවැම්බර් 22, 2018

මේ වන විට ස්පයිඩර් මෑන්, බැට් මෑන්, ඈන්ට් මෑන්, අයන් මෑන්, තෝර්, කැප්ටන් අමෙරිකා, බ්ලැක් පැන්තර් වැනි සුපිරි වීර චරිත කා අතරත් ජනප්‍රිය යි. වර්තමානයේදී මේ සුපිරි වීර චරිත අපට සිනමාවෙන් හමු වුවත් වසර ගණනාවකට පෙර ඔවුන්ගේ ආගමනය සිදු වූයේ අමෙරිකානු චිත්‍රකතා සමඟින්. ඒ අනුව මෙම සුපිරි වීරයන්ගේ උපත සිදු වන්නේ මාවෙල් චිත්‍රකතා සහ ඩී සි චිත්‍රකතා ඔස්සේයි. මාවෙල් සිනමා විශ්වය සහ ඩී සි විශ්වය ඔස්සේ මේ වන විට මෙම සුපිරි වීර චරිත ගෙන එන චිත්‍රපට රැසක් තිරගත වී ඇති අතර ඉදිරියේදී ද තවත් සිනමා නිර්මාණ බොහොමයක් එළිදක්වන්ට නියමිත බවත් මෙම ආයතන ද්විත්වයම නිවේදන නිකුත්කර තිබෙනවා.

මෙලෙසින් චිත්‍රකතා ලොව සුපිරි වීර චරිත බිහි කරන්නට කැප වූවන් අතරේ සුපිරි වීරයා ලෙසින් සැලකෙන්නේ ස්ටෑන් ලී හෙවත් ස්ටෑන්ලි මාර්ටින් ලීබර් ය. යුග ගණනකට නොමියෙන සුපිරි වීර චරිත රැසක් මවා ඔහු සිය 95 වැනි කඩඉම පසු කරන්නට ආසන්නයේදී ජීවිතයෙන් සමු ගත්තේ පසුගිය නොවැම්බර් 12 වැනිදා ය. අමෙරිකානු චිත්‍රකතා රචකයෙකු සහ ප්‍රකාශකයෙකු ලෙසින් ජනප්‍රිය ඔහු ජැක් කර්බි සහ ස්ටීව් ඩිට්කෝ ඇතුලුව තවත් නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් හල්ක් (1962), ස්පයිඩර් මෑන් (1962), ඩෙයාර්ඩෙවිල් (1964), බ්ලැක් පැන්තර් (1966) වැනි චරිත නිර්මාණය කළ අතර ඈන්ට් මෑන් (1962), අයන් මෑන් (1963) සහ තෝර් (1962) යන චරිත ත්‍රිත්වය නිර්මාණය කළේ ඔහුගේ බාල සොයුරු ලැරී ලීබර් සමඟින්. ස්ටෑන් ලීගේ දායකත්වයෙන් බිහි වූ සුපිරි වීරයන් අතර බ්ලැක් විඩෝ (1964), ඩොක්ටර් ස්ට්‍රේන්ජ් (1963), විෂන් (1968) වැනි චරිත ද විශේෂ වේ. 1966 වසරේදී ෆැන්ටෑස්ටින් ෆෝ චිත්‍රකතා පෙළින් පැමිණ ඇවෙන්ජර්ස් කණ්ඩායමේ සාමාජිකයකු බවට පත් වූ බ්ලැක් පැන්තර් මාවෙල් සුපිරි වීරයන් අතරට එක් වූ පළමු කළු ජාතික සුපිරි වීරයා බවට පත් වුණා. සහායක සිත්තරුන්ගේ අතින් චරිත සිතුවම් වෙන විටදී ස්ටැන් ලී මෙම සුපිරි වීරයන් ගොඩනැංවූයේ ලොව සැබැ සිදුවීම් මෙන්ම ගැටලුද පාදක කර ගනිමින්.

1922 දෙසැම්බර් 22 නිව්යෝක්හිදී රුමේනියාවෙන් පැමිණි යුදෙව් ජාතික මාපිය යුවලකට දාව උපත ලද ස්ටෑන් ලී, මාවෙල් ආයතනය බවට පත් වූ ටයිම්ලි කොමික්හි සේවයට බැඳෙන්නේ වයස අවුරුදු 16 දී යි. එහි උප කතුවරයකු ලෙසින් සේවයට බැඳී කෙටි කලකින් කර්තෘවරයා බවට පත් වන ලී, පසු කාලීනව මාවෙල් ආයතනයේ සභාපති ලෙසින් ද කටයුතු කරන්ට වරම් ලැබුවා. සුපිරි වීර චරිත රැසක් බිහි කළ මාවෙල් ආයතනයේ සැබෑ සුපිරි වීරයා වන ස්ටෑන් ලී නිර්මාණය කළ සුපිරි වීරයන් සුවිශේෂි බව කවුරුත් පිළිගන්නා දෙයක්. චිත්‍රකතා පොත් ලොව ස්වර්ණමය යුගය වූයේ 1930 දශකයේ අග භාගයේ සිට 1950 දශකය දක්වා වූ කාලය යි. නමුත් දෙවැනි ලෝක යුද සමයෙන් පසුව චිත්‍රකතා ලොවට වෛරයෙන් ක්‍රෝධයෙන් පිරි චරිත පැමිණීම, අමෙරිකානු චිත්‍රකතා කලාවට බරපතළ ප්‍රශ්නයක් වූයේ ළමයින් මෙම චරිත වැලැඳ ගැනීමේ බරපළකම පෙන්වා දෙමින් එය සෙනෙට් සභාව දක්වා ගමන් කිරීම හේතුවෙන්. මේ තත්ත්වය හමුවේ ඒ වෙනුවෙන් අධිකාරියක් පිහිටුවා ආචාර ධර්ම පද්ධතියක් ද නිර්මාණය කරන්න කටයුතු යෙදුණා. මෙවැනි කාල වකවානුවක චිත්‍රකතා ලොවට පිවිසි ස්ටෑන් ලී මිස්ටර් ෆැන්ටෑස්ටික්, ඉන්විසිබල් වුමන්, ද හියුමන් ටෝර්ච් සහ ද තින්ග් සමඟින් ෆැන්ටෑස්ටික් ෆෝ (1961) චිත්‍රකතා ලොවට ගෙන ආවේ ජැක් කර්බිගේ සිතුවම් සමඟින්.

1960 දශකය පමණ විට චිත්‍රකතා ලොව අවසානය වනු ඇති බවට මත පළ වෙමින් තිබූ මොහොතක එය තවත් යුග ගණනාවක් ඉදිරියට ගෙන යන්නට උරදුන් ප්‍රමුඛයාට හිමි ස්ථානය ස්ටෑන් ලීට හිමි වන්නේ එදා ඔහු නිර්මාණය කළ සුපිරි වීර චරිත වර්තමානයේ ලොව පුරා රසික රසිකාවන් උන්මාදයට පත් කරන්නට සමත් වීමෙන්. ඔහුගේ සුපිරි වීරයන් සැම විටම ජයග්‍රහණය අභියසම පමණක් නොසිටීම මෙන්ම ඇතැම් තීරණාත්මක අවස්ථාවල සාමාන්‍ය මිනිස් ගුණාංග පෙන්නුම් කිරීම ද ආදරය, පරාජය හමුවේ සංවේදී වීමද විශේෂත්වයක්. ස්ටෑන් ලී විසින් නිර්මාණය කළ ස්පයිඩර් මෑන්, අයන් මෑන්, තෝර්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, බ්ලැක් පැන්තර් වැනි සුපිරි වීරයන් සමඟින් ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට මාලාවන්හි අංක එක හිමි වන්නේ ද මාවෙල් සිනමා විශ්වයටයි. වර්තමානයේදී කෙතරම් චිත්‍රපට, රූපවාහිනි කතාමාලා, කාටුන් නිර්මාණ වුවද මෙම සුපිරි වීරයන්ගේ ගමන ඇරඹි චිත්‍රකතා පොත් අමෙරිකාව ඇතුලුව බටහිර රටවල තවමත් ඉහළ ස්ථානයක වැජඹෙන්නට සමත්කම් දක්වනවා.

බොහොමයක් ජනප්‍රිය චරිත නිර්මාණය කළ ද අදාල ලේඛකයාට එම චරිතවලට මෙන්ම ජනප්‍රියත්වයක් හිමි වීම දකින්ට ලැබෙන්නේ කලාතුරකින්. ලොව අනෙකුත් චිත්‍රකතා රචකයෙකුටම වඩා ස්ටෑන් ලී ඉහළ ජනප්‍රියත්වයක් ලබන්න චිත්‍රකතා වෙනුවෙන් ඔහු නිර්මාණය කළ චරිත පමණක් නොව එම චරිත සමඟින් නිර්මාණය කෙරුණු සෑම චිත්‍රපටයකම දක්නට ලැබෙන ඔහුගේ කෙටි රංගනය ද විශේෂ හේතුවක් වුණා. සිනමාවට පැමිණි මාවෙල් චිත්‍රකතා චරිත අතරේ ස්ටෑන් ලී ද රසික අවධානය දිනා ගන්නේ එම චිත්‍රපටවල තත්පර කිහිපයක රූප රාමුවකින්. ඇතැම් විටදී ඇස්පිය හෙලන තරමකින් වුවද යම් කෙනෙකුට මඟ හැරි යන්නට ඉඩ තිබෙන තරමේ මෙම රූප රාමු චිත්‍රපටයට ද ගෙන ආවේ ඉහල ප්‍රසිද්ධියක්. මාවෙල් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වී පසුගිය ඔක්තෝබර් මාසයේදී තිරගත කෙරුණු වෙනම් චිත්‍රපටයේදීත් ස්ටෑන් ලී ගේ සුවිශේෂි වු එවැනි කෙටි රංගනයක් දැකගත හැකි වුණා.

1947 වසරේදී ස්ටෑන් ලී විවාහ වූයේ බ්‍රිතාන්‍ය - අමෙරිකානු සම්භවයක් සහිත නිරූපිකාවන වන ජෝන් බෘකොක් සමඟින්. අයන් මෑන් (1994), ෆැන්ටෑස්ටික් ෆෝ (1994) සහ ස්පයිඩර් මෑන් (1996 - 1998) පරිගණක සජීවකරණ රූපවාහිනි කතාමාලාවලට ජෝන් සිය හඬ දායකත්වය සපයා තිබෙනවා. 2017 වසරේ ඇය ජීවිතයෙන් සමුගන්නා තෙක්ම ස්ටෑන් - ජෝන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළා. ඔවුන්ගේ කැදැල්ලට ජෝන් සීලියා ලී (1950) සහ ජෑන් ලී (1953) දියණියන් දෙදෙනෙකු පැමිණිය ද බාල දියණිය මෙලොව එළිය දැක ජීවත් වූයේ දින කිහිපයක් පමණි. සුපිරි වීරයන් රැසක් සමඟින් විශ්වයක් මවා සැබෑ ජීවිතයෙන් සමු ගෙන ගියත් ලබන වසරේදී තිරගත කිරීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපටයේදී ද ස්ටෑන් ලී ගේ මෙම විශේෂ රංගන දායකත්වය දැක ගැනීමට ලැබෙන අවස්ථාව සුපිරි වීරයන්ට සහ ඔවුන්ගේ පියා ලෙසින් හැඳීන්වෙන ලීට ළෙංගතු වන සැමට ගෙන එන්නේ ඔහු යළිත් ජීවමානව දැක ගැනීමට සමාන වූ සතුටක්.


CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.