B.F.I කියන ලෝකයේ හොඳම කාත්තා චිත්‍රපට

මාර්තු 7, 2019

ජාත්‍යන්තර කාන්තා දිනය හෙටට (මාර්තු 08) යෙදී තිබේ. මේ වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තා දායකත්වය සුවිශේෂි වී ඇති අතර සිනමා ක්ෂේත්‍රයේදී ද කාන්තාවගේ භූමිකාව දෙස කාගේත් අවධානයට ලක් වී තිබේ. සිනමාවේ කාන්තා දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය (ඕජ්ධ්) විසින් එදා මෙදාතුර ලෝක සිනමාවේ කාන්තාවන් විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් හොඳම ස්ත්‍රීවාදි චිත්‍රපට දහය තෝරා ගෙන ඇත. මෙම සියලුම චිත්‍රපට කාන්තාවන් විසින් අධ්‍යක්ෂණය කර ඇති ඒවා වන අතර ප්‍රබන්ධ කතා ලෙසින් නිර්මාණය කර ඇත. එම චිත්‍රපටවල ප්‍රධාන චරිත කාන්තාවන් විසින් නිරූපණය කෙරෙන අතර නිදහස්වීම තේමා කර ගෙන නිර්මාණය වූ චිත්‍රපට ලෙසින්ද විශේෂ වේ

Marianne and Juliane (1981)

ධ්‍යක්ෂණය - මාගරිටු වොන් ට්‍රොටා

1970 දශකයේ දී ජර්මන් නව රැල්ලේ සිනමාවට පිවිසි මාගරිටු වොන් ට්‍රොටා විසින් කළ සිනමා නිර්මාණ කාන්තාවන් අතර පවතින සබඳතාවන්හි ඇති මනෝ විද්‍යාත්මක අංශය ගවේෂණය කළ ඒවා ලෙසින් දැක්විය. ඇය විසින් අධ්‍යක්ෂණය කර 1981 වසරේදී තිරගත කළ Marianne and Juliane චිත්‍රපටය 70 දශකයේ එවකට ජර්මනියේ රාජ්‍ය මට්ටමෙන් පැවති මර්දනය සහ පවුලේ වරදකාරීත්වය ලෙසින් තේමා දෙකක් යටතේ දිග හැරුණු සිනමාපටයක් ලෙසින් විචාරක අවධානයට ලක් විය. කාන්තා ආකල්පය සහ එකල බටහිර ජර්මනියේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැක්වෙන මෙහි ක්‍රිස්ටීන් සහ ගුඩ්රන් නම් සහෝදරියන්ගේ කතාව දැක්වේ.

A Question of Silence (1982)

අධ්‍යක්ෂණය - මර්ලීන් ගෝරීස්

ලන්දේසි රැඩිකල් චිත්‍රපටයක් ලෙසින් හැඳීන්වෙන මෙහි දැක්වෙන්නේ පිරිමින් සහ කාන්තාවන් වටා ඇති ලෝක එකිනෙකට වෙනස් බවයි. මෙහි කාන්තාවන් තිදෙනෙකු ප්‍රධාන වන අතර ඔවුන් අතරින් පළමුවැන්නා ගොළු ගෘහණියක වන අතර දෙවැන්නා ආපන ශාලාවක සේවිකාවකි. තෙවැන්නා ව්‍යාපාරික ලේකම්වරියක වන අතර මේ තිදෙනා විසින් පිරිමි සාප්පු සේවකයෙකුට පහරදී ඝාතනය කරනු ලැබෙයි. මෙම ඝාතනය සම්බන්ධ නඩුව උසාවියේ විභාග වන විටදී ඔවුන්ගේ මානසිකත්වය පරීක්ෂා කිරීම මනෝවෛද්‍යවරියක වෙත භාර කෙරේ. ඇයට ඔවුන් සමඟින් කතාබහේ යෙදෙමින් මෙම ඝාතනයට හේතුව සොයා ගත හැකි වේද යන්න A Question of Silence  චිත්‍රපටයෙන් දැක්වේ.

නඩු විභාගය අතරතුර මෙම කාන්තාවන් තිදෙනා විත්තිකූඩුවේ සිට උපාසාත්මකව සිනාසෙන විටදී එහි සිටි පිරිමි සියලු දෙනා තරහ මුසු මුහුණින් සිටින දර්ශනය අවස්ථාවේදී සිනමා ශාලා‍වල සිටි කාන්තාවන්ද උපහාසාත්මකව සිනාසුනු බවත් පිරිමි පාර්ශ්වය කේන්තියෙන් සිටි බවත් එකල පුවත්වල වාර්තා විය.

The Seashell and the Clergyman (1928)

අධ්‍යක්ෂණය - ජර්මයිනි ඩුලැක්

සිනමාවේ මුල් කාලයේදී චිත්‍රපට ක්ෂේත්‍රයට කාන්තාවන් සහභාගි වූ බව බොහෝ දෙනෙකුට අමතක වී ගිය කරුණකි. ජර්මයිනි ඩුලැක් අධ්‍යක්ෂණය කළ The Smiling Madame Beudet (1922)   සහ  The Seashell and the Clergyman (1928) චිත්‍රපට 20 වැනි සියවසේදී නිර්මාණය වූ රැඩිකල් පර්යේෂණාත්මක ස්ත්‍රීවාදි චිත්‍රපට ලෙසින් කතාබහට ලක් විය. ඇන්ටන් ආට්වුඩ්ස් විසින් රචිත The Seashell and the Clergyman  කෘතියෙන් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය රජුගේ බලයට හා පූජකවරුන්ගේ අවශ්‍යතාවන්ට විරුද්ධව කතා කළ චිත්‍රපටයක් ලෙසින් හැඳීන් වුණු අතර බ්‍රිතාන්‍ය රැඟුම් පාලක මණ්ඩලයේ වාරණයට පවා ලක් වීය.

Borm in Flames (1983)

අධ්‍යක්ෂණය - ලිසී බෝඩ්න්

අඩු පිරිවැයකින් නිර්මාණය කළ චිත්‍රපටයක් වන මෙහි සමරිසි කළු ජාතික කාන්තාවක මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක වන ඇඩ්ලේඩ් නෝරිස් පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත් වීම වටා ගෙතුණු කතාවක් ඇතුළත් වී ඇත. මෙම අවස්ථාවේදී කාන්තාවන් රජයට විරුද්ධව පෙළ ගැසී කැරලි ගසන අයුරුත් ඒ වෙනුවෙන් ජාති, ආගම් නොබලා එක්වන්නේ කෙසේද යන්නත් විදහා දැක්වේ.

The Gold Diggers (1983)

අධ්‍යක්ෂණය - සැලී පොටර්

සැලී පොටර් විසින් අධ්‍යක්ෂණය කළ The Gold Diggers  චිත්‍රපටය ධනවාදී ආර්ථිකය හා කාන්තාව පිළිබඳ අවධානය යොමු වුණු චිත්‍රපටයක් ලෙසින් විශේෂ වේ. 1983 වසරේදී නිර්මාණය කළ ද කළු සුදු චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කළ මෙය රූගත කර තිබෙන්නේ අයිස්ලන්තයේදීයි. කළු ජාතික කාන්තාවක, සුදු ජාතික කාන්තාවක සමඟින් වන හිතවත්කම ඔස්සේ ස්ත්‍රී පුරුෂ භාවය හා ජාතින් අතර සබඳතාව මෙම සිනමා නිර්මාණයට තේමාව වී ඇත. මෙම චිත්‍රපටය රචනාකර තිබෙන්නේ ද සැලි පොටර් සමඟින් රෝස් ඉංග්ලිෂ් සහ ලින්ඩ්සේ කූපර් නම් තවත් කාන්තාවන් දෙදෙනෙකු වීමද විශේෂ වේ

Vagabond (1985)

අධ්‍යක්ෂණය - අනියෙස් වර්ධා

ප්‍රංශයේ ගම්බද පෙදෙසක වළක තිබී තරුණියකගේ සිරුරක් හමුවීම සමඟින් ඇය සිය ජීවිතයේ මුහුණ දුන් සිදුවීම් එකිනෙක මෙහිදී දිග හැරේ. කාන්තාවක මෙවන් ඉරණමකට ලක්වීම නිසා මිනිසුන් ඇය පිළිබඳ කතාබහ වන්නේ කෙසේද යන්න මෙහිදී අවධානයට යොමුකර ඇත. මෝනා නම් ශක්තිමත් තරුණ කාන්තාව ප්‍රධාන කරගත් මෙම චිත්‍රපටයේ පිටපත රචනාකර තිබෙන්නේ ද අනියෙස් වර්ධා විසිනි. ප්‍රංශ නව රැල්ලේ එකම අධ්‍යක්ෂිකාව වන්නේ ද ඇය යි.

The Company of Strangers (1990)

අධ්‍යක්ෂණය - සින්තියා ස්කොට්

සත්‍ය සිදුවීමක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. මෙම චිත්‍රපටයේ ඇතුළත් සියලුම චරිත කාන්තා චරිත වීම විශේෂයකි. එසේම ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්මවූවන් වන අතර විවිධ සංස්කෘතින් සමඟින් හැදී වැඩුණු අය වේ. චාරිකාවක යෙදෙන අතරතුර මඟ පෙන්වන්නා මරණයට ලක් වීමත් අනතුරුව ඔවුන් ඉදිරි ගමනට මුහුණ දෙන්නේ කෙසේද යන්න The Company of Strangers  චිත්‍රපටයේ දැක්වේ.

The Watermelon Woman (1996)

අධ්‍යක්ෂණය - ශෙරිල් ඩුන්යේ

සත්‍ය කතාවක් සහ මනඞකල්පිත සිදුවීම් පෙළක් එකතුව The Watermelon Woman  චිත්‍රපටය නිර්මාණය කර තිබේ. හොලිවුඩ් චිත්‍රපටවලට දායක වුව ද ඉතිහාසය විසින් සඟවා තිබූ අප්‍රිකානු කාන්තාවන් කිහිප දෙනෙකු මෙහිදී ඩුන්යේ විසින් සොයා ගැනේ.

The Day I Became a Woman (2000)

අධ්‍යක්ෂණය - මර්සි මෙෂ්කිනි

ඉරාන චිත්‍රපටයක් වන The Day I Became a Woman  කාන්තාවන් තිදෙනකුගේ ජීවිතයේ කාල පරිච්ඡේද තුනක් වටා ගෙතී ඇත. හවා නම් දැරියට 9 වැනි උපන්දිනයෙන් පසු තවදුරටත් ළමයෙකු ලෙසින් හැසිරීම තහනම් වේ. දෙවැන්නා ආහෝ පවුලේ දැඩි විරෝධය මධ්‍යයේ බයිසිකල් ධාවනයේ යෙදෙන්නීය. තෙවැන්නා හෝරා වයස්ගත කාන්තාවකි. ඇය සාප්පු සවාරියේ යෙදෙන්නේ මෙතෙක් ජීවිතයේ ලබාගත නොහැකි වූ දේ ලබා ගැනීම වෙනුවෙනි.

The Headless Woman (2008)

අධ්‍යක්ෂණය - ලුක්‍රේෂියා මාර්ටෙල්

මධ්‍යම පාන්තික මැදි වයසේ කාන්තාවක මෝටර් රථ අනතුරකට ලක් වීමෙන් අනතුරුව මානසික ආබාධයකින් පෙළීමත් එම අනතුරෙන් තරුණ ජීවිතයක් අහිමිවීම පිළිබඳ ඇය කම්පා වන අයුරු එක් මට්ටමකදී දැක්වේ. ඒ සමඟින් 70 දශකයේ ආජන්ටිනාවේ ඒකාධිපතිත්වය යටතේ වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය ගැන ද දිග හැරේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.