ජැක්සන් වැරැදි තැනක

පෙබරවාරි 21, 2019

කටුනායක ගුවන්තොටුපළ හරිම කාර්යබහුලයි. දිනකට දාහකුත් දෙනා මෙතැනින් එහෙ මෙහෙ යනවා. ඒ කාර්යබහුල වූ පිරිසට ජැක්සන් ඇන්තනිත් දිනෙක එකතු වුණා. ඔහු එදින තරමක් විඩාබරවයි උන්නේ. ජැක්සන් වටපිට බලලා තැනක වාඩි වුණා. මොහොතක හෝ සුවයක් ලබන්නයි එහෙම කළේ. ටික වේලාවක් ගත වුණා. ජැක්සන් හොඳට දන්න කියන තොටුපළේ නිලධාරියෙක් එතැනට දුවගෙන ආවේ හති දමාගෙන.

බුදු අම්මෝ ඔතන ඉන්න එපා. නැගිටින්න, නැගිටින්න යමු යමු.

ඒ තැනැත්තා ජැක්සන් කුදලාගෙන යන්නයි ලැහැස්තිය. ජැක්සනුත් කලබල වෙලා දනිපනිගාලා එතැනින් නැගිට්ටා.

සර් ඔතන ඉන්නවා කවුරුවත් දැක්කෙ නැහැනේද. ෆොටෝ එකක් ගත්තා නම් මහ විනාශයක් වෙන්නේ.

ජැක්සන්ට හිතාගන්න බැහැ මොනවද මේ කියන්නේ කියලා.

සර් මාර තැනකනෙ වාඩි වෙලා හිටියේ. ඔතන තමයි අපරාධකාරයෝ එහෙම එයාර් පෝර්ට් එකෙන් අල්ලපුවම වාඩි කරවලා තියන්නේ. සර් එතැන තමයි වාඩි වෙලා හිටියේ. වෙලාවට කවුරුවත් දැක්කේ නැත්තේ.

ජැක්සන්ට එතකොට තමයි කාරණය වැටහිලා තියෙන්නේ. තව පොඩ්ඩෙන් නොදන්නා තැනක වාඩි වෙලා හොඳ පදයකුත් හදා ගන්නවා අපේ දැවැන්ත නළුවා.

නිශ්ශංක විජේරත්න