තනිවේවි එක්ටැම් ගේ

ප්‍රීති දසනායක
මාර්තු 7, 2019

ජීවිතයේ යම් අවස්ථාවක කීප වරක් උත්සාහ කර අසාර්ථක වන දේ වෙනුවෙන් ඔබ ගන්නා තීරණය කුමක්ද? අතහැරීම? ඔව් බොහෝ විට එය පහසුය. එහෙත් ඇතැම් වගකීම් එසේ අපට ඕනා ආකාරයෙන් අතහැරිය හැකිද? එවන් අවස්ථාවක අප කරන්නේ මෙතෙක් යෙදූ ක්‍රමෝපාය වෙනස් කර යළි උත්සාහ කිරීමයි.

මම කීපවරක් දුරකථනයෙන් ප්‍රීති දසනායක මහත්මිය ඇමතුවෙමි. ඒ හැම විටම පිළිතුර වූයේ “මට ටිකක් සනීප මදි අපි තව චුට්ටක් කල් දාමුද දුව?“ යන්නයි. ඇය තරමක් අසනීප බව ඇත්තය. එහෙත් කතාව කල් දැමීමට එකම හේතුව අසනීපය නොවන වග නම් මම සක්සුදක් සේ දනිමි. ඒ නිසා “හොඳයි“ කියා සංවාදය අවසන් කරමි. ඒ දෙවැනි හේතුව සමනය කළ හැකි එකම කෙනා පිළිබඳ මා සිතන්නේ අර කියූ වෙනස් උපාය ලෙසය. මම දුරකථනයෙන් අමතමි.

“හලෝ මැඩම්“ ඒ සුපුරුදු හිතවත් ආමන්ත්‍රණයයි.

“සමන් මහත්තයා (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී,ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ) ප්‍රීති දසනායක මැතිනියගෙ ඉන්ටර්විව් එකක් ගන්න ඕනා. පුළුවන්ද උදව්වක් විදිහට අපිත් එක්ක එහෙ යන්න එන්න.“

“මම ප්‍රීති අක්කට කතා කරන්නම්“

මෙරට සිනමා සංගීතයේ යුගයක් බිහි කළ සරත් දසනායක නම් යුගපුරුෂයාණන් පිළිබඳ ඇසීමට ප්‍රීති දසනායක ආදරණීය බිරිඳ හා දරුවන් හැරුණු කොට මේ සක්වළ යම් කෙනකු වේ නම් ඒ සරත් දසනායකයන්ගේ විස්වාසා පරමා ඥාතී වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ය. ගී පදවැලට තනුව මෙන් අවියෝජනීය ඒ මිත්‍රත්වය නිසාය තමන්ගේ කාලය ශ්‍රමය නිර්ලෝභීව වියදම් කරමින් සමන් මහත්තයා අප සමඟ නුගේගොඩට යන්නේ.

සරත් දසනායකයන්ගේ දෙටු පුත් රංග දසනායක ප්‍රවීණ සංගීතවේදියාගේ ප්‍රිය බිරිඳ උපේඛා සහ පුතුන් දෙදෙනා ගෙට්ටුවෙන් එළියට විත් අප පිළිගනිති. උපේඛාගේ මව යුගපුරුෂයකුට බිරියකව ලිපි පෙළේ රසිකාවක් වීම මේ හමුව තහවුරු කරන්නට තවත් හේතුවක් වූ බව අප දන්නේ මේ මොහොතේය.

දොරෙන් ඇතුළු වනවිටම ආලේඛ්‍ය චිත්‍රයක් සහ තවත් සේයා රූ කීපයකි. නිශ්ශංක ඉන් එකක් ගෙන ගොස් කෑම මේසය මත තබා තමන්ගේ රාජකාරියට අවශ්‍ය පසුබිම සකස් කරගනී. ඉහළ මහලට යන පඩිපෙළට මුහුණලා මම සිටිමි. ප්‍රීති දසනායක මහත්මිය හෙමින් හෙමින් අත්වාරුවට බර දෙමින් අපවෙත එන්නීය.

“කෝ සංඛ ප්‍රීති අක්කේ?“ සමන් මහත්තයාගේ පැනයයි.

“එයා ලොකු වැඩක් කියලා පස්සේ එන්නම් කීවේ. චිත්‍රපටයක් බලනවා මයෙ හිතේ“ ඇය අප සියලු දෙනා දෙස පිළිගැනීමේ බැල්මක් හෙළන්නේ සිනාමුසු වතකිනි. එහෙත් ඒ තුළ සියුම් වේදනාවක සේයාවක් ඇතැයි මට හැඟෙයි. අපි ආ ගිය තොරතුරුවලින් පසු මාතෘකාවට එලැඹෙමු.

“ඉතින් අපි මුල ඉඳන් පටන් ගමු“ මම යෝජනා කරමි.

“අපි හම්බුණේ නම් රජයේ සංගීත විද්‍යාලය කියලා ඒ කාලේ හඳුන්වන හේවුඩ් එකේදි. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ අපි නවසිය හැටේ ඉඳන් කරපු අරගලයක ප්‍රතිඵලයක් විදිහට තමයි. අපි දෙන්නම එකම පන්තියේ. කෝස් එක අවුරුදු හයක්නේ. මුල් අවුරුදු දෙකේ විතර නම් අපි අඳුරන්නෙත් නෑ. ඒත් තුන්වෙනි අවුරුද්දේ සුජාතා අත්තනායකලා එහෙම විහිළු කළා. හීනෙන් දැක්කා, අම්මලාත් මතක් කළා කියලා. එහෙම තමයි ඉතින් පටන් ගත්තේ.“ ඇය සිනාසෙන්නේ පැරැණි මතකය සමඟය.

“මම තෝරාගත්තෙත් ගායනය සහ වාදනය. එයත් එහෙමයි. ගායන පන්තියෙදි අපි එකට ඉගෙන ගත්තට වාදන පන්තියෙදි වෙන්වෙනවා. මොකද එයා සිතාර්, මම එස්රාජ්. අපි කෑම කන තැනක් තිබුණා ගස්වැල් තියෙන නිසා ශාන්තිනිකේතනය කියලා කිව්වේ. එතනට ඇවිත් සරත් මට කියනවා ඔයාගේ වැඩ හරි පිළිවෙළයි එහෙම කියලා. ඉතින් අනිත් අය හිනා වෙනවා. හේවුඩ් එකේ පළමුවැනි ප්‍රසංගය කළෙත් අපි. සරත් මුල්වුණේ. අපි සහාය වාදනවලට හිටියා. මොකක්ද මන්දා ලොකු උත්සවයකට. නගර ශාලාවේ තිබ්බේ. ඊට පස්සේ අපි බැන්දෙ 1970. ඇත්තම කිව්වොත් එයා ලියුමක් දුන්නා මට. ඒකෙ තිබුණේ කැමති නම් විතරක් උත්තරයක් ලියන්න අකමැතිනම් ලියුම ආපහු දෙන්න කියලා. ඒ ලියුම තාමත් තියෙනවා මා ගාව. මමත් ලිව්වා අකමැත්තක් නෑ, ඒත් ගෙවල්වලින් කොහොම වෙයිද දන්නේ නැති නිසා සහෝදරයෝ වගේ ඉමු කියලා. ඒ නිසා බැන්දට පස්සේ සමහරදාට විහිළුවට ආ සහෝදරී කියනවා.“

“බඳීන්න කලින් සම්පූර්ණ නම?“

“ප්‍රීති නීලා විජේසුන්දර.“

“කඩුගන්නාවෙ“ ඌන පූරණය සමන් මහත්තයාගෙනි.

“ඉතින් විජේසුන්දර ලේසියෙන්ම දසනායක වුණාද?“ මගේ කුකුසයි.

“අපෝ නෑ. ඒගොල්ලන්ගේ අම්මලා නම් කැමති වුණා. අපේ පප්පත් කිසි ප්‍රශ්නයක් වුණේ නෑ, ඒත් අපේ අම්මා නම් ඉගෙන ගන්න ගිහින් ඕවද කරන්නේ කියලා හරහටමයි හිටියෙ“

“ඒක ඉතින් සාධාරණ විරෝධයක්නේ“ මම කියමි.

“නෑ ඉතින් මෙයත් ඒ දවස්වල හරිම කෙට්ටුයි. පෙනුම නෑ එච්චර. ස්ථිර රස්සාවකුක් නෑනේ. අම්මලා ඕවත් බලනවානේ. අනෙක මම තේවතුවලට හරි කැමතියි. හරි නිස්කලංකයි ලස්සනයිනේ පරිසරය. අපේ නෑදෑවන වතු සුපිරින්ටන්ඩන් කෙනෙකුත් හිටියනේ. අපි නිවාඩු කාලෙට එහෙ යනවා. අම්මලා ඒ ගැන තමයි හිතන්න ඇත්තේ. මම නම් කිසිම වෙලාවක වැරදිලාවත් එහෙම හිතුවේ නෑ. අපිට ඒ කාලෙ ඒවා තේරෙන්නෙත් නෑ“

“ඉතින් කොහොමද සටන ජය ගත්තේ“

“අපේ ආස්සරේ අවුරුදු අටක්. සරත්ට තුන්වැනි අවුරුද්දෙදි ටීචිං හම්බුණා. එයා මුලින්ම ගියේ බිබිලේ සෙන්ට්‍රල්. ඒ නිසා ඒගොල්ලො සෙනසුරාදා පන්ති ඇවිත් තමයි විභාග කළේ. ඒකෙන් අපේ ආස්සරෙත් ටිකක් අඩු වුණා. අපේ අම්මලා මට ටීචිං ඉල්ලන්න දුන්නේ නෑ. කෝස් එක ඉවරවෙලාත් අවුරුදු දෙකක් රස්සාවක් නැතුව ගෙදර ඉද්දි කම්මැළියිනේ ඩී.ආර්. එඩ්වඩ් අයියට කියලා මම මගේ කැමැත්තෙන් අනුරාධපුරේ කොන්වන්ට් එකේ උගන්වන්න ගියා පාට් ටයිම්. එතකොට සරත්ලෑ තාත්තා තමයි අනුරාධපුර විශ්‍රාම ශාලාවේ මැනේජර්. අපේ පපා හරි විහිළුයි. යාළුයි. හේවුඩ් එකේ අය ඔක්කෝගෙමත් පප්පා තමයි. පොලිසියේ වයර්ලස් ඔපරේටර්. පපාගෙ යාළුවකුගේ ගෙදර තමයි මම නැවතිලා හිටියේ. ඉතින් සරත්ලාගේ ගෙදර අයත් එහෙ යනවා එනවා. ඔහොම තමයි ඉතින්. පස්සේ ඒගොල්ලන්ගේ අම්මා යෝජනා කළා අපේ අම්මට මේ දෙන්නගේ වයසත් යනවානේ කියලා. බැරිම තැන ඉතින් කැමැත්ත දුන්නා. ඒපාර ඉතින් හොඳට උත්සවේකුත් අරගත්තා. ඒකාලේ තිබුණ හොඳම ශාලාව ජුබිලි හෝල්නේ. රංග පුතා හම්බෙන්න ඉද්දි රජයේ රැකියාව ලැබුණා 72. මට අයින් වෙන්න කියලත් සරත් කීවා. ඒත් බොහොම අමාරුවෙන් බේරගෙන හිටියා. අවුරුදු තුනකින් ලුමිබිණියට මාරුවක් ලැබුණා. කොළඹදි තමයි දුව ලක්මාලි ලැබුණේ. පස්සේ විශ්‍රාම යනකල්ම හිටියේ ලුම්බිණියේ. ඊට පස්සේ තමයි සංඛ ලැබුණේ.“ ඇය මොහොතක් කල්පනා කරයි. මම බාධා කරමි.

“දරුවන්ට හරි ආදරෙයි නේද?“

“අම්මේ පුදුම ආදරයක්.“

“තමන්ගේ දරුවන්ට විතරක් නෙවේ අපේ දරුවන්ටත් ආදරෙයි“ ඒ සමන් මහත්තයාය. “දවසක් අපේ ටිකිරි දුව වැටුණා කියලා පණිවිඩයක් ආවා. සරත් එකපාරටම බිත්තියේ ඔළුව ගහගෙන ගහගෙන ගියා. එච්චරට ආදරෙයි දරුවන්ට. අනෙක සරත්ට හොඳට උයන්න පුළුවන් දන්නවද?“

මම එය තහවුරු කරගන්නට මෙන් ප්‍රීති මහත්මිය දෙස බලමි.

“රස...ට උයන්න පුළුවන්. නන්දා මාලිනී එහෙමත් කියන්නේ. වැඩවලට පිටරට ගියාමත් එයා තමයි කට්ටියටම උයලා දෙන්නේ. අපේ දරුවන්ට දූලා පුතාලා කියලා වෙනසක් නෑ ආදරෙයි. කෑම උයලා මේසෙට බෙදලා කවනවා ළඟ තියාගෙන. පොඩි පුතාට හාල්මැස්සො උයලා පොඩි ගුලි වගේ හදලා පිඟාන වටේ තියනවා අරගෙන කන්න. පොළේ යන්නත් හරි ආසයි විතරක් නෙවෙයි ඒ එළවළු ආච්චිලා ළඟ වාඩිවෙලා වැඩිපුර සල්ලි දීලා මලු පුරවගෙන එන්නේ. නාරාහේන්පිට ජාතික පොළේ අය අදටත් මම ගියොත් මතක් කරනවා. දෙල් කොස් මඤ්ඤොක්කා කන්න හරි ආසයි. දවසක් ප්‍රේමකීර්ති ද අල්විස් අපේ ගෙදර ආවා දෙල් ගෝනියක් අරගෙන. මොකද කියලා ඇහුවාම ඇයි උඹ දෙල් කන්න ආසයි කියලා පත්තරේ තිබුණේ ආ කාපන් කිව්ව. “

සමන් මහත්තයා මතකයකට ඉඩ ගනී. “කඩුගන්නාවේ ගෙදර ප්‍රීති අක්කා නැති දවස්වලට මටයි රංජිත් අයියාටයි (ඒ.ඩී.රංජිත් කුමාර) එන්න කියලා සරත් උයන්න පටන් ගන්නවා. පොඩි අඩියක් එක්ක කන්න පුළුවන්නේ“

“ආ මම නැතිවෙලාවට කැමතියි නේද සමන් මල්ලිලා, අජන්තා (රණසිංහ), රංජිත් බෝගොඩලා ගෙදර ඇවිත් සෙට්වෙන්න.“ එතනින් පටන්ගත් සිනා රැල්ල සහ අතුරු කතා බොහෝය. අනතුරුව මගේ පැනයකට පිළිතුරු ලැබේ.

“සරත්ලා ගිනිගත් හේනේ ඒත් පදිංචි වුණේ හොරණ, අම්මා පානදුර මාලමුල්ලේ, ශබ්දකෝෂය කරපු ගුණදාස මලලසේකර, සරත් මලලසේකර, තුසිත මලලසේකර සරත්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ වෙනවා. ගිනිගත් හේනේ ඉඩම් හැම එකම සහෝදර සහෝදරියන්ට මාමාලා බාප්පලාට එන්න කියලා ෆයිෆ් රෝඩ් එකේ ගෙදර කෑමක් ලැස්ති කරලා පිළිවෙළට බෙදලා දුන්නා. එයා හරිම පරිත්‍යාගශීලී අනේ.“

මගේ පැනයකි යළිත්.“දෙන්නම සංගීතය කළ නිසා මහත්තයාගේ වැඩවලට දායක වෙන්න කීවේ නැද්ද?“

“මම කවදාවත් ඒ නිර්මාණ කටයුතුවලට දායක වෙලා නම් නෑ, ඒත් රෙකෝඩිං එකක් ඉවරවේගන එනකොට මට එන්න කියනවා. මොකද එයා හදපු සින්දු එහෙම ප්ලේබැක් කරලා රසවිඳීන්න. ඒවා අහන්න දීලා, ඩාන්ස් එකක් එහෙම දාලා තමයි එන්නේ.“ ඇය සිනාසෙයි. ඊට වඩා සමන් මහත්තයා සිනා සෙමින් කතාවක් කියයි.

“ඔන්න අරුණි දවසක් දයා විමලවීරලෑ ගෙදර ගිහින් එද්දි දසේ වාහනෙන් බහිනවා කනත්තක් ළඟින්. ඊට පස්සේ වාහනේ වටේ නටනවා. අක්කව අවුස්සන්න. (ඇයට ඒ මොහොත මැවී පෙනෙන්නා සේය, එදා සිනාසුණු අයුරින්ම අදත් සිනාසෙන්නේ. එය වැඩි වන්නේ තවත් නොදන්නා කතාවක් අසන විටය.) අක්කට මතකද දසේ උණුවතුර බෝතල් හංගගෙන එහාට මෙහාට යනවා. ඒ මොකටද කියලා දන්නවාද? මුරපොළවල ඉන්න කට්ටියට මෙයා තේ අදිනවා. සුජාතා චිත්‍රපටයට දවස් පනහක් පිරුණු නිසා කියලා බුද්ධි කීර්තිසේනලෑ ගෙදර ඉඳන් එන ගමන් පොලීසිය දැකලා එක පාරට වාහනේ නැවැත්තුවා. පස්සේ පොලීසිය ඇවිත් ඇහුවා මහත්තයා ඇයි වාහනේ නැවැත්තුවේ කියලා. ඕගොල්ලො නැවැත්තුවේ නැති නිසා මම නැවැත්තුවා කීවා. තවත් දවසක් පොලිස් මුරපොළක නවත්තලා හයියෙන් බැන්නා උතුරට යන්න කියලා. පොලිසිය ඇහුවා මහත්තයා ඇයි කියලා. පස්සේ කියනවා ප්‍රභාකරන්ට ගහන්නලු මුලු හතර පැනලා. එහෙම කියලා මුලු හතර පැනලා ගහන හැටි පොලීසියට පෙන්නුවා. ඊට පස්සේ දසේ මහ රෑ ගෙදර ඇවිත් තේ හදාගෙන ගිහින් ඒ අයට දුන්නා. ඒ දසනායකව වෙන අය දැකලා නෑ“

“හ්ම්...“ සමන්මල්ලීගේ කතාව ප්‍රීති අක්කා අනුමත කරන්නේ සුසුමකිනි. “හරි විහිළුයි අනේ එයා. කාලිංග ඔබේවංශගේ කඩු නැටුමක් ඒ විදිහටම සින්දුව දාගෙන නටනවා. අපිව හිනස්සවන්න.“

“කවදාහරි දසනායක මහත්තයාගේ නිර්මාණයක වැරැද්දක් අහුවෙලා තියෙනවාද“ මම අසමි.

“මට නම් මතක නෑ. මම ආසම කපුගේ කියන තනි වේවි එක්ටැම්ගේටයි. විජය ගිටාර් ගගහ කියන සරා සඳේ සිනාසේලේටයි. හැබැයි අපේ චූටි පුතා පොඩි කාලේ ඉඳන්ම ඔකෙස්ට්‍රා එකේ කවුරු හරි පොඩි වැරැද්දක් කරනවා ඇහුණොත් හයියෙන් කෑගහනවා බූවා කියලා.“

“සංඛ ගැන සරත් මහත්තයා මොනවද කීවේ“ ඒ මමයි.

“හරියට දුක් වුණා. එයාගේ පණ තමයි චූටි පුතා. එයා හරියට ජීවිතේ කලකිරිලා හිටියේ. අනෙක හරි බයකින් හිටියේ එයා නැති කාලෙක සංඛට මොකද වෙන්නේ කියලා. දුවට එහෙම හරියට කියනවා මම නැති කාලෙක මල්ලිව බලාගන්න කියලා. සංඛ දන්නවා සමන්මල්ලි තමයි සරත්ගේ හොඳම යාළුවා කියලා. තාත්තා නැති වුණාට පස්සේ උත්සවේකට එහෙම ගියාම සමන්මල්ලිට හෙල්ලෙන්න දෙන්නේ නෑ බෙල්ල බදාගෙන අඬ අඬා ඉන්නවා. එයාට දැන් අවුරුදු 38ක්. ඒත් තාම පොඩි දරුවෙක් වගේනේ.“ ඇය අප මුලින් කතා කරද්දි අසනීප බව කීවේ මේ දරුවා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමේදී අප අපහසුවට පත්වේය යන බිය නිසාය.

“මේ දේවල් එක්ක නිර්මාණ කරද්දි“ මට කියවුණේ ඉබේටමය.

“95 විතර වෙද්දි සරත් ගොඩක් බිසී වුණා. මට කීවා පුළුවන් නම් ඉස්කෝලෙන් අස්වෙන්න කියලා. මම හිත හදාගත්තා. එයා ලියුමකුත් ලියලා හදලා දුන්නා. එයත් සෞන්දර්ය අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂකෙනෙක්. ලියුම ගිහින් දුන්නාම ප්‍රින්සිපල් කීවා අපරාදෙනෙ ඉතිරි ටිකත් ප්‍රීති හිටපුවාවේ කියලා. ගෙදර ඇවිත් ලියුම දෙකට ඉරලා මගේ අතට දුන්නා. මගේ ගාව ඒකත් තාම තියෙනවා. එයා හරි පිළිවෙළයි. මට හිතා ගන්න බෑ කොහොමද මේ නිර්මාණ කටයුතු ඔක්කොම එක්ක ගෙදර වැඩ කළේ කියලා. කීයට නිදා ගත්තත් උදේ පාන්දර නැඟිටලා විනාඩි දෙකක් විතර භාවනා කරනවා. කැඳ බොන්න ආසයි. ඊට පස්සේ ඇවිදලා ඇවිත් මූණ කට හෝදගෙන මුලින්ම පුතාව ඉසිපතනෙට දානවා දුව විශාඛා දානවා මාව ලුම්බිණි බස්සනවා පස්සේ මෙයා ඔෆිස් ගිහින් 10ට විතර ගෙදර උදව්වට ඉන්න කෙනාට මාළු මොනවා හරි ගෙනත් දෙනවා. ආයේ 1.00ට සංඛව චිත්‍රාලේන් පාසලෙන් අරගෙන අපිවත් ගෙනත් ගෙදර දානවා. ඒ මොනවා කළත් එයාගේ රාජකාරි වගකීම් අකුරටම කරලා තමයි අපේ වැඩ හරි නිර්මාණ හරි කරන්නේ. පුදුම හිතෙනවා ඒ වැඩ කොටස කොහොමද කරන්නේ කියලා. සමහර විට ඉක්මනින් යන්න තියෙන හින්දා වෙන්න ඇති එච්චර වැඩ කළේ. එයා නම් යුග පුරුෂයෙක්ම තමයි. ගෙදර ඇවිත් කියනවා අප්පේ මේ ඇඳුම ගලවලා දාන්නේ කොයි වෙලේද කියලා හිටියේ කියලා. ටයි එහෙම දාන්න කැමතිම නෑ. සරම අඳීන්න තමයි හරිම ආසා. හැබැයි ඇඳුම් ගැන නම් කිසිම සැලකිල්ලක් නෑ. ඔක්කොම ඇඳුම් මම තමයි ගෙනත් දෙන්නේ. බේජ් කලර් එකට ගොඩක් කැමතියි. ඒ වගේම පීල්ලෙ නාන්න හරිම ආසයි. කඩුගන්නාවේ ඉද්දි මීදුම අස්සෙන් ගිහින් පීල්ලේ නාලා එනවා. “

“මතකද පළමුවෙනි චිත්‍රපට ගීතය?“

“වානරයෝ නේද සමන් මල්ලී. එතකොට අපි බැඳලා නෑ. ඒත් මාව ප්‍රිමියර් ෂෝ එකට එක්කගෙන ගියා. විස්මය, ක්ෂිතිජය ඒවාත් බලන්න ගෙනිච්චා. සරත්ට වෙනම වෙලාවක් නෑ මියුසික් කරන්න. එයා ලස්සනට සින්දු කිය කිය හොඳ මූඩ් එකේ සර්පිනාව ගහන වෙලාවට නම් අපි සද්ද නැතුව අහගෙන ඉන්නවා. හරි ආසයි අපි. හිතන්න බෑ එයා එච්චර ලස්සනට සින්දු කියනවා කියලා. ඒත් කවවදාවත් එයාගේ හඬින් සින්දුවක් රෙකෝඩ් කරලා නෑ.“ මේ කතාවේ හේතුව විහිළුවක් ලෙසින් සමන් මහත්තයා කියයි.

“ඔකට විහිළු කතාවක් තියෙනවනේ ප්‍රීති අක්කේ. දසේ දවසක් සරල ගී වැඩසටහනකට ගිහින් රේඩියෝ සිලෝන් එකේ. වැඩේ ඉවර වෙලා මරදානේ කඩේක තේ බිබී අහගෙන ඉන්නවාලු. සින්දු වගයක් ගියාලු. පස්සේ නිවේදකයා කීවලු ඒ සරල ගී ගායනා ඉදිරිපත් කළේ සරත් දසනායක කියලා. එදායින් පස්සේ දසේ හිතාගත්තලු ආයෙ කවදාවත් සින්දු කියන්නේ නම් නෑ කියලා“ තවත් සිනා රැල්ලකින් සාලය පිරීයයි.

“ඔව් අනේ එයාම කියනවා මහ ගොරකා හඬක් තියෙන්නේ කියලා. අනේ ඒ වුණාට එයාගේ හඬ ලස්සනයි අනේ. ඒ දවස්වල සවුන්ඩ් ලස්සන කරන්න පහසුකම් නෑනේ.“ දසනායක මහත්මිය කියන්නේ ස්ථිර හඬිනි. “ඉන්දියානු සිනමාවට කළ සේවයට පිටරැටියකුට දෙන ඉහළම සම්මානය ජයලලිතා සම්මානය ගත්ත දවසේ ලොකූ මල්මාල සඳුන් කැට දාලා, සළුවකුත් පොරවලා තිබුණනේ ඒකත් මං ගාව තියෙනවා. ඉස්සල්ලාම එයාට හම්බුණේ ඕගොල්ලන්ගේ සරසවි සම්මානයක් මං හිතන්නේ.“

පඩි පෙළ බැසගෙන තරුණයෙක් එයි. ඒ සංඛය. සමන් මහත්තයා මයේ පුතේ කියමින් ඔහු අමතයි. ‘ආ..‘ ඔහුගේ පිළිගැනීමය. දසනායක මහත්මිය පොඩි දරුවකුට මෙන් කියයි. හලෝ කියලා අඳුනගන්න පුතේ මේ අක්කවයි අයියවයි. ඔහු අපට අතට අත දෙයි. කෙළින්ම සමන් මහත්තයා ළඟ පුටුවට යයි.

“බමම් මාමේ ආප්මා එකේ පයිට් නෑ“

ඔහු පවසන්නේ ආත්මා චිත්‍රපටයේ සටන් ජවනිකා සොයා ගත නොහැකි බව යැයි අපට වැටහුණි. ඒ සමඟම සරත් දසනායක මහතාගේ සේයාරුව දුටු ඔහු “බමම්මාමේ මේ මගේ තාත්තා“ කියමින් එය සිඹ ඉකි ගසා අඬන්නට පටන් ගනියි. පිය සෙනෙහස අහිමි වීමේ වේදනාව දන්නා නිසාදෝ, අපේ වයසට ආසන්න වයසක සිටින සංඛ ගැන ඇති වූ වේදනාව නිසාදෝ මගේ දෙනෙත් වාවා ගන්නට මම අසමත් වීමි. එහෙත් එය සඟවාලන්නට අපහසු වන්නේ දිලිසෙන දෙනෙතින් යුතුව සිටින සමන් මහත්තයාත්, බිමට බර වූ දෑස් සමඟ බිඳීගිය හඬින් අප අමතන දසනායක මහත්මියත් නිසාය. මම කිසිවකු දෙස හෝ නොබැලීමට වගබලා ගනිමි.

“තාත්තාගේ සින්දුවක් ඇහුණත් අඬනවා. නැති වුණ දවසේ වගේමයි හැමදාමත් අඩන්නේ. ඒ දෙන්නා පණට පණනෙ. සරත් ආයෙ ආදරේ කළේ අම්මට තමයි. කොච්චර මහන්සියෙන් ආවත් අම්මා කෑවද කියලාවත් අහනවාමයි. එයා කලකිරීමෙන් හිටිය තවත් හේතුවක් තමයි එක ඇහැක් නැති වුණ එක. ගිරාගම ට්‍රේනිං කොලේජ් එකේ ගුරුවරු රෑ කෑම කන වෙලාවේ පිඟන් කෝප්පවලින් ගහගන්න බව ඇහිලා මෙයා ඔෆිස් එකෙන් එළියට ඇවිත්. ඒ වෙලාවේ වීදුරු කෑල්ලකට ඇහැ කැපිලා. මෙයා දන්නැතුව ලේ එද්දි හෝදලා පස්සේ කවුරු හරි දැකලා පේරාදෙණිය ඉස්පිරිතාලේ ගෙනියලා. පස්සේ නුවර ගෙනිහින්. ඒ කාලේ අද වගේ ටෙලිෆෝන් එහෙම නෑනේ. අපි යද්දි ඩොක්ටර්ලා කීවා මට අඬන්න එහෙම එපා එයාත් අඬනවා ඒක ඇහැට හොඳ නෑ කියලා. එයා ආයේ කිසිම දෙවියෙක් අදහන්නෙත් නෑ කියලා ඇඬුවා. හෝප් නැවටත් ගියා. ඒ නිසා එයා ඩ්‍රින්ක් එක වැඩියෙන් අරගෙන. මම දැනගෙන හිටියෙත් නෑ. කලකිරිම අපට පෙන්නුවේ නෑ.“

“අපි දන්නෙත් නැතුව අක්කේ එයා ගොඩාක් බීලා තියෙනවා. අන්තිම දවසේ අස් කරද්දි ඇඳ යට ලේ වැදිච්ච රෙදි පාංකඩ කෑලි හම්බුණේ. එයාට ලේ ගිහින් තියෙනවා.“ සමන් මහත්තයාගේ හඬ වේදනාබරය.

“අන්තිම දවසෙත් ඔෆිස් ගියා. ඩිරෙක්ටර්ට තේරිලා මෙයාට සනීප මදි කියලා. නිවාඩු දාලා ගෙදර යන්න කියලා මට කෝල් කරලා කීවා. සරත් ඇපල් දොඩම් එක්ක රතුමිදි ගෙනත් කෑවා. හවස වමනේ යද්දි රතු වුණාම එයා කියනවා ග්රේප්ස් නිසා කියලා. රෝද පුටුවේ ගෙනියන්න හදද්දි ගස්සලා පයින්ම ගියා. අයිසීයූ දාන්න හදද්දි ඩොක්ටර්ට කෑ ගහලා මට ලෙඩක් නෑ කියලා කාර් එකට ඇවිත් නැග්ගා. හවස අමාරු වුණා. ආයේ ගෙනිච්චාම ඩොක්ට කියනවා වතුර දෙන්න එපා කියලා මෙයා මට හොරෙන් කියනවා කෝඩියල් හදලා දෙන්න කියලා. මම යාන්තම් පුළුන් කෑල්ලට වතුර දාලා තොල් පෙඟෙව්වා. එයා හරි බයයි ඉනජෙක්ෂන් එහෙම විදිනවාට. සේලයින් එහෙම දීලා ඩොක්ට කීවා දැන් නින්ද යයි ගිහින් ඇඳුම් එහෙම අරන් එන්න කියලා. එත් ගෙදරට පණිවිඩේ ආවා එයා නැති වුණා කියලා. අපි හරියට කන්දක් උඩට ගිහින් අතහැරියා වගේ. ළමයි තුන්දෙනෙක් එක්ක විශේෂයෙන් සංඛ එක්ක මම කොහොමද මූණ දෙන්නේ ජීවිතේට.“ ඇගේ හඬ යළිත් සිහින් වී යයි.

ඒ අතර සමන් මහත්තයා කියයි.“මම එදා තමයි දැනගත්තේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා දකුණේ විශ්වවිද්‍යාලයේ සංගීත පීඨය හදලා ඒක විවෘත කරලා ආවේකියද්දි සරත් මේ වැඩවලට අමතරව තවත් වැඩ කළා කියලා.“

ඇය හඬ අවදි කරයි.“අනේ ඔව් මල්ලි ඒක සරත්ගේ නමින් නම් කරන්න කියලා තියෙනවා තාම වුණේ නම් නෑ පත්තරවල නම් යනවා. එයා අන්තිමට කීවෙත් රෙකෝඩින් එකක් ගැන. හැබැයි දවස් දෙකකට විතර උඩින් කැලැන්ඩරේක ඉලක්කම් කපලා ෆයිල් නම්බර් කරලා නැතිවෙන දවසේ උදේ දුවට කතා කරලා කියලා තියෙනවා මේ බිල් ඔක්කොම මේ මාසේ වෙනකල් ගෙවලා තියෙන්නේ කියලා. අපි මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ ඒ වෙනකල්. එයාගේ වැඩ හරි පිළිවෙළයි. කන්තෝරුවේ අය ආදරෙයි. ඒ නිසා පෙන්ෂන් එහෙම හදලා දුන්නේ මගෙ ළඟට ගෙනැල්ලා. හැමෝම උදව් වුණා. අපට තනි වෙන්න දුන්නේ නැ. අද මට දරුවනගේ දරුවොත් ඉන්න නිසා මේ ජීවිතේට පුරුදු වෙලා. එයා නැතුව අවුරුදු 20ක් සංඛව බැලුවා කියන්නේ අවුරුදු 60ක් ගෙවනවා වගේ. මම දැන් භාවනා කටයුතුවලිනුත් ඈත්වෙලා.“ ඇය කල්පනා කරයි. යළි කියයි.

“සරත් මට කීවේ බබා කියලා මමත් එයාට කීවෙ බබා කියලා. මම නම් කියන්නේ ආයෙ අපි අතරම ඉපදෙන්න කියලා. කොච්චර සතුටුවෙයිද මේ මුණුපුරෝ දැක්කාම. ඒත් එතකොට අපිට වඩා බාලයි නේද මල්ලි එයා“ ඇය එකවරම විමසුවේ සැබෑවට මෙනි. මට තාම දැනෙන්නේ එයා ඉන්නවා වගේ. කතාව තවදුරටත් යා නොහැකිය. සංඛ දිවවිත් ළදරුවකු මෙන් අම්මා ළඟ බිම හිඳ ඇගේ උකුලේ හිස හොවා ඉකි බිඳීයි. “බමම් මාමේ, මගේ තාත්තා නෑ බමම් මාමේ. අම්මේ මට දොයි මතයි.“

නිශ්ශංක විජේරත්න