ආදරණීය අය්යා නිශාන්ත ගැන මල්ලී ගේ මතක සටහ

මැයි 28, 2020

අසූව දශකයේ ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වූ නිශාන්ත ද අල්විස් ගේ අවමංගල්‍යෝත්සවය නිහඬවම සිදු වූයේ පවතින තත්ත්වය යටතේ වැඩි පිරිසකට එක්රොක් වීමට අවස්ථාව නැති බැවිනි. එහෙත් ඔහුගේ මලයණ්ඩිය ෂර්ලි අසන්ත ද අල්විස් නිහඬව සිටියේ නැත. වැඩිමහල් සොයුරාගේ අඩිපාරේ යමින් සිනමා ක්ෂේත‍්‍රයට පිවිසි ඔහු 2000 වසර දක්වා සිනමාවේ විවිධ අංශ ඔස්සේ ගමන් කරමින් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනා ගත්තේය. මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචිව සිටියද තම සොහොයුරා වෙනුවෙන් සිය මතක අවදි කරමින් අවසන් බුහුමන් දැක්වීමට ඔහු මෙසේ සරසවියට ඇමතීය.

අපේ ගෙවල් තිබුණේ වැල්ලවත්තේ. පවුල තරමක් ලොකුයි. තාත්තා, ෆෙඞ්රික් ද අල්විස් ගුවන්විදුලි සරල ගී ගායකයෙක්. අම්මා මිචෙල් නෝනා ගෘහණියක්. ලොකු අය්යා විල්මන් ද අල්විස් සංගීත මාස්ටර් කෙනෙක් විදිහට හිටියේ. අනෙක් අය්යත් ලෙස්ලි ශාන්ත ද අල්විස් තාත්තා වගේම ගුවන්විදුලි ගායකයෙක්. නිශාන්ත අය්යා අපේ පවුලේ තුන්වැනියා. මමයි නිශාන්ත අය්යයි තමයි අපේ පවුලෙන් සිනමාවට සම්බන්ධ වුණේ.

නිශාන්ත අය්යාට හේමමාලි දුවයි, ප‍්‍රියන්ත සහ විකුම් කියලා පුතාලා දෙන්නෙකුයි ඉන්නේ. දුවත් කාලයක් රංගනයට දායක වුණා. දුවගේ මහත්තයා චන්දනත් රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධයි. පුතාලා දෙන්නම කීබෝඞ් වාදකයෝ.

විල්මන් අය්යාගේ යාළු මිත‍්‍රයන් වන ඒ.ජේ. කරීම්, රොම්ලස් පෙරේරා, හේමසිරි හල්පිට වගේ අය අපේ ගෙදර ආවා ගියා. ඒ අයගේ ජනප‍්‍රියත්වය පුංචි අපේ හිත්වලට දැනුණා. අය්යාට පොඩි කාලේ ඉඳන්ම ලියන්න පුළුවන්. ඒ නිසා වෙසක් පොසොන් කාලෙට නාට්‍ය කළා. පොල්කොටන් උඩ තමයි වේදිකාව හදන්නේ. ඇත්තෙන්ම එහෙම පුදුම කැපවීමකින් තමයි අය්යා ඒ නාට්‍ය කළේ. ඉන් පස්සේ අය්යා සුදර්ශියට සම්බන්ධ වෙලා වේදිකා නාට්‍ය කළා. නිශාන්ත ද අල්විස් නමින් ආ මුල්ම වේදිකා නාට්‍යය වුණේ හැලහොල්මන් ඉටිපන්දම් නාට්‍යය. ඊට පස්සේ අය්යා වලිකුකුළන් තුන්පිළයි, ඔබට රජෙක් ඇත කූඹියනේ, චක‍්‍රවර්ති, බූදලේ, ලෝඞ්, කෝච්චිය, ලෝකෙට ලොක්කා වගේ වේදිකා නාට්‍ය බොහොම ජනප‍්‍රිය වුණා. ඒ හැත්තෑව දශකයේ. අය්යාගේ නාට්‍යවල වැඩියෙන්ම රඟපෑවේ නීල් අලස්, සොමී රත්නායක, මර්සි එදිරිසිංහ, ශ‍්‍රියානි ෆොන්සේකා, රංජිත් සුරංග, හේමසිරි හල්පගේ, දයා වයමන්, ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චි වගේ නළු නිළියන්.

අසූව දශකය වෙද්දි අය්යා චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙනවා. නිශාන්ත අය්යා ඇත්තෙන්ම මුලින්ම සම්බන්ධ වුණේ පතිරාජ එල්. එස්. දයානන්ද මහත්මයාගේ ‘සෙලිනාගේ වළව්ව‘ චිත‍්‍රපටයේ නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස. ඒ කාලේ මගේ වයස අවුරුදු පහළොවක් විතර ඇති. කොහොම හරි සාමාන්‍ය පෙළ විභාගෙවත් ලියලා නැහැ. හැබැයි මමත් ස්වේච්ඡුාවෙන්ම ඒ චිත‍්‍රපටයේ නිෂ්පාදන සහායක කෙනෙක් හැටියට නළු නිළියන්ට තේ දෙන්න එහෙම එකතු වුණා. හැබැයි මගේ නමවත් චිත‍්‍රපටයේ තිබුණාද කියලා හොයන්න බලන්න දැනුමක්වත් ඒ කලේ අපට නැහැ. කොහොම වුණත් අය්යාගේ මුල්ම චිත‍්‍රපටය ලෙස බොහෝ දෙනා සලකන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සතර පෙරනිමිති‘. එහි තිරනාටකය ලියලා සහාය අධ්‍යක්ෂ හැටියටත් කටයුතු කරන්න අය්යාට සිදුවුණා. ඒකත් ලස්සන කතාවක්. ඒ කාලේ චිත‍්‍රපටයක් කරන්න නම් බලපත‍්‍රයක් ඕනේ. අය්යාට බලපත‍්‍රය තිබුණේ නැති නිසාත්, මහාචාර්ය සුනිල් ආරියරත්නට බලපත‍්‍රය තිබුණ නිසාත් කතාව අරගෙන සහාය අධ්‍යක්ෂ වෙන්නත් අය්යාට අවස්ථාව දුන්නා. සතර පෙරනිමිති ලංකාවේ බොහොම ආන්දෝලනාත්මක කතාවක් වුණා. ඒ එක්කම අය්යා මහාචාර්ය සුනිල්ගේ මිහිදුම් සළු ඇතුළු චිත‍්‍රපට කීපයකම සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ඒ අතර අය්යා චිත‍්‍රපටයක් කළා ගුරුපාර කියලා. හැබැයි ඒක ප‍්‍රදර්ශනය කරගන්න ලැබුණේ නැහැ. ඒ අතර ඩොරින්ගේ සයනය චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළා. අය්යගේ පළමු චිත‍්‍රපටය ලෙස දොරට වැඩියේ ඒක. ඊට පස්සේ දොළොස් මහේ පහන, පොඩි විජේ, නගරං, අඹුසැමියෝ, බඹර සැණකෙළිය, පේ‍්‍රමවන්තයෝ, රෝසමල් සයනය වගේ චිත‍්‍රපට රැුසක් අධ්‍යක්ෂණය කළා.

අසූව දශකයෙන් පසුව පුංචි තිරය දැඩි ලෙස පේ‍්‍රක්ෂකයන් ඇදබැඳ ගත්තා. ඒ නිසා අය්යා ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයටත් පිවිසියා. පහන්තරුව, බඹර අසපුව, මාවතේ ගීතය, බඹා කෙටූ හැටි, වෙද හාමුදුරුවෝ, හැඬූ කඳුළු, සුද්දිලාගේ කතාව, ඉඩෝරයක මල් වැනි ටෙලි නාට්‍ය සමඟ පේ‍්‍රක්ෂකයන් අතරට අය්යා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් පේ‍්‍රක්ෂකයන් ආමන්ත‍්‍රණය කළා.

අය්යා චිත‍්‍රපට කරද්දි මාවත් සම්බන්ධ කරගත්තා. සමහර වෙලාවට මාව ගත්තේ නිෂ්පාදන සහායකයකු හැටියට. අර ඉස්කෝලේ කාලේ වගේම නළු නිළියන්ට කන්න බොන්න දුන්නා, අඩුපාඩුවලට ගියා, උදවු කළා. සමහර විට නම්වැලේ නමත් යන්න ඇති. කොහොම හරි නිශාන්ත අය්යාගේ දොළොස්මහේ පහන චිත‍්‍රපටයේ සහාය කලා අධ්‍යක්ෂ කෙනෙක් ලෙස වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම අඹුසැමියෝ, නගරං, බඹර සැනකෙළිය වගේ චිත‍්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කළා. මේ කාලේ මට නිලේන්ද්‍ර දේශප‍්‍රිය මහත්මයාව හඳුන්වා දුන්නේ අපේ අය්යාමයි. ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ අන්තිම රැුය චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. ගුරුගෙදර, ජුලියට්ගේ භූමිකාව, පාදඩයා වැනි චිත‍්‍රපටවලටත් මම සම්බන්ධ වුණා. පුරහඳ කළුවර, අග්නිදාහය, මගේ වම් අත වැනි චිත‍්‍රපට පහකට පමණ සම්බන්ධවීමට නියමිතව තිබියදී මට 2000 වසරේ පිටරට යන්න සිදු වුණා.

ඇත්තෙන්ම මගේ මේ ගමනට මුල වගේම මගේ වැඩකටයුතු පිළිවෙළ වන්න හේතුවත් නිශාන්ත අය්යා කීවොත් නිවැරැුදියි. මොකද ලංකාවේ ප‍්‍රධානම අධ්‍යක්ෂවරු මුණගැසෙන්න හේතුව අය්යා මට නිලේන්ද්‍රව මුණගැස්වීම. සිරස නාළිකාවේ දාමිණී තමයි ලංකාවේ පළමුවැනි මෙගා නිෂ්පාදනය. මාව එයට සම්බන්ධ කරගත්තේ නිලේන්ද්‍ර. නෝනාවරුණි මහත්වරුණිත් බාර වුණේ මට. අය්යායි මායි ගියා දෙවුන්දරට හැඬූ කඳුළු කියලා ටෙලි නාට්‍යයක් කරන්න. මම තමයි ප‍්‍රධාන සහාය අධ්‍යක්ෂ. අපට දෙනවක හාමිණේ, සිරිල් වික‍්‍රමගේ ඇතුළු පිරිසක් උදේ 8.00 ඉඳන් ෂූටින් පටන්ගන්න ඕනේ. වෙනදාට ලොජ් එකේ ඉඳන් නළුනිළියන් ඇවිදගෙන වෙරළට එනවා. එදා අය්යයි මායි පැය බාගයකටත් වඩා වෙරළේ ඉන්නවා නළු නිළියන්වත්, කාර්මික ශිල්පීන්වත් ආවේ නෑ. මාව වෙවුලනවා. අය්යා මුහුද දිහා බලාගෙන ඉඳගෙන මම ගොඩබිම දිහා බලාගෙන. එකපාරට අය්යා තනියම කියවනවා මට ඇහෙනවා. පස්ස පැත්තට කියන අකුරුදෙකේ නම කියලා, එහෙම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ලා තමයි අපට ඉන්නේ කියලා බනිනවා. මට ටික වෙලාවක් ගියාම තමයි තේරුණේ ඒ කීවේ මට කියලා. කොහොම හරි සති දෙකකින් විතර මාව එළෙව්වා. ඒ තමයි මම පිළිවෙළට වැඩ කරන්න ඉගෙන ගත්ත මොහොත. අන්තිමට අය්යාගෙම බඹර සැණකෙළිය කියන චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයට කතා කළා. අපි දවස් දාහතරක ෂෙඩ්‍යුල් එක දවස් දොළහෙන් ඉවර කළා. චිත‍්‍රපටයක් අවසන් වුණාම පැකප් පාටි එකක් දෙනවානේ. ඒකෙදි අය්යා පුරුද්දක් වශයෙන් කතාවක් පවත්වනවා. එදා අය්යාගේ කතාවෙන් තමයි මගේ වැඩ පිළිවෙළ ගැන සහතිකයක් දුන්නේ. එදා අය්යා කීවා හොඳම සහාය අධ්‍යක්ෂවරයෙක් අය්යාට ලැබුණා කියලා. එදා මගේ කතාව පවත්වමින් කීවා එදා මුහුදු වෙරළෙදි අය්යා අරවිදිහට කියලා බැන්නේ නැත්නම් අද අය්යාගෙන් එහෙම අහන ගාණට මම දියුණු වෙන්නේ නැහැ කියලා. අවසාන යුගය වද්දි අය්යාට මාව ගන්න බැරි තරම් මම කාර්යබහුල වෙලා තිබුණා. ඒක අද මතක් වෙද්දි මට කණගාටුවකුත් දැනෙනවා.

ඇත්තෙන්ම මම ඇමෙරිකාවේ ඇවිත් 2004 ඉඳන් වසර හතරක් සිනමාව හැදෑරුවා. ෆිල්ම් ඇන්ඞ් ටෙලිවිෂන්, සිනමා ඉතිහාසය, සිනමා වැඩමුළු ආදිය පිළිබඳ ඉගෙනගත්තා. ඒෂියන් ෆිල්ම් ඇන්ඞ් ඩ‍්‍රාමා ෆවුන්ඬේෂන් එකේ සභාපති ලෙස මම සෑහෙන වැඩකොටසක් ලංකාවේ කලාකරුවන්ට කර තිබෙනවා. මම හැමවිටම දුටුවා අපේ රටේ තිබෙනවාට වඩා සිනමාව වෙනස් බව. එය ඉගෙනගන්න මට ලොකු ආශාවක් තිබුණා. ලංකාවේ සිනමා යුගය පිළිබඳ මට ලොකු හීනයක් තිබෙනවා. පළමුවෙන්ම අපේ රටට සිනමා පාසලක් අවශ්‍යයි. අපේ සම්මාන උලෙළවල රතු පළස පවා වෙනමම හැදෙන්න ඕනේ. චිත‍්‍රපටවල අපේ රටේ තිබෙන්නේ අවස්ථා තුනක් පමණයි. ඒත් අපි දැනගෙන වුණත් වර්ග නොකරන කොටස් තුනක් තිබෙනවා. ඒ අනුව චිත‍්‍රපට කිරීමේදී නිෂ්පාදන සැලසුම, පූර්ව නිෂ්පාදනය, නිෂ්පාදනය, පසු නිෂ්පාදනය, බෙදාහැරීම සහ ප‍්‍රදර්ශනය කියලා කොටස්වලට බෙදාගෙන මුල මැද අග දැනගෙන චිත‍්‍රපට කරන්න මම ඇමෙරිකාවෙදි ඉගෙන ගත්තා. නිශාන්ත අය්යා නැති වුණාම තමයි මට දැනුණේ අය්යා මට මඟ පෙන්නුවේ නැත්නම් මේ වෙද්දි මම මෙතැන නැහැ. මගේ සම්පූර්ණ ගමනට මුල පෑදුවේ නිශාන්ත ද අල්විස් අය්යා. ඉතින් අය්යා නැති වුණත් ඒ කළ දේවල් මට වගේම තවත් අය්යාගේ පහන් එළියෙන් ආලෝකය ලැබූ අයට මේ මොහොතේ මතක් වෙනවා ඇති. නිශාන්ත අය්යාට කළ හැකි ලොකුම උපහාරය හැටියට මම උත්සාහ කරන්නේ මේ ලබාගත් දැනුම ලංකාවේ සිනමාවට අවතීර්ණ වන නව පරපුරට බෙදා දීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීමයි. ඒ සඳහා මා සතුව විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවා. හැකි ඉක්මනින් මම එය ක‍්‍රියාත්මක කරනවා. එදාට අය්යා මා වෙනුවෙන් කළ කැපකිරීම්වලට කෘතගුණ සලකන්න මට පුළුවන් වේවි.