සොබා අලංකාරේ බලන්න

සොබා සමඟ යමුද රට වටේ
මැයි 28, 2020

අපි සැමදෙනාම පාහේ සංචාරවලට බොහෝ ප‍්‍රිය කරන්නෝ වෙමු. එහෙත් සැම කෙනකුටම එක ලෙස සැම තැනකටම යා නොහැකි බැවින් පුවත්පත් මෙන්ම රූපවාහිනී මඟින් සංචාරක ස්ථාන දැකීමට හෝ ආශා කරමු. සැබැවින්ම ඡුායාරූපයකටත් වඩා වර්ණවත් වීඩියෝ දර්ශනවලින් පරිසරය නැරඹීම වැඩි වින්දනයක් ගෙනෙන බව අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්නට වන සත්‍යයකි. එනිසාම ඕනෑම නාළිකාවක පරිසර හෝ සංචාරක වැඩසටහන් ජනප‍්‍රියත්වයෙන් ඉහළ බවද නොකායා බැරිය. මේ අතර සියත රූපවාහිනියේ තරංග ප‍්‍රසාද් ගෙනඑන සොබා වැඩසටහනද අතිශයින් ජනප‍්‍රිය මෙන්ම මේ වනවිට වැඩසටහන් 250කට ආසන්න සංඛ්‍යාවක් නොකඩවා ඉදිරිපත් කළ සංචාරක වැඩසටහනකි. සොබා මේ තරම් පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලබාගැන්මේ රහස අපි එහි අධ්‍යක්ෂ, විස්තර කථක මෙන්ම නිෂ්පාදක වන තරංග ප‍්‍රසාද්ගෙන් විමසුවෙමු. ඔහු කතාව පටන් ගත්තේ මෙසේය....

මම කුරුණැගල වාරියපොළ ඥානෝදය මධ්‍යමහා විද්‍යාලයේ සහ වාරියපොළ සුමංගල විදුහල්වලින් අධ්‍යාපනය ලබලා ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවත් කැලණියෙන් කලා උපාධියත් ලබාගන්න අතර ස්වර්ණවාහිනී නාළිකාවේ සම්මුඛ පරීක්ෂණයකට කැඳවුම්පත් ලැබුණා. දෙදහක් විතර අයැදුම්කරුවන් අතරින් මම විතරයි ඔවුන් තෝරාගන්නේ. මගේ මුල්ම ගුරුවරයා වන්නේ අප අතරින් මෑතක වියෝ වුණු හේම නලින් කරුණාරත්න මහත්මයා. ඔහු යටතේ අවුරුදු දෙකක් පමණ සහාය නිෂ්පාදකයකු සහ නිවේදකයකු ලෙස පුහුණු වෙමින් අවරුදු හතක් පමණ ස්වර්ණවාහිනියේ සේවය කරනවා. ඒ කාලේ රංගන වරම, ගායන වරම වගේ රියැලිටි ෂෝ පටන් ගත්තේ අපි වෙන නාළිකා එහෙම දෙයක් හිතන්නත් කලින්. කොහොම හරි වාර්තා වැඩසටහන්වලට තමයි මගේ උනන්දුව වැඩි වුණේ. දැය ඇලි නමින් ලංකාවේ දියඇලි ගැන වාර්තා වැඩසටහන පටන්ගත්තෙත් ඒ නිසයි. එහෙම ඉන්න අතර හේම නලීන් මහත්මයා හෙරිටෙජ් ටෙලිවිෂන් :්‍යඔඪ* පටන් ගන්නවා. වැඩසටහන් කළමනාකරු විදිහට තමයි මම එයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ දියඇලි වැඩ සටහන වඩා හොඳින් කල් අරගෙන ඒ වැඩසටහන කරන්න පටන්ගත්තා. ශ‍්‍රි ටීවී කියන කේබල් නාළිකාවෙන් විදේශවල අපේ පේ‍්‍රක්ෂකයන්ට නරඹන්න පුළුවන් විදිහට ඒ වැඩසටහන විකාශය වුණා. අපේ කම, සංස්කෘතිය ආදිය පිළිබඳ තැනුණු වැඩසටහන් තමයි එච්ටීවී එකෙන් බොහෝදුරට විකාශය වුණේ. මමත් වැඩිවැඩියෙන් වාර්තා වැඩසටහන් පැත්තටම යොමුවෙන්න ඒකත් බලපෑවා. එහෙම අවුරුදු පහක් විතර ඉද්දි සියතෙන් ආරාධනාවක් ලැබිලා එයට සම්බන්ධ වෙනවා. එයින් වසර හතරහමාරකට පමණපසුව මගේම ආයතනයක් පටන් ගත්තා විෂන් විව් වීඩියෝ නමින්. සොබා වැඩසටහන ආරම්භ කරන්නේ ඒ මගේ ආයතනයෙන්. එය තමයි සියත රූපවාහිනියේ විකාශය වෙන්නේ.

ඔබ සොබා වැඩසටහන ආරම්භ කරන්න හේතුවුණු නිමිත්ත ගැනත් කියමු?

නාළිකාවක් මඟින් වැඩසටහනක් කරද්දි අපට සීමාවන් වැඩි නිසා මගේම ආයතනය මඟින් නිදහසේ ලංකාවේ සොබා සෞන්දර්යය ගැන වැඩසටහනක් කරලා පේ‍්‍රක්ෂකයන්ට රසවිඳින්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා හැඟීමක් මට තිබුණා. සියත නාළිකාවේ මම ඉන්න අතරේ තමයි සොබා වැඩසටහන පටන් ගත්තේ. ඒ නාළිකාවේ උපදේශිකාවක් ලෙස සංගීතා වීරරත්න මහත්මිය වැඩ කරනවා. ඇය සමඟ සාකච්ඡුාවකදි මම මේ ගැන යෝජනා කළා. ඇය කීවා නිදර්ශනයක් රූපගත කරලා පෙන්වන්න කියලා. අපි ටේ‍්‍රලරයක් හැදලා පෙන්නුවාම ‘වාව් හරිම ලස්සනයිනේ‘ කියලා ඇය මේ වැඩසටහනට අනුමැතිය දුන්නා. සෙනසුරාදා සවස 2.30ට සියත නාළිකාවේ වේලාවක් වෙන්කර අපට ඒ වැඩසටහන දිගටම කරන්න කියලා ඇය යෝජනා කළා.

මුලින්ම මේ දිවයිනේ කොයි පෙදෙසද ඔබේ ඇසට හසුවුණේ?

අවිස්සාවේල්ල ප‍්‍රදේශය. එහි දියඇලි සහ සොබා සෞන්දර්යය අපි හොඳින් රූපගත කළා. බොහෝ වෙලාවට අපේ වැඩසටහනින් යම් ස්ථානයකට යන ගමන් මාර්ගය පවා පෙන්වනවා. හේම නලින් ගුරුතුමා මට වාර්තා වැඩසටහන් පිළිබඳ ඉගැන්වූ යම් යම් කරුණු තිබුණා. ඒකත් මගේ වැඩසටහන්වල ගුණාත්මකභාවයට හේතු වුණා. සොබා 100 වැනි වැඩසටහන පිළිබඳ අප කතා කරද්දි එතුමා ආශීර්වාද කරමින් කීවේ තවත් මෙවැනි වැඩසටහන් ගණනාවක් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඒත් 200 වැනි වැඩසටහන බලන්න එතුමා ජීවතුන් අතර හිටියේ නැහැ. දැන් අපි 250ටත් ආසන්න වෙලා. අපි අදටත් ටොෆි කොලයක්වත් බිම දාන්නෙත් නැහැ. ගහක කොළයක් කඩන්නේ නැහැ. ඒ සියල්ල එතුමාගෙන් ඉගෙනගත් දේවල් තමයි. වාර්තා වැඩසටහනක් කිරීමෙන් ඔබ්බට ගිය පාරිසරික සටහනක් ලෙස සොබා ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ ඒ නිසයි. අපි මුලින්ම ගියේ ඕළු ඇල්ලට. ඒ අතරතුර තිබුණු විවිධ ගංගා දියඇලි සම්බන්ධවත් අවට පරිසරය සම්බන්ධවත් කබුළුමුල්ල දේවාලයේ බස්නායක නිලමේ රණසිංහ මහත්මා අපට තොරතුරු කීවා.

දියඇලි රූගත කිරීම තරමක් අවදානම් කටයුත්තක්. ඔබට මතක හිටි අවස්ථා ඕනෑතරම් ඇති?

එකවරක් බලංගොඩ පැත්තේ ගියා අපි දියවිනි ඇල්ල කියලා දියඇල්ලක් බලන්න. ඒ නම ලැබිලා තිබෙන්නේ කන්දේ හිටවපු ඉන්නක් වගේ තමයි එය ඈතට පෙනෙන්නේ. ඒ නිසා දිය ඉනි ඇල්ල ටික කාලෙකදි දියවිනි ඇල්ල බවට පත්වුණා කියලයි දැනගන්න ලැබුණෙ. ඒ ගමන අපි යද්දි කන්ද අසල තිබුණු වගාබිමක හිටි මාමා කෙනෙක් අපෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. අපි කිව්වා මේ ඇල්ල ගැන වැඩසටහනක් කරන්න යනවා කියලා. ඒ මාමා හා හොඳයි ඔහොමද යන්නේ? කමක් නැහැ එහෙනම් යන්නකෝ කියලා අපට කීවා. ටිකකින් බලද්දි ඒ මාමා පිහියකුත් අරගෙන අපේ පස්සෙන් එනවා. අපි කොහොමත් නොදන්න තැනක යද්දි ගමේ කවුරුහරි සම්බන්ධ කරගන්නවා. ඉතින් අපට උදවු කරන තරුණ කෙනෙකුත් ගමෙන් එක්කගෙනයි ගියේ. අපේ ඉලක්කය ඉක්මනින් කන්ද තරණය කරලා දිය ඇල්ල මුදුණ බලලා දවල් කෑමට පහළට ඒම. මඟදි කන්න කියලා රොටි ලැවරියා වගේ දේවල් ටිකක් විතරයි අපේ අතේ තිබුණේ. ඒත් අපට කන්ද නඟින්නවත් බැරි වුණා දවල් කෑමවෙලාවට කලින් ඒතරම් දුෂ්කරයි යන පාර. කොහොම හරි ඇල්ල මුදුන පටිගත කරලා එද්දි හොඳට ?වෙලා. ගිය පාරෙ එන්නත් බැහැ දියසෙවෙල්වලට එහෙම ලිස්සනවා. දැන් අර අනාරාධිතව ආපු මාමා කීවා වෙන ගමක් පැත්තෙන් යන්න එයා දන්න පාරක් තිබෙනවා කියලා. අපිත් ගියා ටික වෙලාවක් යද්දි ඒ මාමා අපි යන පාර වෙනස් කරනවා කියලා අපට හොඳටම තේරුණා. ඒත් මුකුත් අහන්නත් බෑ. ඔය අඩවිවලදි කට වරද්දගන්න එපා කියනවානේ. ටිකකින් මාමා කීවා අපට පාර වැරදිලා කියලා. ඒ වෙලාවෙ නම් හොඳටම බය වුණා අපේ කට්ටිය. පස්සේ ඒ මාමාම කීවා කලබල වෙන්න එපා කියලා ගහක අත්තක් එහෙම එල්ලලා ගාථාවගයක් එහෙම කීවා. තව විනාඩි විස්සකින් විතර අපට ඈත ලාම්පු එළියක් පේන්න ගත්තාම දැන්නම් පාර හරියාගෙන එන්නේ ගමක් අහුවෙනවා වගේ කියලා කීවා. මට දැන් කටවහගෙන ඉන්නම බැරි තැන මම ඇහුවා ඇයි මාමා අපි යන පාර වෙනස් කළේ කියලා. ඒ පාර ඒ මාමා කීවා එතන ගස් අත්තක් කපලා දාලා තියෙනවා දැක්කා නේද? ඒකෙ තේරුම වල්ඌරන්ට තුවක්කුවක් ඒ ඉසව්වෙ බැඳලා තියෙනවා කියන එකයි ඒකයි පාර මඟඇරලා ආවේ කියලා. සමහර විට ඒ මාමා ආවේ නැත්නම් අද මෙහෙම කතාකරන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. ඉතින් කොහොමහරි අපි දවල්ට කන්න ගමට ආවේ ?බෝ වෙලා.

තවත් වරක් අපි හමුදාවටත් සම්බන්ධ තැනක තිබුණු දිය ඇල්ල ළඟ ඉඳලා වොයිස් කට් එකක් දීලා කැමරාවෙන් මෑත් වුණා විතරයි දන්නේ මම හිටියේ අඩි ගාණක් පහළ. හැබැයි ඒ වැටුණු තැන දිය සීරාවක්වත් දියසෙවෙල්වත් මුකුත්ම තිබුණේ නැහැ. මම බේරුණේ අත තියලා මොකද වෙනකෙනකුට අල්ලා බේරගන්න පුළුවන් තැනකුත් නෙවෙයි ඒක. එහෙම බේරුණා වුණත් එකපාරට වුණු තිගැස්ම නිසා මගේ මුළු ඇඟම ගල් වුණා වගේ දෙයක් වුණා. නැඟිටගන්න බෑ, කතාකරන්න බෑ මොවා වුණාද දන්නේ නැහැ. පස්සේ ඒ හමුදාවේ යාළුවන් දෙන්නා එකතුවෙලා මගේ ඇඟ සම්බාහනය කරලා ඒ අය දන්න දේවල් උපක‍්‍රම ඔක්කොම යොදලා තමයි යථා තත්ත්වයට ගත්තේ. කොහොම වුණත් මට මේ කටයුතුවලට බෙහෙවින් උපකාර වුණේ පාසල් යන කාලේ සිටම ඕබීටී නැත්නම් බැහැරගත ක‍්‍රියාශීලී වැඩසටහන්වලට සහභාගී වීම. ඒ විෂයය උපදේශකයකු ලෙස ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සංවර්ධන මධ්‍යස්ථානයේ තරුණ සේවා සභාවෙන් චරිත් රත්වත්තේ මහත්මයාගේ කාලේ පටන්ගත්ත වැඩසටහනේ මම වසර පහළොවක් පමණ සේවය කළා. පාසල් යන කාලෙම තෝරාගත් සිසුන් දෙදෙනාගෙන් කෙනෙක් ලෙස මාව තේරුණා. පසුකාලීනව ලංකාවේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනවල විධායක ශේණිවල සිට පහළ තනතුරු දක්වාම පුහුණු කිරීම් කටයුතු කළ නිසා බොහෝ ඇඩවෙන්චර් වැඩවලට පුහුණු වුණා. ඒ වගේම ජීවිතේ හරි මඟට ගන්න දැක්මක්, කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න පුහුණුවක් අපට ලැබුණා.

විදේශ රටවල සොබා සෞන්දර්යය ගැනත් සොබා මඟින් කතාකරනවා?

ඔව් අපි වරක් ඉන්දියාවේ බරණැස ඉසිපතනය වගේ තැන්වල වගේම කොසඹෑ නුවර වගේ සාමාන්‍ය සංචාරකයන් නොයන තැන්වලත් ගිහින් ඒ ස්ථාන ගැන තොරතුරු පේ‍්‍රක්ෂකයන්ට රසවිඳින්න අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවලටත් ගියා. තවත් රටවල් කීපයක වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. මේ තත්ත්වය සමනය වූ ගමන්ම අපි ඒවා පේ‍්‍රක්ෂකයන්ට ගෙනෙනවා. ලංකාවේ වුණත් අපි බොහෝ විට යන්නේ බොහෝ දෙනා නොගිය, නොදන්න තැන්වලට. හැබැයි එහෙම විශේෂ තැන්වලට යද්දි අපි සුපුරුදු විදිහට පාර කියන්නේ නැහැ. මොකද හැමෝම යන්න ගත්තාම ඒ ස්ථාන රැුකගැනීම හරිම අපහසු වෙනවා. මම කියන්නේ නැහැ හැමෝම කියලා. ඒත් සමහරු විනෝදය ගැන පමණයි සලකන්නේ. ඒ පරිසර පද්ධතියට වන හානිය ගැන නොහිතා කරන දේවල් නිසා විශාල විනාශයන්වලට මුහුණ දෙන්න සිදුවනවා. ඒත් අපට හොඳටම විශ්වාස පේ‍්‍රක්ෂකයන් සමහර විට අපෙන් කතාකරලා විමසුවොත් අපි ඒ ස්ථාන ගැන කියන අවස්ථාත් තිබෙනවා.

දැන් ඔබ ළංවෙමින් ඉන්නේ වැඩසටහනේ 250 වැනි කොටසට. ඒ වෙද්දි මේ පුංචි දිවයිනේ කොයිතරම් වපසරියක් ආවරණය කරන්න ලැබුණාද?

දිස්ත‍්‍රික්ක විදිහට ගත්තොත් සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වෙලා තිබෙනවා. ඒත් ලංකාවේ සොබාසුන්දරත්වය කොයිතරම් විශාලද කීවොත් මේ ගියා වගේ දහගුණයක් විතර අපට යන්න ඉතිරි වෙලා තිබෙන බවත් අපි දන්නවා. අපි කොහොමත් මාසයකට එකහමාරකට පමණ වරක් සංචාරයක නියැළෙනවා. ඊට කලින් මම පොත්පත් ආදියෙන් සහ අන්තර්ජාලයෙන් අප යන ප‍්‍රදේශයේ තොරතුරු සොයාබලනවා. ඊටත් අමතරව මගේ හිතවත් පරිසරවේදීන්ගෙන් විමසනවා. අපේ උත්සාහය තමයි හැමවිටම පරිසරවේදියකු මේ වැඩසටහනට සහභාගී කරවා ගැනීම. චමිල රණමුක තමයි ප‍්‍රධාන වශයෙන් මා සමඟ වැඩසටහන්වලින් සියයට හැත්තෑ පහකට පමණම සහභාගී වුණේ. ඊට අමතරව අපි යන ප‍්‍රදේශයේ හෝටලයක් මූලික කරගෙන වැඩසටහන කරන නිසා ඒ හෝටලවලින් ලබාදෙන නියමුවෙකුත් අපට ලැබෙනවා. ඒ වගේම ගම්වල තොරතුරු අපි ගමේ ඉන්න වැඩිහිටියන්, තොරතුරු දන්න අය සමඟ කතාබහ කරමින් ඔවුන්ගේ සාකච්ඡුා අපේ වැඩසටහනට සහභාගී කරගන්නවා. මේ නිසා බොහෝ පාසල් දරුවන් සහ ගුරුවරුන් අපට කතාකරමින් මේ වැඩසටහන පිළිබඳ විමසනවා. අප බොහෝවෙලාවට වනජීවි හො වනසංරක්ෂණ නිලධාරීන්ගේ සහයත් ගන්න නිසා අපට අනතුරු සිදුවන්න තිබෙන ඉඩ අඩුකරගෙන තමයි වැඩ කරන්නේ.

බොහොම ආශාවෙන් කළ හදවතේ රැුඳුණු ස්ථාන එහෙමත් ඇති?

එකවරක් අපි පාසිකුඩා ගියා. අපි මුහුද මැද්දටත් ගියා කොරල්පර බලන්න. අපේ කැමරා ශිල්පියාටත් ඒ තරම් පීනන්න බැහැ. ඉතින් බෝට්ටුවෙන් ගොඩට එන දර්ශනය ගන්න, මම වතුරට බහින දර්ශනය රූගත කරන්න, මට කලින් කැමරාව යා යුතුයිනේ. පස්සේ මම බෝට්ටුවේ ඉද්දි කැමරා ශිල්පියාව කීපදෙනකුගේ ආධාරයෙන් වතුරට බස්සවන්න ගියා. ඒ වෙලාවේ ඔහු අඩිය බිම වදින්නේ නෑ කියමින් කෑ ගහලා ගිලෙන්න ගියා. පස්සේ බලද්දි ඔහු අඩිය බිම තියලා නෑ. හිටගත්තාම දණක් උසටවත් වතුර තිබුණේ නැහැ. ඒ වගේ දේවලූ‍ත් අපට සිදුවුණා. අපව බොහෝ තැන්වලදි අඳුනාගැනීමත් මේ වැඩසටහන නිසා හිතේ සතුට ගෙනෙන දෙයක්. දවසක් ගමක යද්දි ලස්සන ආච්චි කෙනෙක් එනවා දරමිටියකුත් හිසේ තියාගෙන. අපි හිතුවට වඩා ඉතා හොඳට ඒ ආච්චි අපිත් එක්ක කතා කරලා දත්නැති කටෙන් ලස්සනට හිනාවෙලා අපට හොඳින් ආශීර්වාද කළා. ඒක කොයිතරම් ලස්සනද කීවොත් වැඩසටහනේ ටේ‍්‍රලරයටත් අපි ඒක යොදාගත්තා.

පාසිකුඩාවල තවත් සිදුවීමක් තමයි අපේ දේශීය සංචාරකයන් සමහරු කරන වැඩ නිසා කොරල්පරවලට වන හානිය. ඒනිසාම යුද්දෙ තිබුණා නම් මේ කොරල් ටික රැුකෙනවා කියලා කියන තැනට ඒ පැතිවල මිනිස්සු හුරුවෙලා. පාසිකුඩා වෙරළ එතරම් ලස්සනයි කියන්නේ ඒ කොරල් පර නිසා. එක් දවසක් අපිව උදේ පාන්දර පහට පහාමාරට පමණ එක්කගෙන ගියා කොරල් බලන්න හෝටලයේ පරිසරවේදියා. ඒ වෙලාවට කිලෝමීටරයක් විතරම යන්න පුළුවන් පයින් ඇවිදගෙන. අපිව ගිලෙන මට්ටමට තවත් කිලෝ මීටර පහක් විතර ඇවිදගෙන යන්න පුළුවන්. අපි ඇවිදගෙන යන්නේ කොරල් පාගන්නේ නැතිව අයින දිගේ. ඒ කොරල් ලෝකය පුදුම ලස්සනයි. හරිම වර්ණවත්. අපි දකින දේට එහා ගිය පුදුම දේවල් තිබෙනවා පරිසර පද්ධතිවල. කකුළුවෙක් වගේ කකුල් තියෙන ලස්සන බෙල්ලෙක් යනවා අපි දැක්කා. පස්සේ හොඳට පරික්ෂා කරලා බැලූ‍වාම ඇත්තටම ඒ කකුළුවෙක් තමයි. මැරුණු බෙල්ලෙකුගේ කටුවකට මෙයා රිංගගෙන ආරක්ෂාවට. අපි පොඩි තට්ටුවක් දැම්මාම ටක් ගාලා බෙලිකටුව අස්සට රිංගා ගත්තා. ඒ විස්තරය අපි දැනගත්තේ ඒ පරිසරවේදියාගෙන්. ඉතින් මේ දේවල් බොහෝම විමසිලිමත්ව බැලූ‍වොත් තමයි පේන්නේ.

නුවර දෙල්තොට පැත්තේ තවත් තැනක අපි ගියා. කඳු යායක් තිබෙන්නේ. ඒ කඳුවල කාලෙන් කාලෙට වර්ණය වෙනස්වෙනවා. නුවර එළිය සහ නුවර වෙන්වන ඒ පොඩි ගඟට කියන්නේ කුරුගල් ඔය කියලා. ඒ උඩින් යන යකඩ පාලමක් තිබෙනවා. ඒ පාලමේ මිනිසෙකුගේ හිසට ටිකක් උඩින් යකඩ පටි ගහලා තිබෙනවා. ඒ සුද්දාගේ කාලේ අපේ මිනිස්සු ආරක්ෂාවට කළ දෙයක්. ඒ යකඩ පටි නිසා අශ්වයා පිටින් යන කෙනකුට පාලමෙන් යන්න බැහැ. බැහැලා පයින් විතරයි යන්න පුළුවන්. එතකොට සතුරාගේ වේගය බාල වෙනවා. මෙහා පැත්තේ අයට අවශ්‍ය කටයුතු සංවිධානය කරගන්න වෙලාව තිබෙනවා. ඒකට තමයි එහෙම යකඩ පටි යොදලා තියෙන්නේ. තවත් ලස්සන තැනක් තමයි නුවර එළියේ සඳතැන්න. එතැනට යන්න ඕනෙ බීජ අර්තාපල් ගොවිපොළ හරහා. ඒ නිසා අපට අපේ වාහනවලින් යන්න බැහැ. ඒ අයගේ වාහනවලින් පමණයි යන්න පුළුවන්. අපට වාහනවලින් බහින්නත් තහනම්, අර්තාපල්වලට විෂබීජ යන නිසා. ඒ අය වාහනත් හෝදලා තමයි ඇතුළු කරන්නේ. ඒ පාර දිගේ තැනින් තැන තිබෙන වනාන්තරවල කොළ කහ, තැඹිලි, රතු, කොළ, දුඹුරු වගේ පාටවල් ගන්නවා. සුළඟ නිසා කුරුගස් තිබෙන්නේ. එතැනට ගියාට පස්සේ වෙනම ලෝකයක් වගේ මීදුමත් එක්ක හරිම වෙනස් හැඟීමක් දැනෙන්නේ.

ඒ වගේමයි පුංචි ලෝකාන්තය පිටවල පතනේ පිහිටිය. එයින් පහළ සම්පූර්ණයෙන් පෙනෙන්නේ වනාන්තරය. එහි ඉන්නවා අපටම ආවේනික පතන් ගෙම්බා. අපේ රටෙන් තුරන් වුණොත් ලෝකෙටම අහිමි වෙනවා. ඒ වගේම නිල්මොනරැුස්ස, කඳුලැස්ස, පතං අල වගේ පැළෑටි. ඒවා අපට දකින්න ලැබෙන්නේ මේවගේ තැන්වල විතරයි. රිවර්ස්ටන්වල අංකටුස්සාත් බොහොම දුර්ලභ සතෙක්. ඒත් අපේ පටිගතකිරීම්වලදි එයා නළුවෙක් වගේ මගේ විස්තරය ඉවර වෙනතුරුම ගහේ උන්තැනම හිටියේ හරියට ආරාධනය පිළිගෙන වගේ. තවත් එක්කෙනෙක් ටිකක් රතුවෙලා එහායින් හිටියා.

පිටවල පතනේම රෙඞ්බානා කියලා ගමක් තිබෙනවා කොකෝවා වගා කිරීමට පිටරටකින් ආධාර ලැබුණු. මේ වෙද්දි ඒ ගමේ සියලූ‍ම දෙනා වෙනත් පෙදෙස්වලට ගිහින් එකම එක ගෙදරක වයසක යුවළක් විතරයි ජීවත් වෙන්නේ. ඔවුන් දෙදෙනා හරිම පුදුමයි. වගාකටයුතු කරගෙන ස්වයංපෝෂීව ජීවත් වෙනවා. සමහර වෙලාවට දරුවන් ඇවිත බලලා යනවාලූ‍. ඉඳලා හිටලා දුරුමිරිස් ටිකක් ගන්න විතරයි බොහෝ දුර ගෙවාගෙන ටවුමේ කඬේකට එන්නේ. ඒ දෙදෙනා අපට කෑම බීම එහෙමත් රහට හදලා දුන්නා. පුංචි ලෝකාන්තයේ ඉඳන් බලද්දි එදා නම් ගම පෙනිලා තිබෙනවා. ඒත් අද පේන්නේ කුඹුරු යායක් විතරයි. පරිසරවේදීන් නම් බොහොම සතුටුයි මේ පරිසරයට වෙලා තිබෙන දේට. මොකද කැලයක් යටකරගෙන ගමක් හදලා තිබුණේ. දැන් ගම යටකරගෙන ආපහු කැලය වැවෙනවා. ඒක පාරිසරික වශයෙන් හොඳ තත්ත්වයක්.

කොවිඞ් 19 තත්ත්වය ඔබේ වැඩසටහනටත් බලපාන්න ඇති?

අපි කොඩිඞ්වලට කලින් ගියේ රිවස්ටන්. හෝටලයක් මුල් කරගෙන තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඇතැම්වෙලාවට වේල්ලක් වගේ දෙයක් වුණත් මුලකරගන්නවා. සංචාරකයන්ට යා හැකි ගමන් තමයි අපේ ඉලක්කය. තමන්ගේ ගමන් සූදානම් කරගන්න කලින් අපට කතා කරලා ඒ විස්තර අනුව යන ගමන පිළිවෙළ කරගන්න සංචාරකයන් බොහොමයක් ඉන්නවා. කොවිඞ් නිසා ඇති වුණ මේ වගේ නිදහස් ගතියක් අපට මීට පෙර තිබුණේ නෑනේ . කර්යබහුල කාලේ සමහරු කතා කරලා කියන්නේ සතියම ජීවත්වෙන්නේ සොබා වැඩසටහනෙන් ලබන සැනසීමෙන් කියලා. ඒ වගේ ප‍්‍රතිචාර තිබෙනවා. සමහරු අපට ඔවුන් ගිය තැන්, තම තමන්ගේ ගම්පළාත්වල තිබෙන දුර්ලභ ලස්සන දේවල් කියනවා. දැන් මේ කාලේ අපට අලූ‍තෙන් තැනකට යන්න බැරි නිසා පරණ වැඩසටහනක් විකාශය වුණාම දොස් කියන අයත් ඉන්නවා. ඒ වගේ බොහෝ ප‍්‍රතිචාර මේ වැඩසටහනට ලැබෙනවා. නිර්මාණයකින් එවැනි ප‍්‍රතිඵල ලැබෙද්දි හරි සතුටක් දැනෙන්නේ. හැබැයි මේ දිනවල අපි වැඩසටහන් සඳහා කොහේවත් ගියේ නැහැ. ඒත් ට‍්‍රැවල් මැප් විත් තරංග කියලා යූ ටියුබ් චැනලයකුත් පටන් ගත්තා මේ වැඩසටහන සියත නාළිකාවේ සෙනසුරාදා 2.30-3.00 බැලීම හදිසියේවත් මඟ හැරුණු අයගෙන් ලැබුණු ඉල්ලීම් මත. ඒ වැඩසටහනේ ඩ්‍රෝන කැමරාවලින් ගත් ලංකාවේ විවිධ ස්ථානවල දර්ශන ඇතුළත් කොටසක් වෙනමමත් තිබෙනවා. මේ වැඩසටහනේ කැමරා ශිල්පියා ඉරෝෂ් ජයවර්ධන. ඔහුගෙන් මට විශාල සහයක් ලැබෙනවා මේ වැඩසටහන සාර්ථක කරගන්න. ඒ වගේම මගේ බිරිඳ ඉඳුනිල් වනේෂරා තමයි සහාය අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්නේ. අපි තුන්දෙනා සමඟ සහායට තව කීපදෙනකු නිෂ්පාදන කටයුතුවල යෙදෙනවා. රටත් ලෝකයමත් යථා තත්ත්වයට පත් වුණාම සුපුරුදු පරිදි අපේ වැඩසටහන් පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් යළි ඉදිරිපත් කරන්න අපි සැදී පැහැදී ඉන්නේ. කොවිඞ් 19 සමඟ විදේශ සංචාරකයන් පැමිණීමේ අඩුවක් වෙන්න පුළුවන්. ඒත් දේශීය සංචාරකයන් බොහෝ තැන්වලට යන්න උත්සාහ කරයි. මෙය හෝටල් පදනම් කරගෙන කරන වැඩසටහනක් නිසා අපි දේශීය සංචාරකයන්ට සුදුසු තැන් පිළිබඳව වැඩිපුර කතාබහ කරන්නත් බලාපොරොත්තු වෙනවා.

කොරෝනාවලින් ජීවිත හානි සිදු වුවත් එයින් පරිසරය පිළිබඳ අලූ‍තෙන් හිතන්න අවස්ථාවක් ලෝකෙටම දුන්නා. ඒගැන ඔබ හිතන්නේ සහ පරිසර වැඩසටහන් නිර්මාණකරුවකු ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

අපි සංචාරය කරන්න ඕනෙ. බොහෝ දේවල් දකින්න බලන්න ඕනෙ. මට වුණත් එක වරක් ගිහින් ආවාම නගරයේ වැඩ කරගෙන කාලයක් ඉන්න ශක්තිය ලැබෙනවා. හැබැයි අප යම් පරිසරයකට ගිහින් ආපසු ආ යුත්තේ ඒ පරිසරයේ කිසිම දෙයක් ඉතිරි නොකර. හරියට අපි එතැනට ගියේ නෑ වගේ ආපහු එන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එහෙම නොවුණු තැන්වල මිනිසුන්ට මිනිස්සුම ශාප කරනවා. සමහරු පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ගල්කනුවල, විශාල ගස්වල තමතමන්ගේ සංකේත යොදලා තිබෙනවා දකිනවා. මාධ්‍යයකින් කිව හැකි උපරිම විදිහට කීවොත් ඒවා කරන්නේ ‘සම හරක්‘ විතරයි. හැබැයි ඔබ වැනි අය මුද්‍රිත මාධ්‍ය මඟින් සහ අපි විද්‍යුත් මාධ්‍ය මඟින් කළ දැනුම්වත් කිරීම් නිසාම සෑහෙන පිරිසක් දැන් මේ දේවල් පිළිබඳ කල්පනා කරන බව පේනවා. මේ දවස්වල නුවර එළියේ ලිලීමල් හොඳට පිපිලා. ඒ ඒවාට මිනිසුන්ගෙන් බලපෑමක් නැති නිසා. ඒ වගේ පරිසරයේ සැමදෙයක්ම බොහොම ලස්සන වෙලා. ඉතින් අපි පරිසරයකට ගියාම එයින් බලපෑමක් ඒ දෙයට නොවෙනවා නම් මේ අසිරිය හැමදාමත් අපට ඉතිරි වෙවි. ඒ සඳහා පරිසරයට ආදරය කරන්නෙකු ලෙස සංචාරයේ යෙදෙන්න.