සීලරත්නට හතළිහ වුණ හැටි අශෝක කියයි

නොවැම්බර් 8, 2018

'මා ඔබේ හිතවත් සීලරත්න සෙනරත්' යන වදන් පෙළ ගුවන්විදුලිය අසන අයට අරුමයක් නොවේ. මේ හඬ පෞරුෂය ගුවන් තරංග ඔස්සේ ශ්‍රාවක සවන්පත් අතර රැඳෙන්නට ගෙන මේ වන විට හතළිස් වසරක් ගත වූ බව දැනගත් මාධ්‍යවේදී අශෝක පියරත්නට ඒ බව නොලියා ඉන්නට නොහැකි විය. ඔහු සීලරත්න මහතාගේ වෘත්තීය ජීවිතය පිළිබඳ සොයන්නට වූයේ එබැවිනි. අවසානයේ පොතක් දොරට වැඩියේය. එය මෙසේ නම් විය. 'මට දැන් හතළිහයි- මා ඔබේ හිතවත් සීලරත්න සෙනරත්'

බස්නාහිර සෞන්දර්ය නිකේතනයට ගොඩවන අයට දැනුණේ ගුවන්විදුලි සංස්ථාවට අතුළු වන්නාක් මෙනි. සීලරත්න සෙනරත් හඬ පෞරුෂය සමඟ අපට සමීප වූ නිවේදිකාවන් රැසකගේ මුහුණු සතුටු සිනා සහ මතක කතාවලින් පිරී ඇත. ග්‍රැමෆොන් ගී එකතුවක් අලුත් හඩවලින් ගෙන එනු ඇසේ. එහෙත් ඇත්තෙන්ම මේ අවස්ථාව සංවිධානය කර තිබුණේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලි සේවයයි. පොත ලිවීමට හේතුවද ඔවුන්ගේ නාළිකා ප්‍රධානි සීලරත්න මහතාගේ නිවේදක වෘත්තියට වසර හතළිහක් පිරීම සහ තම ගුවන්විදුලි සේවයට වසර තුනක් සපිරීම බව ප්‍රධාන විධායක නිලධාරී කස්සප සෙනරත් සහ කළමනාකාර අධ්‍යක්ෂ වං ෂියෝ තුං මහත්වරු පවසා තිබුණි. ප්‍රධාන ආරාධිතයා වූයේ ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් වීමද උත්සවයේ විශේෂත්වයකි. ඒ සමානම විශේෂත්වය වූයේ පාලි ගාථාපාඨ ආදිය සමඟින් විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වූ කච්චි මොහොමඩ් මහතා නිවැරැදි සිංහලෙන් කළ ප්‍රධාන දේශනයයි.

ගුවන්විදුලි වැඩසටහනක් මෙන් වූ උත්සවය රස විඳීමෙන් පසු අප පළමුවෙන් හමු වූයේ සීලරත්න මහතායි. ඔහු වසර හතළිහක් වාක්‍ය හතළිහකට පමණ කැටි කිරීමට මෙසේ උත්සාහ කළේය.

"මගේ මාධ්‍ය ජීවිතයට දැන් හතළිහයි. ඉතිරි වයස තම තමන්ට කැමති විදිහට හිතා ගන්න ඉඩ දෙනවා. හැබැයි මම මාධ්‍යයට එන්නේ උපාධිධාරී ගුරුවරයකු ලෙස සේවය කරද්දි. 1978 පෙබරවාරි 11. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පී පරීක්ෂණයකින් සමත් වෙන්න මඩකලපුවේ, සිප්පිමඩු නම් ග්‍රාමීය පාසලක ඉඳන් ආවේ. ඒ පාසල මට ලැබුණේ 77 දේශපාලන පළිගැනීමක් විදිහට. මගේ භාර්යාවට දරුවකු ලැබෙන්නත් හිටියා. ඒත් දෛවෝපගතව මම හඬ පරීක්ෂණයෙන් සමත් වූ වෙලාවේ තමයි කස්සප පුතා බිහි වෙලා තිබෙන්නේ. ඒ කාලේ ජංගම දුරකථනත් නැහැනේ. මම සීඩබ්ලිව්ඊ එකේ සේවය කළ මගේ අය්යා හරිස්චන්ද්‍ර කුලරත්න මඟින් රෝහලට ඇමතුමක් අරන් අහද්දි පුතා ලැබුණා කීවා.

මම ඉපදුනේ මහනුවර ගලහා ග්‍රාමයේ. ඉස්කෝලේ භද්‍රවතී මහ විද්‍යාලය. මසකට වරක් තිබුණු සාහිත්‍ය සමිතිය සතියට වරක් කරන්න අපේ කාඩ්බෝඩ් ගුවන්විදුලිය සමත් වුණා. එහි මමත් සුමනපාල ආරියරත්නත් ක්ෂණික රංගනයන් ඉදිරිිපත් කරනවා. "ඈලි මෑලි ගතියට ලෑලි කෑලි සපන්න" ඔන්න ඉතින් ළමයින් හිනාවෙන්න ගන්නවා. "ආයුබෝවන්. මෙන්න ප්‍රවෘත්ති. ප්‍රකාශය සීසෙ. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පාං පිටි මුට්ට 4500ක් ගෙනා නැවක් අනතුරකින් මුහුදුබත් වීම නිසා අසාගර ජලය කිරි පැහැයට හැරුණු බව වාර්තා වේ. කිරි මුහුද නිර්මාණය වුයේ මේ සිදුවීමෙන් අනතුරුව බව සත්ත්වවේදීන් පවසා තිබේ. අලුත් ප්‍රවෘත්තියක් සමඟ මීළඟ සභාවාරයේදී හමුවෙමු. බීප් බීප් බීප්. ටික් ටික්" සභාවම හිනාවෙමින් අත්පොළසන් දෙනවා.

මම හිතුවේ නැහැ ඒ කාඩ්බෝඩ් ගුවන්විදුලියේ නිවේදකයා ඇත්තම ගුවන්විදුලියේ නිවේදකයකු වෙයි කියලා. ඒ ගමනට මට උදව් කළේ හරිස්චන්ද්‍ර කුලරත්න අය්යා. මම බින්දුවේ ඉඳන් අද වෙද්දී 100ට ම ඇවිත් මම දකින්නේ එය මගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. සීජීආර් එකේ හෙරල්ඩ් අය්යා මට දෙවැනි පන්තියේ සීල් නැති ටිකට් එකක් දීලා තිබුණා. ඒකෙන් තමයි නිතර කොළඹ ආවේ. කෝච්චියේ අනිත් පැත්තෙන් බැහැලා පරික්ෂකවරුන්ට අහු නොවී යන්න මම වගබලා ගන්නවා. දවසක් පණිවිඩේ ආවා ටිකට් බලනවා කියලා. එදා ඒකට සීල් එක වැදුණා. ඊට පස්සෙත් ක්‍රම තිබුණා අතේ සල්ලි නැති වෙලාවට යන එන.

මඩකලපුවේ දෙමළ පාසලට යද්දි මම දෙමළ දන්නේ නැහැ. තුනේ පන්තියේ ළමයින්ගෙන් තමයි දෙමළ ඉගෙන ගත්තේ. එන්=ගණිතය, තමිල් මොළි=දෙමළ භාෂාව, සූලල්= පරිසරය තමයි මගේ විෂයයන්. ඊට පස්සේ කැලේ මැද්දේ පොල් අතු මඩුවක් බාර දුන්නා. ඒ දෙමව්පියන් මට කතා කළේ "අඩා මහත්තයා උඹ කොහේ? ඇයි මහත්තයා උඹ ආවේ? අනේ වරෙන් මහත්තයා අපේ කොල්ලන්නේ නෙත පාදපන්" ඒ මතකය තමයි අශෝක පියරත්න අඩා මහත්තයා පොතට ගත්තේ. එහේ පන්සලක්වත් නැහැ. පුල්ලෙයාර් දෙවියන්ට සංහිඳක් විතරයි තිබුණේ. මට ඕනැ වුණා ගමෙන් කවුරුම හරි මහණ කරන්න. අංග ලක්ෂණ බලලා පින්වන්ත පිරිමි දරුවෙක් මහණ කළා. ඒ අය මහණකමේ තේරුමවත් දැනගෙන හිටියේ නැහැ. වරම් දෙන්න වුණෙත් මට. ඒත් පස්සේ උන්නාන්සේ උපාධි ලබලා අවුරුදු 54ක් ආයුෂ වළඳා අපවත් වුණා. ඒ ගමේ හේන් කොටන්න යද්දි සිංහල වැඩිහිටියන් කතා වෙන්නේ දෙමළෙන්. මොකද ගිහින් තියෙන්නෙ දෙමළ පාසලට. පාසලේ සිංහල දෙමළ මුස්ලිම් ළමයි කතා පවත්වනවා. සංහිඳීයාව සාමාන්‍ය මිනිස්සු අතර එදත් තිබුණා, අදත් තිබෙනවා. එයට අලුතෙන් සාකච්ඡා සම්මන්ත්‍රණ ඕනේ නැහැ. බල ලෝභී දේශපාලනඥයන් තමන්ගේ බලය වෙනුවෙන් තමයි මේ අමුතු කතා කියන්නේ. ඒවා තිබෙන්නේත් ඔවුන් බලයට එනතුරු පමණයි. මම සාමාන්‍ය පෙළ දෙමළ විෂයය ලියලා සමත් වුණා.

අසූව මැද භාගයේදී මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ගම්පහ රත්නාවලී බාලිකාවට ගාමිණි දිසානායක ඇමතිවරයාගේ සම්ප්‍රාප්තිිය. අපේ වාරි ශිෂ්ඨාචාරය පිළිබඳ කියමින් එහි වත්මන් නියමුවා පිළිබඳ එදා මා කළ නිවේදනයෙන් පස්සේ එතුමා මට කතා කළා. දෙමළ උගන්වන්න මුලින්ම. ඊට පස්සේ මහවැලියේ පත් වීමකට. මට දැන් හතළිහයි පොතට නොකියූ කතාවක් සරසවියට කියන්නම්. මම අමාත්‍යාංශයේ ඉද්දි හරිම ලස්සන වැදගත් පෙනුම තිබෙන ජෝඩුවක් මගේ මේසේ ඉස්සරහ ඉඳ ගත්තා. ඔවුන්ට වුවමනා වෙලා තිබුණේ පුතා පාසලකට දාගන්න. මම ඉතින් පුළුවන් විදිහට උදව් කළා කවුද කියලා හොයලා බැලුවෙත් නැහැ. සතියකට විතර පස්සේ අපේ ගෙදරට ඒ ජෝඩුව ඇවිත් කේක්, දරුවන්ට කමිස එහෙම අරගෙන. මගේ බිරින්දැ කියලා මම වැඩ, එන්න රැ 10 විතර වෙයි කියලා. ඒ ජෝඩුව කොහේ හරි නතර වෙලා ඉඳලා මම ආවට පස්සේ මහ රැ අර තැගි මලුත් අරන් ආයේ ආවා. මම එපාම කියද්දි එහෙම බැ. මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා ඒ ටික තියලා ගිය. පස්සේ අමාත්‍යාංශ ලේකම්ට විස්තරේ කීවාම මගෙන් ඇහුවා දන්නවාද කවුද ඒ කියලා. මම නැහැ කීවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා සහ පුෂ්පා රාජපක්ෂ මහත්මිය කියලා කීවා. මට දැන් හතළිහයි පොතට ඔය වගේ කතා ලියන්න මම එපා කීවා. ඒත් දැන් හිතෙනවා අපරාදේ කියලා. මගේ ජීවිතේ සන්ධිස්ථාන සොයාගෙන ප්‍රවීණ ලේඛකයකු වන අශෝක කළ ලියවිල්ලේ විශේෂත්වයත් මේ පොත රසවත් කළ බව නොකියාම බැහැ"

සාරාංශ කළ දිගු කතාවට පසු අපි 'මට දැන් හතළිහයි' පොතේ කර්තෘ අශෝක පියරත්න මාධ්‍යවේදියා වෙත හැරුණෙමු. ඔහු මේ වන විට චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ ප්‍රවෘත්ති හා වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරයි.

ඔබ මේ පොත ලියන්න හේතුව?

අඩා මහත්තයා පොත ලීවේ කීපදෙනකුගේ ඉල්ලීමට. එයට ලැබුණු ප්‍රතිචාර සහ සීලරත්න මහත්මයා මගේ ලිවීමේ රටාව කෙරෙහි තැබූ විශ්වාසය නිසා විවිධ අවස්ථාවන්වල වුණු කතාබහ වගේම ඔහුගේත් ඔහුගේ මිතුරන්ගේත් සාකච්ඡා ඇසුරින් සහ ඒවා තහවුරු කර ගැනීමේ ක්‍රම උපයෝගි කරගනිමින් මේ පොත ලීවේ ඔහුගේ මාධ්‍ය ජීවිතයේ හතළිස් වසරක් පිරීම නිමිති කරගෙනයි.

ඔබට වාරණයක් තිබුණාද?

මෙය කෙනකුගේ ජීවිත කතාවක් බඳුයි. ඔහුට මතක දේ, මිතුරන්ට මතක දේ වගේම පොතපත් ඇතුළු මූලාශ්‍රවලින් ලබාගත් සාක්ෂි සමඟ නිශ්චිත කාලසීමාවක් තුළ එළි දැක්විය යුතු පොතක් මෙය. කච්චි මොහොමඩ් සහ චන්ද්‍රා අත්තනගොඩ කියන ඔහුගේ ඉතාම සමීප මිතුරන් කියූ ඇතැම් සිදුවීම් සීලරත්න මහත්මයාගේ මතකයේ තිබුණේ නැහැ. ඒ වගේම එසේ කියූ සමහර සිදුවීම් ලියනවාට ඔහු කැමති වුණෙත් නැහැ. ඉතින් සීලරත්න මහතා වඩා සතුටුවන කොටස් තමයි පොතට ඇතුළත් වුණේ. මෙය මීටත් වඩා පර්යේෂණාත්මක වුණානම් මම තවත් කැමැතියි.

මොන වගේ පර්යේෂණාත්මක කෘතියක්ද?

ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ ගැඹුරින් ලියැවුණු පර්යේෂණාත්මක කෘතියක් අපට සොයා ගන්න බැරි වුණා. ඒ වගේ කෘතියක් කරන්න තිබුණා.

ඔබ කැමති නැද්ද අර නොලියූ රස කතා වෙනම පොතකට ගන්න?

ඔය යෝජනාව තව බොහෝ දෙනකු කරනවා. සීලරත්න මහත්මයා තමයි අවසර දිය යුත්තේ. මම උදාහරණයක් කියන්නම්. රත්නසිරි වික්‍රමනායක මහතා අගමැතිවරයා වශයෙන් සිටි කාලයේ පන්සලකට එහෙම යන්න සෙරෙප්පු ගලවා තැබුවාම සීලරත්න මහත්තයා යද්දි ඒ සෙරෙප්පු දෙක දාගෙන යනවා. අගමැතිතුමා නිකං කකුලෙන් යනවා. අන්තිමට ඒ වගේ වැඩසටහන් ඉවර වුණ ගමන් අගමැතිතුමා කලබලෙන් දුවගෙන සෙරෙප්පු තියෙන තැනට එන්න ගත්තා. මොකද බැලුවම සීලේ අය්යාට කලින් සෙරෙප්පු දෙක දාගන්න.

ඔබ මේ පොතේ භාෂාව සහ ආකෘතිය පිළිබඳ බොහෝ සැළකිළිමත් වී තිබෙනවා?

භාෂා වැරැදි අඩු නම් එහි ගෞරවය කච්චි මොහොමඩ් සහ නුවන් කුමාර මහත්වරුන්ටයි. ආකෘතියට හේතුව මම දිනමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙස වගේම වැඩිපුර ප්‍රවෘත්ති අංශයේ කටයුතු කළ නිසාත්, දෙරණ නාළිකාවේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙස සිටියදීත්, අසන්නාට සහ කියවන්නාට පහසුවෙන් අවබෝධ වන ශෛලියක් අනුගමනය කරන්න වුණා. ඒ නිසා මම අදටත් කෙටි වාක්‍යවලට කැමතියි. අඩා මහත්තයා ජනප්‍රිය වුණෙත් ඒ ශෛලිය නිසයි. මේ පොතට යෙදුවෙත් ඒ උපක්‍රමයමයි. එයින් උත්සාහ කරන්නේ පාඨකයාට පහසුවෙන් කියවිය හැකි කෘතියක් බවට පත් කරන්නයි.

ඔබ දෙදෙනාගේ මිත්‍රත්වය ගොඩනැඟුණේ?

මම 2001 වසරේ ස්වර්ණවාහිනී නාළිකාවේ සේවය කරද්දි කස්සප කියලා දක්ෂ යොවුන් නිවේදකයෙක් හිටියා. ඔහු රැගෙන යන්න තාත්තා එනවා. දැන හඳුනා ගත් පසු මම දෙන්නට කතා කළේ සීලේ අය්යා, කස්සප මල්ලි කියලා. පසුව මම දෙරණ නාළිකාවට ගියා. මට දේශපාලන මතවාදයක් හෙළි කරන්න ඕන වුණේ නැති නිසා. ඒත් වරින් වර පසුබැම්වලට ලක්වද්දි ඔහු මට ශක්තියක් වුණා. පසුව යුද වාතාවරණය තිබූ සමයේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කතාව අගමැති වික්‍රමනායක මහතාට අවුරුදු තුනක් පමණ ලියන්නට වුණේ මට. එතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ලෙස ඉද්දි ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ වුණේ සීලරත්න සෙනරත් මහත්මයා. ඔහු මට දිනමිණට ආරාධනා කළේ ඒ සමයේ. කාලය වෙනස්වෙලා චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය ආරම්භ කළාමත් ඔහු මට කතා කළා. කිසි විටෙක මා අතහැරියේ නැහැ. මේ වෙද්දි ඔහු අධ්‍යක්ෂ මම කළමනාකරුවකු පමණයි. ඒත් ඇතැම් විට ඔහු මගේ රියැදුරු බවටත් පත්වනවා. ඒ තරම් නිහතමානියි. මට කියන්න තිබෙන්නේ ඔහුගේ උදරය තරමටම හිතත් හොඳයි. ඒකයි මිතුරුකමේ රහස.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.