මමයි අප්සරාවි...

විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන 70 වැනි ජන්ම දිනය දා ගයන්නීය
නොවැම්බර් 8, 2018

මගේ වෙලාව ඇවිත් තියෙන්නේ දැන් වෙන්න ඇති. ඒ ගැන මගේ කිසිම කනගාටුවක් නෑ. කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක්වත්, ගීත එකතුවක්වත් නැතිව මෙච්චර කාලයක් මගේ ජනප්‍රියත්වය රැකගෙන ක්ෂේත්‍රයේ තවමත් රැඳී සිටීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම වරින් වර කරපු ගුවන් විදුලි ගී, සරල ගී, චිත්‍රපට ගී හැරුණු විට මගේ රසිකයන්ට රසවිඳින්න මගේම කියලා නිර්මාණ එකතුවක්වත් මෙච්චර කල් නොතිබුණාට තාමත් මම රසිකයන් අතර ඉන්නවා. ඒක සුවිශේෂියි නේද?

 

ඇය සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන්නේ මවුපිය උරුමයෙන්ම හැකියාවත්, දක්ෂතාවයත් පෙරටු කොට ගෙනය. කුඩා දැරියකව ළමා පිටියෙන් ගායන දිවිය අරඹමින් සප්ත ස්වරයේ විස්මිත සෞන්දර්යය අධ්‍යයනයෙන්, භාවිතයෙන් හා පුහුණුවෙන් මෙරට ගීතලෝලින්ට තිළිණ කරමින් ආ ගමනක සුවදායී වින්දනය ඈ ආශ්වාදයෙන් සමරන්නියක්. ගායිකාවක් වශයෙන් පමණක් නොව සංගීත ගුරුවරියක්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යාපනය ඉහළට ඔසවා තබන්නට වසර ගණනාවක් තම කාලය, දැනුම කැප කළ අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් ලෙසින් මෙරට සංගීත ක්ෂේත්‍රය පුරා නමක් දිනාගත් ඈ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන. දශක 6 කටත් එහා ගිය අනුස්මරණීය සංගීත දිවියක ඓතිහාසික මං සලකුණු හිමි සිය ජීවිත කතාවේ තවත් එක් සුවිශේෂී මොහොතකට ඈ මේ දිනවල සූදානම් වන්නීය. ඒ සිය ප්‍රථම ඒක පුද්ගල ගීත ප්‍රසංගය පවත්වනු සඳහාය. චන්ද්‍රිකා සිරිවර්ධන නාමය සිහිපත් වන විට නිතැතින්ම මෙරට සංගීතලෝලී රසවතුන්ට සිහිපත් වන ජනප්‍රිය ගීත ගණනාවක්ම මතකයට නැඟේ.

 

ඉගිල්ලිලා යන්න යං කෝ පිහාටු නෑ අනේ
මුහුදු හතේ යන්න යං රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං හිසට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්භීත ඇයි . . .

එදා ගුවන් විදුලියෙන් නිතර ඇසුණු මේ ගීත තවමත් අපේ ජන හදවත්වල සදාතනික මතකයන්ය.

උක්දඬු දුන්නෙන් උපන්නෙමි
මල් මල් උයනක වෙසෙන්නෙමි
රෑ සඳ ලෙස හිනැහෙන්නෙමි
මමයි අප්සරාවි . . .

මේ ගීතය චන්ද්‍රිකා සිරිවර්ධන නම් වූ ගායිකාවගේ ජීවිතයේ සංගීත ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ඇගේ ප්‍රථම සරල ගී වැඩසටහනේ ජනප්‍රිය වූ ප්‍රථම ගීතය වුණේ මේ ගීතයයි. එතැන් සිට සරල ගීතයේ පමණක් නොව චිත්‍රපට පසුබිම් ගීත ගායනයේත් පසු කලක ටෙලි නාට්‍ය ගීත කලාව තුළත් ඇගේ සලකුණ සනිටුහන් කරන්නට ඈ සමත් වුණා.

 

රණ්ඩු වෙවී යාළුවෙවී
දුව පැන වතු මිදුලේ
පුංචිකමට අපි හිටියා
මතක් වෙනවා නගෝ . . .

පුංචි අතින් අල්ලාගෙන
ඒදණ්ඩෙන් නැගී
ලන්ද පුරා කල සක්මන්
මතකයි අයියණ්ඩී . . .

ඇයත් ඇගේම වැඩිමල් සොයුරු සුනිල් සිරිවර්ධනත් ගායනා කළ මේ ගීතයට එවකට තිබුණේ නොමඳ ශ්‍රාවක ප්‍රතිචාරයක්. සැබෑ සොහොයුරු ප්‍රේමයේ ආදරණීයත්වය මේ ගීතය හරහා එදා ගීත ශ්‍රාවක සියළු දෙනා වෙත ඔවුන් ආදරයෙන් කැන්දාගෙන ආවා.

ඒ විතරක් නොවෙයි දේශානුරාගය අභිමානවත් ලෙස ශ්‍රී ලාංකික හදවත් තුළට දනවන්නට හැකි ගීත ද ඈ විසින් ගායනා කළා. ඒ අතරින් පහත ගීතය එකල අතිශයින්ම ජනප්‍රිය වුණා.

 

රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ . . .

ඒ විතරක්ද, ඇය 'මිදුලේ මල් සූරිය ගහ මුදුනේ රන් අරුණලු වැටිලා . . .' වැනි ගීත එදා ගීත ශ්‍රාවකයන් ආදරයෙන් නැළ වූ, ආදරයෙන් පින වූ ගීත. මේ සියල්ලක් රැගෙන අතීත ආදරණීය ගීත යළි රැව් පිළිරැව් දෙන ආනන්දනීය ගීත රාත්‍රියක් වෙනුවෙන් පසුගිය දිනක ඈ සමඟ කතාබහකට අපි එකතු වුණා.

මේ ඔබේ පළවෙනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය. මේ සුබ මොහොත උදාවෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි?

ඕනෑම දෙයක් සිද්ධ වෙන්න ඒකට නියමිත කාලයක් වෙලාවක් තියෙනවා කියන්නේ ඒකට තමයි. මම දශක ගණනාවක් ක්ෂේත්‍රයේ හිටියත් දැන් තමයි ඒක පුද්ගල ප්‍රසංගයකට මගේ වෙලාව ඇවිත් තියෙන්නේ. ඒ වෙලාව මම ආදරෙන් බාර ගත්තා. මේ ප්‍රසංගය පවත්වන්නේ මගේ 70 වැනි උපන් දිනයත් නිමිති කරගෙනයි. නොවැම්බර් 11 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සවස 6.00 ට මේ ප්‍රසංගය පැවැත්වෙනවා. 'රන් තාරකාවෝ' කියලා තමයි මේ ප්‍රසංගය නම් කරලා තිබෙන්නේ.

'රන් තාරකාවෝ' ප්‍රසංගය පෙළ ගැස්වෙන්නේ කොහොමද?

මගේ පැරැණි සරල ගීත, චිත්‍රපට ගීිත මෙන්ම අලුතින් ගායනා කළ ගීතයක් ද ඇතුළත්ව ගීත 30 ක් පමණ එදිනට ගායනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක එදිනට නව පරපුරේ ගායන තරු රැසක් ගායනා සඳහා එකතුවීම සුවිශේෂීයි. අශාන්තිගේ ගායන වෘන්දය, රිද්ම වීරවර්ධන, චන්දූප ජයකොඩි, නදිමාල් පෙරේරා, මගේ මිනිබිරිය දුල්ෂාරා දසන්ති, ලොකු මුණුපුරා දෙවින් ඒලක, මගේ පුතා ප්‍රශාන්ත, දුව ජිතේන්ද්‍රිකා සහ දියණියගේ පුත් චිත්රූ මාත් එක්ක ගායනයෙන් මේ ප්‍රසංගයට එකතු වෙනවා. මේ ප්‍රසංගයත් සමඟම එදිනට මගේ පළවෙනි ගීත එකතුව 'රන් තාරකාවෝ' නමින් ගීත 16 ක් ඇතුළත් සංයුක්ත තැටියකුත් නිකුත් වෙනවා.

ඔබ ක්ෂේත්‍රයට පිවිස දශක හයකටත් එහා කාලයක් ගත වෙලා. ජනප්‍රියත්වයේ ඉහළ තැනක සිටියදීවත් ඔබ ඒක පුද්ගල ප්‍රසංගයක් හෝ ගීත එකතුවක් නිකුත් කර නැහැ. ඇයි එහෙම වුණේ?

මගේ වෙලාව ඇවිත් තියෙන්නේ දැන් වෙන්න ඇති. ඒ ගැන මගේ කිසිම කනගාටුවක් නෑ. කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක්වත්, ගීත එකතුවක්වත් නැතිව මෙච්චර කාලයක් මගේ ජනප්‍රියත්වය රැකගෙන ක්ෂේත්‍රයේ තවමත් රැඳී සිටීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම වරින් වර කරපු ගුවන් විදුලි ගී, සරල ගී, චිත්‍රපට ගී හැරුණු විට මගේ රසිකයන්ට රසවිඳින්න මගේම කියලා නිර්මාණ එකතුවක්වත් මෙච්චර කල් නොතිබුණාට තාමත් මම රසිකයන් අතර ඉන්නවා. ඒක සුවිශේෂියි නේද?

ඔබත් සමඟ මේ ප්‍රසංගයේ ගී ගායනයට තරුණ පිරිසක් තෝර ගත්තේ ඇයි?

මට හිතුණා ඔවුන් සමඟ වැඩ කරන එක මට අලුත් අත්දැකීමක් වෙයි කියලා. අපේ තරුණ පරපුර අතර අතිශයින්ම දක්ෂ, තරුණ පිරිස් රාශියක් ඉන්නවා. ඔවුන්ට තියෙනවා නව දැක්මක්. නව ගමන් මඟක්. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් මම තෝරා ගත්තෙත් දිනේෂ් සුබසිංහ කියන නවක සංගීත අධ්‍යක්ෂවරයා. ගීත ගායනයෙන් තරුණ පිරිස වගේම ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ අමරසිරි පීරිස් මාත් සමඟ එකතු වෙනවා. ඒ අතරම මම ගායනා කළ රණ්ඩු වෙවී යාළු වෙවී ගීතය ගායනා කරන්න මගේ අයියා සුනිල් සිරිවර්ධන එකතු වෙනවා. මේ ප්‍රසංගයට නර්තන ගොඩක් එකතු වෙන්නේ නෑ. මගේ මිනිපිරි දුල්ෂාරා දසන්තිගේ කථක් නර්තනයක් විතරක් ඇතුළත් වෙනවා.

ඔබ වසර 70 සපිරුණු මිත්තණියක්. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී මොකද හිතෙන්නේ?

මට ලොකු සතුටක් දැනෙනවා. ගායිකාවක් විදියට මේ තරම් කාලයක් එක වගේ රැඳී සිටින්න මම මේ ක්ෂේත්‍රයට දායාද කළ ගීතවල ගුණාත්මක බව හේතු වුණා කියලා මට හිතෙනවා. හොඳ ගී තනු, හොඳ පද රචනා එක්ක යහපත් නිර්මාණ කළොත් ඒවට පැවැත්මක් තිබෙනවා. මට හිතෙනවා මෙච්චර කාලයක් රැඳී ඉන්න ඒක හේතුවක් වුණා කියලා. අනිත් පැත්තෙන් මම මේ ක්ෂේත්‍රයට ආවේ කිසියම් පදනමක් ඇතිව. මට උත්පත්තියෙන්ම පවුලේ පරිසරයක් තිබුණා තමයි සංගීතය පැත්තට. මගේ තාත්තා පොල්ගොල්ල රජයේ කාන්තා අභ්‍යාස විද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. අම්මා ගුරු උපදේශිකාවක්. මගේ ලොකු අයියා සංගීත උපදේශකවරයෙක්. ඒ පසුබිමත් එක්කම මමත් සංගීතය ශාස්ත්‍රීයව හැදෑරුවා. ඒ හැදෑරීමත් එක්ක තමයි මම ජනප්‍රිය තලයට පැමිණෙන්නේ.

ඒ මගේ ගීත දිවියේ ගමන් මඟ. අනිත් පැත්තෙන් මගේ පෞද්ගලික ජීවිතේ මම අද ආදරණීය මිත්තනියක්. මුනුපුරු මිනිබිරියන්ගේ ආදරය මැද ඔවුන්ගේ කලා හැකියාවන් දිහාත් සතුටින් බලා සිටිමින් ජීවිතේ ගෙවනවා.

ඔබේ ජිවිතේ සුවිශේෂී සන්ධිස්ථාන හැටියට මේ මොහොතේ මතකයට එන්නේ මොනවද?

ඉස්සරලම ළමා මණ්ඩපයෙන් ළමා ගායිකාවක් විදියට පැමිණිම. ඊට පස්සේ මට මතක් වෙනවා මම ඉස්සරලම සරල ගීතයක් ගායනා කළේ මගේ අයියා සුනිල් සිරිවර්ධන එක්ක. 'තල මල වරුණ' කියන ගීතය. ඒක ලිව්වේ සුසිරි සිරිවර්ධන. ඊට පස්සේ මට ඔඩිෂන් එකක් නැතුව ජී. එස්. බී. රාණි පෙරේරා 'තරංගනී' වැඩ සටහන ලබාදුන්නා. ඒකට ගායනා කරපු ගීතයක් තමා 'උක් දඬු දුන්නෙන්' ගීතය. ඒක තමයි මගේ ජනප්‍රිය වුණු පළවෙනි ගීතය වුණේ. ඊට පස්සේ ශාස්ත්‍රීය, සරල, දෙමළ සරල ගී පරීක්ෂණයන්ට පෙනී ඉඳලා සමත් වුණා. ඊට පස්සේ මම චිත්‍රපට පසුබිම් ගීත ගායනා කරලා සම්මාන ලබා ගත්තා. හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව විදියට සරසවිය සම්මාන දෙකක් ලැබුණා. 80 දශකයේ සිනාසෙන්න රත්තරන් චිත්‍රපටයටත්, හිතවතිය චිත්‍රපටයටත්, ඡායා චිත්‍රපටයටත් මේ සම්මාන මට හිමි වුණා. ඡායා චිත්‍රපටයත් මගේ ජීවිතේ සුවිශේෂයි. ඒ චිත්‍රපටයේ සබීතා පෙරේරා සඳහා නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වුණෙත් මම.

ඔබේ ගමන් මඟට සුවිශාල ශක්තියක් වුණ, ඔබ පසුපස රැඳුණු ඔබේ දයාබර සැමියා අද ඔබ ළඟ නෑ. මේ මොහොතේ හිටියා නම් ඔහු අතින් සුවිශාල කාර්යභාරයක් ඉටු වෙයි?

අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ එක් අර්ධයක්ම කඩා වැටුණා වගේ වුණා ඔහුගේ වියෝව. ඔහු තමයි මගේ ගමන් මඟේ සිටි දැවැන්ත සෙවණැල්ල වුණේ. ඔහු ජීවතුන් අතර ඉන්නකාලේ ඉතාම ලොකු ඕනෑකමක් තිබුණා මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න. නමුත් ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගන්න බැරි වුණා. මොනවා කරන්නද? ඒක මගේ වෙලාව වෙන්න ඇති. ඔහුත් ඉතාම ලස්සන ගීත කිහිපයක්ම මට රචනා කරලා තියෙනවා. ඒ ගීතත් මේ ප්‍රසංගයේ මම ගායනා කරනවා. මේ ප්‍රසංගය පවත්වන්න විශේෂම උනන්දුවකින් කටයුතු කළේ මගේ ලේළි අයෝමියි. එයාගේ උනන්දුව, උත්සාහය මතම තමයි මේ ප්‍රසංගය පැවැත් වෙන්නේ. මට හිතෙනවා මේ ප්‍රසංගයත් අපේ රටේ ගීත ශ්‍රාවකයන්ට, ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඒ වාගේම ඔවුන් මෙය ආදරයෙන් වැලඳ ගනීවි කියලා. ඉස්සරහට දිගින් දිගටම ප්‍රසංගය පවත්වාගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.