බෝඩිංකාරයෝ අතර සිටි සොඳුරු ආඥාදායකයා

ජනවාරි 10, 2019

"මට නම් එයා කරන දේත් අනෙක් අය කරන දේත් එකයි. මගේ මහත්තයා ඉදිමෙන්නේ නැත්නම් මම මොකටද ඉදිමෙන්නේ. ඒකෙන් වෙන්නේ අපේ අවට ඉන්න අයත් නැති වෙලා යන එක. අපි කවුරුත් මිනිස්සුනේ. මහන්තත්තයක් ගන්න එක මහා නරක සිරිතක්. මගේ පුතාලාට ගෙනා ලේලිලා තුන්දෙනාටත් මම එක වගේ ආදරෙයි.

මොරටුව සොයිසා මහල් නිවාස පේළි ඔස්සේ අපේ වාහනය ඇදෙන්නේ වෙනස්ම සංස්කෘතියක දර්ශන පෙළක් දෙනෙතෙහි රඳවමිනි. මහල් නිවාස වැසියන් යනු අප රටේ වෙනස්ම උප සංස්කෘතියක් යැයි කීවද වරදක් නැති තරම්ය. ඒ සිතුවිලි මඟ හැරී අපේ ඉලක්කය වෙත සමීප වෙද්දී මම රියෙන් බසිමි. කොට ගේට්ටුව අගුලු ලා තිබේ. චූටි පැටික්කියෙක් විවෘත දොර අසල බෝනික්කෝ සෙල්ලම් කරයි. මම එබිකම් කරමි. ඇය මදෙස බලා අහක බලා ගනී.

"සුදු බබා අම්මි කෝ?" මම අසමි. ඇය බෝනික්කියක් පෙන්වයි. මම බලා සිටිමි. ගෙතුළින් රුවක් මතු වෙයි.

"ශීලා ද සිල්වා මහත්මිය මම සරසවියෙන්" මම තරමක් හඬින් කියමි.

ඇය යතුර රැගෙන පැමිණෙයි. "මේ චූටියා එළියට පනින නිසා ලොක් කරලා තියෙන්නේ" සිනාවකින් මුව සරසාගෙන කියමින්ම ඇය අප ගෙතුළට කැඳවයි.

කුඩා සාලය පුරා බෝනික්කන්ගේ සපත්තු, ගවුම්, කොණ්ඩා සමඟ පාට පාට බෝල, වළලු, කූරු, තව මොනවාදෝ විසිරී තිබේ. තොරතෝංචියක් නැතිව කුරුලු පැටවකු මෙන් කියවන පොඩිත්තිය මටත් ආච්චීටත් ඇගේ චිත්‍රපොත් ආදිය පෙන්වයි. ඒවා නොබැලුවහොත් වඩා සද්දෙන් ඒ ගැන කියයි. පාලිත තේනුවර ලේක්හවුසියේ සේවය කළ අපේ සොහොයුරා, ශීලා මහත්මියගේ ආදරණීය බැණන්ඩිය සිඟිත්තිය රැගෙන උද්‍යානයට යන්නට සැරසෙන්නේ අපේ කතා බහට ඉඩ සලසමිනි. ඒ අතර මගේ දැස ගමන් කරන්නේ ගෙදර බිත්ති දිගේය. සොඳුරු ආඥාදායකයා යන අන්වර්ත නාමයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් වැජඹුණු සුගතපාල ද සිල්වා නම් වූ සැබැවින්ම සුන්දර ඒ යුග පුරුෂයාගේ ආලේඛ්‍ය චිත්‍රයක් අප දෙස බලා සිටියි. බිත්ති රාක්කයේ පොත් පුරවා ඇත. පරිගණකය තබා ඇති පැරැණි පහේ ලියන මේසය කුමක් හෝ විශේෂත්වයක් දරනු ඇතැයි සිතේ.

"මේ මේසේ?" මම අසමි.

"මහත්තයාගේ ලියන මේසේ. කොස්. අවුරුදු 50 ට වඩා පරණයි. එයා අපේ ගෙදර එද්දි ගෙනා මෙසේ."

"මේ ගෙවෙන්නේ කී වෙනි අවුරුද්දද?"

"මහත්තයා නැති වෙලා මේ යන්නේ 16 වැනි අවුරුද්ද"

"නාට්‍යකරුවෙක් විශේෂයෙන් යුගයක් බිහි කළ නාට්‍යවේදියෙක් වුණාම ගෙදර දොරේ වගකීම් එතරම් දරන්න වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්? ලෝකෙට තමයි සේවය? " මම මාතෘකාව ඉදිරිපත් කරමි.

"අපෝ නැ. නාට්‍ය නිසා කිසිම හානියක් ගෙදරට නැහැ. මහත්තයා ඉස්සල්ලම රේඩියෝ සිලෝන් එකට ගියේ මාව බඳීන්න ඕන නිසා. එයා නාට්‍ය කර කර හිටියා. සාමාන්‍යයෙන් ජොබ් එකකට යන්න හිතුවෙත් නැහැ. ඒත් ඒ කාලේ රස්සාවක් නැති පුරුෂයකුට ගැනු ළමයි දීග දෙන්නේ නැනේ. ඒ නිසා නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙක් විදිහට ගියා. ඊට පස්සේ පළමුවෙනි බබා ලැබුණට පස්සේ නැපීස් පවා හේදුවේ එයා."

"ඉතින් ඒ වැඩසටහන්වලට සම්බන්ධ වන්න අවස්ථාවක් ලබා ගත්තේ නැද්ද?" මගෙන් පැනයකි.

"මම කලාවට සම්බන්ධයි කියන්නේ මහත්තයාගේ වැඩ හැම දේටම මම අත දෙනවා. එයා කියන ඕන දෙයක් මම කරලා දෙනවා. නාට්‍යවල වුණත් වේදිකාව පිටුපස තේ හදන වැඩේ ඉඳන් සේරෝම කළේ මම. මාව බැන්දට පස්සේ කරපු හැම නාට්‍යයක් එක්කම මමත් ගියා. බැන්දට පස්සේ කරපු මුල්ම නාට්‍යය 'දුන්න දුනු ගමුවේ'. බබා හම්බුණාට පස්සේ ඒ චූටි බබාවත් බස් එකේ දාගෙන අරන් නොගිය තැනක් නැහැ. හැම තැනම යනවා. නාට්‍යයක් යනවා කියන්නේ හරි විනෝදකාමියි ඒ කාලේ නම්. දැන් වගේ නෙවෙයි. හරි සහයෝගයෙන් ගිහින් රැ 1ට 2ට තමයි ආපහු එන්නේ. අයෙම ඉතින් හෙටත් යනවා. එහෙම තමයි අපි ජීවත් වුණේ."

ඇයගේ කතාව සැබැවක් බවට මට සාක්ෂි තිබේ. ඒ අපේ ගෙදරිනි. අත දරුවකු වූ මා ද රැගෙන අම්මා තාත්තා සමඟ නාට්‍ය බස්වල ගිය ආකාරය, දුෂ්කර පළාත්වල කන්න දේවල් නැතිව සීනි බනිස් සමඟ තැම්බූ බිත්තර කැ හැටි අදටත් අම්මාගේ රස කතා අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා අයුරු මට මැවී පෙනෙයි. පුහුණු වීමකට රුපියල් 10ක පමණ ලැබෙන බව ද තාත්තා කියූ හැටි සිහිවෙයි. එය තහවුරු කර ගැනීමට මෙය මට හොඳ අවස්ථාවකි.

"ඒ කාලේ ලබෙන්නේ රුපියල් 10-15 වගේ මුදලක්ද?"

"ඒ කාලේ හැටියට ඒ මුදල ලොකු ගාණක්. මෙයාට ලැබෙන මුදලුත් පුළුවන් තරම් සහයෝගයෙන් බෙදා හදාගෙන අන්තිමට ගෙදර ගේන්නේ ටිකයි. ඩබ්ලිව් ජයසිරි, මාලිනී වීරමුණි, දයා තෙන්නකෝන්, යූ. ආරියවිමල්, ග්‍රේස්, මර්සි, කොස්තා ඔය කට්ටිය එක්ක හරි විනෝදයි ඉතින්."

"එතකොට කොයි ගෙදරද හිටියේ?"

"කල්දෙමුල්ලේ ගෙදර. පොඩි ගේ වුණාට, ආපෝ ඒ ගෙදර අනූවක් විතර සෙනඟ හැමදාම වගේ. කන්නෙ බොන්නෙ, නිදාගන්නේ ඔක්කොම. මම ඉතින් උයන පිහන වැඩවලට හරි දස්සයි. ඒ නිසා ඔක්කෝටම කැම හදලා දෙනවා. බයිට් හදනවා. ඒ අය බොනවා. මගේ කැම කන්න තමයි ඔක්කොමල්ලා කැමති. තේක වුණත් ශීලක්කගේ තේකට තමයි කට්ටිය කැමති. ඉතින් ඔහොම තමයි ජීවිතේ ගත කළේ."

මට පැනයකි. ඒ ජීවිතේ ඇයට එකවර හුරු වූවක් නොවිය යුතුය. ඉන් පෙර හමුවක් තිබේ. එයට මඟක් තිබිය යුතුය. අසමි.

"ඉතින් ඔය ජීවිතේට හුරු වෙන්න මඟ පැදුණේ කොහොමද?"

"දැකලා."

"ම්... ඒ කියන්නේ?"

"එයා අපේ ගෙදරට බෝඩ් වෙන්න ආවා. එයාට තිබුණා රේසිං කාර් එකක්. ඒකේ තමයි ආවේ. මමයි ගේට්ටුව ඇරියේ. එතකොට මට අවුරුදු 14යි. ඒ වෙලාවේ දැකලා තමයි කැමති වුණේ. එයා ආවේ හේමන්ත වර්ණකුලසූරියත් එක්ක. ඒ කාලේ මට කැමැත්ත ප්‍රකාශ කළා."

"මේ අවුරුදු 14 ළමයාට?" මම පුදුමයෙන් අසමි.

"ඔව්. ඔව්. ඒත් ඉතිං මට ඕවා තේරෙන්නේ නැ. මොන තේරුමක්ද අනේ. කවුරුත් ඒ වයසට නොදන්නාකමට යාළු වෙනවනේ." ඇය සිනාසෙයි. යළිත් මුහුණ බැරැරුම් වෙයි.

"මට අම්මයි තාත්තයි හිටියේ නැ. මම හැදුණේ මම්මලැ ගෙදර. අවුරුදු 25ක් වෙනකල්ම මාව හදා වඩා ගත්තේ මම්මලා. එහෙට තමයි මෙයා බෝඩිං වෙන්න ආවේ. එතකොට මම හරි පෙනුමයි. මට අවුරුදු 19ක් වෙද්දි අපි බොරැල්ලේ වයිඑම්බීඒ එකට ගිහින් බැන්දා. මේ තියෙන්නේ බැඳපු දවසේ ෆොටෝ එක."

කොටු කමිසයකින් සැරසුණු සුගතපාල ද සිල්වා සහ ගවුමකින් සැරසී ඇලයකින් ඔහුට තුරුලු වී ඔහුගේ මුහුණ දෙස බලා සිනාසෙන ශීලා ද සිල්වා යුවලගේ රාමු කළ කළුසුදු සේයාරුවක් බිත්තියේ එල්ලා තිබෙනු පෙන්වමින් ඇය පවසයි.

"මට වඩා 22ක් වැඩිමල් එයා. අපේ දිහා ඇවිදින් ඉස්සෙල්ලාම ඉන්දියාවේ ගියා. ඊට පස්සේ එංගලන්තේ ගියා ස්කොලෂිප් එකකට. ඒ ඇවිදින් තමයි බඳීනවා කීවේ. ඒ වෙද්දි එයා තට්ටු ගෙවල්, බෝඩිංකාරයෝ, හරිම බඩු හයක්, හෙලේ නඟින් ඩෝං පුතා කරලා තිබුණේ. මම්මට බේරෙන්න බැරිම නිසා තමයි අන්තිමේ කැමැති වුණේ."

"ඉතිං අවුරුදු 14 ඉඳන් 19 වෙනකල් කාලේ, ඕන තරම් තව කොල්ලො අහන්න ඇතිනේ කැමැත්ත?"

"අපෝ ඕන තරම් ආවා ගියා. මමත් ඉතින් ආස්සරේ කළා මොකද නිකං ඉන්න මම බෝනික්කෙක්යැ. මගේ කොණ්ඩෙත් දිගට තිබුණා. පන්සලකටවත් කොහෙවත් යන්න බැහැ පස්සෙන් එනවා කට්ටිය. ඒවා ඉතින් නැති වෙන්නේ නැනේ නේද?" ඇගේ හිනාව අපටද පැතිරෙයි.

"ඉතින් ගැළපෙන වයස්වල කෙනෙක් එක්ක යාළු නොවුණේ?" මට කුතුහලයකි.

"හිටියා. කැම්පස් යන බෝයි කෙනෙකුත් එක්ක යාළුත් වුණා. ඒත් මෙයා ඉඩ දුන්නෙම නැනේ වෙන කාටවත් මාව ගෙනියන්න. මගේ මුල් නම කේ. සීලවතී. එක එක්කෙනා එක එක විදිහට කතා කරන නිසා, එයා ඒකට අකමැති හින්දා තමයි ශීලා කියලා නම දැම්මෙත්." ඇයට යළිත් වරක් පෙර සිනාවම එයි.

"කොහොමද එහෙම වුණේ. මේ පැත්තෙනුත් තියෙන්න ඇති උනන්දුවක්?" කවට කමට මෙන් කියමි.

"ආදරේ වෙන්නැති නේ?" ඇයද දඟකාර ලෙස කියයි. ඉන්පසු කොටස ටෙලි නාට්‍යයක් මෙනි මට දැනෙන්නේ.

"ඒ දවස්වල එයා හරියට බොනවා. දවල් කාලේ ගෙදර ඉන්නේ. හවස 5ට විතර තමයි ගෙදරින් යන්නේ. ජී ඩබ්ලිව්. සුරේන්ද්‍රලා, සිරිල් බී පෙරේරලා, නාමෙල් වීරමුනිලා, කාන්ති වීරරත්නලා, එක්ක ප්‍රෙස් ක්ලබ් ගිහින් කාලා බීලා උදේ පාන්දර දෙකට තුනට තමයි ගෙදර එන්නේ. ඉතින් එයාගේ කාමරේ හැඩිවෙලා තියෙන්නේ. කිළුටු සරම ඔහේ අස්සට දාලා. කලිසම ගලෝපු තැන දාලා හිටපු මනුස්සයෙක් එයා. ගෙදරදිත් එයාගේ නගා තමයි සරම පවා හෝදලා දීලා තියෙන්නේ. මම එයාගේ කාමරේ අස්පස් කරලා අතුගාලා බෙඩ්ෂීට් දාලා නීට් එකට තියනවා ඒ එන වෙලාවට. කවදාවත් අවුල් නැහැ. ඉතින් ඕකටත් හිත ගියාද දන්නේ නැහැ."

"ඉතින් එහෙම බොන මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතුණද?"

"ඔව්. අරලිය ගස් උඩ නැඟලලු බොන්නේ. සිගරටුත් බීවා. හැබැයි මට ඒ කිසි දෙයක් අපුල හිතුණේ නැහැ. හැබැයි ඉතින් දුව (වනමලී කෞශල්‍යා) හම්බුණාට පස්සේ ගොඩාක් කියලා හදා ගත්තා. එයාගේ මෙහෙම පුරුද්දක් තිබුණා. හොඳට බීලා බීලා සමහර දාට ගෙදර එන්නෙත් නැහැ. ඉතින් මට බයයි. පොලීසි යන්න හිටිය දවසුත් තිබුණා. ඔන්න එතකොට එනවා හොඳ තෝසෙ පාර්සලේකුයි, සාරියකුත් එහෙම අරගෙන. අලි පාර්සලේ දික් කරලා 'ආ ශීලෝ මෙන්න' කීවාම මට නඟිනවා හැටට හැටේ. ඉතින් මම බනිනනවා. ඒ පාර්සල් පොළොවෙත් ගහලා තියෙනවා. දවසක් දෙකක් කතා නොකර හිටි දවසුත් තියෙනවා. එයා නෙවෙයි සත පහකට ගණන් ගන්නේ. එයා සිංහබාහු එකේ සින්දුවක් කියලා මාව සනසනවා. හිමීට කුස්සියට ඇවිත් 'ශීලෝ තේකක් හදලා දෙනවද' කියද්දි ඉතින් මටත් හිනා යනවා. එච්චරයි ඉතින්. පවු"

"ඇයි එච්චර බිව්වේ?" මට සැබැම පැනයකි.

"එයා කියන්නෙ බිව්වම ලියන්න පුළුවන් කියලා. බොනවා නෙවේලු වැඩියෙන් කතා කරනවාලු. එතකොටලු අදහස් ගලාගෙන එන්නෙ. මම දන්නැ ඉතින්. ඒ වගේමයි එයා දරුවන්ගේ නැප්කින් ්හෝදනකොටත් අදහස් ගලාගෙන එනවලු. අනේ මන්දා. හැබැයි එයා හරියට පිළිවෙළට ඒවා කළා. එක කුණු බින්දුවක් නැති වෙන්න ඒවා හෝදනවා. බබාලාගෙ රෙදි හෝදලා ඇඹරුවාම දරුවොත් ඇඹරෙනවා කියනවානේ ඒ නිසා එයා ඒවා මිටමොළවලා මිරිකලා තමයි වේලෙන්න දාන්නේ. ඒවා ගැන හරියට හිතුවා"

"හ්ම්...අර සාරි අඳීනවද තරහා නිවුණාම?"

"ඒවා ලස්සනයි. ගේන්නෙත් අර බම්බලපිටියේ ලොකු ෂොප් එකකින්. ඒත් මම සමහර වෙලාවට බනිනවා අය්යෝ ඔයා ගේන සාරිවල හැටි කියලා. ඉතින් දවසක් ඔහොම කීවාම සුගත් කීවා 'ආ මම ශීලාට සල්ලි දෙන්නම්කො ඔයාට ඕන විදිහක සාරි ගන්න' කියලා. ඒ ඉතින් ඔරොප්පුවට. ඒත් ඉතින් ආයේ ගේනවා. එයා නම් ඉතින් කලිසමයි ෂර්ට් එකයි ටක්කා සෙරෙප්පු දෙකයි දානවා මිස වැඩිය ඇඳුම් පැලඳුම්වලට ගිය කෙනෙක් නෙවෙයිනේ. ආසාම නිල්පාට කොටු කොටු ෂර්ට්. එයාගේ යට ඇඳුම් පවා ගෙනාවේ මම. එයා ගෙදරට බඩුත් ගේනවා. දවසක් ගෙනාවා ඔන්න අර කොට මහත පතෝල වගයක්. මම කීවා මේ මොන ජරාවක්ද මේවා මොන පතොලයක්ද කියලා. ගත්තා බඩු මල්ල කෙලින්ම සික්සර් එකක් වගේ ගියේ එලෝළු මල්ල එහා වත්තට. මම කීවා ඉතිං මට මොකද ඔයාගේ සල්ලිනේ. මගේ සල්ලියැ කියලා. ඒ වගේම දවසක් එයාම එංගලන්තෙන් ගෙනත් දීපු රේඩියෝ එකක් පොළොවේ ගැහුවා එයාගෙ නාට්ටියක් මම ඇහුවේ නැහැ කියලා. ඒ වෙලාවෙත් මම කිව්වෙ ඉතිං ඔයාමනේ ගෙනාවේ මමයැ කියලා. ඒවත් තියෙනවා. ඉතිං නැත්තේ නැ. එතනින් එහාට ඒක නැ. එයා කොහොමහරි දන්නවා රවට්ටගන්න.

තවත් දෙයක් තියෙනවා. එයා ජීවිත කාලෙම බිව්වට නාට්‍යයක නළුවෙක් නිළියෙක් රිහර්සල්වලදි හරි වැරැද්දුවොත් අහුවෙනවා. හැබැයි ඒකට බනින්නේ ඒ කෙනාට නෙවෙයි මට. ඉතින් ශීලාට බනිනවා නම් වැඩේ වැරදිලා තමයි කියලා ජැක්සන්ලා ජයසිරිලා දන්නවා. හැබැයි ඉතින් එයාටයි මටයි ප්‍රශ්න නැහැ. මොකද මම බැන්නත්, වැරැද්දක් කළත් එයා මට බනින කෙනෙක් නෙවෙයි. හොඳීන් කියල දෙනවා මිස."

"කවදාවත් රඟපාන්න එහෙම හිතුණෙ නැද්ද මේවා දකිද්දි."

"අපෝ නැහැ. ඒත් එක සැරයක් ඇසළ සඳ අවන්හල නාට්‍යයේ අම්මා කෙනකුට මම දුවයි පුතයි එක්ක රඟපැවා. ඒකේ ගොඩක් කට්ටිය ගෙනියන්න බැරි නිසා වෙච්ච දෙයක්. ඒ හැර මම හිතන්නේ ස්ටේජ් එක පිටිපස්සේ වැඩ කරන එක හොඳයි. මොකද ඉස්සරහ වැඩවලට නළු නිළියෝ ඉන්නවානේ අපිත් ඕකට අත දාන්න ඕන නැහැනේ. අපි ළමයි හතර දෙනාමත් අරගෙන යනවා. සුගත්ට අසනීපයක් අමාරුවක් වුණොත් මට නාට්‍යය අරගෙන යන්න කියනවා. එහෙම ගිහිල්ලත් තියෙනවා. මොකද සල්ලි බාගෙ එහෙමත් ගන්න කියන්නේ මට. එයාගේ පුරුද්දක් තියෙනවා ස්ටේජ් මැනේජර්ට තමයි ගනුදෙනු බාර දෙන්නේ. එයා කියන්නේ නාට්‍යය පෙන්නුවාම එයාගේ කටයුතු ඉවරයි අනෙක් එවා බලාගන්න ඕන ඒ බාර කට්ටිය කියලා. ඒ නිසා ඉස්සරහ ඉඳන් හොඳට නාට්‍යය බලලා ඉවරවෙලා වැරැද්දක් වුණොත් බනිනවා. එයා නාට්‍යක චරිතයකට කවදාවත් එක නළුවෙක් මිස දෙන්නෙක් පුරුදු කළේ නැහැ. ඒ නිසා තමයි එයාගේ නාට්‍ය සමහර වෙලාවට නතර වුණේ. අනෙක මම හොඳටම දන්නවා මහත්තයා කරපු නාට්‍ය ඒ විදිහට වෙන කාටවත් ගන්න බැ. එයාගෙන් පස්සේ නාට්‍ය නතර වුණේත් ඒ නිසයි. අනෙක මම ඒ නාට්‍ය වෙළෙදාමක් කරගන්නත් කැමති නැහැ. එයා මේ මෙසේ ලාච්චුව පිරෙන්න සල්ලි තිබුණු කෙනෙක්. ඒත් නැතිවෙද්දි සත පහක් අතේ තිබ්බෙ නෑ."

"සොඳුරු ආඥාදායකයා කිව්ව හේතුව මොකක් කියලද හිතන්නේ?"

"ඒ ඉතින් මිනිස්සුන්ට පේන විදිහ වෙන්න ඇති නේද? ගෙදරදිත් ඉතින් සොඳුරුයිනේ. අපි දෙන්නට දෙන්න එකතුයිනේ."

"ඒ වගේ යුග පුරුෂයකුගේ නෝනා කීවාම?"

"මට නම් එයා කරන දේත් අනෙක් අය කරන දේත් එකයි. මගේ මහත්තයා ඉදිමෙන්නේ නැත්නම් මම මොකටද ඉදිමෙන්නේ. ඒකෙන් වෙන්නේ අපේ අවට ඉන්න අයත් නැති වෙලා යන එක. අපි කවුරුත් මිනිස්සුනේ. මහන්තත්තයක් ගන්න එක මහා නරක සිරිතක්. මගේ පුතාලාට ගෙනා ලේළිලා තුන්දෙනාටත් මම එක වගේ ආදරෙයි. මගේ බැණටත් ඒ වගේ. අපේ ළමයි අට දෙනාම කවදාවත් උඹ නොදකින් කියාගෙන නැහැ. මගේ පොඩි පුතා (ප්‍රබුද්ධ ගලප්පත්ති) නැති වුණා. සුගත් නැති වෙලා මාස හයෙන්. ඒ තියෙන දාංගලේට. ඒ වගේම තාත්තා හදපු විදිහේ වැරැද්ද. එයා කවදාවත් ළමයින්ට ගහන්න බනින්න දෙන්නේ නැහැ. දරුවො වැරැදි කරනවා කියලා පිළිගන්නෙත් නැහැ."

"ඒවා මතක් වෙද්දි?"

"එයා නවකතා ලියනවා. ගුවන්විදුලියෙ රස්සාවත් නැති වුණානේ. හැබැයි එහෙම අතේ සතේ නැති වෙලාවට එයා එක වැඩක් කරනවා. හොඳට පුරුදුයි රේස් පත්තරේ කියවලා. අපටත් කියනවා ඇස් වහගෙන තෝරන්න කියලා. ඒකේ අස්සයෙක්ට මගෙන් හරි ඉල්ලලා රුපියල් දෙකක් දානවා. හැබැයි ඒකෙන් සතියක් කන්න ගාණක් හම්බෙනවාම තමයි. එයාගේ අර කවි පොතේ රේස් බුකියක් ගැන කවිය හරි ලස්සනයි. ඒකට මම කැමතියි."

මම 'අනේ දෙව්දත් නොදිටි මොක්පුර' පොත රාක්කයෙන් ගනිමි. එහි 'ඔරිසොං දාපඟ' හිසින් යුතු නිර්මාණයේ මෙසේ පද වියා තිබේ.

'ඔරිසොං උඹ හපනා නං - අස්ස කටේ අත දාපඟ'

ඇය ඒ කවියට කැමැති වන්නේ ඇයි දැයි මට කවිය කියවද්දී දැනෙයි. එයට දැහැන් ගත මා එයින් මුදවන්නේද ඇගේ කතාවේ ඉතිරි කොටසයි.

"මම කීවා අපි ගෙයක් ඉල්ල ගමු කියලා. එයා කැමති වුණේම නැහැ. ඒත් මගේ වදේට ප්‍රේමදාස මහත්තයාට අර උදේ දෙකට තුනට විතර ලියුම් දෙන්න ඕනිනේ එහෙම ලියුමක් දුන්නා. නැතුව අපට ආණ්ඩුවෙන් නිකං ගෙවල් දුන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා පක්ෂෙ මොකක් වුණත් හොඳ කලා කරුවෙක් නිසා ගෙයක් දෙන්න කියලා. රංජිත් ධර්මකීර්තියි ජයසුමන දිසානායකයි ඒ ගේ ගන්න උදව් කළා. මහත්තයාට අංශබාගේ හැදිලා ඉද්දි මංගල සමරවීර ඇමතිතුමා මහත්තයා බලන්න ඇවිත් සුගත් අය්යට මේ ගේ පොඩි වැඩියි පාරවත් පේන්නේ නැනේ කියලා තමයි මේ ගේ දුන්නේ. මේකට මම කුලිය ගෙවනවා. ඒ අතරතුරේ ටවර්හෝල් පදනමේ මහත්තයා හිටපු නිසා ගල්කිස්සේ කලාපුරෙන් ඉඩමක් චන්ද්‍රිකා මැතිනිය අපට දුන්නා.

මරාසාද්වලින් පස්සේ අපේ නාට්‍ය එකක්වත් දිව්වේ නැහැ. සුගත් ලෙඩ වුණේ තරුණ සේවා එකේ නාට්‍ය විනිශ්චයට යන දවස්වල. මට කීවා ශීලා අපි කිරි හොදි හදලා රතු කැකුළු බතුයි මාළු ඇඹුල් තියලුයි කමු කියලා. ඒ කකා ඉද්දි මම දැක්කා නළලේ පැත්තක නහරයක් නටනවා වගේ. ඒත් මම කිව්වා මොකද්ද ඔය වෙන්නේ කියලා. නැ ශිලා බදුල්ලේ නාට්‍ය විනිශ්චයට ගිය වෙලේ මගේ උගුරේ කට්ටක් ඇණුනා ඒකට වෙන්න ඇති කිව්වා. පහුවෙනිදා තේක හදාගෙන ගිහින් ජනේලේ ඇරලා සුගත් නැඟිටින්න අද යන්නැද්ද කියලා අහනකොට තමයි දැක්කේ අතකුයි කකුලකුයි පණ නැතිව ඉන්නවා. ඒ පාර මම කැගහනකොට අල්ලපු ගෙදර ෂෙරින් කියලා විමලධර්ම ජයවීරගේ වාහනෙන් කළුබෝවිල ගෙනිච්චේ. මෙයා කොණ්ඩෙත් වවලා වයසත් හින්දා හිතුවා නිකං බීපු මිනිහෙක් කියලා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ කවුදෝ කිව්වම මේ තමයි සුගතපාල ද සිල්වා කියලා බුදු අම්මේ දෙයියන්ට වගේ සලකන්න ගත්තා අපරාදෙ කියන්න බැ.

එහෙම අසනීපෙන් අවුරුදු පහක් හිටියා. මටත් වඩා එයාට සැලකුවෙ දරුවෝ කියන්න පුළුවන්. ඔහොම ඉද්දි 2002 දවසක් පාලිත නාවලා ඔක්කොම කරලා ගෙනත් තියලා අපි බනිස් වගයක් කකා හිටියා. පහුවෙනිදා ක්ලිනික් යන්නත් තිබුණා. මෙයාට බනිස් එක හිරවුණා. ඒ ගමන්ම කට්ටිය උස්සලා එයාව ගත්තා ඉස්පිරිතාලේ ගෙනියන්න. ඒත්..."

ඇගේ දෙනෙත් බොර පැහැ වෙයි. දිලිසෙයි. මදින් මද හඬද සිරවන්නාක් මෙනි. ජිවිතය මෙන්ම කඳුළුද සඟවන්නට ඇයට උවමනාවක් නැත. ඒ විවෘතභාවය මටද ඔරොත්තු නොදෙන තරම්ය. අපි කතා නොකර එකිනෙකාගේ දැස් දෙස බලා ඉන්නෙමු. නිහඬබව බිඳීන්නේ ඇයයි.

"යනකොටම මම දැනගත්තා එයා ආයෙ එන්නේ නැ. කුරුල්ලෙක් සමානව පියාඹලා ගියා."

ඇය යථාර්ථය අවබෝධ කරගෙන සිටින්නීය. හදවත පතුළෙන් නැඟෙන සත්‍ය හැඟීම පවසන්නීය.

"එයා විඳපු දුක බැලුවාම ඒක එක අතකට හොඳයි. නාට්‍ය කරපු, පොත් ලියපු මනුස්සයකුට පොතක් අතට ගන්න බැරිනම්, කාටවත් අඬගහන්න බැරිනම්, බාත්රූම් එකටවත් යන්න බැරුව තමන්ට ඕන දේ කරගන්න බැරිව එක්තැන් වෙලා ඉන්න එක මහා විඳවීමක්. ඒක අපටත් බලා ඉන්න දුකයි. පාළුව තනිකම දැනෙනවා තමයි. ඒත් ඒක එයා ගෙනාපු දෛවය නේද? එයා දරුවන්ට හරි ආදරෙයි. අද හිටියානම් මම හරි ආසයි අපේ දරුවන්ගේ දරුවන් බලන්න."

"ආයේ සංසාරේ හමුවුණොත්?"

"ඒවා කියන්න බැ ඉතින්. ආයේ කසාද බඳීයි. හොඳ ගුණ යහපත් පුරුෂයෙක්නේ."

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.