විජය කුමාරතුංග මුලින්ම රඟපෑවෙත් මගේ චිත්‍රපටයක

අඩසිය වසක සිනමා දිවිය සමරමින් ලුවී වැන්ඩස්ට්‍රාටන් කතා කරයි
මාර්තු 28, 2019

කලාකරුවෝ විශ්‍රාම නොයති. එයට උදාහරණ ඕනෑ තරම්ය. යම් යම් හේතු කාරණා මත කලාවෙන් බැහැරව යන පිරිස හැර අනෙක් කලාකරුවෝ ජීවිතාන්තය තෙක්ම කලාවේ නියැළෙති. අද අප කැඳවාගෙන ආ තැනැත්තා කලාවට එක්කාසු වී වසර පනහකටත් අධිකය. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනාගත් හෙතෙම දැනට අපට සිටින පැරැණිතම නිර්මාණකරුවන් අතළොස්සට අයත්ය. සාම්ප්‍රදායික රැකියාවක යෙදුණ අයෙකු නම් ඔහු විශ්‍රාම ගොස් බොහෝ කාලයකි. එසේ නොවී කලාකරුවකු වූ බැවින් අදට ද මේ සිනමා අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණයේ නියැළෙයි. එපමණක් ද නොව ඔහුගේ සිනමාපට බොහොමයක රචකයා වන්නේ ද ඔහුය. ලුවී වැන්ඩස්ට්‍රාටන්ව බොහෝම ආදරයෙන් අපි පිළිගනිමු.

ආයුබෝවන් ඔබට?

ඔබටත් එසේම වේවා, ආයුබෝවන්.

ඉතින් කොහොමද?

අපේ වැඩක් බලා කියාගෙන කාටත් කරදරයක් නැතුව ඉන්නවා.

වසර පණහක් සිනමාවේ රැඳී සිටීම සුළු කොට තකන්න බැහැ?

ඔව් ඒක ඇත්ත. කොච්චර නම් අය ඇවිත් ගියාද.

හරියටම සිනමාවට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු පනස් දෙකයි. හැට හතේ තමයි 'බිඳුණු හදවත්' චිත්‍රපටය කළේ.

ඔබේ රසවත් මතක ගබඩාව අවුස්සන්නයි හදන්නේ?

හරි . . . අහන්න ඕන දෙයක්.

ඔබ සිනමාවට පෙම් බඳින්නේ?

මගේ මාමා කෙනෙක් හිටියා සිනමාවට සම්බන්ධ. ලංකාවේ පිටරට චිත්‍රපට බොහොමයක් රූපගත කළානෙ ඒ දවස්වල. මං පොඩියි එතකොට. මගේ මාමා තමයි ඒවට අතිරේක ශිල්පියෝ සම්බන්ධිකරණය කළේ. මාමා දවසක් මට අඬ ගැහැව්වා ඔය වගේ වැඩකට යන්න.

ඔය වගේ වැඩක් කිව්වෙ?

රඟපාන්න.

ඉතින් ගියාද?

මාමගෙ බල කිරීමට ගියා. මං එතකොට ඇන්දෙ කොට කලිසම්. මාමා කිව්වා ඕවා ඇඳගෙන නම් රඟපාන්න බැහැ කියලා. දිග කලිසමක් හොයා ගන්න කිව්වා. දිග කලිසම් මට තිබුණේ නැහැ. මං කලින් ඇඳලත් නැහැනෙ. කොහෙන් හරි දිග කලිසමක් හොයාගෙන ඒකත් ඇඳගෙන මාමාගෙ පස්සෙන් ගියා.

එහෙම ගිහින් රඟපාපු චිත්‍රපට?

Green Emerald  කියලා එකක් කළා. කහ බළල්ලු, සැන්ඩෝ කාන් ද ග්‍රේට් වගේ ඒවායේ තමයි හිටියේ.

මොන වගේ චරිත ද රඟපෑවේ?

මොන චරිතද? අපිට තිබුණේ හිටන් ඉන්න විතරයි. චිත්‍රපටය බලද්දී මං ඉන්නවද කියලා හොයා ගන්නත් බැහැ.

අධ්‍යක්ෂණයට පිවිසුණේ?

ගෙවල් ගාව හිටියා සහාය කැමරා අධ්‍යක්ෂවරයෙක් ලලිත් ගුණවර්ධන කියලා. එයාගේ මාර්ගයෙන් මට දැවෙන පිපාසය චිත්‍රපටයේ ෂූටිං බලන්න යන්න හම්බ වුණා. රොබින් ප්‍රනාන්දුව එහෙම දැක්කෙත් එදා තමයි.

ලලිත් ද යෝජනා කළේ චිත්‍රපටයක් කරමු කියලා?

ඔව්. ඌ කිව්වා මුල ටික කළොත් ඊළඟ ටික කරන්න සල්ලිකාරයෙක් හොයා දෙන්නම් කියලා. ලලිත්ගේ වචනත් එක්ක මං චිත්‍රපටයක් කරන්න පෙලඹුණා වගේ දෙයක් වුණා. මං ගාව එකතු කරගත්තු සල්ලි ටිකක් තිබුණා. හැබැයි මං ආවට ගියාට චිත්‍රපටයක් කරන්න ගියේ නැහැ. බොහෝ පොත්පත් පෙරළ පෙරළ අධ්‍යයනය කළා. යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණාට පස්සෙයි වැඩේට බැස්සේ.

එහි තිර රචනයත් ඔබගේද?

ඔව්. ඒක පුහුණු ගුවන් නියමුවන් පිළිබඳ කතාවක්.

තිර පිටපත අරගෙන කා ගාවටද මුළින්ම ගියේ?

මං දන්න එකම නළුවා රොබින්. එයා ගාවට තමයි ගියේ.

ඔහු මොකද කිව්වේ?

අයිසේ මේක හරි දුෂ්කර වැඩක්නෙ. ප්ලේන් එහෙමත් ඕන නේද කියලා ඇහැව්වා. මං ඔව් කිව්වා. එහෙනම් ප්ලේන් ගන්න පුළුවන් ද කියල බලනවකෝ. ඊට පස්සේ මං ගාවට එන්න රොබින් කිව්වා.

ඊට පස්සේ මොකද ඔබ කළේ?

ඒ ගැම්මෙන්ම කටුනායක එයාර්පෝර්ට් එකට ගියා. කොහොම හරි ඒකේ ලොක්කව මුණ ගැසුණා. චිත්‍රපටයේ කතාව කියලා ෂූට් එකට ප්ලේන් කිහිපයක් දෙන්න පුළුවන් ද කියලා ඉල්ලීමක් කළා. මරු කතාවක් තමයි චීෆ් කිව්වෙ.

මොකක්ද?

වැඩේට ප්ලේ්න් දෙන්න නම් පුළුවන්. ඒත් කවුද මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්, උඹේ තාත්තද? එතකොට මං පොඩි කොල්ලෙක්නෙ. ඔහු එහෙම කියන්න ඇත්තේ ඒකයි. පස්සේ මං පැහැදිලි කළා මේ වැඩේ මං කරන්නේ කියලා. මගේ උනන්දුවටම ද කොහෙද ඔහු මට ප්ලේන් ලබා දෙන බවට ලිඛිතව පොරොන්දු වුණා. ඒ ලියමනත් අරගෙන පස්සෙ දවසක රොබින්ව හමු වුණා. ඊට පස්සේ බිඳුණු හදවත් චිත්‍රපටයේ වැඩ පටන් ගත්තා.

ඔය චිත්‍රපටයේ දර්ශන තලයට කඩවසම් ආධුනිකයෙක් එනවා?

ඔව්. එයාව එක්කගෙන ආවේ රොබින්. මට ඔහු ගැන විස්තරයක් කරලා චිත්‍රපටයට සම්බන්ධ කරගන්න පුළුවන් ද ඇහැව්වා. මං වැඩිය කැමැති වුණේ නැහැ ඔහුව ගන්න. මොකද එතකොට ඔහු ආධුනිකයිනෙ. රොබින් ගෙනාව නිසා බැහැ කියන්නත් බැහැ. නමුත් මගේ අකැමැත්ත වෙන විදිහකට ප්‍රකාශ කළා.

කොහොමද?

මෙයාට හරි යන ඇඳුම් පැලඳුම් අපි ගෙනල්ලා නැහැ නේද කියලා රොබින්ට කිව්වා. රොබින් මැදිහත් වෙලා නෑ නෑ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙයා මගේ උසම. මගේ ඇඳුම් දෙමු කිව්වා. අන්තිමේ මට ඔහුව චිත්‍රපටයට ගත්තා.

පසුව ඔහු සිංහල සිනමාවේ ජනකාන්තම නළුවෙක් වෙනවා?

එහෙම මං අවස්ථාව දුන්නේ විජය කුමාරතුංගට. විජය මුලින්ම රඟපෑවේ මගේ චිත්‍රපටයේ. නමුත් රිලීස් වුණේ හන්තානේ කතාව. හැමෝම හිතාගෙන ඉන්නේ ඒක තමයි විජයගේ පළමු චිත්‍රපටය කියලා.

බිඳුණු හදවත් නිසා ඔබේ හදවත බිඳුණු අවස්ථා තිබුණේ නැතිද?

තිබුණා. ලලිත් කිව්වා වගේ අතරමගදි අපිට නිෂ්පාදකවරයෙක් හොයා ගන්න බැරි වුණා. ඒත් කොහොම හරි මේක කරන්න එපායැ. ඔය අතරේ මෙහෙම වැඩකුත් වුණා. මගේ තාත්තට හොරෙන් තමයි චිත්‍රපටය කළේ. රූපගත කිරීම් කරද්දී සරසවිය පත්තරෙන් අති විශාල ප්‍රචාරයක් මේකට ලබා දුන්නා. පත්තරෙන් දැකලා තාත්තා වැඩ කර කර හිටපු තැන බොස් තාත්තගෙන් අහලා ලුවී වැන්ඩස්ට්‍රාටන් කියලා කොල්ලෙක් චිත්‍රපටයක් කරනවා. ඒ ඔයාගේ පුතාද කියලා. තාත්තා පුදුමයට පත් වෙලා. ඒ කාලේ චිත්‍රපටයක් කරනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙවෙයිනෙ. ගෙදර ආව ගමන් මාව ගෙන්නලා ප්‍රශ්න කළා. මෙහෙම චිත්‍රපටයක් කරනවාද කියලා. මං ඔව් කිව්වා. කරනවා නම් වැඩේ හරියට ඉවර කරන්න. නැත්නම් මටත් එක්ක ලැජ්ජයි කියලා තාත්තා යන්න ගියා. මං නිසා හැමෝම අමාරුවේ වැටෙනවා කියලා හිතුණා. මං විසින්ම උත්සාහ කරලා චිත්‍රපටයට සම නිෂ්පාදකවරු තුන් දෙනෙක්ව හොයා ගත්තා. ඔවුන්ගේ උපකාරය ඇතුව චිත්‍රපටය කරලා ප්‍රදර්ශනය කළා.

පසුව ඔබ දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදුණා?

පෙම් කුරුල්ලෝ, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, බෝනික්කා වගේ ඒවා කළා. ඇගේ වෛරය චිත්‍රපටයෙන් තමයි මගේ නම ගොඩක් දෙනකු දැන ගත්තේ. ඇගේ වෛරය එක දෙක තුන හතර වෙනකම්ම කළා.

ඇගේ වෛරයට මග පෑදෙන්නේ?

ඇගේ වෛරය ඔච්චරටම දුවාවි කියලා හිතුවේ නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය වන කාලේ දහයයි තිහේ දර්ශනයට උදේ හතේ ඉඳලා සෙනඟ. ගාමන්ට් ගැහැනු ළමයි බත් පාර්සලේ අරගෙන පෝලිම්වල හිටියා. හොරෙන් චිත්‍රපටය බලපු අය කොච්චර නම් හිටියද. ඔය චිත්‍රපටයට අඩිතාලම වැටෙන්නේ මගේ මිත්‍රයකු කියපු දෙයක් නිසා. ඔහු රට ඉඳලා ආව කෙනෙක්. මට ඔහු රටින් ගෙනාව චිත්‍රපටයක් පෙන්නුවා. ධ් ඉනඪබ ධද කධභප ට්පචමඥ තමයි ඒක. මෙන්න මේ වගේ චිත්‍රපටයක් කරපංකො කිව්වා. මං ඒකම නෙවෙයි ඒකෙ කතාව අනුසාරයෙන් තමයි ඇගේ වෛරය චිත්‍රපටය හැදුවේ.

ඒ කාලේ මේ වගේ චිත්‍රපටයක රඟපාන්න නළු නිළියෝ කැමැති වුණාද?

චන්දි රසිකට පිටපත දුන්නම ඇය අකැමැත්තක් ප්‍රකාශ කළේ නැහැ. නමුත් ඇයත් එක්ක රඟපාන්න ජනකාන්ත නළුවො බොහොමයක් බැහැ කිව්වා. අන්තිමේ මං විජය ගාවට ගියා.

ඔහු මොකද කිව්වේ?

ලුවී මට ඔය කොයි නිළියත් එකයි. දෙනවක හාමිනේ එක්ක වුණත් මං රඟපාන්නම්. මෙන්න දින ටික කියලා දවස් හතක් මට දුන්නා. අභාග්‍යකට ඔහු ජීවිතක්ෂයට පත් වුණා. පසුව තිලක් ජයවීරව ගත්තා.

ඇගේ වෛරය නිසා ඔබගේ නමට යම් කැළලක් වුණාද?

අපෝ නැහැ. මට නමක් හැදුණා. චිත්‍රපට හතරක් විතර කරලා තිබුණා. ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන නම ජනතාව අතරට ගියේ ඇගේ වෛරය චිත්‍රපටයෙන්. ඊට කලින් මං චිත්‍රපට කරලා තියෙනවද කියලා සමහරු දන්නෙත් නැහැ.

ඔබ බොහෝ නවකයින්ට අවස්ථාව දුන්නා?

විජය, රන්ජන්, අර්ජුන කමලනාත්, අනූෂා දමයන්ති, වසන්ත කුමාරවිල වගේ අය ඒ අතරේ ඉන්නවා.

මොනවද ඔබේ නවතම සිනමා නිර්මාණ?

චිත්‍රපට පහක් එන්න තියෙනවා. බුද්ධි, පැරෂුට්, රන් කිරුළ, මිස් ඩයිනමයිට් සහ රාබියා, බුද්ධි කියන චිත්‍රපටය හැදුවේ දෙදහස් දොළහේ. හොඳම ඉංග්‍රීසි නවකතාව විදිහට රාජ්‍ය සම්මාන දිනූ කෘතියක් ඇසුරෙන්.

වර්තමානයේ අපේ සිනමාවට මොකද වෙලා තියෙන්නේ?

අනෙක් රටවල කාලයෙන් කාලයට වීරයෝ බිහි වුණා. අපේ රටේ එහෙම නැහැ. සිනමාවේ වීරයා මැරිලා. වීරයා ඉන්න චිත්‍රපටයක් හදන්නකො බලන්න දුවන්නේ නැද්ද කියලා.

සිනමාවේ පනස් වසර සමරමින් ඔබ විශේෂ වැඩ කටයුත්තක් සිදු කරනවා?

අප්‍රේල් තුන් වෙනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ සවස පහට උත්සවයක් තියෙනවා. එදාම මගේ පැරෂුට් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. මගෙත් එක්ක සිනමා නිර්මාණවලට දායක වූ සියලු දෙනාට එදාට මං එන්න කියලා ආරාධනාවක් කරනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.