ඒවගේ කෙනෙක් ආශ්‍රය කළේ මගේ වාසනාවට

පියුමත්චාර්ය ප්‍රේමලතා පණිභාරත
අප්‍රේල් 4, 2019

සරසවිය නම සහිත අපේ වෑන් රථය බෞද්ධාලෝක මාවතෙන් කොබ්බෑකඩුව මාවතට හැරෙන්නේ අඩු වේගයකිනි. අපි අංකයක් සොයන බව, දකින ඕනෑම කෙනකුට පෙනේ. පොලිස් නිලධාරියකු වාහනය දෙස උනන්දුවෙන් බලයි. සරසවිය අකුරු පෙළ දකින ඔහු දයාසිරි ජයසේකර මහත්තයාගේ ගෙදරද හොයන්නේ? යැයි අසයි. ඔහු සිතන්නට ඇත්තේ ගී ගයන දේශපාලනඥයන් පිළිබඳ සරසවිය ලිපියකට කියා විය යුතුය. අපි හිස වනමින් ඔව් යැයි ශබ්ද නඟා කියමු. ඔය ගේට්ටුව නෙවෙයි ඊළඟ එකෙන් යන්න. ඕක අරින්න අමාරුයි. පාරේ අනෙක් පස සිට ඔහු දෙන උපදෙස් අපි පිළිපදිමු. මම යළි ජයවන්ති ජයසේකරට දුරකථනයෙන් අමතමි. ඇය නිවෙසේ නැති බැවින් සීනුව නාද කර පැමිණි බව දන්වන ලෙස මට කියයි. අගුළු විවර වී අප මිදුලට ගන්නා පොලිස් නිලධාරියා යළිත් වහා ගේට්ටු වසා දමයි. මට යළිත් ඇමතුමකි.

“මම නැතුවට නැන්දාව තියලා ගියා අම්මාගේ තනියට. මොකද සමහර දේවල් මතක නෑනේ අම්මට. නැන්දාට පුළුවන් ඒවා මතක් කරලා දෙන්න. මම තව ටිකකින් එනවා. දුවගේ ඉස්කෝලෙ කොන්සර්ට් ප්‍රැක්ටිස්“ ඇය විස්තර කරන්නී සමාව අයදින්නාක්මෙනි. ඒ අතර ප්‍රධාන දොරටුව ඇරෙයි. ඒ එන්නේ නැන්දාය. එනම් චිත්‍රා අල්ගමය. ඇයට ආචාර කරන මම විමසමි. ‘කෝ අපේ කතා නායිකාව?‘ ඇය සිනාසී ‘අක්කා එයි. වාඩිවෙන්න‘ කියයි. මොහොතකට ඉඩ නොදී කලාත්මක රටාවකින් යුතු ඔසරියකින් සැරසී අප ඉදිරියට එන්නී පණිභාරත නම් යුග පුරුෂයා සමඟ ජීවන ගමන බෙදා හදාගත් ඇයයි. සුදෝසුදු කොණ්ඩය පසුපසට පීරා බැඳ, හැරමිටියක් අතින් ගෙන එන ඇය මුව පුරා හිනාවකින් අපට සංග්‍රහ කරමින් මා අසල හිඳ ගැනීමට සැරසෙයි. මම නැඟිට මේසය පෙන්වා අසමි.

‘අතන හොඳයි නේද පින්තූරවලටත් එක්ක.?‘

‘එකපාර වාඩිවෙන එක හොඳයි තමයි. මෙහෙම හිටියට අනූවක්නෙ මට දැන්‘ කුඩා සිරුරකින් හෙබි ඇය යළි මුව පුරා සිනාසී කියමින් සුවිසල් කෑම මේසයේ එක් අසුනක් ගනී.

‘නංගිත් එන්න මෙතෙන්ට‘ ඇගේ ආරාධනාව නෑනණඩියටයි. පනීභාරතයන්ගේ නැගණිය වූ චිත්‍රා ඔලබොඩුව මහත්මිය වින්සන්ට් ඔලබොඩුව මාස්ටර්ගේ බිරිඳය. මේ නෑනලා දෙදෙනා ජීවිත කාලය පුරාම සහෝදරියන් මෙන් එකට හැදී වැඩෙමින් අදටත් දුක සැප බෙදාගන්නන්ය.

‘ඉතින් අපි කතාව පටන් ගමුද පුංචි කාලෙන්?‘ මම අසමි.

‘මම පුංචි කාලේ ගියේ නැඳුන්ගමුවේ ඉස්කෝලෙට, ඊට පස්සෙ මධ්‍යමහා විද්‍යාලයක් කියලා හැදුවනේ හේනේගම සෙන්ට්‍රල් එක, එකෙන් විභාග කරලා අන්තිමට හෝලික්‍රොස් ගම්පහ ගියා. අපෙ මහත්තයා මට නෑයො වෙනවානේ. එයා මට වඩා අවුරුදු අටක් නවයක් විතර වැඩිමල්. ඉතින් ඒ කාලේ කලාව ගැන විස්තර කියනවා. අපෙ මහත්තයා කතා කරද්දි අහන් ඉන්න හැමෝම ආසයි. ඒ කාලේ ගෑනු අයට නැටුම් තිබ්බේ නෑ. ස්ත්‍රීන්ට මුලින්ම නැටුම් පටන් ගත්තේ අපේ මහත්තයා, මමත් නැටුම් පොඩ්ඩක් විතර ඉගෙනගත්තා. ඊට පස්සේ ජේඩීඑල් පෙරේරා, කලායතනයක් දැම්මා.‘

ඔලබොඩුව නෑනණ්ඩිය කතාව සම්පූර්ණ කරන්නීය.

‘පස්සෙ ඒක රජයේ ලලිත කලායතනය වුණානේ. හේවුඩ් කියලා පහුකාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත්වුණේ ඒක අක්කා ඔය කියන්නේ.‘ ‘ඔව්. මුලින් ඒකේ අපේ මහත්තයා පටන්ගත්තේ උඩරට නැටුම් විතරයි. පස්සේ ලංකාවේ තියෙන සම්ප්‍රදායන් ඔක්කොම ඕනා කියලා පහතරට, සබරගමු නැටුම් සියල්ලම ඉගැන්වුවා.‘

‘ඔය විස්තර කීවට තාම මුල් නම කීවේ නෑනෙ අපිට‘

මා මතක් කළ කරුණට ලැජ්ජාශීලී සිනාවකින් සංග්‍රහ කරමින් කියයි. ‘මගේ නම පියුමත්චාර්ය ප්‍රේමලතා. මම කලායතනයට බැඳුණේ නෑ. පෞද්ගලිකව නැටුම් ඉගෙන ගත්තේ. මේ නංගිලාගේ පන්තිවලට ගිහින් ටිකක් නැටුම් ඉගෙනගන්නවා.‘

නෑනණ්ඩිය බාධාකරන්නීය.

‘ඇයි අක්කා චිත්‍ර ඉගෙන ගන්නනේ කලායතනයට ගියේ.‘

වාදයක් නැත. පිළිගැනීමක් පමණි.

‘ආ ඔව්. මම චිත්‍ර ඉගෙන ගත්තා. පස්සෙ ජර්මනියට නැටුම් කණ්ඩායමක් යවන්න වුණා, ඒකෙ ගෑනු ළමයින් ගියේ තුන්දෙනයි. මට නැටුම් වැඩිය බැරි වුණත් ඒ ගමන යන්න කීවා.‘

චිත්‍රා මහත්මියගේ මැදිහත්වීමය. ‘පනිභාරත අය්යයි. මාමයි එක්ක මාත් ගියා. අවුරුද්දකට කියලා අපි ගියේ. ඒත් එහේ සීතල නිසා මාස නවයෙන් ආපහු ආවා. අය්යා අඳුරන එක්කෙනෙක් එන්න කීවා ඒ අයගේ සන්දර්ශනවලදි මෙහේ නැටුම් එහෙට පෙන්නන්න.‘

‘අන්න එහෙම තමයි. ඒ ගමන ගිහින් ඇවිත් තමයි අපි බැන්දෙ. එතකොට මට 25ක් විතර ඇති. අපේ මහත්තයා හැම අංශයෙන්ම කලාවට දක්ෂයි. එයා උත්පත්තියෙන්ම කලාව පිහිටපු උපන් හපන් එක්කෙනෙක්. ගායනයට, වාදනයට, අඹන්න, නර්තනයට, චිත්‍ර ඒ හැම දේම එයාට පුළුවන්. එයා ශිෂ්‍යත්වයක් හම්බෙලා ඉන්දියාවටත් ගියා. මට හරියට මතක නෑ. බඳීන්න ඉස්සේල්ලා මංහිතන්නේ.‘ ඇගේ දෑස සහාය පතා යොමු වන්නේ නංගී හෙවත් නෑනණ්ඩි වෙතය.

‘චිත්‍රෙස්න, පනීභාරත, ප්‍රේමකුමාර එපිටවෙල, ගංගානාථ, අය්යත් එක්ක එකටම හිටිය කට්ටියනේ. අය්යා ටික කලක් උඩරට නැටුම් නම් චිත්‍රෙස්නටත් උගන්නලා තියෙනවා. හැබැයි බාප්පා තමයි දෙන්නටම ඉගැන්නුවේ, කිරිගණිතයා ගුරුන්නාන්සේ.‘

එයින් ඇගේ මතකය යළි නැවුම් වෙයි. ‘බාප්පත් එක්ක තමයි එයාත් ඉගෙන ගත්තේ එතකොට අපේ මහත්තයා පොඩියි. අවුරුදු 7-8 ඉඳන් මෙයාට හොඳට බෙර ගහන්න පුළුවන්. මං එතකොට ඉස්කෝලෙ ඉගෙන ගන්නවා. ගුවංවිදුලියේ ඉස්ඉස්සෙල්ලාම බෙර වාදනය පටන්ගත්තේ මෙයා. ජේඩීඑල් පෙරේරා මෙයාට හුඟක් ආදරෙයි. බාප්පත් එක්ක නැටුම්වලට එහෙම ගිහින් පන්සල්වල නායක හාමුදුරුවරු එහෙම මෙයාට හුඟාක් ආදරෙයි. මෙයාත් ගොඩාක් කැමති දේශීය දේවල්වලට. මට මතකයි නිර්මාණයක් කළා පොල්ගසේ වරුණ කියලා. ඒකේ සියලුම සැරසිලි, ඇඳුම් ඔක්කොම කළේ පොල්ගහේ දේවල්වලින්. හරීම ලස්සනයි ඒක. ඒකට මුල් තැන ලැබුණා තරගෙකින්. එතකොට අධ්‍යාපන ඇමති හිටියේ කපුකොටුව කියලා. ඒ කාලේ ගමේ ගොඩේ ඉස්කෝලවල නැටුම් තිබුණේ නෑනේ. කලායතනය පටන්ගන්න ඉස්සල්ල මං මේ කියන්නේ. අපේ මේ මහත්තයා දැන් හරි ප්‍රසිද්ධයි. ඉතින් ඉස්කෝලවලින් ගෙන්නා ගන්නවා මහත්තයාව, ඒ ඉස්කෝලවල නැටුම් පටන්ගන්න කියලා.

කලායතනය පටන්ගත්තට පස්සේ ග්‍රහ අපලය කියලා නිර්මාණයක් කළා උඩරට පහතරට සබරගමු අංශ තුනම එකතු කරලා. ළමයින්ටත් ඒවා උගන්නලා ගත්තා. මේ නංගි තමයි සඳු ග්‍රහයාට හිටියේ.

එ කාලේ චන්ද්‍රලේඛා කියලා හිටියා ලස්සන නෝනා කෙනෙක්. එයා ආවා ජේඩීඑල් මහත්මයාගේ පන්තියට. කිරිගණිතේ ගුරුන්නාන්සෙ සුරඹා ගුරුන්නාන්සෙ දෙන්නමත් එයාට ඉගැන්නුවා. පස්සේ එයාට ඕන වුණා ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්න. ඒකට බෙර ගහන්න කෙනෙක් ඕනානේ. ඉතින් සහායට එක්කගෙන ගියේ අපේ මහත්තයාව. ඊට පස්සේ තමයි මහත්තයාට ඉන්දියාවට ශිෂ්‍යත්වය හම්බුණේ.‘

‘ඒ චන්ද්‍රලේඛා කියන නෝනා නේද වෙස් බැඳපු එකම ගෑනු කෙනා?‘ මම අසමි.

වයසත් හික්මීමත් සමඟ සිහින්ව මතුවන ඇගේ හඬින් රහසක් මෙන් කියන මේ කරුණ වෙනුවෙන් මම තවත් කන උළුක් කරගන්නට වීමි.

‘ගෑනු අය වෙස් බඳීන්නේ නෑලු හෙඩ්ඩ්‍රස් එකක් දානවා මිස. උණ ගැනිලා නැති වුණේ. ඒක දෙවියන්ගේ ඇඳුමක්ලුනේ.‘

‘හිරු දෙවියන් නේද?‘ මම පිළිතුර පතන්නේ චිත්‍රා මහත්මියගෙනි.

‘ඔයා නැටුම් කරලා තියෙනවාද?‘ ඇගෙන් පෙරළා පැනයකි.

‘නෑ. මම අම්මා එහෙම කියනවා අහලා තියෙනවා‘

‘ඔව්. සූර්යායානේ නියෝජනය කරන්නේ වෙස් තට්ටුව. ඒ නිසා තමයි ඒක පිරිමි අයටම තියන්නේ. ඒක හින්දා කියලා කියනවා. මන්දා ඉතින්. අපේ අය්යා තමයි ගොයම් කැපීමේ නැටුම ඉස්සෙල්ලාම හැදුවෙත් නේද අක්කේ.‘

‘ආ ඔව්. මොකක්ද ඒක... ‘බතේ වත‘ කියලා ඉස්සල්ලම හැදුවේ මහත්තයා.‘

එහි කතාවද දෙදෙනාගේ සහායෙන් අසාගමි.

‘රැජන ලංකාවට ආවාම නැටුම් පෙන්නනවනේ. ගැමි නැටුමකුත් ඕන කළා උත්සවේට. ඒ බව කිව්වාම අය්යා ටක් ගාලා හැදුවා ගොයම් කැපීම. ඒක ස්ටේජ් එකේ නැටුවට පස්සේ ලංකාවෙම ප්‍රසිද්ධ වුණා. දැන් ගොයම් කපන්නැති ඉස්කෝලයක් නෑනේ.‘ දෙනෑනෝ එක්ව සිනාසෙද්දී ඒ යුගයේ කෙසේ තියෙන්නට ඇත්දැයි මේ සිනාව සාක්ෂි සපයයි.

‘ගොයම් කැපීම විතරක් නෙවේ මගේ හිතේ?‘ මම තවත් තොරතුරු වෙනුවෙන් කියමි. සිය ස්වාමියාගේ නිර්මාණ ඇයට කටපාඩම්ය.

‘ඇයි නාරිලතා කියලා මලක් තියෙන්නේ දන්නවාද? ඒ මලේ ලස්සන පෙන්න පෙන්න තාලෙට නැටුවා. තව, ලී කෙළි, කලගෙඩි, කුළු නැටුම් ඔක්කොම පටන් ගත්තේ අපේ මහත්තයා. තව අර කෝච්චිය මොකක්ද නංගි කෝච්චිය‘

‘ගොයම් නැටුමත් එක්කම ගොයම් කපලා කෝච්චියට බඩු පටවන හැටි ඔක්කොම පෙන්නන විදිහටනේ නැටුම හැදුවේ. ඉතින් කෝච්චියත් ළමයින්ගෙන් තමයි කළේ.‘ නංගිගේ කතාව අවසන් වන්නට පෙර අක්කාගේ කතාවය.

‘නේද නංගි අපේ ගෙදරත් නැවතිලා ඉන්නවා ඉස්සර ගෝලයො ඔක්කොම ඇවිත්. ලංකාව පුරාම නැටුම් ගුරුවරු අපෙ මහත්තයාගේ ගෝලයොනේ ඉතින්. මං හිතන්නේ 1957 විතර හේවුඩ් එකෙන් අවුට් වුණ අය ඔක්කෝටම වගේ ගුරු පත්වීම් හම්බුණා. මහත්තයාගේ වෙනස තියෙන්නේ හැමෝම එක්ක කතා බහ කරනවා හැමෝටම එකවගේ යහපත්. ඒකත් උත්පත්තියෙන්ම පිහිටලා තියෙනවා. ගායනයෙන් ඉහළට ගියේ නැතිවට හොඳට සින්දු කියන්නත් පුළුවන්. නැටුම්වලට ඕන කවි එහෙම එයා කියනවා. ආ.. පන් නෙළීම ඒකත් හොඳ වචන දාලා තාලෙට කියන ගමන් නැටුම කරනවා.‘

පනීභාරතයන් වෙනුවෙන් බිරිය ප්‍රේමලතා මහත්මිය කියද්දී, සිය අය්යා වෙනුවෙන් නංගීගේ සිතෙහි ඇති වූ සංවේගය සමඟ දෙදෙනා කතා වෙති.

‘එවා දැන් මිනිස්සු දන්නෙත් නෑ කාගෙද කියලා. දැන් එක එක විදිහට ඒවා නටනවානේ‘

මඳක් නතරවී සිය සැමියාගේ නිර්මාණ ඇය යළි සිහිපත් කරයි.

‘සත්පත්තිනි පත්තිනි දෙවියන් ගැන නැටුමක් කළා. ආනන්ද සමරකෝන්ගේ සින්දුවලට ලස්සනට රමණීය ලංකා කියලා එකක් කළා. ගලවලාකුළ කියලා ගලක් වගේ වලාකුළක් ගැන බැලේ එකක් කළේ චිත්‍රසේනගේ කරදියට කලින්ද මන්දා. ඇයි.. ප්‍රේමකුමාර එපිටවල එක්ක සැලළිහිණි සන්දේශය කළේ‘

ඇගේ උනන්දුවට නෑනණ්ඩිය අලගු තබයි.

‘අයියා තමයි සැලළිහිණියාට නැටුවේ. අපිත් නැටුවා හැබැයි. හරි පුංචියි එතකොට අපි. දිට්ඨමංගලිකා කළා මීරිගම සෙන්ට්‍රල් එකේ. ඒක බැලේ එකක්. පස්සෙ පොදු වේදිකාවට ආවා.‘

මෙතෙක් කී සියල්ල කැටි කොට දක්වමින් පනිභාරත බිරිය සිය ස්වාමිපුරුෂයාගේ නිර්මාණශීලීත්වය එක් වැකියකට නඟයි.

‘එයාට මොකක් හරි දැක්කාම ඒක නැටුමට හරවන්න හැකියාව තිබුණා‘

මම බාධා කරමි. ‘බැන්දට පස්සේ විස්තරේ තාම කීවෙ නෑනෙ?‘

‘ආ.. අපි බැඳලා අවුරුදු 6ට විතර පස්සේ තමයි උපුලි හම්බුණේ. ඒගොල්ලො දිගටම තාත්තගේ වැඩ ඉස්සරහට අරන් ගියා. මම පුළුවන් තරම් මේකප් ඇඳුම් ඒවාට තමයි උදව් කළේ. තාත්තට ටිකක් කේන්ති යන නිසා නැන්දා එන්න කියලා දූලා මෙයාව එක්කගෙන යනවා. එයා වෙස්ටර්න් විදිිහට මුකුත් කරන්නේ නෑ. ඔක්කොම දේශීය විදිහට තමයි කැමති. අපිට ඉතින් උදව්වට ඕන තරම් කට්ටිය හිටියා. ඒත් මම තමයි ඔක්කෝම හොයලා බලලා කරන්නේ. ඒත් ඉතින් පොඩ්ඩ වැරදුණොත් අපෙ මහත්තයාට කේන්ති යනවා.‘

ඇය සැණින් වැරැදි යමක් කියවුණාදැයි අසන්නාක් මෙන් නෑනණ්ඩිය දිහා බලයි. එහි කිසි වැරැද්දක් නැති බව තහවුරු කරන්නට චිත්‍රා මහත්මිය කියයි.

‘අය්යා තාත්තා වගේනේ මගෙ. ඒ නිසා අපිත් බයයි.කේන්ති ගිහින් තියෙනවා ඕන තරම් මෙයත් එක්ක. පොඩි අයියා ගුටි කාලා ඇති, ඇතිවෙන්න. ගෝලයෝ ගුටිකාලා ඇති ඕන තරම්. තාලම්පටෙන් දමලා ගහන්නේ අය්යට කේන්ති ගියාම. දවසක් මටත් ගැහුවා. මෙයා පැත්තකට වෙනවා.‘ ඇය කීවේ තම සොහොයුරාගේ බිරිය දෙස අනුකම්පාවෙන් බලමිනි. මම විමසමි.

‘දුක හිතෙනවා නේද ඒ වෙලාවට‘

ඇය බිම බලාගෙන අතීතාවර්ජනයක යෙදෙයි.

‘දුක හිතෙනවා ඉතින්. එහෙම කියලාත් නෑ ඉතින්. ඉවසගෙන ඉන්නවා. එහෙම නැතුව බෑනේ වටිනා කියන පුද්ගලයෙක්නේ. එක්කෙනෙකුට නෙවේනෙ ඉතින්. කේන්තියනවා කීවට ඒවෙලාවට විතරයි. එයාට ඕන දේවල් සහතික ඔක්කොම ලියන්න කියන්නේ මට. මගේ හිතින් මෙයාගේ වටිනාකම තේරුම් අරන් ඉන්න නිසා මෙච්චර උගත් එක්කෙනෙක් කියල හිතලා මම අයින් වෙලා නිශ්ශබ්දව ඉන්නවා. එතකොට එයාම තෙරුම් ගන්නවා. එයාම කෑගහල එයාම විහිළු කරලා කවි කියලා ආයෙ කතා කරනවා. ෂේප් කරගන්නවා. කොච්චර වුණත් මට මතක් වෙන්නේ එයා ජාතියට කළ ජාතික සේවය. ඒවාට සහජ හැකියාව තිබුණු මනුස්සයකුට මං ගරු කරනවා. මම විතරක් නෙවෙයි දුවලාත් බයයි. සමහරදාට තාත්තා එද්දි කාමර අස්සේ. පොඩ්ඩ බැරිවෙන්න බෑනේ. තාත්තා නිකං ඉන්නෙත් නෑ මොනවා හරි අඳීනවා, අඹනවා. දවසක් ජයවන්ති පොඩි කාලෙ. එයාට තේරුමකුත් නෑ. ඒත් පින්සලක් ගෙනත් දෙන්න කියද්දි වෙන මොකක් හරි ගෙනත් දීලා. ඒකට කෑගහපු පාර මෙයා බය වෙලා පල්ලෙහා ගෙදර ඇඳක් යට රිංගලා. අපි අහල පහළ ළිංවලයි හැමතැනම බැලුවා. හවස තමයි දුව ආවේ එළියට. ගහන්නේ නැතුවට සැර දැම්මාම බයයි. බය වුණාට හරි ආදරෙයි දෙන්නටම. ඉස්කෝලේ ගේන්නේ ගෙනියන්නේ තාත්තා. හැබැයි වැඩ වැඩිවෙලාවට බැරිවෙලා එන වෙලාවලුත් තිබුණා. එහෙම අතරමං වුණේ පොඩිදුව ජයවන්ති තමයි. මේ අය පිට පනී ගමන නොයයි කියලා ඒකටත් බය තියෙන්න ඇති සැර වුණේ. ඒයා ඉතින් හරි අමුතු චරිතයක්. නරකට නෙවේ මම කියන්නේ.‘

අය්යණ්ඩිගේ ස්වභාවය දන්නා නංගි එය අනුමත කරයි.

‘අය්යා සෝඩා බෝතලේ වගේ. සමහර වෙලාවට මගෙන් අහනවා කැත විදිහට බැන්නද මම එයාට කියලා. වාදවලට ගියොත් නම් එයාමයි දිනන්නේ. ඒක උප්පත්තියෙන් එයාට ලැබුණු දෙයක්. එයාගේ ඇඳුම් ෂර්ට් මහන්නේ මෙයා. වෙන කවුරුත් මැහුවට හරියන්නේ නෑ.‘

නෑනණ්ඩිය අක්කණ්ඩියගේ වරුණ කියයි. කතාවේ ඇත්ත නැත්ත තහවුරු වන්නේ මෙසේය.

‘මම මහන්න ඉගෙනගත්තේ නෑ. ඒත් ගෙනාපු එකක් ගලව ගලව බලලා දවසක් මැහුවා. එදායින් පස්සේ මම මහන ඒවා විතරමයි අඳීන්නේ. පිට ටේලර්ලා මැහුවට හරියන්නේ නෑ. දුවලාගේ ඉස්කෝලේ යන ඇඳුම් එහෙමත් පස්සේ මැහුවේ මම. එයා නැෂනල් ඇර මුකුත් ඇන්දේ නෑනේ. ඇඳුම් වගේම තමයි කෑමත්. කොස් බතල වගේ ගමේ කෑමවලට තමයි ආසා. වෙලාවකට යනවා පොළේ. එදාට පොළම අරන් එනවා. දවසක් අල කරත්තයක් තල්ලු කරන් යනවා දැකලා කරත්තෙම ගත්තා සල්ලි දීලා.‘

අය්යාගේ ඒ ක්‍රියාවන්වලට හේතු දක්වන්නී නංගීය.

‘ඒ එයාගේ හැටි. දුක හිතෙන්න ඇති සමහරවිට ඒ මනුස්සයා මහන්සියෙන් විකුණන නිසා.‘

අනුමත කරන්නී බිරින්දෑය.

‘එහෙම වෙන්න ඇති. ඒක දුප්පත් අයට බෙදුවනේ. පාරේ කවුරුහරි ගියත් කතා කරනවා කාලා යන්න කියලා. ගමේ අය කියනවා, අපි හරි දුප්පත් ඒත් මහත්තය අපට ආයුබෝවන් කියලානේ යන්නේ කියලා. අනෙක එයාට ඕන දෙයක් කියපු ගමන්ම ඕන. පස්සට දාන්න බෑ. පිරිසුදුකමත් එහෙමයි. කලායතනේ ඉස්සර බාත්රූම් හෝදලා නැත්නම් මෙයා ප්‍රින්සිපල් වුණාට ඒවා හෝදනවා. ඒ මිනිස්සුන්ට පේන්න. එතකොට ඒ අයට කරන්නම වෙනවානේ. අපේ මහත්තයා ළමයින්ගේ අධ්‍යාපනය ගැන හරියට වෙහෙසුණා. එයා මූලික අධ්‍යාපනය වැඩිය ලැබුවේ නැනේ. හැබැයි පිරිවෙන් අධ්‍යාපනයත ලැබුවානේ. අල්ගම පිරිවෙනේ. ඒ නිසා පුදුම දැනුමක් තිබුණෙ. මෙයා හුඟක් වල්පොළ රාහුල හාමුදුරුවෝ, ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ ආශ්‍රය කළා. ඉන්දියාවේ භාවනා කරන්න ගිය වෙලේ මෙයාව හොයාගෙන ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වැඩලා තිබුණා. අපි හිටිය පැත්තෙ පන්සලක හිටි පිළිමයක් හදන්න ඕනවෙලා මහත්තයාට බාර දුන්න. කඳ හරිය හදන්න යද්දි හාමුදුරුවො අපවත් වුණා. මාදින්නාගොඩ ගෙදර පොඩි කුටියක් හදලා තැන්පත් කරලා තිබ්බා පස්සේ ගේ කඩලා වෙනස් කරද්දි පිල්ලෑවට පූජා කළා. බබෙක්ට කිරි දෙන අම්මා කෙනෙක්, මාළු අල්ලන කොකෙක් හරි ලස්සනට අඹලා තිබුණා. අඳීන්නත් හරි දක්ෂයි. ඒත් ඒ මුකුත් මෙහේ නෑ. අපි ගෙවල් මාරු කරන නිසා. එයාට පනී පනී ගගා ඉඳලා ඉන්දියාවේ ගියාට පස්සේනේ භාරත වුණේ. අපේ මහත්තයාගේ නැටුමක් දැකලානේ පනී උඩ පනී කියලා පත්තරේ දැම්මේ. හරිනම සිත්‍රචාර්ය පනී භාරත‘

සියුම් රසයක් ඇය නඟන්නේ එසේය. සිනාවෙන් පසු අසමි.

‘දූලා දෙන්නගේ කටයුතුවලට අර කේන්ති නැද්ද?‘

‘චන්න විජේවර්ධන චිත්‍රසේනගේ ප්‍රධාන ගෝලයා. මෙයාගෙන් නැටුම්වල ශාස්ත්‍රීය පැත්ත ඉගෙන ගත්තේ. මුලින් චන්නට කැමැත්ත දුන්නේ නෑ. පස්සේ කැමති වුණා. උපුලි කැම්පස් එකේ ඉගැන්නුවානේ. ඒ වෙලාවේ දයාසිරි (ජයසේකර) නැටුම්වලට ආසාවේ කතා කළාම නංගි කෙනෙක් ඉන්නවා කියලා තිබුණා. හැබැයි දයාසිරිට අකමැති වුණේ නෑ. තාත්තාගේ අංශෙ හුඟක් දුරට ගෙනයන්නේ උපුලි. ජයවන්ති ඉන්දියාවේ ශාන්තිනිකේතනටය ගිහින් ඉගෙනගෙන ආවා තාත්තා ඉන්න කාලේ. අපේ මහත්තයාට හැම භාණ්ඩයක්ම වාදනය කරන්න පුළුවන්. මුල්ම බෙර සමූහවාදනය කරන්නේ මහත්තයා පොදුරාජ්‍ය මණ්ඩලීය උත්සවේකට එංගලන්තේ. පිරිමි අයවිතරයි සේරම ගෙනිච්චේ. ඒකෙත් පළමුවෙනි තැන ලැබුණා. උපුලි පොඩි කාලේ. ඒවායේ ඇඳුම්වල වර්ණ සංයෝජනය එයා නූල් දාලා පෙන්වනවා. එයා ගිහින් රෙදි ගේනවා අලුත් ඇඳුම් මෝස්තර, හෙඩ්ඩ්‍රස් හදනවා. වෙස් නැටුම විතරයි වෙනස් නොකරන්නේ. මම හිතුවේ ඒ වගේ හුඟක් දැනුම තියෙන උසස් කෙනෙකුට මාව ගැළපෙන්නේ නෑ කියලා. ඒ වුණාට එයා මට කැමති වුණා.‘ ඇය සෙමින් කී දේට පසු මම විමසමි.

‘ඇයි නටන්න පුළුවන් කම තියෙද්දි වේදිකාවට නාවේ?‘

‘මම වෙස්සන්තර රාජ සභාවේ නැටුමක් තිබිලා නැටුවා. එච්චරයි.

‘පනිභාරත මහත්තයාගේ නිර්මාණ ගැන මුකුත් අහන්නේ නැද්ද?‘

‘අපි නම් යන්නේ නෑ. එයාට ඔක්කොම පුළුවන්. අපි ඒවා බලලා සන්තෝශ වෙනවා මිස විවේචනය කරන්න යන්නේ නෑ.‘

එය නංගීද අනුමත කරන සෙයකි.

‘මෙයා බයයි. මමත් බයයි. මගෙනුත් අහන්නේ නෑ. මම වයසින් පොඩියිනේ. මට දෙයක් කරන්න කිව්වොත් කරනවා මිස. එයාගේ පරණ ප්‍රින්සිපල්ලා එහෙම කියන ඒවා අහනවා. තරහා යන්නේ නෑ ඒවාට.‘

‘තරහ ගියාට විනෝදකාමී නේද?‘ මම අසමි.

‘අපි හරියට විනෝදගමන් යනවා. එයාට විනෝදෙත් ඕනා හරියට. කාලයක් අපි රට පුරා කලායතන බලන්න ගියා. එතකොට වන්දනාවේ යන්න පුළුවන් තැන් තියෙනවා නම් ඒවාටත් යනවා. මම ඉන්දියාවේ වන්දනාවෙත් ගියා. ඒකටත් එයා හරියට උදව් කළා. ජ්‍යෝතිෂය හුඟක් පිළිගන්නවා. ග්‍රහ බලි, ශාන්තිකර්ම පිළිගන්නවා. මෙයත් ඒ බලි අඳීන්න එහෙම පුරුදු වුණා .දැන් අයනම් ඕවා දන්නේත් නෑ හරියට. කොහොඹ කංකාරියක්වත් කරවනවා කොහේ හරි. මනිපුරි කියලා නැටුමක් නංගිට ඉගැන්නුවා ඒ කාලේ ඒක හරි ප්‍රසිද්ධයි.‘

එය උගත් නංගී ඇගේ අත්දැකීම හෙළි කරයි.

‘අමරදේව තමයි සින්දු කියන්නේ ඒවාට. මුද්‍රානාට්‍යවලට අවශ්‍ය සංගීතයත් අය්යාට ඕන විදිහට කරවගන්නේ අය්යා. සිංහල විදිහටම කළා අවශ්‍යම අවස්ථාවක ඉන්දියානු සංගීත කොටස් ඉතාම අඩුවෙන් මිශ්‍ර කළේ.‘

යුගපුරුෂයකුට බිරියක්ව සිටීම පහසු කාර්යයක් නොවන වග අතුරු කතා අතර දැනේ. අඩසියවසකට අධික කාලයක් විවාහයක් පවත්වා ගෙනයෑමම දක්ෂතාවකි. ඇයට එසේ සිහිවූවා වැන්න.

‘ඔච්චර ලොකු සේවයක් කරලා අන්තිමට එයා අසනීප වුණානේ. ගෙදරට එනවා සෙනඟ හරියට බලන්න. අංශබාගේ වගේ. කතාකරන්න බැරුව. අච්චර නැටුම් කරපු කකුල් දෙක පණනැතිව ගියා. අපි බලන් හිටියා ඉතින් මොනවා කරන්නද? අපි ඉතින් ළඟම හිටියේ නෑ. මාසෙකට වඩා පෞද්ගලික රෝහලක හිටියේ. කතා කරන්න බැරුව ගියා. ඔක්සිජන් එහෙම දීලා හිටියේ. ගෙදර ගෙනාවාම නර්ස් කෙනෙක් ළඟ හිටියා. ටික වෙලාවක් යද්දි නින්ද ගියා වාගේ එහෙමම හිටියා. නර්ස් බලලා කීවා දැන් නම් හුස්ම ගිහින් කියලා. එච්චරයි. කවුරුත් නොදන්න විදිහට හුස්ම ටික ගියා.ගමේ අය කනත්තට යනකල් පෙට්ටිය උස්සගෙන ගියේ. හරි ආදරෙයි ගමේ අය. හැමෝම දුවගෙන ඇවිත් කටයුතු කළා. අවරුදු 50ටත් වැඩිය අපි බැඳලා එතකොට. එයාට 86යි. නැතිවෙලාත් දැන් අවුරුදු 17ක්. ඒ තමයි සංසාරෙ ලියාගෙන ආපු හැටි. ආයෙ හම්බවෙයිද නැද්ද කියන්න බෑනේ. අපි ඉතින් එයා වෙනුවෙන් ගොඩාක් පිංකං කරනවා. අන්තිමට සඳකඩපහණ කියලා නැටුමක් ලෑස්ති කරගෙන හිටියේ. කවි එහෙමත් ලෑස්ති කරගෙන. උපුලි කවදාහරි කරයි ඒවා. තාත්තාගේ දේවල් ඒ විදිහටම කරන්න උපුලිට වුණත් බැරි බව මම දන්නවා. ලෝකේ ඉල්ලන්නේ වෙනස් දේවල්නේ. මිනිබිරියව දැක්කාම ආසයි රූපවාහිනියේ විනිශ්චය මණ්ඩලවල එහෙම ඉන්නකොට. ටීවී එකේ සමහර ඒවා දකිද්දි අපට පුදුමයි. කාලෙන් කාලෙට වෙන දෙවල් වෙනස් කරන්න අපට බෑනේ. කවදත් අපි නම් අගය කරන්නේ අපේ මහත්තයලෑ ඒවා. මට හිතෙන්නේ ඒ වගේ කෙනෙක් ආශ්‍රය කරන්න ලැබුණු එක මගේ ලොකු වාසනාවක්. දැන් ඉතින් හිත සන්තෝසෙන් ඉන්නවානේ ඒවා මතක් කරකර.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.