ඇන්ජලින් දෙව්මව් තුරුළට ගියාය

අප්‍රේල් 4, 2019

වයස අවුරුදු 14 ක පමණ පාසල් ශිෂ්‍යාවියකට චිත්‍රපටයක යුග ගීතයක් ගැයීමට වරම් ලැබීම ඒ කාලයේ හාස්කමක් හැටියට සැලකූ සිද්ධියක් විය. ඒ 1957 වසෙර්ය.

1957 වසරේ ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් සංවිධානය කළ 'ජයග්‍රාහක පෙළපාලිය' ගීත තරඟයෙන් 14 හැවිරිදි ගායිකාවක් එහි දෙවන ස්ථානය හිමි කර ගත් අතර සිංහල චිත්‍රපටයක ගීයක් ගැයීමට ද අවස්ථාවක් උදා කර ගත්තාය. චිත්‍රපටය 'සොහොයුරෝ' ය. නිෂ්පාදකවරයා ඇස්. ඇම්. නායගම්ය. සංගීත අධ්‍යක්ෂවරයා ආර්. මුත්තුසාමිය. සහාය ගායකයා සිඩ්නි ආටිගලය. බෙනඩික්ට් ප්‍රනාන්දු ගීත රචකයාය. නවක ගායිකාව වූයේ ඇන්ජලිනා රෙචල් ද ලැනරෝල්ය. ඒ යුග ගීත මුල් කොටස මෙසේය.

'ආදරේ අඹරේ

ආලෝකය විහිදා

පායලා චන්ද්‍ර හද කෞමද පිපුණා'

පසු කලෙක 'ජෝති හා ඇන්ජි' යුගයක් සිංහල චිත්‍රපට ගීතාවලියට එක් වුවත් එහි මුල්ම පියවර වූයේ ද 1958 වසරේදීය. එඩ්වින් සමරදිවාකර සංගීත අධ්‍යක්ෂණය කළ 'දස්කම' චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර ගීත රචනය කළ ජෝති හා ඇන්ජලින් ගැයූ මේ ගීත

'වාසනාව පෑදේවි

හො - හෝ

රූප රාණි සීදේවි

හො - හෝ

රූප රාණි සීදේවි

හො - හෝ

ජීව සාගරේ රැල්ලයි රැල්ලයි

දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි

මේ විනෝද මංගල්ලේ

සිංහල සිනමවේ මුල් දශකය (1947 සිට 1956) ගීත ගැයූ ගායිකාවන් අතර රුක්මණී දේවි, ලතා (වල්පොල), ජී. එස්. බී. රාණී, ඉන්ද්‍රානි විජේබණ්ඩාර විශේෂයෙන් කැපී පෙනුණ අතර ඇන්ජලින් 1958 සිට ගීත ගායනයට අවතීර්ණ වූවාය. ඇය ගායිකාවක් වූයේ එක රැයකින් නොවේ.

කරුණාරත්න අබේසේකරගේ ළමා මණ්ඩපයේ ඇය ගීතයක් ගයන විට ඇයට වසර 10 ක් පමණ ඇත. ඇන්ජලීනා 1939 දෙසැම්බර් 23 වෙනිදා මාතර ඉපදී මාතර ශාන්ත මේරීස් කන්‍යාරාමයේ ඉගෙනීම ලබන පුංචි දවස්වල සිටම කලාවට ළැදියාවක් දැක් වූවාය.

දහ දෙනකුගෙන් යුත් පවුලක හත්වැනියා ලෙස උපත ලැබූ ඇන්ජලිනාගේ පියා වූයේ මාතර දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ජෝන් හෙන්රි ඩි ලැනරෝල්ය. ආගම බුද්ධාගමය. මව ක්ලැරිස් රෙචය. ආගම කතෝලිකය.

පුංචි කාලයේ සිටම ගී ගැයීමට, නර්තනයට දස්කම් පෑ ඇන්ජලිනාගේ කුසලතා හරි හැටි දැක්කේ රෝස් අක්කාය.

'පප්පෙ, ඇන්ජලිනා නංගිට අපි උදව් කරමු. එයා අනාගතයේ දක්ෂ ගායිකාවක් වේවි'

' හොඳයි, අපි කා ගාවටද එයාව යවන්නේ?'

'අපි සුනිල් සාන්ත මාස්ටර් ගාවට නංගිව යවමු'

'සුනිල් සාන්ත නම් වඩාත් හොඳයි. මම කැමති ගායාකයා සුනිල්. කවුද ඒ පන්තියට නංගිව එක්ක යන්නේ?'

'අපේ කසින් අක්කා එක්ක මම එයාව එක්ක යන්නම්'

ඔය ආකාරයටයි ඇන්ජිලිනාගේ සංගීතය දිවියට පදනම වැටුණේ. ඇය මේ ගැන කියන්නේ මේ කතාවයි.

'මම කසින් අක්කාත්, රෝස් අක්කත් එක්ක සුනිල් සාන්ත මාස්ටර්ගේ කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ තිබුණ සංගීත පන්තියට ගියා. ඒ කාලයේ සුනිල් සාන්ත මාස්ටර් ලස්සන මනුස්සයා. හරියට එල්විස් ප්‍රෙස්ලි වගේ. අපේ කසින් අක්කා බෝනික්කෙක් වගේ ලස්සනයි. මට උගන්වන ගමන් මාස්ටර් වැඩියෙන් බලන්නේ කසින් අක්කා දිහා. ඒ කාලේ මාස්ටර්ට රතු පාට කාර් එකක් තිබුණා. මේ කාර් එකෙන් කසින් අක්කාටත් යන්න අවස්ථාව ලැබුණා. ඒත් ඒ දෙදෙනා අතර සම්බන්ධතාවක් ඇති වුණේ නැහැ.'

පණීභාරත නාට්‍යාචාර්ය යටතේ නැටුම් කලාව ඉගෙන ගත් ඇන්ජලිනාට ගුවන් විදුලියේ ගීතයක් ගැයීමට උපකාර කරන්නේ ගායකයකු මෙන්ම පත්‍ර කලාවේදියකු වූ සිරි සරත් පෙරේරාය. ඔහු ඇන්ජලිනා 1957 වසරේ ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවය මඟින් පැවැත් වූ 'ආධුනික පැය' තරගයට ඉදිරිපත් කිරීමට ධෛර්ය දුන්නේය. මේ ගී තරගයෙන් ඇයට දෙවැනි ස්ථානය හිමි විය. එදා එම වැඩ සටහන මෙහෙයවා ඇත්තේ ලැඩී රණසිංහ විසිනි. මේ තරඟයෙන් මුල් තැනට තේරුණේ චාන්දනී රුද්‍රිගූ (ගුණවර්ධන)ය. චාන්දනී හා ඇන්ජලිනා 'ළමා මණ්ඩපයේ' සමකාලීන ළමා ගායිකාවන්ය. කරුණරත්න අබේසේකරගේ 'ළමා මණ්ඩපයේ' ඇන්ජලිනා 'ඇන්ජලීන් ද ලැනරොල්' ලෙස මුල්ම ළමා ගීතය ගයන්නේ 'කරු අයියා' විසින් ලියූ ඩී. ඩි. ඩැනී අයියා තනුව නිර්මාණය කළ 'ටක් ටික් ටුක්' ගීතයයි.

'ආධුනික පැය' ගුවන් විදුලි ගීත තරගයෙන් දෙවැනි තැන ලැබූ ඇන්ජලින් ඉන් පසු ඉදිරිපත් වූයේ එඩී යාපා මෙහෙය වූ 'ජයග්‍රාහක පෙළපාලිය' තරගයෙන් ද හිමි කර ගත්තේ දෙවැනි ස්ථානයයි. එදා මේ තරගයෙන් මුල් තැන ලබා ' පාකර් 51' පෑන දිනා ගත්තේ හෙන්රි පෙරේරාය. ('මං පොඩි කලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනෙ ඔයා' ගීතයේ ගායක ඔහුය) වි. වර්ධරාජා තෙවැනි තැන ලබා ගෙන තිබුණි. දෙවැනි තැන ලැබූ ඇන්ජලින්ට චිත්‍රපටයක ගී ගැයීමට අවස්ථා ලැබුණාය. චිත්‍රපටය 'සොහොයුරෝ'ය.

මුල් කාලයේ ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය වුූ ජනප්‍රිය යුග ගීත කිහිපයක් ගැයීමට ඇන්ජලින්ට අවස්ථාව ලැබිණ. ඉන් මොරිස් දහනායක සමඟ ඇය ගැයූ 'ඔන්න ඕළු මලක් නිල් දිය මත පාවෙලා' ගීතයත් 'රන් කිරිල්ලයේ ඔය', 'ඔයාගේ දුකට සැපට සිටියෙ මං තමයි', 'බලන්න ආසයි දුරයිනෙ ඉන්නේ' මේ ගීතයන් අතර ප්‍රධානය. ඇන්ජලීන්ට ගීත නාටක ගී ගයන්නට අවස්ථාවක් ලබා දුන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ඔහුගේ 'කැලෑමල්', 'නවරැල්ල' ගීත නාට්‍යයේ ද, ටී. බී. ඉලංගරත්නගේ 'හඳහන' නාට්‍යයේ ද ඇය ගී ගැයුවාය.

පී. එල්. ඒ. සෝමපාල සංගීතවත් කළ 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ ඇය විරුදු ගායනයක් ඉදිරිපත් කළේ සී. ටී. ප්‍රනාන්දු සමඟය. එහි ගීත රචනය කරුණරත්න අබේසේකරගෙනි.

'හිමේ සමන්දෙවි පිහිටෙන් හරි යයි අපි ආපු වැඩේ

ගමේ ගොඩේ ඉන්න තරම් තරුණ ගැටව් කෝපි කඩේ'

'ජෝති හා ඇන්ජලින්' යුගය තුළින් මේ දෙදෙනා ගී ගැයූ යුග ගීත අතිශය ජනප්‍රිය වීමට පටන් ගත්තේය. 'ගැහැනු ගැට' චිත්‍රපටයේ ඇන්ජි හා ජෝති ගැයූ මේ ගීතය රචනා කළේ සිසිර කුමාර මානික්කආරච්චිය. ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂවරයාය.

'ආලේ මිහිර පෙන්නා - සියොතුන් නාද දෙන්නා

ලති ගිරා - ළිහිණින් පෙම් ගී ගයන්නා

මල් පිපිලා - තුරුලිය මාරුතේ සැලෙන්නා - හෝ'

සුවිනීත ලාලනී චිත්‍රපටයේ ඇන්ජි ජෝති සමඟ යුග ගීත තුනක් හා සිඩ්නි ආටිගල සමඟ ගීතයක් ගැයුවාය. 'සුහද දිවි පිදුම' චිත්‍රපටයේ ඇය සිරිල් හියුමන් සමඟ යුග ගීතයක් ගැයුවත් වඩාත් ඇන්ජලින් කැපී පෙනුණේ කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ 'දීපශිඛා' චිත්‍රපටයේ ජෝති සමඟ ගැයූ මේ ගීත දෙකය. කරුණාරත්න අබේසේකරයන් රචනා කළ මේ ගීත දෙකෙහි සංගීත අධ්‍යක්ෂවරයා පී. එල්. ඒ. සෝමපාලය.

'මේ මෝසම් මඳ සුළඟ හමා

පවසා යන්නේ මේක තමා

ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ

සංසාරේ එන්නට ඕනෑ'

'ප්‍රේමේ දීපශිඛා හෝ කාන්ති කාන්ති නඟා

දැල්වේවි රඟා

ආලෝකේ විහිදා'

ඇන්ජලින් හා හරුන් ලන්ත්‍රා සැනසුම කොතනද චිත්‍රපටයට ගැයූ 'සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී' ගීතය ඇන්ජි ගැයූ නව ආරක ගීතයකි. කේමදාස සංගීතවත් කළ මේ ගීතයේ රචනය ධර්මසිරි ගමගේගෙනි. 'සුදු දුව' චිත්‍රපටයට ඇන්ජි හා ජෝති ගැයූ 'මේ රාත්‍රියේ මධු සඳෙන්'' හා 'ආවා සොයා ආදරේ' ගීත දෙක අතිශයින්ම ජනප්‍රිය වූහ.

ඇන්ජලින් විවාහ වන්නේ 1966 මාර්තු 29 වෙනිදාය. ගාල්ලේ බද්දේගම ලෙස්ලි ගුණතිලක සමඟය. වාහන විකුණන ව්‍යාපාරයක යෙදී සිටි ලෙස්ලි හොඳම මිතුරා වූ අසෝක විජේවර්ධන සමඟ දිනක් ඇන්ජිගේ කෝට්ටේ නිවසට ගියේය. අසෝක ඇන්ජි සමඟ පාසලේ එක පන්තියේ සිට ඇත. ඒ අමරණීය දිනය ලෙස්ලිට තවමත් මතකය.

'ඇන්ජිට ලස්සන දිග කේෂ කලාපයක් තිබුණා. අපිට තේ කෝප්ප දෙකක් පිරිනමලා ඇන්ජි හැරිලා යන කොට මම ඇයට නොරිද්දා ඇගේ වරලස ඇද්දා. ඇය එයට දැක් වූයේ ආදර හිනාවක්.

'තරුණියකගේ සිනාවටයි මල් පිබිදෙන්නේ' ඇන්ජි ගයා තිබූ ගීතය මම මිමිණුවා.

අපි ගම්පහ ඉඳිගොල්ල පල්ලියේදී නිතර හමු වුණා.

ඇන්ජි දිනක් ආප්ප කන්න ලෙස්ලිට ඇරයුම් කළාය.

එදා ඇන්ජිගේ ගෙදරට ගිය ලෙස්ලිට ආප්ප හා බිත්තර ආප්ප ඉස්තරම්ම යහමින් දමා සාදන ලද උම්බලකඩ සම්බෝලයකින් සංග්‍රහ ලැබුවත් ඇන්ජිගේ දෙමාපියන්ගේ කැමැත්ත මේ සම්බන්ධයට ලැබී නැත. නිතර හමුවන ලෙස්ලි හා ඇන්ජි නුමුහුන් ආදර ලෝකයක අතරමංව සිටියාය.

'ඇන්ජි අපි බඳිමු' ලෙස්ලි යෝජනා කළේය.

'හා අපි බඳිමු' ඇන්ජි කියා ඇත්තේ සරලවය. එහි වගකීම තේරුණේ පසුවය.

'මාව බැන්දට පස්සේ ලෙස්ලිට හරි ගියා.' ඇන්ජි නිතරම ආඩම්බරයෙන් කීවාය.

'ඇයි මං බැන්දට පස්සේ ඔයාට හරි ගියේ නැද්ද?' ලෙස්ලි පෙරළා දිනක් ඇසුවේය.

'හරි ගියා . . . හරි ගියා'

'මෙයාට හරියට කේන්ති යනවා'

'ලෙස්ලි තමයි කේන්ති ගස්වන්නේ. මම කැමති නිතරම හිනාවෙන් ජීවිතය ගත කරන්න. 'මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ'

ඇන්ජලින් අයුක්තියට කිපුණාය. එහෙත් ඇය තුළ ඇත්තේ මුදු මොළොක් හදවතකි.

'මගේ ජීවිතේට හැම දෙයක්ම දුන්නේ දෙවියන් වහන්සේ. මට ලස්සන කටහඬක් දුන්නේ දෙවියන් වහන්සේ. මගේ ජීවිතයේ අංක එක උන්වහන්සේ. අංක දෙක නිවස. මගේ සැමියා, දියණියන් දෙදෙනා, මුනුපුරු මිනිබිරියන්. මම විවේකව ගත කරන්නේ යාඥා කිරීමෙන් හා බයිබලය කියවීමෙන්' ඇන්ජි ජීවිතයේ අන්තිම කාලයේ අපට කී කතාවකි.

ඇය ෆ්ලොරිඩා, සන්ධ්‍යා, ලීනා, මාලිනී, ගීතා, සෝනියා, ස්වර්ණා කහවිට, සුමනා අමරසිංහ, කාන්ති ලංකා, අනෝජා, දිල්හානි ඇතුළු ප්‍රධාන නිළියන් වෙනුවෙන් පසුබිම් ගයා ඇත. ඒ යුග ගීත අතර ජෝති සමඟ ගැයූ ගීත සුවිශේෂය.

'ජෝතිගෙයි මගෙයි ගයන යුග ගී වෙන කාටවත් කියන්න බැහැ. එක ඇන්ජියි. එක ජෝතියි හිටියේ.'

ඇය වරෙක ආඩම්බරයෙන් කීවාය.

ජෝති හා ඇන්ජි ගැයූ 'සුදු පාට මීදුම් ගලාලා', 'ආවා සොයා ආදරේ', 'අමර පෙම් ලතාවේ, 'ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ', 'සුසුදු රුල්ල වැල්ලෙ පෙරළි', 'සිතුම් පැතුම් හද ආදරේ', 'දෝතින් දෝතයි', 'පාට පොදක් තිලකලා', 'ගිම්හානේ සඳ නිවුණා', 'හද විමන් දොරින්', 'මා ප්‍රාර්ථනා ආශාවෝ', 'මී පිරුණු සුවඳ මල්', 'සල් සපුනා', 'නුපුරුදු හැඟුමකි', 'ඉර සඳ වැඳලා', 'සොඳුරු ලොවට මල් වැහැලා' ගීත ද 'සඳ තනිවෙලා', 'සුළං කුරුල්ලෝ' ගීත ද සුවිශේෂය. මෙය අසම්පූර්ණ ලේඛනයකි.

ඇන්ජලින් ගුණතිලක යනු එක යුගයක් ප්‍රභාමත් කළ ජන ආකර්ෂණය දිනූ විශිෂ්ට ගායිකාවකි. කුමන නිළියකට ගී ගැයුව ද ඇය ඔවුනගේ අනන්‍යතාවය රිදී තිරයේ සනිටුහන් කළාය. ඇය ගැයූ ගීත පදමාලා කොළ කැබැල්ලක පවා ලියා නොගෙන අන් අයට ගායන කළ හැකිය.

සිංහල චිත්‍රපට ගීතාවලියට බටහිර ශෛලිය මුසු කළ ගායිකාව ඇන්ජලින්ය. භාරතයේ ආශා බෝස්ලේ මෙන් ඇය ඒ ශෛලියෙන් සිංහල චිත්‍රපට ගායනා පෝෂණය කළ ඇන්ජලින් පසුගියදා දෙව් මව් තුරුලට ගියාය.

ඒ. ඩී. රන්ජිත් කුමාර

Comments

Nimal perera (තහවුරු වී නොමැත)
God Bless you Anjaleen. RIP
සඳු, 04/08/2019 - 14:10

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.