හීන හතක් මැද විමනක් සැදුණයි

මඩවල සෝමලතා රත්නායක
අප්‍රේල් 11, 2019

අප වෙනුවෙන් ගේට්ටුව විවෘත කරන්නට සූදානමින් ලුංගියකින් සහ සෞම්‍ය හරිත වර්ණ සරල හැට්ටයකින් සැරසී සිටින ඇය දුටුමතින්ම මගේ මතකය අවදි වෙයි. ඇයටද එසේමය. ඇය විමසයි. ‘හොඳට මතකයි මූණ, දේවි බාලිකාද?‘ මම වාහනයෙන් බසින අතර හිස දෙපසට වනා නැතැයි සන් කරමි. යළිත් සෝදිසි බැල්මක් යොදන ඇය, ජ‘පුරද? කොළඹද? අසයි. ඒ ඇය ඉංග්‍රීසි ඉගැන් වූ සරසවි නිසාය. මගේ පිළිතුර මෙසේය. ‘මම ජ‘පුර හැබැයි මැඩම්ව අඳුනන්නේ කොළඹ කැම්පස් උගන්නන කාලේ. මැඩම් අපට විසිටිං කළා. මම ඇගේ මතකය අවදි වන්නට ඉඩ දෙමි. ඒ කතාබහෙන් වැඩිවන සුහදත්වය අපේ අරමුණ තවත් පහසු කරවන සෙයකි. ඉදින් සුපුරුදු පැනය මම අසමි.

‘යුග පුරුෂයකුට බිරිඳක වන්න මුල පිරුණේ කොයි විදිහටද මැඩම්?‘

‘අපි මුලින්ම මුණ ගැහුණෙ හුඟක් පුංචි කාලේ. ඒ කියන්නේ මම සාමාන්‍ය පෙළ කරන කාලේ මගෙ යාළුවෙක් හිටියා ළමා පිටියට ගායනා කරන. එයාගේ අම්මා මාව තමයි තනියට යවන්නේ. ඒ යාළුවා මටත් එක එක අය අඳුන්නලා දෙනවා. ඒ අතර කීවා මේ මඩවල ඒස්. රත්නායක කියලා. ඉතින් වචන කීපයක් කතා කළා මිස ලොකු ආශ්‍රයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙදි ආයෙ මුණ ගැහිලා තිබෙනවා, සාහිත්‍ය උත්සව, පොත්පත් විවේචන වගේ දේවල්වලදි.‘

ඇය මා දෙස බලයි. යමක් කියන්නට තතනා යළි නිහඬ වෙයි. මඳක් ලජ්ජාශීලී සිනාවක් පායි. මම විමසිල්ලෙන් වචනය පනිනතුර බලා සිටිමි.

‘ඇත්තෙන්ම කිව්වොත්, ටික දවසකින් මට... ලියුමක් එවනවා.‘ ඇය සිනාසෙන්නේ එදා මිතුරිය සමඟ සිනාසුණු අයුරින්ම දෙකොපුල් රතු කරගනිමිනි.

‘ඉතින් මමත් පිළිතුරක් යවනවා. හිතවත්කමට විතරයි. අපි ඉතින් පොත්පත් ගැන අදහස් හුවමාරු කරගන්නවා. හදිසියේ මොකක්හරි නාට්‍යයකට එහෙම ගිහින් ඉන්නවා නම් ඔහේ කතාබහ කරනවා.‘

මගෙන් බාධාවකි. ‘ඒ කියන්නේ තාම හිතවත්කමක් විතරයි. අනෙක නාට්‍ය බලන්න මැඩම් ආසයි?‘

‘ආසා වුණාට ටිකයි නාට්‍ය බලන්නේ මොකද අම්ම තාත්තා ඕවට ආසා නෑනේ. අපි හිටියේ කැලණිමුල්ලෙමයි. මුලින් හිතවත්කමක් විතරයි ලියුම්වල තිබුණේ. පස්සේ විවාහ යෝජනාවක් එව්වා‘ යළිත් බිම බලන ඇයගේ මුවේ මද සිනාවකි.

‘ලියුමකම?‘ විමතියෙන් යුතු මම අසමි.

‘ඔව්‘

‘ඉතින් ඒ වෙද්දි මැඩම්ට වෙන යෝජනාවක් හරි සම්බන්ධයක් හරි තිබුණේ නැද්ද?‘

‘ටික කාලයක් ආශ්‍රයක් තිබිලා ඒක නැති වුණා. එයා ඒක දන්නවා. මම විවාහ වෙන්න ඕන කියලා හිතාගෙන හිටියෙත් නෑ. ඒත් මේ යෝජනාවෙන් පස්සේ මමත් ඒකට නිකම්ම පෙළඹුණා වගේ‘

‘ඉතින් පිළිතුරු ලිපියක් යැව්වද?‘

‘හ්ම්... ඔව්.‘

‘ගෙදරින් කැමති වුණාද ලියුමට?‘

‘මම ලියුම නම් කාටවත් පෙන්නුවේ නෑ. (යළිත් කැකිරි පැලෙන සිනාවකි. ඒ අප තිදෙනාගේමය.) ඒ කාලේ වෙද්දි තාත්තා හිටියේ නෑ. ඉතින් මම නෑදෑයෙකුට කියලා හොයලා බලලා පස්සේ අම්ම කැමති වුණා. පස්සේ අපි අවුරුද්දක් විතර ආශ්‍රය කළා. අර ළමා පිටිය වගේ ගුවන්විදුලියේ වැඩසටහන්, මම පොත්පත් කියවන්න හුඟක් ආසා කෙනෙක් නිසා ඒ දේවල් නිසා මට කැමැත්තක් ඇති වුණා. අපි විශ්වවිද්‍යාලේ ඉන්දැද්දිම අක්කර පහ ගැන එහෙම විවේචන සාකච්ඡා වැඩසටහන්වලට සහභාගී වුණා. මමත් කලින් නොදැකපු පැති ගැන සාකච්ඡා වුණා. මම පොඩි කාලේ අඳුනන නිසා එදාත් කතා බහ කරලා ගියානේ. අනෙක ඩොක්ටර් සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු කරනවා බලන්න මමත් යාළුවත් එක්ක ගියානේ. ඒ අවස්ථාවලත් දැකල කතාකරලා තිබුණා.‘

‘සරච්චන්ද්‍ර මහත්තෙලෑ ගෙදර ගිය එකේ රඟපාන්න හිතුවේ නැද්ද?‘

‘ඇත්තෙන්ම මම හරි ආසයි රඟපාන්න. ඒත් සින්දු කියන්න බෑනේ. පොඩි කාලේ ඉස්කෝලෙදිත් මම හරියට නාට්‍යවල රඟපාලා තියෙනවා. මම ඇත්තටම යන්න ගියෙත් පෝස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලෝමා ඉන් ඩ්‍රාමා කියල පාඨමාලාවකට. ඒත් මං ගැන වගේම දුර දකින්න පුළුවන් අය මාව තල්ලු කළේ ඉංග්‍රීසි පැත්තට. මගේ නම එතනින් කපලා ඉංග්ලිෂ්වලට දාලා දුන්නා. ඒත් ඩ්‍රාමාවලට මම හරි ආසයි. ඒත් ගායනා කරන්න බැරි නිසා ඉදිරිපත් වුණේ නෑ‘ ඇගේ අවංක ප්‍රකාශයෙන් කම්පා වුණු මට නිතැතින්ම කියැවුණි.

‘ඉතින් මැඩම් ඉංග්ලිෂ් ඩ්‍රාමා කරන්න තිබුණනේ.‘

‘මම ආසා සරච්චන්ද්‍ර මහත්තෙලෑ ක්‍රමේ නාට්‍යවලට. මම උපාධියට කළේ පාලි වගේ භාෂා නේ. අනෙක ඩොක්ට සරච්චන්ද්‍ර අපේ සර්නේ. කොහොම හරි අපි විවාහ වුණා 1963 විතර. අපි අපේ ගෙදරම හිටියා. එයා ගුවන්විදුලියේ වැඩකරමින් තරුණ බෞද්ධ සංගමේ නැවතිලා හිටියේ ඒ වෙද්දි.‘

මම කතාවේ පැටලුම් ලිහා ගැනීම සඳහා මුල සිට විමසමි. මුලින්ම ඇගේ කුඩා කාලයයි

‘මම මිරිඤ්ඤගේ දෝන ලිලියන් සෝමලතා.‘

ඈ. මැඩම්ටත් මඩවල එස් රත්නායක කියලම කියන්න පුළුවන්, සිරිසේන වෙනුවට සෝමලතා දාලා. මඩවල සෝමලතා රත්නායක මහත්මිය පහන් සිතින් සිනාවක් නැඟුවා පමණි.

‘අපේ අම්මා ගොවි පවුලක කෙනෙක්. තාත්තා උළු ගඩොල් කර්මාන්තය කළේ. මම පොඩි කාලේම අම්මගේ මල්ලි මාව තලවතුගොඩ එක්කන් ගියා. ඒ කාලේ ගොවි ජනපදයක් ඒ පැත්ත. සපත්තු නොදා වෙලේ දුවන්නේ. ඉස්කෝලෙ යන්නේ. මම පුංචිම කාලේ ගියේ කොටිකාවත්තේ ඉස්කෝලෙකට. මම තුනේ පන්තියෙදි ඉස්කෝලෙ මහත්තයා මට කියනවා ඔයා ඔය පැත්තෙ ළමයින්ගෙන් පාඩම් ගන්න මම මේ පැත්තෙන් ගන්නකම් කියලා. මම ගුරුවරියක් වුණේ තුනේදි. (සිනාසේ) පාඩම් නැති ළමයි දැක්කාම මහත්තයා මෙයාට පාඩම් නෑ කියලා කෑ ගහනවා. අපේ තාත්තා මට හොඳට ඉගැන්නුවා ගෙදරදි. (ඇයගේ පියාණන් වෙනුවෙන් නැඟුණු සෙනෙහස සුසුමක් ලෙස අපට දැනිණි) ටික කාලෙකින් මාමලාට මාව එහෙන් එවන්න බෑ කියලා හිතුණා. ඒ ඉස්කෝලෙත් ඉංග්‍රීසි නෑ. තාත්තාට ඕනැවුණා මාව කොහොම හරි කොළඹ ඉස්කෝලෙකට දාන්න. කොළඹ නැන්දාගේ ළමයි හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන නිසා ඒ වගේ කරන්නයි ඕන වුණෙ. ඒ නිසා මියුසියස් විභාගෙට තිබ්බා. ඒත් මට නම ලියනවා ඇරෙන්න මෙලෝ ඉංග්‍රීසියක් තේරුණේ නෑ. පස්සේ පොඩි ක්‍රිස්තියානි ඉස්කෝලෙකට දැම්මා. ගෑනියෙක් ඉස්සරහ කවදාවත් නැවෙන්නෙ නැති අපේ තාත්තා මාව ඉස්කෝලේ දාන්න ‘අනේ නෝනා, කිසි ඉංගිරිසියක් බෑ නෝනා‘ කියලා දෙකට තුනට හතරට නැවුණා. ඒ නෝනා ආ හරි හරි එයා ඉගෙන ගනී ඔයා යන්න කීවා. ඉතින් ඇත්තටම මම ඉගෙන ගත්තා. අපිව වෙන පන්තියකට දාලා ඉංග්ලිෂ් මීඩියම් දැම්මා. දෙවැනි වාරෙ වෙද්දි පන්තියේ දෙවැනියා. පස්සේ දේවි බාලිකා පටන් ගනිද්දි ඒකට දැම්මා තාත්තා. එහෙම තමයි විශ්වවිද්‍යාලෙට ගියේ.‘

‘එතකොට මඩවල මහත්තයා?‘ මම ඔහුගේ කුඩා කල ගැන අසමි.

කෑගල්ලේ උන්නා මේගොල්ලන්ගේ ඥාති පුංචිඅම්මා කෙනෙක්. යම් උත්සවයකදි ඒ පවුල මේ පවුලට මුණ ගැහුණා. මඩවලලෑ ගමේ ඉඳන් පයින් යන්නත් අමාරු තරම තිබුණු හුම්බුළුව විද්‍යාලයට ගිය මෙයාට අර කෑගල්ලෙ ඉස්කෝලෙ යන ළමයින්ගේ හැසිරීම, කතාබහ, දැනුම බොහෝම නාගරීකරණය වෙලා කියලා තේරුණා. ඉතින් අම්මට කීවලු මටත් එහේ යන්න ඕනා කියලා. පුංචි අම්මා ලියුමක් එව්වලු ඒ ඉස්කෝලෙට යන්න පුළුවන් හැබැයි ඇඳුම් සපත්තුවලට එහෙම රුපියල් 50ක් විතර වියදම් වෙනවා කියලා. ඒගොල්ලන්ගේ ගෙදර බෝඩර්ස්ලාත් ඉන්න නිසා ඉන්නත් පුළුවන් කීවලු. ඒත් ඒ කාලේ ඒ ගාණ ලොකු මුදලක්. තාත්තා ගොවියෙක් වගේම ගමේ වෙද මහත්තයා. ඒත් වෙදකම් කළේ මුදලට නෙවෙයිනේ. ඉතින් මුලින් මුදල් හොයාගන්න බැරි නිසා පසුබට වෙලා පස්සේ කොහොම හරි යාගන්න පුළුවන් වෙලා. එතැනින් තමයි එයා සාහිත්‍ය ලෝකයට විවර වෙලා තියෙන්නේ. ගමේ ඉස්කෝලේ උන්නට එහේදි කවියක් ලිව්වා කියලවත් සඳහනක් නෑ, කොල්ලොත් එක්ක වතුර වළවලයි, ගඩාගෙඩි කඩ කඩායි හිටපු කාලයක් තිබිලා තියෙන්නේ. කෑගලු විද්‍යාලයට ඇතුළු කරන්න මෙයාව එක්කගෙන පවා ගිහින් තියෙන්නේ මෙයාට වඩා පොඩි මල්ලි කෙනෙක්. එච්චර දැනුමක් තියෙනවා ඒ ළමයින්ට. ගමේ ජ්‍යෙෂ්ඨ විභාගෙට පාඩම් කරන කාලේ මෙයාව ගෙනිච්චාම කෑගලු විද්‍යාලයේ 4 පන්තියටලු දැම්මෙ. සිංහල විතරනේ දන්නේ. ඒ වයසෙ ළමයි තව ඉඳලා තියෙනවා.‘

‘කොයි තරම් වෙනසක්ද එදා ඉඳන් අද දක්වාම මේ අධ්‍යාපන ක්‍රමයේ‘ මට කියැවේ.

‘ඔව්. අපේ ඉස්කෝලවල නියම ක්‍රම අනුව ඉංග්‍රීසි උගන්වන්නේ නැති කමේ ප්‍රශ්නෙ තමයි අදටත් තියෙන්නෙ. ඉතින් කොහොම හරි මෙයා හතරේ ඉඳන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ඇතිනේ. හැබැයි මුළු කාලෙම අධ්‍යාපනේට යෙදෙව්වද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. මොකද එතන පොත් පත් තියෙනවා. පත්තර එනවා. කවි, කෙටි කතා ඒවායේ තියෙනවා. අධ්‍යාපනයේ ඉහළට යන්න කියලා අනුබල දෙන්න අම්මා තාත්තා ළඟත් නෑ. මෙයාගේ සාහිත්‍ය ලෝකෙට දොර ජනෙල් හොඳටම ඇරිලා. කඩමණ්ඩියේ පත්තර සල්ලි දීලා ගන්න ඕන නෑ. කියවලා තියලා යන්න පුළුවන්. දැන් මෙයාටත් ඒවාට ලියන්න හිතෙනවා. මොනවද ලියන්නේ තදින්ම ප්‍රේමය පිළිබඳ දේවල්. මෙයා යවන කවිත් දැන් පත්තරවල පළ වෙනවා. හැබැයි අධ්‍යාපනය ටිකක් කඩාකප්පල්. ඒත් ඉංග්‍රීසියෙන් ඕලෙවල් පාස්වෙලා. හැබැයි ඒ ලෙවල් වෙද්දි, අර පුංචි අම්මාගේ ලොකු දුව විවාහ වෙලා හිටියා හොඳ ලෙක්චරර් කෙනෙක් එක්ක. ඒ මහත්තයා මෙයාට හරි ආදරේ නිසා නුවර එක්කගෙන ගිහින් සෙන් සිල්වෙස්ටර් කොලේජ් එකට දාලා. එතනත් මොනවද කළේ ඉස්කෝලෙ යන්න බස් එක එනකල් තියෙන පැය බාගෙත් පත්තර කියවලා. එතකොට දැක්කලු දිනමිණ පත්තරේ කර්තෘ මණ්ඩලයට පුරප්පාඩුවක්. ඒපාර පත්තරේ ගත්තලු සල්ලිවලට. අර අය්යටත් පෙන්නලා. ඒ අය කැමති වෙලා නෑ වැඩිදුර ඉගෙන ගන්නේ නැතුව ඕවට යනවාට. ඒත් මෙයා ඉල්ලුම්පත්‍රයක් දාලා. 1950 ලේක්හවුස් එකට ඇවිත්. 1952 දීපව්‍යාප්ත කෙටිකතා තරගෙන් පීතර මාමා කියන කෙටි කතාව දිනලා. ඊටත් කලින් 1946 ප්‍රේමය ගැන කවිපොතක් ලියලා මුද්‍රණය කළා පෙම් අමා කියලා. හැබැයි එයාටත් ඕනවෙලා හෙව්වා කොහේවත් නෑ ඒක හොයාගන්න. ලේක්හවුසියෙන් ලංකාදීපෙට එතනින් 54දි ගුවන්විදුලියට නිබන්ධක සම්පාදකවරයෙක් හැටියට බැඳුණා. ඔහොම ඔහොම දිගටම ඒ ගමන තමයි ගියේ. මට වඩා අවුරුදු නවයක් වැඩිමල්නේ. ඒ නිසා තමයි අර යාළුවත් එක්ක ගුවන්විදුලියෙදි දකින්න පුළුවන් වෙන්නේ.‘

මට පැනයකි. ‘දැන් දෙන්නාගේ අධ්‍යාපන මට්ටම් ගැන මැඩම්ට හරි මඩවල මහත්තයාට හරි හිතුණේ නැද්ද?‘

‘නෑ. මට ඒක එච්චර හිතුණේ නෑ. මම විශ්වවිද්‍යාලයට ගිහින් බීඒ කියලා අකුරුදෙකක් දාගත්තට ඊට වඩා ගුවන්විදුලියේ වැඩසටහන් කරන්න පුළුවන්, පොත් ලියන්න පුළුවන්කම කොච්චර ලොකු දෙයක්ද කියලයි මට හැමතිස්සෙම හිතුණේ.‘

‘ඉතින් මැඩම්ටත් ලියන්න පුළුවන් ඇතිනේ‘

සිනාසී.‘ මම එච්චර ඒවාට ගියේ නෑ. ළමා පොත් දෙකක් නම් මුද්‍රණය කළා එච්චරයි.‘

‘විවාහයෙන් පස්සේ මැඩම්ගේ උදව් අදහස් එහෙම ගන්න ඇති මඩවල මහත්තයා‘

‘එච්චරමත් නෑ. හැබැයි මම පාලි කරපු නිසා අර ථෙරිගාථාවල කතාව අරගෙන ගීතනාටක වගයක් එහෙම කරද්දි ඒවායේ විස්තර මම කියලා දුන්නා. අනෙක් ඒවාට මම සම්බන්ධ වුණේ නෑ. තනියම කල්පනා කරලා තමයි ලියන්නෙ. ප්‍රින්ට් කරන්නත් දුන්නට පස්සේ සෝදුපත් බලන්නේ මමනේ. ඒත් ඒ වෙද්දි අදහස් කියලත් වැඩක් නෑ කියලයි මට හිතුණෙ. හැබැයි සමහර ඒවායේදි අඩුපාඩු පෙන්නලා දීලා තියෙනවා. අනෙක සිංහල ව්‍යාකරණ දන්නෙත් නෑනේ එයා ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන නිසා. ඇත්තම කීවොත් ඉංග්‍රීසිත් හරියට බය නැතුව පාවිච්චි කළේ නෑ. සිංහල ව්‍යාකරණත් දුර්වලයි. හැබැයි නිර්මාණ අතින්... ‘ ඇය ඉතිරිය කියන්නේ දෙබැම ඉහළට නඟා ඉහළ මට්ටමක බව ඉඟිකරමිනි.

‘මාව හම්බෙද්දි බුදු හිනාව, නොමළ මල්, සිතනැති බඹලොව, මාර යුද්ධය කවිපොත, වැහි වලාකුළු වගේ පොත් කීපයක්ම කරලා තිබුණා. මම ඒවා ඔකකෝම බඳීන්න කලින්ම කියවලා තියෙනවා.

‘අවුරුදු 34ක විවාහ ජීවිතයක්?‘

‘අපි හරිම මිහිරි විවාහ ජීවිතයක් ගත කළේ. නාට්‍ය බලන්න යනවා. සාහිත්‍ය උත්සවවලට යනවා. මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙද්දිම ගුරුවරියක් ලෙස කටයුතු කළානේ. එයාගේ යාළුවෝ වෛද්‍ය නන්දදාස කෝදාගොඩ වගේ අය මුණ ගැහෙනවා. මට ඉතින් ඒක හරි වටිනවා. හරි ලොකු තෘප්තියක් මට. අපට මුලින්ම දුවක් ලැබුණා. ඊටපස්සේ නිඹුල්ලු. ඒ එක්ක මට විවේකය ටිකක් අඩු වුණා. ජීවිතය තරමක් සංකීර්ණ වුණා. හතරවෙනියාත් පුතෙක්. හැන්දෑවට කෑම කාලා එහෙම ටිකකින් කෝපි බොනවා දරුවො ඔක්කෝම එක්ක. මොන වැඩ තිබුණත් ඒ කෝපි කතා, විහිළු තහළු කියනවා. සාමාන්‍ය දේකින් පටන්ගෙන ළමයින්ට ගැඹුරු දෙයක් දැනෙන්න කියනවා. රෑට ලියන්න තිබුණත් එහෙමයි. ඒත් හදිසි සින්දුවක් එහෙම ලියන්න තිබුණොත් ඉක්මනට කෝපි එක බීලා මිදුලේ හිමින් හිමින් මුමුණ මුමුණ ඇවිදිනවා. එතකොට අපි දන්නවා හදිසි වැඩක් කියලා කතා කරන්න යන්නේ නෑ. වැඩ බහුල වුණාමත් අපට පිහිට වෙන්නේ ඩොක්ටර් කෝදාගොඩ. සතයක් නොගෙන බෙහෙත් කරන්නෙ. ෆාමසියට ගියාම අපට වියදම වැඩියිනේ. ළමයි හතරක් එක්ක අපට මිලමුදල් ප්‍රශ්නත් ටිකක් ආවා. මොකද එයත් මුදල් පස්සේ ගියේ නෑ. ගීත ලියලා හම්බ කළාද නම් මම දන්නේ නෑ. එයාට ඕන ලියලා දීලා ඒක ප්‍රචාරය වන එකයි. මුදල නෙවෙයි. 1965 වසරේ හොඳම ගීත රචකයා සරසවිය සම්මානය ලැබුවා. මට මතක විදිහට ගැටවරයෝ චිත්‍රපටයට. ඒ වගේ සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. ඒත් ඒවා ගැන වැඩිය හිතුවෙත් නෑ.

අපි හැම මාසෙම ගමේ යනවා අම්මලා තාත්තලා කන්න ආසා දෙයක් අරගෙන. ඒ ගියාම අපිට හාල් ගෝනි ලැබෙනවා. ඒවාත් පටවගෙන එනවා. මෙහෙ ඉඳගෙන අපි වගාවන් ගැන හිතුවේ නෑ. එයාට ලැබුණු සමහර ඉඩම් පවා දරුවන්වත් වගා කරන්නේ නෑනෙ.

දරුවෝ ලැබුණට පස්සේ අපි කෑමට බීමට ඇඳුම් පැලඳුම්වලට එහෙම බොහොම සරලව තමයි වියදම් කළේ. ඒත් යාළුවෝ ආවාම එයා ගිහින් මස්මාළු ගෙනත් උයනවා. ඒවා මට දෙන්නේ නෑ උයන්න මොකද මම ඒවා කන්නෙත් නෑ උයන්න දන්නෙත් නෑ. ඉතින් මම යාළුවන්ටත් කියනවා එයා තමයි මේවා හැදුවේ කියලා. හැබැයි මට නම් උයලා දීලා නෑ. ඒත් මම එම් ඒ එක කරන්න ගත්තාම පළමුවැනි සෙනසුරාදා උදෙන්ම නැඟිටලා උයලා පිහලා ගියා. දෙවැනි සෙනසුරාදාත් නැඟිට්ටා. ඒපාර මට කිව්වා මම උයන්නම් ඔයාට කන්න දෙයක් අරගෙන යන්න කියලා. මට ඉතින් ඒක හරි සැහැල්ලුවක්. මම එද්දි ළමයින්ට කවලා පොවලා ඔක්කොම කරලා තිබුණා.‘

‘මැඩම් දිගටම ඉහළට ඉගෙන ගන්නකොට?‘

‘එයා හරි කැමතියි. එයාට ඒ හීනමානේ තිබුණෙ නෑ. හැබැයි මාව පෝස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලෝමා කරලා වත්තලටද කොහෙද දැම්මාම මම හැමදාම උදේට නැඟිටලා මහන්සිවෙනවා දැක්කාම කීවා ඕක තමයි ඕනවාට වඩා ඉගෙන ගත්තාම වෙන්නෙ කියලා.‘

‘ඇඳුම් පැලඳුම් එහෙම?‘

‘මඟුල් ගෙවල්වල එහෙම යද්දි කෝට් එක අරගෙන යනවා අනිත් අය දාලා නැත්නම් එයාත් දාන්නේ නෑ. ඇත්තෙන්ම කෙනකුට ආත්ම ශක්තිය තියෙන්න ඕන තමන්ගේ ඇඳුම් පැලඳුම් අනෙක් මත වෙනුවෙන් පෙනී හිටින්න. ඇඳුම ශීලාචාර නම් එච්චරයි. අපේ රටේ කෝට් අවශ්‍ය නෑනෙ. එයාගේ ඇඳුම් ගත්තේ එයාමයි. මම මුලින් සාරිය ඇන්ඳෙ. ඒත් පස්සේ එයා වචනෙන් නොකීවාට සියුම්ව ඔසරියේ ලස්සන කීවා. ඉතින් මම ඒකට මාරුවුණා.‘

මඩවල මහත්තයාගේ නිර්මාණවලින් වඩාත් කැමති ක්ෂණිකව මතකයට එන නිර්මාණ තියෙනවාද?

‘අර අනංගයාට කියන්නෙ... මින්දද හීසර තව අර සිටු කුමරියට කියන්නේ මොකක්ද තණ්හා ආශා ඔලගු කරේලා ඒවා හරි අර්ථවත්. අක්කර පහ වගේම නිල්මල් විලත් ගැමි ජීවිතය ගැන. අක්කයි මායි වුණත් ගැමි බව හොඳට පෙන්නුම් කරනවා. ළමයි විශ්වවිද්‍යාල මට්ටමට ගියාට පස්සෙ අපි දෙන්නා ගෙදර ඉස්සරහ පිල් කණ්ඩියට වෙලා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවා. හිත බර වැඩියි කතාකරන්න. එතකොට චීන ගුවන්විදුලියේ උපදේශකකමින් සර්වෝදයෙන් එහෙමත් විශ්‍රාම ගිහින්. එයාට ලොකු උවමනාවක් තිබුණා නොයෙක් ගීත ලියලා අමරදේව එක්ක ඒවාට සංගීතය යොදන්න. ඒත් බැරි වුණා. ඒක නම් අපරාදෙ කියලා මටත් හිතෙනවා. ඒ දෙන්නගෙම හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තිබුණු අවස්ථාව. එයා සම්පූර්ණ ගැමියෙක් බවට පරිවර්තනය වුණා ආයෙමත්. කජු පුච්චනවා කපනවා. එක එක දේවල් වගා කරනවා. දුව පේරාදෙණියේ ගියා. පුතාලා ලංකාවේ විශ්වවිද්‍යාලවලට යනවාට මම කැමති වුණේ නෑ. ඒ තුන්දෙනාම පිටරට යැව්වා. මෙයා චීන ගුවන්විදුලියේ ඉන්නකාලේ වෛද්‍ය පරීක්ෂණයකදි බඩේ මොකක්ද පොඩි දෙයක් තියෙනවා කියලා ඔපරේෂන් කරන්න අහලා තියෙනවා. ඒත් මෙයා කැමති වෙලා නෑ. මට දැන් පසුතැවීමක් තියෙනවා ඒකට උනන්දු කරවන්න බැරි වුණ එක ගැන. මෙයා ලංකාවට ඇවිත්ම බලන්නම් කියලා හිටියානේ. ඒත් මෙහෙදි එහෙම දෙයක් අහු වුණේ නෑ. අන්තිමට පිළිකාව හොඳටම වැඩි වුණාම තමයි අපි දැනගත්තේ. දවසක් ඩොක්ටර් කෙනෙක් අත අල්ලලා මේ මොකක්ද කියලා ඇහුවා ලොකු ගැටයක් අහුවුණාම. පස්සේ කීමො තෙරපි කළා ඒ දේවල්වලින් හරියට දුක් වින්දා. ඒ බෙහෙත දෙනකොට වාඩිවෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මට හිතෙනවා මොනවද මෙයා හිතනවා ඇත්තේ. මේ එන බෙහෙත් බින්දුවෙන් බින්දුව මගේ ලෙඩේ සුව වෙන්න ඕන කියලා හිතනවා ඇති කියලා මට හිතෙනවා.‘ඇය ධෛර්යවත්ව එය කීවද හඬෙහි මතුවන සියුම් වෙව්ලීම ආදරණීය බිරිඳක සිය ස්වාමි පුරුෂයාගේ අවසන් දින කීපයේ වේදනාව පිළිබඳ කතා කිරීමට දරන වෑයම පසක් කරයි.

අන්තිම දවසේ රෝහලේ හිටියේ. ගුණරත්නම් කියන වෛද්‍යවරයා දන්නවා මෙයා පොත් එහෙම ලියනවා කියල. ඒ නිසා මට අවසර දුන්නා පිරිමි වාට්ටුවේ මෙයාගේ ඇඳ ගාව ඉන්න. විශ්වවිද්‍යාලයේ වැඩ ඇරුණාම මම පුළුවන් තරම් එයා ගාව හිටියා. අන්තිම මෙහොතේ පුතා තමයි කීවේ. ඒ වෙද්දි ළමයින්ටත් තේරුම්කරලා දීලා අපි සූදානමින් හිටියේ. ඒ නිසා උහුලගන්න බැරිතරම් කම්පනයක් වුණේ නැතුවට තිත්තරහක් වගේ එකක් තිබුණා මේ ලෙඩේම හැදුණා නේද කියලා. ඒත් දැන්නම් මම බෞද්ධ දර්ශනය පිළිබඳ යම් අවබෝධයක් ලබාගෙන ඉන්න නිසා ශරීරය කෑලි කෑලිවලට කඩලා බලද්දි ඇති දෙයක් නෑ කියලා හිතෙනවා.

‘මැඩම්ට අද මොකද හිතෙන්නේ මේ යුග පුරුෂයාගේ බිරිඳ වීම ගැන?‘ කතාවට නිමාවක් සොයමින් මම අසමි.

‘ඒ වගේ ලියන්න පුළුවන් වීම ලොකු කුසලතාවක්නේ හැම දෙනාටම පිහිටන්නේ නැති. එයා තෝරාගෙන ගිය පාර කොච්චර විශාල ගමනක්ද කියලා මට හිතෙනවා. අපි දෙන්නම එකතුවෙලා දරුවන් මට්ටමකට ගෙනාවා. විවාහ ජීවිතයේ තෘප්තිය අපි ලැබුවා. අද හිටියා නම් එයා අපහසුවෙන් ඉඳීයි. මට 81ක් නිසා එයාට 90ක් වෙයිනෙ. ඒත් මගේ සියලුම අත්දැකීම් සහ ධර්මාවබෝධය ලැබුණාම මට හිතෙන්නේ පුළුවන් නම් කෙනෙක් අවිවාහකව ඉන්න තරමට හොඳයි. පැවැත්ම සඳහා අපි කරන රැකියාවෙන් ලෝකයට සමාජයට යහපතක් කරන්න ඕනා. ඒත් කසාදයකදි සැමියා ගැන, දරුවන්, දරුවන්ගේ දරුවන් ගැන ඇල්මක් ලියලනවානේ. එය මුලින්ම කපාගන්න පුළුවන් අවිවාහක අයට. ඊටත් එහා යන්න නම් මේ පොදු තැන්වල නෙවෙයි ඊට වඩා සුදුසු තැනක මහනදම් පුරන්න පුළුවන් නම් තමයි හොඳ. එතකොට අපට සංසාර ගැටවලින් ලෙහිලා මිදෙන්න පුළුවන්. මට එයාව මතක් වෙනකොට ගමේ ගිහින් කතාබහ කරලා එනවා. ඉතින් ඇල්ම කොච්චර පරම්පරාගත වෙනවද කීවොත් ඒ ගමේ ඉඳන් මගේ ඉස්කොලෙට එන මිනිබිරියක් ගැන මම හරි උනන්දුයි. (සිනාසී) ඒ ගතිය නැති කරගන්නයි උත්සාහ කරන්න ඕනා. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.