දරුවන්ට කියවීමේ රුචිය ඇති කළ යුත්තේ වැඩිහිටියන්

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක
මැයි 9, 2019

සිව් යහළු වික්‍රමයක් ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකයන්ගේ පළමුවෙනි යොවුන් නවකතාවයි. 1972 වැලි කතරින් හමු වූ ගැහැනියක් නවකතාවේ සිට මේ දක්වා අඩිසියවසකට ඉතා ආසන්න කාලයක් පුරා විවිධ නිර්මාණ සහ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති මෙන්ම රෑ ඉර පායා, ආදර නිලූ, කඩියා, අමරගිර, දුහුල් මලක් වුණේ ඇයි නුඹ මට වැනි නවකතා, රාග ගිනි, විරාමය යළි පැමිණ ඇත, මහා පුරුෂ වැනි කෙටිකතා, සිංහල පුවත්පත් වෙළෙඳ දැන්වීම් ආරම්භය හා විකාශනය වැනි ජන සන්නිවේදනය හා අලෙවිකරණය පිළිබඳ පාඨ ග්‍රන්ථ මෙන්ම වන බඹරු වැනි චිත්‍රපට තිර නාටකද සමඟ සිය රසිකයන් හමු වූ ඔහු සිව් යහළු වික්‍රමයක් මඟින් නව මාවතකට ප්‍රවේශ වී තිබේ. එයට හේතුව මෙන්ම ඔහුගේ නිර්මාණ ජීවිතයේ අත්දැකීම් ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක සරසවියට හෙළි කළේ මේ අයුරිනි.

ඔබ සිව් යහළු වික්‍රමයක් වැනි යොවුන් නවකතාවකට යොමු වුණේ?

ඇත්තටම යොවුන් නවකතාවකට වස්තු බීජය ලැබුණේ අපේ පැරැණි ප්‍රකාශන මිතුරකු වන පියසේන වික්‍රමගේගේ ඉල්ලීමකට අනුවයි. අවුරුදු 12න් 14න් ඉහළ හොඳීන් ලියන්න කියවන්න පුළුවන් දරුවන්ට ආදර්ශයකුත් රසයකුත් සමඟ කියවීමේ රුචිය ඇති පොතක් කරන ලෙස ඔහු මට කීපවරක්ම කීවා. ඒත් මෙය මට අමතර වගකීමක්. මොකද තේමාව, භාෂාව, ආකෘතිය, සිදුවීම් ඔස්සේ හරවත් පණිවිඩයක් ළමයින්ට දීමේදී සිතීමට ඇති සීමා වැඩියි. ඒ නිසා මට මෙය මගේ සුපුරුදු වේගයෙන් ලියන්නත් බැරි වුණා. ඒ නිසාම ටික කාලයක් ගත වුණා පොත මුද්‍රණයෙන් පිට කරන්න.

මේ වස්තු බීජය ඔබ සොයා ගත්තේ?

මේ යුගයේ මත් ද්‍රව්‍ය ප්‍රශ්නය පාසල් ළමයින්ට විශාල ගැටලුවක්. නිල නොවන මත් ද්‍රව්‍ය වගේම පිටරටවලින් ගෙන්වන මත්ද්‍රව්‍ය වර්ගත් තිබෙනවානේ. විවිධ නම්වලින් හඳුන්වන මේවා කොළඹ අවට පමණක් නොවේ ගම්බදවත් දැන් දැන් පැතිර ගිහින්. මෙය ජාලයක් වගේ ක්‍රියාත්මක වන බව මම විවිධ පුවත් ඔස්සේ කලින් දැනගෙන හිටියා. ඉතින් යොවුන් නවකතාවක් ලියන්න කීවාම මට හිතුණා මේ කාලීන මාතෘකාව හොඳයි කියලා. ඒ වගේම නව යොවුන් වියේ දරුවන් රහස් පරීක්ෂක කටයුතු වගේ දේවලට හරි කැමතියිනේ. ඒ නිසා යහළුවන් හතර දෙනකු එකතුවෙලා ගමේ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට කොටු කර දෙන ආකාරය මම ලියන්න හිතුවා.

මෙය සම්පූර්ණ පරිකල්පනයක්ද?

නැහැ. අපි කියමුකෝ සියයට පණහක පමණ පරිකල්පනයක් කියලා. මොකද මේ කතාවේ එන නම් ගම් විස්තර කිරීම් වයඹට අදාළ වුණාට මෙයට වෙනත් ප්‍රදේශයක එවැනි වැටලීමක් ඇසුරු කරගන්න මට තොරතුරු තිබුණා.

ඔබ කීවා සාමාන්‍ය වේගයෙන් ලියන්න බැරි වුණා කියලා. මොකක්ද ඔබේ සාමාන්‍ය වේගය සහ ක්‍රමය?

මම සාමාන්‍යයෙන් ඕනැම කතාවක චරිත ගොඩනඟද්දී ඒ ඒ චරිතවලට වෙනම ලිපිගොනුවක් සකසනවා. මගේ යම් නවකතාවක් ගත්තොත් ඒකේ එන ගෙවල්, කුඹුරු, පොල්වතු, පාරවල් තැපැල් කන්තෝරු ඒ එකිනෙකට ඇති දුර, එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්න යන කාලය, මේ සියල්ල පිඹුරු පතක සටහන් කරනවා වගේ සකස් කරලා ලිපි ගොනුවේ තිබෙනවා. එතකොට මට චරිත ගොඩ නඟන්න, පරිසරය විස්තර කරන්න අවස්ථා සම්බන්ධය සමඟ කාලය කියන්න හරි ලේසියි. මෙය මා විසින්ම ගොඩනඟාගත් ක්‍රමවේදයක්. කෙටි කතාවලට පවා යම් තරමක ලිපිගොනුවක් තිබෙනවා. ඒවා මුලින් වේගයෙන් ලියද්දි මගේ අකුරු ඇදිලා යන නිසා දෙවැනි වර පැහැදිලි අකුරින් ලියලා තමයි පරිගණක යතුරුලියනයට දෙන්නේ. ඒත් මේ පොත ලියද්දි සාමාන්‍යයෙන් දිනකට ලියන පරිච්ඡේද ගණන අකුරු කැතට ඇදිලා යන වේගයෙන් ලියන්න බැරි වුණා. අනෙක මේ කතා ආකෘතියේ සංවාද වැඩියි. ඒවා වත්මන් පාසල් ළමයින් සෙල්ලම් කරන අතරතුර කරන කතාබහට සමානයි. ඒවා නිසි අයුරින් සකසද්දි කාලය ගත වෙනවා.

ඔබ බැංකු නිලධාරියකු නිසාද එවැනි ලිපි ගොනු ක්‍රමයකට යොමු වුණේ? කාල කළමනාකරණය ගැන බොහෝ සෙයින් පොතේ කතාවෙන්නේ? අනෙක ඔබේ කතාවල වයඹ පළාත වැඩිපුර යෙදෙන්නේ වැඩි කලක් ඒ පෙදෙසේ සේවය කළ නිසාද?

ඔබ හරි. කාල කළමනාකරණය වගේම මානව කළමනාකරණය පිළිබඳ යම් අදහසක් මේ පොතෙන් මම ගේනවා. ඒ වගේම මට ඇත්තෙන්ම වයඹ පළාතෙන් බැහැර වෙන්න බැරි වෙලා තිබෙනවා තමයි. ඒ මගේ හිත ඒ පෙදෙසට ගිහින් නිසා. මගේ කතාවල වුණත් දකුණේ ඉපදුණු චරිත පවා පසුව වයඹට ගෙනගොස් ගොඩ නඟන ගතියක් තිබෙනවා. මම බැංකු රැකියාව කරන කාලේ වයඹ ගම් දනව් පුරා විසිත්ත කිරීම්වලට යන්න සිදු වුණා. ඒ නිසා ඒ පැත්ත කටපාඩම්. අත්තෙන්ම කීවොත් කරක්ගාපු තරමටම මම ඒ පැත්තට ආසයි.

මා දැක තිබෙනවා ඔබ සටහන් පොතක් තබාගෙන ඉන්නවා?

ඔව්. යාළු මිත්‍ර සංගම්වලදි, ඇතැම් විනිශ්චය මණ්ඩලවලදි කවුරුන් හෝ කියන විහිළු කතා ආදිය මම ඉතා කෙටියෙන් සටහන් කරගන්නවා. ඒවා මගේ නිර්මාණවල අවශ්‍ය වෙලාවට යොදා ගන්න මට ඒ නිසා හැකි වී තිබෙනවා.

සිව් යහළු වික්‍රමයක් පොතේ යටින් දුවන දේශපාලනයක් තිබෙනවා?

මේ කතාව යොවුන් නව කතාවක් වුණත් දෙමව්පියන් පවා මෙය කියවනවා. මට ලැබෙන දුරකථන ඇමතුම්වලින් ඒ බව වැටහෙනවා. පන්සල් වැනි ආගමික ස්ථානවල පැල් බැඳගෙන සුදු ඇඳගෙන ඉන්න අතර හොර ජාවාරම් කරන පිරිස් සිටින බව මෙයින් හෙළි කරනවා. බොහෝ පිරිසක් ඒ පෙනුමට හැමදාම රැවටෙනවා. ඒවා දේශපාලනික කාරණා. ඒ වගේම ඒ කටයුතු අල්ලා දීම ඔත්තු සේවයක් හා සමානයි. අද රටේ සිදුවන දේවල්වලදී පවා දරුවන් වුණත් යම් අවධානයකින් පසුවෙනවා නම් හොඳයි. ඒ වගේම පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳවත් හොඳීන්ම තොරතුරු ලැබෙන්නේ දරුවන්ට. ඒත් ඔවුන් ඒ රහස් කියන්න බයයි. එහි ඇත්තකුත් තිබෙනවා. ඒත් ටිකක් කල්පනා කළොත් මේ වගේ ක්‍රමවලින් රටේ අනාගතයට යහපතක් වන පියවරක් ගන්නත් ඔවුන්ට පුළුවන්. ඒ වගේම කසුන් කියන ප්‍රධාන චරිතයට අමතරව දිලිඳු දීපාල්ගේ ජීවිතය, ඔහු නිර්මාංශව කොස් දෙල් කාලා ශක්තිමත්ව වැඩෙන ආකාරය. ගම සහ අර්ධ නාගරික පරිසරය ආදියෙහි තිබෙන කරුණුත් ඇතැම්විට දේශපාලනිකයි.

සම්මාන පිළිබඳ ඔබේ දැක්ම?

සමස්තයක් ලෙස සම්මාන උලෙළ පැවැත්වීම ලේඛකයන්ට උත්තේජනයක් නිසා එය හොඳයි. හැබැයි ඒ විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන් කෙටිකතා, නවකතා පිළිබඳ දන්නා, ඒවා කියවන, යාවත්කාලීන දැනුමකින් යුතු ළමා, යොවුන් ආදී විවිධ අංශවල ප්‍රවීණයන් වනවා නම් හොඳ විනිශ්චයක් ලැබෙයි කියා හිතනවා. ඒ වගේම ඔවුන් ලේඛකයා නොව නිර්මාණය පිළිබඳව සිතා තෝරා ගැනීම් කරනවා නම් මීට වඩා සාධාරණ, අවංක, මධ්‍යස්ථ, ස්වාධීන තීරණවලට එළඹෙන්න ඉඩ තිබෙනවා.

ළමයින්ගේ කියවීමේ අඩුවක් තිබෙනවාද?

ඒ චෝදනාව ඇත්ත. ඒත් අපිත් දැනගන්න ඕනා ළමයින්ගේ අවධානය දිනාගත හැකි රසවත් නිර්මාණ ළමයින්ට දෙන්න. අද විශේෂයෙන්ම දරුවන් උපකාරක පන්ති සහ පරිගණක නිසා බාහිර කියවීම්වලින් ඇත්වෙලා. මව්පියන් උත්සාහ කරන්නේත් මොනවා හෝ කන දෙයක් කටේ ඔබලා ළමයාව පන්ති යවන්න. ජංගම දුරකථන සහ පරිගණක නිසා දරුවන් ගෙදර ඉන්න මොහොතේත් කාමරවලට වැදිලා හුදෙකලා වෙනවා. ඒ නිසා පොත් කියවන දරු පරපුරක් ගොඩ නඟන්න නම් කුඩා කල සිටම මව්පියන් ඔවුන්ට ඒ පුරුද්ද ඇති කිරීමට ළමා පොත් ආදිය ගෙනත් දී කියවීමට පුරුදු කළ යුතුයි.

මේ වසර සඳහා ඔබේ අලුත් නිර්මාණ මොනවාද?

කෙටි කතා සංග්‍රහයක් ලියමින් ඉන්නවා. ඒත් රටේ පවතින වාතාවරණය නිසා සිත එකඟ කරගන්න හරි අමාරුයි. නිර්මාණකරුවන්ට තමන්ගේ පරිසරයේ සිදුවන දේවලින් මිදිලා අසංවේදී මිනිසුන් ලෙස හුදෙකලාවේ තමන්ගේ කටයුතු කරගෙන යන්න අපහසුයි. ඒ නිසා තමයි තරමක ප්‍රමාදයක් සිදුවී තිබෙන්නේ. කොහොම වුණත් මේ වසර අවසන් වන්න පෙර පොත රසිකයන් අතට පත් කරනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.