හන්තානට පායන සඳ ඇත්තටම ලස්සනයිද කියන්න

අමරසිරි පීරිස්
මැයි 16, 2019

ගීත රසිකාවියක් ලෙසට ඔහුගේ ගීත කෙරෙහි බැඳුණු අප්‍රමාණ ආදරයක් තිබුණ ද, ගායකයකුගෙන් එහා ගිය මහා චරිතයක් ඔහු ගැන මගේ කියැවීම තුළ තිබුණා. වයලිනයේ තත් මත විශ්වකර්ම ස්වර රටා මවන අපූරු වයලීන් වාදකයකු ලෙසින් පමණක් නොව කලාව, සාහිත්‍යය, සංගීතය කෙරෙහි වඩවා ගත් ඥානයකින් යුතුව කටයුතු කරන ඔහු අද මේ මොහොත වන විටත් කාර්යක්ෂමව තම වෘත්තීය ජීවිතය තුළ යාවත්කාලීන චරිතයක්. බොහෝ විට අපි මේ දිනවල ඔහු හමු වෙන්නේ ‘හන්තානට පායන සඳ’ ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගය තුළින්.

‘2004 වර්ෂයේ මම මේ ඒක පුද්ගල ප්‍රසංගය පටන් ගත්තේ ‘සත්සැරි අසිරිය’ කියන නමින්. ඒ දවස්වලම හුඟක් අය කිව්වා ඒ නම ටිකක් දිග වැඩියි කියලා. ඒ කාලේ වෙනකොට ‘හන්තානට පායන සඳ’ සින්දුවත් ජනප්‍රිය තලයේ තිබුණ නිසා ඒ නමින්ම ඒක පවත්වන්න පටන් ගත්තා. මම හිතන්නේ ප්‍රසංග 115 ක් විතර කරලා ඇති’ ඔහු කියනවා. ඒ අතරින් මට ඇහෙන්නේ ඔහුගේ ඒ ගැඹුරු භාවාත්මක හඬ.

‘හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න . . .’

අහඹු ලෙස ගායනයට ආ ඔහුගේ හඬ අද මේ රටේ ශ්‍රාවක පිරිස් පිනවන තරම කොච්චරද කියලා මට හිතුණා. මේ එකක්වත් දවසකින් දෙකකින් හදා ගත්ත දේවල් නොවෙයි. අධ්‍යයනයෙන්, පුහුණුවෙන්, උනන්දුවෙන්, උත්සාහයෙන් උපයා සපයා ගත් දේවල්. වත්මනෙහි මෙන් එක රැයින් දිදුළන හෝ දහසකුත් එකක් මනාප ඡන්ද මත නිර්මාණය වූවක් ද නොවීමයි විශේෂත්වය.

අමරසිරි පීරිස්ට සංගීතය පිළිබඳ උරුමයක් සිය පවුලෙන්ම තිබුණා. ඔහුගේ පියා එවකට එනම් 50 දශකයේ ඒ ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පියෙකු වූ ඇල්බර්ට් පෙරේරාය.

‘අපේ තාත්තා රූපසිංහ මාස්ටර්ගේ පළවෙනි ගෝලයා. තාත්තට හොඳට තබ්ලා ගහන්න, වයලීන් වාදනය කරන්න පුළුවන්. අපි පොඩි කාලේ රූපසිංහ මාස්ටර් අපේ ගෙදර ඇවිත් තාත්තා එක්ක සාකච්ඡා කරනවා. වයලීන් ගහනවා වැනි දේ නිතර දකින්න තිබුණා. මමත් ඉතින් ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වුණාට කවදාවත් තාත්තා ඒ ගැන මට උගන්නලා හෝ උනන්දු කරවලා නෑ. ඒ කලේ ගුවන් විදුලි ශිල්පීන් ශ්‍රේණිගත කරන්න ඉන්දියාවේ සිට ආව රත්න ජංකර් පඬිතුමා ඒ ශ්‍රේණිගත කිරීමේදී තාත්තාගේ ගුරුන්නාන්සේ රූපසිංහ මාස්ටර්ට ලකුණු 80 යි. අපේ තාත්තට ලකුණු 78 යි. ඒ කාලේ තාත්තා ගුවන් විදුලියේ ක්‍රියාකාරී ශිල්පියෙක්. තාත්තා මාසෙකට පැය 1/4 වැඩසටහන් තුනක් කළා. ඉතින් මට මතකයි ඒව බලන්න තාත්තා එක්ක ගුවන් විදුලියට ගිය ගමනුත්. ඔය කාලේ ආපු හින්දි චිත්‍රපට ගීතවලටත් මම ගොඩාක් ආස කළා. ඔහොම ඉන්න කොට තමයි මේ විෂය ඉගෙන ගන්න මට ආසාව ඇති වුණේ’.

ඔහු ලස්සන කතාවකට මුල පුරනවා. ඒ කතාවේ කතා නායකයා අමරසිරිගේ තාත්තා වුණාට අමරසිරි ඔහුගෙන් සංගීතය ඉගෙන ගෙන නෑ. පියාගේ මල්ලී අමරසිරිගේ බාප්පා සංගීත ගුරුවරයෙක්. ඉඳහිට ඔහුගේ සංගීත පංතියට යන්නට ඔහු පුරුදු වෙලා හිටියා.

‘මම ඉගෙන ගත්තේ මහරගම බුවනෙකබා විද්‍යාලයේ. ඒ කාලේ අපේ ඉස්කෝලේ සංගීත ගුරුවරයෙක් හිටියේ නෑ. බාප්පාගේ පංතියට ඉඳහිට ගියා. මම උසස් පෙළ ලියලා විභාග ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න කාලේ දවසක් බාප්පා අයදුම් පත්‍රයක් අරගෙන ඇවිත් ‘අද අවසන් දවස. මේකට දානවද නැත්ද?’ කියලා ඇහුවා. බලනකොට ඒක හේවුුඩ් එකට (අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය) ඇතුළත්වීමේ අයදුම් පත්‍රය. මම ආස නිසා ඒකට දැම්මා. සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා. එහෙම තමයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ගියේ.’

එවකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විදුහල්පති ධූරය දැරුවේ ලයනල් එදිරිසිංහයන්. පුරා වසර 6 ක් අමරසිරි පීරිස් මෙහි ශිල්ප කලා ප්‍රගුණ කළා. ආචාර්ය වික්ටර් රත්නායකයන්, මර්වින් පෙරේරා, සුජාතා අත්තනායක ආදීන් එවකට ඔහුත් සමඟ එහි ශිල්ප කලා හැදෑරූවන්. එවන් අක් මුල් ඇති හැදෑරීමක් සහිතවයි ඔහු ක්ෂේත්‍රයට පියමං කරන්නේ. එදා අද මෙන්ම හෙටත් අනාගතයේදීත් ඔවුන් මේ කලා කෙත පෝෂණය කරන්නා වූ යහපත් නිර්මාණයන්ගෙන් සුපෝෂිතව නොසැලනෙ ගමනක නියුක්ත වන්නේ ඒ නිසයි.

‘අපේ ක්ෂේත්‍රයට එන ශිල්පියෝ ඇත්ත වශයෙන්ම කිව්වොත් කොටස් දෙකකින් යුක්තනේ. පිරිසක් ඉන්නවා හොඳ හැදෑරීමක් ඇතිව මේ ක්ෂේත්‍රයට ආපු. තවත් පිරිසක් ඉන්නවා කිසිම දෙයක් හදාරපු නැති. ඉතින් ඒ කාලේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පාඨමාලාව අවුරුදු 6 ක්. ඒක සංගීත දැනුම විතරක් ලබා දෙන එකක් නෙවෙයි. ස්වර ඥානය, භාෂා ඥානය, සාහිත්‍ය ඥානය මේ හැම දෙයක්ම ඒකට අදාළයි. ඒත් එක්කම හොඳම ශිල්පීන්ගෙන් අපට ශාස්ත්‍රය හදරන්නට අවස්ථාව ලැබුණා. බී. වික්ටර් පෙරේරා, ශාන්ති ගීතදේව, අමරදේව මහත්මයා වැන්නන්ගෙන්. ඒක අපේ ගමනට බෙහෙවින් පිටිවහලක් වුණා. අපි ක්ෂේත්‍රයට එනකොට ආවේ මේ දැනුම අරගෙන. ඒ නිසා එතෙන්දි කවුරුත් අපිට උගන්වන්න ඕන නෑ. අපි කරන්න ඕන මොකක්ද කියලා අපි ඉගෙනගෙන ආවේ. ඒ කාලෙයි අදයි වෙනස ඒකයි.

70 දශකය හුඟ දෙනෙක් හඳුන්වන්නේ ස්වර්ණමය යුගයක් හැටියට. ඒ ස්වර්ණමය යුගයේ ආභාසය අමරසිරි පීරිස්ලා හොඳින්ම දන්නවා. අද වගේ ආවට ගියාට ගීත නිර්මාණය වීම් හෝ ගීත ප්‍රචාරය කිරීම් එදා තිබුණේ නෑ. අද වගේ විවිධ ගණයේ ගුවන් විදුලි නාළිකා තිබුණෙත් නෑ. තිබුණේ එකම එකයි. ඒ ගුවන් විදුලි සංස්ථාවයි.

‘70 දශකයේ මතකයන් ගොඩක් තියෙනවා. මම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ මුලින්ම ඒ ශ්‍රේණියේ වයලීන් වාදකයෙක් විදියට. ඊට පස්සේ විවිධ තනතුරු දරමින් සංගීත අංශයේ අධ්‍යක්ෂ දක්වා ගමන් ගත්තා. මම සංගීත අංශයේ අධ්‍යක්ෂ වෙලත් මගේ ගීත වාදනය වුණේ නෑ. මම ඒ ගැන හොයන්න ගියෙත් නෑ. මට අයිතියක් නෑනේ ඒව අහන්න. මම හිතන්නේ මම සරල ගී වැඩ සටහන් දෙකක් විතර කරලා ඇති. ඊට වඩා නෑ. මම ඇත්තටම ඒ කාලේ සින්දු කිව්වෙ නෑ. සින්දු කිව්වෙ නැත්තේ ඒ කාලේ මම ප්‍රතික්ෂේප කරපු දේවල් ගොඩක් ගුවන් විදුලියෙන් දැක්කා. ගීත ප්‍රචාරයේදී මට එකඟ විය නොහැකි දේ හුඟාක් දැක්කා. ගීතයක් ප්‍රචාරය වෙත්දී නොයෙක් නොයෙක් ක්‍රමවේද තිබුණා. මම ඒවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ නිසා මම සින්දු කිව්වේ නෑ. ගීතයක් ප්‍රචාරය වීමට නියමිත ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේද සම්පූර්ණයෙන් වැරැදි විදියට උල්ලංඝනය වුණා. ඒවට මම අකැමැති නිසා මගේ හැකියාව මම මා තුළම හකුලා ගත්තා. හැබැයි ඉඳහිට කරපු ගීත වුණත් හොඳ නිෂ්පාදක මහත්වරු, නිවේදකයෝ අපෙන් විමසල ඉල්ල ගත්තු අවස්ථාත් තිබුණා. මගේ ගායන ජීවිතේ හරියාකාරව ආරම්භ වෙන්නේ කේමදාස මාස්ටර් සමඟ සම්බන්ධවෙලා අහම්බෙන් ‘ළඳුනේ’ ගීතය ගායනා කිරීමෙන් පස්සේ. හුඟාක් ගායකයෝ බිහි වෙන්නේ තරුණ කාලෙදි. නමුත් මම ආවේ හුඟාක් පස්සේ. මගේ ගමන මමම තමයි නතර කර ගත්තේ. අපි ශාස්ත්‍රීය සංගීතය හදාරලා ආව නිසා ඒ විෂයට ලොකු ගෞරවයක් තියෙනවා. ඒක අයුතු විදියට පාවිච්චි නොකර මගේ වෙලාව ආවම ආව. මට හිතෙන්නේ ‘පමා වී ආ වසන්තය’ කියලා.

මට හිතෙන්නේ වසන්තය පමා වුණේ ඔහුට නොවේ. අපට කියලයි. එහෙම වුණා නම් තව තව අපූරු නිර්මාණ ගොන්නක් ඔහු අපට තිළිණ කරනවා.

‘ළඳුනේ - ළඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි - සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද - සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන – වීදි සරන ළඳුනේ . . .’

මේ අපට වසන්තය ගෙනා ගීතය. ඒක අහඹුවක්. ඔහු එවකට කේමදාස මාස්ටර්ගේ වාදන වෘන්දයේ වයලින් වාදකයෙක්. මාස්ටර්ගෙන් හදිසි පුදුම සහගත ආරාධනාවක් එනවා ඔහුට. රන්බණ්ඩා සෙනවිරත්න ලියූ මේ පදවැල ගයන්න. එතැන් සිට නොනිමි ගීත ගඟුලක් ඔහු අපට තිළිණ කරනවා.

මේ ගිතය මම කියන්න හිටපු එකක් නෙවෙයි. වෙන කෙනෙක්නෙ කියන්න හිටියේ. නමුත් ඒ ගීතය මම කිව්වට පස්සේ මට ලොකු ආලෝකයක් ලැබුණා. ඒකෙන් පස්සේ චිත්‍රපටවලට, ටෙලි නාට්‍යවලට මට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒ ගයපු ගීත සම්මානයන්ට පාත්‍ර වුණා. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. පරාක්‍රම නිරිඇල්ලගේ ‘සිරි මැදුර’ චිත්‍රපටයට මම ගයපු ‘මිනිසා මරණ තුනක් ඇති’ ගීතයට සරසවිය සහ ස්වර්ණ සංඛ සම්මාන දෙකම මට ලැබුණා. ඊට පස්සේ ගුරු ගෙදර, අවරගිර, කවුළුව, සමනල සංධ්වනිය ඇතුළු චිත්‍රපට රාශියකට සම්මාන ලැබිලා තියෙනවා. මට මතකයි එක ජනාධිපති සම්මාන උලෙළකට මම ගියා. එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. ජනාධිපති සම්මාන උලෙළ නවත්වලා තියලා ආපහු පටන් ගත්ත වර්ෂයේ. ජනාධිපතිනිය සම්මාන දීගෙන ගියා. හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ගන්න සම්මානලාභියා ආවේ නෑ. ඒ වෙනුවට චිට් එකක් එව්වා. පසුගිය අවුරුදු 3 ක නිර්මාණවලට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ජනපතිනිය පොරොන්දු වුණා ඒ වර්ෂ තුනේම සම්මාන උලෙළ එක විට රජ ගෙදරදි පවත්වන්න. ඒ උත්සවයට මමත් ගියා. බොහෝ කලාකරුවන් රජ ගෙදරට රැස්වෙලා හිටියා. සම්මාන දෙන්න පටන් ගත්තා. වසර තුනේම හොඳම ගායකයා විදියට පිට පිට සම්මාන හිමි වුණේ මට. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. පමා වී ගමන පටන් ගත්තත් අමරසිරි පීරිස්ගේ නිර්මාණ කාර්ය අදටත් තරුණයෙකුටත් වඩා ජව සම්පන්නයි. අද දිනත් මේ මොහොතෙත් ඔහු කාර්යබහුලයි. ඔහුගේ නිවෙසට දිනපතාම කවුරුන් හෝ පැමිණෙන්නේ ඔහු ලවා ගීයක් ගායනා කරවා ගැනීමට.

‘මේ සුමානෙත් මම ගීත 5 ක් විතර කළා. මේවා ඉතින් යූ ටියුබ් එක දාන එක තමයි කරන්නේ. මම ඉතින් කිසිම Chanel  එකකට දෙන්න යන්නේ නෑ. මම මෙතෙක් කියපු ගීතයක් කාටවත් දිලා නෑ. සමහර වෙලාවට ගීතය ලියපු කෙනා U Tube එට දානවා. මම හොයාගෙන කවරු හරි එනවා ගීත නිර්මාණයකට. මමත් ඉතින් හොඳට හොයල බලල හොඳ නිර්මාණයක නම් දායක වෙනවා. මම ඉෂ්ට කරන්නේ කගෙ හරි අවශ්‍යතාවයක් තමයි. මම ඉල්ලගෙන ගීපද රචනා ගයපු දෙන්නයි ඉන්නේ. එක් කෙනෙක් හේමසිරි ගුණතුංග අනිත් කෙනා සමන් අතාවුදහෙට්ටි.’

ඔහු බෙහොම සැහැල්ලුවෙන් කියනවා. මේ විදියට නිර්මාණය වුණු ගීත කොච්චරක් නම් ඇත්ද? මට එකින් එක මතක් වෙනවා.

‘ඇය යන්න ගියා මැකිලා, ඉකි ගසා අඬන අතීතයක, මගේ පුංචි රෝස මලේ, ඔබ ඇපල් මලක් වාගේ, සොඳුරිය කාලය කොතරම් නපුරු, මලක් වුණේ ඇයි නුඹ මට’ මෙකී නොකී ගී ගොන්නක් ඔහු නමින් මතක් වෙනවා.

‘ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා . . .’

මෑත භාගයේ අතිශයින්ම ජනප්‍රිය වුණු ගීතයක්. ගීතය අපි අතරට එන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයත් එක්ක. ඒත් ඒකට ඉන් එහා ගිය අතීතයක් තිබුණා.

‘සමනල සංධ්වනිය හදන්න හුඟාක් කාලෙකට ඉස්සර ඔය ගීතය මම ගායනා කළේ. ඕක අමිල තේනුවර ලිව්වේ. ගීතය කරලා U Tube  එකට දාලා අවුරුදු 6 – 7 ක් වෙනවා. මම කොහේවත් ගායනා කළෙත් නෑ. දවසක් ජයන්ත චන්ද්‍රසිරි මට කතා කරලා කියනවා තිර නාටකයක් ලියාගෙන ඉන්නවා. ඒකට මේ ගීතය හරියටම ගැළපෙනවා කියලා ගීතය ඔහුට දෙන්න කියලා. ඉතින් මම අමිලටත් කියලා සංගීතය කරපු දර්ශන රුවන් දිසානායකටත් කියලා ගීතය චිත්‍රපටයට දෙනවා. ඒ චිත්‍රපටයට ඒක මම ආයෙත් Voice කළා. මොකද මුල් ගීතයේ  Female Voice එකක් තිබුණා. ඒක අයින් කරලා ආයෙත් Voice කළා.’

නිර්මාණකරණයෙන් යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය කරන්නට ඔහු උර දුන්නා සේම තම වෘත්තීය ජීවිතය තුළ ද අලුත් දෙයක් කරන්නට ඔහු සැම විටම උත්සාහ ගත්තා. ගුවන් විදුලියේ සංගීත අංශයේ අධ්‍යක්ෂව සිටියදී නව වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දෙන්නට ඔහු පුරෝගාමී වූවා. ඒ වන විටත් වැඩි අවධානයක් යොමු නොවූ බටහිර සංගීතය ජනතාවට අතරට රැගෙන යන්නට ‘විශ්ව සංගීත’, ‘පරිකල්පන’ වැනි නව වැඩසටහන් ඔහු හඳුන්වා දුන්නා. පාසල් හා විශ්වවිද්‍යාල දූ දරුවන් වෙනුවෙන් ‘මියැසි අත්වැල’ වැනි වැඩසටහන් හඳුන්වා දුන්නා.

මේ සියල්ල මැද ඔහු සිය පෞද්ගලික ජීවිතේ සැමියෙක්, පියෙක් ලෙස ද සාර්ථකත්වය ළඟා කර ගත්තා. ඔහුගේ බිරිය නන්දා. දියණියන් සතර දෙනෙකුත් පුතෙකුත් මෙලොවට දායාද කරලා ඔවුන්ට උගන්වලා අද හොඳ තැන්වල ඉන්නට කටයුතු සලසලා දුන්නා. මේ සියලු දෙනාට ද සංගීතම හැකියාව උපතින්ම පිහිිටලා තියෙනවා. වැඩඩිමල් පුතු දක්ෂ වයලීන වාදකයෙක්. ඔහු අද ඉතාලියේ පදිංචි වී සටිනවා. එක් දියණියක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. ඇය අද සංගීත ගුරුවරියක ලෙස සේවය කරනවා. දෙවැනි දුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිනවා. තුන්වැනි දියණිය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.