නලින්-සුනීතාගේ නිවහනේ දවසක්

ඔක්තෝබර් 3, 2019

ගේට්ටුවෙන් ඉහළට පෙනෙන්නේ බාස්කට් බෝලයක් ඉහළ පහළ යන අන්දම ය. ඒ බෝලය එකිනෙකාට පාස් කරමින් සෙල්ලමේ නිරත වෙන පොඩි උන් දෙදෙනාගේ කෑගැසුම ඈතට ඇසෙන්නේ ඔවුන්ගේ සෙල්ලමට තිබෙන උනන්දුව මොනවාට කියාපාමිනි. ඒ සෙල්ලමට බාධා කරමින් මම ඔවුන්ගේ ගේට්ටුවට තට්ටුවක් දැමීමි. ඒ සමඟ ම ගේට්ටුව විවෘතව ඉන් එබී බැලුවේ නලින් ප්‍රේමතිලකයි. ඔහුගේ සුපුරුදු ළඟන්නා සුලු සිනහව අතුරින් මා දුටුවේ මේ නිවෙසට වසර ගණනකට පෙර පැමිණෙන මොහොතේ හය හතර නොතේරෙන වයසේ උන් පොඩිවුන් දෙන්නා කොලුගැටවුන් වී ඇති අයුරු ය. එතරම් කාලයක් ගියාදැයි මා විමසුවේ මගෙන්ම ය.

“මේ දෙන්නා දැන් ගොඩක් ලොකුයි.”

මා නලින් ප්‍රේමතිලක නම් වේශ නිරූපණ ශිල්පියාට පැවැසුවේ මගේ පැමිණීම ඔහුගේ මතකයට නඟන අදහස ඇතිව ය.

“ඒ දෙන්නා ඉගෙන ගන්නේ තර්ස්ටන් විද්‍යාලයේ. ලොකු පුතා පවන් ප්‍රේමතිලක. 8 පන්තියේ. පොඩි පුතා දිවාන් ප්‍රේමතිලක. 6 පන්තියේ. දෙන්නාම බාස්කට් බෝල් සෙල්ලමට දක්ෂයි. ඒකට අමතර පිහිනන්න ශූරයෝ. දෙන්නම ඉගෙන ගන්නේ ඉංග්ලිෂ් මීඩියම්. පේන්නේ නැද්ද ඔය බාස්කට් බෝලයක් අරගෙන කරන සෙල්ලම.”

මා පැමිණියාත් සමඟම ඔවුන්ගේ සෙල්ලමට තිත තැබිණි. අප ඉදිරියට පිවිසියේ යශෝරාවයේ අචලා ය. ඒත් ඈ දැන් පාසල් යන කෙල්ලක නොවේ. දරුවන් දෙදෙනකුගේ මවකි. නැත්නම් කෙටියෙන්ම කිව හොත් ඔබගේ මතකයේ අමතක නොවන සුනීතා ය. නිකම්ම නිකම් සුනීතා නොවේ. සුනීතා විමලවීර ය. ඒ තරම්ම ඇගේ රුව මෑතක පුංචි තිරයේ දුටු දවසක් මතකයට නඟා ගන්න මම අසමත් වීමි.

“ඒකට හේතුව තමයි මේ කාලයේ වැඩිපුරම විකාශය වන්නේ මෙගා. ඒත් තූර්යා එකෙන් පස්සේ මෙගා ටෙලි නාට්‍යවල රඟපෑමෙන් ගොඩක් දුරට මා ඉවත් වුණා. අදටත් ටෙලි නාට්‍යවල රඟපෑමට නම් මට කතා කරනවා. මොකද ඒ ටෙලි නාට්‍යවල රඟපාලා අපට ගත යුතු දෙයකුත් නැහැ. සමාජයට දිය යුකු දෙයකුත් නැත්නම් පිටපත කියවද්දි මම කරන්නේ ඒ වගේ නිර්මාණවලට බැහැ කියන එකයි. ඒ කතා කරන අධ්‍යක්ෂවරුන්ගෙන් සමහරුන්ගේ අතේ තිබෙන්නේ ටෙලි නාට්‍ය පිටපතකට වඩා කොළ කෑලි තුනක් හතරක්. ඒ අතර ඒ නිර්මාණවලදි සමහර වෙලාවට මේ අයට මේ තරම් ගෙවන්න ඕන නැහැ කියලා හිතුණොත් ඒ චරිතය මරලා දානවා. නැත්නම් රට යවනවා. ඒ වගේ නිර්මාණවලට යනවට වඩා හොඳයි නිකම් ඉන්නවා. මේ අයගේ මේ වගේ වැඩ නිසා ප්‍රේක්ෂකයනුයි අතරමන් වෙන්නේ. ඔවුන් විමසන්නේ ඔයාගේ චරිතයට මොකද වුණේ කියලයි. ඒ නිසා හරි හමන් කතාවක් නැති, ලොකේෂන් එකක් නැති, ඇඳුම් මොනවද දන්නේ නැති, එලොව විකාරෙන් මොලොව අතගාන නිර්මාණවලට මා දයක වෙන්නේ නැහැ.”

සුනීතා විමලවීරගේ රුව වැඩිපුර පුංචි තිරයේ නොදකින්නේ මේ නිසා ය. ඈ දුටු පසුව මගේ මතකයට නැගෙන්නේ සකරදාන්ගේ චරිතයයි. ගොම්බෙට්ටක් වගේ කළු දත් ටික පමණක් සුදට පෙනෙන සකරදාන්ගේ චරිතයට සුනීතාට හොඳම නිළිය ලෙස සම්මානය ද හිමි වෙයි.

“අවසානයට රඟපෑවේ චරිත් අබේසිංහගේ ‘මිණිගංදෑල’ ටෙලි නාට්‍යයේ. ඒ චරිතයෙන් පස්සේ භාර ගත්තේ ඔහුගේම අධ්‍යක්ෂණයෙන් කෙරෙන අලුත්ම නාට්‍යයක්. මම ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍රගේ නැන්දාගේ චරිතය. හොඳ නාට්‍යයක්. එයට අමතරව උදේ අයියාගේ ‘බහුභූතයෝ 2’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ මහේන්ද්‍ර පෙරේරාගේ බිරිය විදියට. ඒ චිත්‍රපටය ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක්, ටෙලි නාට්‍ය කිහිපයකුත් එන්න තිබෙනවා. වේදිකා නාට්‍යවල රඟපෑම නම් මගේ අතින් ගිලිහුණා. ගෙදර වැඩයි, පුතාලගේ වැඩයි එක්ක ඒ කටයුතුවල නියැළෙන්න මට ලැබුණේ නැහැ. ඉදිරියේදි හොඳ වේදිකා නාට්‍යයක රඟපාන්නයි හිතාගෙන ඉන්නේ. හොඳ චරිතයක් ලැබුණොත්.”

සුනීතාගේ ආදරබර සැමියා නලින් ප්‍රේමතිලකව ඈට මුණ ගැසෙන්නේ ද රඟපෑම හා වේශ නිරූපණය නිසා ය. ‘දූදරුවෝ’ ටෙලි නාට්‍යයෙන් මුණගැසෙන ඔවුන් යළිත් උදයකාන්තගේ හුමාලයෙන් හමු වී සුදත් රෝහණගේ ‘නිරානන්දය’ ටෙලි සිත්තමේදී බැඳී හාද කෙළවර වන්නේ විවාහයෙනි. සුනීතා රඟපෑමට අමතරව දරුවන් දෙදෙනාගේ වැඩ අතර කාර්යබහුල වෙද්දී නලින් ද ටෙලි නාට්‍යවල රුව හැඩගැන්වීමේ කලාව අතර අතරමං වෙයි.

“මේ දවස්වල වැඩ කරන්නේ චරිත් අබේසිංහගේ අලුත්ම නාට්‍යයේ. නාමල් ජයසිංහ පිටපත ලියන ඒ නාට්‍යය වෙනස්ම විදියේ නාට්‍යයක්. එහි රූගත කිරීම් කෙරෙන්නේ කනත්තක. එයට පස්සේ ප්‍රියන්ත කොළඹගේ අලුත්ම චිත්‍රපටයක් ආරම්භ කරනවා. ‘මායා - 2’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න මේ වන විට කටයුතු කරගෙන යනවා. චරිත් අබේසිංහගේම හා නාමල්ම පිටපත ලියන ‘රිසානා’ කියන චිත්‍රපටයේත් ළඟදිම වැඩ ආරම්භ කිරීමට නියමිතයි. ළඟදිම ‘මිස් ජෙනිස්’ කියන චිත්‍රපටය තිරගත වීමට තිබෙනවා. ජයලත් මනෝරත්න එහි ගැහැනියකගේ චරිතයකටයි පණ පොවන්නේ. එහිදි කිසිසේත්ම හොයා ගන්න බැරි විදියට කාන්තාවක ලෙස ඔහුව මා වේශ නිරූපණය කළා. ‘ගින්දරී - 2’ චිත්‍රපටයත් ළඟදී පැමිණේවි. සුදත් රෝහණ මහත්තයාගේ නාට්‍යයකුත් ළඟදි ආරම්භ කරාවි. ඒක පරම්පරා කිහිපයක් යන දිගු වැඩක්. ”

ඒ අතර නලින් පසුගිය දිනෙක සම්මාන ද හිමි කර ගත්තේය. ඒ ‘මිණිගංදෑල’ ටෙලි නාට්‍ය වෙනු වෙන් රයිගම් සම්මානයත්, එයට අමතරව ‘මායා’ චිත්‍රපටය වෙනු වෙන් මේ වසරේ තිබුණු ජනාධිපති සම්මාන උලෙළේදී ද හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස ඔහුව ඇගයීමට ලක් විණි.

“පසුගිය කාලයේ තිබුණු සම්මාන උලෙළවල හැම එකකටම මාව නිර්දේශ වුණා. ජනාධිපති සම්මාන උලෙළේදි මට සම්මානය ලැබුණා. සම්මානයක් ලැබීම ශිල්පියකුට හොඳ දෙයක්. ධෛර්යක්. ඒත් ඒකෙන් අසාධාරණයක් වුණොත් අනෙක් ශිල්පීන්ගේ හිත රිදෙන්න පුළුවන්. වේශ නිරූපණයේදි බලාගෙන ඉන්න අයට හිතෙන්න පුළුවන් ඒ ඒ චරිතවල අප දමන රැවුල දිහා බලාගෙන ඉඳලා ආ.... රැවුල වවා ගත්ත නම් මේ චරිතය කළ හැකි බව. ඒත් කවුරුත් දන්නේ නැහැ ඒ චරිතයට රැවුලක් දමලා තිබෙන බව. ඒ වගේම මායා චිත්‍රපටයේදි හාමුදුරුවන්ගේ මුල් සීන් එක කළේ තට්ටේ ගාලයි. එහෙත් එහි ෂූටින් මාස දහයක් විතර නවත්වන්න සිද්ධ වුණා. ඒ කාලයෙන් පස්සේ ආරම්භ කළ මායා චිත්‍රපටයේදි ඉෂාන් ගම්මුදලිගේ කොණ්ඩය වෙනස් කරන්න ඔහුට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වෙනත් නිර්මාණයක ඔහු කටයුතු කරමින් සිටි නිසා. එතැනදි මා ඉදිරිපත් වී පෙර පරිදිම යළිත් තට්ටයක් ඔහුට දැම්මා. ඒ බව කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අංගරචනය කියන දේ අංග රචනයක් නොවිය යුතු බවයි මගේ අදහස වන්නේ.”

මේ වන විට නලින් ප්‍රේමතිලක වේශ නිරූපණ ශිල්පයට පිවිස වසර තිස්පහක කාලයකි. ඔහු වෙලාවට කලාවට වැඩ කරන්නෙකි.

“මම වෙලාවට වැඩ කරන කෙනෙක්. මට සූදානම් වෙලා ඉන්න කියන්නේ උදේ 2.00ටද ඒ වෙලාවට මම සූදානම් වෙලා ඇති. 2. කියන්නේ 2.01 නොවෙයි. වෙලාවට වැඩ කිරීම ඇතුළේ ශක්තිමත් කෙනකු විදියට වැඩ කරන්න පුළුවන්. වේශ නිරූපණ ශිල්පියා අනෙක් ශිල්පීන් සමඟ නිතර සුහද ගනුදෙනුවක යෙදෙන්න ඕනෑ. ප්‍රියමනාප පුද්ගලයකු විය යුතුයි. ඔහු සිය ශිල්පය ගැන දැනුවත් විය යුතුයි. වේශ නිරූපණ ශිල්පියා සැම විටම වේශ නිරූපණය පමණක්ම දැන ගත යුතු කෙනකු නොවෙයි. අනෙක් සියලු දේම ගැනත්, අලුත් දැනුම ගැනත් අලුත් විය යුතු කෙනෙක්. ඒ නිසා ඔහු ඇසූ පිරූ තැන් අයකු විය යුතුයි. ඒ වගේම වැඩෙහි දක්ෂයකු විය යුතුයි. ඒ විතරක් නොවෙයි මම නම් නිතරම මට පෙර සිටි අපේ ශිල්පීන්ට හිස නමලා ගරු කරනවා. ඒක මගේ පුරුද්දක්. මගේ ගුරුවරයෙක් නොවුණත් මා ඔවුන්ට ගරු කරනවා. උනන්දුව, කැපවීම හා උත්සාහය තියෙනවා නම් ඕනෑම කෙනකුට මේ වෘත්තියේ රැඳීලා සිටිය හැකියි. ඒ ගුණාංගයි කෙනකු ඉදිරියට අරගෙන යන්නේ. මම නම් මැරෙන තුරාවට මේ ශිල්පය ගැන ඉගෙන ගන්නවා. ලංකාවේ මම පමණක් නොවෙයි මේ ශිල්පයට දක්ෂ ගොඩක් අය ඉන්නවා. ”

ඔහු පවසන්නේ මේ වෘත්තියට පිවිසෙන නවකයන්ට ය. ඔහු ඔහුගේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කරයි; සිය වෘත්තියට ගරු කරයි; ආදරය කරයි. ඒ තරමටම නලින් සිය පවුලට ද ආදරේ ය. ඔවුන්ගේ විවාහ දිවියට වසර විසිහයකි.

“අපි හැමෝම සතුටින් ඉන්නවා. අපි මේ කියන්නේ පොඩි පොඩි හැලහැප්පීම් ඇති නොවෙනවා කියලා නොවෙයි. ඒ හැම දෙයක්ම මැද්දේ අපේ ජීවිතය ඉදිරියට යනවා. ලොකු පුතාට අවුරුදු 13ක්. පොඩි පුතාට අවුරුදු 8ක්. ඒ දෙන්නත් රඟපානවා. ඉදිරියට තිරගත වීමට නියමිත ශ්‍රියාණි අමරසේන මහත්මිය නිෂ්පාදනය කළ, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘යාත්‍රා’ කියන චිත්‍රපටයේ පොඩි පුතා රඟපානවා. ශ්‍රියාණි අක්කාගේ මල්ලිගේ කුඩා කාලයේ චරිතයයි පුතා රඟපාන්නේ. දෙන්නම ‘මහරජ ගැමුණු’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ලොකු පුතා ගැමුණු කුමාරයාගේ කුඩා කාලයත්, පොඩි පුතා තිස්ස කුමාරයාගේ කුඩා කාලයත් නිරූපණය කළා.”

නලින් කලාවට පිවිසෙන්නේ රඟපාන්න ය. එහෙත් ඔහුව යොමු වන්නේ සහය වේශ නිරූපණ ශිල්පියට ය. කාලයක් සහය වේශ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කරන ඔහු අද බොහෝ දුර ගමනක් පැමිණ ඇත.

“කාලයකට පස්සේ මට රඟපාන්න චූටි චරිතයක් ලැබුණා. ඒ චරිත්ගේ අලුත් ටෙලි නාට්‍යයේ.”

අද වන විට ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සියලු දෙනා සමඟ ම වේශ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කර ඇත. ඒ නිසාම වේශ නිරූපණ ශිල්පය ඔහුගේ එක් ජීවිතයකි.

“මම වේශ නිරූපණ ශිල්පයේ නියැළෙන විට ඒක හොඳටම කරන්නයි උත්සාහ ගන්නේ. වැඩක් කරද්දි නිතරම මා ඉන්නේ වැඩේ සමඟයි. ඒ වැඩේ තරම් වෙන දෙයක් මට ඇත්තේ නැහැ. ඒ නිසා ඉදිරියේදිත් මගේ වෘත්තිය වඩාත් හොඳීන් කරගෙන යන්නයි මා අදහස් කරන්නේ. මේ වෘත්තියේ රැඳීලා ඉඳිද්දි ඩොනල්ඩ් කියන්නේ හොඳ මිත්‍රයෙක්. ඔහුව මෙහිදි සිහිපත් කළ යුතුයි. සුදත් රෝහණ මහත්තයා තමයි මට මුලින්ම වැඩක් බාර දුන්නේ. ඔහුවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද දක්වාම මට මේ ගමන එන්න සහයෝගය දුන්න සියලු දෙනාවම සිහිපත් කරනවා. ඔවුන්ට ස්තුතියි. මේ සියලු කටයුතුවල නියැළෙන කොට බිරිය තමයි හැමදේම බලා ගන්නේ. ඇගෙන් ලැබෙන සහයෝගය අප්‍රමාණයි. මගේ මවුපියන් වුණත් අද දක්වාම මාත් සමඟ ඉන්නවා. දැනට සහනයෙන් සතුටෙන් හතර දෙනත් සමඟ ජීවත් වෙනවා.”

“කලා ලොවේ එකට ගමනක් යන සිව් දෙනෙක්. සොඳුරු පවුලක්”

ඔවුන්ගෙන් සමුගන්න මත්තෙන් මට සිතිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.