කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි

මම දැන් ආච්චි අම්මා කෙනෙක්
ඔක්තෝබර් 10, 2019

එක එක්කෙනාගේ දෛවය ලියැවෙන විදිය පුදුමාකාරයි. සමහරුන් සිතන පතන දේ ඒ අයුරින්ම ඉෂ්ට නොවන වෙලාවලුත් තියෙනවා. සමහරුන්ගේ බලාපොරොත්තු තමන් හිතන විදියටම ඉෂ්ට වෙන අවස්ථාත් තියෙනවා.හැම කෙනෙක්ගෙම හිතේ ඉපදෙන ආදරණීය හීන තියෙනවා. එවන් හීනයක හිටිය පුංචි කෙල්ලක් කඳු වළල්ලකින් වටවුනු සුන්දර ගම්මානයක හිටියා එකමත් එක කාලයක. හැබැයි අද ඇය ඇගේ හීන සියල්ලම හැබෑ කරගෙන බොහෝම දුර ගමනක් ගිය කෙනෙක්. අද ඈ ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරනවා දරු මුණුබුරෝ සමඟින්. ඒ වුණත් ඈ තාමත් අර ලස්සන අතීතයට ආදරේ කරනවා. ඇයට ඒ ගැන සමරන්න, ඒ ගැන කතා කරන්න, ආයෙත් වතාවක් අවස්ථාවක් ඇවිත්.ඒකට හේතුව ඇගේ කලා ජීවිතේට වසර හතලිස් හයක් පිරීම නිමිත්තෙන් පවත්වන ප්‍රසංගය. ඇය මායා දමයන්ති පෙරේරා. 80 දශකයේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය පුරා බැබළුණු නමක්.එළඹෙන 12 වැනිදා සවස හයට කොළඹ මරදාන එල්පින්ස්ටන් රඟහල ඇගේ ගීහඩ නින්නාද කරවන්නට බලා සිටිනවා. “ මායා‘‘ ගී ප්‍රසංගය වෙනුවෙන්.

වසර 46 ක කලා ජීවිතයක් යනු ලෙහෙසි පහසු ගමනක් නොවේ. මේ ගමන අතරතුර ඇයට ඕනෑ තරම් දුක් කඳුළු බාධක කම්කටොලු වලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති.ඒත් ඇය තමන් ජීවිතේ තුඩා කල පටන් දැකපු ආදරණීය සිහිනය සැබෑ කරලනු උදෙසා ඒ සියලු බාධක ජය ගනිමින් ධෛර්ය සම්පන්න ගමනක නියුතු වුණා. අද ඈ භුක්ති විඳීන්නේ ඒ ගමනේ සැබෑ සතුටයි.

මායා දමයන්ති සිරිවර්ධන නම් වූ ඇයට තිබුණේ අතිශය සුන්දර ළමා කාලයක්.බදුල්ල වැනි සනීප පළාතක ඉපදිලා , අධ්‍යාපනය ලබපු ඇය කොළඹ එන්නේ සිය ජීවිතේ සදාතනික ආශාව වූ සංගීතය වැඩිදුර ඉගෙන ගැනීමට.දොළොස් දෙනෙකු ගෙන් යුත් පවුලක හය වැනියා වූ ඇයට කොයි තරම් සුන්දර ළමා කාලයක් තියෙන්න ඇත්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් ඇගේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව පිළිබඳ හිතුවම. ඒක සොඳුරු අඩ දබර වලින් පිරැණු රමණීය කාල පරිච්ඡේදයක් වෙන්න ඕන. 

‘‘ මගේ ජීවිතේ අතීත මතක මම සමරන්නේ ඉතාමත් ආදරයෙන්. ඒ තරම් ආදරණීය මතක ගොන්නක් මට ළමා වියේදි තියෙන්නේ. අපි ඉපදුනේ බදුල්ලේ වුණාට පස්සෙ කාලෙක අපි මොණරාගල පදිංචියට යනවා. මම මුලින් අධ්‍යාපනය ලබන්නේ බදුල්ල උසස් බාලිකා විද්‍යාලයෙන්. ඊට පස්සේ බදුල්ල මහා විද්‍යාලයටත් පසුව බදුල්ල විශාඛා විද්‍යාලයටත් ඊට පස්සේ මොණරාගල මහානාම විද්‍යාලයටත් යනවා. ඉස්කෝලෙ යන කාලේ ඉඳලම මට තිබුනේ සංගීතය ගැන ආසාවක්පාසැල් මට්ටමින් පවත්වපු හැම දෙයකටම මම සහභාගි වුණා.පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මට තව දුරටත් සංගීතය ඉගෙන ගන්න තමයි කොළඹට ආවේ.

උත්සාහය ඇත්නම් තමන්ට ළඟා කර ගත නොහැක්කේ කුමක්ද? යන්නට හොඳම උදාහරණය ඇයය. ඇය ඇගේ ආශාවන් බලාපොරොත්තු වෙනුවෙන් නොපසුබට උත්සාහයෙන් කටයුතු කළා. සිය දියණියගේ හැකියාවන් , දක්ෂතාවයන් හඳුනා ගන්නා ඇගේ මෑණියන්ද ඇයට හැම විටම ධෛර්යය සපයමින් ඇගේ පසු පස සිටියා.

‘ මම සංගීතය වැඩිදුර ඉගෙන ගන්න දයාරත්න රණතුංග , අමරා රණතුංග ගුරු යුවළ ලඟට ආවා. එතනදි තමයි මගේ ජීවිතේ වෙනස ආරම්භ වෙන්නේ. ඒ කාලේ දයාරත්න අමරා යුවළ ‘‘ සාරංගා‘ කියලා ප්‍රසංගයක් පැවත්වූවා. මමත් ඒ ප්‍රසංගයට අත්වැල් ගායනයෙන් එත් වූවා. මේ ප්‍රසංගයේ වාදක මණ්ඩලයේ කටයුතු කරපු වික්ටර් විජයන්තව මම මුලින්ම හඳුනා ගන්නේ එතැන්දීයි‘‘

ඒ හඳුනා ගැනීම පසු කාලයක බොහෝදුර ගිය ප්‍රේම කතාවක් බවට පත්වෙනවා. මායාගේ කලා ජීවිතේ ආරමිභ වෙන්නටත් පෞද්ගලික ජීවිතයේ වෙනසටත් මේ හමුවීම බලපානවා. කලා ලොවේ දුර ගමනක් යන්නට ඇයට අත්වැල සපයන්නේ ඇගේ ප්‍රියයාණන් වූ වික්ටර්. ඒ වනවිට වික්ටර් ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ සේවය කරනවා. එසේම කලා කරුවෙකු වශයෙන් දුර ගමනක් යමින් සිටි තරුණයෙක්. මායා - වික්ටර් ප්‍රේමය කලා ලොවට අපූරු දේ තිළිණ කරනවා.

‘ මගේ පළවෙනි සරල ගී වැඩසටහනට මම ගායනා කරපු ‘ දෑස වසා සිටියා ‘ ගීතය නිර්මාණය කරලා දුන්නෙත් වික්ටර්. ඒ 1976 දී. ඊට පස්සේ අපි 1978 මාර්තු 21 වැනිදා විවාහ වුණා. එතැනින් පස්සේ වික්ටර් ගේ හෙවණේ ඉඳගෙන තමයි මම මගේ කලා ජීවිතේ පටන් ගන්නේ.

මායා ගේ පවුලේ දොළොස්දෙනාටම කලා හැකියාව හොඳීන් පිහිටලා තිබුණා. ඇය විශ්වාස කරන හැටියට ඒ හැකියාව ඔවුන්ට සිය මව්පියන්ගෙන්ම පැමිණි දෙයක් ඇගේ පියාත් ඒකාලයේ වේදික නාට්‍ය වල රඟපෑ නළුවෙක් මවත් අසීමිතව කලාවට ආදරය කරපු කෙනෙක්.අදටත් මේ පවුලේ පසු පරම්පරාවේ බොහෝ දෙනෙකුට මේ හැකියාව පිටලා තිබෙනවා. රංගනය පැත්තෙන් ඉදිරියටම ගියේ ඈ ළඟම නැගණිය වූ අනොජා වීරසිංහයි. ඇගේ වැඩිමල් සහෝදරියද කලාවේ රඳී සිටිය කෙනෙක්.

දෑස වසා සිටියා ඔබේ රුව 
ඇයිදෝ මට පෙනුණේ 
සවන වසා සිටියා ඔබේ හඩ 
ඇයිදෝ මට ඇසුණේ

මාලා වජිරා පෙරේරා ලියු මේ ගීතය ඇගේ පළමු සරලගී වැඩ සටහනට සංගීතවත් කලේ වික්ටර් විජයන්ත විසින්. එදා 70 දශකයේ අගභාගයේ ඇසුණු මේ ගීතය අදටත් අපේ ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රියයි. ඒ විතරක් නොවෙයි ඉන් පසුව ඇය සරල ගීත රුසක් අපට දායාද කලා.

පුරහඳ ලෙස ඔබ සමකල මගේ මුහුනේ 
නලලත මා සිත්තම් කළ කුකංකුම තිලකේ 
ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ 
පෙර ලෙස පැහැබර නැතිවද කලලේ තිලකේ

හේමසිරි හලිපිට ලියූ සරත්ද අල්විස් සංගීතවත් කළ මේ ගීතයද අදටත් අපි රසවිඳීන්නේ කිසියම් වූ මිහිරකින්.

“ මම ක්ෂේත්‍රයට ආව මුල්ම කාලේ තමයි මට චිත්‍රපට පසුබිම් ගීත ගායනයටත් ආරාධනා ලැබෙන්නේ.මගේ මුල්ම චිත්‍රපට පසුබිම් ගීතය මට ලොකු දුකක් වුණා. ඒකට හේතු වුනේ මම ගීතය ගායනා කළාට පසුව ඒ ගීතය චිත්‍ර පටයෙන් ඉවත් කරලා තිබුණා.ඒ ගීතය තමයි මම සාරංගා චිත්‍රපටයට වික්ටර් රත්නායකත් සමඟ ගැයූ “ ලිහිනින් පියඹා ආකාසේ ගීතය.ගීතය ලියුවේ අජන්තා රණසිංහ .සංගීතවත් කලේ ස්ටැන්ලි පීරිස්.නමුත් ඉතින් ඒ දුක තනී කරමිනු ඊට පස්සේ මම කැලෑ මල් චිත්‍රපටයට පසුබිම් ගීත ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට ආවා.මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි ගීතය රචනා කලේ. එච්. එම් ජයවර්ධන තමයි සංගීතවත් කළේ.

එතැන් පටන් ඇයට චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළද කාර්ය බහුල වන්නට සිදු වුණා.80 දශකයේ පැමිණි බොහෝ සිනමා පටවල පසුබිම් ගීත ගායනය සඳහා ඇයට ඇරියුම් ලැබුණා. මේ වනවිට ඇගේ සැමියා වික්ටර් විජයන්තද චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වී සිටි නිසා මේ දෙදෙනා එක්ව ගැයූ පසුබිම් ගීතද බොහොමයක් වුණා.

ඇය එකල එච් ආර් ජෝතිපාලයන් සමඟ ගායනා කළ මේ ගීතයට අදටත් ගීත ශ්‍රාවකයෝ ආදරෙයි. 

ඉද්ද මල් කතාවේ....කුමරී 
රත්තරන් කුමාරී

මූ .අරඅක්ගොඩ ගේ ‘ අරලිය මල් චිත්‍රපටය වෙනුවෙන් ඈ මේ ගීතය ජෝතිපාලයන් සමඟ ගායනා කළා.

කුරුල්ලෝ නුඹේ තාලෙන් 
පියාඹන්න ආසයි 
පියාපත් කොහේ කොතැනින් 
කොහෙන්දෝ ගෙනෙන්නේ

මේ ගීත දෙකම ඇය ගායනා කලේ ඇගේම සහෝදරී අනෝජා වීරසිංහ ගේ රංගනයට වීම තවත් සුවිශේෂීත්වයක්. ඇගේ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍ර යේ ඈ වැඩිපුරම පසුබිම ගීත ගායනා කර ඇත්තේත් ඇගේ නැඟණිය අනෝජා වෙනුවෙන්.

ඇත්තටම මම නිලි රුජින මාලිනී ෆොන්සේකා ගේ සිට මෑත භාගයේ සිනමාවට ආ නිලන්ති ඩයස් දක්වා නිළියන්ට පසුබිම් ගීත ගායනා කරලා තියෙනවා.මේ පුරා අවුරුදු හතලිස් හය දෙස ආපස්සට හැරිලා බලනකොට මට හුඟාක් සතුටු වෙන්න කාරණා තියෙනවා.මේ ප්‍රසංගයේදී මගේ ජීවිතේ මම ගායනා කළ සුවිශේෂ ජනප්‍රිය වූ සරල ගීත , චිත්‍රපට ගීත රුසක් ගායනා කරන්නට බලාපොරොත්තු වෙනවා.මෙවැනි ප්‍රසංගයක මම ගීත ගායනා කරන්නෙත් හුඟක් කාලෙකට පස්සෙයි. මට හිතෙන්නේ වසර 15 ට පස්සේ තමයි මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නේ. ඒ කාලේ අපි ප්‍රසංග ගණනාවක්ම පැවැත් වූවා. නමුත් පසු කාලීනව අපි ඒවායින් ටිකක් දුරස් වුණා. ඒකට විශේෂම හේතුව වුනේ මම ගුරුවරියක් හැටියට කාර්ය බහුල වීමයි. අදටත් මගේ ජීවිතේ ඒ ගුරු භූමිකාවට මම හරිම ආදරෙයි. මේ ක්ෂේත්‍රයට විශාල ගෝලබාලයන් ප්‍රමාණයක් මට දායාද කරන්න හැකියාව ලැබුණා. අදටත් මේ මොහොත වෙනවිටත් මම ගුරුවරියක් විදියට කටයුතු කරමින් ඉන්නවා. මේ ප්‍රසංගයේදී මාත් සමඟ මගේ දියනිය කුෂානී සඳරේඛා ත් ගී ගයන්න එක් වෙනවා. යුග ගායනයෙන් වික්ටර් විජයන්ත, කසුන් කල්හාර, අමරසිරි පීරිස්,වික්ටර් රත්නායක, ඉසුරු ජයරත්න මරියෝ ආනන්ද, රවීන්ද්‍ර රන්දෙනිය , ක්ලීටස් මෙන්ඩිස්,නුවන් ගුණවර්ධන,සමන්ත පෙරේරා,ඉන්ද්‍රචාපා ලියනගේ ඇතුළු පිරිසක් එක් වෙනවා.ප්‍රසංගය සංගීතවත් කරන්නේ රාජ්‍ය සංගීත කණ්ඩායමෙ සංගීත අධ්‍යක්ෂ ජානක පෙරේරා විසින්.මෙම උත්සවය සංවිධානය කරන්නේ මගේ 46 වසරක ගායන දිවියට උපහාර වශයෙන් සංකෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.

ඇත්තටම ගෙවුණු වසර ගණනාව පුරා මම චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කරලා තිබෙනවා .නමුත් ඒ මෙහෙය ඇගයීමකට ලක්වුනේ ඉතාමත්ම අඩුවෙන්. ඒ ගැන මට කනස්සල්ලක් තිබුණත් මම සංගීත ක්ෂේත්‍රයට දායාද කරපු නිර්මාණ දිහා බලනකොට මට ලොකු සතුටක් තියෙනවා. ඒ සියල්ලටම වඩා සුවිශේෂි වන කාරණයක් තියෙනවා මට කියන්න. ඒ මා මෙලොවට බිහිකරපු මගේ වැඩිමල් දියණිය අද මගේ ගමන ඉදිරියට ගෙනියන්න ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙලා ඉන්නවා. මම හිතනවා මම කලාවට ළින කරපු හොඳම නිර්මාණය ඇය කියලා. මට කිසිම ඇගයීමක් නොලැබුණත් අද ඇගේ ගමන දිහා බලලා මට ලොකු අඩම්බරයක් සතුටක් විඳීන්න පුළුවන් වෙලා තියෙනවා.ඇයත් මම වගේම ශාස්ත්‍රීය සංගීතය හදාරලා මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණ කෙනෙක්. 2016 සරසවිය සම්මාන උළෙලේදී ඇය හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වශයෙන් සම්මානයට පාත්‍ර වුණා.ඇයට තව බොහෝ දුර ගමනක් යන්න තියෙනවා. ඒ සඳහා අවැසි සියළු ශක්තිය ධෛර්යය ඇයට තියෙනවා කියලා මට විශ්වාසයි.

මගේ දරුවෝ දෙන්නම මම හැදුවේ සංගීතයක් එක්කම බැඳුණු ලෝකෙක. ඒ නිසා දෙන්නටම හොඳ සංගීත හැකියාවක් තියෙනවා. පොඩි දුව විවාහ වෙලා දැන් කැනඩාවේ පදිංචි වෙලා ඉන්න නිසා එයා කලාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ.ජීවිතේ දිහා ආපස්සට හිතලා බලනකොට මම වාසනාවන්ත ගැහැනියක් කියලා හිතෙනවා. තරුණ කාලෙදීම මට හොඳ ප්‍රේමවන්තයෙක් මුණ ගැහුණා ඔහු මාව හොඳීන් බලා ගත්තා. මගේ කලා දිවියට නිබඳ ශක්තියක් වුණා. ඒ වගේම ඔහු මට හොඳ ස්වාමි පුරුෂයෙක් වුණා. ආදරණීය දරුවන් දෙදෙනෙක් තිලිණ කලා.මම විශ්වාස කරනවා මම මගේ දරුවන්ට ආදරණීය අම්මා කෙනෙක් වුණා කියලා. ඒ වගේම මම දැන් ආදරණීය ආච්චි අම්මා කෙනෙක්.මගේ දරුවෝ දෙන්නත් බෑණලා දෙන්නත් මිණිපිරියන් දෙදෙනාත් එක්ක ගෙවන ජීවිතේ අවසන් කාලේහරිම රමනීයයි කියලා මට හිතෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.