සර් වූ මචං

ජනවාරි 16, 2020

 

දුරුතු පොහෝ දින ගෙවී ගියා පමණි. පසු දින රාත්‍රියේද පෙරදා මෙන් සුපැහැදිලි විය. පොහොය සඳේ ඉතිරි වූ කැල්මන් රාත්‍රිය පුරා රටා වියමින් සිටියේය. එදින මා සිටියේ කුරුණෑගල ඉබ්බාගමුව දොරවේරුව නමැති සොභා සෞන්දර්යයෙන් අනූන ගමේ වෙද ගෙදරකය. වෙද මහතා සමඟ කතාබහ කරමින් සිටින අතරතුරදි මා මනෝරත්න ගැන ඔහුට පැවසීය.

ඒ මොහොතෙදිත් මා හට අවැසි වූයේ මගේ අතිජාත මිතුරාව කෙසේ හෝ සනීප කර ගැනීමටය. වේදිකාවේ ලෑලි දෙදරන ඔහුගේ රංගනය යළි දැකීමට මං පෙරුම් පිරුවේය. මගේ වචනවලට වෙද මහතා දෙවරක් නොසිතා ඉතා ඉක්මනින් මනෝට වෙදකම් කිරීමට එන බව කීවේය. ඒ වෙනුවෙන් ඉතා ඉක්මනින් දිනයක් යොදා ගැනීමට මම කල්පනා කළෙමි. එහෙත් හෝරා කිහිපයක් ගත වූ තැන මට ලැබුණු පණිවිඩයෙන් මම තුෂ්නිම්භූත වූයෙමි. මිනිසුන් මිය යන බව සැබෑය. එහෙත් මෙතරම් ඉක්මනින් ඔහු අප අතහැර යනු ඇතැයි මා ඇතුළු ඔහුගේ සමීපතමයින් කිසි විටකත් නොසිතු වූයෙමු. ආදරණීය මනෝ . . . . ඔබ අප අතහැර ගියා කියා දැනගත් පසු මට මතක් වූයේ අපි පළමුවරට හමු වූ දිනයයි. අසූව දශකයේ මුල් කාලයට මගේ සිත දිව ගියේය. රංජිත් ලාල් නිර්මාණය කරන්නට සූදානමින් සිටි ස්වර්ණභූමි වාර්තාමය සිනමාපටයේ මුහුරත් දිනය අද මෙන් මට මතකය. එවකට මා නවකයකි. මනෝරත්න වේදිකාවේ ජනප්‍රිය චරිතයකි. ඔවුන් වැන්නවුන්ගේ නාට්‍ය රිහසල් කරන අන්දම හොරෙන් හෝ රස විඳීමට අප නොතිත් ආසාවෙන් පසු විය.

ආ ශ්‍රියන්ත මල්ලි . . . ආ ශ්‍රියන්ත මල්ලි.

මගේ නමට තනුවක් දමා තාලයට කියමින් මනෝ මා ගාවට අවේ මට ද සිනහ පහළ කරවමිනි. ඔහු ඒ වන විටත් අප පරපුර පිළිබඳ අවධානයකින් සිට ඇත. ස්වර්ණභූමි වාර්තාමය චිත්‍රපටයේ මගේ අයියා වූයේ මමෝය. එතැන් පටන් වසර හතළිහක් පුරා මනෝ මාගේ සමීපතම මිත්‍රයා විය. මනෝ රඟපෑ වේදිකා නාට්‍ය සියල්ලටම පාහේ මම තදින් ඇලුම් කළෙමි. ඒ අතරින් ද්විත්ව නාට්‍යය විශේෂ තැනක් ගන්නා බව අමුතුවෙන් ඔබට පැවසිය යුතු නොවන්නේය. වේදිකා නාට්‍යයක් තුළ චරිත ද්විත්වයක් පටලවා නොගෙන ප්‍රේක්ෂකයන්ව වින්දනයට පත් කිරීම මනෝ විසින් අපූරුවට ඉදිරිපත් කොට තිබිණ.

මනෝරත්න යනු රසගුලාවකි. ඔහු සිටිනා තැන පාළුවක් කාන්සියක් හෝ තෙහෙට්ටුවක් නැත. ඒ බවට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ. ඔහු වරෙක මට ගුරුවරයකු විය. ඒ අත්දැකීම ද රසවත් එකකි. දෙදහස් එක වසරේදී මම ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාවක් හැදෑරුවෙමි. එහි එක් ගුරුවරයකු ලෙසට මනෝ පැමිණියේය. එහිදී මා ඔහු ඇමතුවේ සර් ලෙසටය. මනෝ ඒ සර් තනතුර පැත්තකික් තබා මට මචං මචං යනුවෙන් පුරුදු පරිදි කතා කළේය. මගේ සර් සහ මනෝගේ මචං යන වචන හුවමාරුව අසා සිටින උන්ට මහත් වූ ආස්වාදජනක අත්දැකීමක් වන්නට ඇත. කන්දෙගෙදර, හිරු සඳු හමුවේ, මංගල තෑග්ග ආදී නිර්මාණයන් රැසක අපි දෙදෙනා එකට රංගනයේ යෙදුණෙමු. ඒ සෑම අවස්ථාවක්ම මා හට හොඳාකාරව මතකය. මනෝ වේදිකාවේ කරපු හරිය මෙතෙකැයි කියා කිව නොහැකිය. ඒ ආදරණීය බව ළෙංගතුකම නිසා මනෝගේ නිර්මාණ දිවිය තව තවත් ආලෝකවත් විය. මගේ මතකයට අනුව වැඩිම අවස්ථා ගණනාවකදී හොඳම නළුවා ලෙසට සම්මාන ගත් නළුවා මනෝය. ඔහු තැබූ එවන් වූ වාර්තාවක් බිඳ හෙළීමට කිසිවෙකුටත් හැකියාව ලැබෙන්නේ නැත. මනෝ නැති අඩුව අද නොව තව කාලෙකදි තදින් දැනෙනු ඇත. මා ආදරණීය මිත්‍රයාණෙනි . . . කෙසේ ඔබට සමු දෙමිද . . . එහෙත් එලෙස සිදු කිරීමට අවැසිය. නැවතත් කෙදිනකවත් ශ්‍රියන්ත මල්ලී කියා ඔබේ කටහඬ මා හට නොඇසෙනු ඇත. සුබ ගමන් කියා කියනවා හැර වෙන කුමක් පවසම්ද . . .

 

ඔබේ සදාදරණීය මිතුරු

ශ්‍රියන්ත මෙන්ඩිස්

 නිශ්ශංක විජේරත්න