දවසක් පුරා ඇසක් වසාගෙන

නාලන් මෙන්ඩිස්
ජනවාරි 16, 2020

 

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා මියගියේය. ඔහු මෙරට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යන තුන්ඈදුතු අංශවල මනා දක්ෂතා දැක්වූවෙකි. රූපවාහිනිය නිවෙසෙට පැමිණි ඒ යුගයේ බෙහෙවින් ජනප්‍රිය වූ මෙවෙලමක් වූ එහි විකාශය වූ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යය හා ඔහුගේ මතකය අද ද එකල රූපවාහිනී නරඹන්නන්ට අමතක නොවේ. මෙගා ටෙලි නාට්‍යවල ආරම්භය ලෙස සැලකෙන ‘දූදරුවෝ’ හි පුන්සිරි ලෙස ඔහු එදා ජන මනසේ සිදු කළ බලපෑම කොතරම් ද යන්නට අටුවා ටීකා අනවශ්‍ය ය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ නාලන් මෙන්ඩිස් ය. ඒ නිසා ම නාලන් මෙන්ඩිස්, පුන්සිරි අප හැර යන්න යන මොහොතේ ඔවුන් අතර වූ සබැඳීයාව පිළිබඳ සිය මතකය ගෙනහැර පෑවේ ‍මෙසේයි.

1978 වසර කියන්නේ මා ලයනල් වෙන්ඩ්ට් පාඨමාලාවට ගිය අවුරුද්ද. ඒ අතර මා ධම්ම ජාගොඩ මහත්තයා නැවතිලා තිබුණු ‘සිංහබාහු’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් ආරම්භ කළා. ඒ නව නිෂ්පාදනයේ පුහුණු වීම් සඳහා සමන් බොකලවල, ටෙරි රණසිංහ, මාලනී රණසිංහ වගේ නළු නිළියන් කිහිප දෙනකුම ලයනල් වෙන්ඩ්ට් එකට ආවා ගියා. ජයලත් මනෝරත්න කියන්නේ ඒ අය අතර සිටි එක් නළුවෙක්. යුව රජුගේ චරිතයටයි ඔහු එහි පණ පෙව්වේ. එපමණක් පමණක් නොවේ එහි සිංහසීවලී ලෙස පණ පෙව්වේ අද වන විට ඔහුගේ බිරියව සිටින ජයන්ති. මේ පුහුණු වීම්වලදියි මට මනෝව පළමු වරට මුණ ගැසෙන්නේ.

ඩොක්ටර් සරච්චන්ද්‍ර ලංකාවට පැමිණි පසු නිර්මාණය කළ ‘වෙස්සන්තර’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබුණෙත් ජයලත් මනෝරත්නවයි. මේ නාට්‍යය දෙකේ ම රංගභූමි පරිපාලකවරයකු විදියට වැඩ කිරීමේ අවස්ථාව ලැබුණේ මට නිසා ජයලත් මනෝරත්නව මට ඒ නිර්මාණවලදි මුණ ගැසුණා. මේ කටයුතු අතරදියි ඔහු ඔහුගේ පළමු වේදිකා නාට්‍යය වන ‘මහගිරිදඹ’ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ. ඒ කාලය ඇතුළේ මා ඔහු ඇසුරේ ගෙවුණු නිසා ම මට අවබෝධ වූයේ ඔහු දක්ෂ නළුවකු, නිෂ්පාදකවරයකු යන්නයි. ඒ විතරක් ම නොවේ; කොතරම් හොඳ මනුෂ්‍යයකු ද යන්නයි. එය මට අමතක කළ නොහැකි කාරණයක්.

මේ අතරතුරයි අපට රූපවාහිනිය පැමිණෙන්නේ. රූපවාහිනීයේ සේවයේ නියුතු වන පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ යන ප්‍රවීණ නිර්මාණකරුවන් හරහායි මටත් එහි පිවිසීමේ දොරගුලු විවිර වන්නේ. රූපවාහිනියේ වැඩසටහන් සහය අධ්‍යක්ෂවරයකු ලෙස මට කටයුතු කිරීමට ලැබෙන්නේත් ඒ නිසාමයි. ඒ කාලයේදියි මැදිරියෙන් පිටත ‘ඇබැද්දිය’ නමින් පැය භාගයක ඒකාංගික ටෙලි නාට්‍යයක් නිර්මාණය වන්නේ. මේ ඒකාංගික ටෙලි නාට්‍යයට මනෝගේ රංගන දායකත්වය ලබා ගැනීමටත් තීරණය වෙනවා. එයයි ඔහුගේ රූපවාහිනියේ සහභාගි වුණු පළමු ටෙලි නිර්මාණය වන්නේ. එහි මා කටයුතු කරන්නේ සහය අධ්‍යක්ෂවරයා වශයෙන්. මෙතැන් පටන් එහි කෙරෙන ටෙලි නිර්මාණවල සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ යම් භාග්‍යයක්. ඒ වාසනාව අනුව මා සහය අධ්‍යක්ෂණය කරන රූපවාහිනියේ නිෂ්පාදනයක් ලෙස කෙරුණු බර්ටම් නිහාල් අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය’ ටෙලි නාට්‍යයේ ජිනදාස ලෙස ඔහු කළ රඟපෑම මට අද වගේ මතකයි.

මේ විදියට සිටින කාලය අතරතුරදියි මට මගේ පළමු ටෙලි නාට්‍යය නිර්මාණය කිරීමට ලැබෙන්නේ. ඒ ‘පස්සෙ ගෙනා මනමාලි’යි. එහිදියි මගේ නිර්මාණයක පළමු වරට මා මනෝව සහභාගි කරගන්නේ. ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේනගේ පෙම්වතා ලෙසයි එහි ඔහු රඟපෑවේ. එහි ඔහු රඟපෑ චරිතය අනුව ඔහුගේ එක් ඇසක් අන්ධයි. ඒ අන්ධ භාවය දැක් වීමට ජේ. සුරනිමල කරන්නේ වෙනස්ම අංගරචනාවක්. ඒ සඳහා ඔහුගේ ඇස සම්පූර්ණයෙන් ම වසා එයට උඩින් අංගරචනාවක් කිරීම මඟිනුයි ඒ චරිතය නිර්මාණය වුණේ. දවස පුරාම ඒ ආකාරයට ඇස වසාගෙන සිටින්න සිදු වුණත් ඔහු නොවෙයි කිසිම මැසිවිල්ලක් නැඟුවේ. ඒ සියලු දේ දරාගෙන සිටි ඔහු ඒ චරිතය නියම ආකාරයෙන් නිරූපණය කළා.

එයට පසුවයි මට ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ 1990 වසරේ. මනෝරත්නව බොහොම ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබෙන්නේ එතැන් පටන්. ඒ කාලය වසර පහක්. එහි හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, එච්. ඒ. පෙරේරා, නීල් අලස්, වීණා ජයකොඩි, නිල්මිණී තෙන්නකෝන්, උදේනි අල්විස්, යශෝධා විමලධර්ම වගේ නළු නිළියන් රැසක් සිය රංගන දක්ෂතා දක්වනවා. ජයලත් මනෝරත්න එහි රඟපෑවේ පුන්සිරිගේ චරිතයයි. ඔහුගේ අනෙක් සහයිකාව වූයේ නන්දනියි. ඒ චරිතයට පණ දුන්නේ චාන්දනී සෙනෙවිරත්නයි. ඒ චරිත රූපවාහිනී නරඹන්නන් අතර කොතරම් ජනප්‍රිය වූයේ ද යත් ඔවුන්ව එකල හැඳීන්වූයේ ඒ නම්වලින්. ඒ තරමටම අනේක ප්‍රතිචාර මනෝ කළ පුන්සිරිගේ චරිතයටත් ලැබුණු බව මට මතකයි.

ඒ ගෙවුණු වසර පහක කාලය ඇතුළේ ඔහු හා තිබුණු ගනුදෙනුව ගෙවුණේ බොහොම සුන්දර ආකාරයෙන්. එකල ඒ චරිතයට ඔහු හැරෙන්න වෙනත් නළුවකු පිළිබඳ මට සිතා ගන්නවත් බැරි තරම්. ඒ මගේ අදහස සඵල කරමින් ඔහු පුන්සිරිට මනාව පණ දුන්නා. බොහොම අමාරුකම් මැද්දේ ඉගෙන ගෙන ඉහළට යන රජයේ සේවකයකු වුණු මධ්‍යම පාන්තික පවුලකින් ආව පුන්සිරිගේ චරිතය සෝමවීර සේනානායක මනා අයුරින් විකාශනය කර තිබුණා. ඔහුගේ වගේම අනෙක් චරිතත්. ඒ නිසා පුන්සිරිගේ චරිතය මගේ සිතේ තිබුණු ආකාරයට ප්‍රතිනිර්මාණය කරගැනීමට ඔහුගෙන් ලැබුණු සහයෝගය බොහොමයි.

ඒ වන විට ඔහු බොහොම කාර්යබහුල නළුවෙක්. මනෝ කියන්නේ ඒ වන විට වේදිකාවට නැතිවම බැරිවුණු නළුවෙක්. ඒ මොන දේ කළත් ඔහුට මා ගරු කරන්නේ මෙන්න මේ නිසාමයි. ඒ වේදිකාවයි, දූදරුවෝයි කිසිම දවසක පටලවා නොගැනීම නිසා. සෙට් එකට ප්‍රමාද වී පැමිණීම ගැන කිසිම දවසක ඔහුට චෝදනා තිබුණේ නැහැ. නියම වෙලාවට වැඩ කළා. ඔහුට ලැබුණු චරිතය ගැන ඔහු හරියට අධ්‍යයනය කළා. ඒ නිසාමදෝ ඔහුට පුන්සිරිගේ චරිතය මඟින් ජනතාව අතරට යන්න හැකි වුණා. අදටත් රූපවාහිනි නරඹන්නන්ගේ මතකයේ පුන්සිරි ඉන්නේ ඒ නිසාමයි.

අද මෙන් හරි අදහසක් නැති පිටපතක් එකල තිබුණේ නැහැ. නියමිත කතා සාරංශයකට අනුව ටෙලි නාට්‍යය පිටපත දිගටම ලියැවුණා. වසර පහක කාලයක් පමණ ‘දූදරුවෝ’ විකාශය වුණත් කලින්ම නළු නිළියන්ට පිටපත දෙන්න අපට හැකි වුණා. ඒ චරිත ගැන සාකච්ඡා කළා. ඒ වගේම ඒ කාලයේ දවසකට අද තරම් දර්ශන ගොඩක් රූගත කළෙත් නැහැ. මේ නිසා එක දර්ශනයක් අවසාන වෙලා ඊළඟ දර්ශනයට යන්න තිබුණේ ඕනෑතරම් කාලයක්. ඒ විවේක කාලයේ හෙන්රි, අයිරාංගනී, එච්. ඒ, සුනේත්‍රා, චාන්දනී, නීල් අලස් ඔවුනොවුන්ගේ අත්දැකීම් ගැන කතා කළේ බොහොම ඕනෑකමින්. ඒ අතරට මනෝ මනෝගෙ අත්දැකීම් ගැන කියන්නෙත් බොහොම රසවත් ආකාරයෙන්. ඇත්තටම එතැන නිර්මාණය වුණේ දැනුම වගේම රස ගඟුලක්.

අවසාන වශයෙන් මනෝ සමඟ මට වැඩ කරන්න ලැබෙන්නේ සියත රූපවාහිනිය ඇසුරේ. එහි මා කරන ලද ‘ටෙලි නාට්‍යයක කතාව’ වැඩසටහනේ ඉදිරිපත් කරන්නා ලෙස කටයුතු කරන ලද්දේ ඔහුයි. පැයක වැඩසටහනක් වූ එහි කතාබහ කරන ලද්දේ ටෙලි නාට්‍යයේ ඉතිහාසයත් සමඟයි.

මේ අතීත මතක අතර සිටින මගේ මතකයට නැඟෙන්නේ ‘දූදරුවෝ’ නාට්‍යයේ එක්තරා සිදු වීමක්. එක්තරා දවසක දූදරුවෝ එක් දර්ශන පෙළක් රූගත කිරීම් ආරම්භ කරන්න සියල්ල සූදානම් වෙලයි තිබුණේ. මට මතක විදියට ඒ සිදු වීම සිදු වෙන්නේ පුන්සිරිගේ අම්මා ඇසිලින් මිය ගිය පණිවිඩයත් එක්ක. එදා ඇගේ දෙණ බලන්න පුන්සිරි මල් ශාලාවට එන දර්ශනයයි රූගත කිරීමට තිබුණේ. ඒ දර්ශනය රූගත කරන්න කලින් දර්ශන රූගත කරලා දවස් කිහිපයක නිවාඩුවකින් පසුවයි මල් ශාලාවේ දර්ශනය රූගත කළේ. හරියටම ඒ මාලඹේ මල්ශාලාවක. පුන්සිරිගේ අම්මා විදියට රඟපෑවේ චන්ද්‍රා කළුආරච්චි. එදත් නියමිත වෙලාවට පුන්සිරි ආවා. චන්ද්‍රා මිනීපෙට්ටියේ නිදා ගත්තා. මේ අතරයි මනෝගේ යම් වෙනසක් තිබෙන බව මට හැඟී ගියේ. මොකද මනෝ ඒ ගෙදරින් අම්මා බලන්න ගියේ කොණ්ඩය වවාගෙන. ඒත් දින කිහිපයකට පසු රූගත කෙරෙන මේ රූගත කිරීම්වලදි පැමිණෙන්නේ ඔහු කොණ්ඩය කොට කරගෙන. ඔහු ඒ ගැන ඒ තරම්ම හිතුලා නොතිබුණත් ටික දවසක් කොණ්ඩය ටිකක් වැවෙන කම් රූගත කිරීම් කල් දාන්න සිදු වුණා. මනෝ ඒ ගැන දවස් කිහිපයක්ම මගෙන් සමාව ගත්ත බව මට මතකයි.

අද ඒ වගේ දේවල් නොතිබුණත් ඒ කාලයේ රූප රාමු අතර ගැළපීම නියමාකාරයටමයි සිදු වුණේ. මට මේ සිදු වීම මතකයට නැඟුණේ අද වන විට එහි සිටි චන්ද්‍ර අක්කත් පසුගිය කාලයේ අප අතැර ගිය නිසා. අද වන විට මනෝත් අප අතැර ගිහින්. මනෝ කියන්නේ මට මුණ ගැසුණු බොහොම සුන්දර ම මිනිසෙක්. ඒ සුන්දර මිනිසා මේ වන විටත් අවසන් ගමනට සූදානම් වෙලා. නිවෙසට වෙලා බලාගෙන ඉන්නේ ඒ කටයුතු කෙරෙන තුරු. එවැනි සුන්දර මිනිසකුගේ හැර යෑම සිතට ගෙනෙන්නේ ශෝකයක්. ඒත් ඔහුගේ අතැර යෑමෙන් යමක් ඔහු අපට පසක් කළා. ඒ තනියම ආ ගමන තනියම යා යුතු බවයි.