"කන්‍යාවි" අසභ්‍යයි? ගුවන්විදුලියේ තහනම්

The Newspaper නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන
ජූලි 9, 2020

"කලාව කරන මිනිස්සුන්ගේ හදවත් හරි මෘදුයි. කලාකරුවෝ මිනීමරුවෝ කියලා කවුරුත් කියන්නේ නැහැ" ඒ කලාව ගැන ඔහු සිතන ආකාරයය. එවැනි සංවේදී හදවතක් ඔහුටද හිමිය. පාර්ලිමේන්තුව තුළ ආර්ථික විද්‍යා න්‍යායන් ඉදිරිපත් කරමින් ප්‍රතිපක්ෂවලට අභියෝග කරන, නිරන්තරයෙන් මාධ්‍යයට පැමිණ සමූපාකාර ක්‍රම ගැන මහජනයාට කියන ඔහුටද කලාවෙන් ව්‍යුක්තව සිටිය නොහැකිය. ඔහුගේ ජීවිතයෙන් වැඩිමනක් කැප කර ඇත්තේ දේශපාලනයටය. අධ්‍යාපනයටය. ඔහු සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යා හා වාණිජ දේශකවරයෙක්‍ ය. චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් ය. දේශපාලනඥයෙක් ය. හෙතෙම බන්දුල ගුණවර්ධනය. අමාත්‍ය මණ්ඩලයේ වැඩ කටයුතු අධික වකවානුවක, මහමැතිවරණයකට ලහි ලහියේ සූදානම් වන වකවානුවක ඒ සියල්ල පසෙකලා ඔහු අප සමඟ කතාබහ කළේ කලාව ගැනය. කලාව ඔහුගේ ජීවිතයට කෙතරම් සමීපද යන්න ගැනය.

ඉස්කෝලේ යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

අපි ඉස්කෝලේ යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් තිබුණේ නැහැ. නමුත් සුජාතිකත්වය, දේශාභිමානය ගැන කවි, සින්දු කුඩා පන්තිවලදි කියනවා. මම ඉගෙනගත්තේ හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙ. හය ශ්‍රේණියේදී මාව පාසල් ගීතය කියන්න තෝරගත්තා ධනපාල කියන සංගීත ගුරුතුමා.

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ ඉගෙන ගනිද්දි කොල්ලෝ එක්ක කට්ටි පැනපු කාලේ හොරෙන් හෝල් එකකට ගිහින් චිත්‍රපටි බලලා නැද්ද?

අපොයි ඕනේ තරම් බලලා තියෙනවා. හයේ පන්තියේ ඉඳන් චිත්‍රපටි බලලා ඇති මම. ඒ දවස්වල නිතරම අපි යාළුවෝ එක්ක ගිහින් චිත්‍රපටි බලනවා. අපේ යාළුවෝ කල්ලියක් හිටියා. හරියට 10ට ඉස්කෝලෙන් පැනලා 10.30 show එක බලන්න යනවා. සමහර දවස්වලට ඉස්කෝලේ ඉවර වෙලා 2.30 show එක බලන්න යනවා. ඒ කාලේ හවසට ටියුෂන් කියලා ජාතියක් තිබුණේ නැති නිසා හවස් කාලය විනෝදෙන් ගත කළා. (සිනාසෙමින්) හංවැල්ලේ නිමාලි හෝල් එකට තමයි අපි යන්නේ චිත්‍රපටි බලන්න. උඩරට මැණිකේ, රන්මුතුදූව, පරසතුමල් වගේ ඒ කාලේ ආපු හැම චිත්‍රපටියක්ම බැලුවා. ගැලරියේ තමයි අපි චිත්‍රපටි බලන්නේ. සත හැත්ත පහයි ටිකට් එක.

එහෙම චිත්‍රපටි බලනකොට වුණු අමතක නොවන සිදුවීම් ගැන මතක් කරමු?

ඉස්කෝලෙන් කට්ටි පැනලා ගිහින් චිත්‍රපටි බලලා ඉවර වෙලා හෝල් එකෙන් එළියට එනකොට ඉස්කෝලේ ගුරුවරුන්ට අහුවෙලා තියෙනවා. නෑදෑයොන්ටත් අහු වෙලා තියෙනවා. පොඩිම කාලේ දවසක මගේ ඥාති අක්කලා පිරිසක් චිත්‍රපටියක් බලන්න මට කහහේන හන්දියට එන්න කිව්වා. මම එනකොට එයාලා පරක්කු නිසා ගිහින්. මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. මම කහහේනේ ඉඳලා හංවැල්ලට පයින් ඇවිත් තියෙනවා චිත්‍රපටියක් බලන්න.

ඔබ ද්විතියික අධ්‍යාපනයට ගොඩවදින්නේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ කෙම්බිමකට. ලුම්බිණියට..

ඔව්. අවුරුදු පහළොවේදි මම ලුම්බිණි විද්‍යාලයට උසස් පෙළ හදාරන්න එනවා. ඒ කාලේ ලුම්බිණි රඟහල තමයි වේදිකා නාට්‍ය කලාවේ ප්‍රසිද්ධම ස්ථානය. ලුම්බිණි හෝල් එක බාරව හිටියා බාලසුරිය සහ පැට්‍රික් කියලා අයියලා දෙන්නෙක්. ඒ කාලේ ලංකාවේ ඉස්ඉස්සෙල්ලාම වේදිකා නාට්‍යයක් රඟදක්වන්නේ ලුම්බිණි හෝල් එකේ. ඉතින් ලුම්බිණියට එනවා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම වගේ නානා මාදිලියේ නාට්‍යකරුවන්. ඒ කාලේ අපි ශිෂ්‍ය නායකයෝ. ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්නේ නෑ පාඩම් කරන්න හවසට නතර වෙනවා. හවසට වේදිකා නාට්‍යයක් පෙන්වනවා නම් හෝල් එකේ සෙනඟ ඇවිත් ලයිට් නිව්වාම පැට්‍රික් අයියා අපේ කොල්ලො ටික ගෙනල්ලා පිටිපස්සෙන් ඉන්දවනවා හෝල් එකේ. ඒ කාලේ නොබලපු වේදිකා නාට්‍යක් නැති තරම්.

බන්දුල ගුණවර්ධනට කලාව එන්නත් වෙන්නේ ලුම්බිණියෙන්ද?

අපි ඉගෙන ගත්තේ වාණිජ්‍ය. අපේ විෂය ධාරාවට කලාව නැහැ. නමුත් දැන් හිතෙනවා කලා විෂයන් හැදෑරුවා නම් හොඳයි කියලා. වේදිකා නාට්‍ය බලනකොට තමයි කලාව ආශ්‍රිත පතපොත කියවන්න අධ්‍යයනය කරන්න උනන්දුවක් ඇති වෙන්නේ. කලාව කියන දේ මොකක්ද කියලා ලුම්බිණියෙන් තමයි මට අවබෝධ වෙන්නේ. බයිස්කෝප් වගේ නෙමෙයි, ඉස්සර වේදිකා නාට්‍යයක් හැමෝටම බලන්න බැහැ. වේදිකා නාට්‍ය බැලුවේ ඉහළ මධ්‍යම පාන්තිකයෝ. සාජන් නල්ලතම්බි ලෙවල් එකට වේදිකා නාට්‍ය වැටිලා තිබුණේ නැහැ. තරුණ කාලේ කියන්නේ අපිටත් වෙනස් විදිහට හිතන රැඩිකල් අදහස් තිබුණු කාලේ. ඒ නිසාම එක එක ක්ෂේත්‍ර ගැන කුතුහලයක් ඇති වුණා. රැඩිකල් සිතිවිලි බලපු වේදිකා නාට්‍යවලින් පවා අපි හෙව්වා. ඉස්කෝලෙන් ඉවත් වෙද්දි මට අපේ ඉස්කෝලෙම තීන්ත ආලේප කරන්න වුවමනා වුණා. එතකොට අපිට සල්ලි නැහැ. සල්ලි හොයන්න සෝමපාල ගුණධීරගේ "උමතුසං වරුසාව" වේදිකා නාට්‍ය අපි සංවිධානය කරලා ලුම්බිණියේ පෙන්නුවා. ඒක කබුකි නාට්‍යයක්. ඒකේ ලස්සන ගීතයක් තියෙනවා.

"උමතුසං වරුසාව එනවා

උමතුසං වරුසාව එනවා

තෙමෙන අය ඒ මහා වැස්සට

සිහිවිකල් වී පරල වෙනවා

පිස්සන් රජ වුණත් එකයි

රජුන් පිස්සු වුණත් එකයි

කාගේ ගෑනු කාට ගියත්

අපේ නමට ලැබෙයි ළමයි"

ඉන්පසුව හර්බට් රංජිත් පීරිස් මුණගැහිලා සංගීත ප්‍රසංගයකුත් ඉස්කෝලේ සංවිධානය කළා. මර්වින් පෙරේරා, ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ තමයි ඒකේ ගීත ගායනා කළේ. ලුම්බිණියෙදි මුණගැහුණු නාට්‍යකරුවන්ම තමයි මාව සිනමාවට කැන්ඳගෙන ආවෙත්. මගේ "සුද්දිලාගේ කතාව" කරපු ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යකරුවෙක්. "සිරිමැදුර", "අයෝමා" හදපු පරාක්‍රම නිරිඇල්ල කියන්නේ නාට්‍යකරුවෙක්. ඒ නිසා මගේ කලා වැඩවලට ලොකුම බලපෑම කළේ ලුම්බිණිය සහ ඒ ආශ්‍රිතව ගොඩනැඟුණු උපසංස්කෘතිය.

ඒ කාලේ ඔබ කැමතිම වේදිකා නාට්‍ය නළුවා කවුද?

මම කැමතිම නළුවා සිරිල් වික්‍රමගේ. පසුකාලීනව ඔහු මගේ හැම චිත්‍රපටයකටම සම්බන්ධ කරගත්තා. වේදිකාව උඩ ඔහුගේ රංගන පෞරුෂය තියුණු ආයුධයක් වගේ මට පෙනුණේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

නැහැ. කිසිම වැඩකට සම්බන්ධ වුණේ නැති තරම්. ඇත්තටම පළවෙනි අවුරුද්දේ විතරයි මම නොකඩවා විශ්වවිද්‍යාලයට ගියේ. ඒ කාලේ මම බොහොම බරපතළ විදිහට ටියුෂන් පන්ති කරන්න ඇබ්බැහි වුණා. විශ්වවිද්‍යාලයේ දේශපාලනයේ තිබුණු නරකකම නිසාම මම ඉක්මනින් උගන්වන්නයි පොත් ලියන්නයි ඇබ්බැහි වුණා. විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට ව්‍යාපාර අධ්‍යයනය හා වාණිජ්‍ය සම්බන්ධ පොත් දහයක් ලියලා තිබුණා.

ඒ කාලේ පෙම්වතියත් එක්ක චිත්‍රපට එහෙම බලලා ඇති නේද?

ඔව් බලලා තියෙනවා. මට පාසල් කාලයේදීම ලැබුණේ බොහොම අමාරු පෙම්වතියක්. එයාගේ ගෙදරින් බොහොම තද නීතිරීති තිබුණු නිසා හුඟක් අමාරු වුණා චිත්‍රපටියක් බලන්න එක්කන් යන්න. "ළසඳා" මමයි එයයි ගිහින් බලපු චිත්‍රපටයක්. "ගෙදර හිටිය රෝස කැකුළ රෝසා" සින්දුව ඒ චිත්‍රපටයේ තිබුණේ. අපි පාසල් යන කාලේ ඉඳන්ම සිංහල සිනමාව වගේම හින්දි සිනමාව ගැනත් උනන්දුයි.

හින්දි සිනමාවේ ඔබ ප්‍රිය කරන දේවල් ගැන කතා කරමු?

"හාති මෙරේ සාති" වගේ හින්දි චිත්‍රපටි මම හෝල් එකේ බලලා තියෙනවා. කැමතිම චිත්‍රපටය "අභිමාන්". ඒකේ උදෘත පාඨය තාමත් මතකයි. "ඔවුන් දෙදෙන එක් කළේද සංගීතයයි. වෙන් කළේද සංගීතයයි." අමිතාබ් බච්චන්, ජයා බහදුරී තමයි ලංකාවේ අයගේ ජනප්‍රිය තරු.

දෙතුන් වතාව හොල් එකේ බලපු චිත්‍රපටි තියෙනවාද?

සමහර චිත්‍රපටි එහෙම බැලුවා. සත්සමුදුර, ගම්පෙරළිය වගේ චිත්‍රපටි දෙතුන් වතාවක් බැලුවා. ඒවා වැඩිකල් දුවපුවා නෙමෙයි. ජීවිත යථාර්ථයට කිට්ටු චිත්‍රපටි මම ගොඩක් බැලුවා. වාණිජ රැල්ලේ චිත්‍රපටි බලලා නැහැ.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

ගාමිණී ෆොන්සේකා. නමුත් අනිත් කොල්ලෝ වගේ මම ඔහුව අනුකරණය කළේ නැහැ.

ඒ කියන්නේ අනිත් තරුණයන්ට වගේ බන්දුල ගුණවර්ධනට බයිස්කෝප් පිස්සුවක් තිබුණේ නැහැ?

මොකද නැත්තේ? තිබුණා. මම ඒ කාලේ පත්‍තරවල තියෙන චිත්‍රපටිවල රූප කපලා එකතු කරලා ඒ චිත්‍රපටියේ කතාව හදනවා. එහෙම චිත්‍රපටි ගොඩක් එකතු කරලා ඒ කතා හදපු පොතක් මට තිබුණා. සයිමන් මරවනාගොඩගේ "පාරාවළලු" චිත්‍රපටිය එහෙම හැදුවා මතකයි. ඊට අමතරව සිනමාව ගැන පළ වුණු විචාර මම ඒ පොතේ ඇලෙව්වා. දිනමිණ පත්තරේ "ජයවිලාල්ගේ සිනමා විචාරය" නොවරදවාම කියෙව්වා. ඒවායින් තමයි මමගේ රසඥතාව දියුණු කරගත්තේ.

ඒ කාලේ නිළියක් විවාහ කරගන්න හිතුණේ නැද්ද?

නිළියෝ විවාහ කරගන්න හිතුණේ නැහැ. නිළියන්ට වඩා ලස්සනට හිටියා ඒ කාලේ තමරා (බිරිඳ). නමුත් ස්වර්ණා මල්ලවාඅරච්චි, මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, පුන්‍යා හීන්දෙණිය වගේ නිළියන්ට මම කැමතියි.

කැමතිම චිත්‍රපටය මොකක්ද?

එකක් කියන්න අමාරුයි. චිත්‍රපටි ගොඩක් තියෙනවා. නිධානය, බඹරු ඇවිත්, අහස්ගව්ව, හංසවිලක්, පෙම්බර මධූ වගේ චිත්‍රපටිවලට කැමතියි. මෑතකාලීන නවකයන්ගේ චිත්‍රපටිවලින් කුලරත්න ආරියවංශගේ පුතුන් දෙදෙනා කරපු (කල්පන - වින්දන) "ප්‍රේමය නම්" චිත්‍රපටියට කැමතියි.

ඔබ චිත්‍රපටි නිෂ්පාදනයට පිවිසෙන්නේ කොයි කාලයේද?

විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ධර්මසිරි බණ්ඩාරනායකගේ ප්‍රථම චිත්‍රපටය "හංසවිලක්" නිෂ්පාදනය කරන්න උත්සාහ කළා. ඒ සඳහා මගේ තිබුණු සල්ලි මදි නිසා බැංකු ණයක් ඉල්ලුවාම දුන්නේ නැහැ. ඉඩමයි ගෙදරයි උකස් කරලා සල්ලි ගන්න උත්සාහ කළා ඒකත් අසාර්ථක වුණා. ඊටපස්සේ ධර්මසිරිගේ "තුන්වෙනි යාමය" නිෂ්පාදන කළා. නමුත් ඒක වාණිජ වශයෙන් සාර්ථක වුණේ නැහැ. ඊටපස්සේ 1982දී මම ධර්මසිරි එක්ක සයිමන් නවගත්තේගමගේ "සුද්දිලාගේ කතාව" කළා. එතකොට මට හොඳ ආර්ථික ශක්තියක් තිබුණා. මම බඳීනකොට "සුද්දිලාගේ කතාව" හදලා ඉවරයි. පත්තරවල අපේ මඟුල් පින්තූරය පළ කළේ "සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යා දේශක සහ චිත්‍රපටි නිෂ්පාදක බන්දුල ගුණවර්ධන" කියන නමින්.

"සුද්දිලාගේ කතාව" ගැන කතා නොකරම බැහැ. ඒ ගැනත් කියමු?

සිනමාවත් වැටිලා තිබුණු කාලයක තමයි "සුද්දිලාගේ කතාව" ආවේ. මම ඒ කතාව තෝරාගත්තෙත් ඒක අළෙවි කරන්න පුළුවන් නිසා. සමාජයේ වෙච්ච් පරිවර්තනයක් ගැන කතාව තියෙන්නේ. ඒකට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මට මතකයි බොරැල්ලේ ලීඩෝ එකේ සෙනඟ පිරෙනවා හෝල් එක ඉස්සරහා. මේ එන්නේ පහළම මට්ටමේ මිනිස්සු. විසිල් ගහන, හූ කියන අය. ෆිල්ම් එක බලන්න දොරවල් කඩාගෙන ඇතුළට එන්න හදනකොට ඒකේ මැනේජර් බෙල්ට් එක ගලවලා අරගෙන පොරකන අයට ගහනවා. ඒක ආදායම් වාර්තා තිබ්බ චිත්‍රපටයක්. ඒ කාලේ වැටිලා තිබුණු සිනමාවට "සුද්දිලාගේ කතාව" නව පණක් දුන්නා. සුද්දිලාගේ කතාවට සම්මානත් හුඟක් ලැබුණා. හොඳම චිත්‍රපටි නිෂ්පාදකට හිමි සරසවිය සම්මානය මට ලැබුණා.

ඔබ "සිරිමැඳුර"ට ගොඩවඳීන්නේ කොහොමද?

එතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඒ වෙනකොට පරාක්‍රම නිරිඇල්ලගේ "සෙක්කුව" නාට්‍ය මම බලලා තිබුණා. මට හිතුණා ඔහුට චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා. මේ කාලයේදී මට ඇන්ඩෲ ජයමාන්න ගෙනල්ලා දුන්නා සයිමන් නවගත්තේගම ලියලා තිබුණු තිරකතාවක්. මම පරාක්‍රමට කිව්වා මේ චිත්‍රපටිය හදන්න කියලා. ඔහු මුලින්ම ඒක ප්‍රතික්ෂේප කළා. මගේ පෙරැත්ත කිරීම උඩ ඔහු ඒ චිත්‍රපටිය හදලා සිනමාවට ආවා. සිරිමැදුර චිත්‍රපටය විශිෂ්ට නිර්මාණයක් වුණා. රවින්ද්‍ර රන්දෙණිය වචනයක්වත් කතා නොකර හොඳම නළුවා සම්මානය ගත්තා. හොඳම නිළියට අනෝජා වීරසිංහයි මාලනී ෆොන්සේකයි අතර ලොකු තරගයක් තිබුණා. අනෝජා හොඳම නිළිය වුණා. මාලනීටත් විශේෂ ජූරි සම්මානයක් ලැබුණා.

සිරිමැදුර චිත්‍රපටියේ "කන්‍යාවී" ගීතය ගැන මතක් කරමු?

අමරසිරි පීරිස් ගයන, කේමදාස මාස්‍ටර් සංගීතය කරපු, ලූෂන් බුලත්සිංහල ලියපු ඒ ගීතය අතිශය ජනප්‍රිය වුණා ඒ කාලේ. ඒ ගීතයේ සමහර පද නිසා ගීතය ප්‍රචාරය කිරීම ගුවන්විදුලියේ තහනම් කළා. "නිරුවත් දෑසින් බලා සිටි", "පයෝධර තුඩු ඉකිබිඳීද්දි" වගේ වචන නිසා ඒ අය කිව්වා "මේ සින්දුව අසභ්‍යයි" කියලා.

බන්දුල ගුණවර්ධනට කොහොමද "අයෝමා" මුණගැහෙන්නේ?

සිරිමැදුර චිත්‍රපටියෙන් පසුව මම පරාක්‍රම නිරිඇල්ලටම කියලා තවත් චිත්‍රපටියක් හැදුවා "අයෝමා" කියලා. ඒක දෙනගම සිරිවර්ධන පුවත්පතට කොටස් වශයෙන් ලියපු කතාවක්. ජැක්සන් ඇන්තනී, ස්වර්ණා මල්ලවාරච්චි, ලින්ටන් සේමගේ වගේ රංගන ශිල්පීන් රඟපෑවා. ස්වර්ණාට හොඳම රංගන ශිල්පිනියට සම්මානය ලැබුණා. ඉන්පසුව මම වැඩියෙන් දේශපාලනයට නැඹුරු වුණු නිසා සිනමාව මට මඟහැරුණා.

ඉන්පසුව තවත් චිත්‍රපටයක් කරන්න උත්සාහ කළා නේද?

2017 වසරේදී මම විපක්ෂේ ඉන්නකොට චිත්‍රපටියක් හදන්න උත්සාහ කළා. රිචඩ් ද සොයිසාගේ මව වන මනෝරාණි ජීවතුන් අතර ඉන්නකොට ස්වර්ණාට අවසරය දීලා තිබුණා ඇය ගැන චිත්‍රපටියක් කරන්න. මම නිලේන්ද්‍ර දේශප්‍රියත් එක්ක චිත්‍රපටිය කරන්න සූදානම් වුණා. නමුත් ඒ චිත්‍රපටිය හදන එක තහනම් කළා.

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

අන්තිමටම බැලුවේ "The Newspaper". .

"The Newspaper"  චිත්‍රපටය ගැනත් අපි කතා කරමු?

සරත් කොතලාවල කියන්නේ මගේ ගෝලයෙක්. 2018දී සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි මාව මුණගැහිලා එයාලා ලියපු තිරනාටකය දීලා "චිත්‍රපටිය කරන්න අපි රඟපාන්නම්" කිව්වා. ටික දවසක් කල්පනා කරලා බලලා මම ඔවුන්ටම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න යෝජනා කළා. "The Newspaper" කියන්නේ මේ රංගන ශිල්පීන් දෙදෙනාම තිරනාටකය ලියපු ඒ දෙදෙනාම ‍රඟපාපු ඒ දෙදෙනාම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියක්. ඒක වෙනස් වැඩක්. මේක හදන්න මම සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ සම්බන්ධ කරගත්තා. අවම පිරිවැයක් යටතේ ලාභ පරමාර්ථ නැතුව හදපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ ලාභය දාන්නේ තවත් හොඳ චිත්‍රපටියක් හදන්න. මේ චිත්‍රපටියට ඇමරිකානු සිනමා සම්මාන උලෙළෙක සම්මානත් ලැබුණා.

බන්දුල ගුණවර්ධන කලාව කියන එක දකින්නේ කොහොමද?

කලාව කියන එක හැමෝටම පිහිටන්නේ නැහැ. කලාව පිහිටන්නේ මෘදු හදවත් තියෙන මිනිස්සුන්ට. "කලාකරුවෝ මිනිමරුවෝ" වෙන්නේ නැහැ කවදාවත්. කලාව නැති වුණාම මිනිස්කම දුරස්ථ වෙනවා කියලා මට හිතෙනවා. කලාව තියෙන තැන මනුස්සකමත් තියෙනවා. විශේෂයෙන් දැන් මේ රටේ දරුවන්ගෙන් ඒ මිනිස්කම දුරස් වෙනවා කියලා මට දැනෙනවා. ඔවුන් දැන් ඉන්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක.

චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් විදිහට වර්තමාන චිත්‍රපටි කලාව ඔබ දකින්නේ කොහොමද?

දැන් ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයක් කියලා එකක් නැහැ. චිත්‍රපටි කර්මාන්තයක් ඇති වෙන්න නම් ඒ පිළිබඳව ඉහළ මට්ටමේ ඉඳලා ප්‍රබුද්ධ සංවාදයක් ඇති වෙන්න ඕනේ. චිත්‍රපටි කලාව පරිහානියට එක හේතුවක් තමයි ලංකාවේ විශ්වවිද්‍යාලවලට දේශපාලනය කළ බලපෑම. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහි වුණු මිනිස්සු පසුකාලීනව කලා ක්ෂේත්‍රයට සිනමාවට ලොකු දායකත්වයක් දුන්නා. නමුත් දැන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එහෙම කලා පසුබිමක් නැහැ.

දේශපාලන චරිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඔබ තෝරගන්නේ කාගේ කතාවද?

ඉතිහාසයේ දේශපාලන චරිත ගත්තොත් චිත්‍රපටයක් කරන්න මම තෝරගන්නේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය. සමකාලීන චරිතවලින් මම තෝරගන්නේ මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතය. ඒ චරිත කතාව සිනමාත්මකයි.

දේශපාලනයෙන් විශ්‍රාම ගිය කාලෙකත් ඔබ චිත්‍රපටි නිෂ්පාදනය කරයිද?

අපි කොහොමත් අවුරුද්දකට එක චිත්‍රපටියක් ගාණේ කරන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටි හදන එක නතර කරන්නේ නැහැ. දේශපාලනයෙන් විශ්‍රාම ගිය කාලෙක ලංකාවේ සමාජ දේශපාලන පසුබිම ගැන පොත් කීපයක් ලියන්න අදහසක් තියෙනවා.

 

 

සුදම් ගුණසිංහ