මගේ හදවතේ සුවඳ ඔබට දැනේවා! මගේ පැතුමයි

“රාහුල්” ලියූ ප්‍රවීණ ලේඛක අර්නස්ට් වඩුගේ
අගෝස්තු 13, 2020

අර්නස්ට් වඩුගේ නම කී පමණින් ඔබට අටුවා ටීකා ටිප්පනි කියා විස්තර සැපයීම අවශ්‍ය නොවන බව දනිමි. සරසවියේද කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු මෙන්ම පුවත්පත් ආයතනයක හිමිකරුවකු ලෙස අඩසියවසකට අධික කාලයක් ඔබගේ රස වින්දනය වෙනුවෙන් නා නා විධ ලේඛනයන් සැපයූ ඔහු පිළිබඳ සරසවිය අද මේ ඉඩ වෙන් කරන්නේ ‘රාහුල්‘ නිමිති කරගෙනය. රාහුල් ඔහුගේ 25 වැනි කෘතිය මෙන්ම නවතම නවකතාවයි.

 

ඔබගේ පුවත්පත් කලා ජීවිතය ගැන මුලින්ම කතා කරමු?

මගේ පත්තර ජීවිතේ මම බොහොම ආදර්ශවත් මාධ්‍යවේදියෙක්. මේ වෙද්දි මම පුවත්පත් ආයතනයක නිර්මාතෘ ලෙස ඉඳන් සම්මුඛ සාකච්ඡාවලට කැඳවන නවක ශිල්පීන් ගැන කල්පනා කරනවා. ඔවුන්ගෙන් මම අහන්නේ ඔබ කැමැති කුමන ක්ෂේත්‍රයකටද කියලා. සමහරු කියනවා මම සිළුමිණ කවි පිටුවට කවි දෙකතුනක් ලියා තිබෙනවා, ලිපියක් පළ වුණා වගේ දේවල්. ඉන්පසු ඔබ කැමැති කුමක් කිරීමටද ඇහුවාම ඔවුන් එකවර කැමැත්ත ප්‍රකාශ කරන්නේ මා වගේ පුවත්පත් කතුවරයකු වන්නයි කියනවා. ඒත් මේ කර්තෘධුරය කියන්නේ රටක ජනාධිපතිවරයකු හා සමාන තනතුරක්. මම දැන් කරන්නේ අන් අයට ලියන්න අවස්ථාව දෙන එකයි.

මම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ගුවන්විදුලියේ ඔබේ තීරය, ඔබකැමැති ගී ආදියට ගීත ඉල්ලනවා. කරුණාසේන ජයලත්, ආරියරත්න කහවිට, ජයවිලාල් විලේගොඩ වැනි සිනමා විචාරකයන්ගේ ලිපිවලින් ප්‍රශ්න අහනවා. පසුකාලීනව ඔවුන් මගේ හොඳම යහළුවන් විදිහට මගෙන් සිනමාව පිළිබඳ ප්‍රශ්න අහන අවස්ථා තිබුණා. මම මුලින්ම සම්බන්ධ වුණේ ලංකාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාව ලෙස සලකන ‘කලා‘ සඟරාවට. ඉන්පසු ලේක්හවුස් ආයතනයේ වසර පහළොවක් පමණ සරසවිය පුවත්පතට සේවය කරලා ඉන් පසු බන්දුල පද්මකුමාර මහතාගේ පුවත්පත්වලත් විශේෂාංග කර්තෘ ලෙස සේවය කරලා තමයි ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයා සමඟ මගේම කියලා පුවත්පත් ආයතනයක් පටන්ගත්තේ. ඒ යුගයේ දැවැන්තව ජනප්‍රිය වුණු නොම්බර 17 සමඟ අපේ පුවත්පතත් බොහෝ ජනප්‍රිය වූ නිසා තවතවත් කාන්තා, ජ්‍යොතිෂ ආදි පත්තර රස ප්‍රකාශන ලෙස ආරම්භ කර ආයතනය පුළුල් කළා. මම මාධ්‍ය ලෝකයේ අවුරුදු 20කට පසු තමයි විශේෂාංග කර්තෘවරයෙක් වුණේ. එහෙම නැතිව එකපාරටම කර්තෘවරයෙක් වෙන්න බැහැ. ලේක්හවුස් ආයතනයේ මුලින්ම ලියූ නවකතාව තමයි ‘පිනි කඳුළු‘.

 

ඔබට රාහුල් ලිවීමට පාදක වුණේ?

ඕනෑම නිර්මාණ ශිල්පියකු තමන්ගේ ජීවිතේ අත්දැකීම් ඇසුරින් තමයි නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඒත් මාධ්‍යවේදියකු යන්තම් හෝ ගෑවුණ විට එය නිර්මාණකරුවාගේ අත්දැකීමක් ලෙස සිතන්න පාඨකයන් පෙලඹෙනවා. හැබැයි රාහුල් මගේ පෞද්ගලික අත්දැකීමක් නොවේ. හැබැයි මේ යුගයට ගැළපෙන තාක්ෂණය සම්බන්ධ කරගත් කතාවක්. මෙහි ආදරය තමයි මූලික වන්නේ. මේ විශ්වයේ ගහ කොළ මල් හිරු සඳු තරු ආදි සියල්ල ආදරය මත යැපෙනවා. ආදරයක් නැත්නම් ජීවිතයක් නැහැ. රාහුල් මඟින් කියන්නෙත් ඒ ආදරය. අපි වෘත්තීය වශයෙන් කොයි තරම් සාර්ථක වුවත් අපේ ගිහි ජීවිතේ ගිනි ජීවිතයක් වුණොත් වැඩක් නැහැ. මම කියන්නේ යොවුන් ආදරය පමණක් නොවේ. සෑම වයසකම ආදරය ගැන. හැබැයි යොවුන් ආදරය තමයි බොහෝ විචිත්‍රවත් වන්නේ.

 

ඔබ සීයා කෙනෙක්. යෞවනයන් වෙනුවෙන් ලියන විට නව පරපුරේ යොවුන් හැඟීම් හඳුනා ගත යුතුයි?

මම වයසින් කොපමණ වුවත් යොවුන් චින්තනයේ තමයි හැමදාම පසුවන්නේ. ඒ නිසානේ මගේ පුවත්පත් ජනප්‍රිය වන්නේ. කාන්තා පුවත්පත් මඟින් මම කී දෙනකුගේ පවුල් ජීවිත බේරාගෙන තිබෙනවාද? සිය දිවි නසා ගන්න ගිය ඇතැම් සිනමා නළු නිළියන්ගේ දිවි ගලවාගෙන තිබෙනවාද? ඒ බොහෝ දෙනා අපේ ගෙදර ආවා මගේ දුව මදාරාටත් කතා කරලා. ජීවිතේ ප්‍රශ්නවලට එකම බෙහෙත නිදිපෙති නෙවෙයි. මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි ගීතය ගෙන බලන්න. අපේ ගැටලුවට වඩා වැඩි අපහසුතාවක තවත් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්.

මගේ මදාරා දුවගේ දියණියන් දෙදෙනාගෙන් කෙනෙක් සරසවි සිසුවියක්. ඇය මට සීයා කියන ආකාරයෙත් රිද්මයක් තිබෙනවා. ඇය මට අමතන්නේ සීයෝ කියලා. එවිට මට හරි ළෙංගතු කමක් ඇති වෙනවා. ක්ෂේත්‍රෙය් බොහෝ දෙනා මට කතා කරන්නේ අර්නස්ට් අය්යා කියලා. මේ පොත කියවන බහුතරයක් දෙනා මගේ පින්තූරය නොදැක්කොත් හිතයි රාහුල් ලීවේ අවුරුදු විසිඑකක විතර කෙනෙක් කියලා. මට ඒ චින්තනයට එන්න පුළුවන් වීමයි සාර්ථකත්වය. මම මගේ ලියන මේසයට යන්නේ සියලු ප්‍රශ්න අතහැරලා හදවතේ ලෝකය බෝල්පොයින්ට් පෑනෙන් අකුරු කරන්න. අනෙක මම බොහෝ කතා ලියන්නේ ධනාත්මක අවසානයක් සමඟ. මොකද අපි පාඨකයන්ට දිය යුත්තේ තවත් කඳුළු පුරවගෙන ඉන්න නෙවෙයි. පොතක් පතක් කියවලා, ටීවී එකක් බලලා අපි හැමෝම උත්සාහ කරන්නේ වින්දනයක් ලබන්න. ඒ අවස්ථාව ලේ කඳුළුවලින් පුරවලා තවත් හිතට බරක් දිය යුතු නැහැ. මනස කුරුවල් කළ යුතු නැහැ. හැකි තාක් මම උත්සාහ කරන්නේ මිනිසුන්ගේ සිත්සතන් සුවපත් කරන්න. මගේ හදවතේ සුවඳ ඔබට දැනේවා යන්නයි මගේ පැතුම.

 

ඔබේ රාහුල් ලිංගිකත්වයෙන් තොර ආදරය ගැනයි කියලයි ඔබ සඳහන් කරන්නේ?

ඇත්තෙන්ම ආදරය කියන්නේ ලිංගකත්වයෙන් පිරිපුන් දෙයක්. ඒ වගේම ආදරය කියන්නේ මල්පෙත්තක දේදුන්නක් වගේ සියුම් සුන්දර දෙයක්. ඒ නිසායි මම එහෙම කීවේ. සමහරු ලිංගිකත්වය ඉස්මතුවන පොත් ලියලා ඒවා විකුණගන්න බැරුව ඉන්නවා. ආදරය කියන අකුරු හතර පොතක දැම්මට බෑ. ඒක කියවන කෙනාටත් පපුවට දැනෙන්න ඕනේ. මම ආදරයට ආදරේ නිසා ඒ ගැන මම හොඳීන්ම දන්නවා.

 

වත්මන් පරපුර කියවීමෙන් ඈත්වෙනවා කියලා පිළිගන්නවාද?

ඉස්සර වගේ ළමයින්ට නිදහසේ කෝච්චියේ නැඟලා යන්න බැහැ. මොකද අම්මයි තාත්තයි උදේ රණ්ඩු වුණ එක හෝ ආච්චිගේ බෙරිහන් දීම තමයි මතක් වෙන්නේ. ඒ වගේම ආර්ථික අපහසුතා නිසාත් පොත් කියවීමෙන් ළමයින් තරමක් ඈත් වෙලා වෙන්න පුළුවන්. හැබැයි තරුණ පරපුර පොත් කියවන බව මගේ කෘතිවල අලෙවියෙන් තේරෙනවා. යුද්ධය කාලේ තමයි වැඩියෙන්ම පොත් විකුණුනේ. බොහෝදෙනා ගෙවල්වල හිටිය නිසා වෙන්න ඇති. කොරෝනා කාලෙත් ඒ වගේ ප්‍රවණතාවක් තිබුණා. ලේඛකයාට පුරුදු වුණාම මොන ප්‍රශ්නය තිබුණත් පාඨකයන් පොත ගන්නවා.

 

භාෂාව පිළිබඳ ඔබේ ආකල්පය?

භාෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. හැබැයි අප අවබෝධයෙන් සිටින්න ඕනේ මේ පොත කියවන්නේ ආචාර්ය මහාචාර්යවරු පමණක් නොවේ යන වග. උසස්පෙළ, සාමාන්‍ය පෙළ කරන දරුවන්, ත්‍රීරෝදරථ රියැදුරන් වගේම පොළේ අයත් කියවනවා. ඒ නිසා මධ්‍යස්ථ සුන්දර භාෂා විලාසයක් තමයි මම අගය කරන්නේ. ජෝතිපාල මහත්මයාගේ ඇස්දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ ගීතයට නයන යුග වගේ කියලා කීවට හරියන්නේ නැහැනේ. හැබැයි සිංහල තමයි ලෝකේ ලස්සනම, සුන්දරම භාෂාව. එය මිනිසුන්ට තේරෙන ආකාරයෙන් හසුරුවන්න අප දැන සිටිය යුතුයි. නවකතාවක හොඳම හරියෙදි තවකාගෙන් හරි මේ වචනේ මොකක්ද කියලා අහන්න වුණොත් රසවින්දනයට බාධා වෙනවා.

 

සාහිත්‍ය සම්මාන පිළිබඳ ඔබේ අදහස?

සම්මාන කීපයක් මට ලැබිලා තිබෙනවා. සම්මානවල අරුත හොඳයි. හැබැයි සම්මාන ඉලක්ක කරගෙන පොත් ලිවීම හොඳ නැහැ. සම්මාන කියන්නේ හත්අට දෙනකුගේ තීන්දුවක්නේ. එය හරි වෙන්නත් වරදින්නත් පුළුවන්. හැබැයි පොත අලෙවි වෙනවා කියනනේ ජනතා සම්මානයනේ. පාඨකයා බුද්ධිමත්නේ. ඉතින් හොඳම සම්මානය තමයි ජනතා සම්මානය.

 

ඉදිරි කටයුතු මොනවාද?

මගේ මාධ්‍ය ජීවිතයට අවුරුදු 55කට වැඩියි. අපි සිනමාවේ නිතරම සුන්දර පැත්ත දුටුවා, හැම දෙනාටම ක්‍රීම් පවුඩර් ගෑවා මිස හිත් රිදෙන්න දෙයක් ලියන්නේ නැහැ. එය ශිල්පියාගේ පැත්තෙන් හොඳ වුණාට පාඨකයාගේ පැත්තෙන් අසාධාරණයක්. ඒ නිසා රස ගිනි ගනී කියන නවකතාව මම ඒ කරුණ පාදක කරගෙන ලියනවා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායකගේ ජීවිත කතාව ලියනවා. එය දේශපාලනය හෝ කිසිවකුට පහර ගැසීම සඳහා නොවෙයි ඔහුගේ අප්‍රතිහත ධෛර්යයෙන් ආ ගමන ගැන ජනරංජන රන්ජන නමින් ලියනවා. ඊට අමතරව තවත් නවකතාවක් ලියනවා කැත යැයි සම්මත ගැහැනු ළමයකු ගැන.

මගේ අදහස තිබුණේ මා නැති දිනෙක මගේ කිරුළ මගේ දියණියට හිමිවේවා කියන පැතුම. ඒත් මදාරා මගේ දුව ආනන්ද බාලිකා විද්‍යාලයේ ටයිපටිය ගලවා දමා රස නිවසට ආවා. ඒ නිසා ඇයට මා සිටියදීම කිරුළ හිමිවුණා. ඊටම ගැළපෙන කුමාරයෙකුත් හමුවුණා සුජීව ප්‍රසන්නආරච්චි කියලා. ඒ නිසා මගේ ජීවිතේ තව ලබාගන්න ඕනේ කියලා කිසිම දෙයක් නැහැ. මම සතුටින් ජීවත් වන කෙනෙක්.