මට හමුවී නැහැ

“සඟල වරහන්” ලියූ වජිර කස්තුරි
අගෝස්තු 20, 2020

අපේ ජීවිතයේ යම් තීරණාත්මක මොහොතක අප ගන්නා තීන්දුව මත ‌බොහෝ දේවල් වෙනස් විය හැකිය. ආගම, ජාතිය, ලෝක ලජ්ජාව, ආදරය මෙන්ම අසරණකම නිසා යොමු වන මඟකට වඩා ආත්ම ධෛර්යය, ස්වාධීනත්වය, නිර්භීතබව පෙරටු කොටගෙන ගන්නා බුද්ධිමත් තීරණයක් බොහෝ විට පුද්ගලයකුගේ දෛවයේ සරදමට සරදම් කරයි. එයට ගැහැනු පිරිමි භේදයක් නැත. 'සඟල වරහන්' එසේ වෙනස් කළ තීරණාත්මක මොහොතක් පිළිබඳ කතාවකි. ප්‍රවීණ තිර නාටක රචකයකු, දැන්වීම්කරණයේ නියුතු වූවකු මෙන්ම ගත් කතුවරයකු වන වජිර කස්තුරි නිර්මාණකරුවා සරසවිය සමඟ ඒ වෙනස් කළ මොහොත පිළිබඳ මෙසේ පැවසුවේය.

 

'සඟල වරහන්' නවකතාවේ කිසි තැනක නොයෙදුණු දෙපදයක්?

අවංකවම මම පොත්වලටවත්, ටෙලිනාට්‍යවලටවත් නම් දාන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒත් මගේ හැම නිර්මාණයක් තුළින්ම මගේ ජීවිතයෙන් බිඳක් ගේන්න උත්සාහ කරනවා. අපේ ජීවිතයක් කියන්නේත් වරහනක් ඇතුළෙ තිබෙන දෙයක්. සරලව කීවොත් තමන්ගේ රුචි අරුචිකම් පුරුදු ආදිය කියමුකෝ. ඒ වගේම තවත් කෙනෙක් ඒ කෙනාගේ ඕනෑ එපාකම් ආදිය වරහන් කරගෙන ඉන්නවා. එවැනි දෙදෙනෙක් ගළපනකොට ඒ දෙදෙනාගේ අනන්‍යතාවත් පවත්වාගෙන සිතුම් පැතුම් ආදිය එකට කැටිවන වරහන් පේළි දෙක එකවර අප පෙන්වන්නේ කොහොමද? සඟල වරහනකින්...

 

මේ ප්‍රස්තුතයට නිමිති වුණේ ?

මම පාසල් කාලයේ සිටම වෘත්තීය ලේඛකයෙක් වෙන්න පෙරුම් පිරුව කෙනෙක්. ඒ කාලේ හැමෝම හිනාවුණා ඒකට. එනිසා මට සිදු වුණා පුවත්පත් කලාවට යොමු වෙලා, කවි ලියලා, ලිපි ලියලා, ලේඛකයකු ලෙස ඉඳලා, දැන්වීම් කලාවට ඇවිල්ලා, ජීවිතේ බොහෝ වගකීම් ඉටු කරන්න. දැන් විශ්‍රාම යන්න ආසන්න වෙද්දි තීරණය කළා මගේ අනන්‍යතාව භාවිත කරන්න. මට ඕනෙ විදිහට ජීවත් වෙන්න. මම කැමැති ප්‍රස්තුත හොයාගන්න. මොකද මෙතෙක් කළේ වෙන කාටහරි ඕනෙ දේනේ. එතැනදි මට දැනුණා ලේඛකයකුට අවශ්‍ය නම් නිර්මාණයක් ඔස්සේ පුළුවන් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න. මතකද මුහුණු පොතේ ආවා ස්වාමි පුරුෂයා මුළු ඇඟම පුළුන්වලින් ප්ලාස්ටර් කරලා පුටුවක බැඳලා ගිනි තියපු ෆාතිමාගේ කතාව? ඒ කාන්තාව ඊට පෙර තමන්ගේ දෙමව්පියන්, පොලීසිය ආදි නොයෙක් තැන්වලට ගියාමත් ආපසු බාරදීලා තිබුණේ ස්වාමිපුරුෂයාටමයි. ඉතින් මට හිතුණා මේ ෆාතිමා ඒ මොහොතේ තමන්ගේ ජීවිතය සියතට ගත්තා නම්; තමන්ව කිසිවකුට පාවිච්චි කරන්න නොදුන්නා නම් මොකද වෙන්නේ? ඒකට අදාළ හැඩතලය තමයි මම සුදන්ති කියන චරිතය ඔස්සේ ලබා දුන්නේ.

 

ෆාතිමා සුදන්ති බවට පෙරළද්දි අපේ රට තුළම ජාතිකත්වයෙන්, ආගම්වලින්, අධ්‍යාපනයෙන් හා ස්ත්‍රීපුරුෂභාවය මත විවිධ උපසංස්කෘතීන්වල හැසිරීමට ඔබ යොදන හැඩතල අභව්‍ය නොවිය යුතුයි?

අප ජීවිතේ ලබන අත්දැකීම්, ඇසුරු කරන චරිත, මුහුණ දෙන සිදුවීම් ආදිය අනුවයි දේවල් ඉගෙන ගන්නේ. මම 77 ආණ්ඩු පෙරළියේ සිට 83, 88-89 ඔස්සේ අද දක්වා මිනිසුන්ගේ ජීවන රටාව, සිතුම් පැතුම් වෙනස්වන ආකාරය අත්දැක්කා. ඒ තුළ නවකතාවකට අවශ්‍ය ජීවය පැළ කරගන්න සරු පසක් තිබුණා. මගේ යාළුවෝ ඉන්නවා ඉතා කටුක ජීවිත ගෙවලා ඉදිරියට ගිය. ඔවුන්ට කඩාබිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලත් මම දන්නවා.

 

කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඔබ මෙහි කතා වෙනවා?

කාන්තා විමුක්තිය ගැන කතාකරන අය කියනවානේ ගෑනු මෝඩයි, බොළඳයි, ශක්තිමත් නැහැ කියලා. ඒත් මගේ ජීවිතයට සම්බන්ධ වුණ සියලු ගැහැනුන්- මගේ ආච්චිඅම්මා, අම්මා, අක්කා, මගේ පෙම්වතියන් කීපදෙනා, මගේ බිරිඳ, මගේ දුව මේ සියලු දෙනාම අභියෝගවලට මුහුණ දිය හැකි, ශක්තිමත් අය. එක්කෝ මට බොයිලර් කුකුල්ලු වගේ ළඳුන් හමුවෙලා නැහැ. නැත්නම් කිසිදු ජීවන දෘෂ්ටියක් නැති ඒ වගේ අය සමඟ මගේ සම්බන්ධය දිගට ගියේ නැහැ. මම ශක්තිමත් යකඩ කඳක් විදිහට උපන්නේ. මට හමුවුණු ගැහැනු පරම්පරාවන් තමයි ඒ මාව කිණිහිරය මත තියලා තළලා පන්නරය ලබා දෙන්නේ. මගේ පරිචය විචිත්‍රවත් වුණේ ගැහැනු අය නිසා. මේ ලෝකය පවතින්නේ කාන්තාවන් නිසා. ඒ දරුවන් හදන නිසාම නෙවෙයි. කාන්තාවන්ගේ ඉවසීම හා ශක්තිය නිසා. ඉතින් මම ලෝකේ ඕනෑම පිරිමියකුට ගරු කරන්නෙත් ඔහු තම බිරිඳටයි දරුවන්ටයි සලකන කෙනෙක් නම් විතරයි. මම කිසිම වෙලාවක ගෑනු මෝඩයි කියලා පිළිගන්නේ නැහැ.

 

සඟල වරහන් බොහොම ධනාත්මකයි?

මම කීවේ මට පෙම්වතියන් කීපදෙනෙක් හිටියා කියලා. ඒ අය හැම තිස්සෙම මගේ ජීවිතේ අරමුණකට මාව යොමු කරන්න උදවු කළා. මගේ ජීවිතේ ඉදිරි කාලය කෙටුම්පත් කරද්දි අදටත් කතාබහ කරන එක් හිතවතියක් තමයි මට කීවේ ඔයා දැන් ලියන්න පටන්ගන්න කියලා. මගේ අදහස් ඒකට ගොනු කරලා මට ඕනෑ විදිහට පත්තු කරගත්තේ ඒ මඟ පෙන්වීම. ඉතින් මගේ ජීවිතේ කොටසක් නිර්මාණවලටත් එනවා කීවා මතකනේ. පිරිමියකු හරිමඟ ගෙනයෑම සිදු කරන්න පුළුවන් ගැහැනියකට.

අපි ලෝකේ ඍණාත්මක දේවල්වලට ආදරය කළ කාලයක් තිබුණා. හැබැයි වික්‍රමසිංහගේ විරාගයට එරෙහිව යළි උපන්නෙමි ගුණදාස අමරසේකර ලීවා. මම ඔබට කතාවක් කිව යුත්තේ ආනන්දයෙන් ප්‍රඥාවට යන්න මිස අනේ මොකක්ද මේ ජීවිතය කියලා හිතෙන්න නෙවෙයි. මරණයක් ගැන ලීවත් මම ලියන්නේ මේ ජීවිතයෙන් එගොඩ වුණා කියන සතුට දෙන්න මිස දුකක් ඇතිවන විදිහට නෙවෙයි. මෙහි ආකෘතිය නිර්මාණය වුණෙත් එයට සහාය වන ආකාරයට.

 

සැබෑ ආදරයට ආගම ජාතිය වයස ආදි කිසිවක් වලංගු නොවන බව පෙන්වන්න ඔබ උත්සාහ කරනවා?

මමත් බිරිඳත් ආගම් දෙකක. ඒත් අපටවත් අපේ දරුවන්ටවත් ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔය සංහිඳීයාව වගේ දේවලින් කරන්නේ අපට ගැටුමක් හදාගන්න ඕන වෙලාවට වෙනස් කම් පෙන්නවන්න කරුණු සපයන එක. මනුෂ්‍යත්වය ඉදිරියේදී අනෙක් සියල්ල යටපත් වෙනවා. වජිර කවුද කියලා හඳුනාගන්න තව කතා කීපයක් එන්න වෙයි.

 

මේ නවකතාවේ ඔබ භාෂාව හසුරුවන්නේ බොහොම නිදහසේ?

මම හොරණ තක්ෂිලා කනිටු විදුහලට, කොළඹ ශාන්ත පීතර සහ නාලන්ද විදුහලට ගිය කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම මම හැම කෙනකුටම දෙයක් කීවේ බොහොම රළු විදිහට. හැබැයි මගේ සිංහල ගුරුවරිය මට කීවේ ඔයාගේ ඔය භාෂා විලාසය ඔහොමම තියාගන්න. ඔයා හිතන රටාව ඔහොම තමයි. ඔයා ගෑනු ළමයකුගේ අතින් අල්ලගෙන මල් නෙළන ජාතියේ කෙනෙක් නෙවෙයි. හැබැයි කවදාහරි ඔයාගේ ජීවිතේට ඔයා හොයා ගනී මල් ශාලාවක් දැම්මොත් එම්බාම් කරන්න පුළුවන් ගෑනියෙක් කියලා. ඒ නිසා මම ඒ රළු බසට කැමතියි. අනෙක මම කිසිම ගුරු කුලයකින් ඉගෙනගෙන නැති නිසා දන්න විදිහට නිදහසේ බස හසුරුවනවා. පොත මුද්‍රණයට නිර්දේශ කරන කෙනෙක් මේකේ තිබෙන හරුපයක් ඉවත් කරන්න කියලා තිබුණා. මම ඒක බෑ කීවා. මම ඔහුට කීවේ එහෙනම් ඒකට හරියන වෙන වචනයක් මට දෙන්න කියලා. මොකද අපි අයත්වන විවිධ උපසංස්කෘතිවල යෙදෙන වචන භාවිතයන් තිබෙනවා. ඒ සමාජ පසුබිම් ගැන කතා කරද්දි ඒ වහර පොත විසින් ඉල්ලා සිටිනවා. ඒක බැහැර කරන්න අපට බැහැ. ලංකාවේ ටෙලිනාට්‍ය කඩා වැටෙන්නත් හේතුව ඒ ඉල්ලන ගැඹුර ප්‍රේක්ෂකයාට නොලැබීමයි. කුමන නිර්මාණයක් කළත් එයට නිර්මාණකරුවා අවංක විය යුතුයි. නැත්නම් එහි ව්‍යාජය මතු වෙනවා.

 

එතරම් ස්වාධීනව භාෂාව භාවිත කරන ඔබ මේ යෞවන ප්‍රේමයේ ලිංගිකත්වය දැඩි සේ සීමා කර තිබෙනවා?

මම විශ්වාස කරනවා මිනිසුන් කෑම, ලිංගිකත්වය සහ නින්ද වෙනුවෙන් තමයි සියල්ල කරන්නේ කියලා. හැබැයි ජීවිතය කියන්නේ ඒ කරුණු තුන කියලා මම හිතන්නේ නැහැ. මම ලිංගිකත්වයට කැමැති, කාටවත් කරදර නොවන විදිහට එය රසවිඳීන, ඒවාට ඉඩ දෙන කෙනෙක්. හැබැයි මගේ පොත විකුණුණේ ලිංගිකත්වය උලුප්පා තිබෙන නිසා කියන්න මම කැමැති නැහැ. ඒත් නිර්මාණය විසින් ඉල්ලනවා නම් ඒ කිසිවක් ලියන්න පැකිළෙන්නෙත් නැහැ.

 

මෙහි ප්‍රධාන චරිතය-ධනුක ඊඩිපස් සංකීර්ණයෙන් පෙළෙන්නෙක්?

අනිවාර්යයෙන්ම. ඒක මටත් තිබුණා. මගේ පවුලේ හතරදෙනාගෙන් තුන්වැනියා මම. බාල මල්ලියෙකුත් ඉන්න නිසා අම්මගේ ආදරේ අපි අතරේ බෙදුණා. ඒ නිසාමදෝ මගේ පළමුවැනි පෙම්වතිය මට වඩා අවුරුදු හයක් වැඩිමල්. මට අදටත් හිතෙනවා මගේ බිරිඳ මට වඩා වැඩිමල් වුණානම් මට වඩා දේවල් දන්නවානේ, රණ්ඩු වුණත් මේ මනුස්සයා මට වඩා යමක් දන්න නිසානේ බනින්න ඇත්තේ කියලා බැණුම් අහගෙන ඉන්න තිබුණා කියලා. මාතු භාර්යා ගුණයට මම ආසයි. දැනුත් මගේ බිරිඳ කතා කරලා කෑවද බීවද කියලා අහද්දි එක වෙලාවකට කරදරයක් වගේ වුණත් මම හිතන්නේ ඒ තමයි ජීවිතය.

 

මෙහි කවරය ඔබේ දියණියගේ?

ඇය කුවේණි ධම්මදින්නා නානායක්කාර. විජය කියන ගෑනු හොරාගේ නම තියන්න බොහෝ දෙනා කැමති නම්, ආදරය වෙනුවෙන් සියල්ල කැප කළ ශිෂ්ටසම්පන්න රූපත් කුමරියක වන කුවේණියගේ නම මගේ දුවට තියන්න මම කැමැති වුණේ නුඹත් ඒ වගේ ආදරණීය කුවේණියක්ම වෙයන් කියලයි. ඇය තවම සාමාන්‍ය පෙළ පන්තියේ. මම කතාව දුවට කීවාම ඒ අනුව ඇය ඇඳ දුන් චිත්‍ර අතරින් එකක් මම තෝරාගත්තා.

 

ඔබේ ඉදිරි කටයුතු?

මගේ ඊළඟ කතා දෙකක් එළිදක්වන්න නියමිතයි පොල්කිචි ප්‍රේමය සහ අහුපෑවත නමින්. මා තිරපිටපත ලියූ කැලෑ හඳ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වනවා. මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ ජීවිත කතාව ඇසුරින් පර්යේෂණාත්මක කෘතියක් කළා. ඒ අතර ලියූ තවත් පොත් දෙකකුත් තිබෙනවා. තවමත් මම වෘත්තිය ලේඛකයකු වීමේ චේතනාව අතහැර නැහැ.