එකම දැයක් පැතුවා අපි යළිදු නුඹම පැතුවා

මනෝජ් දුෂාන් ෆොන්සේකා
සැප්තැම්බර් 24, 2020

මනෝජ් විශ්වාස කරන්නේ ඔහුගේ ජීවිතේ වෙනස් කරපු තැන බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය කියලයි. නැති නම් ඔහුගේ අනාගතය නිර්මාණය වෙන්න තිබුණේ නැට්ටුවෙක් විදියට. ඔහු වෙස් බැඳපු නර්තන ශිල්පියෙක්.  අ. පො. ස.  සාමාන්‍ය පෙළ කරන ගැටවරයකු කාලෙයි ඔහු වෙස් බැඳලා තියෙන්නේ. ඊට පස්සේ තරුණ බෞද්ධ සමිතියේ නැටුම් කණ්ඩායමට සම්බන්ධ වෙලා වසර කිහිපයක්ම මහනුවර දළදා පෙරහැරේ නටලා තියෙනවා. ඒත් දැන් ඒ ජීවිතය සම්පූර්ණයෙන්ම ගීතය පැත්තට හැරිලා.

සංගීතය විශ්ව භාෂාවක්. සියලු ජන  හදවත් මේ විශ්ව භාෂාවට ඒකාත්මික කළ හැකියි. අහම්බයකින් සංගීත       ක්ෂේත්‍රයට පැමිණ ජන හදවත් සංගීතයෙන් රස ගැන් වූ තරුණ සංගීතඥයෙක් පසුගිය දිනක මට හමු වුණා. ඔහු මනෝජ්  දුෂාන් ෆොන්සේකා.

ඔහු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ ඉපිද හේවාහැට මහා විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සිප් සතර  හදාරා පැමිණියෙක්. වත්මන් සංගීත ක්ෂේත්‍රයේ උඩුගං බලා පියමං කරන්නට නිර්මාණකරණයේ යෙදෙන්නෙක්. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්‍රහණය නිමිත්තෙන් මනෝජ් නිර්මාණය කළ ගීතය එතුමන්ගේ ජයග්‍රහණයට පසු දින  සියලුම රජයේ නාළිකාවල විකාශය වීමෙන් ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ කිසියම් අපූර්ව ගමනක නිරත වන්නකු ලෙසින් හඳුනා ගන්නට ලැබුණා.

 “ජාතියේ දේශයේ අභිමානය 

නුඹම තමා

සිංහයෙක් රටට ලැබුණා

හෙළදිවම එකලු වූවා

එකම දැයක් තැනුවා

අපි යළිදු නුඹම පැතුවා 

සැක බිය රැඳි හදවත්

ඔබ සුවපත් කළා

ගිනිගත් දේශය

එක් සේසත් කළා

ලේ දහඩිය කඳුළින්

අප විරුවන් රැක දුන්

ජාතියේ දේශයේ...

යලිදු මේ පින් බිම

කඳුළු උනන්නට නොහැකි සේ

ඔබගේ බැල්ම යොමන්නට

සිංහ ලෙයින් සැදුණා

රටට සෙනේ පිරුණා 

ජාතියේ දේශයේ...

සිංහයෙක් රටට ලැබුණා

හෙළදිවම එකලු වූවා

බෙදුණු යුගය නැසුවා

අපි යළිදු නුඹම පැතුවා...

මනෝජ්ගේ සංගීතයට මේ ගීතය ගායනා කළේ සේනානායක වේරලියද්ද විසින්. ගීත රචනය  අනුෂ්කා විජේකෝන්ගෙන්. නාද සංකලනය හා පටිගත කිරීම ගයාන් සී. බෙන්තරගේ ගෙන්. පසුබිම් ගායනය නදී දර්ශන පෙරේරාගෙන්. 

මනෝජ්ගේ සංගීත ගමන අහම්බයක්. ඔහුගේ පවුල් පසුබිම තුළ හෝ කලා ඇසුරක් තිබිලා නෑ.

 ‘මම පාසලේදිවත් සංගීතය හදාරපු කෙනෙක්  නෙවෙයි. උසස් පෙළට මම හැදෑරුවෙ නර්තනය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී. උසස් පෙළින් පස්සේ මම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට සම්බන්ධ වුණා. ඒක සිද්ධ වුණෙත් අහම්බයකින්. අපේ නෑ කෙනෙක්ගේ විවාහ මංගල්‍යකට  තරුණ සේවා සංගීත කණ්ඩායම ප්ලේ කළා. මම උත්සවයේදී සිංදුවක් කිව්වා. එහිදී සංගීත අංශය බාරව ඉන්න අනුර බණ්ඩාර සර් තමයි මට යෝජනා කළේ බෙල්වුඩ් එකට සම්බන්ධ වෙන්න කියලා. ඊට පස්සේ මාව සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ කරලා බෙල්වුඩ් එකට තෝරා ගත්තා. හැබැයි මාව යොමු කළේ බටහිර සංගීත අංශයට. 2011 දී මම හදිසියේම බෙල්වුඩ් එකෙන් අයින් වෙනවා. මම පහත හේවාහැට ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයකු විදියට ඉදිරිපත් වෙනවා. මගේ අංකය වෙන්නේ 21. එතකොට මට වයස 21 යි. මම මගේ ඉස්සරලම ඡන්දය දාගන්නෙත් මටමයි. නමුත් මම ඡන්දය පරාද වෙනවා. ඊට පස්සේ ආයෙත් මම බෙල්වුඩ් එකට එනවා.’

මනෝජ්ට දෛවය උරුම කරලා දීලා තියෙන්නේ සංගීතය තමයි කියලා මට හිතුණා. නැති නම් ඔහු ඡන්දය දිනුව නම් මෙලහට දේශපාලනඥයෙක් වෙලා ඉවරයි. බෙල්වුඩ් එකට නැවත පැමිණීමෙන්  ඔහුට අපූරු ගුරුවරු ටිකක් හමු වෙනවා. ඒ වෙන විට නිකේතනාධිපති වශයෙන් සංගීතඥ කරුණාරත්න විජේවර්ධනයන් ද පත් වී සිටිනවා.

 ‘මට බෙල්වුඩ් එකේදී හොඳ ගුරුවරු ටිකක් මුණ ගැහෙනවා. ගාමිණී හේරත්, අනුර බණ්ඩාර, කරුණාරත්න විජේවර්ධන, දිමුතු සඳරුවන් වගේ. පස්සේ බෙල්වුඩ් එකේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙනවා.  නමුත් මට සිංදු කියන්න ලැබෙන්නෙ නෑ. ප්‍රසංග 7-8 කම හිටගෙන බලන් ඉන්නත් මට  සිද්ධ වුණා. නමුත් අවසානයේදී මම  කණ්ඩායමේ නිත්‍ය ගායකයා වුණා. ඒ කාලේ මම සංගීතයට තිබුණ ආසාවට බෙල්වුඩ් එකේ තව ශිල්පීන් කිහිප දෙනෙක් එකතු කරගෙන ත්‍රී පීස් බෑන්ඩ් එකක් පටන් ගත්තා ‘එම් ත්‍රී’ කියලා. ඔය අතරෙදි තමයි මට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා ජනමාධ්‍ය ඇමති වෙලා හිටපු කාලේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබෙන්නේ. කොළඹට පැමිණීම මගේ සංගීත දිවියට තවත් වාසියක් වෙනවා. මට නිරෝෂා විරාජිනිව මුණ ගැහෙන්නෙ ඔය අතරතුර. එතැනදි මට සංගීතයට නිවැරැදි මාර්ගය හදා ගන්න පුළුවන් වෙනවා. මට ගී තනු නිර්මාණය කරන්න උනන්දුවක් ඇති කරවන්නේ ඇය. මනෝජ් ඊට පස්සේ සිංදු හදන්න උනන්දු වෙනවා. එහෙම මෙලඩි හතරක් පහක්ම ඔහු නිර්මාණය කර ගන්නවා. විවිධ කලාකරුවන්ට දීලා බලනවා. ඔහුගේ පළවෙනි ගීතය ගායනා කරන්නේ ලෙස්ලි තෝමස් විසින් එවකට විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වූ චලක රාජසේකර සමඟ. ඉන් පස්සේ ඔහුගේ මෙලඩියක් ගායනා කරන්න තෝර ගන්නේ සේනානායක වේරලියැද්දයි. වසර කිහිපයක නිහඬතාවයකින් පසුව පසුගිය වසරේ ඔහුගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ගායනා කරන්න ඔහු මනෝජ්ගේ තනුවක් තෝර ගන්නවා.

 ‘ඇත්තටම මට ලොකු සතුටක් දැනුණා වේරලියද්ද මහත්මයා මට කතා කරන කොට.  ඔහු මගේ ගී තනුවට කැමැතියි කියනකොට. එතුමාගේ උපන් දිනය යෙදුණේ ඔක්තෝබර් 27 දිනක.  මගේ උපන් දිනයත් එදාමයි. ඒ වෙනුවෙන් අනුෂ්කා දුනුවිල රචනා කරපු ගීතය  ඔහු ගැයුවා.

මනෝජ් විශ්වාස කරන්නේ ඔහුගේ ජීවිතේ වෙනස් කරපු තැන බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය කියලයි. නැතිනම් ඔහුගේ අනාගතය නිර්මාණය වෙන්න තිබුණේ නැට්ටුවෙක් විදියට. ඔහු වෙස් බැඳපු නර්තන ශිල්පියෙක්.  අ. පො. ස.  සාමාන්‍ය පෙළ කරන ගැටවරයකු කාලෙයි ඔහු වෙස් බැඳලා තියෙන්නේ. ඊට පස්සේ තරුණ බෞද්ධ සමිතියේ නැටුම් කණ්ඩායමට සම්බන්ධ වෙලා වසර කිහිපයක්ම මහනුවර දළදා පෙරහැරේ නටලා තියෙනවා. ඒත් දැන් ඒ ජීවිතය සම්පූර්ණයෙන්ම ගීතය පැත්තට හැරිලා.

මනෝජ්ගේ බොහෝ ගීත අහද්දි ඔහු බටහිර සංගීතය ඇසුරු කළ අයෙක් කියලා  දැනෙන්නේ නෑ. ඉන් එහා ගිය රාගධාරී සංගීතයටත් ළංවෙන ගී තනු ඔහුගෙන් ඇහෙනවා. එහෙත් මනෝජ් කිව්වේ ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතය ගැන කිසිවක් හදාරලා නැති බවයි.

අපේ සංගීත ක්ෂේත්‍රයට මිහිරි ගී තනුවල අඩුව දැනෙන යුගයක  මෙවන් සුමිහිරි ගී තනු නිර්මාණකරුවන් බිහි වීම වින්දනීය අනාගත පරපුරක් බිහි කිරීම උදෙසා අවැසි වන කාරණාවකි. ඒ මෙහෙය ඉටු කරන්නට මනෝජ් වැනි තරුණ නිර්මාණකරුවන්ට වගකීමක් ඇතැයි මට සිතේ. ඒ වෙනුවෙන් කැප වෙමින් ඉදිරියට යන්නට ඔහුට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමි.