කොවිඩ් 19 ගැන හඬ අවදි කරන රණවිරුවා

ඔක්තෝබර් 15, 2020

‘සැලෙන තුරු වැල් ගලන නිල් දිය

අදත් නිසලයි මිහිතලේ

නොමියනා මිනිසුන් ලෙසින් අද

ලැබූ දිනුමක් නෑ ලොවේ...’

ඉහත පදවැල් ඇතුළත් නවතම කොරෝනා ගීතය යූ ටියුබයේ දී මේ වන විට ඔබට හමු වී ඇති. මේ කොරෝනා ගීිතයේ අයිතිකරුවා කවුද? අපි ඔහු සොයා ගෙන ගියේ ඓතිහාසික අනුරාධපුරයේ ‘අභිමංසල’ රණවිරු නිවහනට. ඔහු විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් චරිත් කුලතිලක. චරිත් මේ මාතෘ භූමිය කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ සටනේ මහා මෙහෙවරක් කළ අභීත රණවිරුවෙක්. 2008 නොවැම්බර් 18 වැනිදා රාත්‍රිය චරිත්ගේ ජීවිතයට ඉතා තීරණාත්මක දිනයක් වුණා. එදා ඔහු රාජකාරි කළේ යාපනය කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලේ. චරිත් සිය සගයන් සමඟ කෑලි කැපෙන අඳුර මැදින් හෙමින් හෙමින් ඉදිරියට ඇදුණේ කොටි ත්‍රස්තවාදින් සැඟව සිටි බංකරයක් අත්පත් කර ගන්න. තබන තබන හැම පියවරක්ම තීරණාත්මකයි. චරිත් මේ කණ්ඩායමේ ඉදිරියෙන්ම ගමන් කළා. දැන් කොටි බංකරයකට ඇත්තේ මීටර් 05 ක් වැනි දුරකි. ක්ෂණිකව සිදු වූයේ කුමක්දැයි ඔහුට සිතා ගැනීමටවත් ඉඩක් ලැබුණේ නැත. සිය දකුණු අතත් මුහුණත් විදුලි සැරයක් වැදුණා සේ පිළිස්සී ගියේය. දෙනෙත් නිලංකාර වී ගිය අතර දකුණු අත සම්පූර්ණයෙන්ම කෑලි කෑලි කැඩී මස් වැදලි එල්ලෙන්නට විය. සිහිනයකින්වත් නොසිතූ මොහොතක කොටි ත්‍රස්තවාදින්ගේ මර උගුලකට කෝප්‍රල් චරිත් ගොදුරු වූයේ එලෙසිනි.

එය චරිත් විස්තර කළේ මෙලෙසිනි....

‘කොටි මර උගුලට හසුවීමෙන් මගේ දකුණු අතත් ඇස් දෙකත් නැති වුණා. ජයවර්ධනපුර රෝහලේ මාස හතරකුත්, යුද හමුදා රෝහලේ මාස හයකුත් ප්‍රතිකාර ලබාගෙන ඉන් අනතුරුව රාගම රණවිරු සෙවණේ අවුරුද්දක් විතර ප්‍රතිකාර ලබා ගත්තා. මගේ උපන් ගම මිහින්තලේ. ඊට පස්සේ මගේ ගෙදර බිරිඳ දරු දෙදෙනා සමඟ ටික කාලයක් නිවෙසේ ඉඳිමින් ප්‍රතිකාර ගත්තා.

2011 වසරේදී ප්‍රථම ‘අභිමංසල’ ආරම්භ කළේ අනුරාධපුරේ. එදා ඉඳල අද දක්වාම මම මේ අභිමංසලේ ජීවත් වෙනවා. එවක හිටපු ආරක්ෂක ලේකම් අද ජනාධිපති ධූරය හොබවන ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි අපි වගේ යුද්ධයෙන් ආබාධ සහිත වූ රණවිරුවන්ට මෙවැනි අභිමංසල් හදල දුන්නේ.

චරිත් කොහොමද ගායකයෙක් වුණේ?

පාසල් සමයේදිත් යුද හමුදා ජීවිතයේදිත් උත්සව අවස්ථාවන්වලදී මම ගීත ගායනා කළා. ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගීතවලට තමයි මම කැමති. ඔහුගේ ගීත වැඩිපුරම මම ගායනා කළා. 2013 වසරේ ‘රණවිරු රියල් ස්්ටාර්’ 3 වැනි අදියරට මාත් ඉදිරිපත් වුණා. ඒ සඳහා අභිමංසල බාර සේනා විධායකතුමා ඇතුළු නිලධාරින් මගේ හිතාදර රණවිරුවන් මාව දිරිමත් කළා. ඒ අනුව මම තරගකරුවන් විශාල සංඛ්‍යාවක් සමඟ ගීත ගායනා කරලා අවසන් 14 දෙනා අතරට තේරී පත් වුණා. ඒ ගමන මට නොසැලී ඉදිරියට යන්න පණ්ඩිත් අමරදේව මහතාත් එම මහත්මියත් විශාල සහයෝගයක් ලබා දුන්නා. එතුමන්ලාගේ ආශිර්වාදයෙන් මම මගේ ප්‍රථම ගී නිර්මාණ එකතුව ‘රණහඬ ඇසුණාවේ’ 2014 දී එළි දැක් වූවා. මෙහි ගීත 14 ක් ඇතුළත්. මෙහි ගීත දෙකක් මම රචනා කළා. අනිකුත් නිර්මාණ සියල්ලන්ම ප්‍රවීණ ගායක ගායිකාවෝ සංගීත නිර්මාණ ශිල්පීන් මට උදව් කළා. මෙම ගී එකතුව එළි දක්වන උත්සවයට ප්‍රධාන ආරාධිතයා වුණේ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. එතුමා මා වැනි පුංචි ගායකයකු වෙනුවෙන් පැමිණ ලබා දුන් ශක්තිය මම හැමදාම අගය කරනවා.

චරිත්ගේ දෙවැනි නිර්මාණය එළි දක්වන්නේ 2018 වසරේදීය. එය ‘සිහිනයක් සේ’ නමින් ගීත 16 ක් ඇතුළත් සංයුක්ත තැටියකි. එහි එන සියලුම ගීතවලට චරිත්ගේ මියුරු හඬ මුසු කර ඇත.

චරිත්ගේ නවතම ගී නිර්මාණය ‘සැලෙන තුරුවැල්’ නමින් මේ වන විට යූ ටියුබයේ සහ යුද හමුදා වෙබ් අඩවියේ සැරිසරන නවතම ගීතයකි. සිය නිර්මාණය ගැන චරිත් කීවේ මෙවැන්නක්.

‘කොවිඩ් - 19’ වසංගතය මුළු ලෝකයටම මාරාන්තික වසංගතයක් වුණා. තවමත් මේ රෝගයට නිසි ප්‍රතිකාරයක් නෑ. සුනාමියෙන් වගේ මේ රෝගයෙනුත් මුළු ලෝකෙම මිනිස්සුන්ට මතක සිටින පාඩමක් කියල දුන්නා. අපි සදාකාලික ජීවත් වෙන මිනිස්සු නොවේ. ඒත් සමහරු ජීවත් වෙන්නේ නොමැරෙන මිනිස්සු වගේ. මෙන්න මේ නොමැරෙන ලෙස ජීවත් වෙන මිනිසුන්ගේ ඇහැ ඇරෙන්න තමයි මම මේ ගීතය නිර්මාණය කළේ.

මගේ හිතේ තියෙන අදහස චාරු රාජපක්ෂ කියන නවක ගී රචිකාවියට කිව්වා. ඒ අදහසට ගැළපෙන විදියට ඇය ගීතය රචනා කළා. ඊටම ගැළපෙන විදියට ලසන්ත රත්නායක තනු නිර්මාණය කළා. මම ගායනා කළා. අද කොවිඩ් - 19 වසංගතය යළි හිස ඔසවන බවක් පෙනෙනවා. මම හිතනවා මේ ගීතයෙන් යම් පණිවිඩයක් රටට සමාජයට ලැබේවි කියලා. ඒ වගේම සෑම රසිකයකුගෙන්ම මම ඉල්ලා සිටිනවා මේ ගීතය රස විඳලා එහි යම් අඩු පාඩු තිබේ නම් මට ඒ ගැන කියල දෙන්න. තම උපන් දේශය රැක ගැනීමේ සටනේදී ඇස්. ඉස්, මස්, ලේ දන් දුන් අභීත රණ විරුවකු රසික ඔබෙන් කරන ඒ ඉල්ලීම කෙතරම් හැඟුම්බරද? සිය දකුණු අතත් ඇස් දෙකත් අහිමිව ඒත් හදවතින් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන ආකාරය සැබැවින්ම පුදුම සහගතය.

අභිමංසල සෙවණේ ඈත කෙළවර අවසන් වන්නේ නුවර වැවෙනි. නුවර වැවෙන් හමා එන සීතල සුළං රැලි අතර හිමිහිට චරිත්ගේ ගී හඬ සමඟ මුසු වෙයි. මඳක් නිහඬව සිට චරිත් දිගු සුසුමක් හෙලා සිය හඬ යළි අවදි කරයි.

‘මගේ ඇස් දෙකත්, අතකුත් අහිමි වුණා කියලා මට දුකක් දැනෙන්නේ නෑ. මගේ දරු පැටව් දෙන්නට වගේම මේ රටේම ඉන්න දරුවන් වෙනුවෙන් අපි අපේ රට බේර ගත්තා. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්. ලෝකය දකින්න අද මට වරම් නැති වුණත් හදවතින් මම ලෝකය දකිනවා. සංගීතය මගේ ජීවිතයට ළඟා කර දුන්නේ විශාල ශක්තියක්.

වත්මන් යුද හමුදාපතිතුමන්, අභිමංසල බාර සේනා විධායකතුමන් ඇතුළු සියලු නිලධාරීන් තමාට ලබා දෙන සහයෝගය නිරතුරුවම අගය කරන බව සඳහන් කළ චරිත් දයාබර රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඔවුන් සමඟ බෙදා හදා ගන්න මහත් ඕනෑකමකින් බලා සිටින බව නිහතමානීව සඳහන් කළා. දයාබර රසික සහෘදයිනි හෙටක් වෙනුවෙන් රටක් රැක දුන් මේ අභීත විජයබා විරුවාට 0718602691 - 0767602691 අංකවලට කතා කරන්න. එසේත් නැතිනම් චරිත් කුලතිලක , වෙල්ලාරගම, මරදන්කල්ල, මිහින්තලේ ලිපිනයට වදන් පෙළකින් සටහනක් තබන්න. සැරයන් චරිත් ඔබේ ප්‍රතිචාර ලැබෙන තුරු පෙරමඟ බලා සිටී.

 

විශේෂ ස්තූතිය -

බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර (යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ)

බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි (සේනා විධායක අභිමංසල) සහ

මේජර් වෛද්‍ය එච්. පී. ඩී. හර්ෂණී ගල්ගොඩැල්ල (අභිමංසල)

 

සමන්ත වීරසිරි