නාගිත හිමියන්ගෙන් බුදු ගුණ ගීයක්...

ගෞතම මුණි සමිඳේ...
ඔක්තෝබර් 22, 2020

ගීත සාහිත්‍ය වෙනුවෙන් කැපවූ හිමිවරු ඉතිහාසයේ සිට සිටියෝය. පන්හිඳ අතට ගත් උන්වහන්සේලා ගීත කලාව පෝෂණය කිරීම උදෙසා සිය හැකියාව මනාව යොදවනු ලැබූහ. වත්මනෙහිද එවන් හිමිවරු නිරන්තරයෙන් අපට හමුවෙති. රහතන්ගම නාගිත හිමියන්ද එවන් හිමිනමකි. උන්වහන්සේ කලක පටන් ගීත රචනයේ නිරත වූහ. නාගිත හිමියන් සමඟ කළ මේ සංලාපයට පාදක වන්නේ උන්වහන්සේ විසින් විරචිත නවතම ගීතයයි. ගෞතම මුණි සමිඳේ ලෙසට එය නම්කොට තිබේ.

හාමුදුරුවනේ, මේ ගීතයේ අන්තර්ගතය සහ එය නිර්මාණය වූ අන්දම ගැන පළමුව කතා කළොත්?

මට තදබල ආසාවක් තිබුණා අප තථාගත බුදු පියාණන් වහන්සේ පිළිබඳ ගීතයක් ලියන්න. නමුත් ඒ අදහස සාක්ෂාත් කරගන්න වුණේ නෑ කාලයක් එක්ක. නොයෙක් වැඩ නිසා අතපසු වුණා. මෑතකදී මට ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් වූ ඉසුරු වික්‍රම අයියා මුණගැසුනු වෙලාවක මේ ගීතය පිළිබඳ කතා කළා. එහි ප්‍රතිඵල වුණේ ගීය ඉක්මනින් නිම කිරීමට අඩිතාලම වැටීම. ඔහුත් එක්ක සම්බන්ධ වෙලා ගෞතම මුණි සමිඳේ ගීතය නිර්මාණය කළා.

මේ ගීතයේ ඔබවහන්සේට විශේෂත්වයක් තිබෙනවා?

එකක් නෙවේ විශේෂත්වයන් කිහිපයක්ම මට තියෙනවා. මම දැනට රචනා කළ ගීත බොහොමයක් ආදරය විරහව, මවු පිය ගුණ සම්බන්ධ ලියවුණ ගීත. ආගමික පැත්තට මා අතින් ලියැවුණේ අඩු ගීත සංඛ්‍යාවක්. ඒ හින්දා කාලෙකට පස්සේ බුදු ගුණ ගීතයක් ලියන්න ලැබුණ එක, එක විශේෂත්වයක්. ඒ වගේම මේ ගීතය අද තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය වුණ ගායකයෝ රැසක් ගායනා කරනවා අනික ඒ හැමදෙනාටමත් මේ නිර්මාණය අලුත් අත්දැකීමක් මොකද මේ ජනප්‍රිය ගායකයන් එකට එකතු වෙලා බුදුගුණ ගීයක් ගයලා නැති නිසා.

ඒ ගායකයන් පිරිස ගැනත් සදහන් කරමු.?

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු, කවීශ කවිරාජ්, රොමේෂ් සුගතපාල , තීක්ෂණ අනුරාධ, තුෂාර සුබසිංහ, නිලාන් හෙට්ටිආරච්චි, මංගල ඩෙනෙක්ස්, ජීවන ප්‍රනාන්දු, බුද්ධික උෂාන්, උදේශ් නිලංග, රනිල් ප්‍රියංකර, අමිල මුතුගල, හෂාන් තිළිණ යන අය තමයි ගායකයෝ.

මේ ගීතය නිර්මාණය කරන්න ඔබ වහන්සේට උදවු ලැබුණ පිරිසත් මතක් කළොත්?

ඔව් මේ ගීතය කරන්න මා සමඟ සාකච්ඡා කළ සංගීතවේදී ඉසුරු වික්‍රම අයියව මුලින්ම මතක් කරන්න ඕනෑ. ඔහු තමයි මේ ගීතය මට කරන්න මූලික අඩිතාලම යෙදුවේ. ඊට පස්සේ උදේෂ් නිලංග අයියා, ජනප්‍රිය නිවේදිකා ශිරෝම් ප්‍රියදර්ශනී අක්කා, අමිල මුතුගල අයියා, හෂාන් තිළිණ අයියා, ජනප්‍රිය ගී පද රචක ලසිත ජයනෙත්ති ආරච්චිගේ අයියා ඇතුළු හැමෝම ලොකු සහයෝගයක් ලබා දුන්නා ගායනා කරන්න සම්බන්ධ වුණ සෑම ගායකයෙකුට වගේම මා හට ප්‍රවාහන පහසුකම් සපයන කල්‍යාණ මිත්‍ර සදසිරි සුගත් අයියත් මා මේ මොහොතේදී කෘතවේදිව සිහිපත් කරන්න කැමතියි.

අද ගොඩක් ගීතවලට රූප රචනාවක් නිර්මාණය කරනවා. මේ ගීයටත් රූප රචනාවක් කරන්න බලාපොරොත්තු වෙනවද?

ඔව් මේ ගීතයට රූප රචනාවක් කිරීමට බොහෝ දෙනෙකු සමඟ සාකච්ඡා කළා. නමුත් මට ගැළපෙන අධ්‍යක්ෂවරයකු මුණ ගැහෙන්න ටිකක් කල් ගියා මොකද මේ ගීතය බුදු ගුණ ගීතයක් ආවට ගියාට රූප රචනාවක් කළොත් ගීයටත් හානියක්නෙ. ඒ නිසා පොඩ්ඩක් කාල වේලාව ගත්තා හොද රූප රචනා අධ්‍යක්ෂවරයකු මුණ ගැහුනා රවිඳු අබේරත්න කියලා. ඔහු ගීතයට සුදුසු ආකාරයට රූපරචනාවක් නිර්මාණය කළා. නුදුරේම එය සංගීත රසික රසිකාවන්ට රස විඳින්න පුළුවන් වේවි.

ඔබවහන්සේගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

මම මෙතෙක් ලියා තිබෙන ගීතවලට වඩා වෙනස් මාතෘකා සොයමින් හොඳ ගීත රචනා කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වාගේම ගීත රචනා කලාව තුළ මගේ යම් සලකුණක් තැබීමට මා වෙහෙසෙනවා. ඉදිරියටත් අපි මොන නිර්මාණ කළත් ඒක ශ්‍රාවකයා වැලද ගන්නේ ඒක හරවත් හා ගුණවත් එකක් නම් පමණයි. වර්තමානයේ ගොඩක් ගී පද නිර්මාපකයන් බිහි වෙලා තියෙනවා නමුත් බොහෝ වෙලාවට ඔවුන් කරන්නේ රැල්ලට ගීත ලිවීම. මගේ එහෙම අදහසක් නෑ මම හැම වෙලාවෙම උත්සහා කරන්නේ කරන හැම නිර්මාණයක්ම උසස් නිර්මාණයක් ලෙස ශ්‍රාවකයන්ට අහන්න ඉඩ දෙන්න.

ඔබ වහන්සේට මේ ගමන එන්න උදවු කළ අයත් ඇති.?

කොළඹගේආරේ අතුලසේන ලොකු හාමුදුරුවෝ, කොස්වානේ නන්දසාර ලොකු හාමුදුරුවෝ, චමින්ද ගමගේ මාමා, අයි.වී ප්‍රේමසීලි මාතාව, පැල්වත්තේ මෛත්‍රී අයියා, ධම්මිකා ගුණසේකර මාතාව, තිලක් උක්වත්ත මාමාඅයි.ඩී සඳසිරි සුගත් අයියා, බුද්ධික සඳරුවන් අයියා, ශ්‍රි මිහිරාන් මුතුකුමාරණ අයියා ඇතුළු සියළු දෙනාම මේ මොහොතේදි සිහිපත් කරනවා.