අරක නෑ මේක නෑ කිය කියා ඉන්න මට බෑ

මාර්තු 28, 2019

සුළඟ අප රැගෙන යාවි අධ්‍යක්ෂ නුවන් ජේ.

රැවුල අමුතු විදිහට වවාගෙන, කවුබෝයි තොප්පියක් හිසලාගෙන, සාගත මල්ලක් එල්ලාගෙන සරසවිය පඩිපෙළ තරණය කර ආ තරුණයා කවුදැයි කියා මම හැරී බැලුවෙමි. ඔහු කාලයක් ජාතික පුවත්පතක සිටි මාධ්‍යෙව්දියෙකි. එහෙත් ඊට වඩා මෑතකදි අප ඔහු දුටුවේ සුළඟ අප රැගෙන යාවි මාධ්‍ය දර්ශනය සඳහා තරංගනී ශාලාවට ගිය විටය. නුවන් ජයතිලක, සමාජ මාධ්‍ය ඔස්සේ ‘නුවන් ජේ‘ නමින් ජනප්‍රිය ඔහු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයායි. 22 වැනිදා සිට ප්‍රදර්ශනය වන සුළඟ අප රැගෙන යාවී ඔබ වෙත ගෙන ඒමේ අරමුණ වෙනුවෙන් අසීමිත ‘කට්ටක්‘ කා අපමණ කැපකිරීම් කර ඔහු ආ ගමන පිළිබඳ විස්තර මෙසේ දිගහරින්නට ඔහු නොපසුබට විය.

ඉතින් කියන්න ඔබේ කතාව?

මේ මගේ ෆර්ස්ට් ෆිල්ම් එක. මම පොඩි කාලේ ඉඳන්ම හිටියේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන හීනයේ. මම ලෙල්ලොපිටියේ ජෝ අබේවික්‍රම මහත්තයාගෙ ගමේ ඉඳන් කොළඹට ආව කෙනෙක්. පොඩි කාලේ මම හැදෙන්නේ වැඩෙන්නේ ජෝ මහත්තෙලෑ ගෙදර. මොකද එයාගෙ අය්යගේ පුතා මගේ හොඳ යාළුවෙක්. අපේ ගමේ නෑදෑයෝ ඔක්කොම ඉන්නේ එක ළඟ නිසා අපේ වයසේ ළමයෙක් හැම ගෙදරකම හිටියා. අපි කට්ටිය එකතු වෙලා සෙල්ලම් කළේ ජෝ මහත්තයා පොඩි කාලෙ සෙල්ලම් කළ අඹ ගහ යට. ඒ නිසා චිත්‍රපට ගැන පොඩි හඳුනාගැනීමක් තිබ්බත් මම කවදාවත් සිනමාකරුවකු වන්න හිතුවේ නෑ. පුංචි කාලේ ඉඳන්ම මම ළමා නාට්‍යවලට සම්බන්ධ වෙලා කොළඹ එනවා ළමා නාට්‍ය උලෙළට. බෙරහඬ කියලා ඉස්කෝලෙ කරපු නාට්‍යයක මට තිබුණේ යකැදුරෙකුගේ චරිතය.

එතකොට මම දෙකවසරෙ. ඒත් මට ඒ නාට්‍යයේ අඩුපාඩු පේන්න ගත්තා. මම ඒවා හැදුවා. පොතපත කියවන්න ඒ කාලේ ඉඳන්ම හුරුවුණ නිසා වෙන්න ඇති. ඒ වගේම අපේ ගෙවල් ගාව සාස්තර කියන සීයා කෙනෙක් හිටියා එයාගේ ගති ලක්ෂණ මම දැකලා තියෙන නිසා ඒ නිරූපණය තාත්ත්විකව කරන්න මට හැකි වුණා. ඒ තමයි මගේ එකම සහ අන්තිම රඟපෑම. ඒ හැරෙන්න මමම හදාගත්ත නාට්‍යවල මමම රඟපෑවා මිසක් වෙනත් අවස්ථා ලැබිලා නෑ. මට අද වගේම එදත් උදව් කරන්න කවුරුත් හිටියෙත් නෑ. දැන් හැරිලා බලද්දි තමයි මට ඒවා සහජයෙන් උරුම වී තිබුණ බව දැනෙන්නේ. හැබැයි මගේ රූපය, මගේ අංගචලනය මාව නළුවෙක් කරන්න ඕනතරම් සාධක සැපයුවත් නළුකමට මට උවමනාවක් තිබුණෙත් නෑ. ඒත් නාට්‍යවලට කොච්චර ආසාද කිව්වොත් මම ගෙදරට බොරු කියලා ළමා නාට්‍ය කණ්ඩායම් එක්ක කොළඹ එනවා.

උලෙළවලදි වේදිකා පරිපාලනය කරනවා. පස්සේ මම වෙළෙඳදැන්වීම් විශාල සංඛ්‍යාවක් කරද්දි මට ආරාධනා ලැබුණා නළුවකු වන්න. ඒත් මට ඕන වුණෙ රචකයකු වන්න. ඒ ලෙවල් කළාට පහුවෙනිදාම රචකයකු වන්න අවශ්‍ය නිසා නීතිඥයකු වන්න කියලා ගෙදරට බොරු කියලා මම කොළඹ එනවා. අම්මයි තාත්තයි මට ඇක්වයිනාස් එකේ නීති ප්‍රෙව්ශට සහ මහාචාර්ය ගම්ලත්ගේ ඉංග්‍රීසි පන්තියට දෙන්න කියලා දෙන සල්ලි අරගෙන මම කළේ නාට්‍යකරුවන් කල්ලි ගැහෙන තැන්වල ගිහින් ඔවුන්ගෙන් වැඩ ඉල්ලගන්න එක. උදාහරණයක් කීවොත් මම නාමෙල් මාලනී පුංචි තියටර් එකේ අවුරුද්දක් විතර වැඩ කළා. එතැන ඉන්න කන්න බොන්න එක්ක පඩිකුත් ලැබුණා.

ඊට වඩා දුක්බර ජීවිතයක් ඔබ කලින් ගත කළා?

ඔව් සමහර දවස්වලට ඉන්න තැනක් නැති වුණාම මම පොල්ගහවෙළට කෝචචියේ ගිහින් නිදාගෙන ඊට පස්සේ පිටකොටුවෙ ළිඳෙන් නාලා තමයි ජීවත් වුණේ. දැන් මේ කොළඹ හතේ වගේ හිටියට එහෙම කාලෙකුත් තිබුණා. කොළඹ මගේ ජීවිතේ දවස පටන් ගන්නේ පබ්ලික් ලයිබ්‍රරියෙන්. රත්නපුරේදිත් මගේ ප්‍රධාන තැන පුස්තකාලේ. සාහිත්‍ය සංගමේ සභාපති වෙලත් හිටියා. කවියෝ, නාට්‍යකරුවො එහෙ ගෙන්වන කටයුතුත් කළා. මෙහෙදිත් පාන්දර ඉඳන් දවල් වෙනකල් කියවනවා. ඊට පස්සේ කන්න කැන්ටිමට එනවා. එතැන මට කල්ලියක් හිටියා. දවල් පොතපත කියවන්න බැරි තරමට රස්නෙ වැඩි වුණාම වික්ටෝරියා පාර්ක් එකේ ගහක් යටට වෙලා කියවනවා. පොත් දොරට වැඩීම්, නාට්‍ය, චිත්‍රපට තිබුණොත් බලන්න යනවා. මම කොහෙන් හරි සම්බන්ධකම් හදාගන්න නිසා සතපහක්වත් නොගෙවා නාට්‍ය එහෙම බලන්න ලැබෙනවා.

සල්ලි නැත්තෙමත් නෑ. අම්මලා එවන සොච්චම තියෙනවානේ. මම වැඩිපුරම ඒ සල්ලි යෙදෙව්වෙ පොත් ගන්න. අනෙක පුළුවන් තරම් සංවාදවල එහෙම කතා කරලා තර්ක කරලා මාව පිරිස අඳුනනවා. කලාකරුවන් මුණ ගැහෙනවා. රෑවෙද්දි අර ගැන්සියම එක්ක බුඩිස්ට් ලේඩීස් එක ගාව සෙට් වෙනවා. එතනදි කෙල්ලොත් බලනවා. ඊට වඩා රස්තියාදු කල්ලියක් හැටියට විවිධ දේවල් කරමින් රෑ මැදියම වෙනකල්ම එතන ඉන්නවා. මට ඉන්න තැනක් නැති නිසා ඒක ලොකු සහනයක්. ඒ මදිවට මට අඩු වයසෙන්ම කසාද බඳීන්නමත් සිද්ද වෙනවා. මේ දේවල් ඔක්කොම ගෙදරට අහු වුණාම සල්ලි එවිල්ලත් නවත්තලා, පවුලේ එකම පුතා මළා කියලා දානයක් දීලා මාව ගෙදරින් අයින් කරලාම දැම්මා. 2005 විතර වෙද්දි මම නාමෙල් මාලනී පුංචි තියටර් එකේ වැඩක් ඉල්ලගෙන එහෙ නතර වෙනවා. වේදිකා පරිපාලන සහායකයකු හැටියට මම වැඩ කළා. ඒත් එයට එන වැඩිමල් පරම්පරාව සමඟ ඇතිවන මතවාදී ගැටුම් නිසා එතැනින් ඉවත්වෙන්න සිද්ධ වෙනවා. බුද්ධික දමයන්තයි, ධනංජය කරුණාරත්නයි පටන්ගෙන තිබුණු ඕෆ් තියටර් පදනම මඟින් නාට්‍ය පෙන්නුවා.

අනුර ඒකනායක කළ ලෝකාන්තයට ආදරය කරන්න නාට්‍යයේ සමනලී ෆොන්සේකා පළමුවැනි වතාවට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා හොඳම නිළියත් වෙනවා. මම තමයි ඒකේ ස්ටේජ් මැනේජර්. ඕෆ් තියටර් එකේ අපට යැපෙන්න ක්‍රමයක් නැති වුණාම නාට්‍යයක් කරන්න කියලා බුක් මාර්ක් ගහලා ඒවා විකුණලා ජීවත් වෙන්නේ. මතවාදී ප්‍රශ්න නිසා එතනත් ඉන්න බැරි වුණාම මම පසන් කොඩිකාර, නදීක ගුරුගේ කණ්ඩායම එක්ව කළ ස්වර්ණමාලී නිර්මාණයට එකතු වෙනවා. පසන්ලෑ ගෙදර නැවතිලා ඉද්දි සල්ලි නැතිව කොළඹ ඉඳන් මත්තේගොඩට මම පයින් ගිය අවස්තා තියෙනවා. එහෙම ගියාම පසන් අය්යා ගෙදර නැති දවසට ආපහු කොළඹට පයින් එනවා. විකටෝරියා පාක් එකේ නිදා ගන්නවා. මගේ ඩියුටිය වුණේ පසන් අය්යට කෑම උයන එක. මගේ ප්‍රේමයටත් ප්‍රශ්නයක් ඇති වෙමින් තිබුණේ ඒ වෙද්දි. මට වෙන කවුරුත් යාළුවොත් නෑ. අදටත් එහෙමයි, කවුරුත් ආදරේ කරන්නෙ නෑ මට. සහෝදරියන් තුන්දෙනෙක් සහ අම්මා අතර මම කොන් වෙලා හැදුණේ. මම පසන් අයියා විශ්වවිද්‍යාලයේ කරන දේශන අහන් ඉන්න යනවා.

ගොඩගේ, සරසවිය, විසිදුණු පොත් සාප්පුවලට යද්දි මාව එක්කන් යන නිසා ඒ පිරිසත් මාව අ½දුන ගන්නවා. කසාදත් බැඳලා නිසා මේ වෙනකොට රස්සාවක් ඕන නිසා මාධ්‍යවේදියකු විදිහට මම වැඩ කරනවා. ජර්මානු සංස්කෘතික ආයතනය, රුසියානු, ඉරාන, ඉන්දියානු සංස්කෘතික ආයතනවලට මම යනවා. ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉරාන ගෑනු ළමයකුත් එක්ක මම හිතවත් වෙලා කවුරුත් නැති දවසට චිත්‍රපටිත් බලලා ප්‍රේමයත් භුක්ති විඳලා එන්න පටන් ගත්තා. මේ සියල්ල මගේ අරමුණ වෙනුවෙන් කියලා කියන්නත් ඕනා. පසන් අය්යා ජාතික පුවත්පත් තුනකට මාව හඳුන්වලා දෙනවා. ජාතික ප්‍රශ්නය ගැන මට තිබුණේ වෙන අදහසක් නිසා සමහර පත්තර ගැළපුණේ නෑ. එක පත්තරයක මනෝහාරි හේවාවසම් ගැන මම ලිපියක් ලියනවා. ඒ අතර පත්තර දෙකක් පටන්ගන්න බව ආරංචි වෙනවා. උදේ එකකටත් දවල් තව එකකටත් යනවා. ඒකේ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා එවටක විශේෂාංග කර්තෘ. මනෝහාරි අක්කා එතනදි මුණගැහෙනවා. ඇයගේ රෙකමදාරුව නිසා මට පහුවෙනිදාම රැකියාව ලැබෙනවා. ආචාර්ය ධර්මසේන පතිරාජ එක්ක සිනමාව ගැන අවුරුද්දක් තිස්සේ කොලමක් ලියනවා. එතකොට රජයේ චිත්‍රපට අංශයේ ලොක්කා එයා. මමත් එහේ යනවා. ඒ ටික පොතක් හැටියට එළි දක්වන්න හීනයක් මට තියෙනවා.

 

මාධ්‍යෙව්දියකු ලෙස තවත් කලාකරුවන් මුණ ගැහෙන්න ඇති?

ඔව්. කලා ක්ෂේත්‍රයේ මම ආසා කරන වීරයන් සියලුදෙනාගේම සම්මුඛ සාකච්ඡා කරන්න මම අවස්ථාව ලබා ගන්නවා. ඒ අයත් එක්ක බොන්න, දොඩමළු වෙන්න අවස්ථාව ලැබෙනවා, මම පොඩි එකෙක් වුණාට. ඒ අතර මම යුද වාර්තාකරුවකුත් වෙනවා. අන්තිම කාලේ මම කලාකරුවන් ගැන කලකිරිලා විශේෂාංග රචකයෙක් බවට පත්වෙනවා. විමර්ශන ලේඛකයෙක් හැටියට අපරාධ හෙළි දරව් කරනවා. ඡායාරූප ශිල්පීන් මාත් එක්ක වැඩකරන්න බෑ කියනවා ඒ අයගේ බෙල්ල ගහලා යන නිසා. මට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. පරණ පත්තරකාරයින්ගේ ජීවිත කතා කියවලා ඒ අය වගේ වැඩ කරන්න මම පුරුදු වෙනවා. සඳුදා පත්තර කන්තෝරුවෙන් කීයක් හරි ඉල්ලගෙන රෙදි කෑලි ටිකක් බෑග්එකේ දාගෙන කොහේ හරි ගිහින් බ්‍රහස්පතින්දා පිටුව හදන්න කතා හොයාගෙන එන සංස්කෘතියක මම වැඩ කරනවා.

මීමුරේ, රිවර්ස්ටන් මේ චිත්‍රපටයේ තියෙන ලොකේෂන් මම මුල් වරට දකින්නේ එහෙම. පිටකොටුවේ මම නාට්ටාමිලත් එක්ක ජීවත් වෙනවා. තවලම ගැන ලියන්නේත් ඒ කාලේ. මගේ ලිපි ජනප්‍රිය වෙනවා. රොයිටර් සේවයේ අනුරුද්ධ ලොකුහපුආරච්චි මාව එයාගේ කාර් එකේ දාගෙන යන ගානට ආවා. මම හිතනවා මම දක්ෂ නිසා එහෙම අගය කළේ කියලා. මෙහෙම කැමරාව අතගාගා ඉද්දි ෂෝට් ෆිල්ම් රැල්ලක් කොළඹින් හිස ඔසවනවා පෙනුණා. මට වේදිකාව මඟ ඇරිලා. කැමරාවත් එක්ක මොනවා හරි කරන්න ඕනා කියලා රොක් ඇන්ඩ් ක්‍රැක් කියලා කෙටි චිත්‍රපටයක් කරනවා. ඒ වෙද්දි මමයි මගේ බිරිඳයි මත්තේගොඩ පුංචි ගෙයක් අරගෙන පවුල් ජීවිතයක් ගතකරනවා. ඒ අතර ආයේ මනෝහාරි හේවාවසම් අක්කා එයා නිෂ්පාදන කළමනාකාරිනිය විදිහට වැඩ කරපු විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටයෙන් පස්සේ කරන වාර්තා වැඩසටහනේ සහායකයකු විදිහට වැඩ කරන්න කතා කරනවා. අපි යන වාහනේ විමුක්ති ජයසුන්දරයි, ගාමිණි වියන්ගොඩයි, චන්න දේශප්‍රියයි ඉන්නවා.

දවස් පහක ගමනෙදි වාහනේ කැඩිලා මම වෙනත් වාහන ගෙන්නගන්න විදිහ, එයාලට සහාය දෙන විදිහ නිසා විමුක්ති අය්යාට මාව හිතට අල්ලලා කීවා ඔය කරලා තියෙන චිත්‍රපටයේ රෂස් ටිකත් අරගෙන එයාව හම්බෙන්න කීවා. ඒවා බලලා කියනවා ඔය පත්තර රස්සාව අතහැරලා මාත් එක්ක චිත්‍රපට කරන්න මම පඩියක් ගෙවන්නම් කියලා. එතන ඉඳන් එයා කියවන පිටපත් ලියාගෙන බයින්ඩ් කරලා ඒ වැඩටික කළා. අහසින් වැටෙයි දැවැන්ත චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකගේ යටතේත්, කලා අධ්‍යක්ෂගේ යටතේත් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. විදේශ රටවල නළු නිළියෝ, තාක්ෂණික කණ්ඩායම් එක්ක වැඩකරලා මම චිත්‍රපටයක බින්දුවේ ඉඳන් කෙළවරටම වැඩපිළිවෙළ දැන ගන්නවා. මේ නිෂ්පාදන කණ්ඩායම 24 ෆ්රේම්ස් කියලා වෙළෙඳ දැන්වීම් හදන ආයතනයක් පටන් ගන්නවා. මම එතන නිෂ්පාදන සහායක, සහාය අධ්‍යක්ෂ, නිෂ්පාදක, අධ්‍යක්ෂ වෙලා අවුරුදු 7ක් යද්දි සියල්ල දැනගෙන, ලංකාවේ හොඳම වෙළෙඳ දැන්වීම් 2000ක විතරත් වැඩ කරලා තිබුණා. ටික කාලෙකදි මගේ විවාහය දෙදරා යනවා. මම රස්සාවෙනුත් ඉවත් වෙලා ඉද්දි ඇඩ් ඒජන්සීස්වලින් මට කෝල් එනවා. එක්කෙනෙක් මගෙන් අහවා ඔයාට බැරිද වෙනම ආයතනයක් දාගෙන වැඩ කරන්න කියලා. මම වයිරල් ඇඩ්ස් කියලා මගේම ආයතනයක් හදනවා.

 

ඔබ සිනමාව හදාරන්නේ ඒ අතරද?

ආ ඔව්. මම ඔය අතර පූනේ සිනමා පාසලේ පාඨමාලාව කරලා කෙටි චිත්‍රපටයක් කරනවා. ඒ අතර මුහුණු පොතේ ජනප්‍රිය වෙනවා. චිත්‍රපටය ලෝකේ පුරා උලෙළවලට යවන්න බ්‍රිතාන්‍ය මණ්ඩලයේ සහාය ලබා ගන්න නම් එංගලන්තයේ නිෂ්පාදකවරයෙකුගේ නම අවශ්‍ය බව මම දැනගන්නවා. සයිමන් නවගත්තේගම මහත්මයාගේ දුව මායා මගේ මුහුණුපොතේ යෙහෙළියක්. ඇයට මම මේ බව කියනවා. පොඩි කාලේ ඉඳන්ම සයිමන් මහත්මයාගේ පොත් කියවලා දඩයක්කාරයාගේ කතාව සඳහා චිත්‍රපටයක් කරනවා කියලා හිතලා, මගේ අතේ සල්ලිත් තිබුණ නිසා ඒකේ අයිතිය ගැනීම ගැන මායා නවගත්තේගමට කියනවා. ඒ අතර එයා ලංකාවට එනවා. ඔය කතාබහ දුරදිග ගිහින් අපි දෙන්නා විවාහ වෙනවා. කොහොම හරි පිටපත බරපතළ වැඩි නිසා ඒ චිත්‍රපටය කිරීමේ අදහස අතහරිනවා.

ඒ අතර මේ පිටපත ගොඩනැඟෙනවා. නිෂ්පාදකයෙක් හොයන්න මහන්සිවෙලා හෙම්බත්වෙලා ඉද්දි මායා මට කියනවා අපි අපේ අතේ තියෙන මුදලකින් මේක කරන්න පටන්ගමු කියලා. මායාගේ තාත්තගේ සම්බන්ධතා නිසා අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ ශිල්පිනියක් ඇතුළු නළුනිළියන් චිත්‍රපටය මුදා හැරීමෙන් පස්සේ මුදල් දෙන පොරොන්දුව මත කෘතියට සම්බන්ධ කරගන්න ලැබෙනවා. වෙළෙඳ දැන්වීම් කරලා ආයතන එක්ක තිබුණු සම්බන්ධය හා ඔවුන් මට දැක්වූ ආදරය නිසාත් මම කවදා හරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව ඇති වෙන පරිදි ගොඩනඟාගත් ප්‍රතිරූපය නිසාත් රෙඩි එපික් වගේ හොඳම කැමරා ආදි උපකරණ මට පසුව ගෙවීමේ පදනමින් ලැබෙනවා. ලංකාවේ සිනමාව ඩිජිටල් වෙලා නිසාත්, ලෝක සිනමාව ගැන මම කරපු අධ්‍යයනය නිසාත් ශබ්ද වගේ දේවල් ඩිජිටල් විදිහට කරගන්න මට හැකි වෙනවා.

ඔබේ චිත්‍රපටය දරුවන් වෙනුවෙන්?

ඔව්. ළමා කතා තමයි ලෝකේ ජනප්‍රිය වන්නේ. පවුල කේන්ද්‍රීය කරගත්තාම චිත්‍රපටය වැටෙන්නේ නෑ. හැබැයි ඒ කාලේ රජකතා, බණ කතා, ජාතක කතා රැල්ලක් තිබුණු නිසා මම දැනගෙන හිටියා මේ වගේ චිත්‍රපටයක් ජීවිතේට මුදා හරින්න බෑ කියලා. ඒ නිසා මම පිටරට ෆිල්ම් මාකට්වලට යනවා කියලා. චිත්‍රපටය හදලා ඉවරවුණ දවසේම ඔක්කොම අරගෙන මම මායා ඉන්න එංගලන්තේට ගියා. එතන ඉඳන් උලෙළවලට යොමු කරලා සම්මාන දිනා ගත්තා. මුල්ම එක සිනේකිඩ්. එය තරගකාරී උලෙළක්. ස්ක්‍රීන් ක්ලබ් එකට චිත්‍රපටය යැව්වාම දර්ශන වාර දීලා නිෂ්පාදකවරු ඒවා බලලා කැමති නම් මුළු යුරෝපයටම ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. මට ඒ වගේ සිනමා, ඩීවීඩී, කේබල් රිලීස් කියලා තුනක් ලැබුණා. වෙනත් උලෙළ නියෝජිතයන් මට අවස්ථාවන් හදලා දුන්නා. ඔය වගේ ලොව පුරායද්දි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දර්ශන සංවිධානය කළා. ඔස්ට්‍රේලියාවේ ඇරෙන්න අනෙක් රටවල සුද්දො තමයි වැඩිපුර කතාව බැලුවේ. මම උපසිරැසි ඒ ඒ රටවලට ගැළපෙන විදිහට හදන ක්‍රම හොයා ගත්තා.

මම පිටරට ජීවත්වන අපේ ලාංකිකයන්ට අලුත් සංස්කෘතියක් හඳුන්වලා දුන්නා. චිත්‍රපටයක් වෙනත් අවකාශයක පෙන්වන ආකාරය, එය ගාලා ඉවෙන්ට් එකක්, රෙඩ් කාපට් ඉවෙන්ට් එකක් කරන ආකාරය, ඒවාට ඇඳුම් අඳීන ආකාරය හඳුන්වලා දුන්නා. කරපු අත්හදාබැලීම් සාර්ථක වුණා. ඒ අතර මෙහෙ පෝලිමේ හිටියා. උලෙළවලින් දිනපු නිසා ජනාධිපතිතුමාගේ අවධානයට පවා මේ චිත්‍රපටයේ මුදා හැරීම ලක් වුණා. ඒත් රටේ තියෙන අකර්මණ්‍ය ස්වභාවය නිසා මට පොඩිම සර්කිට් එක තමයි ලැබුණේ. හැබැයි මගේ තියෙන කැපවීම සහ දක්ෂතාව හා උනන්දුව නිසා එල්.එන්.ඩී මණ්ඩලයට අමතරව එම්.පී.අයි, රීගල්, ජාතික චිත්‍රපට සංස්ථාවේ ශාලා ආදියේ සම්පූර්ණ මුදා හැරීමක් ලෙස අවස්ථාව ගන්න හැකි වුණා. ලංකාවේ තරුණයෝ මැසිවිලි නඟනවා අරක නෑ මේක නෑ කියලා. මම කවදාවත් එහෙම කිය කිය ඉන්න කෙනෙක් නෙවෙයි. මම කියන්නේ රටේ හැම ක්ෂේත්‍රයකම අවුලක් තියෙද්දි විනෝදාස්වාදය සඳහා වන සිනමාවේ ප්‍රශ්න නොතිබෙන්න බෑ. මම ජීවත්වෙන එංගලන්තෙත් කවුරුත් එහෙම මැසිවිලි කියන්නේ නෑ. අපේ තිබෙන සම්බන්ධතා ඔස්සේ කාරුණිකව කතාබහ කරලා මේවා විසඳගන්න ඕනා.

ඔබ යුරෝපයේ මොනවාද කරන්නේ?

මම අන්සීන් පික්චර්ස් ලන්ඩන් කියලා ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ ඔස්සේ මගේ චිත්‍රපටය ගිය පාර දිගේ ලංකාවේ චිත්‍රපට යවන්න කටයුතු කරනවා. මේ මොහොතේත් මම යශෝධරා චිත්‍රපටය බෙදා හරිමින් ඉන්නවා. ලංකාවේ වගේම ආසියාවේ අනෙකුත් චිත්‍රපටත් මේ වගේ බෙදාහැරීමට මම කටයුතු කරනවා. ඒ නිසා කඩවල්වල, පෙට්‍රල්ෂෙඩ්වල වැඩ නොකර මගේ තත්ත්වය රැකගෙන ජීවත්වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඕනෑම චිත්‍රපටකරුවකුට ලොව පුරා දර්ශන 20- 30ක්වත් හදා දෙන්න මට පුළුවන්. එයින් චිත්‍රපටයේ නිෂ්පාදන වියදමෙන් සැලකිය යුතු කොටසක් ලැබෙනවා. දැවෙන විහඟුන් චිත්‍රපටයටත් මම එහෙම සකස් කර දුන්නා. මගේ උත්සාහය එංගලන්තයේ ශ්‍රී ලාංකික චිත්‍රපට උලෙළක් කරන්න ඒත් රටේ අකර්මණ්‍යබවත් එක්ක මට ඒක තනියෙන් කරන්න බැරිවෙලා තිබෙනවා. ඒත් ලෝකේ රටවලට අදාළ සිනමා සති පවත්වන ක්‍රමයක් තියෙනවා. ඉදිරියේදී ප්‍රධාන රටවල නගර 10ක සිනමා සතියක් කරන්න උනන්දු වෙනවා. මම ලංකාවට චිත්‍රපට 5ක් විතර හදයි. ඊට පස්සේ මම චිත්‍රපට කරන එකක් නෑ. මගේ ඊළඟ චිත්‍රපටය ඉංග්‍රීසි එකක්. ඒකේ රඟපාන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නළුනිළියන්. රොයල් ඇකඩමි ඔෆ් ඩාන්ස් ඇන්ඩ් ඩ්‍රාමා කියන පාසලින් ඉගෙන ගත් අය.

දැන් කියමු සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටයට පාදක වුණු වස්තුබීජය ගැන?

මට තිබුණු ලොකුම ප්‍රශ්නය තිරපිටපත ගොඩනඟාගන්නේ කියන එක. මම ඒ විෂය දන්නා අයගේ ගෙවල්වල ගියාම මාව කඩේ යවන්න ගත්තා. ප්‍රතිඵලය මම ඒ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරන්න ගැනීම. මම පූනේ ගිය වෙලාවේ ලෙස්ටර් මහත්තයාගේ නිධානය පිටපත කියෙව්වා. ඒක මට තදින් ඔළුවට ගියා. කඩේ තියෙන චිත්‍රපට තිරපිටපත් සමඟ ඩීවීඩී අරගෙන බල බලා තේරුම් ගත්තා. විමුක්ති අය්යා එක්ක වැඩකිරීමෙන් ලබපු අත්දැකීම් මට වැදගත් වුණා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරකෙක්. ඒක හරි අමාරු වැඩක්. ඉතින් ලෝකේ අනෙක් රටවල ස්වාධීන චිත්‍රපටකරුවන් මේ වගේ වැඩ කරන්නේ කොහොමද කියලා බලද්දි දැනගත්ත දේවල් අනුව, සිද්ධි ටික ඔක්කොම ලියලා නළුනිළියන්ගේ ගෙවල්වලට ගිහින් මාස ගාණක් කතාබහ කරලා පුහුණුවීම් කරලා මුළු චිත්‍රපටයම මගේ දුරකථනයෙන් පටිගත කළා.

අයි පෑඩ් එකකට ඒ ටික දාලා අපට ලැබුණු ඇප් එකක ආධාරයෙන් කැමරා ස්ථානගත කරන ස්ථාන හදාගත්තා. මායි කැමරා ශිල්පී ස්ට්‍රයිම් ඇඩම්සුයි බයිසිකලේ නැගලා, බස් එකේ ගිහින් මීමුරේ ගෙවල්වල ඉඳගෙන ඒ අය සමඟ සම්බන්ධ වුණා. අවසානයේ රූපගත කිරීමවලට දර්ශන තලයට යද්දි අපි හැම දේටම සූදානම්. එක රෑට දර්ශන හතර ගන්න තරම් අපි දක්ෂ වුණා. ටේක් එකෙන් දර්ශනය පටිගත කරගන්න පුළුවන් වුණා. සීයට සියක් ඔන් ලොකේෂන් ශබ්ද ගත්තේ. අපට ලයිට් තිබුණේ නෑ. සූර්යාලෝකයෙන් දවල් පටිගත කිරීම් කළේ. සංස්කරණය කළේ මගේ ගෙදර. චිත්‍රාල් සෝමපාල ජර්මනියේ හිටිය නිසා ස්කයිප්වලින් කතාකරමින් සංගීතය කළේ. සතුන් ටික, තවලම්කරුවන් එක්ක අවුරුද්දක් එක්ක යාළුයි. මම ඒ සතුන් වීගෝනි දෙක දාලා හුන්නස්ගිරිය කන්ද දක්කලා තියෙනවා. ළමයින් දෙන්නාටත් පුරුදු කළා. මම ඉතාම සූක්ෂ්මව මෙය සැලසුම් කළේ ශල්‍යකර්මයක් වගේ.

ඔබ කීවා මෙය ඔබේම කතාව කියා?

මට පොඩි කාලේ හරකෙක් ඉඳලා නැති වුණා. පොඩි කාලේ කොළඹට ඇවිත් වික්ෂිප්ත වෙලා බලාගෙන හිටියා. මම පවුල තුළින් වගේම සමාජයෙන් විවිධ අඩම්තේට්ටම්වලට ලක්වුණා. ඒ සියල්ල මේ චිත්‍රපටයේ තිබෙනවා.

චිත්‍රපටයට පස්සේ ගෙදර ගියාද?

මගේ තාත්තා වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙක්. මෙච්චරකල් නෙදැකපු මැණිකේ එළිය දැන් ඔහු මගෙන් දකිනවා. මාව පැත්තක දාපු යාළුවොත් දැන් මාත් එක්ක ෆිට්. (සිනාසී) මම දැන් පොරක්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.