මේ තමයි හොඳම වෙලාව

E.A.P ප‍්‍රධාන විධායක නිළධාරි ජීවක පල්ලේගම
මැයි 28, 2020

ආරක්ෂක- සෞඛ්‍ය අංශවල අයට නොමිලේ 

බැක්ටීරියාවලට බෙහෙත් ඇතත් වෛරසවලට බෙහෙත් නැති බව අප කුඩා කල සිටම විද්‍යාව පාඩමට උගත්තෙමු. කොවිඞ්-19 ද වෛරසයක් නිසා එය එය විසින්ම තුරන්වන තුරු අපට කළ හැක්කේ අපේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කරගන්නා අතර ආරක්ෂාකාරීව තමන්ගේ කටයුතුවල නිරතවීමයි. වසංගත තත්ත්වය නිමා වූ පසු කළ යුත්තේ කුමක්ද? නිර්මාණශීලීව අලූ‍ත් ජීවන රටාවකට, අනාගතයට මුහුණ දිය යුත්තේ කෙසේද? යනු තනි තනි පුද්ගලයින්ට, පවුල්වලට, සමාජයට මෙන්ම කර්මාන්තවලටද ඇති අභියෝගයයි. ඒ අතරින් වෙනත් කර්මාන්තවලට වඩා වෙනස් ආකාරයක බලපෑමකට නතු වූ සිනමා කර්මාන්තය වසංගත තත්ත්වයෙන් මතු උදාවීමට නියමිත වසන්තයට පිය නඟන ආකාරය දැන් දැන් ලෝකයේ විවිධ රටවලින් කෙමින් මතුවෙමින් පවතී. අපේ රටේ සිනමා කර්මාන්තයේ ප‍්‍රධාන අංගයක් වන බෙදාහැරීමේ මණ්ඩල අතරින් ෑ්ඡු මණ්ඩලය කොරෝනා සමඟ ජීවිත්වන නව රටාවකට අනුව රසිකයන්ට සිනමා ආස්වාදය නැවුම් අත්දැකීම් සහිතව ලබාදීමට සූදානම් වෙමින් සිටියි. ඒ නවමු අත්දැකීම් විඳගත හැකි ආකාරය සරසවිය සමග බෙදා ගත්තේ ඊඒපී මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී ජීවක පල්ලෙගමයි.

අපි මුලින්ම කතා කරමු කොරෝනා සමය නිමාවන විට ඊඒපී මණ්ඩලය යළි සිනමාවට සම්ප‍්‍රාප්ත වන්න සූදානම් වන්නේ කියලා?

මුලින්ම සිනමාව වහපු දවසේ ඉඳන්මත් අපි සූදානමකින් හිටියා කොරෝනාවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් කරගෙන ගියා මේ ශාලාවල විෂබීජහරණය කරලා සෞඛ්‍යසම්පන්න ලෙස පවත්වා ගන්න. ඒ වැඩපිළිවෙළ දැනටත් දිනපතා කෙරෙනවා. ඒ වගේම දෑත් විෂබීජහරණය කරන කටයුතු, උෂ්ණත්ව මැනීමේ කටයුතු, මුහුණු ආවරණ පැලඳීම, ආදිය අපි කරමින් ඉන්නේ අපේ ශාලාවල නඩත්තු කටයුතු කරන සේවක මහත්ම මහත්මීන්ගේ ආරක්ෂාව සඳහා. මොකද අපිට සිනමා ශාලාවක චිත‍්‍රපට නොපෙන්නුවාට ඒ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නොකර වැඩිකල් තියන්න බැහැ. තාක්ෂණික අංශයේ නඩත්තු කටයුතු වගේම ශාලාවල අලූ‍ත්වැඩියාවන් සහ ගුණාත්මකබවින් උසස් කිරීම් සියල්ල කෙරෙමින් පවතින්නේ. මේ වෙද්දි අපේ ශාලා සියල්ල යම් ඉහළ මට්ටමකට ගෙනත් තිබෙනවා මේ වසංගත තත්ත්වයෙන් මිදුණු වහාම අපේ පේ‍්‍රක්ෂකයන්ට වැඩි පහසුකම්, වැඩි වින්දනයක් සහ වැඩි ගුණාත්මකබවකින් යුතුව සිනමාවක් නරඹන්න හැකි ආකාරයට. ඒ වගේම අපේ සේවක මහත්ම මහත්මීන් මේ ක‍්‍රමවේදයට හුරු කිරීමක් වශයෙන් මේ දිනවල පුහුණුවීමක් හා සමානව සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව කටයුතු කරන්න සූදානම් වෙනවා.

ඔබේ සේවක පිරිස වගේම පේ‍්‍රක්ෂක පිරිසගේ ආරක්ෂාවත් තහවුරු කළ යුතුමයි?

හරියට හරි. අපි ඒ සඳහා පුද්ගල සම්බන්ධතාරහිත කියොස්ක් යන්ත‍්‍ර ඔස්සේ කටයුතු කළ හැකි ක‍්‍රමවේදයක් ස්ථාපනය කර තිබෙනවා. ඒ කියන්නේ, ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලය ඔස්සේ වෙන් කළොත් රසිකයෙක්, අපි ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනයට යවනවා ූඍ කෝඞ් එකක්. එතකොට පේ‍්‍රක්ෂකයාට තිබෙන්නේ කිසිම සේවකයකු සමඟ ගනුදෙනුවකින් තොරව ඒ ූඍ කොඞ් එක ශාලාවේ කවුළුව අසල තිබෙන යන්ත‍්‍රයට ස්කෑන් කරලා එයින් එන ටිකට් පත අරගැනීම පමණයි. මේ යන්ත‍්‍රයේ විශේෂත්වය ටෙලර් මෙෂින් එකේ වගේ අංක එබීමටවත් අත තියන්න අවශ්‍ය නොවීම. ජංගම දුරකථනයේ ූඍ කෝඞ් එක යන්ත‍්‍රය ඉදිරියේ දැක්වීම පමණයි අවශ්‍ය. මේ යන්ත‍්‍ර කොළඹ සවිකර හමාරයි. අනෙක් ප‍්‍රදේශවලත් දැන් සවිකරමින් පවතින්නේ. ඒ අනුව අපට අයිති දිවයින පුරා සිනමා හල් 63ක, ඒ කියන්නේ කොළඹ සිට අනුරාධපුරය, ගාල්ල මාතර හම්බන්තොට, රත්නපුර දක්වා සහ මහරගම, ගම්පහ, කුරුණෑගල වගේ ප‍්‍රදේශවල පැතිරුණු සියලූ‍ ශාලාවල කටයුතු කෙරෙන්නේ ඒ ආකාරයෙන්. ඔබ කීවා වගේ මාස දෙකහමාරක් පුරා ශතපහක ආදායමක් නැතුව මේ දේවල් කරන්නේ මේ රටේ ප‍්‍රධානතම සිනමා මණ්ඩලයක් ලෙස අපට ලොකු වගකීමක් තිබෙන නිසා.

අපේ සෑම මූලික ස්ථානයකම පිරිසුදුකාරක තිබෙනවා. උෂ්ණත්වය මැනලා තමයි පේ‍්‍රක්ෂකයන් ඇතුළු කරගන්නේ. ඒ වගේම දර්ශන වාර හතරක් ලෙස මෙතෙක් කල් පැවතුණාට අප ඉදිරියේ මේ තත්ත්වය සම්පූර්ණයෙන් නිවාරණයි කියා කියනතුරු සෑම දර්ශන වාරයකට පසුවම ශාලාව විෂබීජහරණය කරන්න කටයුතු කරන නිසා ඉදිරි කාලයේ දර්ශන වාර ගණනදෙකකට අඩු වෙනවා. මොකද විෂබීජහරණය කළ වහාම අපට පේ‍්‍රක්ෂකයන් එහි ඇතුළු කරන්න බැහැ. යම් කාලයක් විවේකීව තැබිය යුතුයි. ඒ වගේම සේවක පිරිස මුලින් කියූ ආකාරයට පුහුණු කර තිබෙන නිසා ඔවුන් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව ගනුදෙනු කටයුතු කරන්නේ.

තවදුරටත් ආහාර ආදිය ලබා ගැනීමේදී ශාලාවට ඇතුළු වනවිටම ඒවා මිලදීගෙන යා හැකි ක‍්‍රමයක් සකස් කර තිබෙන නිසා විවේකය අතරතුර එළියට ඒමට අවශ්‍ය නැහැ. ඒ වගේම අපි වට්ස්ඇප් නම්බරයක් තිරයේ දක්වනවා ඒ අංකයෙන් ඇනවුම් කළාම අවශ්‍ය දේ ගෙන්වා ගන්න පුළුවන් ක‍්‍රමයක් සකසා තිබෙනවා. අනෙක ආසන වෙන් කරන්නේ පූර්ණ වශයෙන් සමාජ දුරස්ථභාවය රැුකෙන ආකාරයටයි. කවුරුහරි ආසනයක් වෙන් කළාම ඒ ආසනයට දෙපසින් තිබෙන ආසන දෙක බැඟින් වෙන කෙනකුට ගන්න බැරි වෙන ආකාරයට ඒ සමඟම ඉවත් වෙනවා. පේළියක් හැර පේළියක් තමයි ආසන වෙන් කෙරෙන්නේ. දෙදෙනකු සඳහා ආසන වෙන් කෙරුණොත් ඒ දෙදෙනා එකළඟ ඉඳගත්තාම දෙපැත්තේ ආසන දෙක බැගිනුත්, ඉදිරියෙන් සහ පිටුපසින් ආසන පේළිය බැගිනුත් හිස් වනවා. එය මීටරයේ දුරස්ථභාවයට එකඟයි. පවුලේ කට්ටිය ආවොත් ඒ අයටත් ළඟ ඉන්න පුළුවන්. අදාළ පේ‍්‍රක්ෂකයන් සංඛ්‍යාවට විතරයි ප‍්‍රවේශපත‍්‍ර මිල අය කරන්නේ. ඔවුන්ගේ හතර පැත්තෙන් පෙර කියූ විදිහටම ආසන හිස්ව තබනවා. මේ විදිහට අපට ඇතුළු කළ හැකි සංඛ්‍යාව සියයට 28ට විතර අඩු වෙනවා තමයි. ඒත් පේ‍්‍රක්ෂකයන්ගේ ආරක්ෂාව සියල්ලට වඩා වැදගත් මේ මොහොතේ. මොකද අපි මුදල් මත හිතලා රසිකයන්ගෙන් ශාලාව පුරවලා හදිසියේ මේ රෝගය ආපසු පැතිරෙන්න ගත්තොත් රටක් හැටියට කැපවෙලා කරපු මේ සියල්ල වතුරේ. ඒ නිසා අප සිතන්න ඕනේ දිගුකාලීන වශයෙන්. අපට ඕනේ තිරසර සිනමාවක්.

එතකොට යම් රසිකයකුට අන්තර්ජාලයෙන් ප‍්‍රවේශපත‍්‍ර වෙන් කරගන්න බැරි වුණොත්?

ඔවුන්ට සාමාන්‍ය විදිහට කවුළුවෙන් ටිකට්පත් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපේ සේවක පිරිස සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් ඔවුන්ට සේවය කාර්යක්ෂමව ලබාදීමට සැදී පැහැදී ඉන්නවා.

මේ වසංගත තත්ත්වය හමුවේ චිත‍්‍රපට ශාලාවලට මාස කිපයකින් කිසිදු ආදායමක් නොලැබෙන වටපිටාවක ඔබ මෙවැනි නවීකරණයන්ට යොමුවුණේ?

ඇත්ත කතා කළොත් අපේ ෑ්ඡු තමයි ලංකාවේ නොම්බර එකේ මණ්ඩලය. මේ ගැන කියන එක හොඳද මන්දා ඒත් අවංකවම චිත‍්‍රපට සංස්ථාවෙන් නම් අපි කිසිම කෙනෙකුට සහනයක් නැහැ. අපේම තිබෙන ශක්තියෙන් තමයි අපි මේ දේවල් කරගෙන යන්නේ. අපේ ශාලා ටික අපි නඩත්තු කරන්න ඕනේ කියන වගකීම අපි බරපතළ විදිහට හිතන නිසා ඒ දේවල් කරගෙන යනවා. අපි කාගෙන්වත් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවකුත් නැහැ. ඒ මොනවා වුණත් අපේ අරමුණ හැමවිටම අපේ සේවකයන්, 

පේ‍්‍රක්ෂකයන් සහ නිෂ්පාදකයන් රැුකගත යුතුයි කියන දෙයයි. මොකද ඒ තුන්ගොල්ලන් නැතුව අපට ව්‍යාපාරයක් කරගෙන යන්න බැහැ. අද වෙද්දි පවතින මණ්ඩල පහෙන් අපේ ඊඒපී මණ්ඩලය සහ සංස්ථාවට අයත් රිද්මා මණ්ඩලය තමයි යම් දෙයක් හෝ ශාලාවලට කරගෙන යන්නේ. අනෙක් මණ්ඩල ගැන මම කතා කරන එක සුදුසු නැහැ. කොහොම වුණත් ශාලා ටික රැුකගැනීම අපේ වගකීමක්.

සමහර කර්මාන්තවල සේවකයන්ට රැුකියා අහිමි වුණා, වැටුප් ලැබුණේ අර්ධවශයෙන්?

අපි අදවනතුරු කිසිම සේවකයකුගේ පඩිනඩි කිසිවක් අඩුකරලා, කපාහැරලා නැහැ. පුළුවන් තරම් ඔවුන්ට තවත් පහසුකම් සලසලා, වාහන ගෙවල්වලටම යවලා තමයි අපි ඔවුන් සේවයට ගෙන්වා ගන්නේ. දුර බැහැර සේවකයන්ට නවාතැන් කෑම් බීම් පහසුකම් සපයලා තමයි අපි මේ කටයුතුවලට ගෙන්වාගෙන තිබෙන්නේ. ඇත්තෙන්ම මේ වගේ හදිසි දේකට කිසිම කෙනකුට පෙර සූදානමක් වෙන්න බැහැ. ඒත් අපට පුළුවන් තරමින් අපේ 150ක් වන සේවක පිරිසගේ බඩවියත රැුකෙන විදිහට තමයි අපි වැඩ කරන්නේ. මොකද මේ වෙලාව කිසිකෙනකුව පාරට දාන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ලෝකෙටම බලපෑ ප‍්‍රශ්නයක් තිබෙන වෙලාවේ අපේ යුතුකම අපේ පිරිස රැුකගැනීමයි.

ඔබ වැනි සිනමා මණ්ඩල පවතින අතරේ කලම්බු සිටි සෙන්ටර්, වන්ගෝලෆෙස් වැනි තැන්වල සිනමා සංකීර්ණ බිහිවෙමින් පවතිනවා. මෙය මණ්ඩලවලට කොයි විදිහටද බලපාන්නේ?

ඒවා බොහෝ වෙලාවට ඉලක්ක කරන්නේ විදේශීය චිත‍්‍රපට නිසා අපට ලොකු බලපෑමක් නැහැ කියලයි මම නම් විශ්වාස කරන්නේ. ඇත්තටම බැලූ‍වොත් අලූ‍තෙන් විවෘත කරන සංකීර්ණවලට ටික කාලයක් පේ‍්‍රක්ෂකයන් ඇදුණට අපේ ශාලාවලට එන පිරිසේ අඩුවක් වෙලා නැහැ. ඔවුන් නිරන්තර අලූ‍ත් අත්දැකීමක් ලැබුණාම එය අත්විඳගන්න යනවා විතරයි. අපේ ජාලය වැඩි නිසාත් අපේ ඉලක්කය සිංහල සිනමාව නිසාත් ලොකු බලපෑමක් අපට දැනෙන්නේ නැහැ. අලූ‍ත් සංකීර්ණ හැදෙද්දිම බොහෝ දෙනා බය වෙලා විවිධ පියවරවලට ගියා. අපටත් ඒවාට එකතු වෙන්න කීවා. ඒත් අපි නොගියේ හේතුවක් මත. ඇත්තෙන්ම මේ සමහර සිනමා සංකීර්ණවල තාක්ෂණය අපට වඩා බොහොම ඉහළයි. එතකොට අපි කළ යුත්තේ ඔවුන්ට බයවෙලා එලවා ගන්න එක නෙවෙයි. ඒ තාක්ෂණය කොයිවගේද කියලා දැනහඳුනාගෙන අපිටත් පුළුවන් නම් ඒ දක්වා වැඩිදියුණු කරගැනීම. අපි ළිඳේ ඉන්න ගෙම්බො වගේ පේ‍්‍රක්ෂකයන්ට බොරු කරන්න හොඳ නැහැ. අපි පේ‍්‍රක්ෂකයාට හොඳම දේ දෙන්න නම් ඒ තරගකාරීත්වයට මුහුණ දිය යුතුයි. ලංකාවේ සමහර ශාලාවල පින්තූර පැහැදිලිව පේන්නෙත් නැහැ. ශබ්ද කුරුකුරු ගානවා. ඒ විකෘතීන් එක්ක චිත‍්‍රපටයක් පෙන්නුවාම ඒක සිනමාවටත් අපහාසයක්. ඒ නිසා අපි හිතන්නේ අප නොදන්න තාක්ෂණයක් තිබෙනවා නම් ඒවාට එන්න ඉඩ දීලා අපි ඒවා අපේ ශාලාවලටත් යොදාගැනීමයි උත්තරේ. ලෝකය සමඟ දියුණු වෙනවා නම් අපි දැනගන්න ඕනේ පේ‍්‍රක්ෂකයාට උපරිම පහසුකම් දීලා අපේ තැනට ගෙන්වා ගන්න.

EAP මණ්ඩලයේ ශාලා ඒ ආකාරයෙන් වැඩිදියුණු වෙලා තිබෙන්නේ කොයි විදිහටද?

ඔබ දන්නවා අපේ තමයි ලංකාවේ ලොකුම තිරය තිබෙන්නේ. සැවෝයි ශාලාවේ. ඒ වගේම ඩොල්බි ඇට්මොස් කියන ඉහළම ගණයේ ශබ්ද තාක්ෂණයේ නියම විශේෂාංග සහිත භාවිතය තිබෙන්නේත් අපේ සැවෝයි එකේ. ප‍්‍රදර්ශන කෝණ, පේ‍්‍රක්ෂක කෝණ ආදිය නියම ප‍්‍රමිතියට තිබෙන්නේ අපේ ශාලාවලයි. සැවෝයි, සැවෝයි ප‍්‍රිමියර් රාජගිරිය, සැවෝයි ප‍්‍රිමියර් වැල්ලවත්ත ඒවා සියල්ලම ඉහළම තාක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා පේ‍්‍රක්ෂකයන්ට නියම රසවින්දනය ලබාදෙන්න ඒවා සකස්කරලා තිබෙන්නේ. අපේ සර්කිට් එකේ ශාලා බොහෝමයක් තාක්ෂණය පැත්තෙන් ඉදිරියෙන් තිබෙනවා. සෑහෙන සංඛ්‍යාවක් 3ෘ කරලා තිබෙනවා. සියල්ලක්ම පාහේ වායු සමීකරණය කරලා තිබෙන්නේ. නැති ඒවායේ දැන් ඒ පහසුකම් තනාගෙන යනවා. ලංකාවේ ඕනෑම චිත‍්‍රපටයකට වැඩිම පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් එන්නේ අපේ කුරුණෑගල ශාලාවට. ඒ වගේ තිබුණට අපි අද දකින තාක්ෂණය නෙවෙයි හෙට. ලෝකයේ සිනමා තාක්ෂණය වේගයෙන් වැඩි දියුණු වෙනවා. ඒ නිසා මේ දේවල්වල නිමාවක් දකින්න නම් බැහැ. හැබැයි අපේ රටේ පවතින තාක්ෂණය අනුව ඉහළම තත්ත්වයෙන් පේ‍්‍රක්ෂකයාට රසවින්දනය ලබා දෙන්න අපි ඇප කැප වෙලා ඉන්නවා. අපි අඛණ්ඩව උසස් තාක්ෂණයට ගමන් කරනවා.

ලෝකයේ ඇතැම් රටවල් සිනමාව යළි විවෘත කරමින් පවතිනවා?

ඔව්. දකුණු කොරියාව, ඇමෙරිකාව, මැලේෂියාවල සමහර ඒවා විවෘත කරනවා. ඉතින් අපි ඒ අනුවත් බලලා ලංකාවට අලූ‍ත් සංකල්පයක් හැටියට ෘරසඩැ සබ ක්‍සබැප් ක‍්‍රමය අපේ රාජගිරියේ ඉම්පාලා පරිශ‍්‍රයේ විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. පේ‍්‍රක්ෂකයන්ට පුළුවන් තමන්ගේ වාහනේ අවිත් අදාළ ස්ථානයේ පාක් කරලා වාහනේ ඉඳගෙනම චිත‍්‍රපටය බලන්න. අඩි 50 පළල, 30ක් උස තිරයක් තමයි ප‍්‍රදර්ශනය කරන්නේ. වාහනේ හතරදෙනකුට උපරිම එන්න පුළුවන්. වාහනයකට ස්ථාවර අයකිරීමක් කරන්නේ. මෙය ඇමෙරිකාවේ කෙරෙනවා. ඉතාම මෑතකදී මේ රටේ සිනමාව ආරම්භ වෙද්දීම අපට මෙය ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ ශාලා වුණත් හෙට විවෘත කරන්න කීවොත් පුළුවන් මට්ටමක අපි ඉන්නේ. ඒත් අපට ඒ සඳහා කිසිම දැනුම් දීමක් චිත‍්‍රපට සංස්ථාවෙන් හෝ රජයෙන් කියා නැති නිසා තමයි අපි බලාගෙන ඉන්නේ එවැනි පණිවුඩයක් එනකම්.

ගිය වසරේ පාස්කු ප‍්‍රහාරය, මේ වසරේ කොරෝනා මේ සියල්ල ආවේ අපේ‍්‍රල් නිවාඩුව අල්ලාගෙන, මේ නිසා ඉදිරියේදී නිෂ්පාදකයන් සිනමාවට අත තබන්න මැළිවෙයිද?

මම අවංකවම කියන්නම්, අපේ නිෂ්පාදකයන් බොහෝ දෙනෙක් කියන්නේ මේ තමයි හොඳම වෙලාව අලූ‍ත් විදිහට හිතන්න, අලූ‍ත් දෙයක් කරන්න කියලා. මොකද අපට ජීවිතේ මේ වගේ නිදහස් කාලයක් නැහැනේ යමක් ගැන හිතන්න වෙනදාට. බොහෝ ලාංකික අය කියන්නේ මේ සඳහා එන්නතක් හෝ ක‍්‍රමවේදයක් ඇවිත් ප‍්‍රශ්නය සමනය වුණාම පවුලේ අයත් එක්ක එළියට යන්න පුළුවන් තත්ත්වයක් උදා වුණාම කොරෝනා සමඟ ජීවත් වන්න පුරුදුවෙයි කියලායි. ඒ නිසා ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය මහත්මිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජැක්සන් ඇන්තනි මහත්මයා වගේ අය පවා කියන්නේ අපි මේ තත්ත්වයෙන් එළියට යන්නේ කොහොමද අපේ ආත්ම විශ්වාසය ගොඩනඟාගෙන නිර්මාණකරණයේ තව තවත් යෙදෙන්නේ කොහොමද කියලායි හිතන්නේ කියන අදහසයි. ඒ නිසා පශාචාත් කොරෝනා කාලය ඉතා හොඳ වෙයි කියලයි මට හිතෙන්නේ. අපි නිකමට හිතලා බැලූ‍වොත් අපේ සිනමා පෝළිම එකගෙයි සොකරි, කන්දක් සේමා, දඩඉම, කොළඹ කතාව, ගිරවැසිපුර, ගාඩි, කතුරු මිතුරු, මිදුණු විශ්වය, ගජමෑන් වගේ චිත‍්‍රපට රැුසක් තිබෙනවා. ගජමෑන් වගේ ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටවලට එහෙම විශාල ඉල්ලූ‍මක් තිබෙනවා. මමත් සංස්කරණය වෙලාවේ තුන්පාරක් විතර ආසාවෙන් බැලූ‍වා. ඉතින් මෙහෙම තත්ත්වයක් යටතේ සිනමාව ඉවරයි, කඩාවැටෙයි වගේ දෙයක් සිදුවන්න කිසිම හේතුවක් නැහැ.

අනෙක මැයි මාසේ මැද ඇඳිරිනීතිය ඉවත් කළ ප‍්‍රදේශවල වුණත් සමාජ දුරස්ථභාවය තියාගෙන සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමන කරමින් සුපර්මාකට්වලට මිනිස්සු ගියා, වැඩරාජකාරීවල යෙදුණා, ඒ වගේ පිළිවෙළට වැඩ කරන්න පුරුදු වෙනවා නම් චිත‍්‍රපටත් නැඟිලා එයි. ඒ නිසා නිෂ්පාදකයන් වුණත් කිසිම බයක් නැහැ ආයෝජනය කරන්න. මොකද මේකේ දෙපැත්තක් තිබෙනවා. ජනතාව සියලූ‍ විනෝදකාමී දේවල්වලින් තොරව මාස දෙකකට වැඩි කාලයක් හිටියා, ආණ්ඩුව අපිව පුදුමාකාර විදිහට ආරක්ෂා කළා. එයට රජයට හොඳ දැක්මකුත් තිබුණා. ඒ නිසා අපට පෙනෙනවා සම්පූර්ණ ඇඳිරිනීති තත්ත්වය ඉවත්වෙලා සිනමාව යළි විවෘත වන මට්ටමට ආවාම ජනතාව බලාගෙන ඉන්නේ විනෝද වන්න කියලා. අපේ ජිවිතේටත් මේක හොඳ පාඩමක් වුණානේ. අපේ දරුපවුල් එක්ක නිදහසේ ඉන්න, ජීවිතේ ගැන හිතන්න අවස්ථාව ලැබුණා. අපට වැදගත් මොනවාද කියලා තේරුම්ගන්නත් අවස්ථාවක් වුණා. ඒ නිසා ඉදිරියේ අපි හිතනවාට වඩා වෙනස් විදිහකට සිනමාවටත් මඟක් පෑදෙයි කියන ධනාත්මක සිතුවිල්ලේ තමයි අපි බොහෝ දෙනා පසුවන්නේ.

ඒ කියන්නේ ඉදිරියේ වැඩි වැඩියෙන් චිත‍්‍රපට නිෂ්පාදනයත් කෙරෙයි, එහෙමද?

අපි හිතාගෙන ඉන්නවා නිෂ්පාදකවරුන් සමඟ එකතුවෙලා නිෂ්පාදන කරන්න. ගිය සතියේ ඉඳන් නිෂ්පාදන කටයුතුවලට නිදහස දුන්නට පස්සේ අපි ඒ කටයුතුවලත් නිරත වෙනවා. අපි එක්කෝ නිෂ්පාදන වියදම තනිවම දරාගෙන හෝ සාමූහිකව දරාගෙන නිර්මාණ කාර්යයන්ට උදව් දෙනවා. ඒ වගේම අපි මූලික දේවල්වලට ආපසු යා යුතුයි. හොඳ රූප පෙළක් හොඳ ශබ්ද තාක්ෂණයක් නැති මිලිමීටර 35 ප්‍රොජෙක්ටර්වලින් දුවන ශාලාවලට අපි කියනවා, ‘හරි, අපි 2ණ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් දෙන්නම් ගෙවීමේ ක‍්‍රමයට ගන්න.‘ එහෙම නැත්නම් සිනමා ශාලාව කරගෙන යන්න බැරිව සුපර්මාර්කට්වලට දෙන්න හදන අයට අපි කීවා කල්බදු ක‍්‍රමයට අපේ මණ්ඩලයට ශාලාව දෙන්න කියලා. එහෙම වුණාම ඒ ශාලා හිමියාටත් යැපෙන්න මුදලක් ලැබෙනවා සිනමාවටත් ශාලාවක් අහිමි වීම නතර වෙනවා. උදාහරණයකට මහරගම නැෂනල් ශාලාව දැන් ත‍්‍රිමාණ චිත‍්‍රපට පවා නැරඹිය හැකි පහසුකම් සහිත ශාලාවක් බවට අපේ මණ්ඩලය පරිවර්තනය කළා. මේ සියල්ලෙන් සිදුවන්නේ සිනමාවට වැඩියෙන් පේ‍්‍රක්ෂකයන් ආකර්ෂණය කරගැනීමට හැකි තත්ත්වයක් ඇති කිරීම. එවිට චිත‍්‍රපටත් වැඩියෙන් නිෂ්පාදනය වේවි.

EAP මණ්ඩලය මෙරට ප‍්‍රමුඛ ආයතනයක් ලෙස සිනමා කර්මාන්තයේ දියුණුව සඳහා ක‍්‍රියාත්මක වීමට සහ යෝජනා කිරීමට බලාපොරොත්තු වන්නේ මොනවගේ දේවල්ද?

අපේ වැඩපිළිවෙළක් තිබෙනවා පොළී රහිත ණය දෙනවා නිෂ්පාදකයන්ට. ඒ වගේම ශාලා හිමියන්ට ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර ආදිය දෙනවා පොළී රහිත ක‍්‍රමයට. ඒ වැඩපිළිවෙළ ඉදිරියට තව ශක්තිමත් කරලා ගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ. මීට අමතරව තව මොනවාද කළ හැක්කේ කියලා අපි මේ වෙද්දි සාකච්ඡුා කරමින් පවතිනවා. ඇත්තෙන්ම ශාලාහිමියන් සහ නිෂ්පාදකයන් රැුකුණොත් තමයි සිනමාවක් පවතින්නේ. ඒ නිසා ඔවුන් ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ. එතැනදි කිව යුතුම දෙයක් තමයි අපි හැමදේම බර රජයට පැවරීම යුතු නැහැ කියන එක. මේ මොහොතේ රජයේ අවධානය යොමු විය යුතු තව බොහෝ පැති තිබෙනවා. විනෝදාස්වාදය කියන්නේ අපට ජීවත්වෙන්න අත්‍යවශ්‍යම දෙයක් නොවේ කියලා හිතන නිසා රජයට බරක් නොදා තම තමන්ට පුළු පුළුවන් විදිහට අපේ ප‍්‍රශ්න විසඳගන්න බලන එක තමයි මේ වෙලාවේ කළ හැකි හොඳම දේ. අපේ මව් ආයතනය බෙන් හෝල්ඩිංස්, අපේ ප‍්‍රධාන කොටස්කරු එක්සත් රාජධානියේ ලයිකා ආයතනය. ඒ අයගේ ශක්තීන් සමඟ තමයි අපි අපේ ප‍්‍රශ්න විසඳගෙන යුක්තිගරුක ආයතනයක් ලෙස ඉදිරියට යන්නේ. ඇත්ත කතා කළොත් රුපියල් පන්දහස දෙනවා කීවාම මුලින්ම ගිහින් හිටගන්නේ සල්ලි හොඳටම තියෙන අය. ඒ වගේ අය අපේ කර්මාන්තයෙත් ඉන්නවා. ඒ අයව වෙනස් කරන්න අපට බැරි නිසා අපි රජයට හෝ වෙන අයට දොස් නඟමින් ඉන්නේ නැතිව අප මෙතෙක් කල් සිනමාවෙන් ඉපැයූ දේවලින් සිනමාවට ප‍්‍රයෝජනයක් වන ලෙස ආයෝජනයන් කරමින් අපට පුළුවන් දේ උපරිමයෙන් කරගෙන වගකීමෙන් යුතුව කටයුතු කරමින් ඉදිරියේදී තිරසර සිනමාවක් වෙනුවෙන් කටයුතු කිරීම තමයි අපේ අරමුණ.

යම් විදිහකින් ඔබ ආයෝජනය කරන සිනමාවක් පාඩු වුණොත්?

අපේ නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු කියන්නේ අද ඉඳලා හෙට අතුරුදන් වන පිරිසක් නෙවෙයිනේ... ඒ අය දිගටම ක්ෂේත‍්‍රයේ ඉන්නවා. නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ නිසා එකකින් යම් පාඩුවක් වුණොත් ඊළඟ නිර්මාණයෙන් හෝ නිර්මාණවලින් අපට ඒක පියවගන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ වගේ සහයෝගීතාවකින් තමයි අපි කටයුතු කරන්නේ. ඇත්තෙන්ම සමහර විට අපේ නිර්මාණකරුවන්ට ලැබෙන්නේ ඉතා සුළු ණය මුදල්. වෙනත් රටවල පිරිවැය සමඟ බලද්දි එය පූර්ව නිෂ්පාදන කටයුතු කරන්නවත් ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අපි දැවැන්ත නිර්මාණවලට යොමුවන නිර්මාණකරුවන්ට ගැළපෙන විදිහේ ණය පහසුකම් පොළී රහිතව ලබා දෙමින් හොඳ නිර්මාණ මේ රටේ නිෂ්පාදනය කරන්න දායක වන්නේ. ඒ සඳහා අපේ කමිටුවකින් තිර රචනය කියවලා අනුමත වන පවුලේ චිත‍්‍රපට ගණයට අයත් නිර්මාණවලට සහයෝගය දෙනවා. අධ්‍යක්ෂවරයා අලූ‍ත් කෙනකුද අත්දැකීම් බහුල කෙනකුද කියන එක අපි ලොකුවට සලකන්නේ නැහැ.

අවසාන වශයෙන් ඔබේ ඉලක්කය කුමක්ද?

මුලින්ම කියන්න ඕනේ අපේ රටේ සිනමාව යළි විවෘත වුණ පසුව අපට මේ කෝවිඞ්-19 උවදුරෙන් බේරීමට තමන්ගේ ජීවිත පරදුවට තියමින් සේවය කළ ආරක්ෂක අංශයේ, සෞඛ්‍ය අංශයේ වැනි ක්ෂේත‍්‍රවල අයට ගෞරවයක් ලෙස නොමිලේ චිත‍්‍රපට නැරඹීමේ අවස්ථාව ෑ්ඡු සිනමා ශාලාවලින් සපයනවා. ඒ වගේම අපේ අරමුණ අපේ සේවකයන් සහ පේ‍්‍රක්ෂකයන්ගේ ආරක්ෂාව. සිනමා ශාලා විවෘත වූ පසු ආරක්ෂා සහිතව අපේ ශාලාවල චිත‍්‍රපට නරඹන්න පුළුවන් කියන දේ තහවුරු කරනවා. අපේ රටේ දිගු කාලීනව හොඳ සිනමාවක් පැවතීම ඒ කියන්නේ තිරසර සිනමාව තමයි අපේ ඉලක්කය.