මිස් ජෙනිස් කියන්නේ මනෝ අයියාගේ කැපවීම

සුසිරන් ද සිල්වා
සැප්තැම්බර් 24, 2020

 මනෝකාය, ඉසුරුයෝගය, එකට ගැටුම, නැට්ටුක්කාරයෝ වැනි ටෙලි නාට්‍යවල රස දන්නා ඔබට ඒවායේ අධ්‍යක්ෂ සුසිරන් ද සිල්වා නම හොඳීන් මතක ඇති. ඔහුගේ පළමු වැනි සිනමා සම්ප්‍රාප්තිය 'මිස් ජෙනිස්' හෙට (25) සිට රිත්මා මණ්ඩලයේ සිනමාහල්වලින් ඔබේ රසවින්දනය වෙනුවෙන් දිස්වන්නේ අප සිත්සතන්වලින් කිසිදා ගිලිහී නොයන ප්‍රවීණ රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අවසාන චිත්‍රපටය ලෙස මෙන්ම කාන්තා චරිතයකින් පෙනී සිටින එකම චිත්‍රපටය ලෙසයි. සිංහලයේ උපහාස කතා චක්‍රවර්තී ලෙස නම් දැරූ ටී.ජී.ඩබ්ලිව් ද සිල්වාගේ පුතු වූ ඔහුට හාස්‍යෝත්පාදනය යනු උපතින් උරුම වූවක් යැයි විටෙක සිතේ. සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට දැක්මේදී ද බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් 'මිස් ජෙනිස්' සහ සුසිරන් ද සිල්වාගේ සිනමා ආගමනය පිළිබඳ සරසවිය සමඟ යෙදුණු කෙටි පිළිසඳරකි මේ...

 

වසර ගණනාවක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඉඳලා සුසිරන් අය්යා සිනමාව පැත්තට එකපාරටම හැරුණේ?

ඇත්ත මම ටෙලි නාට්‍ය ගොඩක් කළා තමයි. ඒත් ටෙලි නාට්‍ය පිරිහෙන කලාවක් බව මට සෑහෙන කාලෙක ඉඳන් වැටහෙමින් තිබුණා. අවුරුදු 22ක් විතර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළානේ... 1998 තමයි මම මනෝකාය- මගේ ප්‍රථම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. ඒත් දැන් දැන් වෙද්දි බොහෝ ප්‍රේක්ෂකයන් ටෙලි නාට්‍යවලින් ඈත් වන බව මට දැනුණා. ඒ වගේම මට බොහෝ අය කීවා 'සුසිරන් දැන් ඔයා සිනමාවට ආවා නම් හොඳයි' කියලා. ඒ නිසා තමයි සිනමාව පැත්තට නැඹුරු වුණේ.

එකපාරටම සිනමා කෘතියක් කරන්න පුළුවන්ද?

බෑ. මම සිනමාවට එන්න කලින් යම් අධ්‍යයනයක් කළා. එතැනදි මට වැටහුණු දේ තමයි අපේ සිනමාවේත් යම් අර්බුදයක් තිබෙනවාය කියන එක. මට හිතෙන විදිහට ඒ අර්බුදය විශාල වශයෙන්ම තිබෙන්නේ වාණිජ සිනමාවේ. කලාත්මක සිනමාවට තරුණයන් වැඩි වැඩියෙන් එකතු වෙනවා, ඔවුන් අන්තර්ජාතික වශයෙන් සම්මාන ලබනවා, ඒක ලොකු ජයග්‍රහණයක්, රටක් හැටියට අපි එය අගය කළ යුතුයි.

ඒත් ඊට සාපේක්ෂව නවක අධ්‍යක්ෂවරුන් වාණිජ සිනමාවට පිවිසෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ අයට රජයෙන් ද නැත්නම් වෙන කාගෙන්ද රුකුලක් ලැබිය යුත්තේ කියලා. ඒ නිසා මගේ ප්‍රධාන අරමුණ වුණේ මේ රටේ වාණිජ සිනමාවට දායකත්වය ලබා දීම. ඒ වෙනුවෙන් තමයි මම හොඳ වාණිජ චිත්‍රපටයක් තැනීමට සිතුවේ. ඒ වගේම මට විශ්වාසයක් ඇති වුණා මේ 'මිස් ජෙනිස්' වස්තුබීජය වාණිජමය වශයෙන් සාර්ථක වෙයි කියලා. 

මිස් ජෙනිස්‌ගේ චරිතයට ජයලත් මනෝරත්න මහත්මයාම තෝරාගන්න හේතුව?

මෙහි සහාය අධ්‍යක්ෂවරයා සිනමා අධ්‍යක්ෂවරයකු වගේම සහාය අධ්‍යක්ෂණයේ හසළ දැනුමක් ඇති ඩොනල්ඩ් ජයන්ත. ඔහු තමයි මට යෝජනා කළේ මනෝ අය්යාව මේ චරිතයට ගමු කියලා. මම ඔහුට ස්තූතිවන්ත වෙනවා ඒ උපදෙස මට ලබා දුන්නාට. පසුව මමයි මගේ කැමරා ශිල්පී අයේෂ්මන්ත හෙට්ටිආරච්චියි මනෝ අය්යාව හමුවෙන්න ගියා. ඔහු බොහොම සතුටින් මේ තිරපිටපත පිළිගත්තා.

එතකොටත් ඔහු අසනීප තත්ත්වයෙන්ද හිටියේ?

අපෝ නැහැ. ඒ වෙද්දි ඔහු එකදිගට චිත්‍රපට දෙකක රංගනයෙන් දායක වෙලා තිබුණේ. ඔහු මට පිටපතේ යම් යම් වෙනස් කිරීම් ගැනත් යෝජනා කළා. මම ඒවා බොහොම සතුටින් බාරගත්තා. ඔහු සිනමාවේ ප්‍රවීණයෙක් නිසා. අපට ලොකුම අර්බුදය වුණේ මනෝ අය්යාගේ රැවුල කැපීම. ඔහුගේ රැවුල සහිතව බාරගත් චිත්‍රපට දෙකක් තිබුණා. ඒ නිසා ඒ චිත්‍රපට දෙක අවසන් වනතුරු ඉඳලයි අපට රූගත කිරීම් සඳහා දින තීරණය කරගන්න සිදු වුණේ. 

මනෝරත්න මහත්මයාට ඔහු කාන්තාවක් ලෙස තිරයේ දකින්න අවස්ථාවක් ලැබුණාද?

මම ඇත්තෙන්ම සතුටු වෙනවා මේ චිත්‍රපටය අවසන් කරලා ප්‍රදර්ශක මණ්ඩලවලට පෙන්වන අවස්ථාවේදී මනෝරත්න මහත්මයා බිරිඳත් සමඟ එය නැරඹීමට පැමිණීම ගැන. ඒ වෙද්දි ඔහු සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කළා. ඒත් ඔහුට කෙසේ හෝ ඔහුගේ කැපවීම දකින්න ලැබීම තමයි මම මේ චිත්‍රපටයෙන් ලැබූ ලොකුම ජයග්‍රහණය කියලා මට හිතෙන්නේ. මනෝ අය්යා මගේ අත්දෙකින් අල්ලගෙන සුබපතලා ගිහින් පහුවෙනිදා දුරකථන ඇමතුමක් දීලා කීවා 'සුසිරන් මම පුතාටත් මේ චිත්‍රපටය ගැන කීවා. පුතා කීවා ඔස්ට්‍රේලියාවේ පෙන්වන්න සූදානම් කරමු කියලා. මොකද කියන්නේ' කියලා. ඒත් මම කීවා මනෝ අය්යේ ලංකාවේ ප්‍රදර්ශනය වනතුරු මෙය වෙන රටවල ප්‍රදර්ශනය කරන්න විදිහක් නැහැ. ඉන් පස්සේ අපි වෙන රටවල ප්‍රදර්ශනයට ගෙනි යමු කියලා. 

ඔබ හොඳ වාණිජ සිනමාව ගැන විශ්වාස කරන කෙනෙක් ලෙස ප්‍රහසන ගතියට වඩාත් ළං වූ මෙවැනි වස්තුබීජයක් මුලින්ම තෝරාගත්තේ?

වාණිජ චිත්‍රපට කීවාම බාල ගණයේ සහ හොඳ ගණයේ ඒවාත් තිබෙනවා. මම අදහස් කරන්නේ ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙන ගෙනෙන සමහර රැලි ගැන. වර්තමාන ප්‍රේක්ෂකයා සිනමාශාලාවට ගෙන ඒම ඉතාම අසීරු කාර්යයක්. හේතුව ඔවුන් අද බොහෝසෙයින් ලෝක සිනමාව හා සමීපයි. විශේෂයෙන් ඉන්දීය සිනමාව සහ හොලිවුඩ් සිනමාව. එවැනි යාවත්කාලීන පිරිසක් චිත්‍රපටයක් නරඹන්න එන්නේ ලොකු සැසඳීමකින් පස්සේ. මේ බාධකය ජයගන්න මොනවගේ කතා සංකල්පයක්, වස්තු බීජයක් ගෙන ආ යුතුද යන්න කල්පනා කරලා තමයි මම මෙය තෝරාගත්තේ. 

අද ප්‍රේක්ෂකයා රැලිවලින් වසඟ කරගන්න පුළුවන් කියා ඔබ හිතනවාද?

අන්තර්ජාලය නිසා අද ඒ රැලිවලට පැවැත්මක් නැතිවෙලා. කාම රැල්ල හෝ වෙනත් දේවල් බලාගන්න ඕනෙ නම් සිනමාශාලාවකට එනවාට වඩා ප්‍රේක්ෂකයන්ට ඕනෑතරම් දේවල් ජංගමදුරකථනයෙන් පවා බලාගන්න පුළුවන්. ඔය රැලි ආව කාලේ එවැනි අවස්ථාවක් ප්‍රේක්ෂකයාට තිබුණේ නැහැ. දැන් අපට තිබෙන ප්‍රශ්නය තමයි ඔය නව තාක්ෂණය සහ හොලිවුඩ්-බොලිවුඩ් සිනමාව අතර අපේ සිනමාවේ පැවැත්ම රැකගන්නේ කොහොමද කියන අභියෝගයයි.

මෙහි කතා රචකයාත් ඔබමයි?

ඇත්තෙන්ම අද ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලත් ප්‍රධාන ප්‍රශ්නය හොඳ තිරරචකයන් නැතිකම. සිනමාවෙත් ඒ ඇබෑර්තුව තිබෙනවා. එය හැදෑරීමෙන් පමණක් කරන්න බැහැ. යම් ප්‍රතිභාවකින් කළ යුත්තක්. අපි ඉන්දියාව උදාහරණයකට ගත්තොත් හින්දි මීඩියම් වගේ චිත්‍රපටයක කතා කරන අධ්‍යාපන ප්‍රශ්නය අපේ රටෙත් තිබෙනවා. ඒත් මට තේරෙන්නේ නැහැ අපේ සිනමාකරුවන්ට එවැනි දේ අහුවෙන්නෙ නැද්ද නැත්නම් වෙන මොකක්හරි හේතුවක්ද කියලා එවැනි සමාජ ප්‍රශ්න තෝරා නොගන්නේ. හැබැයි මම ඉදිරියේදී එවැනි සමාජ ප්‍රශ්න ඇසුරින් ගොඩනැඟුණු වස්තුබීජ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙනවා. බොහෝ වෙලාවට අධ්‍යක්ෂවරයාම තිරරචනය කරගන්නවා නම් නළු නිළියන් පවා තමන්ගේ සිතේ මැවෙන නිසා මෙවැනි චිත්‍රපටවලදි පහසුවක් දැනෙනවා කියලා මට හිතෙනවා. මම බොහෝ වෙලාවට පිටපතත් ලියන්නේ ඒ නිසයි.

සිනමාවේ නවකයකු ලෙස ඔබට ඇති වුණු ලොකුම අභියෝගය කුමක්ද?

ඇත්තෙන්ම සිනමාවට ආධුනිකයකු ආ විට තිබෙන විශාලම ගැටලුව චිත්‍රපටය තැනීම නෙවෙයි. ප්‍රදර්ශනයයි. මගේ චිත්‍රපටයට වුණත් මේ අවස්ථාව ලැබුණේ චිත්‍රපට සංස්ථාව මඟින් කෘති එකසිය ගණනකින් 18ක් පමණක් තෝරාගන්නා ලද වර්ගීකරණයක් සිදුකිරීම. එයින් චිත්‍රපට ලෙස නිර්දේශ වුණු පළමු නිර්මාණ දහය තුළට මගේ චිත්‍රපටය ඇතුළත් වුණා. එහෙම නොවුණා නම් මටත් සෑහෙන දුෂ්කර වෙනවා‌ මේ අවස්ථාව ලබාගන්න. අලුත් අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට තේරීම කියන්නේ හරියට දුෂ්කර ගමක ළමයෙක් ශිෂ්‍යත්වයෙන් කොළඹ ලොකු ඉස්කෝලෙකට තේරෙනවා වගේ අමාරු වැඩක්. 

ඒ වගේම නිෂ්පාදකවරයකු සොයාගැනීමත් පහසු නෑ?

අයේෂ්මන්ත හෙට්ටිආරච්චි තමයි මට මගේ නිෂ්පාදක වෝලටර් අබේසුන්දර මහත්මයාව හඳුන්වා දුන්නේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගේත් මිතුරෙක් ඔහු. ඔවුන් දෙදෙනාගේ වචනය වගේම මගේ ටෙලි නාට්‍ය නිර්මාණ පිළිබඳ විශ්වාසය තබලා මේ වගේ අර්බුදකාරී යුගයක සිනමාවේ නවකයකු ලෙස මට දැක්වූ සහයෝගයට වෝලටර් මහත්මයාට මම බෙහෙවින් ගෞරව කරනවා. 

ඔබ කීවා චිත්‍රපට සංස්ථාවෙන් කළ වර්ගීකරණයෙන් මිස් ජෙනිස් චිත්‍රපටයක් ලෙස තේරුණා කියලා. ඒ කියන්නේ චිත්‍රපට එසේ වර්ගීකරණයට හසු නොවුණ ඒවා චිත්‍රපට නොවන ගණයටද වැටෙන්නේ?

මෙහෙමයි මට කිසිවකුගේ නිර්මාණ ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒත් නිර්මාණකරුවකු ලෙස මට කියන්න තිබෙන්නේ තමන් කැමැති ඕනෑම දෙයක් පොදු ප්‍රේක්ෂකයාට කරන නිර්මාණයක් ලෙස සලකන්න බැහැ කියලයි.

එහෙනම් සිනමාකරුවකුගේ වගකීම ලෙස ඔබ දකින්නේ කුමක්ද?

පේ‍්‍රක්ෂකයාට වින්දනයක් ලබා දෙන අතරම ජීවිතය හෝ සමාජය ගැන හෝ යම්කිසි දෙයක් සිතන්න පෙලඹවීම. චිත්‍රපටයක් බලලා නිකම්ම එළියට එනවාට වඩා එය වටිනවා. හැබැයි එයින් අදහස් කරන්නේ ප්‍රේක්ෂකයාගේ මනස තවත් බර කරලා ශාලාවෙන් පිට කරන එක නෙවෙයි. අද හින්දි සිනමාව බැලුවොත් මම මේ කියන දේ පහසුවෙන් දකින්න පුළුවන්.

ඔවුන්ගේ කොලිවුඩ් බොලිවුඩ් සිනමා සංකල්ප ගත්තොත් ඒවායේ විනෝදාස්වාදය වගේම තමන් ගැන, තමන් ජීවත් වන පරිසරය ගැන අලුතෙන් හිතන්න යමක් ඉතිරි කරනවා හැබැයි සැහැල්ලු මනසකින් යුතුව. හැබැයි අපට ඒ තරම් දැවැන්ත ප්‍රේක්ෂාගාරයක් නැති නිසා ඒ වගේ ලොකු වියදමක් කරලා චිත්‍රපට හදලා ආදායම් ලබන්න බැහැ. ඒ නිසා අපට වාණිජ චිත්‍රපට පැත්තෙන් ඒ රටවල් සමඟ තරග කරන්න බැහැ. අන්න එතැනදි අපට කලාත්මක චිත්‍රපට වැදගත් වෙනවා ඒ තත්ත්වය ජය ගන්න. ඒ නිසා රටක සිනමා කර්මාන්තය පවතින්න නම් වාණිජ සිනමාව වගේම කලාත්මක සිනමාව යන දෙවර්ගයම පවතින්න ඕනේ. අපට අද රික්තයක් පවතින්නේ වාණිජ සිනමාව පැත්තෙනුයි.

සරසවිය ස්කෝප් සිනමා සොම්නසට මෙය ප්‍රදර්ශනය කළ දිනයේ ඔබට යම් අදහසක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්න ඇති?

හැමෝම වගේ කීවේ මෙය දුවන චිත්‍රපටයක් කියලා. සමහරු යම් යම් අඩුපාඩු පෙන්වා දුන්නා. සියලු දෙනා විස්මයට පත්වුණේ මනෝ අය්යාගේ රංගනය ගැනයි.

කොවිඩ් 19 සමස්ත චිත්‍රපට කර්මාන්තයටම බලපෑවා?

ඔව්. හරි විදිහට නම් මිස් ජෙනිස් ප්‍රදර්ශනය කරන්න තිබුණේ මැයි මාසේ අග. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසා කල් ගියා. සමහර චිත්‍රපට කල් ගත්ත නිසා මගේ චිත්‍රපටය කලින් නිදහස් කරන්න තීරණය වුණා. නිෂ්පාදකවරයාත් කලින් ටිකක් අකමැත්තෙන් හිටියත් දැන් අපට තේරෙනවා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ එහෙමටම ප්‍රශ්නයක් සිනමාශාලාවලට කොවිඩ් නිසා නැහැ කියලා. එය තහවුරු වුණා සරසවිය ස්කෝප් සිනමා සොම්නසට පැමිණි සෙනඟ දැක්කාම. 

ප්‍රථම සිනමාකරණයට කොහොමද සහෝදර ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය?

ඇත්තෙන්ම මෙයට මගේ කාර්මික ශිල්පීන් සහ නළු නිළියන් සියලු දෙනාම විශාල සහයෝගයක් මට දුන්නා. කැමරාකරණය කළ අයේෂ්මන්ත සහ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත වගේම කලා අධ්‍යක්ෂණය කළ ලකී විජේවර්ධන මට දැක්වූ සහයෝගය අමතක කරන්න බැහැ. ඒ වගේම මිස් ජෙනිස් චරිතය රඳාපවතින්නේ අංගරචනා ශිල්පි නලීන් ප්‍රේමතිලක, කොණ්ඩා මෝස්තර ශිල්පී හරුන් ෂයිඩීන් සහ ඇඳුම් නිර්මාණ ශිල්පී චාම් පෙරේරා මත. ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ මට ලොකු සහයෝගයක් දුන්නා සංස්කරණ මැදිරිය සහ වර්ණ සංයෝජනය සඳහා පහසුකම් සලසමින්. ඔහුගේ පුතා මේඝ කොළඹගේ තමයි සංස්කරණය කළේ. ඔවුන් සියල්ලන්ගේ කැපවීම මිස් ජෙනිස් සාර්ථකව නිම කරගන්න මහත් රුකුලක් වුණා.

දැන් ඔබට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සසඳන්න පුළුවන් ඇති?

මම හිතනවා රූපවාහිනියේ පැමිණීම චිත්‍රපට කර්මාන්තයට යම් බලපෑමක් ඇති කළා කියලා. ඉස්සර රසිකයන්ට වින්දනීය අත්දැකීමක් ලබන්න තිබුණු එකම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය සිනමාවනේ. දැන් එය වෙනස් වෙලා. චිත්‍රපටයක් කරලා අවුරුදු හතරක් පහක් යද්දි ප්‍රෙක්ෂකයන් සිනමාශාලාවෙන් නැතත් චිත්‍රපටය කොහෙන් හෝ නරඹා තිබෙනවා. බොහෝ වෙලාවට රූපවාහිනියෙන්. නැත්නම් ඩීවීඩී පටවලින්. ඉතින් ඒ තාක්ෂණය සමඟ තමයි අපට ඉදිරියට යන්න වෙලා තිබෙන්නේ, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. රූපවාහිනියටත් ඉදිරියේදී යූටියුබය ප්‍රශ්නයක් වේවි. අපට ඒවාට අනුගත වෙන්න සිදුවෙනවා. ඇත්තම කීවොත් චිත්‍රපටයක් කළාට පස්සේ ටෙලි නාට්‍ය කරන්න මහා කම්මැළිකමක් දැනෙනවා. එය වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මම කියන්නේ රූපගත කිරීම් ගැන නෙවෙයි. ටෙලි නාට්‍යයකට වඩා චිත්‍රපටයකදී විශාල කැප කිරීමක් කළ යුතුයි. දැනට තව කතා තේමා දෙකක් මා සතුව පවතිනවා. ඉදිරියේදී හොඳ වාණිජ සිනමාවට මගේ උපරිම දායකත්වය සැපයීම තමයි මගේ දැඩි බලාපොරොත්තුව. අපි මුලින් සිනමාවට පනින්නේ එහි ගැඹුර දැනගෙන නෙවෙයි. මිස් ජෙනිස් මගේ ජීවිතේට විශාල සිනමා පාඨමාලාවක් වගේ.