මනමේ කුමරියවී දොළොස් වසරක්

තරංගා කුමාරි
නොවැම්බර් 1, 2018

තරංගා කුමාරිගේ ‘තරංගා රංග ප්‍රභා’ නාට්‍ය උලෙළ මේ මස 05, 06, 07 දිනවලදී පස්වරු 6.00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (නාඩා) පැවැත්වෙයි. එහිදි 05 වැනිදා - බක්මහ අකුණු, 06 වැනිදා - සාරංගා නැවෙන් ඇවිත්, 07 වැනිදා - මනමේ යන වේදිකා නාට්‍ය ත්‍රිත්වය වේදිකා ගතවෙයි. මේ පෙළ ගැසෙන්නේ ‘තරංගා රංග ප්‍රභා’ නාට්‍ය උලෙළ සහ සිය රංගන ජීවිතය පිළිබඳ තරංගා කුමාරි සරසවිය සමඟ කළ කතාබහකි

ඔබ වේදිකා රංගනයට පිවිසීම ආරම්භ කරන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යය මඟින් ද?

ඒ 1997 වසරේදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’ වේදිකා නාට්‍යයෙන්. එදා ඇරැඹුණු මගේ රංගන ගමන අද දක්වාම නොකඩවා පවත්වාගෙන පැමිණෙන්නට මට හැකියාව ලැබුණා. 2017 වසර වනවිට මගේ වේදිකාවේ ආගමනයට වසර විස්සක්. මේ කාලය සිහිපත් කරමිනුයි මා මේ නාට්‍ය උලෙළ පැවැත්වීමට සූදානම් වන්නේ.

මහාසාර’ වේදිකා නාට්‍යයේ ඔබ රඟපාන්නේ ප්‍රධාන චරිතයක්ද?

නැහැ. අනු චරිතයක්. දීකිරි වර්ණනාවේ සිටින නළඟනකගේ චරිතයකටයි මා මුලින් ම එහි රංගනයෙන් සහභාගි වන්නේ. ඊට පසුව ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘පාදඩ අසපුව’ වේදිකා නාට්‍යයෙත් අනුචරිතයකට පණ පොවනවා.

ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ

එක්වරක් ගුණසේන ගලප්පත්ති කියන ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවාගේ දියණිය ඔහු ගේ නාට්‍යයක් නැවත වේදිකා ගත කිරීම සඳහා අවශ්‍ය නළු නිළියන් සොයාගෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. එහිදි ඈට මාව මුණ ගැහෙන්නේ අහම්බයෙන්. ඒ හමුවීමත් සමඟ මේ ‘සඳ කිඳුරු’ නාට්‍යයේ කිඳුරිගේ චරිතය රඟපෑමට ‍මාව තෝරා ගන්නවා. ඒ 2000 වර්ෂයේදියි. මුලින් ම මා ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ මේ නිර්මාණයේදියි.

අනෙක් නිර්මාණවලට සහභාගි වන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුවද?

ඒ ‘සඳ කිඳුරු’ නාට්‍යයේ මගේ රඟපෑම දැකීමත් සමඟ මට දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවාගේ ‘නරිබෑනා’ වේදිකා නාට්‍යයේ ගමදුවගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබෙනවා. ඒත් සමඟ ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ වේදිකා නාට්‍යයට ඇතුළත් වීමට මට අවස්ථාව හිමි වුණත්, එහි මනමේ බිසව විදියට මට රඟපෑමට අවස්ථාව හිමිවන්නේ 2006 වසරේදී. එදා පටන් අද දක්වා ම මනමේ කුමාරිගේ චරිතය රඟපාන්නේ මමයි. මා හිතන විදියට ඒ ආකාරයෙන් මා මෙන් නොකඩවා වසර දොළහක් එක දිගට මනමේ කුමාරිගේ චරිතය කිසිවකුත් රඟපාලා නැහැ. කුමාරි මැණිකේත් ඒ චරිතය රඟපාලා තිබෙන්නේ වසර නවයක් පමණයි. ඒ අනුව වසර දොළහක් වැනි දිගු කාලයක් ‘මනමේ’ රඟපෑ රංගන ශිල්පිනිය විදියටයි මා ඉතිහාසයට එක්වන්නේ.

ඔබ මනමේ චරිතයට පිවිසෙන්නේත් අනපේක්ෂිතවයි

ඇත්තටම ඒ අවස්ථාව ගැන හිතාගන්නවත් බැහැ. ‘මනමේ’‘වලට වසර පනහ සම්පූර්ණ වනවිට ඇමෙරිකාවෙන් මනමේ වේදිකා ගත කිරීමට අපට ආරාධනාවක් ලැබෙනවා. ඒ වනවිට රත්නා ලාලනී අක්කයි මනමේ කුමාරි ලෙස රඟපෑවේ. මම හිටියේ ගායන කණ්ඩායමේ හදිසියේ ම ලලිතා සරච්චන්ද්‍රයන් පැමිණ මට පැවසුවේ රත්නා අක්කා අසනීප වීම නිසා ඈට සහභාගි වීමට නොහැකි බවත් මේ චරිතය මා කළ යුතු බවත්. මුලින් ම නම් මා එයට බිය වුණා. ඒත් ලලිතා සරච්චන්ද්‍රයන් මාව ධෛර්යවත් කළා. කොහොම වුණත් සතියක පුහුණු වීම්වලින් පස්සේ මා මුලින් ම මනමේ කුමාරි විදියට රඟපෑවේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර වේදිකාවකයි. හොඳ ප්‍රතිචාර ලැබුණා. මා හොඳට මනමේ කුමාරි රඟපෑවා කියන අදහස ඉදිරිපත් වුණා.

රඟපෑමෙන් සහභාගි වුණු අනෙක් නාට්‍යය මොනවාද?

හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ හි කුවේණි ලෙසත්, දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ හි පබ්ලිනා ලෙසත්, ‘ගජමන් පුවත’, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’, ‘පෙමතෝ ජායතී සොකො’නාට්‍යවල රඟපෑමට මා වාසනාවන්ත වුණා. ඒ වගේ ම මෑත කාලයේ සිටින නාට්‍යකරුවන් අතරින් රොඩ්නි වර්ණකුලගේ ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යයටත් මා රංගනයෙන් දායක වෙනවා. රෝහණ බැද්දගේ කළ ‘රාලහාමි’ වගේ නාට්‍යයකත් මා රඟපෑවා.

මේ නිර්මාණවලට රංගනයෙන් සහභාගි වීමෙන් ඔබට අනෙක් රංගන ශිල්පිනියන්ට නොලැබෙන අවස්ථාවක් උදා වෙනවා නේද?

අපේ ප්‍රවීණ ම නාට්‍යකරුවා වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. එතුමා වටා පෙළ ගැසුණු නාට්‍යකරුවන් වන්නේ ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන යන නාට්‍යකරුවනුයි. මේ සියලුම ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ ප්‍රධාන නාට්‍ය හතරේ, ප්‍රධාන භූමිකා හතරක් නිරූපණය කිරීමට මට එක් වසරක් ඇතුළත අවස්ථාව හිමිවීමත් ඒ උදාවුණු විශේෂ අවස්ථාවයි. මා සොයාගත් කරුණු අනුව එක් වසරක් ඇතුළත ඒ ප්‍රධාන භූමිකා හතර කිසිම රංගන ශිල්පිනියක නිරූපණය කර නැහැ. ඒ නිසයි මේ චරිත මට විශේෂ වන්නේ.

එදා මනමේ කුමාරි රඟපෑ රංගන ශිල්පිනිය කා අතරත් ජනප්‍රියයි එහෙත් අද එහෙම නැහැ. ඊට හේතුව කුමක්ද?

මම ජනප්‍රිය චරිතයක් නොවෙයි, ටෙලි නාට්‍යවල රඟපාන ශිල්පිනියන් වගේ දැක්ක ගමන් හඳුනා ගන්න. ඊට හේතුව වුණේ මගේ වෘත්තියත් එක්ක ටෙලි නාට්‍ය රංගනයට ඉදිරිපත් වීමට තිබුණු ඉඩකඩ ඇහිරීමයි. ඒත් කොහොම හරි මා වේදිකාව අතහැරියේ නැහැ. ඒ නිසා කා අතරත් ජනප්‍රිය නොවුණත් මේ රඟපාන චරිත දෙස බලලා මා සතුටට පත්වෙනවා. අනෙක් කාරණය නම් මා කිසිම දිනෙක ජනප්‍රියත්වය පසුපස හඹා කිය කෙනක් නොවීමයි. ඒ වගේ ම මා කලාව කරන්නේ වෘත්තියක් විදියටත් නොවෙයි. ඒ චරිත මා රඟපාන්නේ බොහොම භක්තියෙන්. වරක් මට මතකයි මාහාචාර්ය තිස්ස කාරියවසම් ඔහුගේ ලිපියක නාමික වශයෙන් ම සඳහන් කරලා තිබුණේ ඔහු දැකපු හොඳම මනමේ කුමරිය මම යන්නයි. මීට පෙර රඟපෑ යශෝධරා, ටි‍්‍රලිෂීයා වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් මනමේ කුමරිය විදියට ජනප්‍රියත්වයක් ලබා තිබුණු බව ඇත්තයි. ඒ කාලයේ ඔවුන් පිළිබඳ ජනමාධ්‍ය මඟින් බොහෝ කතාබහට ලක්වුණා. අද එහෙම සිදුවන්නේ නැහැ. ඒ වගේ ම ඒ කාලයේ වේදිකාවට තිබුණු ආකර්ෂණය වැඩියි. සමහර විට ඒ චරිතය කළේ එක් ශිල්පිනියක් පමණයි. අද එහෙම නැහැ. තිබෙන කාර්යබහුලත්වයත් එක්ක කිහිපදෙනක් ම ඒ චරිතය රඟපානවා. මා සිතන්නේ මේ කාරණා බලපෑම් කරනවා ඔබ ඔය කියන කාරණයට. සමහර විට මමත් ටෙලි නාට්‍යවල රඟපෑවා නම් ඒ ජනප්‍රියත්වය මත මනමේ කුමාරි ගැන බොහෝදෙනා කතාබහ කරන්නට තිබුණා. මා ඉඳහිට ටෙලි නාට්‍ය කිහිපයක් ම රඟපාලා තිබෙනවා. දිගින් දිගට ම ටෙලි නාට්‍යත් සමඟ රැඳී සිටින්නට නොහැකි වී තිබෙන්නේ ගුරු භූමිකාව නිසයි.

තරංගා රංග ප්‍රභා’ නාට්‍ය උලෙළ වේදිකා ගතවීම සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?

නාට්‍ය උලෙළ ඇරැඹෙන්නේ හවස 6.00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙන්. මුලින් ම දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍ය යෙනුයි ඒ උලෙළ ආරම්භ වන්නේ. ඒ සඳහා ‘නරිබෑනා’ මා තෝරා නොගත්තේ එහි ගමදුවගේ චරිය රඟපෑමෙන් මා ඉවත් වෙලා වසරක් පමණ ගත වී ඇති නිසයි. එහෙත් එහි එක දිගට වසර දහතුනක් ම මා ගමදුව ලෙස රඟපෑවා. මේ උලෙළට ‘බක්මහ අකුණු’ නාට්‍යය ම තෝරා ගැනීමට තිබුණු අනෙක් විශේෂත්වය නම් කැරැකෙන වේදිකා නාට්‍යය සංකල්පයයි. කැරැකෙන වේදිකාවක නාට්‍යයක් රඟ දැක්වීම කියන අත්දැකීම ප්‍රේක්ෂකයාට සමීප කිරීමේ අදහසිනුත්, ඔවුන්ට එය දැක බලා ගැනීමේ අවස්ථාවක් උදා කිරීමටත් සිතාගෙනයි ඒ නාට්‍යය මා නාට්‍ය උලෙළට තෝරා ගැනෙන්නේ. 6 වැනිදා රොඩ්නි වර්ණකුලගේ ‘සාරංගා නැවෙන් ඇවිත්’ නාට්‍යයත්, 7 වැනිදා ‘මනමේ’ නාට්‍යයත් රඟ දැක්වෙනවා.

කලකට පසුව රොඩ්නි වර්ණකුලගේ ‘සාරංගා නැවෙන් ඇවිත්’ නාට්‍යය නැවත නිෂ්පාදනය වනවා. 6 වැනිදා වේදිකා ගතවන්නේ එහි මංගල දර්ශනය නේද?

රොඩ්නි වර්ණකුලගේ ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යය කලකට පසුවයි නැවත නිෂ්පාදනයක් ලෙස යළිත් වේදිකා ගතවන්නේ. එහි මමත් රඟපානවා. එහි දෙවැනි නිෂ්පාදනයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේත් එදිනටයි. ඒ මගේ රංගනයේ විවිධ පරාස ඉදිරිපත් කරන නාට්‍ය ත්‍රිත්වයකුයි නාට්‍ය උලෙළට තෝරා ගැනීමට මට වුවමනා වුණේ. මේ නාට්‍යය ඒ සඳහා සුදුසු ම නාට්‍යයක් ලෙසයි මා නම් කර තිබුණේ.

ඔබ රංගන ශිල්පිනියක් වගේ ම ගුරුවරියක් ලෙසත් කටයුතු කරනවාද?

මේ වනවිට වෘත්තිය විදියට මා තෝරාගෙන තිබෙන්නේ ගුරු වෘත්තියයි. නර්තනය හා නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගුරුවරියක් ලෙසයි මා කටයුතු කරන්නේ. ඒ වගේ ම මා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. පසුගිය දිනවල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ දර්ශනිපති උපාධිය නිම කළා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.