තිත්ත කහට ඒත් රසයි

ලෝගානන්දන්
මැයි 30, 2019

ඒ පරිසරයේ වැඩුණු කිහිපදෙනකුම මාත් එක්ක මෙහි ඉන්නවා. ඔවුන්ගෙනුත් මේ නිර්මාණය කිරීමේදි අපට සහයෝගය ලැබුණා. ඒ වගේ ම සිංහල අය අපත් සමඟ ජීවත් වුණත්, අපට මේ තරම් ගැඹුරින් ප්‍රශ්න තිබෙන බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ.

මෙවර ඔබ හමුවට පැමිණෙන්නේ රාසයියා ලෝගානන්දන්ගේ ‘තිත්ත කහට’ වේදිකා නාට්‍යයයි. බොගවන්තලාවේ සිට පැමිණ දමිළ තරුණයකු වන ලෝගානන්දන් ජන කරළිය මඟින් සොයාගත් තරුණ නිර්මාණකරුවෙකි. හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම පිටපත, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසක් හිමිකර ගත්, ඔහු මේ වන විට ජන කරළියේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් නාට්‍ය අධ්‍යක්ෂණය ඇතුළු පරිවර්තන කටයුතුවල නියැළී සිටියි. ඔහුගේ නවතම වේදිකා නාට්‍යය ‘තිත්ත කහට’ පිළිබඳත්, සිය නාට්‍ය ජීවිතය පිළිබඳත් රාසයියා ලෝගානන්දන් සරසවියට හෙළි කළේ මෙවැනි කරුණු කාරණා කිහිපයකි.

මුලින් ම ඔබ ජන කරළියට සහභාගි වන්නේ කොහොම ද?

ඒ 2006 වසරේ. නාට්‍යවලට ළමයි තෝරන බව පවසමින් වැඩමුළුවක් කිරීමටයි පරාක්‍රම සර් හා එච්. ඒ. සර් බගවන්තලාවට ආවේ. මේ ගැන මට පැවසුවේ මගේ ගුරුතුමී රෙනුගා දේවියි. මමත් ඒ වැඩමුළුවට සහභාගි වුණේ ජන කරළියට සම්බන්ධ වීමේ අදහස ඇතිවයි.

ඔබ ඒ කාලයේ පටන්ම වැඩකටයුතු කළේ රංගනය පිළිබඳ බොහොම උනන්දුවෙන් යුතුව ද?

පුංචි කාලයේ ඉඳන් මට වුවමනා වුණේ නළුවෙක් වෙන්නයි. ඒ කාලයේ දෙමළ, සිංහල ඇතුළු හැම චිත්‍රපටයක්ම මම නැරැඹුවා. විශේෂයෙන්ම ඒ කාලයේ ගිය සිංහල ටෙලි නාට්‍ය බොහෝ ගණනක් මා නැරැඹුවා. ඔය කියන කාලයේ අපට හරියට රූපවාහිනියක් තිබුණේත් නැහැ. ඒ ප්‍රදේශයටම තිබුණේ රූපවාහිනි දෙකයි. ඒත් කොහොම හරි මම ඒ නිර්මාණ නැරැඹුවා. ඒ වගේ ම පාසල් යන කාලයේත් මම සාහිත්‍ය තරගවලට වගේ ම විවිධ තරගවලට සහභාගි වී තිබෙනවා. ඒ නිසයි රේනුගා දේවි ගුරුතුමිය ජන කරළියේ වැඩමුළුවට මාව යවන්නේ. පාසලේ කළ නාට්‍යවලත් මා රඟපෑවා. ජන කරළියට පැමිණෙන විට මට වයස විස්සයි.

ඔබ එහේදි උසස් අධ්‍යාපනය දක්වා ඉගෙන ගත්තා?

නැහැ. මා ඕ ලෙවල් වන තුරු පමණයි පාසල් ගියේ. මගේ ගෙදර තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා මා උසස් පෙළට ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා ගෙදරට බරක් වෙන්න බැරි නිසා පුංචි රැකියාවක් කළා. ඒ අතරදියි ජන කරළිය නාට්‍ය කණ්ඩායම ගැන දැන ගන්නට ලැබෙන්නේ.

රැකියාව අතහැර ජන කරළියට පිවිසීමෙන් ඔබට නිවැසියන් මඟහැරෙන්න ඇති නේද?

මම රැකියාව කළේ කැමැත්තකින් නොවෙයි. එහෙම තැනක ඉන්නේ නැතිව මෙතනදි මට මගේ හැකියාවට තැනක් ලැබෙන බව මට හැඟුණා. ඒ කාලයේ අපට පුංචි පඩියක් ලැබුණා. ඒ මඟින් මම මගේ වියදම කොහොම හරි පියව ගත්තා. මේ සඳහා මට ගෙදරින් හොඳ සපෝට් එකක් දුන්නා. ඔවුන් මේ කණ්ඩායමට යන්න මට අවසර දුන්නා.

සිංහල භාෂාව හොඳට කතාබහ කරන්න ඔබට කුඩා කාලයේ පටන්ම හැකියාව තිබුණා ද?

මුලින්ම නම් මම සිංහල වචන එකයි දෙකයි දැනගෙන හිටියේ. සිංහල හොඳට කතා කරන්නට ඉගෙන ගත්තේ ජන කරළියට ආවට පස්සේ. මේ වන විට මම සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම් පවා කරනවා. පසුගිය කාලයේ මා ‘කොරා සහ අන්ධයා’ නාට්‍යය දමිළ භාෂාවට පරිවර්තනය කළා. ඒ සඳහා 2011 වසරේදි පැවැති රාජ්‍ය සම්මාන හා යෞවන සම්මාන උලෙළවලදි මට හොඳම පරිවර්තනයට හිමි සම්මානය හිමි වුණා. ඒ වගේම ඒ නිර්මාණය හොඳම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, හොඳම නළුවා වැනි සම්මානත් දිනා ගත්තා. 2012 වසරේදි ඒ වේදිකා නාට්‍යයම ඉන්දියාවේ දිල්ලිවල පැවැතුණු ඉන්දියන් නැෂනල් ඩ්‍රාමා ෆෙස්ටිවල් එකටත් සහභාගි වුණා. ලංකාවෙන් පළමු වතාවටයි දමිළ නාට්‍යයක් එවැනි නාට්‍ය උලෙළක් නියෝජනය වුණේ.

‘තිත්ත කහට’ වේදිකා නාට්‍යය නිර්මාණය වන්නේ කුමන ආකාරයකට ද?

ජන කරළියේ අප සියලු දෙනාගේම සහයෝගයෙනුයි මේ නිර්මාණය බිහිවන්නේ. ඒ කියන්නේ අපේ කණ්ඩායමේ අය මේ පිළිබඳ තොරතුරු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළා. ඒ සාකච්ඡාවලින් පසුවයි ‘තිත්ත කහට’ වේදිකා නාට්‍යයේ පිටපත ලියැවෙන්නේ.

ජන කරළියෙන් නිර්මාණ බිහිවන්නේ සියලුදෙනාගේම අදහස් උදහස් විමසීමෙන් බවයි පෙනෙන්නේ?

ජන කරළිය ආරම්භ කරන්නේ 2002 වසරේදී. 2004 වසරේදීයි ලංකාවේ සියලුම ප්‍රදේශවලින් අය එකතු කරමින් තිස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස අප ස්ථාපිත වීම ආරම්භ වන්නේ. එලෙස ආරම්භ කළ කාර්යයේදී අප සියලු දෙනාම ඒ ඒ ප්‍රදේශවල තිබෙන විවිධ සමාජ ප්‍රශ්න ගැන කතාබහට ලක් කළා. ඒ වගේ ම අපේ රටේ තිබෙන විවිධ ප්‍රශ්න පිළිබඳ අප අතර කතාබහක් ඇති වුණා. ඒ මඟිනුයි අප නිර්මාණ බිහිවන්නේ. මේ නිර්මාණ මඟින් විවිධ ප්‍රදේශවල, විවිධ දිස්ත්‍රික්කවල මිනිසුන් අතර පැන නැඟුණු ප්‍රශ්න ගැන අප කතාබහ කළා. විශේෂයෙන්ම වීදි නාට්‍යය මඟින්, ජංගම රඟහලක ආධාරයෙන් අප ඒ ප්‍රශ්න ඔවුන් අතරට අරගෙන ගියා.

‘තිත්ත කහට’ වේදිකා නාට්‍යය බිහිවීමටත් එවන් පසුබිමක් බලපෑවා ද?

සමහර නිර්මාණත් අරගෙන අපි විවිධ ප්‍රදේශවලට ගියාට පස්සේ මා බගවන්තලාවේ කියලා කිව්වම ඒ ඒ අය මගෙන් එක් එක් ප්‍රශ්න අහනවා. ඔයාට තේවත්තක් තියෙනව ද? ඒක කොච්චර විශාල ද? කීයක් ලාබ ලබනව ද? මේ වගේ විවිධ ප්‍රශ්න. ඔවුන් අසන මේ ප්‍රශ්නවලිනුයි අප තේරුම් ගත්තේ වෙනත් ප්‍රදේශවල මිනිසුන්ට කඳුරට මිනිස්සු ගැන අවබෝධයක් නැති බව. සිංහල අයට වගේම උතුරු නැඟෙනහිර ඉන්න අයටත් මේ කඳුරට මිනිසුන්ගේ ජීවන රටාව ගැන කිසිම අවබෝධයක් නැති බව.

ඒ නිසාද ඔබ තීරණය කළේ ඒ පසුබිම අලළා වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න?

ඉන්දියාවේ ඉඳලා මේ රටට ඔවුන් ආවේ කොහොම ද? ඔවුන්ගේ ජීවන රටාව මේ වන විට නිර්මාණය වී තිබෙන්නේ කොහොම ද? උදේට බොන තේ එක ඔබේ දෑතට පැමිණීමට පෙර ඒ තේ දලු කඩන මිනිසුන්ගේ ජීවිත ගැන, ඒ අයට පඩි ලැබෙනවද? ඒ අයගේ ගෙවල්වල තිබෙන ආර්ථික ප්‍රශ්න මොනවා ද? දේශපාලකයන් ඔවුන් ව රවටන්නේ කොහොම ද? අනෙක් ප්‍රශ්න මොනවා ද? කියන කාරණා අනෙක් අයට පැවසීමේ හා ඒ මඟින් ඔවුන් දැනුවත් කිරීමේ අදහසිනුයි ‘තිත්ත කහට’ වේදිකා නාට්‍යය බිහිවන්නේ.

‘තිත් කහට’ නාට්‍යයට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නේ ඔබ අවට පරිසරයේ සිදු වීම් මඟින් ද?

ඒ පරිසරයේ වැඩුණු කිහිපදෙනකුම මාත් එක්ක මෙහි ඉන්නවා. ඔවුන්ගෙනුත් මේ නිර්මාණය කිරීමේදි අපට සහයෝගය ලැබුණා. ඒ වගේ ම සිංහල අය අපත් සමඟ ජීවත් වුණත්, අපට මේ තරම් ගැඹුරින් ප්‍රශ්න තිබෙන බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා ඔවුන්ට මේ ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා දෙන්නට අපේ ගම් ප්‍රදේශයට එක්ක ගෙන යන්නට සිදු වුණා. ටික දවසක් අපේ ගෙවල්වල වාසය කරමින් ඔවුන් මේ ප්‍රශ්න අධ්‍යයනය කළා.

ඔබ අධ්‍යක්ෂණය කළ මේ වේදිකා නාට්‍යයේ දෙවර්ගයේම නළු නිළියන් රඟපානවා ද?

ජන කරළියේ සිටින පහළොස් දෙනෙක් මේ වේදිකා නාට්‍යයේ රඟපානවා. මෙහි මම අධ්‍යක්ෂණය කරමින්ම රඟපානවා. මීට අමතරව සුමුදු මල්ලවාරච්චි සංගීතය අධ්‍යක්ෂණය කරමින් රඟපානවා. සෙල්වරාජ් ලීලාවතී, දෙව්රාන් ශ්‍රී ලිවේරා, අනූෂා තරංගනී, විජිත හෙට්ටිගේ, අජන්තන් ශාන්ත කුමාර්, ප්‍රනීත් ජීවන්ත, රුවිනි මල්ලවාරච්චි, තිලිණි නිමේෂා, නදීරා උදිෂානි, අමිල දිනේෂ් කුමාර, සරත් බානගල, කියන නළු නිළියන් පිරිසයි තිත්ත කහට පණිවිඩය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යන්නේ. එහිදි පාලිත අබේලාල් සහය වන්නේ වේශ නිරූපණයෙන්.

ඉදිරියේදි ‘තිත්ත කහට’ නාට්‍යයට වේදිකා ගත කිරීම් කටයුතු සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා ද?

දර්ශන කිහිපයක් සංවිධානය වී තිබුණත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව ඒ සියල්ල තාවකාලිකව නැවතුණා. අද මිනිස්සු පැය ගණනක් රැස් වෙලා එකම තැන නාට්‍යයක් නැරැඹීමට අකැමැතියි. ඒ නිසා හිරවෙලා සිටිනවා වගේ හැඟීමකුයි අපට දැනෙන්නේ. මේ දවස්වල අප ඉදිරියේදි පැමිණීමට නියමිත පරාක්‍රම සර්ගේ වේදිකා නාට්‍ය දෙකක පුහුණු වීම් කටයුතු අතරයි කාලය ගත කරන්නේ.

ජන කරළිය ජංගම නාට්‍ය රඟහලත් සමඟ රටවටා යන අවස්ථාවලදි ඔබ විවිධ අත්දැකීම්වලට මුහුණ දීලා ඇති. ඉන් කිහිපයක් මතකයට නඟමු?

කේරළයේදි “තිත්ත කහට” වේදිකා ගත කළා. මේ නාට්‍ය යේ දර්ශනයක් තිබෙනවා මෝදි ඇවිත් හැටන්වල දික්ඕය දිසා රෝහල විවෘත කරන. ඒ දර්ශනය දැක්ක එහේ ප්‍රේක්ෂකයෝ ඇහුවේ මේ දර්ශනය දැම්මේ ඉන්දියාවේ මේ නාට්‍යය වේදිකා ගත කරන නිසාද කියලා. ඒ ඔස්සේ මෙවන් කතාවක් නිර්මාණය වී තිබුණු වගක් ඔවුන් නොදන්න බවත් අප සමඟ පැවසුවා. ඔවුන් මෝදිට විරුද්ධයි. මගේ මතකයට නැඟෙන අනික් කාරණය වන්නේ ලංකාවේ බදුල්ල ප්‍රදේශයේ ‘චරන්දාස්’ නාට්‍යය වේදිකාගත කළාට පස්සේ තාත්තා කෙනෙක් ඇවිත් කිව්ව අපූරු කතාවක්. ඒ ඔහුගේ 4 වසරේ ඉගෙන ගන්නා ළමයා හවස කාටුන් බැලීමට ඇබ්බැහි වී සිටි අයුරුත්, මේ නාට්‍යය බලෙන් නරඹන්නට රැගෙන ඒම නිසා ඔහු ඉන් මිදී සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් බවත්. ඔහුට කළ නොහැකි වූ කාටුන් බැලීම නැවැත්වීමේ කාර්යය අප කළ නිසා ඔහු අපට බොහොම ස්තුති පූර්වකවයි කතාබහ කළේ. අද වනතුරුත් ඒ පුතා හා තාත්තා අපට කතා කරනවා. අවසානයේ පුතා ශිෂ්‍යත්වය පවා පාස් වූ බව අපට දැන්වූවා.

තිලානි ශානිකා විතානාච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.